2011/12/27

කවියෙකුගේ වික්‍රමය- ඉතලෝ කල්විනෝ


කුඩා දූපතට තිබුණේ උසැති, ගල්පර්වතවලින් ගහණ වෙරළ තීරයකි. මුහුද අසළ නොනැසී පවතින්නට හැකි කෙටි, ඝනැති පඳුරු එහි වැවිණි. මුහුදු ලිහිණියෝ අහ‍සේ පියැඹූහ. ගොඩබිමට නුදුරු මුහුදෙහි පිහිටි එම දූපත පාලුවට ගිය කිසිදු වගාවක් නොකළ එකක් විය. හබල් ගාන බෝට්ටුවකින් හෝ මේ දැන් ඒ කරා ළඟා වන යුවළ සතුවූ ආකාරයේ රබර් ඩිංගි බෝට්ටුවකින් ‍දූපත වටා පැය බාගයකින් යාත්‍රා කිරීමට ඔබට හැකිය. රබර් ඩිංගියෙහි වූ මිනිසා ඉතා සන්සුන් ලෙස එය හබල් ගෑ අතර කාන්තාව අව්ව තපිමින් එතුළ වැතිර සිටියාය. ඔවුන් දූපත අසළට ළඟා වත්ම මිනිසා අවධානයෙන් යුතුව ඇහුම්කන් දෙන්නට වූයේය.
“ඔයාට මොනවද ඇහෙන්නේ ?” ඇය ඇසුවාය.
“නිශ්ශබ්දතාවය,” ඔහු පිළිතුරු දුන්නේය.  “කනට ඇහෙන නිශ්ශබ්දතාවයක් දූපත්වල තියෙනවා.”
සත්‍ය වශයෙන්ම පවසන්නේ නම් සෑම නිශ්ශබ්දතාවක්ම ඒ වටා වූ ඉතා කුඩා ශබ්ද ජාලයකින් සමන්විත වෙයි. දූපතෙහි නිහඬබව ඒ වටා වූ නිසල මුහුදෙහි නිහඬතාවෙන් වෙනස් වූයේ එහි පඳුරුවල සරසරයත් කුරුල්ලන්ගේ කෑ ගෑම හෝ උන් තටු සලන හඬත් හාත්පස පැතිරී තිබූ බැවිනි.
ගල් පර්වතයට පහළින් වූ ජලයෙහි මේ දිනවල කුඩා හෝ රැල්ලක් ‍නොනැගුණු අතර එය තියුණු පැහැදිලි  නීල වර්ණයෙන් යුක්ත විය. හිරු කිරණ ජලය විනිවිද පතුළට කා වැදිණි. පර්වත මුහුණතෙහි කුඩා ගුහාවල පිවිසුම් දක්නට ලැබුණු අතර ඩිංගි බෝට්ටුවෙහි හුන් යුවළ ඒවා නිවී සැනසිල්ලේ ගවේෂණය කරන්නට සූදානම්ව සිටියේය.
මේ වෙරළ තීරය සංචාරකයන්ගේ පහස තවමත් නොලැබූ දකුණු පෙදෙසේ පිහිටා තිබූවක් වූ අතර ඔවුහු වෙනත් ප්‍රදේශයක සිට මුහුදෙහි නාන්නට පැමිණි දෙදෙනෙක් වූහ.  ඔහුගේ නම උස්නෙල්ලි විය. හෙතෙම ප්‍රසිද්ධ කවියෙකි. ඇය ඩේලියා එච්. නම් වූ අතර ඉතා රූමත් කාන්තාවක වූවාය.
ඩේලියා දකුණු පෙදෙසට ඉතා තදින්, උමතුවෙන් මෙන් ඇලුම් කළ තැනැත්තියක වූවා බෝට්ටුවෙහි වැතිර තමන් දකින සියලු දේ ගැන දැඩි ප්‍රහර්ෂයකින් යුතුව කතා කරන්නට වූයේ මේ ප්‍රදේශයට පළමු වරට පැමිණි, එමෙන්ම ඇයගේ උද්යෝගය බෙදා ගත යුතු තරමට බෙදා හදා නොගන්නවාක් මෙන් පෙනුණු උස්නෙල්ලි කෙරෙහි වූ ක්‍රෝෂයක ඡායා මාත්‍රයක් සමගිනි.
“ඔහොම ඉන්න ,” උස්නෙල්ලි කීවේය. “ඔහොම පොඩ්ඩක් ඉන්න.”
“ඒ මොකටද?” ඇය ඇසුවාය. “මීට වඩා ලස්සණ දෙයක් තියෙන්න පුළුවන්ද ?”
අන්‍යන්ට අයත් හැඟීම් සහ වචන කෙරෙහි විශ්වාසය නොතැබූ, (සිය ස්වභාවය සහ ඔහු ලැබූ සාහිත්‍ය අධ්‍යාපනය නිසා) පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සහ විවාදයකින් තොරව ලස්සණ යැයි පිළිගන්නා දෙයට වඩා  සැඟවුණු සහ ව්‍යාජ ලස්සණ ‍සොයා ගැනීමට පුරුදුව සිටි ඔහු තවමත් සිටියේ කලබලයට සහ ආතතියට පත්වය. සතුට යනු උස්නෙල්ලිට අත්හිටුවනු ලැබූ තත්ත්වයක් විය. එය හුස්ම තදින් අල්ලා ගෙන විඳිය යුත්තකි‍. ඔහු ඩේලියාට ආදරය කරන්නට පටන් ගත් තැන් පටන් ලෝකයා සමග ඔහුගේ වූ පරීක්ෂාකාරී, සීමිත සම්බන්ධය තර්ජනයට ලක්ව ඇති සැටි ඔහු දුටුවේය. එහෙත් තමාගේ යමක් හෝ තමා ඉදිරිපිට විවරව ඇති ප්‍රීතිය හෝ අතහැර දැමීමට ඔහු කල්පනා නොකළේය. ජලයට සෙමෙන් වැක්කෙරෙන නීල වර්ණය, වෙරළෙහි වූ හරිත වර්ණය අළු පැහැ ගැන්වීම, මුහුදු පළසෙහි සුමුදුතම ස්ථානයෙහි සිටින මාළුවෙකුගේ වර‍ළෙහි දිලිසීම යනාදී ඔහුගේ වටපිටාවෙහි ස්වභාව ධර්මය විසින් අත්පත් කරගත්තා වූ පරිපූර්ණත්වයේ සියලුම මට්ටම් වනාහි ඊටත් ඉහළ පරිපූර්ණත්වයක මග හසර කියන ලකුණු වූවාක් මෙන්ද, ක්ෂිතිජයේ වූ අදිසි රේඛාව මුහුදු බෙල්ලෙකු මෙන් විවරව හදිසියේ වෙනත් ග්‍රහලෝකයක් හෝ නව ලොවක් මතුවනු ඇතැයි සිතන්නාක් මෙන්ද ඔහු ප්‍රවේසම්කාරී විය.
