Showing posts with label ජනකතා. Show all posts
Showing posts with label ජනකතා. Show all posts

2015/12/25

රාස්ස පිහාටු




















එක්තරා රජ කෙනෙක් ලෙඩින් වැටුණා. රාජකීය වෛද්‍යවරුන් කියුවා: “දේවයන් වහන්ස, ඔබ වහන්සේට සනීප වෙන්න ඕනෑ නම් මිනී කන රාස්සයාගේ පිහාටුවක් අතගාන්න ඕනෑ, හැබැයි ඒක ලේසි නෑ මොකද රාස්සයා දකින දකින මනුස්සයව මරාගෙන කනවා” කියලා.

මේ වුවමනාව කියලා රජතුමා රටේ හැමතැනටම පණිවිඩ යැවුවා. ඒත් රාස්සයා ගාවට යන්න කවුරුවත් කැමති වුණේ නෑ. අන්තිමට රජතුමා තමන්ට බොහෝම හිතවත්, නිර්භීත රාජ පුරුෂයෙකුගෙන් ඇහුවා. ඔහු කියුවා “ මං යන්නම්” කියලා.

රාස්සයා ඉන්න තැනට යන පාර රාජ සේවකයාට කියලා දුන්නා. “කන්දක් මුදුනේ ගල්ගුහා හතක් තියෙනවා. එයින් එකක රාස්සයා ඉන්නවා.”

රජ මාලිගාවෙන් එළියට බැහැලා ගිය රාජ පුරුෂයා අඳුරු වැටෙන තුරු ඇවිද ගෙන ගිහින් තානායමකට ආවා. ඔහු යන ගමන ගැන තොරතුරු දැනගත්ත තානායම්පල්ලා කියුවා “ අනේ ඔහේ ආපහු එනකොට මටත් රාස්ස පිහාටුවක් ගෙනත් දෙන්න. ඒකෙන් ධන සම්පත් ලැබෙනවා කියලා කියනවා. ” කියලා.

“බොහෝම කැමැත්තෙන් මං ඒක කරන්නම්” කියලා රාජපුරුෂයා  උත්තර දුන්නා.

“ රාස්සයාට කතා කරන්න ඔහේට පුළුවන් කමක් තිබුණොත් මගේ දුව ගැනත් අහන්න. මගේ දුව අවුරුදු ගණනාවකට කලින් අතුරුදහන්  වුණා. දෙවියෝ තමයි දන්නේ ඇය කොහෙද දැන් ඉන්නේ කියලා. ”

පහුවදා පාන්දරින්ම රාජ පුරුෂයා තමන්ගේ ගමන යන්න පිටත් වුණා. ගඟක් ළඟට ආපු ඔහු තොටියාට කියුවා තමන්ව එහා ඉවුරට ගෙනියන්න කියලා. ගඟ තරණය කරන අතර ඔවුන් කතාවට වැටුණා.

“මටත් පිහාටුවක් ගෙනැත් දෙනවද ? ” කියලා තොටියා ඇහුවා. “ඒකෙන් වාසනාව ලැබෙනවාලු.”

“නොවැරදීම ගෙනත් දෙන්නම්” කියලා රාජ පුරුෂයා කියුවා.

“ රාස්සයා එක්ක කතා කරන්න ඔහේට පුළුවන් කමක් තිබුණොත් අහන්න පුළුවන්ද අවුරුදු ගණනාවක් තිස්සේ මේ ඔරුව පදින මට ඒකෙන් එළියට බහින්න බැරි ඇයි කියලා. ”

“නොවැරදීම අහන්නම්” කියලා රාජ පුරුෂයා කියුවා.

