2017/03/05

හිස් කඩදාසියකි මා දිවිය



හිස් කදාසියකි මා දිවිය
රැඳිණි එය හිස් කදාසියක් ලෙසටම
යම් දෙයක් ලියැවිණිද ඒ මත
මැකිණි ඒවා කඳුළු සමගින

එක් සුළං රැල්ලක් හමා විත්
කුසුම් ගිලිහී වැටිණි අත්තෙන්
පවනෙහිත් නොව, උයනෙහිත් නොව
එනම් කාගේ වරදක්ද එය
සුවඳ පොද සැඟවිණිය සුළඟෙහි
ඉතිරි නොවිණිය ඉතින් කිසිවක්

ගගන සරනා සියොත් කැළටත්
ඇත කැදැල්ලක්, මහට නැත එය
මාවතක් නැත, දැනුමකුත් නැත
මෙමට කොයිබක යන්න වේදැයි
සිහිනයක් වී මගියෙකුගෙ හිස
රැඳී සිටියෙමි ඔහුත් සමගින


චිත්‍රපටය:          කෝරා කාගස්z (හිස් කඩදාසිය)- 1974
සංගීතය:           කල්යාන්ජී-ආනන්ද්ජී
ගී පද:               එම්.ජී. හෂ්මත්
ගායනය:          කිෂෝර් කුමාර්

2017/02/25

කුමට හඬනුද මේ (ආරාධනා චිත්‍රපටයෙන්)




මේ බලාපොරොත්තු විරහිතබව ඔබේ
හැරෙනු ඇත අපේක්ෂා බවට එක් දිනෙක...

කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

මැටියෙන් කළ පහන බිඳී යන්නේ වුව
දැල්වෙන කලට එය විහිදුවයි එළියම
කඩා හැලෙනා කලට මේ කඳුළු, දිය වුව
නැවතුණු කලට ඒ මුතු බවට පත්වේය
ඇස්වලින් වට ඒ කඳුළු මුතු කැට
වස්තුවක් මෙන් එකතු වනු ඇත, නැතිවී නොයනු ඇත.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

මහ කුණාටුවකින් ගිලගත්, සාගරය සදිසිය ඔබ දිවිය
කෙතෙක් බොළඳද ඔය දෑස, ඉහිරෙන දිය බඳුනක් විලස
නොදනිම් ඉතින් සිටිනු මන්දැයි මෙලෙස
කඳුළෙන් තෙත්ව ගිය, දෙනයනින් යුක්තව.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

කලෙක ඇති වේමය දුක්ඛයෙහි සෙවණැල්ල
කලෙකදී පතිත වේ සතුටෙහි අව් රැල්ල
පෙරලෙනුය දුක සැප නිතින ජීවන උයන් තෙර
මල්වලින්, කටුවලින් උයන්පලු තෙම මල්දමක් අමුණන.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට


ගී පද:            ආනන්ද් බක්ෂි
ගායනය:        සචින් දේව් බර්මන්
සංගීතය:        සචින් දේව් බර්මන්
චිත්‍රපටය:       ආරාධනා (1969)

2017/02/05

රාත්‍රිය





















මගේ මුළු දිවියම
සත්වරක් හස් ඔබා මුද්‍රා තැබූ
එකම දිගු රැයක් බවට පෙරලූ
කඳවුරේ ගෙවූ ඒ පළමු රැය
අමතක නොකරමි කිසිදිනෙක මම

අමතක නොකරමි කිසිදිනෙක
ඒ දුම්රොටු,
නිශ්ශබ්ද අහස යට
දුම්රොටුවලට පෙරලුණු සිරුරු හිමි
දරුවන්ගේ සිඟිති මුහුණු
අමතක නොකරමි කිසිදිනෙක මම

මගේ භක්තිය දවා හළු කළ
ඒ අග්නියෙහි දලු
අමතක නොකරමි කිසිදිනෙක මම

ජීවිතේ ආශාව මා කෙරෙන්
සදහටම තුරන් කළ
ඒ නිශාචර නිහඬබව
අමතක නොකරමි කිසිදිනෙක මම

මගේ දෙවියන්, මගේ ආත්මය
අමු අමුවේ මරා
මා සිහින අළු කළ ඒ මොහොතවල්
අමතක නොකරමි කිසිදිනෙක මම

සිදුවුවද වසන්නට මහට
දෙවියන් සා දිගු කලක්
එදින සිදු වූ දේ
අමතක නොකරමි කිසිදිනෙක මම

අමතක නොකරමි කිසිදිනෙක මම
















ජාත්‍යන්තර යුදෙව් සංහාර (හෝලෝකෝස්ට්) සමරු දිනය පසුගිය ජනවාරි මස 27 වැනිදාට යෙදී තිබිණි. නට්සින්ගේ කුප්‍රකට අවුෂ්විට්ස් වධ කඳවුරෙහි සිර කර සිටි දහස් සංඛ්‍යාත යුදෙව්වන් සෝවියට් රතු හමුදාව විසින් මුදා ගනු ලැබීමේ සංවත්සරය ජාත්‍යන්තර හෝලෝකෝස්ට් සමරු දිනය ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

අවුෂ්විට්ස් සහ බූකන්වල්ඩ් කඳවුරු දෙකෙහිම සිර කරනු ලැබ සිට දිවි ගලවාගත් එලී වීසල් විසින් ලියන ලද ‘රාත්‍රිය නමැති ස්වයංචරිතාපදාන කෘතියෙන් ඉහත පෙළ උපුටා ගැනිණි.

