2011/08/29

ජීවිතයේ අරුත


කොපමණ කලක්
ජීවත් වේද
මිනිසෙකු අවසන ?
දස දිනක් ජීවත් වේද ඔහු
නැතිනම් එකමෙක දිනක් පමණක් ?
සතියක්ද දිවි ගෙවන්නේ ඔහු
එසේ නැත්නම් සියවස් ගණනක් ?
කොපමණ කලක්
ගෙවන්නෙද
මිනිසෙකු මිය යමින් ?
සදහටම යන්නෙහි
අරුත කිම එසේනම් ?


-පැබ්ලෝ නෙරූදා (1904-1973)

2011/08/24

සැඟවුණු මතකය















සිහිල් ළිං පත්ලක රැඳුණු
සුදො සුදු ගල් කැටයක් පරිද්දෙන්
මා හදවත ගැඹර
සොඳුරු මතකයක් සැඟව ඇත
අමතක කරනු නොහැක මට එය
එයම වේ මා දුකද සතුටද

මා දෑසට එබෙන කවර කෙනෙකුට වුවද
දකිනු හැකිවෙතැයි එය කල්පනා කරමි මම
ඒ දකින කවුරු හෝ දුකට පත් වනු ඇත
දුක්බර කවියකට සවන් දුන් කලක මෙන

බොහෝ කලකට පෙර දෙවිවරු උමතුවෙන්
පත් කළෝ මිනිසුන් හැඟුම් නොමරා අජීවි බවට
ඔබ මගේ අතීතය බවට පෙරළී ඇත
හද පෙළන ශෝකය සදාකාලික කරන්නට














-ආන්නා අක්මතෝවා (1889-1966)

2011/08/17

(දෙ) හදවතේ රාවය
























අළුවන් මහ සයුර, අඳුරුවන් ගොඩබිම
කහවන් විසල් අඩසඳ නුබ ගැබ රැඳී ඇත
නිදිගත් සයුර මත වැටී ඇත සඳඑළිය
සෙමෙන් නැගෙමින් බිඳෙයි රිදීවන් රළ පතර
දියතලය මත ඇදී මා කුඩා ඔරු ඇණිය
නවතියි වෙරළ ඉම තෙත වැලිතලය මත

කරදිය සුවඳ රැඳි වෙරළෙහි ඇවිද ගොස්
කෙත්වතුද පසු කොට ගොවිපොළක් දකින තෙක්
ගොවිපොළ මැද පිහිටි නිවෙසේ කවුළුවට
තට්ටු කරනෙමි මම හඬ නොනැගෙන පරිදි
තියුණු කෙටි හඬක් ගා විවර වෙයි දොර පියන
නිල් පැහැති මද එළිය පැතිරෙයි හාත්පස
බියෙන් සතුටින් පිරී කොඳුරනා කටහඬ
දෙහදවත ගැහෙන රාවයටත් අඩුය .....













 -රොබට් බ්‍රවුනිංග් (1812-1889)

2011/08/10

දුරුත්තේ රාත්‍රිය














දුරුත්තේ රාත්‍රිය, නිසලය, උදුලය
නදී තෙර අසබඩ, ගල්කුළු අතරත
ඔබ ළඟම මම

විස්මයක්, පෙළහරක්
සොයමින් ගැහෙයි
හදවත

අහසෙන් තරුවක් වැටෙයි නම්
අල්ලා ගත යුතුය එය
මා සුරත දිගු කොට
















-රෆායෙල් අල්බෙර්තෝ අරියේතා (1888-1968)


2011/08/07

ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව


                                චිත්‍රය: බර්නාර්දෝ කවල්ලිනෝ ගේ 'Adoration of the Magi'
ජේසු බිලිඳා ජුදයාවේ බෙත්ලෙහෙම් නුවර උපත ලැබූ විට ඔහු බැහැදැකීමට පෙරදිග සිට ශාස්ත්‍රවන්තයන් තිදෙනෙකු පඬුරුද රැගෙන පැමිණි බව බයිබලයේ සඳහන් වේ.  අහසේ පායා තිබූ ජේසු බිලිඳාගේ තාරකාව කී මග හසර ඔස්සේ පෙරදිග සිට ( සමහරු මෙය පැරණි පර්සියාව යැයි කියති) ජෙරුසලමට පැමිණි මේ ශාස්ත්‍රවන්තයන් "මෙහි උපන් යුදෙව්වන්ගේ රජු කවුරුන්ද? අපි ඔහුගේ තාරකාව පෙරදිග අහසේ දුටුවෙමු" යැයි පැවසූ බව බයිබලය කියයි. මෙම ශාස්ත්‍රවන්තයෝ පැරණි ලෝකයේ විද්‍යාවන් වූ ඉන්ද්‍රජාල ශාස්ත්‍රය, නක්ෂත්‍රය ආදියෙහි ප්‍රාමාණිකයෝ වූහ.  

එයින් එක් ශාස්ත්‍රවන්තයකු ජේසු බිලිඳා බැහැදැකීමට ගිය ගමනෙන් බොහෝ කලකට පසු එම දීර්ඝ යාත්‍රාව පිළිබඳව කරන අතීතාවර්ජනයකින් මෙම කවිය සමන්විත වෙයි.

ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ඉන්ද්‍රජාල විද්‍යා, නක්ෂත්‍රය සහ ස්වභාවික වස්තූන් වන්දනාව ආදියෙන් සමන්විත පැරණි ලෝකයේ මරණය සනිටුහන් කළේය. බොහෝ කලකට ඉහත ඒ පැරණි ලෝකය තිබියදී තමන් විසින් යෙදුණු දීර්ඝ, දුෂ්කර යාත්‍රාව පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙන කථකයා ක්‍රිස්තෝත්පත්තියත් සමගින් තමාගේ ඒ පැරණි ලෝකය මියගිය බවත් තමාටද සිය අවසානය ළඟා වනතුරු බලා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට යමක් ඉතිරිව නැති බවත් ප්‍රකාශ කරයි.

 ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව

"පෙලුණෙමු අපි දැඩි ශීතයෙන්
විය එය සිසිරයේ දරුණුතම සමය
එවන් දිගු ගමනක යෙදීමට
නරකම කාලයයි එය
දුෂ්කරය අප විසින් ගත් මග
කාලගුණයද බෙහෙවින් කටුක විය"
වණව ගිය සිවු පාවලින් යුතු ඔටු කැළ
දියව යන හිම මත මුරණ්ඩුව වැතිර
මැළි කළෝ තව දුරටත් ඉදිරියට යාමට
කඳු බෑවුමෙහි ඉදි කළ මාළිග, උයන්වතු
සරුවත් රැගෙන එන සේදවන් යුවතියන්
ගැන සිතා පසුතැවුණෙමු අපි ඇතැම්විට
රවන, ගොරවන, ශාප කරනා ඔටු පල්ලෝ
පැන ගියෝ සුරාවද ගැහැනුන්ද සොයමින්
නිවිණි රෑ කල ගිනි මැලය, වහළක් නොවිණි
අප හිස්වලට ඉහළින්
සතුරු විය මහ නගර අපහට
මිතුරුකම් නොපෑයේ මග වූ නියම් ගම්
අපිරිසිදු වීය ගම්දොර, ගෙවන්නට වූයේය
අධිකතර මිල ගණන්
විඳින්නට වීය අපහට කටුක දුක් පිරිපතම
කඩින් කඩ නින්දට වැටී
රෑ මුළුල්ලේ ගමන් කැරුමට
අවසානයේ අපට ප්‍රිය විය
මේ සියල්ලම මුග්ධ කමකැයි
කියන හඬකින් පිරිණි සවනත

එසඳ අලුයම උදා වූ කල
පැමිණියෙමු අපි සෞම්‍ය නිම්නයකට
හිම තීරයට පහළින් පිහිටි එහි
ගස් කොළන්වල සුවඳ විසිරිණ
ගලා ගිය දොළක් විය,
දිය මෝල නගන හඬ
අඳුර විනිවිද ඇසිණ අප හට
පහත සිතිජය ඉම වෘක්ෂයන් තුනක් විය
මහලු සුදු තනි අසෙකු පැන දිවී තණබිම
පැමිණියෙමු අපි අවන්හලකට
මිදිවැලකින් හෙවුණු දොරකින් යුතු වූ
පයින් ගසමින් හිස් මිදිපැන් පැස්වලට
සය දෙනෙක් සූදු කෙළියෝ එතුළ
තබමින් රිදී පරදුවට
කිසිවකු නොදත්තෙන් අප විමසූ කරුණ
නික්මුණෙමු එතැනින් යළි මහමගට වැද
පැමිණියෙමු අපි එදින සවසම
සොයාගිය තැනට නිසි වෙලාවට
පත්වීමු අපි ඉන් සැනසුමට
(එසේ විණියැයි ඔබ කියනු ඇත)

මේ සියල්ලම බොහෝ කලකට පෙර සිදුවුවද
රැඳී ඇත ඒ මා මතකයේ තිරවම
යළිදු එවැනි ගමනක යෙදීමට
ඇවැසි වුවහොත් යමි ඉදින් නොපැකිළවම
එනමුදු ලියා තබනෙමි මෙය, ලියා තබනෙමි මෙය:
එපමණ දුරක් රැගෙන යනු ලැබුවේ අප
උපතක් හෝ මරණයක් දැකුමටද ?
එහි වීය උපතක් නිසැකවම
නැත එහි කිසිදු කුකුසක් අත්දුටිමු එය 
දැක ඇත්තෙමි මම ඉපදීම සහ මරණය
එහෙත් සිතුවෙමි ඒ දෙකක් යැයි
එනමුදු මේ උපත මරණය මෙන්ම
ගෙන ආය අප වෙත දැඩි වේදනාවම
අපගේම මරණය බඳුව
පෙරළා පැමිණියෙමු අපි
අපගේ රාජධානි වෙත
එනමුදු පැරණි දෙව් සසුන මැද
දෙවිවරුන් දැඩිව ගත් නුහුරු මිනිසුන් මැද
නොදැනේය තවදුරටත් පහසුවක්
තුටුවිය යුතුය මා
වේනම් ඉදින් තව මරණයක්











-ටී.එස්.එලියට් (1888-1965)


2011/08/03

සිසිරයේ තුරුපත









ඉක්ම ගොසිනිය බෝ කල්
නැතිව ගොස් මහදෙහි ආශා
මා සිහින මා කෙරෙන්
දුරස්ව ගොසිනි බෝ සේ
ඉතිරිව තිබෙන්නේ
ශෝකය පමණි සපුරාම
හිස්ව ගිය මා හදවතේ

දෙව් නියමය නමැති
දයා විරහිත කුණාටුව වැද
කුසුම් පිරි මල්දම විසිර ඇත
වසන්නෙමි මම හුදකලාවම
මගේ අවසන දකිනු රිසියෙන

වසන්නෙමි මම හුදකලාවම
සිසිරයේ දැඩි සීත සුළඟෙහි
තුරුපතින් තොර පාලු අත්තක
හේමන්තයද ඉක්මවා බෝ කල්
රැඳුණු එකමෙ'ක තුරුපතක් ලෙස











-අලෙක්සාන්දර් පුෂ්කින් (1799-1837) 

සෙවුම්