පිටු

2014/01/07

දේවවරම

චිත්‍රය- වින්ස්ලෝ හෝමර්

අවන්හලකදී ඒ අවමන් සහගත සිද්ධියට අලෙස්සන්ද්‍රෝ මා බඳුන් කළේය; සති දෙකකට පසුව, කාසියා පාර දිගේ සිය මෝටර් සයිකලය පදවාගෙන යමින් සිටි හෙතෙම ලොරියක ගැටී එතැනම ජීවිතක්ෂයට පත්විය. සිනමා ශාලාවෙන් එළියට පැමිණෙමින් සිටියදී ජූලියෝ මට පහර දෙන්නට විය. දවස් තුනක් යන්නටත් මත්තෙන්, ටයිබර් නදියේ ස්නානය කරමින් සිටි ඔහුට අපද්‍රව්‍ය වාහක පල්දෝරුවලින් බෝවන ඒ භයානක රෝගය වැලඳුණු අතර පැය කිහිපයක් තුළ හෙතෙම මිය ගියේය. රිපෙත්තා වීදියේදී රෙමෝ මට  මෝඩ තකතීරුවා, ගොනා, හරකා” කියමින් අවමන් කළේය; ඊට ටික වේලාවකට පසු දෙල්ලොකා වීදියට හැරෙන තැනදී දොඩම් ලෙල්ලක් පැගී ඇද වැටී ඔහුගේ කකුල කැඩිණි. පාපන්දු තරගයක් අතරතුරදී මාරියෝ මට ඇසැබි ඉඟියක් පෑවේය; එසැණින්ම පාහේ, ඔහුගේ සාක්කු සටහන් පොත සොරකම් කොට ඇතැයි පෙනුණු බව කිවමනාය. 

මේ සිද්ධි හතරත්, මගේ කතාව ඒකාකාරි එකක් වෙතැයි යන බියෙන් මා මෙහි සඳහන් නොකරන තවත් සිද්ධීනුත් මට එරෙහිව යන ඕනෑම කෙනෙකු වෙත මරණය හෝ යම් ආකාරයක දඬුවමක් පමුණුවන යම් කිසි අද්භූත බලවේගයක ආරක්ෂාව යටතට මා පත්ව ඇතැයි යන්න ඒ වසරේදී මට පසක් කළේය. 


කරුණාකර ඒ ඇස්වහ පිළිබඳ කාරණයකැයි නොසිතන්න. ඇස්වහ ඇති පුද්ගලයෙකු යම් අන්තරායක් පමුණුවන්නේ කිසිදු චේතනාවකින් තොරවය. වතුර මලකින් වතුර විසිරෙන්නාක් මෙන් එවන් පුද්ගලයෙක් අතුරු අන්තරා හා ආපදා විසුරුවයි. ඊට යම් රටාවක්වත් හේතුවක්වත් නැත. මා කිසිම වැදගත්කමක් ඇති අයෙකු නොවූවත්, කඩවසම්බවෙන්, ශක්තිමත්බවෙන් හා ධනවත්බවෙන් තොර වූවත් ( මා රෙදි සාප්පුවක සහායකයෙකි), හෝ වෙන කිසියම් අන්දමක උරුමයකින් හෝ තැන්පත් ධනයකින් තොර වූවත්, දඬුවමක් නොලබා මා වෙත හානියක් කිරීමට කිසිවෙකුට නොහැකි වන ආකාරයේ අසාමාන්‍ය බලයකින් මා ආරක්ෂා කෙරෙන බව මට දැනිණි.  මෙය හුදු අනුමානයකැයි ඔබ කියනු ඇත. එසේනම් මා හට අඩන්තේට්ටම් කිරීමට අදහස් කළ පුද්ගලයන් වෙත ළඟාවූ අභාග්‍යයන්ගේ අහම්බය කරුණාකර මට පහදා දෙනු මැනවි. මා කිසියම් අපහසුතාවකට පත්වන අවස්ථාවකදී මේ බලවේගය කීකරු බලු පැටියෙකු මෙන් මගේ කැඳවීම අනුව මගේ සහයට පැමිණ මට ඒ අපහසුතාව ඇති කරන්නට තරම් නිර්භීත වූ ඒ අපරික්ෂාකාරී පුද්ගලයා හට දඬුවම් ලබා දෙන්නේ මන්දැයි මට පහදා දෙනු මැනවි.  අවසාන වශයෙන් ඔබ මෙයද පහදා දිය යුතුය.... එහෙත් එයින් කම් නැත. ඔබ දැනගත යුත්තේ කිසියම් මායාමය බලයකින් මෙන් ඒ දවස්වලදී මා ඉතා සුපසන් ජීවිතයක් ගත කරන්නේය යන අදහස මගේ හිස තුළට ඇතුළුව තිබූ බව පමණි.


