2011/07/30

විස ගස













කෝප ගත්තෙමි මම මා මිතුරා සමග
ඔහුට කීවෙමි ඒ වග, නිවිණි මා කෝපය
කෝප ගත්තෙමි මම මා සතුරා සමග
නොකීවෙමි ඔහුට ඒ වග, දළු ලා වැඩිණි කෝපය

දිව රෑ හෙලූ කඳුළෙන්, බියෙන්
වත් කළෙමි ජලය ඒ මත
නැහැව්වෙමි සිනාවේ හිරු රැසින්
මුසා මෘදු රැවටිලි සමග

දිවා රෑ වැඩිණි එය දළු ලමින්
අවසන හටගැනිණි එහි ඵලයක්
බැලී මා සතුරා දිලිසෙන ඵලය දෙස
එය මා සතු බව හොඳින් දැන ගෙනම

නිශා කල එළැඹුණු විට
ඇතුළු විය ඔහු උයනට හොරෙන්
පසුදා උදෑසන බැලිමි මම ප්‍රීතියෙන්
ගස යට හොත් අයුරු ඔහු සිරුර පණසුන්














-විලියම් බ්ලේක් (1757-1827)

2011/07/27

ජීවිතේ ඇරඹුම











දුටිමි තෙත් වැල්ල මත සටහන්ව ඇති
දරුවකු තැබූ සිඟිති පා පොඩිති
සැණෙකින් දැනුණි වැටහුණු බවක්
ජීවිතේ ඇරඹුම කොතැනදැයි

හුදකලාවම රැඳුණි මා එතැන
නිහඬව, නිමග්නව සිතිවිල්ලෙන්
දුටුවේ පා පොඩිති පමණක් වුව
දුටුවෙමිය අරුණැල්ල ජීවිතේ


-කොලාවු නදිරාද්සේ

2011/07/20

මගේ ගීතය

මා ගයන ගීතයේ මියැසිය
සෙනෙහසේ මුදු දෑතක් පරිද්දෙන්
ආදරෙන් ඔබ වැළඳ ගනු ඇත
ආසිරි පැතුම් පිරි
චුම්බනයක් විලස
ඔබේ නළලත මුව තබනු ඇත

මා ගයන ගීතය
තනිව ඔබ සිටින කල
තනියට ළඟින් හිඳ
දෙසවනට රහසින් දොඩනු ඇත
බොහෝ මිනිසුන් මැද
හුදකලා වන්නට
මගේ ගීතය කියා දෙනු ඇත

ඔබගේ සිහින වෙත
ලබා දී පියාපත්
බොහෝ දුර ඈතට
ඔබ රැගෙන යනු ඇත
ගණ අඳුරු රෑ කල
මග හසර කියා දෙන
අහස්කුස දිදුලන
තරුවක්ම වනු ඇත

මා ගයන ගීතය
ඔබේ දෙනයන මත
සදාකල්හිම රැඳෙනු ඇත
අඳුරු කඩතුරා හැර
ඇති තතු බලන්නට
මගේ ගීතය කියා දෙනු ඇත

අවසන මරණයෙන්
මා නිහඬ වූ කල
මගේ ගීතය
ඔබේ හද තුළ
සදාකල් ජීවනයම
ලබනු ඇත
  
-රබීන්ද්‍රනාථ ඨාකූර්

2011/07/13

මවුබිම අතැර ගොස්.....











ඔබ නයන කැළුම්වල
ජීවිතේ සෝ තැවුල් දුරලන
මායාවක් රැඳී ඇත
අහෝ පෙම්බර දේශය

බරැති වූ මී දුමක්
හදවතේ රැඳී ඇත
ඔබ අතැර යන විට
කෑ ගසා මොරදුන්
පිපාසයකින් මගේ
ජීවිතය පිරී ඇත

කඳුළින් වැසී ගිය
නිහඬ වූ දෙනෙතකින්
හංස ගීතිකා ගයන
උපන් බිම අතැර ගිය
පිටුවහලා මා ය

මහපොළොව ගැඹරෙන්
යැදුමෙහි නාදයෙන්
දෑස තුළ සැඟවුණු
අඳුරෙහි මධ්‍යයෙන්
විප්‍රවාසයේ දුක
නැගී එයි යළි යළිත්

බුර බුරා නැගෙන දුක්
හදවතේ සඟවමින්
අකුරු පදවැල් ලියමි
බොඳවූ දෑසකින්


-මෝනා අල්-ගසල් අලිවට්

2011/07/01

රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම



රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම

ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්
මහා වරුසාවේ
ඇවිද ගොස් ඇත්තෙමි පසු කර
අවසන් පහන් එළියද නග‍රයේ

පසුක‍ර ගොසින්
වීදි සරනා රැකවලුන්
සඟවා ගෙන මුහුණ
හේතු කීමට නොරිස්සෙන්
හෙලා ඇත්තෙමි දෙනෙත්
දුක්බරම වීදි දෙස නගරයේ

ඈත වීදියකින් නැගී
නිහඬ බව බිඳ හෙලන
හඬකට සවන් දී
නිසලව නැවත ඇත්තෙමි
හඬ නොනගා දෙපා
එනමුදු ඒ නැගුණු හඬ
මා අමතනු නොවේ

බොහෝ උස් තැනක දිදුලන
අහස පරයා නැගි ‍හෝරා කණුව
පැවසීය වේලාව
හරිත් නැත වැරදිත් නැතැයි


රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම


-රොබට් ෆ්‍රොස්ට්

සෙවුම්