2020/10/18

පුනරාගමනය

 

ක්‍රමයෙන් විසල් වන සර්පිලාකාර පථයෙහි
කැරකි කැරකී ඉහළ යන උකුස්සා හට
නොඇසේ උගේ ස්වාමියා නඟන හඬ;‍
බිඳී විසිරී යයි සියල්ලම; 
පෙරමුණේ මධ්‍යයට තවත් දරා ඉනු නොහැක;
මුළු ලෝකය පුරා පැතිර ඇත හුදු අරාජිකබව,
හාත්පස ගලා රුධිරයෙන් අඳුරු වුණු වඩදිය,
අහිංසකබවේ ආගම ගිලී ගොසිනිය හැමතැන;
සියලු අවබෝධයෙන් තොර වෙත් සුදන ගණ,
ලාලසී වේගයෙන් ඇලලෙනුය දුදන කැළ.


යම් හෙළිදරව්වක් නිසැකවම අත ළඟය;
පුනරාගමනය* නිසැකවම ළඟ එනුය.
පුනරාගමනය! යන වදන මුවින් ගිලිහෙන්නටත් පෙර
ගැහැට පමුණුවයි මා නෙතට
විසල් රුවක් විශ්වාත්මයෙන්** නික්මුණ:
හිරු මෙන් ක්‍රෑර, හිස් බැල්මැති රුවක් නරසිංහ***
සෙමෙන් පා නඟයි කතරේ වැලි අතර කොහේදෝ සිට,
කතරෙහි සරන කිපුණු විහඟ සෙවණැලි කැරකෙයි එරුව වටකර.
යළි උදාවෙයි අඳුර; එනමුදු දනිමි දැන් මම
සියවස් විස්සක ශෛලමය නිද්‍රාව
පැද්දෙන තොටිල්ලකින් උපන් නපුරු සිහිනයකින් කෙළවර වූ වග.
අවසානයේ සිය කල පැමිණි, කවර නම් රළු මෘගයකු
බෙත්ලෙහෙම කරා ඇදෙන්නෙද අශෝභන ලෙස
යළි උපත ලබන්නට?









- විලියම් බට්ලර් යේට්ස් (1865-1939)


* පුනරාගමනය හෙවත් දෙවැනි පැමිණීම (Second Coming)- මීට වසර දෙදහසකට පමණ ඉහතදී ස්වර්ගයට උත්ථාන වූ ජේසුස් වහන්සේ දෙවැනි වරටද මෙලොවට යළි පැමිණෙන්නේය යන ක්‍රිස්තියානි විශ්වාසය.


** විශ්වාත්මය (Spiritus Mundi)- ලෝකය බිහිවූ දා පටන් මානව වර්ගයා තුළ නිර්මාණය වූ මතක අන්තර්ගත විශ්ව ආත්මයක් ඇතැයි යේට්ස් විශ්වාස කළේය. සියලු නිර්මාණකරුවන් සිය අනුප්‍රාණය සහ පරිකල්පනය ලබන්නේ මෙකී විශ්වාත්මයෙනැයිද යේට්ස් ඇදැහූයේය.