රුමේනියාවේ ඉපිද පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ එලී වීසල් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති රාශියක් ලියා ඇත. 1986 දී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබිණි.

එලී වීසල් ප්‍රංශ බසින් ලියන ලද ‘රාත්‍රිය කෘතිය ඉංගිරිසි බසට නගන ලද්දේ ඔහුගේ බිරිය වූ මැරියන් වීසල් විසිනි. මැරියන් වීසල්, ජාත්‍යන්තර හෝලෝකෝස්ට් සමරු දිනය නිමිත්තෙන් 2017 ජනවාරි 27 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වුණු සමරු උත්සවයට සහභාගී වූවාය.

2017/01/22

සැබෑ රාජ කුමාරිකාව



රාජ කුමාරිකාවක් ආවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් හිටිය රාජ කුමාරයෙක් එකෝමත් එක කාලෙක හිටියා. හැබැයි ඒ කුමාරිකාව සැබෑ රාජ කුමාරිකාවක් වෙන්න ඕනෑ. එහෙම කුමාරිකාවක් හොයාගෙන කුමාරයා මුළු ලෝකෙ වටේම ගියත් ඔහුට අවශ්‍ය කරපු කෙනා හොයා ගන්න බැරි වුණා. රාජ කුමාරිකාවන් ඕනෑ තරම් හිටියත් ඒ අය නියම රාජ කුමාරිකාවන්ද කියලා හොයා ගන්න එක අමාරු වැඩක් වුණා. ඒ හැම කෙනෙකුගේම මොකක් හරි අඩු පාඩුවක් තිබුණා. ඉතින් කුමාරයා ආපහු ගෙදර ඇවිත් දුකෙන් කාලය ගත කළා. මොකද නියම රාජ කුමාරිකාවක් හොයා ගන්න ඔහු බොහොම කැමැත්තෙන් හිටිය නිසා.

එක දවසක හැන්දෑ වරුවේ විශාල කුණාටුවක් ඇති වුණා. අහස ගොරවමින්, අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුණා. හදිසියේම නගරයේ ද්වාරයට කවුරුන් හෝ තට්ටු කරන ශබ්දයක් ඇසුණා. ඒ කවුරුන්දැයි බලන්න කුමාරයාගේ පිය රජතුමා නගර ද්වාරය ළඟට ගියා.

එහෙම ගිහින් බලන කොට නගර ද්වාරය ඉදිරිපිට හිටගෙන හිටියේ කවුද දන්නවද, රාජ කුමාරිකාවක්. ඒත් වැස්ස සහ සුළඟ හේතුවෙන් ඇය හොඳටම තෙතබරි වෙලයි හිටියේ. ඇගේ හිසකෙස්වලිනුත් ඇඳුම්වලිනුත් වතුර බේරුණා. ඇඟ දිගේ බේරුණු වතුර ඇගේ පාවහන්වල ඉදිරිපසටත් පසුපසටත් වැක්කෙරුණා. එහෙම වුණත් තමන් නියම රාජ කුමාරිකාවක් බව ඇය කියා හිටියා. 

“හොඳයි, අපට ඒක ඉක්මනටම දැන ගන්න ලැබෙයි,” කියලා මවු බිසව හිතුවා. එහෙත් වචනයක්වත් නොකියපු ඇය යහන් ගබඩාවට ගිහිල්ලා, ඇඳ මත තිබුණු ඔක්කොම කොට්ට මෙට්ට අයින් කරලා ඇඳේ ලෑල්ල උඩ රටකජු ඇටයක් තැබුවා. ඊට පස්සේ ඇය ගුදිරි විස්සක් ඒ රටකජු ඇටය උඩින් ඇතිරුවා. ඒ ගුදිරි විස්සට උඩින් මුහුදු තාරාවන්ගේ පිහාටු පුරවපු ඇඳ ඇතිරිලි විස්සක් ඇතිරුවා.

ඒවා මත වැතිරිලා කුමාරිකාව රැය පහන් කළා. කලින් දා රෑ ඇයට හොඳින් නින්ද ගියාද කියලා පහුවදා උදේ ඇගෙන් අසනු ලැබුවා.

“අනේ මට හරියට නිදාගන්න බැරි වුණා !” කියලා ඇය උත්තර දුන්නා. “ ඊයේ රෑ මට යාන්තමින්වත් ඇහැ පියා ගන්න බැරි වුණා. ඇඳේ මොකක් තිබුණද මම දන්නෙ නෑ, ඒත් මම වැතිරිලා හිටියේ මොකක් හරි තද දෙයක් උඩ. ඒ තද දේට හිටලා මගේ මුළු ඇඟම තැලිලා. හරිම අමාරුයි !”

ගුදිරි විස්සත්, පිහාටු පුරවපු ඇඳ ඇතිරිලි විස්සත් පාසා කරගෙන රටකජු ඇටය තිබෙන බව ඇගේ සිරුරට දැනුණු නිසා ඇය නියම රාජ කුමාරිකාවක් බව ඔවුන් දැන් දැන ගත්තා.

නියම රාජ කුමාරිකාවක් ඇර වෙන කෙනෙකුට එච්චර සංවේදී වෙන්න බෑ.


තමන්ට නියම රාජ කුමාරිකාවක් ලැබුණු බව දැන ගත්තු කුමාරයා ඒ කුමාරිකාව සරණ පාවා ගත්තා. අර රටකජු ඇටය කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. ඒක කවුරුහරි හොරකම් කරලා නැත්නම් තවමත් දැකගන්නට පුළුවන් ඇති.

මේක ඇත්ත කතාවක්.  















-හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)

සෙවුම්