පිටු

2015/11/21

සිමියොන්ගේ ගීතය

























ශාන්ත ලූක්ගේ ශුභාරංචියෙහි දෙවැනි පරිච්ඡේදයේ සඳහන් වන පරිදි සිමියොන් (දේව ග්‍රාහක සිමියොන්) යනු කිතු උපත සමයේ ජෙරුසලමෙහි විසූ ඉතාමත් සාධාරණ, බැතිමත්, මහලු යුදෙව්වෙකි. ශුභාරංචියෙහි සඳහන් ආකාරයට, සිමියොන් වෙත පැමිණි ශුද්ධාත්මය, දෙව්පුත් ක්‍රිස්තුන් මෙලොව එළිය දකින බවත් ඒ ගැලවුම්කාරයාණන් දකින තුරු ඔහුට මියයාමට නොහැකි බවත් ඔහුට පැවසීලු.

ජේසු බිළිඳාගේ උපතින් පසු, යුදෙව් ආගම ප්‍රකාර ඔහු දෙවියන් වෙත ඉදිරිපත් කරන්නට දේවස්ථානය වෙත ගෙන ගිය විට ඒ දේවස්ථානයේදී ජේසු බිළිඳුන් පිළිගනු ලබන්නේ සිමියොන් විසිනි. සිය දෑතට ජේසු බිළිඳුන් වඩා ගන්නා සිමියොන්, ඔහුට ආසිරි පතා දෙවියන් හට පවසන්නේ තමා ගැලවුම්කාරයාණන් දුටු බවත්, දෙවියන් වහන්සේ පිළිණ දුන් පරිදි දැන් ශාන්තියෙන් යුතුව තමාට පිටව යන්නට ඉඩහරින ලෙසත් ය.

ජේසු බිළිඳා දෑතට ගෙන ඔහු දෙවියන් යදියි. ඒ යැදුමෙහිදී ජේසුතුමන්ට අනාගතයේ අත්වන ඉරණම ගැනත්, විදේශික හමුදාවක් හමුවේ යුදෙව්වන්ට පළායන්නට සිදුවීම ගැනත් සිමියොන් අනාගත වාක්‍යයක් කියයි. මෙහිදී හුදෙකලා කන්ද ලෙස කල්වාරියටත්, මවකගේ ශෝකී හෝරාව ලෙස සිය පුතුගේ දුක්ඛප්‍රාප්තිය හමුවේ වැලපෙන මරියතුමියගේ ශෝකයටත්, රැහැන්, කසපහර, වැලපීම් පිරි කාලය ලෙස කසපහර දෙමින් ජේසුතුමන්ට කල්වාරියට නගින්නට බල කෙරුණු  කාලයටත් සිමියොන් සිය අනාගත වාක්‍යයෙන් ඉඟි සපයයි.

ටී.එස්. එලියට්ගේ A Song for Simeon නමැති මෙම කවියට පදනම්ව ඇත්තේ දේවග්‍රාහක සිමියොන් විසින් කරනු ලැබූ ඒ යැදුමයි.

සිමියොන්ගේ ගීතය

සමිඳුනි, පිපෙයි රෝම හයිසින්ත් මල් බඳුන්වල
සිසිරයේ හිරු බඩගායි හිම කඳු අබියස
දැඩි කටුක ඍතුව අප හැර නොයනා විලාසෙකි.
සැහැල්ලුය මා ජීවිතය, බලා හිඳියි එය මරණයේ සුළඟ එනතෙක්
අත්ල මත රැඳී ඇති කුරුළු පිහාටුවක් පරිද්දෙන්.
හිරු එළියෙහි නැගි දූලි හා අහුමුළුවල රැඳි මතකයෝ
බලා සිටිතිය මරණයේ බිම වෙත සිසිල් මාරුතය හමන තෙක්.

දෙනු මැනව මා හට ඔබගේ ශාන්තිය.
වසර ගණනක් පුරා ඇවිද ගියෙමිය මේ නුවර මුළුල්ලේ,
ඇදහූයෙමි සැක නොකොට, ව්‍රතයෙන් කල් ගෙවිමි දුගිනට දන් දෙමින්,
ගරු කළෙමි දන හට පහසුව සැලසීමි, පෙරළා ලැබූයෙමි ගෞරවය, පහසුව.
මා දොර අබියසට පැමිණියා වූ කිසිවෙකුත් පෙරළා නොගියෝය හිස් අතින්.
ශෝක වන කාලය එළැඹෙන විට,
කාගේ මතකයේ රැඳෙනු ඇතිදෝ මා විසූ නිවහන?
කොතැනක වසනු ඇතිදෝ ම දරු මුණුපුරු කැළ?
පළායමින් නොරටුන් කෙරෙන්, ඔවුනගේ අසිපත් කෙරෙන්
යනු ඇත ඔවුන් එළුවන් යනෙන මඟ, සිවලුන් වසන තැන.

රැහැන්, කසපහර, වැලපීම් පිරි කල උදාවන්නට පෙර,
දෙනු මැනව මා හට ඔබගේ ශාන්තිය.
හුදෙකලා කන්දෙහි නැවතුම්වලට පෙර,
මවකගේ ශෝකී හෝරාව එළඹෙන්ට පෙර,
මරණයේ උපත සනිටුහන් වන මේ ඍතුවේ
තවමත් බහ නොතේරූ, සුපුවත නොකී ඒ බිළිඳු තෙම
අසූ වසරක් ආයු විඳි, හෙට දිනයක් නොමැති මා හට
ඊශ්‍රායලයේ සැනසුම රැගෙන ආවාවේ ඉතින්.

ඔබ පිළිණ දුන් පරිදි.

පසසනු ඇත ඔවුන් ඔබ, එසේ කොට විඳිනු ඇත
පරපුරින් පරපුරට මහිමයද, අපහාස ගැරහුම්ද
නොනැවතී ආලෝකය ලැබ, සුපේශල වූ මඟ යමින.
දිවි පුදන්නට ඇවැසි නැත මට, ඇවැසි නැත මට
සිතිවිල්ලෙහි සහ යැදුමෙහි ප්‍රහර්ෂය
ඇවැසි නැත මට දකින්නට ඒ අවසන් දසුන
දෙනු මැනව මා හට ඔබගේ ශාන්තිය.
(ඔබ හදවත පවා සිදුරුවනු ඇත අසිපතින්).

විඩාවට පත්ව සිටිනෙම් මම මගේ දිවියෙන්ද
මට පසුව එන්නන්ගේ දිවියෙන්ද
මියයමින් සිටින්නෙමි මම මගේ මරණයද
පසුව එන්නන්ගේ මරණයද
ඔබේ ගැලවුම දැක
යන්නට ඉඩ හළ මැනව ඔබ දාස තෙම හට.














-ටී.එස්.එලියට් (1888-1965)    

 Painting by: Aert de Gelder

No comments:

Post a Comment