***මිනිස් හිසක් සහ සිංහ සිරුරක් ඇති Sphinx නම් ඊජිප්තු මිථ්‍යා සත්ත්වයාගේ ශෛලමය ප්‍රතිමාව



1919 දී පළමුවැනි ලෝකය යුද්ධය අවසාන වීමත් සමඟම පාහේ යේට්ස් විසින් ලියන ලද The Second Coming නම් වූ මෙම කවියෙන්, පුනරාගමනය හෙවත් දෙවැනි පැමිණීම යනුවෙන් හැඳින්වෙන ස්වර්ගයට උත්ථාන වූ ජේසුස් වහන්සේ නැවතත් මෙලොවට පැමිණෙතැයි යන ක්‍රිස්තියානි සංකල්පයට ඉතා ප්‍රබල විකල්ප සංකල්පයක් ඉදිරිපත් කරයි. ස්වර්ග රාජධානිය ප්‍රකාශ කරමින් ජේසුස් වහන්සේ පුනරාගමනය වීමේ චිත්ත රූපය වෙනුවට කවියා මනැසෙහි මවා ගන්නේ කාන්තාරයේ ඇති භයානක මිථ්‍යා සත්ත්වයකුගේ සෙල්රුවක් යළි උපදින්නට බෙත්ලෙහෙම කරා සෙමෙන් ඇදෙන දර්ශනයක චිත්ත රූපයකි. ඒ වනාහී ගැලවුම්කාරයකුගේ ස්වරූපයෙන් පුනරාගමනය කරන ජේසුස් වහන්සේට සපුරාම වෙනස් රළු මෘගයෙකි. මේ රළු මෘගයා උපදින්නට යන්නේ, සියලු අහිංසකත්වය රුධිරයෙහි ගිලී ගිය, සියල්ල කැඩී බිඳී විසිරී ගිය, අරාජිකබවෙන් විනාශයට පත්වූ ලෝකයකය. එබැවින්, එවන් ලොවක සිදුවන දෙවැනි පැමිණීමද මීට වසර දෙදහසකට පෙර සිදුවූ කිතු උපතට වඩා වෙනස් එකක් බවට කවියා ඉඟිකරයි. සමාජයේ බිඳවැටීම ඉතා සවිස්තරව ඉදිරිපත් කරන, අතිශය ප්‍රබල හා විචිත්‍ර චිත්ත රූපවලින් යුත් මේ කවිය යේට්ස් විසින් ලියන ලද කවි අතර විශිෂ්ට ස්ථානයක් උසුලයි. 

Painting by Karl Wilhelm Diefenbach 


2020/10/10

හිමිදිරිය

 


සුදුමැලි රෝස පාටින් හා

නැතිව යන නිල් පැහැවලින් කළ

දියසායම් සිත්තමකිය අහස.

හිරුඑළියේ දිලෙන

තෙතබරිත හරිත පැහැ අතර,

ජීවිතයේ නැවුම් සුවඳක්

එළිමහනෙන් සොරාගෙන

මගේ හද වෙත රැගෙන එන්නට

සෙමෙන් ඉගිලෙයි සුළඟ.



 




-දාරියෝ දි ජුදිචිබුස් (1960-) 

(පරිවර්තනය මුල් ඉතාලි කවියෙනි)

 

Painting by Jill Harrington Nichols

 

 

 

2020/09/26

හේමන්තයට...

 


පිදුරු පියැසි මත ඇදෙන  මිදිවැල් පලෙන් පුරවා අසිරි ගන්වන්නට,
ගෙවතුවල ඇති පාසි වැකි තුරු ඇපල් පලයෙන් බරකර නවන්නට,
සියලු පලවැල මදය දක්වා ඉමිහිරි රසයෙන් පුරවාලන්නට,
පුසුල් පල විසල් කර, මිහිරි මදැති හේසල් පල තර කරන්නට,
ඇලෙනසුළු මීවද පුරවා ඇති හෙයින් ගිම්හානය මධුවලින් උතුරා යන,
උණුසුමෙන් පිරි දවස් සදහටම තිබේයැයි බිඟුන් සිතනා තුරුම
පමාවී පිපෙන මල් තවතවත් විකසිත කරන්නට,
වියපත්ව යන දිනසුරුගේ ළබැඳි වූ මිතුරු තෙම
තුසරයෙහි හා පසන් පලබර බවෙහි ඍතුව
හිරු සමඟින් යෙදෙයි රහස් වූ මතුරෙක.
 