ඔවුහු කුඩා ගල් ගුහාවකට ඇතුළු වූහ. එය ආරම්භ වූයේ ලා කොළ පැහැති අභ්‍යන්තර විලක් මෙන් සුවිසල්ව දැවැන්ත පාෂාණමය වහළකින් යුක්තවය. තවත් ඇතුළට යන විට එය පටු අඳුරු මගක් බවට පරිවර්තනය විය. උස්නෙල්ලි බෝට්ටුව වටේට හැරවූයේ ආලෝකය විසින් ගුහාව අභ්‍යන්තරයේ මවන ලද විවිධ ප්‍රයෝග රස විඳිනු පිණිසය. බැහැර සිට ගුහාවේ දැති සහිත වෛවර්ණ මුවවිටෙන් ඇතුළට ආ ආලෝකය එම වර්ණ තව තවත් විචිත්‍ර කළේය. ගුහාවේ ඇතුළත වූ ජලය දිදිලුණි. පිටුපසින් වූ මුදු සෙවණැලිවලට ‍එරෙහිව ජල තලය මත සිට උඩට ආ‍‍ලෝක කදම්බයෝ නැගුණහ. ජලයේ වූ කැළඹිල්ල, ප්‍රතිබිම්බ සහ ආලෝක ධාරා මගින් පාෂාණමය බිත්ති සහ වහළ මතට ප්‍රක්ෂේපණය විය.
“ මෙතැනදී කෙනෙකුට දෙවියන්ව වටහා ගන්න පුළුවන්,” කාන්තාව කීවාය.
“හ්ම්,” උස්නෙල්ලි පිළිතුරු දුන්නේය. ඔහු සිටියේ කැළඹිල්ලට පත්වය.  හැඟීම් වචනවලට පරිවර්තනය කරන්නට පුරුදු ඔහුගේ මනස එකම වචනයක්වත් ගොතා ගන්නට නොහැකිව දැන් අසරණ වී තිබිණි.
ඔවුහු තවත් ඇතුළට යාත්‍රා කළහ. ජල මට්ටමෙහි තිබූ ගල් පව්වක් පසු කොට ඩිංගි බෝට්ටුව ඇදී ගියේය. හබල ජලයෙහි වදින විට නැගෙන දුර්ලභ ආ‍ලෝක පුංජයක් හැරුණු විට හාත්පස ඝන අඳුර රජ කළේය.  ඉඳහිට හබල ගුහා බිත්තියක වැදිණි.  ආපසු හැරී බැලූ ඩේලියාට  ගුහාවෙහි පිවිසුමෙන් පෙනෙන නිල් අහ‍ස් කැබැල්ල වටා ඇති රේඛාව නිරන්තරයෙන් වෙනස් වන සැටි පෙනිණි.
“ ආං අතන! විශාල කකුළුවෙක් !” බෝට්ටුවේ කඳ කෙලින් කොට හිඳ ගෙන ඕ කෑගැසුවාය.
“ ....න!.....ළුවෙක්!” ඇගේ හඬ දෝංකාර දුන්නේය.
“දෝංකාරය !” සතුටෙන් කී ඇය වචනද කවිපදද යාඥාවල කෑලිද කියමින් ඒ අඳුරු වහළ යට කෑ ගසන්නට වූවාය.
“ඔයත් කෑ ගහන්න ! ප්‍රාර්ථනාවක් කරන්න !” ඇය උස්නෙල්ලිට කීවාය.
“ හූ ඌ ඌ ඌ ඌ.......” උස්නෙල්ලි කෑ ගෑවේය. “ ‍හේ ඊ ඊ ඊ ඊ ....ඕ....”
ඉඳ හිට බෝට්ටුව ගුහා බිත්තියෙහි වැදිණි. අඳුර ඉතා දැඩි විය.
“ මට බයයි. මේක ඇතුළෙ මොන මොන සත්තු ....”
“අපට තවමත් ඇතුළට යන්න පුළුවන්.”
හිරු රැසින් නැහැවුණු ජලයෙන් පළා යන ගැඹරෙහි වසන මසෙකු මෙන් තමා අඳුර වෙත ඇදෙන බව උස්නෙල්ලිට වැ‍ටහිණි.
“ මට බයයි. අපි ආපහු යමු.” ඇය බල කළාය.
මූලික වශයෙන් ගත් කළ ඔහුටද බියජනක දේ කෙරෙහි ඇති රුචිකත්වය ආගන්තුක එකක් විය. ඔහු පසු පසට හබල් ගෑවේය. ගුහාව පුළුල් වන ස්ථානයට ඔවුන් පැමිණෙන විට මුහුද තද නිල් පාටට හැරිණි.
“මේකෙ බූවල්ලො ඉන්නවද?” ඩේලියා ඇසුවාය.
“ඉන්නව නම් ඔයාට පෙනෙයි. ඒ තරමට වතුර පැහැදිලියි.”
“එහෙනම් මං පොඩ්ඩක් පීනන්නම්.”
රබර් බෝට්ටුවේ පසෙකින් දියට බට ඈ ඒ අභ්‍යන්තර විලෙහි පිහිනුවාය. ඇගේ සිරුර වරෙක සුදු පැහැයෙනුත් (හරියට ආලෝකය වස්තූන්ගේ සියලු වර්ණයන් සොරා ගත්තාක් මෙන්) වරෙක ජලතලයෙහි නිල් පැහැයෙනුත් පෙනිණි.
උස්නෙල්ලි හබල් ගෑම නතර කොට තිබූ අතර තවමත් හුස්ම උඩට කොට අල්ලාගෙන සිටියේය.  ඩේලියා සමග පෙමින් වෙලී සිටීම ඔහුට සෑම විටෙකම මේ ආකාර විය. එය හරියටම වචන අතික්‍රමණය කළ ලොවක ඇති මේ ගුහාවේ කැඩපත වැනිය. එනමුදු ඔහු සිය කවිවල ආදරය ගැන එකම එක පද පේළියක් වත් ලියා නැත.
“තව ළඟට එන්න,” ඩේලියා කීවාය. පිහිනන අතරතුරම ඇය සිය උඩුකය වැසූ රෙදි කඩ ඉවත් කොට තිබිණි. ඇය එය රබර් බෝට්ටුව ඇතුළට වීසි කළාය. “ පොඩ්ඩක් ඉන්න” යැයි කියූ ඇය සිය ඉනෙහි වූ රෙදි කඩද ගලවා එය උස්නෙල්ලි අතට දුන්නේය.
දැන් ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් වූවාය. ඇගේ ළය මඬලෙහිත් උකුළු පෙදෙසෙහිත් වූ වඩාත් සුදු පැහැති ඡවි වර්ණය පැහැදිලිව නොපෙනුණේ ඇගේ මුළු සිරුරෙන්ම මෙඩුසා මසෙකුගේ බඳු ලා නිල් දීප්තියක් විහිදුණු බැවිනි.  ඇය විවේකී ඉරියව්වකින් පසෙකට හැරී පිහිනමින් සිටියාය.  ප්‍රතිමාවක බඳු ව්‍යංගාර්ථාත්මක ඍජු හිස ජලයෙන් මඳක් ඉහළට එසවී තිබිණු අතර විටෙක උරැහිසෙහි කවයත් දිග හළ අතක මුදු රේඛාවත් ජලයෙන් ඉහළට එසැවිණි. දිය දෙබෑ කරන අනෙක් අත විටෙක ඇයගේ මනාව වැඩුණු උස් ළය මඬල ආවරණය කළ අතර විටෙක එය නිරාවරණය කළේය. තාරකා මාලුවෙකුගේ හැඩයට වැල්ලෙහි තබන ලද සියුම් ලකුණක් බඳු නාභියෙන් යුතු ඇයගේ සුමුදු උදරය ජලයෙහි දරා සිටීම පිණිස ඇයගේ දෙපා ජලයේ චලනය වූයේ යාන්තමිනි. ජලය යටින් පරාවර්තනය වූ හිරුරැස් ඇයගේ සිරුර යාන්තමින් ස්පර්ශ කළේ වරෙක ඇයට එක්තරා ආකාරයක ඇඳුමක් නිර්මාණය කරමින්ද වරෙක ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම උනා දමමිනුත්ය .
