2015/07/27

ලීඩා සහ තිසරා*





















හදිසි පහරෙකි: ප්‍රකම්පිත යුවතිය මතින්
ගැහෙයි සුවිසල් පියාපත් තවමත්
කලු ජාල පාවලින් පිරිමැදෙයි ඈ දඟ යුග
ඈ ගෙලෙහි පසුපස සිරව ඇත ඔහුගේ හොටට
අසරණ ඇගේ ළය තදව ඇත ඔහුගේ ළයට

භීතියෙන් කම්පිත ඒ ඇඟිලිවල උදව්වෙන්
පියාපතෙන් නිර්මිත වූ ඒ මහිමය
ඉහිල් වෙන ඈ කලවාවලින් ඉවතට
තල්ලු කර දමන්නද කෙසේනම් ?
සුදෝසුදු ප්‍රවාහයෙහි වැතිරුණු ඈ සිරුර
අමුතු හදගැස්මට කන් යොමනු හැර
කරන්නද ඉතින් වෙන කුමක්?

ඔහුගේ දෙපා මුල ගැස්මෙන් ජනිත වෙයි
බිඳුණු පුර පවුරු, ගිනිගත් වහලවල් හා කුළුණු
සමගින් මරණය ඇගමෙම්නොන්ගේ**

සිරව ඔහුගේ ග්‍රහණයෙහි,
මුසපත්ව තිරිසන් ලෙයින් වාතලයේ රැඳුණු
ගත්තේද ඈ ඔහු දැනුම සහ බලය තමා වෙත
උදාසීන හොට ඇය අතහරින්නට පළමුව ?














-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

* මෙම කවිය යේට්ස්ගේ Leda and the Swan නමැති කාව්‍යයේ පරිවර්තනයකි. ග්‍රීක දේවකතා පුරාණය අනුව ස්පාටාවේ රජු වූ ටින්ඩේරියස්ගේ බිරිය වූ ලීඩා රැජින තිසරෙකුගේ වෙස්ගත් මහදෙවි සියුස් විසින් වසඟයට ගනු ලබයි. සුන්දර ලීඩා වසඟයට ගෙන ඇය හා රමණයෙහි යෙදෙනු රිසි වූ සියුස් මහදෙවි තිසර වෙසක් මවාගෙන, රාජාලියෙකුගේ ග්‍රහණයෙන් බේරෙන්නට එන මුවාවෙන් ඈ වෙත එයි. මේ කිසිත් නොදත් තරුණ ලීඩා තිසරාට රැකවරණය දෙන්නී ඔහුගේ වසඟයට පත්ව දූෂණයට ලක්වන්නීය. එම අවස්ථාව මෙම කවියෙන් නිරූපිතය. මේ අනුව සියුස් මහදෙවිට දාව ලීඩා රැජින දරුවන් දෙදෙනෙකු ලබන්නීය. ඉන් එක් අයෙකු වන්නේ ට්‍රෝජන යුද්ධයට මුල්වූ සුරූපි හෙලන්ය. දෙවැනියා පොලිඩියුසියස් නම් වේ. මීට අමතරව ලීඩාට සිය සැමියා වූ ටින්ඩේරියස්ට දාව උපන් දරුවෝ දෙදෙනෙක්ද වූහ. ඉන් එක් අයෙකු කැස්ටර් නම් වූ අතර දියණිය ක්ලයිටම්නිස්ට්‍රා නම් වූවාය. ට්‍රෝජන යුද්ධයේදී ට්‍රෝයි හමුදාවලට විරුද්ධව සටන් කළ එක්සත් ග්‍රීක හමුදාවල නායකයා වූ ඇගමෙම්නොන් මහරජු ආවාහ කොට ගත්තේ මේ ක්ලයිටම්නිස්ට්‍රාය. ට්‍රෝජන යුද්ධය ජයගෙන පැමිණෙන ඇගමෙම්නොන් මහරජු ක්ලයිටම්නිස්ට්‍රාගේ අනියම් පෙම්වතා වන ඊජිස්තස්ගෙන් මැරුම් කයි. තවත් කතාවකට අනුව ඇගමෙම්නොන් මහරජු මරා දමන්නේ ඊජිස්තස් නොව ඔහුගේ බිරිය වන ක්ලයිටම්නිස්ට්‍රාමය.

**ඇගමෙම්නොන් මහරජුගේ මරණයට හේතුව වන ක්ලයිටම්නිස්ට්‍රාද ලීඩාගේ දියණියකි. මහදෙවි සියුස් සිය මවට කළ හදියෙන් දරුණු මානසික පීඩාවකට ලක්වන ක්ලයිටම්නිස්ට්‍රා එයින් හටගත් විපරීත මනස නිසාවෙන් පසු කලෙකදී ඇගමෙම්නොන් මරා දමන්නට ඇති බවට කවියා මෙහිදී ඉඟි කරයි. අනෙක් අතට ට්‍රෝජන යුද්ධයට මුල් වූ හෙලන් උපදින්නේ මහදෙවි හා ලීඩා අතර මේ අවස්ථාවේදී ඇතිවන සහවාසයෙනි. ඇගමෙම්නොන්ගේ මරණය, බිඳුණු පුර පවුරු, ගිනිගත් වහලවල් හා කුළුණුවලට වක්‍රව වගකිවයුතු හෙලන්ගේ උපතට හේතුව මෙම කවියෙන් විස්තර වන සිද්ධිය බවටද කවියා මෙහිදී ඉඟි කරයි.   

2015/07/11

නොඑනු මැන, මා මළ පසු






















නොඑනු මැන, මා මළ පසු
ඔබේ බොළඳ කඳුළු මා සොහොන මත සලන්නට
නොඑනු මැන, පයෙහි නොඇලෙන දුක් දූලි පාගා
වැදහොත් මා හිස වටා යන්නට
ඉඩ හරිනු මැන එහි සුළඟට හමන්නට
ඉඩ හරිනු මැන එහි විහඟුන්ට ගයන්නට
එහෙත් යනු මැන, නොපැමිණ මා සොහොන වෙත

දරුව, ඒ ඔබේ වරද වුව, අපරාධය වුව
කම් නැත මට ඉන්, නොගනිමි මම එය ගණනකට
විවාපත් වෙනු මැන ඔබ රිසි කෙනෙකුන් සමග
කාලයෙන් රෝපත්ය මම, රිසියෙමි ඉසිඹු ලන්නට
ඉදින් යනු මැන දුබල හදවත
මා හට වැතිර ඉන්නට ඉඩ හැර
යනු මැන, යනු මැන, නොපැමිණ මා සොහොන වෙත














-ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892) 

සෙවුම්