2014/02/12

“ සල්ලිවලට හැම දෙයක්ම කළ හැකියි ”













එකෝමත් එක කාලෙක ඉතාමත් පෝසත් කුමාරයෙක් ජීවත් වුණා. ඒ කුමාරයා ජීවත් වෙච්ච රටේ රජතුමාගේ මාලිගාව ඉස්සරහින්, ඒ රජ මාලිගාවට වඩා හුඟක් ලස්සණ මාලිගාවක් හදන්න ඕනෑ කියන අදහස කුමාරයාගේ ඔලුවට ඇතුළු වුණා. ඉතින් මේ අලුත් මාලිගාව හදලා ඉවර වුණාට පස්සේ, “සල්ලිවලට සෑම දෙයක්ම කළ හැකිය” කියන වචන ටික ඔහු මේ මාලිගාවේ ඉස්සරහ බිත්තියේ කෙටුවා.

රජතුමා එළියට ඇවිත් මේ දැන්වීම දැක්ක හැටියෙම, අර කුමාරයාට ඇවිත් තමන් හම්බවෙන්නය කියලා පණිවිඩයක් ඇරියා. කුමාරයා මේ නගරයට ඇවිත් කාලයක් ගත වුණත් ඊට පෙර කවදාවත් ගිහින් රටේ රජතුමා බැහැදැකලා තිබුණේ නෑ.

“මගේ සුබපැතුම්, ” රජතුමා කියුවා. “ඔබේ මාලිගාව ඇත්තෙන්ම මහා විස්මයජනක නිර්මාණයක්. ඒකත් එක්ක තියලා බලනකොට මගේ මාලිගාව නිකම්ම නිකම් පැල්පතක්. මම ඔබට සුබපතනවා. ඒත් “සල්ලිවලට සෑම දෙයක්ම කළ හැකිය” කියලා දැන්වීමක් එල්ලන එක ඔබේ අදහසක්ද? ”

තමන් ඕනෑවට වඩා ලොකු පණ්ඩිතකමක් කරලා තියෙන බව කුමාරයාට වැටහුණා.
“ඔව් ඒක මගේ අදහසක්,” කුමාරයා උත්තර දුන්නා. “ඒත් ඔබවහන්සේ ඒකට අකමැති නම් මට පුළුවන් ඒ වචන ටික  බොහෝම පහසුවෙන් මකවලා දාන්න.”
“නෑ. නෑ. එහෙම දෙයක් කරන්න ඔබට බලකරන්න මගේ කිසිම අදහසක් නෑ. මට ඕනෑ ඒ ප්‍රකාශයෙන් ඔබ අදහස් කළේ මොකක්ද කියන එක ඔබේ කටින්ම දැනගන්නයි. උදාහරණයක් හැටියට ඔබ හිතනවාද ඔබේ සල්ලිවලින් මාව මරවන්න වුණත් පුළුවන් කියලා?”

තමන් අලි අමාරුවක වැටිලා ඉන්න බව කුමාරයාට තේරුණා.

“දේවයන්වහන්ස මට සමාවෙන්න. ඒ වචන ටික මම මේ දැන්ම මකවලා දාන්නම්. ඔබවහන්නේ මගේ මන්දිරයට අකැමැතියි නම් කියන්න මම ඒකත් බිමට සමතලා කරලා දාන්නම්.”

“නෑ. නෑ. ඒක එහෙමම තියෙන්න අරින්න. ඒත් සල්ලි තියෙන මිනිහෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ඔබ කියන නිසා ඒක මට ඔප්පු කරලා පෙන්වන්න. මගේ දූ කුමරියට කතාකරන්න උත්සාහ කරන්න මම ඔබට දවස් තුනක් දෙනවා.  ඇයට කතා කරන්නට ඔබට පුළුවන් වුණොත් ඒක හොඳයි. මම ඈ ඔබට සරණ පාවලා දෙනවා. හැබැයි ඇයට කතාකරන්න ඔබට බැරි වුණොත් මම ඔබේ හිස ගස්සවලා දානවා. ඒක පැහැදිලිද? ”