ඇයගේ පිහිනීම එක්තරා ආකාරයක නර්තනයක් බවට පරිවර්තනය විය. ජලයෙහි පාවෙමින් ඔහු වෙත සිනා පෑ ඇය විටෙක සිය දෑත දෙපසට විහිදුවා සෙමෙන් කරකැවුවාය. විටෙක සිය දණහිස නවා තල්ලු කරමින් කුඩා මාලුවෙකු සේ පෙනෙන වක් වූ යටිපතුළ ජලය මතුපිටට ගෙන ආවාය. 
රබර් බෝට්ටුවෙහි සිටි උස්නෙල්ලි දෑස් හයා ගෙන මේ දර්ශනය නරඹන්නට විය. තමාට ජීවිතය විසින් ලබා දෙන මේ අවස්ථාව, දිලිසෙන හිරුගේ මධ්‍යය බලන්නට කෙනෙකුට අවස්ථාවක් ‍නොලැබෙන්නාක් මෙන්ම, විවර කරගත් දෙනෙතකින් බැලීමට සෑම කෙනෙකුටම ලැබෙන වරප්‍රසාදයක් නොවන බව ඔහු වටහා ගත්තේය.  මේ හිරුගේ මධ‍්‍යයේ වූයේ නිහඬතාවයි.  මේ මොහොතෙහි ඇති කිසිම දෙයක් වෙනත් දෙයකට පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත. වෙනකක් තබා ඇතැම්විට මතක ශේෂයක් බවට වත් පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත.
දැන් ඩේලියා පිහිනමින් සිටියේ ගුහාවේ මුවවිට අසළ උඩුබැලි අතට හැරී හිරු දෙස බලා ගෙනය. ඇය සැහැල්ලු චලනයකින් විවෘත මුහුද දෙසට ගමන් කරමින් සිටි අතර ඇයට යටින් වූ මුහුදෙහි නිල් පැහැය වෙනස් වමින් තිබිණි. ඒ නිල් පැහැය ක්‍රම ක්‍රමයෙන් ලා පැහැයටද වඩ වඩාත් දීප්තිමත් බවටද පත් වමින් තිබිණි.
“බලාගෙන, ඇඳුමක් දා ගන්න! ඔය කිට්ටුවට බෝට්ටු එනවා!”  
ඩේලියා දැනටමත් අහස යට වූ ගල් කුළු අතරට ගොස් සිටියාය. ජලය යටට කිමිදුණු ඕ සිය අත දිගු කළාය. උස්නෙල්ලි ඇය අතට රෙදි කඩවල් දෙක දුන්නේය. පිහිනමින්ම ඒවා ඇඳ ගත් ඇය ‍රබර් ඩිංගි බෝට්ටුවට ගොඩ වූවාය.
ඔවුන් වෙත ළඟා වමින් තිබුණේ ධීවරයන්ගේ බෝට්ටුය. උස්නෙල්ලි ඔවුන් හඳුනා ගත්තේය. මසුන් මරන කාලය පැමිණි විට වෙරළෙහි වූ ඇතැම් ගල් පර්වතයක සෙවණේ නිදන දුප්පත් මිනිසුන්ගෙන් සමහරෙක් ඒ අතර වූහ. ඔහු ඔවුන් වෙත සේන්දු විය. බෝට්ටුව හබල් ගසමින් සිටියේ තරුණයෙකි. දතක වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සිය පටු දෑස වැසෙන්නට සුදු පැහැති නාවික කැප් තොප්පියක් පැළඳ සිටියේය. ඔහු කෙටි වේගවත් හබල් පහරවල් දියට ගැසුවේ ඉන් ඔහුගේ වේදනාව අඩු වන්නාක් මෙනි. ඔහු පස් දරු පියෙකු වූ අතර බලාපොරොත්තු සුන් වූ කෙනෙක් විය.  බෝට්ටුවේ අවරයෙහි සිටියේ මහල්ලෙකි. ඔහුගේ මෙක්සිකානු මාදිලියේ පිදුරු තොප්පිය මහල්ලාගේ කෙසඟ සිරුරෙහි හිස මත වූ රශ්මි වළල්ලක් මෙන් විය. ඇතැම්විට එක්තරා යුගයක අභිමානයෙන් පුළුල්ව තිබෙන්නට ඇති ඔහුගේ රවුම් දෑස දැන් අයත් වූයේ බේබද්දෙකුටය. තවමත් කලු පැහැයෙන් යුත් එල්ලා වැටෙන උඩු රැවුලට යටින් ඔහුගේ මුව විවර විණි. ඔහු ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ ගල් මාළුවෙකු පිහියකින් ශුද්ධ කරමින් සිටියේය.
“ගොඩක් මාළු ඇල්ලුවද?” ඩේලියා හඬ නගා ප්‍රශ්න කළාය.
“ අනේ නෑ ටිකයි.” ඔවුහු පිළිතුරු දුන්හ. “මේ වාරෙ මහ සවුත්තුයි.”
ඩේලියා ප්‍රදේශවාසීන් සමග කතා කරන්නට ප්‍රිය කළාය. එහෙත් උස්නෙල්ලි එසේ නොකළේය. (ඔවුන් සමග කතා කරන විට “තමන්ගේ හෘද සාක්ෂිය අපහසුවට පත් වන්නේ” යැයි කියන ඔහු උරැහිස් හකුළා නිහඬ වෙයි.)
රබර් ඩිංගිය, දැන් අව්වට පිච්චුණු සායම් ඉරිතලා ගොස් ගැලවී හැලෙන ධීවර බෝට්ටුව පසෙක විය. එහි හබල් බෝට්ටුවේ බඳට තබා ලණුවකින් බැඳ තිබූ අතර ඒවා ගෙවුණු ලී බ‍ඳෙහි ගෑවෙන වාරයක් පාසා කිරි කිරි හඬක් නැගීය. බොහෝ කාලයකට පෙර වියැලුණු රතු පැහැති මුහුදු පැලෑටිවලින් වැසුණු කොකු හතරේ කුඩා නැංගුරමක් පැලැල්ලක පැටලී අසුනක් යට තිබිණි. ටැනින්වලින් සායම් කළ කෙළවරවල්වල රවුම් කිරළ ඇබ ගැට ගැසූ මාළු දැල් ගොඩ මත වූයේ පිලී ගඳ ගසන ලා අළු හෝ ලා නිල් පැහැති කොරපොතු ඇඳුම හැඳගෙන මුව හයා ගෙන සිටින මසුන්ය.  රුධිරයෙන් නිර්මිත ත්‍රිකෝණයකට යටින් ඔවුන්ගේ කරමල තවමත් ගැහෙන බවක් පෙනිණි. උස්නෙල්ලි සිටියේ නිහඬවය.  එහෙත් මේ මනුෂ්‍ය ‍ලෝකයේ වේදනාව වනාහී මීට ටික වේලාවකට පෙර ඔහු වෙත සන්නිවේදනය වමින් තිබුණු ස්වභාව සෞන්දර්යයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රපංචය විය.  මීට ටික වේලාවකට කලින් වූ තත්ත්වයේදී එය විස්තර කරන්නට ඔහුට වචන නොතිබිණි.  එහෙත් දැන් ඔහුගේ මනසෙහි එකිනෙකා පරයා නැගෙන වචන සමුදායක් පොර බැදුවේය.  මහලු මසුන් මරන්නාගේ සිහින්, අපිළිවෙළට බෑ රැවුල සහිත මුහුණෙහි වූ සෑම ඉන්නෙකු ගැනම සෑම රැවුල් ගසක් ගැනම මෙන්ම ගල් මාළුවාගේ සෑම රිදී පැහැති කොරපොත්තක් ගැනම  විස්තර කරන වචන එහි විය.