ඔබ තම යසඉසුරු මැද සිටිනු දැක නැත්තේ කවුරුන්ද?
හමනා සුළඟ වැද මුදුව ඉහළට නැඟෙන ඔබ කෙහෙරැළි සමඟ
හිඳගෙන සිටින සැටි ඔබ බිහිදොර මිදුල
කෙනකුට පෙනෙයි වටපිට ඔබ සොයන.
නැතහොත් පෙනෙයි නිදනා සැටි
අඩක් අස්වනු නෙලූ හී විටෙක පොපි සුවඳින් මත්ව,
නොනෙලා අංකුශයෙන් ඊළඟ තණ මිට එහි එතුණු මල් සමඟ.
තවත් විටෙකදී කෙතක කරල් අහුලන්නකු විලස
තබාගෙන සිටියි ඔබ පැසුණු හිස දියකඳුරක් මතින.
නැතහොත්, සයිඩර් පීඩකයක් අසල ඉවසිල්ලෙන් යුතුව
අවසනට වෑස්සෙන යුෂ දෙස පැය ගණනක් බලාගෙන.
 
වසත් කල ගී කොහි වෙත්ද? අහෝ කොහි වෙත්ද?
ඇවුරුණු වලාකුළු පුබුදුවා මුදුව මිය යන දිනය
ඉපනැලි පිරුණු කෙත මත රෝස පැහැ තවරන අතර
නොසිතනුය කිසිවිටෙක ඒ ගැන, ඔබටම කියා මියැසියක් නොම වෙද?
මන්ද මාරුතය නඟින, බසිනා'තර ගංඉවුර විලෝ ගස් අතර
උඩ පහත පාවෙමින් වැලපෙති හෝ හපුටුවෝ දුක්ඛිත ගායනාවක;
කෑගසති මහහඬින් බැටලු පෝතකයෝ කඳු අතර දොළපහර අසල සිට,
රැහැයියෝ හඬති; ගෙවත්තක රොබින් විහඟෙක් සිවුරුහඬලයි තීව්‍ර ලෙස,
නද දෙති වැහිලිහිණියෝ එක්රැස්ව ගගනත.




 





-ජෝන් කීට්ස් (1795-1821)

2020/09/19

නස්රුදීන්ගේ කතා II

 

විශ්වාස කිරීම 

නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට බූරුවා දෙන්න අකමැති වෙච්ච නස්රුදීන් මෙහෙම කියුවා: “මගේ බූරුවාව ඔහේට දෙන්න මගේ කිසිම අකමැත්තක් නෑ. ඒත් අල්ලපු නගරෙ ඉන්න මගේ මල්ලී ඊයේ ඇවිත් එයාගේ තිරිඟු අඹරන්න මෝලට ගෙනියන්න කියලා බූරුවා අරන් ගියා. අවාසනාවකට වගේ ඌ මෙහෙ නෑ. අසල්වැසියාගේ බලාපොරොත්තු කඩ වුණා. ඒත් නස්රුදීන්ට ස්තූති කළ ඔහු ආපහු ඇවිදගෙන යන්න පටන් ගත්තා. ඔහු පියවර කිහිපයක් ගියා විතරයි, මෙච්චර වෙලාවක් ගෙදර පිටිපස්සේ හිටපු මුල්ලා නස්රුදීන්ගේ බූරුවා හයියෙන් කෑ ගැහුවා. නස්රුදීන්ගේ දිහාට හැරුණු අසල්වැසියා මෙහෙම කියුවා: “මුල්ලා සහීබ්, මම හිතුවේ ඔහේගේ බූරුවා මෙහෙ නෑ කියලා ඔහේ මට කිව්වයි කියලා. අසල්වැසියා දිහාට හැරුණු මුල්ලා නස්රුදීන් මෙහෙම උත්තර දුන්නා: “යාලුවා, දැන් ඔහේ විස්වාස කරන්නේ කාවද? මාවද? එහෙම නැත්නම් බූරුවාවද?