ඔස්ටියා මුහුදු වෙරළට ගොස් ඉරිදා දිනය ගත කිරීමට ගිම්හානයේ එක් දවසක මමත් ග්‍රාසියාත් තීරණය කළෙමු. අපගේ රෙදි සාප්පුවේ සහාහකයෝ තිදෙනෙක් වූහ. ඒ ග්‍රාසියා, මා සහ අලුතින් පැමිණියෙකු වූ ඌගෝ ය. ඇත්තම කියන්නේ නම් මේ අවසානයට කියූ තැනැත්තා කිසිසේත්ම මා ප්‍රිය කරන වර්ගයේ එකෙකු නොවේ: හෙතෙම උසය, ක්‍රීඩකයෙකු වැනිය, ආත්ම ශක්තියෙන් යුතුය. ඔහුට තිබුණේ බුන් නාසයකින් සහ ඉදිරියට නෙරූ හකුපාඩාවලින් යුත් බොක්සිං ක්‍රීඩකයෙකුගේ බඳු මුහුණකි. සිය පාරිභෝගිකයා දෙස නොව පාරේ යන එන මිනිසුන් දෙස සාප්පුවේ වීදුරු දොරෙන් බලාගෙන, ඇඟිලි දෙකකින් අල්ලා ගස්සමින් රෙදි කැබැල්ලක් කවුන්ටරය මත දමා එය දිගහැරීමේ පුරුද්දක් ඌගෝට තිබිණි. මෙය මට කෙසේවත් රිස්සුවේ නැත. ගැනුම්කරුවෙකු රෙද්ද ගැන යම් සැකයක් මතු කළ විට ඔහුගේ සැක දුරුකිරීමට වෑයම් කරනු වෙනුවට ඌගෝ කළේ සිය ගණන්කාර ස්වභාවය ආරුඪ කරගැනීමය. එනම්, හෙතෙම ගරුසරු නැති, අප්‍රසාදජනක නිහඬතාවක ගැලෙයි; එසේත් නොමැති නම් “මහත්තයට අවශ්‍ය කරන්නේ මීට වඩා සාමාන්‍ය රෙද්දක්” යැයි ඉතාම වියළි ස්වරයෙන් කියන ඔහු රෙදි කැබැල්ල රාක්කයේ තැන්පත් කරයි. ඇත්ත වශයෙන්ම ඔහු කළේ ගැනුම්කරුවා තර්ජනයෙන් බියවැද්දීමට තැත්කිරීමය; එහෙත් හැමවිටම පාහේ ගැනුම්කරුවා පසුතැවිලි ස්වරයෙන් ඔහුට කතා කොට රෙදි කැබැල්ල යළි පරීක්ෂාකර බලා එය මිලදී ගනියි. එහෙත් මා ඌගෝ අනුකරණය කරන්නට තැත් කළ සෑමවිටම (මට ඌගෝගේ ශාරීරික පෙනුමවත් ඔහුගේ ගරුසරු නැතිබවවත් නොමැති නිසා වන්නට පුළුවන) මා නරක හැසිරීමක් ඇත්තෙකැයි කියූ මිනිස්සු මා සේවයෙන් පහකළ යුතුයැයි කළමනාකාරවරයාට උපදෙස් දුන්හ. ඉතින්, අසාර්ථක උත්සාහ කිහිපයකට පසු, මම මගේ මෘදු, යටහත් පහත්, මිහිරි, චාටුකාර සහ සතුටින් සිටින ස්වභාවයට යළි අවතීර්ණ වීමි. 
  
ග්‍රාසියා ඌගෝ ප්‍රිය නොකළාය; අඩුම තරමේ, එසේ නොවේයැයි ඕ කිහිප වතාවක්ම ශපථ කළාය: “බලන්නකෝ අර මිනිහා... දෙවියනේ ! මිනිහ නම් මහ මොකෙක්ද එකෙක්... හරියට නීග්‍රෝ කාරයෙක් වගේ.” කෙසේවුවද, අප ඔස්ටියා ගමනේ කටයුතු පිළියෙළ කොට අවසන් වූ පසු, ඌගෝ පැමිණ “මේ ඉරිදට ඔයගොල්ලො කරන්න හිතාගෙන ඉන්නේ මරු වැඩක්නේ ? යැයි සිය සුපුරුදු උද්ධච්ඡ ස්වරයෙන් පැවසූ විට ඇය ඇඹරි ඇඹරී සිනා සලා, ඔමරි පාමින් වහාම පිළිතුරු දුන්නාය:  අනේ ඌගෝ ඔයත් යංකෝ ?  ඌගෝ කෙසේ හැසිරුණිදැයි ඔබට සිතා ගත හැකිය: ඔහු ඇරයුම එකපයින් පිළිගත්තේය. එපමණක් නොව, අප දෙදෙනාටම ගැහැනු ළමුන් සිටිනු පිණිස ගැහැනු ළමයෙකුත් මේ ගමනට කැඳවාගෙන එන්නට තමා වැඩපිළිවෙළක් සලසන බව කියන තරමට ඔහු දුර දිග ගියේය. එහෙත් ඔහු එය කියූ අයුරින් මම අවිනිශ්චිතබවකට පත්වීමි. ඇත්තෙන්ම ග්‍රාසියා ඔහුගේ ගැහැනු ළමයා බවත් මා සඳහා ඔහු අනෙක් ගැහැනු ළමයා රැගෙන එන බවත් එයින් අදහස් කළාක් මෙනි.