වෙරළෙහි තවත් බෝට්ටුවක් ගොඩට ඇද අනෙක් පැත්ත ගසා ලී කොට මත රඳවා තිබිණි. රාත්‍රිය මුළුල්ලේ මසුන් මරා දැන් ඒ බෝට්ටුව සෙවණේ නිදන මිනිසුන්ගේ පාවහන් රහිත දෙපා යටින් පෙනුණේය.  සම්පූර්ණයෙන්ම කලු පැහැති ඇඳුමකින් සැරසුණු මුහුණ නොපෙනෙන සේ ආවරණය කර ගත් ගැහැනියක් ඒ අසළ මුහුදු පැලෑටිවලින් ඇවුලූ ගින්නක් මත වළඳක් තබමින් සිටියාය. ඒ ගින්නෙන් දිර්ඝ දුම් රොටුවක් නැගෙමින් තිබිණි. ඒ වෙරළ අළු පැහැති පාෂාණවලින් ගහණ වූ අතර ඒ අතර දක්නට ලැබුණු වියැකුණු වර්ණ පදාස වෙරළෙහි සෙල්ලම් කරන ළමුන්ගේ ඇඳුම් විය. නහයෙන් අඬන වැඩිමහලු සොහොයුරියන් විසින් බාලයන් බලා ගැනිණි.  වැඩිහිටියන්ගේ  දිග කලිසම් කපා සාදා ගත් කොට කලිසම් පමණක් හැඳගත් මඳක් වයසින් වැඩි හා ක්‍රියාශීලී පිරිමි ළමෝ ගල් පර්වත සහ මුහුද අතර දුවමින් සිටියෝය. ඊට ඔබ්බෙන් වැලි සහිත ඍජු වෙරළ තීරයක් ආරම්භ විය. එය සුදු පැහැතිද පාලුද වූ අතර වෙරළෙහි එක් පැත්තක් තුනී බට කැලෑවක් සහ සී නොසෑ ඉඩම් තුළට අතුරුදන් වූයේය.
කලු පැහැති ඉරිදා ඇඳුමකින් සහ හිස්වැසුමකින් සැරසී කෝටුවක රැඳවූ කුඩා පොදියක් උරෙහි තබා ගත් තරුණයෙක්  ඒ වෙරළ තීරය දිගේ ඇවිදින්නට පටන් ගත්තේය.  ඔහුගේ පාවහන්වල වූ ඇණවලින් වැල්ල මත සලකුණු සටහන් විය. ඒ නොවැරදීම අසළ අභ්‍යන්තර ගමකින් පොළට හෝ වෙනත් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි ගොවියෙකු හෝ එඬේරෙකු මුහුදු සුළං වැදීම පිණිස මේ මාර්ගය තෝරා ගත්තා විය යුතුය.  දුම්රිය මාර්ගයේ වූ කම්බිද එහි ඉවුරද කණු සහ වැටවල්ද  පෙනිණි. ඉන් අනතුරුව දුම්රිය මාර්ගය බිම්ගෙයක් තුළට අතුරුදන් වූයේ ඊට ඔබ්බෙන් යළිත් මතුවී යළි අතුරුදන් වන්නටය.  දුම්රිය මාර්ගය සමතලා නොවූ රෙද්දක ගැසූ මැහුම් මෙන් විය.  අධිවේගී මාර්ගයේ කලු- සුදු සංඥා පුවරුවලට ඉහළින් වූ කඳු බෑවුම්වල ඔලිව් වතු තිබිණි. ඊටත් ඉහළින් කඳුවල කිසිදු වගාවක් නොකෙරුණු අතර එක්කෝ තණකොළවලින්, පඳුරුවලින් එසේ නැතහොත් ගල්වලින් පමණක් වැසී තිබුණේය.
මේ කඳු අතර වූ පැල්මක පිහිටා තිබූ ගමක් ඉහළට විහිදිණි. ගෙවල් වූයේ එකක් උඩ එකක් වශයෙනි. ගෙවල් අතර වූ ගල් ඇල්ලූ පාරවල්වල කොටළුවන්ගේ මළ මූත්‍ර පහසුවෙන් ගලා යා හැකි වන පරිදි ආනතිය පාරේ මැදට වන්නට සකස් කොට තිබිණි.  ඒ සෑම ගෙයකම දොරකඩ අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ වැඩිමහල් හෝ මහලු ගැහැනු සිටියෝය.  මිටි තාප්පවල හිඳගෙන අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ තරුණ හා මහලු පිරිමි සිටියෝය. ඔවුන් සියලු දෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කමිසය.  පියගැටපෙළවල් බඳු ඒ පාරවල් මැද ළදරුවෝ ක්‍රීඩා කළෝය. තරමක් වැඩිමහල් පිරිමි ළමයෙක් පාරෙහි වැතිර දොර පඩියකට හිස තබා ගෙන නිදාගෙන සිටියේ එතැන නිවෙස ඇතුළට වඩා මඳක් සිසිල්ද දුර්ගන්ධය අඩුද වූ බැවිනි.  සෑම තැනකම පියාඹන හෝ එකතැන කැරකෙන මැසි රංචු පිරී සිටියහ.  සෑම බිත්තියක්මත් ගිනි උඳුන් අසළ වූ සෑම කඩදාසි මල්දමක්මත් මැස්සන්ගේ අසූචිවලින් වැසී ගොස් තිබිණි.  උස්නෙල්ලිගේ මනසට එකිනෙක හා ඇලුණු ඝනැති වචන නොනැවතී ගලා එන්නට විය.  වාක්‍ය අතර විරාම නැති වචන ගලා එන්නට වූයේය.  අවසානයේදී ටිකෙන් ටික ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නට නොහැකි තැනට පත්විය. ඉතාම කුඩා සුදු පැහැති ඉඩ පවා අතුරුදන් වමින් ගොස් කලු පැහැය පමණක්, අත්‍යන්ත කලු පැහැය පමණක් ඉතිරි වූ, විලාපයක් බඳු භයානක පැටලුමක්  බවට ඒ වචන අවසානයේදී පරිවර්තනය වූයේය.










