2016/06/25

මා සිතන සැටියට















මා සිතන සැටියට
දෙවියන් මිය ගොසින් ඇත.
ඔහු සිටිත් යැයි සිතන අය
සිතුවාදෙන් එලෙස.

කතා නොකරමි තවත් ඔහු ගැන;
මුමුණන්නේ නොවෙම් තවත් ඔහු නම.
වනසාගෙන සිටින්නෙමු
එකිනෙකා අප දෙදෙන.

ප්‍රශංසා කළෙමිය පෙර ඔහු නමට.
ශාප කළෙමිය ඊට ඉන් අනතුරුව.
බැලූ විට ඒ සියලු දේ
මහා කටයුත්තක් විය.

සිටින්නෙමි දැන් මා නොදොඩා නිහඬව.
ගෙවන්නෙමි මා දිවිය රිසි පරිද්දෙන් මහට.














-  තුකාරාම් (1598-1649)

(දිලිප් චිත්රේ මරාථි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි) 
 

Photo credit: pinterest.com



2016/06/18

සුවපත්කිරීම





සිප ගනු මැන සොඳුර මා පැසුණු හිස,
හැකිවනු ඇත තවමත් ඔබට,
පළවාහැර එහි ශ්වේත වර්ණය
කලු පැහැය යළි රැගෙන එන්නට.

සිපගෙන ඉතින් මා දෙනයන
දුරලනු මැනවි ඉන් සන්තාපය,සැකය.
යළි මා හොඳ, බැතිමත් කෙනෙකු කරනට,
හැකිවනු ඇත තවමත් ඔබට.

ඉවත හළ මැන සොඳුර සිපගෙන,
හලාහල විෂ මා මුවෙන්.
ඇතැම්විට මා යළි මුග්ධ වී,
තරුණයෙකු වනු ඇත ඉතින්.














-ඒබ්‍රහම් රෙයිසන් (1876-1953)

(ජෝසප් ලෙෆ්ට්වික් යිඩිෂ් බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by Edvard Munch

2016/06/12

වියපත් නාවිකයෙකුගේ මරණය



















මිහිදන් කළෙමු අපි ඔහු
සුළං හමනා කඳු මුදුනක
ගියේ ඔහු ආත්මය එනමුදු
පෙරළා මහසයුර වෙතටම.

ඔහුගේ ආත්මය යළි සයුර වෙත
ගිය වග දනිමි මම.
සියල්ල නිසල වූ කල,
සයුර ප්‍රිය කළ ඔහු ආත්මය
මෙලෙසින් කියන සැටි
ඇසුණු නිසාවෙන් මහට:

නොතබනුය සොහොන් ගලක්
මා හිස අද්දරින්,
නොතනන හෙයින් මා
මා සයනය එතැන.
නොවිසුරුවනු මැන කුසුමන්
මා සොහොන මත්තෙහි,
පෙරළා ගිය හෙයින්
මහසයුර වෙත මා.
නොවැලපෙනු මැන මා නිසාවෙන්,
මා සයුරෙහි තුටින් වසනා හෙයින්.















-ලැන්ග්ස්ටන් හියුස් (1902-1967)

Painting by Kevin Hill. 

සෙවුම්