 


නැතිවූ බූරුවා 

මුල්ලා නස්රුදීන්ගේ බූරුවා නැති වුණා කියන ප්‍රවෘත්තිය නගරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරුණා. නස්රුදීන්ගේ අසල්වාසීන්ට මේ ගැන ආරංචි වුණාම ඔවුන් මේ ගැන කනගාටු වෙලා, බූරුවා හොයන්න උදව් කරන්න ඔහුගේ ගෙදරට යන්න තීරණය කළා. ඒත් මුල්ලාගේ ගෙදරට ආපු ඔවුන් දැක්කේ නස්රුදීන් සතුටෙන් දෙවියන්ට ස්තූති කරමින් ඉන්න බව. ඉතින් ඔවුන් නස්රුදීන්ගෙන් මෙහෙම ඇහුවා: ‘‘මුල්ලා, ඔහේගේ බූරුවා නැති වෙච්ච එක ගැන ඔහේට කනගාටුවක් නැත්ද?” ‘‘දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙන්න හොඳ වෙලාවට මම උගේ පිට උඩ හිටියේ නැත්තේ. නැත්නම් මාත් මෙලහට නැතිවෙලා.” මුල්ලා නස්රුදීන් හයියෙන් හිනාවෙලා උත්තර දුන්නා.

 


උපදෙස් ගැනීම 

සල්ලි ටිකක් ඉල්ලා ගන්න කියලා මුල්ලා නස්රුදීන් පොහොසතෙක් ළඟට ගියා. තමන්ට සල්ලි ටිකක් දෙන්න කියලා ඔහු පොහොසතාගෙන් ඉල්ලුවා. “තමුසෙට සල්ලි ඕනෑ මොකටද?” කියලා පොහොසතා ඇහුවා. “මට අලියෙක් සල්ලිවලට ගන්න ඕනෑ. ඒකටයි මට සල්ලි වුවමනා කරන්නේ” කියලා නස්රුදීන් උත්තර දුන්නා. “තමුසෙ ගාව සල්ලි නැත්නම් කොහොමද අලියව නඩත්තු කරන්නේ?” කියලා පොහොසතා ප්‍රශ්න කළා. “මම මෙහාට ආවේ සල්ලි ඉල්ලා ගන්න මිසක් උපදෙස් ගන්න නෙවෙයි” කියලා මුල්ලා නස්රුදීන් උත්තර දුන්නා.

 


තෝරාගැනීම 

අවුරුද්දක් විතර වෙලේ ඉඳන් නස්රුදීන් තමන්ගේ පෙම්වතියගේ ගෙදරට යනවා එනවා. දවසක් හවස ගෙදරින් පිටවෙන කොට තරුණියගේ පියා නස්රුදීන් නවත්වලා මෙහෙම ඇහුවා: “ඉලන්දාරියා, දැන් තමුසෙ අවුරුද්දක වෙලේ පටන් මගේ දුව බලන්න එනවා. මට දැනගන්න ඕනෑ තමුසෙගෙ චේතනාව ගරුකටයුතු එකක්ද එහෙම නැත්නම් අගරුකටයුතු එකක්ද කියලා.” නස්රුදීන්ගේ මූණට ලොකු එළියක් වැටුණා. “ඒ කියන්නේ මට තෝරාගැනීමක් තියෙනවා කියන එකද?” කියලා නස්රුදීන් ඇහුවා.

 


අවබෝධය 

දවසක් නස්රුදීන් වෝල්නට් ගහක් යට වැතිරිලා විවේක ගනිමින් හිටියා. නස්රුදීන්ට පෙනුණා තමන්ගේ පැත්තකට වෙන්න යාර කිහිපයක් එහායින් බිම දිගේ ගියපු ඉතාම හීනි වැලක විශාල පැණිකොමඩු ගෙඩියක් හැදිලා තියෙනවා. උඩ බලපු නස්රුදීන් මෙහෙම කියුවා: “අහෝ ශ්‍රෙෂ්ඨ දෙවියනි, වොල්නට් වගේ කුඩා ගෙඩි මෙච්චර විශාල ශක්තිමත් ගස්වල හැදෙන්නේත්, පැණිකොමඩු වගේ විශාල ගෙඩි මෙච්චර දුර්වල හීනි වැල්වල හැදෙන්නේත් ඇයි? සිදුවිය යුත්තේ එහි අනෙක් පැත්ත නොවේද?” ඒත් ඒ මොහොතේම ගහෙන් ගිලිහිච්ච වෝල්නට් ගෙඩියක් හරියටම නස්රුදීන්ගේ ඔලුව උඩට වැටුණා. “ඌහ්!” නස්රුදීන් මොර දුන්නා. “දැන් මට තේරෙනවා. පැණිකොමඩු ගෙඩි මේ ගහේ හැදුණා නම් මම අද ඉතුරු වෙන්නේ නෑ.”

