2012/01/26

සුදු රතු කුසුම්











දෙණිපෙත මධ්‍යයේ සිටගෙන
නොතකමින් කිසිවෙකුත් අමතන
ඈ මට හමුවූයේ ඉදින්
අහඹුවකින් නම් නොවේ

‘නගිනු මැන අර කන්දට
හිමවන් සුදෝ සුදු පැහැති
සුසිනිඳු සියුමැලි කුසුම්
නෙලාගෙන දෙනු මැන මට
නොයනා බැවින් මා කිසිදින
දෙණිපෙතෙන් ඔබ්බට'
කීවාය ඇය මා හට

නැග්ගෙමි ඉදින් මම කන්දට
සොයා නෙක සුදු පැහැති කුසුමන්
ඇවිද්දෙමි ගිරිකුළු අතර
විටෙක අවදිවද, විටෙක නිදිබරවද

නෙලූ කුසුමන් රැගෙන
පැමිණියෙමි මම පහළට
සිටියාය ඇය දෙණිපෙත
මධ්‍යයේ සිටගෙන
උමතු වූවෙකු ලෙසින් මම
විසිරුවෙමි ඈ මත
මා නෙලාගෙන ආ
සුදෝසුදු කුසුම් රැස

හැරීවත් නොබලා මා නෙලූ කුසුම් දෙස
මා හට කීවාය ඈ යළිත් මේ ලෙස
‘නොඇවැසිය මා හට සුදු පැහැති මේ කුසුම්
නෙලා ගෙනැවිත් දෙන්න රතුම රතු පාට මල්'

මම යළිත් දණින් හෙව
ගිරිදුර්ග පසුකරමි
රතු පැහැයෙන් පිපී
යළි මිලින වී යන
උමතුවෙහි රත් කුසුම්
සොය සොයා මග ගෙවමි











-ගේබ්‍රියෙලා මිස්ට්‍රල් (1889-1957)

2012/01/16

සොහොයුරෝ- ෂර්වුඩ් ඇන්ඩර්සන්



මම මගේ පිටිසරබද නිවහනේ සිටිමි. ඒ ඔක්තෝබර් මාසයේ අග හරියයි. වැස්ස ඇද හැලෙයි. මගේ නිවෙස පිටුපස කැලෑවකි.  නිවෙස ඉදිරිපසින් පාරක් දිවෙන අතර ඉන් ඔබ්බෙහි ඇත්තේ විවෘත කෙත්වතුය. මේ පළාතේ නූස් කඳු ඇති අතර එක්වරම ඒවා තැනිතලා බවට පත්වෙයි. තැනිතලා භූමියෙහි සැතපුම් විස්සක් පමණ එහායින් චිකාගෝ නම් සුවිසල් නගරය පිහිටා ඇත.

මේ වැසි දවසේ, මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල කොළ වැස්ස මෙන් බිම ඇද හැලෙයි. කහ, රතු සහ රන් පැහැති කොළ කෙලින්ම වේගයෙන් බිම පතිත වෙයි. වැස්ස සිත්පිත් නැති ආකාරයෙන් ඒවා බිම පතිත කරවන හෙයින් අවසන් වතාවට රන් පැහැයෙන් දිලි දිලී ‍පොළොවට පතිත වීමේ අවස්ථාව කොළවලට අහිමිය. ඔක්තෝබර් මාසයේදී මෙසේ පතිතවන කොළ තැනිතලාවලට ඉහළින් සුළ‍ඟේ ගසා ගෙන යා යුතුය. ඒවා ඉවත ගසා ගෙන යා යුත්තේ නර්තනයක යෙදෙමිනි.

ඊයේ උදෑසන පාන්දරින්ම අවදි වූ මම ඇවිදින්නට ගියෙමි. ඝනැති මීදුමක් වූ අතර මම එතුළ අතරමං වීමි. තැනිතලාව දෙසට ඇවිද ගිය මම පෙරළා කඳු වෙත පැමිණියෙමි. ගිය සෑම තැනෙකම මීදුම පවුරක් පරිද්දෙන් මා ඉදිරිපිට නැගුණේය. මීදුම මැදින් එක්වරම අස්වාභාවික ලෙස ගස් මතු වූයේ මැදියම් රැයේ නගරයේ වීදියක ඇති වීදි පහනක ආලෝක කවය වෙත අඳුරෙන් මතුවූ මිනිසුන් එක්වරම පැමිණියාක් මෙනි. ඉහළින්, දිවා ආලෝකය සෙමෙන් මීදුම විනිවිද එන්නට පටන් ගෙන තිබිණි. මීදුම ඉවත් වූයේ මන්දගාමීවය. තුරු මුදුන් සෙමෙන් සැලිණි. ගස් යට වූ මීදුම ඝනැතිද දම්පැහැතිද විය. එය කම්හල් නගරයක වීදිවල පැතිර පවතින දුම මෙන් වූයේය.