-ඉතලෝ කල්විනෝ (1923-1985)  

2011/12/19

ලේ සුවඳ

වන මධුවල තිබේ
නිදහසේ සුගන්ධය
දූලිවල ඇත්තේ
හිරු කිරණක සුවඳ
යුවතියක දෙඅදර
පිච්ච මල් සුවඳ වුව
දිලිසෙන රත්තරන්වල
කිසිදු සුවඳක් නැත


මින්‍යනෙත්* මලෙහි ඇත
ජලයේ සුගන්ධය
ප්‍රේමයේ ඇත්තේ
ඇපල් ඵලයක සුවඳ
එනමුදු සදාකල්හිම
දැනෙනු ඇත අපට මෙය
ලේවල තිබෙන්නේ
ලේවල සුවඳමය

-ආන්නා අක්මතෝවා (1889-1966)

ජේන් කෙන්යොන් රුසියානු බසින් කළ ඉංගිරිසි පරිවර්තනයෙනි 
* මින්‍යනෙත්:- මධ්‍යධරණී පෙදෙස්වල වැවෙන සුදු පැහැ මල් වර්ගයකි

2011/12/13

තරණය

















චිත්‍රය:- විලියම් මැක්ටගාර්ට්

හිරු බැස ගොස්ය
පායා ඇත ඉරබටු තරුව
යමෙකු මා කැඳවන හඬ
පැහැදිලිව ඇසෙයි මට
නැව් නැගී මා සයුර වෙත යන කල
වැලිපරයෙහි ගැටී නොනැගේවා හඬක්

තරඟ නැගුණද සයුර
පෙනෙන්නේ නිදිගත් සෙයකි
හඬක් නැගුමට හෝ
පෙණ විසිරවිය නොහැකි
අපරිමිත ගැඹුරකින්
නැගී වුත් උදම් රැළි
යළිත් මා නිවෙස වෙත
රැගෙන යන්නේ ඉදින්

ගොම්මන පැතිර යයි
නැගේ සැඳෑ කල සීනු හඬ
එළැඹෙනුය ඉන්පසුව
රෑ කල ගණ අඳුර !
මා නැව් නගින කල
සොවක්, සමුගැනීමක්
නොතිබේවා ඉදින්

කාලයෙන් දේශයෙන්
මා සිරුර වෙන්කොට
රැගෙන යන්නෙය මේ
ජලකඳ බෝ දුරට
වැලිපරය පසුකොට
මුහුණට මුහුණ ලා
මැවුම්කරු හමුවන්න
මම පතන්නෙමි ඉදින්









-ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892)

2011/12/04

නිල් ඇස්






- ඔක්තාවියෝ පාස් (1914-1998)





මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන  සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇ‍‍ඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙ‍ඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටිවල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළපාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන්පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇ‍ඟේ හැප්පෙන්න ගියා. නවාතැන්පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩිවෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පියවෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:

කොහෙද යන්නෙ?

හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.

ම්.... දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ.

උරැහිස් අකුළලා මං ඉක්මනට එනවා කියලා මුමුණපු මම අඳුරට වැදුණා. ඉස්සෙල්ලම මට කිසි දෙයක් පෙනුණෙ නෑ. ගල් අල්ලපු පාර දිගේ යන මගේ පය පැටලුණා. මම සිගරැට්ටුවක් පත්තු කර ගත්තා. එක පාරටම කලු වලාකුළක් මැදින් හඳ මතුවුණේ තැනින් තැන බිඳී ගියපු සුදු පාට තාප්පයක් එළිය කරමින්. ඒ සුදුපාටෙන් ගිනිකණ වැටුණු මම නැවතුණා. හීන් හුළඟක් හැමුවා. මම සියඹලා සුවඳ පිරිච්ච වාතය ආශ්වාස කළා. කොළවල සරසරයෙනුයි කෘමීන්ගෙනුයි පිරිච්ච රාත්‍රිය මුණුමුණු ගෑවා. උස් තණගස්වල රැහැයියෝ ලැගලා හිටියා. මම හිස ඔසවලා බැලුවා. ඉහළ අහසේ තාරකාත් වාඩිලා ගෙන. මට හිතුණේ විශ්වය කියන්නේ සංඥා සංකේත පිරුණු සුවිසල් පද්ධතියක් ය, යෝධ සත්ත්වයන් අතර කෙරෙන සංවාදයක් ය කියලයි.  මගේ ක්‍රියාවන්, රැහැයියාගේ හඬ, තාරකාවල දිලිහීම, මේ හැම දෙයක්ම ඒ සංවාදයෙන් තැන තැන විසිරුණු වාක්‍ය කෑලි, විරාම සහ අක්ෂර හැර වෙන දෙයක් නෙවෙයි. මම අකුරක් පමණක් වෙච්ච ඒ වචනය මොකක්ද ? ඒ වචනය කතා කරන්නේ කවුරුද ? ඒ වචනය අමතන්නේ කාටද ? මම සිගරැට්ටුව පදික වේදිකාවට වීසි කළා. වීසි වෙච්ච සිගරැට්ටුවෙන් දිලිසෙන කවයක් නිර්මාණය වුණා. පුංචි ධූම කේතුවකින් වගේ එයින් කුඩා ගිනි පුළිඟු විසිරුණා.

2011/11/29

කූඩු කළ සියොතුන් ගී ගයන්නේ ඇයි දැයි මම දනිමි













සුළඟ පිට උඩ නැගී
පහළට පාව විත්
සුළං රැළි නවතින තැන නැවත
රන්වන් හිරු රැසෙහි පියාපත් පොඟවනුය
නුබගැබට අයිතිකම් කියා කෑ ගසනුය
නිදහස් සියොත් තෙම

එනමුදු කූඩුවක් තුළ
හිස නගා ඔබ මොබ යන
වියරුවෙහි දැල මැදින්
එළිය ඉඳ හිට දකින
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට

නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම

ගස් අතරින් හමන මුදු සුළං රැළි ගැන
අලුයම බිම සිටින මහත පණුවන් ගැන
තමන් වෙත හමා එන තවත් සුළඟක් ගැන
කල්පනා කරනුය නිදහස් සියොත් තෙම
නුබ ගැබට අයිතිකම් කියනුය සෑම විට

සිහින වැලලූ තැන රැඳී සිට
ඇඟ කිළි පොලා යන නාදයක් පතුරුවන
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට

නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම









-මායා ඇන්ජලෝ (1928-)

2011/11/14

දෙවියන් චරණ යුග මල් තබා වඳින්නට....










දෙවියන් චරණ යුග මල් තබා වඳින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
පුරවාලනු මැන පළමු කොට
ප්‍රේමයේ සුවඳින් තම නිවෙස

දෙවියන් ඉදිරිපිට පහන් දල්වන්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
ඉවතලනු මැන පළමු කොට
හදවතින් පාපයේ ගණඳුර

දෙවියන් අබිමුවෙහි හිස නවා යදින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
ඉගෙන ගනු මැන පළමු කොට
මිනිසත්බවට හිස නවන්නට යටහත්ව

දෙවියන් අබියස දණ ගසා වඳින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
දණ නවනු මැන පළමු කොට
ඔසවන්නට පෑගෙන්නෙකු බිම හොත්ව

කළ පව් වෙනුවෙන් සමා අයැදින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
කමා කළ මැන හදවතින් පළමු කොට
වැරදි කළවුන්ට ඔබට එරෙහිව









- රබීන්ද්‍රනාථ ඨාකූර (1861-1941)

2011/11/07

යුදට ගිය පුතු










-ලුයිජි පිරන්දෙල්ලෝ (1867-1936)

රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියෙන් රෝමයේ සිට පිටත් වූ මගීන්ට ෆබ්රියානෝ හි පිහිටි කුඩා දුම්රිය පොළක අලුයම වනතුරු රැඳී සිටීමට සිදුවූයේ ප්‍රධාන දුම්රිය මාර්ගය සුල්මෝනා තෙක් සම්බන්ධ කළ මාර්ගයෙහි ධාවනය වන කුඩා, පැරණි පන්නයේ ප්‍රාදේශීය දුම්රිය පැමිණෙන තුරුය.

අලුයම උදාවූ විට, මිනිසුන් පස් දෙනෙකු රාත්‍රිය ගත කරනු ලැබූ දුමින් පිරුණු තද බද වූ දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියට , අවමංගල්‍යයකදී අඳින කලු ඇඳුමෙන් සැරසුණු තරබාරු කාන්තාවක කිසිදු හැඩයකින් තොර බර පොදියක් මෙන් ඔසවා තබනු ලැබුවාය. නහයෙන් පිඹිමින් සහ කෙඳිරි ගාමින් ඇගේ ස්වාමි පුරුෂයා ඈ පසුපසින් මැදිරියට ගොඩවූයේය. දුර්වල,කෙට්ටු, කුඩා මිනිසෙකු වූ ඔහුගේ මුහුණ මළ මිනියක් මෙන් සුදුමැළි වූ අතර ඔහුගේ කුඩා දීප්තිමත් දෑ‍සෙහි ලජ්ජාශීලීබවක්ද අසහනයට පත් බවක්ද දක්නට ලැබිණි.