ඉරිදා දිනයේදී, ගිවිසගත් වේලාවට, සිතන්නටවත් බැරි ලෙස සෙනඟ පිරුණු සැන් පාඔලෝ දුම්රියපොළේදී අපි සියලු දෙනාම මුණගැසුණෙමු. ඇගේ රන්වන් හිසකේවලට හොඳින් ගැලපෙන, පළමු වතාවට අඳින අලුත් ලා නිල් පැහැති ඇඳුමකින් ග්‍රාසියා සැරසී සිටියාය. අපේ දවල් කෑම අඩංගු පාර්සල් මම අතින් කටින් ඔසවාගෙන සිටියෙමි. ඌගෝ කොළපාටට හුරු අළුවන් සිනිඳු ඇඳුමකින් ජේත්තුවට සැරසී සිටියේය. ක්ලෙමෙන්තිනා නම් වූ ඌගෝගේ ගැහැනු ළමයාද පැමිණ සිටියාය. ඌගෝ ග්‍රාසියාගේ බාහුව අධිකාරීත්වයෙන් යුතුව අල්වා ගෙන ක්ලෙමෙන්තිනා සහ මා දෙසට හැරී  ඒයි ඔය දෙන්නා එහෙ මෙහෙ හැංගෙන්න එපා. අපි යන්න ලෑස්ති වෙනකොට පේන්න ඉන්න” යි කී විට සාප්පුවේදී මා තුළ හටගත් සැකය සැණෙකින් තහවුරු විය. ග්‍රාසියා හඬ නගා හිනැහෙමින් සතුටින් ඔහුට හේත්තු වී සිටියාය. මම ක්ලෙමෙන්තිනා දෙස බැලුවෙමි. ඇය ඇත්ත වශයෙන්ම මටම ගැලපෙන යුවතියක වූවාය. එනම්, ඌගෝ මගේ පෞරුෂත්වය පිළිබඳව ගොඩනගාගෙන තිබූ අදහස අනුව මට ගැලපෙන එකියකි. සුදු සහ මහත, එළදෙනකගේ බඳු උකුල්තලයක් සහ ළය මඬලක් ඇති, එළදෙනකගේම බඳු මෝඩ පාටැති මුහුණකින් යුත් ඇයට අඩුවකට තිබුණේ ගෙලෙහි එල්ලන සීනුවක් පමණකි. ඌගෝ සහ ග්‍රාසියා දෙස බලමින් මුහුණෙහි සිනහවක් රඳවා ගත් ඇය මට මෙසේ කීවාය: “ඔයාට පේනවා නේද ඒ දෙන්නට දෙන්නා කොච්චර කැමතිද කියලා”. ඇතැම්විට ඒ ඊට සමාන අයුරින් හැසිරීමට කරන ලද ඇරයුමක් වන්නට පුළුවන. ඒ වෙනුවට ඇගෙන් මඳක් ඈත්වමින් මම රළු ලෙස පිළිතුරු දුනිමි:  ආ ඇත්තට ?... ඔයා ඔය කිව්වට... මං ඒක දැක්කෙ නෑනෙ.”

