2015/08/30

පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව




















පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව,
ගිනිගත යුතුය බුර බුරා මහලු විය අවසන් වන විට දවස;
සටන් කරනුය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

අවසාන මොහොතට ළංවූ නැණැති දන
දත් වුවද ළඟ එන අඳුර වළකනු නොහැකි වග,
නොනැගුණු හෙයින් ඔවුන්ගේ වදන් කිරියට
පිය නොනගති ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව.

දියතෙහි දිවි ගෙවන අවසන් සුදන ගණ,
‘කළ හැකිව තිබිණිද කෙතරම් යහපත් කිරිය’
හඬ නගා වැලපෙමින් ඒ ලෙසට කියමින
සටන් කරතිය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

අතින් අල්ලා නැගෙන ඉර, ගී ගැයූ නොදැමි දන
පමාවී වැටහී සොවින් මරු නිසැකවම එන වග,
පිය නොනගති ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව

අඳව යන දෙනෙතින් බලන, මරණය අබිමුවැති නිසල දන
බැබළෙනු හැකිය ඒ නෙත්වලට ප්‍රීතියෙන් උල්කා ලෙසින,
සටන් කරතිය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව

මා පියාණෙනි රැඳී සිටිනා ඒ දුක්ඛිත මොහොත අබියස
යදිනෙමි ඉතින්, ශාපකරනා ලෙස ආසිරි පතන ලෙස මහට
ඔබේ බියකුරු කඳුළුවැල් වගුරමින.
පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව.
සටන් කරනුය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

 











-ඩිලාන් තෝමස් (1914-1953)



විසිවැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම වෙල්ෂ් ජාතික කවියෙකු ලෙස ගැනෙන ඩිලාන් තෝමස් නූතන ඉංගිරිසි කවීන් අතර උසුලන්නේ අද්විතීය ස්ථානයකි. අවුරුදු තිස් නවයක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ ඩිලාන් තෝමස් විසින් කරන ලද කාව්‍ය නිර්මාණ ලෝක සාහිත්‍යයේ සිය ලකුණ රඳවා ඇත.



Do not go gentle into that good night නමැති මෙම කවිය, මරණ මංචකයේ සිටි තම පියා වූ ඩේවිඩ් ජෝන් තෝමස් අමතමින් ඩිලාන් තෝමස් විසින් ලියන ලද්දකැයි කියැවේ. තරුණ වියේදී ශක්තිමත් මිනිසෙකුව සිටි තම පියා දුර්වලව, අඳ වූ දෙනෙතින් යුතුව මරණ මංචකයේ වැතිර සිටින විට, මරණය නමැති රාත්‍රියට සටනක් නොකර පිය නොනගන ලෙසටත්, මරණයට පහසුවෙන් යටත් නොවන ලෙසටත් කවියා ඔහුට ආයාචනා කරයි.



යහපත් මිනිසුන්, නොදැමි මිනිසුන්, නුවණැති මිනිසුන් සහ නිසල, බැරෑරුම් මිනිසුන් මරණයට මුහුණ දෙන විවිධ ලීලාවන් ගෙනහැර දක්වන කවියා සිය පියාට කියනුයේ මරණය නමැති සුබ රාත්‍රිය වෙත සන්සුන්ව පිය නොනගන ලෙසත් මිය යමින් ඇති ආලෝකයට විරුද්ධව වියරුවෙන් මෙන් සටන් කරන ලෙසත්ය.  

Painting by James Bishop  

2015/08/19

කම්කරුවෙක් ඉතිහාසය කියවයි



කවුරුන්ද තැනූයේ තීබසයේ සප්තද්වාරය?
පොත් පිරි ඇත රජවරුන්ගේ නම්වලින්
එය සදන්නට ඇවැසි රළු කලුගල්
ගෙනගියේ රජදරුවන්ද සිය කර මතින්?
විනාශයට පත් බැබිලෝනය බෝ වරක්
කවුරුන්ද ගොඩනැගූයේ යළි යළිත්?
රත්තරනෙන් දිදුල ලීමාවේ නිවෙස්වල
විසුයේද ඒ තැනූ කිසිවෙකුත්?
චීන මහපවුර තනා නිමවූ සැඳෑවේ
කොහි ගියෙද එය සැදූ පෙදරේරුවන්?
අදිරදුන් දිනු රෝම නගරය
පිරී ඇත නෙක ජය සමරුවෙන්
කවුරුන්ද තැනූයේ ඒ සමරු?
දිනුවේ කවුරුන් මැඬද සීසර්?
දවස’රියි බයිසන්තියම ගීයෙන්
විණිද එහි වූ සියලු ගේ දොර මාලිගාවන්?
සාගරය ගොඩගලා යටවු විට ඇට්ලාන්ටිස් ද්වීපය
විලාප නොගැසීද දියෙහි ගිලෙනා මිනිසුන්
සිය වහලුන් කොහිදැයි අසමින්?

යොවුන් ඇලෙක්සන්දර කළේ දික්විජය භාරතය
දික්විජය කළේ තනිව ඔහු පමණකිද?
සීසර් පැරදවී ගෝල් දෙස වැසියන්
නොවිණිද ඔහුගෙ සේනාවේ අරක්කැමියෙකුවත්?
ගිලී වැනසුණු කල නෞකා පංතියම
හඬා වැටුණේය ස්පාඤ්ඤයේ පිලිප් රජු
නොහැඬීද ඉතින් වෙන කිසිවෙකුත්?
ග්‍රීසියේ ෆ්‍රෙඩ්රික් දිනුවේය සත්වසරක යුදය
නොවිණිද ඒ ජයෙහි වෙන කොටස්කරුවන්?

ඉතිහාසයේ හැම පිටුවකම ලියැවී තිබේ දිනුමක්
කවුරුන් නිසාදෝ ඒ දිනුම් සැමරුණේ?
සෑම දශකයකම ඇත මහා පුරුෂයෙක්
කවුරුන්ද ඇත්තට ඊට දායක වුණේ?

විස්තර රාශියකි.
ප්‍රශ්නද රාශියකි.














-බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1898-1956) 

Painting by Steve Noon

සෙවුම්