මේ කරදරය නිසා කුමාරයාට කන්න, බොන්න, නිදාගන්න බැරිව ගියා. මුළු දවල් වරුවමයි රෑ යි ඔහු කල්පනා කළේ තමන්ගේ බෙල්ල බේරා ගන්නේ කොහොමද කියන එක ගැන විතරමයි. දෙවැනි දවස වෙනකොට මේ වැඩේ තමන්ට කොහොමවත් කරන්න බැරි බව තේරුම් ගත්ත කුමාරයා තමන්ගේ අන්තිම කැමැති පත්‍රය සූදානම් කරන්න තීරණය කළා.  ඔහුට රජතුමා කරපු අභියෝගය කොහෙත්ම කරන්න බැරි දෙයක්. ඒකට හේතුව රජතුමාගේ දූ කුමරිය හිටියේ ආරක්ෂක සෙබලුන් සිය දෙනෙකුගෙන් වට කරපු බළකොටුවක් ඇතුළේ වීමයි. අප්‍රාණිකව, සුදුමැළි වෙලා පරණ වැරහැල්ලක් වගේ කුමාරායා මරණය බලාපොරොත්තුවෙන් ඇඳේ වැතිරිලා හිටියා. මෙන්න මේ වෙලාවේ තමයි කුමාරයා කුඩා කාලේ ඔහුට කිරි දුන්න, තවමත් කුමාරයා ගාව වැඩකරන, හොඳටම මහලු, දුර්වල ප්‍රාණියෙක් වෙච්චි කුමාරයාගේ කිරි මව කාමරයට ඇතුළු වුණේ. කුමාරයාගේ හැටි සොබාව දැකපු මහලු කාන්තාව ඒකට හේතුව මොකක්දැයි විමසුවා. කුමාරයා අඬමින් සුසුම් හෙලමින් සම්පූර්ණ කතාව ඇයට කියුවා.

“ඉතින් මොකද? ” ඇය ඇසුවා. “ඔබ ඔය විදියට වැඩේ අතඇරලා දාන්නද යන්නේ? මට නම් හිනාත් යනවා! මේකට මොකද කරන්න පුළුවන් කියලා මම බලන්නම්!”

කොර ගසමින් කාමරයෙන් පිට වී ගිය ඇය නගරයේ හිටිය දක්ෂතම රිදී වැඩකරුවා ගාවට ගිහින්, හොට අරින්න වහන්න පුළුවන් පාත්තයෙක් තනි රිදියෙන් හදන්න කියලා ඔහුට අණ කළා. ඒ පාත්තයා මිනිහෙකු තරමට විශාල විය යුතු බවත් ඇතුළ හිස් විය යුතු බවත් ඇය කියුවා. “මේක මට හෙට වෙනකොට ඕනෑ,” ඇය අණ කළා.

“හෙට? ඔබට පිස්සු!” රිදී වැඩකරුවා විස්මයෙන් කෑ ගැසුවා.

“මම කිවුවේ හෙට කියලා! ” යි කියූ මහලු කාන්තාව රන්කාසි පුරවපු පසුම්බියක් ඇදලා ගත්තා. “හිතලා බලන්න. මේ ප්‍රමාණය දැන් ගෙවනවා. හෙට පාත්තයා හදලා දුන්නම ඉතිරි ගාණ මම ඔබට දෙනවා. ” ඇය කියුවා.

රිදී වැඩකරුවාට කට උත්තර නැතිව ගියා. “එහෙම නම් මොකද බැරි” කියූ ඔහු “හෙට වෙනකොට පාත්තයා හදලා දෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්” යැයි පැවසුවා.

ඊළඟ දවස වෙනකොට පාත්තයා සාදා අවසන් වෙලා තිබුණා. ඒක බලන්න වටින ලස්සණ නිර්මාණයක්.

“ඔබේ වීණාවත් අරගෙන මේ පාත්තයා ඇතුළට යන්න. අපි පාරට ගිය හැටිය වීණාව වාදනය කරන්න පටන් ගන්න” ඇය කුමාරයාට කියුවා.