අවසානයේදී අසුනක හිඳගත් හෙතෙම සිය බිරියට දුම්රියට ගොඩවන්නට උදව් කොට ඇයට වාඩිවීමට ඉඩ සාදා දුන් මගීන්ට විනීත ලෙස ස්තූති කළේය. ඉන් අනතුරුව සිය බිරිය දෙසට හැරුණු ඔහු ඇයගේ කබායේ කොලරය පහත් කරන්නට වෑයම් කරමින් “ ඔයා හොඳින් නේද? ”යි ආචාරශීලී ලෙස ඇගෙන් ප්‍රශ්න කළේය.

ඔහුගේ බිරිය ඊට පිළිතුරු දෙනු වෙනුවට කළේ සිය මුහුණ සඟවා ගන්නට මෙන් කබායේ කොලරය දෑස තෙක් ඔසවා‍ ගැනීමය.

“මහ නපුරු ලෝකයක්”. ඇගේ සැමියා ශෝකී සිනහවකින් තොල් මතුළේය.

තමන් දෙදෙනාගේ මුළු ජීවිතයම කැපකොට හදා වඩාගත් විසි හැවිරිදි යෞවනයකු වූ  සිය එකම පුතා යුද්ධය විසින් පැහැරගනු ලැබීමට යෑම ගැන මේ අසරණ ගැහැනියට අනුකම්පා කළයුතු වග දුම්රිය මැදිරියේ සිටි ගමන් සගයන්ට පැහැදිලි කර දීම සිය යුතුකම බව ඔහු සිතුවේය. වෙනකක් තබා ශිෂ්‍යයකු ලෙස ඔහු රෝමයට යන විට ඒ සමග යෑමට සුල්මෝනාවෙහි වූ සිය නිවෙසද ඔවුන් අත්හැර දමා තිබිණි.අඩුම වශයෙන් සය මසක් යනතුරුවත් යුද පෙරමුණට නොයවන්නේය යන සහතිකය මත ඔහුට ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳීමටද ඔවුන් අවසර දී තිබිණි. දැන්, හදිසියේම, දින තුනකින් ඔහු යුද පෙරමුණට යවන බවත් ඊට පෙර ඔහු බැහැදැක ඔහුට ආයුබෝවන් කියන ලෙසත් දන්වා ඔවුන්ට විදුලි පුවතක් ලැබී තිබුණේය.

2011/10/31

කෙටිම කෙටි කතාවක්

පාදුවා නුවර එක් උණුසුම් සැන්දෑවක ඔවුහු වහළය මතට ඔහු රැගෙන ගියෝය. ඒ ඔහුට වහළ මත සිට පහතින් ඇති නගරය පෙනෙනු පිණිසය. අ‍හසේ වැහි ලිහිණියෝ පියැඹූහ. මඳ වේලාවකින් අඳුරු වැටුණු අතර නිරීක්ෂක විදුලි එළි දැල්විණි.  සෙස්සෝ බෝතල්ද රැගෙන පහළට බැස්සෝය. ඔවුන් පහත සඳළුතලයේ සිට කතාබහ කරන හඬ ඔහුට සහ ලුස්ට ඇසිණි. ලුස් ඇඳ මත හිඳ ගත්තාය. උණුසුම් රාත්‍රියේ ඇය සිසිල්ද නැවුම්ද වූවාය.

තුන් මසක් තිස්සේ ලුස් රාත්‍රී සේවා මුරය වැඩ කළාය. ඇයට එසේ වැඩ කරන්නට දීම ගැන ඔවුහු සතුටු වූහ. ඔහු ශල්‍ය කර්මයට භාජනය කරන විට ඕ ඒ සඳහා ඔහු සූදානම් කළාය. ඔහු නිර්වින්දනය කරනු ලැබූ විට සිහිය නැතිවන තුරු පවතින විකාරමය කාලය තුළ නන් දෙඩවීම නතර කර ගැනීම පිණිස හෙතෙම තිර අදිටනින් කටයුතු කළේය. කිහිලිකරුවලින් ඇවිදින්නට හැකි වූ විට ඔහු වාට්ටුවේ සිටි අනෙක් රෝගීන්ගේ උෂ්ණත්වය සටහන් කිරීමට හුරු වූයේ ඒ කටයුත්ත කරන්නට රෑ පුරා අවදි නොවී ලුස් ට නිදා ගැනීමට හැකිවනු පිණිසය. වාට්ටුවේ සිටියේ රෝගීන් ටික දෙනෙකි. ඒ සියලු දෙනාම ඒ ගැන දැන සිටියෝය. ඔවුහු සියලු දෙනාම ලුස් ප්‍රිය කළහ. වාට්ටුව දිගේ නැවත ඇවිදගෙන යන ඔහු ලුස් තමාගේ ඇ‍ඳෙහි සිටින සැටි සිතේ මවා ගත්තේය.

ඔහු පෙරළා යුද පෙරමුණට යාමට පෙර ඔවුහු දෙව්මැදුර වෙත ගොස් යාඥා කළහ. දෙව්මැදුර ඇතුළත අඳුරුද නිශ්චලද වූ අතර තවත් අය එහි යාඥා කරමින් සිටියෝය. ඔවුන්ට විවාහ වීමට ඇවැසි වුවද පල්ලියේ පෙර නම් දීමට වේලාවක් නොතිබිණි. ඔවුන් දෙදෙනාටම උප්පැන්න සහතිකද නොවීය. තමන් විවාහක බවක් ඔවුන්ට  හැඟුණද ඒ ගැන සියලු දෙනාම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. එය නැති නොවී පවතිනු පිණිස විවාහය සිදු කරන්නට ඔවුන්ට අවශ්‍ය වූයේය.

ලුස් ඔහුට ලියුම් විශාල ප්‍රමාණයක් ලියූවද සටන් විරාමය අවසන් වනතුරුම ඔහුට ඒවා ලැබුණේ නැත. ලියුම් පහළොවක මිටියක් යුද පෙරමුණ වෙත ලැබුණු අතර ඔහු දින අනුපිළිවෙළින් ඒවා සකස් කොට නොනවත්වා කියවා ගෙන ගියේය. ඒ සියලු ලියුම්වල සඳහන් වූයේ රෝහලේ විස්තරත්, ඇය ඔහුට කෙතරම් ආදරය කරන්නේද යන්නත්, ඔහු නොමැතිව ජීවත්වීම කෙතරම් අසීරුද යන්නත්,රාත්‍රිය ඔහු නොමැතිව ගතකරන්නට වීම කෙතරම් පාලුද යන්නත්ය. 