දුම්රිය පැමිණි අතර කෑකෝ ගසන, දඟලන සෙනඟ කන්දරාව අතරින්  ඊට ගොඩවූ පළමු තැනැත්තා වූයේ ඌගෝය. ඔහු එය කළේ කෙසේදැයි  දන්නේ දෙවියන් පමණි. සිය අප්‍රසන්න මුහුණත් සමගින් ජනේලයක් අසල පළමුවෙන්ම පෙනී සිටි තැනැත්තා වූයේද ඌගෝය.  ඔහු කෑ ගැසුවේය: “මම සීට් හතරක් අල්ලා ගත්තා. ඔයගොල්ලො නිවීහැනහිල්ලේ නගින්න.” දුම්රියට නැගුණු අපි හිඳගතිමු. ඒ එක් ජෝඩුවක් අනෙක් ජෝඩුවට මුහුණා ලා සිටින අයුරිනි. දුම්රිය පිටත් විය.  මුළු ගමන පුරාවටම ඉදිරිපිට සිටි දෙදෙනාගෙන් එක් මොහොතකටවත් මා දෑස් ඉවතට නොගත් බව කීම අතිශයෝක්තියක් නොවේ. එසේ දෑස් ඉවතට ගැනීම මට කෙසේවත් කළ නොහැකි විය.  ඌගෝ මේ වනවිට ග්‍රාසියා සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන සිටියේය. වරෙක ඔහු ඇයට හිනා පහළ වී මුහුණ රතුවන ලෙස කනට කොඳුරා යමක් කියයි. වරෙක විහිළුවට මෙන් ඇය වැලඳ ගනියි. තවත් වරෙක, කිසිවක් නොකරන්නාක් මෙන් බොරුවට පෙන්වමින් ඇයගේ සිරුර අත ගායි. ග්‍රාසියාද කිසිම ලජ්ජාවක් නැති ගැහැනියක මෙන් මේවාට කිසිදු විරුද්ධත්වයක් නොපෑවාය.  ඇය කළ එකම දෙය වූයේ ආඳෙකු මෙන් ඇඹරෙමින් ඔහුට තුරුළුවීම පමණි. එහෙත් මට වඩාත්ම වේදනා ගෙන දෙන කරුණ වූයේ මා එතැන නොසිටින්නේයැයි සිතමින් මෙන් මා සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ඔවුන් එසේ හැසිරීමයි. ක්ලෙමෙන්තිනා සමග ඒ ආකාරයටම හැසිරෙමින් ඌගෝගේ ක්‍රියාවන්ට එකටෙක කරන්නට තිබුණා නම් ! එහෙත් මා ඈ කෙරෙහි ආකර්ෂණය නොවීමට අමතරව ඇයටද මා කෙරෙන් කිසිදු ආලිංගන පෑමක් අවශ්‍ය නොවූ බව පෙනෙන්නට තිබිණි.  සිය හිස පස්සට කරගෙන, විවෘත මුඛයෙන් සහ උකුළ මත තැබූ දෑතින් යුක්තව ඕ නිදමින් සිටියාය.

ඔස්ටියා වෙරළේ ස්නානාගාරයේදී මාරුවෙන් මාරුවට කුඩා කුටියකට ගොස් අපි ඇඳුම් මාරු කර ගතිමු.  අප සිවු දෙනා නාන ඇඳුම් හැඳගත් විට අප අතර වූ වෙනස වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය. දිගු සවිමත් දෙපා සහ මනා හැඩයෙන් යුත් ඌර්ධව කායක් සහිත ග්‍රාසියාට වූයේ සිහින්, සුන්දර සිරුරකි.  අනෙක් අතට ක්ලෙමෙන්තිනාගේ විශාල උකුළ හා ළයමඬල නිසාත් ඉඟ හා ගෙල නොමැති වීම නිසාත් ඇය මැදින් ගැටගැසූ කොට්ටයක් මෙන් පෙනිණි. ඌගෝ හා මා අතර වෙනස මීටත් වඩා තීව්‍ර විය. ඌගෝට තිබුණේ උරැහිස්වලින් පුළුල්ව ගොස් ඉඟෙන් සිහින් වන, දැඩි, මාංශ පේශී ගහණ, දුඹුරුවන්, මල්ලවපොර ක්‍රීඩකයෙකුගේ බඳු සිරුරකි. ඔහුගේ නාන කලිසම තට්ටම්වලට ඇලී ඇති බවක් පෙනුණු අතර රෝමයන්ගෙන් ගැවසි ඔහුගේ දෙපා ජීවයෙන් පොපියමින් තිබිණි. අනෙක් අතට මම, සිහින් අත් පා ඇති, කුඩා, මස් කළඳක් නැති සිරුරකින් යුත්, මකුළුවෙකු බඳු පුද්ගලයෙක් වීමි. වියයුතු පරිද්දෙන්ම ඌගෝ එක්වරම ග්‍රාසියාගේ අතින් අල්ලා ගත්තේය. ඔවුහු ගිනිරත්වූ වැල්ල දිගේ මුහුද දෙසට දිවගොස්  හිස් පහතට සිටින සේ ජලයේ කිමිදුණෝය. “අනේ කොච්චර අපූරු ජෝඩුවක්ද? !  මා අමනාපයට පත්කිරීම සඳහා කළහැකි සියල්ලම කරන්නාක් මෙන් පෙනුණු ක්ලෙමෙන්තිනා කීවාය.  ඔවුහු දෙදෙනා දැන් මුහුදේ බැස එකිනෙකා වෙත ජලය ඉස ගනිමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් සිටියහ. ඌගෝ ග්‍රාසියා හරහට වඩාගත් අතර ඇය ඔහුගේ ගෙලේ එල්ලී මහහඬින් හිනැහුණාය. ඇයට නාන්නට අවශ්‍යදැයි මම ක්ලෙමෙන්තිනාගෙන් විමසුවෙමි. ඇය ඊට සතුටින් යුතුව ඔව් කීවාය. එහෙත් වැඩි ගැඹුරට නොයා වෙරළ ළඟටම වී සිටින්නට ඇය කැමති වූයේ ඇයට පිහිනීමට නොහැකි වූ බැවිනි.  එබැවින් අඬන, කෑ කොස්සන් ගසන ළමුන් එකිනෙකා වෙත බෝල වීසි කරන, අපිරිසිදු සහ උණුසුම් ජලයේ අපගේ දෙපා පොඟවන්නට අපට සිදු විය. ඒ ළමයින්ගේ මවුවරුන් සහ ආයාවරුන් ඔවුන්ගේ නම් කියමින් බෙරිහන් දුන් අතර ස්නානාගාරයේ වූ රේඩියෝව මහහඬින් නොනවත්වා පැරණි ගීතයක් වාදනය කරන්නට විය: මහමුහුද සැමදාම නිල් පාටයි, හරියට ඔබ වගේමයි... මේ අතර ඌගෝ සහ ග්‍රාසියා නියම ක්‍රීඩකයන් පරිද්දෙන් ඈත දියඹෙහි පිහිනමින් සිටි අතර නොපෙනෙන තරම් ඈතක වූහ.