මහලු කාන්තාව රිදී පාත්තයාවත් ලණුවකින් ඇදගෙන නගරයේ වීදි ඔස්සේ ඇවිද ගෙන ගියා. කුමාරයා පාත්තයා ඇතුළේ ඉඳන් වීණාව වාදනය කරමින් හිටියා. මේක බලන්න නගරයේ ජනතාව වීදි දෙපස පෙළ ගැසුණා. මේ ලස්සණ පාත්තයා බලන්න දුවගෙන නාපු එක් වැසියෙක්වත් ඒ නගරයේ හිටියේ නෑ. රාජ කුමරිකාව රඳවලා හිටපු බළකොටුව ඇතුළටත් මේ පාත්තයා ගැන ආරංචිය ළඟා වුණා. මේ අරුම පුදුම දර්ශනය බලන්න යන්න තමන්ට ඉඩ දෙන්න කියලා කුමාරිකාව පිය රජතුමාගෙන් ඉල්ලා හිටියා.

“හෙට වෙනකොට අර පුරාජේරුකාර කුමාරයාට දීලා තියෙන කාලෙ ඉවර වෙනවා. ඊට පස්සෙ එළියට ගිහින් දුවට ඒ පාත්තයාව  බලන්න පුළුවන්” කියලා රජතුමා කියුවා. 

ඒත් මේ පාත්තයා එක්ක යන මහලු කාන්තාව හෙට කියන දවස වෙනකොට යන්න යන බව කුමාරිකාවට ආරංචි වෙලා තිබුණා. ඒ හින්දා රජතුමා අණ කළා තමන්ගේ දූ කුමරියට බලන්නට පුළුවන් වෙන විදියට ඒ පාත්තයා ඇය සිටින බළකොටුවට අරන් එන්න කියලා. මහලු කාන්තාව බලාගෙන හිටියේ මෙන්න මේ අවස්ථාව උදා වෙනකම් තමයි. කුමාරිකාව රිදී පාත්තයා එක්ක තනි වෙලා උගේ හොටෙන් ගලන මිහිරි සංගීතය රසවිඳින්න පටන් ගත්තා විතරයි උගේ ඇඟ විවෘත වෙලා ඒ ඇතුළෙන් මිනිහෙක් එළියට ආවා.

“බය වෙන්න එපා. ” මිනිසා කතා කළා. “මම තමයි ඔබත් සමග කතා කළ යුතු සහ එහෙම කරන්නට බැරි වුණොත් හෙට උදේ ඔබේ පිය රජතුමාගෙන් හිස්ගැසුම් කන කුමාරයා. ඔබ මා සමග කතා කළා කියලා කිව්වොත් මගේ ජීවිතය බේරා ගන්න ඔබට පුළුවන් වෙනවා.”

ඊළඟ දවසේ රජතුමා කුමාරයාව මාලිගාවට කැඳෙව්වා. “හොඳයි, ඉතින් ඔබේ සල්ලිවලට පුළුවන් වුණාද මගේ දූ කුමරිය එක්ක ඔබව කතා කරවන්න? ”

“ඔව් දේවයන්වහන්ස” කියලා කුමාරයා උත්තර දුන්නා.

“මොනවා! ඔබ ඔය කියන්නේ ඈ සමග කතා කළා කියලද? ”

“එහෙමද කියලා ඇගෙන් අහන්න.”

රජතුමා විසින්ම බළකොටුව ඇතුළට ගෙනෙන්නට අණ කරපු රිදී පාත්තයා ඇතුළේ කුමාරයා හැංගිලා හිටපු හැටි කුමාරිකාව විස්තර කළා.

ඒ කතාව අහපු රජතුමා තමන්ගේ ඔටුන්න ගලවලා කුමාරයාගේ හිසෙන් තැබුවා. “ඒ කියන්නේ ඔබට සල්ලි විතරක් නෙවෙයි හොඳ නුවණකුත් තියෙනවා! සතුටින් ජීවත් වෙන්න. මා ඔබට මගේ දූ කුමරිය සරණ පාවලා දෙනවා,” රජතුමා ප්‍රකාශ කළා.


(ඉතලෝ කල්විනෝගේ ඉතාලි ජනකතා නම් කෘතියේ එන ඉතාලියේ ජෙනොවා ප්‍රදේශයේ ජනකතාවකි.) 

2012/09/20

කිසිදිනෙක බොරු නොකී මිනිහා (අප්‍රිකානු ජනකතාවකි)




එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.

ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ රජ්ජුරුවෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා:

“මමාද්, උඹ කවදාවත් බොරු කියලා නෑ කියන එක ඇත්තක්ද ?”

“ඒක ඇත්තක්, දේවයන්වහන්ස ” කියලා මමාද් උත්තර දුන්නා.

“ජීවිතේ මින් ඉදිරියටත් උඹ බොරුවක් කියන්නේ නැද්ද?” රජ්ජුරුවෝ ඇහුවා.

“මට ඒක විස්වාසයි දේවයන්වහන්ස” කියලා මමාද් උත්තර දුන්නා.

“බොහොම හොඳයි. ඇත්ත කියාපන්. හැබැයි ප්‍රවේසම් වෙයන් ! මොකද බොරුව කියන්නේ බොහෝම කපටි දෙයක්. ඒක ඉතාම ලේසියෙන් උඹේ දිවට ඇතුළු වෙයි” කියලා රජ්ජුරු‍වෝ කිවුවා.

දවස් කිහිපයක් ගතවුණා. රජ්ජුරුවෝ ආයෙමත් මමාද්ට එන්න කියලා පණිවිඩයක් යැවුවා. මමාද එනකොට එතැන මහ විශාල ජනකායක් රැස්වෙලා හිටියා. රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්නයි සූදානම. අශ්වයාගේ කේසරවලින් අල්ලාගෙන වම් කකුල සෑදලයේ කකුල තියන පටියේ තබා ගෙන රජ්ජුරුවෝ හිටියා. 

රජ්ජුරුවෝ මමාද්ට මෙහෙම අණ කළා:

“මගේ ගිම්හාන මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට කියාපන් මම ඇයත් එක්ක දවල් කෑම ගන්න එහාට එනවා කියලා. විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න කියලා ඇයට කියාපන්. ඊට පස්සේ උඹ මාත් එක්ක දවල් කෑම ගන්නවා.”

මමාද් හිස පහත් කරලා නැවිලා බිසවුන්නාන්සෙට පණිවිඩය කියන්න ගියා. එතකොට රජ්ජුරුවෝ හිනා වෙලා මෙහෙම කිවුවා: “ අපි දැන් දඩ කෙළියේ යන්නේ නෑ. එතකොට මමාද් බිසවුන්නාන්සෙට කියන දේ බොරුවක් වෙනවා. අපට හෙට මේක අල්ලාගෙන මිනිහට හිනා වුණෑකි.”

ඒත් නුවණක්කාර මමාද් මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“සමහරවිට ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕන නෑ. සමහර විට රජ්ජුරුවෝ අද දවල් වෙනකොට මෙහාට එයි. එහෙම නැත්නම් සමහරවිට මෙහාට එන එකක් නෑ.”

“රජ්ජුරුවෝ එනවාද නැද්ද කියලා විතරක් කියාපන් ” කියලා බිසවුන්නාන්සෙ කිවුවා.

“මං ආවට පස්සේ රජ්ජුරුවෝ සෑදල පටියේ තමන්ගේ දකුණු කකුල තිබ්බද එහෙම නැත්තම් තමන්ගෙ වම් කකුල තිබ්බද කියලා කියන්න මං දන්නේ නෑ.”

හැමෝම රජ්ජුරුවෝ එනකම් බලාගෙන හිටියා. රජ්ජුරුවෝ ආවේ පහුවදායි. ඇවිත් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“කවදාවත් බොරු නොකියන මමාද් ඔයාට ඊයේ බොරුවක් කිවුවා.”

ඒත් මමාද් පාවිච්චි කරපු වචන මොනවද කියලා බිසවුන්නාන්සෙ රජ්ජුරුවන්ට කිවුවා. නුවණක්කාර මමාද් කිසි දවසක බොරු නොකියන බවත් තමන්ගේ ඇස් දෙකෙන් දකින දේ පමණක් කියන බවත් රජ්ජුරුවන්ට තේරුම් ගියා.

සෙවුම්