ඔහු පෙරළා මවුබිමට යායුතු බවත් එසේ ගොස් ඔවුන්ට විවාහවීමට හැකිවන පරිදි ඔහු රැකියාවක් සොයාගතයුතු බවත් සටන් විරාමයෙන් පසුව ඔවුහු තීරණය කළහ. ඔහුට හොඳ රැකියාවක් ලැබෙන තුරු ලුස් මවුබිමට නොපැමිණීමටද එසේ රැකියාවක් ලැබුණු පසු ඇය නිව්යෝක් නගරයේදී හමුවීමටද තීරණය විය. ඔහු එක්සත් ජනපදයට ගිය පසු මත්පැන් පානය නොකරනු ඇතැයිද සිය පැරණි සගයන් සොයා සංචාරය නොකරනු ඇතැයිද අවබෝධ කොට ගැනිණි. එකම අරමුණ වූයේ රැකියාවක් සොයාගෙන විවාහ වීමයි. පාදුවාවේ සිට මිලානෝ තෙක් දුම්රියෙන් ගිය ගමන අතරතුර, ඉක්මනින් පෙරළා මවුබිමට යෑමට ඇය තුළ වූ නොකැමැත්ත සම්බන්ධයෙන් ඔවුහු දබර කර ගත්හ. මිලානෝ දුම්රියපොළේදී එකිනෙකාගෙන් සමුගන්නා වේලාව පැමිණි විට ඔවුන් සිප ගත්තද ඔවුන්ගේ දබරය අවසන්ව නොතිබිණි. ඒ ආකාරයෙන් ඇගෙන් සමුගන්නට සිදුවීම ගැන ඔහු නොසතුටට පත්විය.

ජෙනෝවාවෙන් පිටත් වූ නැවකින් ඔහු ඇමෙරිකාවට ගියේය. රෝහලක් පිහිටුවීම පිණිස ලුස් පොර්දොනෝනෙ වෙත ගියාය. එය වැසි සහිත හුදෙකලා ස්ථානයක් වූ අතර ඉතාලි හමුදාවේ විශේෂ බලකා සේනාංකයක් එහි වාඩිලා සිටියේය. මඩින් පිරුණු, වැසි සහිත නග‍රයේ සිසිර කාලය ගෙවා දමන අතර සේනාංකයේ අණදෙන මේජර්වරයා ලුස් සමග රමණයේ යෙදුණේය. ඊට පෙර ඉතාලි ජාතිකයන් හැඳින නොසිටි ලුස් අවසානයේ එක්සත් ජනපදයේ සිටි ඔහු වෙත ලියා යැවූයේ තමන් අතර තිබූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු සහ ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයකට වඩා වැඩි යමක් නොවූ බවයි. ඒ සම්බන්ධයෙන් ඇය කනගාටු වූ අතර ඇතැම්විට ඔහු කිසි දිනෙක එය වටහා නොගන්නා බව දැන සිටියාය. එහෙත් දිනෙක ඔහු තමාට සමාව දෙනු ඇතැයිද තමාට කෘතඥ වනු ඇතැයිද ඇය ලියා තිබිණි. එමෙන්ම සපුරාම බලාපොරොත්තු නොවූ ලෙස තමන් වසන්ත ඍතුවේදී විවාහ වන්නට අපේක්ෂා කරන බවද ඇය ලියා තිබුණාය. සැමදාමත් පරිදි තමා ඔහුට ආදරය කරන බවද එහෙත් තමන් අතර වූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු හා ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයක් වූ වග තමාට තේරුම් ගොස් ඇති බවද ලිපියේ සඳහන් විය. ඔහු සිය වෘත්තියේ ඉහළම හිණිපෙත්තට නගිනු ඇතැයිද තමා ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබා ඇතැයිද මේ සියල්ල වන්නේ හොඳට යැයිද ඇය ලියුවාය.

වසන්ත ඍතුවේදීවත් වෙන කවර කලකවත් මේජර්වරයා ඇය ආවාහ කොට නොගත්තේය. ඇය ඒ සම්බන්ධයෙන් චිකාගෝ නුවර වෙත යවන ලද ලිපියට කිසි දිනෙක පිළිතුරක් ලැබුණේද නැත. ඊට ටික කලකට පසුව ලින්කන් උද්‍යානය මැදින් කුලී රියක නැගී යන අතරතුර, චිකාගෝ වාණිජ මධ්‍යස්ථානයේ ඇති සුපිරි වෙළෙඳ සලක සේවය කළ තරුණියකගෙන් ඔහුට ගෝනෝරියාව වැළඳිණි. 









-අර්නස්ට් හෙමිංවේ (1899-1961)  


2011/10/25

දන්ත වෛද්‍යවරයා


චිත්‍රය:- ගෙරිට් ඩෝව්


සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය සාප්පුව විවෘත කළේය. වීදුරු කැබිනෙට්ටුව හැර එතුළින් බොරු දත් ඇන්දක් ගත් හෙතෙම උපකරණ කට්ටලයක් ගෙන ඒවායේ ප්‍රමාණය අනුව මේසය මත පිළිවෙළින් තැබුවේ හරියට ප්‍රදර්ශනයකට මෙනි. රත්රන් බොත්තමකින් කර පියැවුණු කොලරය නැති ඉරි වැටුණු කමිසයකින්ද උරැහිස් පටිවලින් එල්ලුණු කලිසමකින්ද ඔහු සැරසී සිටියේය. ඔහු ඍජු සිහින් මිනිසෙකු වූ අතර තමන් ජීවත් වන වටපිටාවට කෙසේත්ම නොගැලපෙන, ශ්‍රවණාබාධිත මිනිසුන් කෙරෙහි වන පෙනුමක් ඔහු සතු විය.

මේසය මත උපකරණ පිළිවෙළට තැබීම අවසන් කළ හෙතෙම විදින කටුව ආසනය ළඟට ගෙන බොරු දත් ඇන්ද ඔප දැමීමට පටන් ගත්තේය.  ඔහු තමන් කරන කාර්යය සිතා බලා නොකරන බවක් පළ කළද, විදින කටුවට බලය දෙන පැඩලය අවශ්‍යතාවකින් තොරව වුව පාගමින් හෙතෙම නොනැවතී වැඩ කළේය.


ජනේලයෙන් අහස බැලීම පිණිස උදෑසන අටට ඔහු සිය කාර්යය මඳකට නතර කළේය. යාබද නිවෙසේ වහළය මත කල්පනාභරිත ගිජුලිහණියන් දෙදෙනකු හිරුරැස් නාන සැටි ඔහුට පෙනිණි. ඔහු නැවත සිය කාර්යය ආරම්භ කළේ දිවා ආහාරයට පෙර නැවත වැසි ඇද වැටෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් යුතුවය. සිය එකොළොස් හැවිරිදි පුතුගේ තියුණු කටහඬින් ඔහුගේ අවධානය බිඳී ගියේය.


"තාත්තේ"


"මොකද ? "


" නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා"


"කියන්න මම නෑ කියලා. "


ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාම‍රයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා".


දන්ත වෛද්‍යවරයා දිගින් දිගටම දත පරීක්ෂා කරන්නට විය. කාර්යය අවසන් කොට එය මේසය මත තැබීමෙන් අනතුරුව පමණි ඔහු කතා කළේ:


"ඒක වඩාත් හොඳයි. "


ඔහු නැවතත් විදින කටුව ක්‍රියාත්මක කළේය. වැඩ අවසන් නොකළ දත් ඇඳි සහ කොටස් දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දත් ඇඳි කොටසක් ගත් ඔහු එහි වූ රත්රන් කොටස් ඔප දමන්නට විය.


"තාත්තේ"


"මොකද ? "


ඔහුගේ පෙනුම තවමත් වෙනස් වී නොතිබිණි.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා එයාගේ දත ගැලෙව්වෙ නැත්නම් වෙඩි ති‍යනවා කියලා."