 


                                                  වටිනාකම 

“මම වහලෙක් වුණා නම් මගේ වටිනාකම කීයක් වෙයිද?” නගරය අල්ලා ගත්ත සතුරු ආක්‍රමණිකයා නස්රුදීන්ගෙන් ඇහුවා. “ඩිනාර් පන්සීයයි” කියලා නස්රුදීන් උත්තර දුන්නා. ‘‘මොකක්?!” ආක්‍රමණිකයා බොහෝම කේන්තියෙන් මොර දුන්නා. ‘‘මම මේ දැන් ඇඳගෙන ඉන්න ඇඳුම් විතරක් ඩිනාර් පන්සීයක් වටිනවා!” “ඔව්, ඒ ඇඳුම්වල වටිනාකමත් එක්ක තමයි මම මිල කිව්වේ,” කියලා මුල්ලා නස්රුදීන් උත්තර දුන්නා.

 


පැනයෑම 

නගරයේ මානසික රෝහලට ගිය මුල්ලා නස්රුදීන් එහි ප්‍රධානියා සමඟ කතා කරන්න ඕනෑ කියලා කිව්වා. ඔහු රෝහලේ ප්‍රධානියා ළඟට කැඳවාගෙන යනු ලැබුවා. නස්රුදීන්ට ආචාර කළ ප්‍රධානියා ඔහුට කෙරෙන්නට ඕනෑ මොනවද කියලා විමසුවා. “මේ ළඟදී මෙහෙන් පිරිමි ලෙඩෙක් පැනලා ගියාද?” මුල්ලා නස්රුදීන් ඇහුවා. ‘‘මම දන්න තරමින් නම් නෑ. ඇයි එහෙම අහන්නේ?” කියලා රෝහලේ ප්‍රධානියා ප්‍රශ්න කළා. “කවුද මගේ පවුල එක්ක පැනලා ගිහිල්ලා,” කියලා නස්රුදීන් උත්තර දුන්නා.  

 


දේශනාව

දවසක් නගරයේ ජනතාව මුල්ලා නස්රුදීන්ට ධර්ම දේශනාවක් කරන්න ආරාධනා කළා.  දේශනාව කරන්න ලෑස්ති වුණාම ඔහුට පෙනුණා ශ්‍රාවකයෝ දේශනාවට ඇහුම්කන් දෙන්න වැඩි උනන්දුවක් නෑ කියලා.  ඉතින් නස්රුදීන් මෙහෙම ඇහුවා: මම කතාකරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔහේලා දන්නවද?” ‘‘නෑකියලා ශ්‍රාවකයෝ උත්තර දුන්නා. මම කතාකරන්න යන්නේ මොකක් ගැනද කියලවත් දන්නෙ නැති මිනිස්සුන්ට දේශනා පවත්තන්න මගේ කැමැත්තක් නෑකියලා නස්රුදීන් යන්න ගියා.