මීදුම මැදින් මහලු මිනිසෙක් මා කරා ආවේය. මම ඔහු හොඳින් දනිමි. මෙහි වසන මිනිස්සු ඔහු උමතු යැයි කියති. “ මිනිහගෙ මොළේ හොඳ නෑ,” ඔවුහු කියති. ඈත කැලයේ ඇති කුඩා නිවෙසක තනිවම ජීවත් වන ඔහු කුඩා බල්ලෙකු නිතරම වඩාගෙන යයි. බොහෝ දිනවල උදෑසන ඇවිදින විට මට ඔහු මුණ ගැසී ඇති අතර තම සහෝදර සහෝදරියන්, නෑනා මස්සිනාවරුන්, නැන්දා මාමාවරුන් වන මිනිසුන් ගැහැනුන් ගැන ඔහු මට කියා ඇත. මෙය මනස අවුල් කරවයි. තමා අසළ  සිටින මිනිසුන් ගැහැනුන් වෙත සමීප වීමට නොහැකි බැවින් පුවත්පතකින් නමක් අහුලා ගන්නා ඔහු එය සමග මනසින්  ක්‍රීඩා කරයි. කොක්ස් නමැත්තා තමාගේ මස්සිනා කෙනෙකැයි එක්තරා උදෑසනක ඔහු මා සමග කීවේය. මා මෙය ලියන මොහොත වන විට ඒ කොක්ස් නමැත්තා ජනාධිපතිවරණයට තරග කරයි.  තවත් උදෑසනක ඔහු මා සමග කීවේ කරූසෝ නමැති ගායකයා ආවාහ කොට ගෙන සිටියේ ඔහුගේ නෑනා බවයි. “ ඒ මගේ නෝනගේ නංගී,” කුඩා බල්ලා තුරුලු කරගෙන ඔහු කීවේය. ඔහුගේ අළුවන් තෙත්බරිත දෑස මා දෙස ආයචනාත්මක ලෙස බලා සිටියේය. මා එය විශ්වාස කරනු දකින්නට ඔහුට ඇවැසි විය. “ මගේ නෝනා හරිම ලස්සණ කෙට්ටු කෙල්ලක්,” ඔහු පැවසීය. “ අපි ජීවත් වුණේ විශාල ගෙදරක. උදේට අපි අත් අල්ලාගෙන ඇවිද්දා. දැන් එයාගේ නංගි කරූසෝ කියන ගායකයාව බැඳලා. කරූසෝ දැන් අපේ පවුලෙ කෙනෙක්.”

2012/01/11

කුඩා උපමා කතාවක්- ෆ්‍රාන්ස් කෆ්කා


මීයා මෙසේ කීවේය : අපොයි, මුළු ලෝකෙම එන්න එන්නම කුඩා වෙනවා. මුලින්ම ඒක කොච්චර විශාලද කියනවා නම් මට බය හිතුනා, මම නොනැවතී දිගටම දුවන්න ගත්තා. බොහෝම ඈතින් දකුණු පැත්තෙයි වම් පැත්තෙයි තියෙන බිත්ති දැක්කම මම හරියට සතුටු වුණා. ඒත් මේ දිග බිත්ති කොච්චර ඉක්මනට පටු වුණාද කියනවා නම් දැන් මම අන්තිම කාමරයටත් ඇවිල්ලයි ඉන්නේ. ඒ කාමරයේ මුල්ලේ තියෙන්නේ මම අනිවාර්යයෙන්ම මූණ පාන්නට ඕනෑ මී කතුරයි.

ඔහේට කරන්න තියෙන්නේ ගමන් කරන දිශාව වෙනස් කරන එකයි, කියූ බළලා මීයා කා දැමුවේය.








ෆ්‍රාන්ස් කෆ්කා(1883-1924)

සෙවුම්