Monday, 29 August 2011
Wednesday, 24 August 2011
සැඟවුණු මතකය
සිහිල් ළිං පත්ලක රැඳුණු
සුදො සුදු ගල් කැටයක් පරිද්දෙන්
මා හදවත ගැඹර
සොඳුරු මතකයක් සැඟව ඇත
අමතක කරනු නොහැක මට එය
එයම වේ මා දුකද සතුටද
මා දෑසට එබෙන කවර කෙනෙකුට වුවද
දකිනු හැකිවෙතැයි එය කල්පනා කරමි මම
ඒ දකින කවුරු හෝ දුකට පත් වනු ඇත
දුක්බර කවියකට සවන් දුන් කලක මෙන
බොහෝ කලකට පෙර දෙවිවරු උමතුවෙන්
පත් කළෝ මිනිසුන් හැඟුම් නොමරා අජීවි බවට
ඔබ මගේ අතීතය බවට පෙරළී ඇත
හද පෙළන ශෝකය සදාකාලික කරන්නට
-ආන්නා අක්මතෝවා (1889-1966)
Wednesday, 17 August 2011
(දෙ) හදවතේ රාවය
අළුවන් මහ සයුර, අඳුරුවන් ගොඩබිම
කහවන් විසල් අඩසඳ නුබ ගැබ රැඳී ඇත
නිදිගත් සයුර මත වැටී ඇත සඳඑළිය
සෙමෙන් නැගෙමින් බිඳෙයි රිදීවන් රළ පතර
දියතලය මත ඇදී මා කුඩා ඔරු ඇණිය
නවතියි වෙරළ ඉම තෙත වැලිතලය මත
කරදිය සුවඳ රැඳි වෙරළෙහි ඇවිද ගොස්
කෙත්වතුද පසු කොට ගොවිපොළක් දකින තෙක්
ගොවිපොළ මැද පිහිටි නිවෙසේ කවුළුවට
තට්ටු කරනෙමි මම හඬ නොනැගෙන පරිදි
තියුණු කෙටි හඬක් ගා විවර වෙයි දොර පියන
නිල් පැහැති මද එළිය පැතිරෙයි හාත්පස
බියෙන් සතුටින් පිරී කොඳුරනා කටහඬ
දෙහදවත ගැහෙන රාවයටත් අඩුය .....
-රොබට් බ්‍රවුනිංග් (1812-1889)
Wednesday, 10 August 2011
Sunday, 7 August 2011
ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව
චිත්‍රය: බර්නාර්දෝ කවල්ලිනෝ ගේ 'Adoration of the Magi'
එයින් එක් ශාස්ත්‍රවන්තයකු ජේසු බිලිඳා බැහැදැකීමට ගිය ගමනෙන් බොහෝ කලකට පසු එම දීර්ඝ යාත්‍රාව පිළිබඳව කරන අතීතාවර්ජනයකින් මෙම කවිය සමන්විත වෙයි.
ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ඉන්ද්‍රජාල විද්‍යා, නක්ෂත්‍රය සහ ස්වභාවික වස්තූන් වන්දනාව ආදියෙන් සමන්විත පැරණි ලෝකයේ මරණය සනිටුහන් කළේය. බොහෝ කලකට ඉහත ඒ පැරණි ලෝකය තිබියදී තමන් විසින් යෙදුණු දීර්ඝ, දුෂ්කර යාත්‍රාව පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙන කථකයා ක්‍රිස්තෝත්පත්තියත් සමගින් තමාගේ ඒ පැරණි ලෝකය මියගිය බවත් තමාටද සිය අවසානය ළඟා වනතුරු බලා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට යමක් ඉතිරිව නැති බවත් ප්‍රකාශ කරයි.
ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව
"පෙලුණෙමු අපි දැඩි ශීතයෙන්
විය එය සිසිරයේ දරුණුතම සමය
එවන් දිගු ගමනක යෙදීමට
නරකම කාලයයි එය
දුෂ්කරය අප විසින් ගත් මග
කාලගුණයද බෙහෙවින් කටුක විය"
වණව ගිය සිවු පාවලින් යුතු ඔටු කැළ
දියව යන හිම මත මුරණ්ඩුව වැතිර
මැළි කළෝ තව දුරටත් ඉදිරියට යාමට
කඳු බෑවුමෙහි ඉදි කළ මාළිග, උයන්වතු
සරුවත් රැගෙන එන සේදවන් යුවතියන්
ගැන සිතා පසුතැවුණෙමු අපි ඇතැම්විට
රවන, ගොරවන, ශාප කරනා ඔටු පල්ලෝ
පැන ගියෝ සුරාවද ගැහැනුන්ද සොයමින්
නිවිණි රෑ කල ගිනි මැලය, වහළක් නොවිණි
අප හිස්වලට ඉහළින්
සතුරු විය මහ නගර අපහට
මිතුරුකම් නොපෑයේ මග වූ නියම් ගම්
අපිරිසිදු වීය ගම්දොර, ගෙවන්නට වූයේය
අධිකතර මිල ගණන්
විඳින්නට වීය අපහට කටුක දුක් පිරිපතම
කඩින් කඩ නින්දට වැටී
රෑ මුළුල්ලේ ගමන් කැරුමට
අවසානයේ අපට ප්‍රිය විය
මේ සියල්ලම මුග්ධ කමකැයි
කියන හඬකින් පිරිණි සවනත
එසඳ අලුයම උදා වූ කල
පැමිණියෙමු අපි සෞම්‍ය නිම්නයකට
හිම තීරයට පහළින් පිහිටි එහි
ගස් කොළන්වල සුවඳ විසිරිණ
ගලා ගිය දොළක් විය,
දිය මෝල නගන හඬ
අඳුර විනිවිද ඇසිණ අප හට
පහත සිතිජය ඉම වෘක්ෂයන් තුනක් විය
මහලු සුදු තනි අසෙකු පැන දිවී තණබිම
පැමිණියෙමු අපි අවන්හලකට
මිදිවැලකින් හෙවුණු දොරකින් යුතු වූ
පයින් ගසමින් හිස් මිදිපැන් පැස්වලට
සය දෙනෙක් සූදු කෙළියෝ එතුළ
තබමින් රිදී පරදුවට
කිසිවකු නොදත්තෙන් අප විමසූ කරුණ
නික්මුණෙමු එතැනින් යළි මහමගට වැද
පැමිණියෙමු අපි එදින සවසම
සොයාගිය තැනට නිසි වෙලාවට
පත්වීමු අපි ඉන් සැනසුමට
(එසේ විණියැයි ඔබ කියනු ඇත)
මේ සියල්ලම බොහෝ කලකට පෙර සිදුවුවද
රැඳී ඇත ඒ මා මතකයේ තිරවම
යළිදු එවැනි ගමනක යෙදීමට
ඇවැසි වුවහොත් යමි ඉදින් නොපැකිළවම
එනමුදු ලියා තබනෙමි මෙය, ලියා තබනෙමි මෙය:
එපමණ දුරක් රැගෙන යනු ලැබුවේ අප
උපතක් හෝ මරණයක් දැකුමටද ?
එහි වීය උපතක් නිසැකවම
නැත එහි කිසිදු කුකුසක් අත්දුටිමු එය
දැක ඇත්තෙමි මම ඉපදීම සහ මරණය
එහෙත් සිතුවෙමි ඒ දෙකක් යැයි
එනමුදු මේ උපත මරණය මෙන්ම
ගෙන ආය අප වෙත දැඩි වේදනාවම
අපගේම මරණය බඳුව
පෙරළා පැමිණියෙමු අපි
අපගේ රාජධානි වෙත
එනමුදු පැරණි දෙව් සසුන මැද
දෙවිවරුන් දැඩිව ගත් නුහුරු මිනිසුන් මැද
නොදැනේය තවදුරටත් පහසුවක්
තුටුවිය යුතුය මා
වේනම් ඉදින් තව මරණයක්
Wednesday, 3 August 2011
සිසිරයේ තුරුපත
ඉක්ම ගොසිනිය බෝ කල්
නැතිව ගොස් මහදෙහි ආශා
මා සිහින මා කෙරෙන්
දුරස්ව ගොසිනි බෝ සේ
ඉතිරිව තිබෙන්නේ
ශෝකය පමණි සපුරාම
හිස්ව ගිය මා හදවතේ
දෙව් නියමය නමැති
දයා විරහිත කුණාටුව වැද
කුසුම් පිරි මල්දම විසිර ඇත
වසන්නෙමි මම හුදකලාවම
මගේ අවසන දකිනු රිසියෙන
වසන්නෙමි මම හුදකලාවම
සිසිරයේ දැඩි සීත සුළඟෙහි
තුරුපතින් තොර පාලු අත්තක
හේමන්තයද ඉක්මවා බෝ කල්
රැඳුණු එකමෙ'ක තුරුපතක් ලෙස
Subscribe to:
Posts (Atom)