ඒ මොහොතේදී, ඒ ගැන සිතීමකින්වත් තොරව ඉතාම ස්වභාවික ආකාරයෙන් මසිතට පිවිසුණේ ඌගෝ අද දින දියේ ගිලෙනු ඇතිය යන සිතිවිල්ලයි. එය වලකාලිය නොහැකි සහ සාධාරණ දෙයක් ලෙස මට හැඟිණි. ඔහු මට වරදක් කොට ඇත, එමනිසා ඔහු මියයා යුතුය. මේ සිතිවිල්ල එක්වරම මගේ මනසට ශාන්තිය උදා කළේය. ආරක්ෂක ලණුව දෑතින්ම අල්ලා ගෙන ජලයේ සිටගෙන හුන් ක්ලෙමෙන්තිනා අසලට ගිය මම කතා කළෙමි. “ඌගෝ කියන්නේ බොරුවට පේන්න වීරකම් කරන්න හදන ජාතියේ මිනිහෙක්. ඊට පස්සෙ කෙණ්ඩා පෙරළිලා වතුරේ ගිලෙන ජාතියේ මිනිහෙක්... ඊට පස්සේ වෙරළට ගෙනල්ලා මිනිහට කෘත්‍රීම ශ්වසනය දෙන්න වෙනවා.” මා අදහස් කළේ කුමක්දැයි නොදැන මා දෙස බැලූ ඇය  ඒත් එයා ඉතාම දක්ෂ පීනුම්කාරයෙක්නේ යැයි පැවසුවාය. මම ඔලුව සොලවමින් පිළිතුරු බැන්දෙමි. “එයා දක්ෂ පීනුම්කාරයෙක් බව ඇත්ත. මම ඒක නැහැයි කියන්නේ නෑ...ඒත් එයා තමන්ගේ ඉරිදා දවසේ විනෝද ගමන වැල්ලෙ වැතිරිලා තවත් කෙනෙක් කෘත්‍රීම ශ්වසනය දෙන එකෙන් අවසන් කරගන්න ජාතියේ මිනිහෙක්...ඔයා බලන්නකෝ බොරුද කියලා. 

ටික වේලාවකට පසු වතුරෙන් ගොඩට ආ ග්‍රාසියා සහ ඌගෝ සිය සිරුරු වේලා ගන්නට වෙරළ දිගේ උඩට පහළට දුවන්නට වූහ. ඔවුන් කීවේ සිරුරු වේලෙන්නට එසේ දුවන බවයි. එකිනෙකා පසුපස එලවාගෙන ගිය ඔවුහු විදාගත් දෑත්වලින් එකිනෙකා අල්ලා ගත්තෝය, කුඩා වැලි බෝලවලින් එකිනෙකා වෙත දමා ගැසුවෝය, එකට බිම පෙරලුණෝය. තවමත් ආරක්ෂක ලණුවේ එල්ලී සිටි ක්ලෙමෙන්තිනා අසල සිටගත් මම ඇසිපිය නොගසා ඔවුන් දෙස බලා සිටියෙමි. ඌගෝ මුහුදට පනිනුද, කෙණ්ඩා පෙරලීමට බඳුන්ව වේගයෙන් අතපය ගසනුද, ඉන්පසු ඔහු දියේ ගිලෙනුද ඉන් අනතුරුව ඔවුන් ඔහු ගොඩට ගෙනවුත් කෘත්‍රීම ශ්වසනය දෙනුද මට මැවී පෙනෙන්නාක් මෙන් විය. ඔහු මැරෙන්නට යන බව නම් ස්ථිරව කිව නොහැකි වූයේය. එසේ වුවද ඔවුන් කියන්නාක් මෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර අඩුම ගණනේ පැයක්වත් පොරබැදිය යුතුයැයි සිතන්නට මම කනගාටු නොවීමි. මේ අතර ඌගෝ සහ ග්‍රාසියා සිය සිරුරු වේලාගෙන අවසන්ව තිබූ අතර අප සිටි තැනට පැමිණි ඌගෝ අප බෝට්ටුවේ රවුමක් යා යුතුයැයි යෝජනා කළේය.  තමන්ට පිහිනන්නට නොහැකි නිසා ඒ ගමන යන්නට බැරි යැයි ක්ලෙමෙන්තිනා එකපැහැර කීවාය. ඉතින් අපි තිදෙනා බෝට්ටුවකට නැගුණෙමු. මම හබල් අසල හිඳ ගතිමි. ඌගෝ සහ ග්‍රාසියා බෝට්ටු අවරෙහි එක ළඟින් හිඳ ගත්හ.