කිසිදු කලබලයකින් තොරව අති ශාන්ත චලනයකින් යුතුව විදින කටුවෙහි පෙඩලය පෑගීම නතර කළ ‍ඔහු මේසයේ පහළම ලාච්චුව විවෘත කළේය. එහි රිවෝල්වරයක් තිබිණි. " හොඳයි "  ඔහු කීවේය. "කියන්න එයාට ඇවිල්ලා වෙඩි තියන්න කියලා".


කැරකෙන පුටුව දොරට මුහුණලා සිටින පරිදි ඇදගත් ඔහු ලාච්චුවේ කෙළවර මත සිය අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොර අබියසට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි වම් පැත්තේ රැවුල බා තිබුණු අතර වේදනාවෙන් ඉදිමුණු අනෙක් පැත්තෙහි දින පහක රැවුලක් විය. අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු රාත්‍රී රැසක ලකුණු නගරාධිපතිවරයාගේ දීප්තියෙන් තොර දෑසෙහි දන්ත වෛද්‍යවරයා දුටුවේය. සිය ඇඟිලි තුඩුවලින් සෙමෙන් ලාච්චුව වැසූ ඔහු මෘදු ලෙස කතා කළේය.


"වාඩි‍ වෙන්න. "


"සුබ උදෑසනක්, " නගරාධිපතිවරයා කීය.


"සුබ උදෑසනක් "  දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.


උපකරණ නටන ජලයෙහි තැම්බෙන තුරු නගරාධිපතිවරයා රෝගීන් වාඩි වෙන පුටුවෙහි හිඳගෙන එහි හිස රඳවනයේ හිස තබා ගත්තේය. ඔහුට පහසුවක් දැනිණි. ඔහුගේ සුසුම් දැඩි ශීතලෙන් යුක්ත විය.  දන්ත වෛද්‍යවරයාගේ කාමරය දුගී පෙනුමෙන් යුක්ත විය; පැරණි ලී පුටුව, පෙඩලයකින් ක්‍රියාත්මක වන විදින කටුව සහ පිඟන්මැටි බෝතල දැමු වීදුරු කැබිනෙට්ටුව ඒ බව කියා පෑය. පුටුවට ඉදිරිපසින් වූයේ උරැහිස් මට්ටමින් තිරයක් දැමූ ජනේලයකි. දන්ත වෛද්‍යවරයා තමා වෙත ළං වනු දැනුණු නගරාධිපතිවරයා පොළොවේ තදින් පය ගසාගෙන මුව විවෘත කළේය.


අවුරේලියෝ එස්කොබාර් නගරාධිපතිවරයාගේ හිස විදුලි බුබුල දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ හෙතෙම ප්‍රවේසමෙන් ඔහුගේ මුව වැසීය.


"නිර්වින්දන බෙහෙත් නැතුවයි දත ගලවන්න වෙන්නේ" ඔහු කීවේය.


"ඒ ඇයි ? "


" නරක් වෙච්ච දත ඇතුළෙ සැරව ගෙඩියක් තියෙන නිසා. "


නගරාධිපතිවරයා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවේය. " කමක් නෑ" යි කී ඔහු සිනාසෙන්නට වෑයම් කළේය. වෛද්‍යවරයා පෙරළා සිනා සුණේ නැත. ජීවානුහරණය කරන ලද උපකරණ සහිත බේසම ගත් ඔහු එය මේසය මත තබා කුඩා අඬුවකින් උපකරණ එකිනෙක එළියට ගත්තේ කිසිදු හදිසියකින් තොරවය.  ඉන් අනතුරුව කෙළ ගසන භාජනය සපත්තුවේ තුඩෙන් තල්ලු කළ හෙතෙම දෑත සෝදා ගැනීම පිණිස සෝදන බේසම වෙත ‍ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපතිවරයා දෙස නොබලමිනි. එහෙත් නගරාධිපතිවරයා ඔහු කෙරෙන් සිය බැල්ම ඉවත‍ට නොගත්තේය.


එය යටි හනුවේ ති‍බූ ඥාන දතක් විය. සිය දෙප දෙපසට විහිදවූ වෛද්‍යවරයා උණුසුම් අඬුවකින් දත තදින් අල්ලා ගත්තේය.  පුටුවේ ඇඳි තද කොට අල්ලා ගත් නගරාධිපතිවරයා සිය දෙපය මුළු වීරිය යොදා පොළොවේ ගසා ගත්තේය.  අයිස් බඳු ශීතල හිස්බවක් සිය වකුගඩුවලට දැනුණද ඔහු නොවේ කිසිදු හඬක් නැගුවේ. දන්ත වෛද්‍යවරයා චලනය කළේ සිය මැණික් කටුව පමණි. ද්වේශයෙන් තොරව එහෙත් සැරපරුෂ මෘදුබවකින් යුතුව ඔහු කතා කළේය:


" අපේ මැරිච්ච මිනිස්සු විසි දෙනා වෙනුවෙන් දැන් ඔබතුමා වන්දි ගෙවාවි. "


ජර ජර අනුකරණයෙන් සිය හනුවේ වූ අස්ථි බිඳි යන සැටි නගරාධිපතිවරයාට දැනිණි. ඔහුගේ දෑස කඳුළෙන් පිරී ගියේය.  එහෙත් දත ගැලවී එළියට එන තුරුම ඔහු හුස්ම නොගත්තේය. අවසානයේ කඳුළු මැදින් ඔහු දත දුටුවේය.  එය ඔහුගේ වේදනාවට කෙතරම් ආගන්තුක වීද යත් පසුගිය දවස් පහ තුළ එය කරණ කොට ගෙන තමන් විසින් විඳින ලද දරුණු වධය වටහා ගැනීමට ඔහු අපොහොසත් විය.


දහදියෙන් පෙඟී, හතිලමින් සිය කමිසයේ බොත්තම් ගැලවූ හෙතෙම කෙළ ගසන භාජනයට උඩින් නැවී කලිසම් සාක්කුවේ වූ ලේන්සුව සොයන්නට විය.  දන්ත වෛද්‍යවරයා ඔහුට පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්නේය.


" ඔය කඳුළු පිහ දා ගන්න, " දන්ත වෛද්‍යවරයා කීවේය.


නගරාධිපතිව‍රයා එසේ කළේය. ඔහු වෙව්ලමින් සිටියේය. දන්ත වෛද්‍යවරයා සිය දෑත සෝදන අතරතුර ගරාවැටෙන සිවිලිමද මැරුණු කෘමීන් සහ මකුළු බිත්තර රැඳි දූවිලි වැකුණු මකුළු දැලක්ද නගරාධිපතිවරයාට පෙනිණි. සිය දෑත පිසදමමින් වෛද්‍යවරයා පැමිණියේය. "ටිකක් නිදා ගන්න" ඔහු කීවේය. "ලුණු වතුරෙන් කට සෝදන්න. " නගරාධිපතිවරයා නැගී සිටියේය. සාමාන්‍ය හමුදා ආචාරයකින් වෛද්‍යවරයාට ආචාර කළ හෙතෙම දෙපා දිගහරිමින් දොර දෙසට ඇවිද ගෙන ගියේය. ඔහුගේ කමිසයෙහි තවමත් බොත්තම් දමා නොතිබිණි.


" බිල එවන්න. " ඔහු කීවේය.


" ඔබතුමාටද නැත්නම් නගරසභා කාර්යාලයටද? "


නගරාධිපතිවරයා ඔහු දෙස නොබැලුවේය. දොර වැසූ ඔහු දොර පැලැල්ල මැදින් කතා කළේය:


" ඔය දෙකම එකයි. "



- ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් (1927-)

සෙවුම්