මේකෙන් ලජ්ජාවට පත්වෙච්ච මිනිස්සු ඊළඟ දවසෙත් නස්රුදීන්ට දේශනාවට ආරාධනා කළා. එදාත් පළමුවැනි දවසෙ අහපු ප්‍රශ්නය අහපුවාම මිනිස්සු ඔව්, අපි දන්නවාකියලා උත්තර දුන්නා.මම කතා කරන්න යන දේ ඔහේලා දැනටමත් දන්නවා නම් ඒක කියලා ඔහේලගේ කාලය නාස්ති කරන්න උවමනාවක් මට නෑ,” කියපු නස්රුදීන් යන්න ගියා.

මේ වැඩෙන් මිනිස්සු සෑහෙන අවුලකට පත් වුණා. ඒ නිසා ඔවුන් ඊළඟ සතියේ දවසක ආපහු මුල්ලා නස්රුදීන්ට දේශනාවට ආරාධනා කළා. මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔහේලා දන්නවද?” කියලා මුල්ලා එදාත් ඇහුවා. එදා මිනිස්සු මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙලා හිටපු නිසා ඔව්, අපි දන්නවා,” කියලා බාගයක් උත්තර දුන්නා. ඉතිරි බාගෙ කිව්වා නෑ, අපි දන්නේ නෑ,” කියලා. එහෙනම්, මම කතා කරන්න යන්නේ මොකක්ද කියලා දන්න අය නොදන්න අයට කියලා දෙන්න,” කියලා මුල්ලා නස්රුදීන් යන්න ගියා. 


2020/09/12

ඔබ පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද

 

ඔබ පසළොස්වක පුන්සඳ වේද
නැතහොත් හිරු මඬලම වේද
ඒ කවරක් වුවද, දිවුරමි
නැත අන් කිසිවකු ඔබට සම
 
වළාවක් වැනිය ඔබ වරල වැටුණු උර මත
ඔබ දෙනයන සදිසිය මදිරා පිරි කුසලාන
ප්‍රේමයේ මත්බව රැඳුණු ඒ සුරාව ඔබමය
 
විලෙහි හිනැහෙන කමල මෙන් වේය ඔබ වුවන
නැතහොත් දිවි වෙණ මත වැයෙන පෙම් ගීය
සොඳුර, ඔබ කිසි කවියකුගෙ හිස රැඳි සිහිනය ය
 
රඟ දේ දෙඅදර සිනාවේ විදිලිය
අහස් ගඟ වැතිරේ ඔබ යන මඟ දිගට
ලොව ආදරය හා සුන්දරියන් අතර
ඔබම වේ ඒ දෙකෙහි අග තැන් රැඳෙන
 
 
 
චිත්‍රපටිය: චෝදහ්වී කා චාන්ද්
ගී පද: ශකීල් බදායුනී
සංගීතය: රවී
ගායනය: මොහම්මද් රෆී

2020/09/06

සංවේදනා

 










ගිම්හානයේ නිල්වන් සැඳෑවල,
පය තබා කදිම තණපත් මත
ඇනෙන තුත්තිරිවලින් පීඩිතව
අඩිපාරවල පිය නඟමි මම.
තණපත්වල සිසිල,
දැනෙනු ඇත මා දෙපයට,
සිහිනයකදි බඳුව.
හමන සුළඟට,
හිස්වැසුම් විරහිත
මහිස නහවන්නට
ඉඩ හරිමි මම.
 
කිසිත් නොදොඩමි මම
නොනැඟෙනු ඇත
කිසිදු සිතිවිල්ලක් මසිත‍:
එනමුදු පිරී යනු ඇත ආත්මය
ආදරයෙන් අපරිමිත.
ඇවිද යනු ඇත මා බෝ දුර
සොබාදහමෙහි සරන
අහිකුණ්ටිකයකු විලස----
ප්‍රීතියෙන් ප්‍රමුදිතව
මියුලැසියක මා සමඟ
සිටිනා කලෙක මෙන.