ගිනි ගහන අවුවේ, නිසල මුහුද මතින් මම සෙමෙන් බෝට්ටුව හබල් ගෑමට පටන්ගත්තෙමි. මගේ දෙනෙත් හැමවිටම ඔවුන් කෙරේම යොමුව තිබුණේ හරියට මගේ බැල්මෙන් වෑහෙන විස ඔවුන් තුළ ලජ්ජාවක් ජනිත කොට වඩා සංයමයකින් හැසිරෙන්නට ඔවුන්ට බලකරනු ඇතිවාක් මෙනි. එහෙත් මාගේ වෑයම අපතේ ගියේය. මීට ටික වේලාවකට කලින් දුම්රියේදී කළාක් මෙන් ඔවුන් එකිනෙකාගේ ඇඟේ ඇතිල්ලෙමින් විහිළුකරගත්තේ හරියට මා කුලියට ගත් බෝට්ටුකරුවෙකු ලෙස සලකමිනි. මේ තත්ත්වය තවදුරටත් හුවා දක්වන්නට අදහස් කළ ඌගෝ පරිහාසාත්මක ලීලාවකින් මෙසේ කීවේය:  හොඳ කොල්ලා වගේ තරහ නැතුව ඔය වම්පැත්තේ හබල ටිකක් වැඩියෙන් ගහනවද ? නැත්නම් අපි අර පහුරෙ ගිහින් හැප්පෙයි.” අවසානයේදී මෙයින් මගේ ඉවසීම නැතිව ගිය අතර මම මෙසේ පිළිතුරු දිනිමි: “ඕයි ඌගෝ තමුසෙ මොනතරම් අසික්කිත මිනිහෙක්ද කියලා කවුරුහරි මීට කලින් තමුසෙට කියලා නැද්ද කෙලින් වී හිඳගත් ඔහු කා යන්න වැඩිපුර අදිමින් “මොකා-ක්  යැයි ඇසුවේ “මොකක්ද මට ඒ ඇහුණේ ? මට ඒ කියපු දේ හරියට ඇහුණද? යන ප්‍රශ්න වෙනුවටය. හබල් ගසමින්ම මම යළිත් කතා කළෙමි:  ඔව්, අසික්කිත ගමයෙක්, මන්ද බුද්ධිකයෙක්... කවුරුවත් තමුසෙට එහෙම කියලා නැද්ද “තමුසෙට මක් වෙලාද ඔහු ඇසුවේ හඬ උස්කරමිනි. “මට මක් වෙලාද? මට මොනවත් වෙලා නෑ. තමුසෙ නොම්බර එකේ තක්කඩියෙක්” මම ගණනකට නැතිව කීවෙමි. “ඒයි කට පරිස්සම් කරගන්නවා.”  “මං කියන්නේ මට හිතෙන දේ. තමුසෙ තක්කඩියෙක් විතරක් නෙවෙයි අමු තිරිසනෙක්.” “ඒයි පරිස්සම් වෙයන්. මා එක්ක සෙල්ලමට එන්න එපා.”  එසේ කියමින්ම නැගී සිටි ඔහු මගේ පපුවට වැරෙන් පා පහරක් ගැසීය. හබල් අතහැර දැමූ මමද නැගිට ඔහුට පහර දෙන්නට සූදානම් වීමි. එහෙත් ඔහු ඊට වඩා ඉක්මන් විය. හෙතෙම වානේවලින් තැනුවාක් බඳු ඇඟිලි දෙකකින් මගේ මැණික්කටුව අල්ලා ගත්තේය. හිඳගත්වනම සිට අපට එය නවත්වන්නයැයි ග්‍රාසියා කෑ ගසා ආයාචනා කරත්දී අපි දෙදෙනා බෝට්ටුවේ සිටගෙන දඟලමින් සිටියෙමු. අප රැඳී සිටි පටු සහ නූස් කොටසේ කෙරුණු මේ දැඟලිල්ලේ එක් විශේෂිත චලනයක් නිසා බෝට්ටුවේ සමබරතාව බිඳුණු අතර අපි තිදෙනාම දියට ඇද වැටුණෙමු.