 




- ආතර් රැම්බෝ (1854-1891) 

(ස්ටැන්ලි අපෙල්බෝම් ප්‍රංස බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

  

Painting by: Edward Mitchell Bannister

 

 

 

2020/08/30

ඔබට පෙම් කරමි මම

 

ලුණුවල තවරා පාන් බුදිනා කලෙක මෙන්
දැඩි උණෙන් පෙලෙමින් මහ රෑ අවදිව
කරාමයට මුව තබා දිය බොන කලෙක මෙන්
තැපැල්කරු ගෙන ආ බරැති පෙට්ටිය
කුමක් වේදැයි එතුළ හාංකවිසියකුදු නොම දැන
කලබලව, සතුටින්, සැකසංකා ඇතිව
වැහුම් අරිනා කලෙක මෙන්
ඔබට පෙම් කරමි මම
 
ගුවන් යානයක නැඟ, පළමුවැනි වතාවට
මුහුදට උඩින් පියාඹා යන කලෙක මෙන්
ඉස්තාන්බුල් නුවරට මුදු ලෙස අඳුර වැටෙනා විට
මා ඇතුළත යමක් කැළඹෙන කලෙක මෙන්
ඔබට පෙම් කරමි මම
 
ජීවත්වීම වෙනුවෙන් දෙවියන්ට තුති පුදන කලෙක මෙන්
ඔබට පෙම් කරමි මම




 




-නසීම් හික්මෙට් (1902-1963)
 
(රැන්ඩි බ්ලේසිං හා මුට්ලු කොනුක් තුර්කි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
 
Painting by Ivan Konstantinovich  Aivazovsky


2020/08/22

ගංදිය











I

ගඟ හරහා වැටුණු මේ තුරු කඳන් අබියස

මා ඔරුව නවතන තුරුම

පා විණිමි ගංදිය දිගේ මම.

 

බිඳෙනසුළු තුරුපත්, පන්ගස් මෙන්ම

වර්ණ විරහිත ජලතලය හා පාට වියැකෙන දුඹුරු කඳු මත

ගලා යයි මෙහි මිහිදුම.

 

පාවෙන තුරුපතක් වූ ඇය

පැමිණ ඇත තුරුවියන යට සිට

සරමින් මිහිදුම් පටල මැද.

 

II 

අහෝ, සැඳෑවෙහි නීල වර්ණැති කුසුම

රජතවන් ඔබ තුරුපත් සමඟ

ස්පර්ශ කොට ඇත මා වුවන.

පිටව යා යුතු හෙයින් මා, පෙම් කරනු මැන මා හට.


-රිචඩ් ඇල්ඩින්ටන් (1892-1962)


 Painting by: Joe Cartwright

  

2020/08/15

මතකය

 

මගේ සිත අමතක කර දමයි බොහෝ දේ

සංග්‍රාමවල දින, රජවරුන් මැරුණු දින වැනි,

එනමුදු, එපිට ගම්මානයේ හෝරා කණුවේ

මද්දහන සනිටුහන් කළ,

මැයි මහේ අන්තිම නීලවන් මද්දහන් පැය

සිහියට නඟා ගත හැක මට හරියටම:

රැළි නංවමින් මඟ පසෙක ඇති දියකඳුර මත,

සුළඟක් හමා ආයේය යුහුසුළුව මෙදෙසට,

ඉක්බිති මෙතැන නතරව,

බිම තබා සිය පයින්-සුගන්ධිත බර,

සොලවා බිම හෙලී,

කැලෑ රෝස ගසෙන් අර,

පෙති දෙකක් උකටලී ලෙස.