අප සිටියේ වෙරළෙන් එතරම් ඈතක නොවේ. වතුරට වැටෙන අතරම ‘දැන් මිනිහගෙ කෙණ්ඩා පෙරළිලා දියේ ගිලෙයි...ගිලිලා මැරෙයි, හරියට අලෙස්සන්ද්‍රෝයි ජූලියෝයි වගේ’ යැයි ඉමහත් තෘප්තියකින් යුතුව මා මටම කියා ගත් බව මම දිවුරා කියමි. ගිලිහුණු හබල් ජලයේ පාවී, යටිකුරුව පෙරළුණු බෝට්ටුව ටිකෙන් ටික ඈතට ගසා ගෙන යත්ම අපි තිදෙනාම ඒ වෙතින් ඉවතට පිහිනුවෙමු. ‘මොට්ටයා!’ ඌගෝ මා දෙස බලා කෑ ගැසුවේය. කිසිවක් සිදු නොවුණු ගාණට ග්‍රාසියා වෙරළ දෙසට පිහිනමින් සිටියාය. “තමුසෙත් මොට්ටයෙක්. ඒ විතරක් නෙවෙයි කුහක මිනිහෙක් මම පිළිතුරු දිනිමි. මේ පිළිතුර දෙනවාත් සමගම ජලය ස්වල්පයක් මගේ මුව තුළට ගියේය. එහෙත් ඒ මොහොත වනවිට මා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඌගෝ ග්‍රාසියා සමග එක්වීම පිණිස පිහිනමින් සිටියේය. මාද වෙරළ කරා පිහිනන්නට පටන් ගත්තේ මේ දැන් දැන් ඔහු මුහුදු පත්ලට ඇදගන්නා කෙණ්ඩා පෙරළීම ගැන නිරතුරුවම කල්පනා කරමිනි. ඒ ක්ෂණයෙන්ම  මගේ සිරුරේ දකුණු පස උරැහිසෙන් පටන් ගෙන පාදය දක්වා දිවෙන දැඩි තියුණු වේදනාවක් මට දැනෙන්නට වූ අතර කෙණ්ඩා පෙරළීම සිදුව ඇත්තේ ඌගෝට නොව මට බව මා හට වැටහී ගියේය. මේ සියල්ල සිදුවූයේ එක් ක්ෂණයකිනි. ඒ මොහොතේම මගේ සිහියද විකල්ව ගියේය. දැඩි වේදනාව පහව ගියේ නැත. මට හුස්ම ගැනීම අසීරු වූ අතර මරු විකල්ලෙන් මෙන් මම අතපය ගසන්නට වීමි. දැඩි භීතියක් මා වෙළාගත්තේය. මා කෑ ගසන විට ජලය මුව තුළට ගලා ආවේය. “බේරගනියෝ !  යි බෙරිහන් දුන් මට තවත් වතුර පෙවිණි. මේ මුළු කාලය තුළම කෙණ්ඩා පෙරළීම පැවති අතර මම ජලයේ ගිලී යළි උඩට පැමිණියෙමි. “බේරගනියෝ !” මම යළිත් වරක් කෑ ගසා ජලයේ ගිලුනෙමි. මේ සෑමවිටම තවතවත් ජලය මගේ මුව තුළට ගියේය. අන්තිමේදී අතක් ප්‍රාදූර්භූත වී මගේ බාහුවෙන් අල්ලා ගන්නා අතරම කටහඬක්- එනම් ඌගෝගේ කටහඬ- “දඟලන්නේ නැතිව ඉන්නවා. මම තමුසෙව වෙරළට අරන් යන්නම්”යැයි නොකියන්නට මා දියේ ගිලී යා හැකිව තිබිණි. ඉන් අනතුරුව මම දෑස වසා ගත්තෙමි. මා සිතන හැටියට මා ක්ලාන්ත වූවා විය යුතුය.

කොපමණදැයි මා නොදන්නා වේලාවකට පසු මට නැවත සිහිය ආ විට ගිනිරත් වූ වැල්ලේ උණුසුම මගේ පිටට දැනිණි. කවුරුන්දෝ මගේ මැණික්කටුවලින් අල්ලාගෙන අත් දෙක ඉහළ පහළ කරමින් සිටියේය. තවත් කවුරුන්දෝ මා පසෙක උක්කුටියෙන් හිඳගෙන මගේ පපුවත් බඩත් සම්බාහනය කළේය. විශාල දූලි වළාවක් අහසේ වූ අතර හිරු එළියට ඇස් ගිනිකණ වැටිණි. මා වටේටම වූයේ අවුවෙන් දුඹුරු පැහැගැනුණු, රෝමයෙන් ගැවසිගත් දෙපා සමුදායකි. ඒවායේ අයිතිකරුවෝ මා මියයමින් සිටින සැටි බලා සිටියෝය. “මිනිහා ඉවරයි වගේ  යැයි කවුරුන් හෝ කියනු මට ඇසිණි. “ඔය මිනිස්සුන්ට ඕනෑ බොරු වීරකම් පෙන්නන්න. පේනවනේ එතකොට වෙන දේ ? ගිලිලා නහින එකයි වෙන්නේ.  තවෙකෙක් කීවේය. මා ජලයෙන් පිරී ඇතැයි යන හැඟීමක් මට ඇති වූ අතර හිස ඉතා බර විය. ඒ මදිවාට මගේ අත්දෙක මයිනහමක අඬු දෙකක් මෙන් ඉහළ පහළ යමින් තිබිණි. මා තුළ විශාල කේන්තියක් හටගත් අතර අත්දෙක නිදහස් කරගන්නට දඟලමින් මම කෑ ගැසුවෙමි:  මට නිදහසේ ඉන්න දීලා යකාට පලයවු”; එවිටම මම යළිත් ක්ලාන්ත වූයෙමි.
ඒ අවසනාවන්ත දිනය ගැන මීට වඩා යමක් කියන්නට මම අදහස් නොකරමි. එහෙත් සතියකට පමණ පසු සාප්පුවේදී ඌගෝ ළඟපාතක නොසිටින වේලාවක් බලා ග්‍රාසියා මගේ කනට කෙඳිරුවාය: “ගිය ඉරිදා ඔස්ටියාවලදී ඔයා ගිලිලා මැරෙන්න ගියේ ඇයි කියලා ඔයා දන්නවාද  “නෑ; ඇයි ඒ ? “ඌගෝ ඒක මට පැහැදිලි කරලා දුන්නා... එයා කියනවා එයාව ආරක්ෂා කරන ගුප්ත බලවේගයක් තියෙනවාලු; එයාට විරුද්ධව යන අය මැරෙන්න වුණත් පුළුවන්ලු... එයා කියනවා එයාට දේවවරමක් තියෙනවාලු... මේ දේවවරම කියන්නේ මොකක්ද කියලා දැනගන්න මම කැමතියි.”