-තෝමස් බේලි ඕල්ඩ්රිච් (1836-1906)

 

චිත්‍රය: Paul Cezanne

 

 

 

2020/08/09

සැරිසැරීම

 

හදවත තවමත් ප්‍රේමයෙන් පිරුණද

සඳවතිය තවමත් සුදිලෙමින් තිබුණද

නොයමුය ඉදින් තවත් සැරිසරන්නට

රැයේ ඒතරම් පමාවන තුරුම


අසිපත ලන කොපුව, අසිපතට පෙර වැනසෙන නිසා

ආත්මය නැසී යනු පළමු ළය වැනස යන නිසා

හුස්ම ගනු පිණිස හද මඳකට නතර විය යුතු නිසා

ආදරයම වුවත්, ඉසිඹු ලෑ යුතු නිසා


ආදරය කරන්නට රැය සැදුණේ වුවද

ඉතාමත් ඉක්මනින් දහවල පැමිණියද

නොයමුය ඉදින් තවත් සැරිසරන්නට

සඳඑළිය මැද හාත්පස පැතිරුණ 


චිත්‍රය: François Cachoud

2020/05/13

වන හංසයෝ























තුරු වෙළී ඇත සරත් කල සුන්දරබවෙහි,
වියළිය අඩිපාරවල් වනලැහැබ මැද වැටුණු, 
වප් මහේ සහන් එළිය යට ජලතලය මත
පිළිබිඹුව ඇත අහසක් නිසල;
ගල් අතර මුවවිටටම පිරුණු දිය මත
හංසයන් පනස් නව දෙනෙකිය.  

පළමුවර මා උන් ගණින්නට පටන් ගත් තැන් සිට
හේමන්ත එකුන් විස්සක් ඉක්ම ගොස් ඇත;
ගැණ නිමවන්නටත් පෙර දිටිමි මම,
උන් සියලු දෙන එකවර නැඟී අහසට,
හඬ නඟන සිය පියාපත් විදාහැර
විසිර යන’යුරු තනමින් විසල් බිඳුණු කව.

ඒ පැහැසර විහඟුන් දෙස මා බලා ඇත නොඑක් වර
එනමුදු දැන් මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.
මුදු ලෙස ගැහෙන උඩින් මා සිරසට, උහු පියාපත්වල සීනු සර,
මෙවිල් තෙර සහන් එළියේ හිඳ පළමුවර ඇසූ තැන් සිට
සියලු දේ වෙනස් වී ඇත.

විඩාවට පත් නොවී තවමත්, එක් පෙම්වතකු බැගින් වරකට,
පිහිනතිය උන් සිහිල්, ප්‍රිය දියදහරවල,
නැතහොත් නැගෙතිය අරා අහස්කුස;
උන්ගේ හදවත් වියපත් වී නොමැත;
රාගය හෝ දිනුම සරයි උන් ඇති තැන
තවමත් නිසි කලට උන් කරා එන්නෙය.

නමුදු දැන් උන් පාවෙති නිසල දිය මත,
ගුප්ත ලෙස, සුන්දර ලෙස;
යම් දිනෙක මා අවදිවන කල පියාඹා ගොස් ඉවත
කවර නම් විල් තෙරක, පොකුණක් අසල
කවර නම් පන් පඳුරු ගොන්නක,
තනනුයද උන් කැදලි තම,
බලන දනගේ නෙත් පිනවමින?

-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

චිත්‍රය: ෆ්‍රෑන්ක් වෙස්ටන් බෙන්සන්



The Wild Swans at Coole

The trees are in their autumn beauty,
The woodland paths are dry,
Under the October twilight the water
Mirrors a still sky;
Upon the brimming water among the stones
Are nine-and-fifty swans.

The nineteenth autumn has come upon me
Since I first made my count;
I saw, before I had well finished,
All suddenly mount
And scatter wheeling in great broken rings
Upon their clamorous wings.

I have looked upon those brilliant creatures,
And now my heart is sore.
All's changed since I, hearing at twilight,
The first time on this shore,
The bell-beat of their wings above my head,
Trod with a lighter tread.

Unwearied still, lover by lover,
They paddle in the cold
Companionable streams or climb the air;
Their hearts have not grown old;
Passion or conquest, wander where they will,
Attend upon them still.

But now they drift on the still water,
Mysterious, beautiful;
Among what rushes will they build,
By what lake's edge or pool
Delight men's eyes when I awake some day
To find they have flown away?

-William Butler Yeats 

සෙවුම්