“දේවවරම කියන්නේ එහෙම වරමක් ලැබිච්ච කෙනා හෝ දෙය පූජනීය වස්තුවක් බවට පත්වෙනවා කියන එකයි.  මම පිළිතුරු දිනිමි.

කපු රෙදි රෝලකුත් රැගෙන ඌගෝ එතැනට පැමිණි නිසා ඇය ඊට කිසිවක් නොකීවාය. ඌගෝ සුපුරුදු ලෙස රෙදි කැබැල්ල ඇඟිලි දෙකින් අල්ලා දිග හරිමින්  මෙන්න මේ ජාතියේ රෙද්දක් තමයි නෝනා ඔය හොයන්නේ” යි කීවේය. එහෙත් ග්‍රාසියා නෙතගින් හෙලූ බැල්මෙන් ඇය සැබැවින්ම ආලයෙන් වෙලී සිටින බව මම වටහා ගතිමි. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ! - මේ මිනිහා හැඩයි, තරුණයි, හයි හත්තියත් තියෙනවා, ඒ මදිවාට මේ යකාට දේවවරමකුත් තියෙනවාලු !  













-අල්බෙර්තෝ මොරාවියා (1907-1990)

8 comments:

  1. මොරාවියේ ඉතා හොද කතා කිහිපයක් දාන්න. මං මේවට කැමතියි. ස්තුතියි ඔබේ උත්සාහය ඉහලින් අගය කරනවා.. මම හාන්ස්ගේ ඒවා කිහිපයක් අනුවර්තනය කෙරුවා. මං හිතන්නේ ඔබටත් ඒ කතා ටිකක් ලමයි වෙනුවෙන් දෙන්න පුළුවන් නං හොදයි නේද?? ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් අගය කොට සලකනවා. ඔබ අදහස් කරන්නේ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විය යුතුයි. මා සතුව එවැනි සුරංගනා කතා කිහිපයක් තිබෙනවා. එයින් එකක් පරිවර්තනය කර ඉදිරියේදී දාන්නම්. එය වෙනසකටත් එක්ක හොඳයි.

      Delete
    2. ඔව් ඔව් ඇන්ඩ ගැන තමා. ස්තුතියි..

      Delete
  2. වෙනදා වගේම ලස්සන පරිවර්තනයක්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කියවා අදහස් දැක්වූවාට ඔබටත් ස්තූතියි රන්දික.

      Delete
  3. නිලුක මේක රසවත් වගේම පිරිපුන් පරිවර්තනයක්. ඊට අමතරව මේ ලේ අවුට් එක වෙනස් කරා නම් හොඳයි කියල හිතනවා. කියවගෙන යද්දී ටිකක් අපහසුයි. පේලි අතර දුර වැඩි කරලා left alignment විතරක් කරොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. තිලක අයියා, ඔබේ මේ ප්‍රතිචාරය සතුටට කාරණයක්. මෙය රසවත් හා පිරිපුන් පරිවර්තනයක්යැයි ඔබ කියනවා නම් එය එසේ විය යුතුමයි. ඔබට තුති. මා මෙහි ලේ අවුට් එක ඔබ කියූ පරිදි වෙනස් කළා. වඩාත් සරළ, කියවීමට පහසු ටෙම්ප්ලේට් එකකට මාරු කළා. දැන් බලන්න. කියවීම අමාරු නැතිවෙයි.

      Delete
    2. ඔබේ පරිවර්තනයට වගේම මේ අලුත් ලේ අවුට් එකටත් මම කැමතියි.

      Delete