Showing posts with label උපමා කතා. Show all posts
Showing posts with label උපමා කතා. Show all posts

2020/09/19

නස්රුදීන්ගේ කතා II

 

විශ්වාස කිරීම 

නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට බූරුවා දෙන්න අකමැති වෙච්ච නස්රුදීන් මෙහෙම කියුවා: “මගේ බූරුවාව ඔහේට දෙන්න මගේ කිසිම අකමැත්තක් නෑ. ඒත් අල්ලපු නගරෙ ඉන්න මගේ මල්ලී ඊයේ ඇවිත් එයාගේ තිරිඟු අඹරන්න මෝලට ගෙනියන්න කියලා බූරුවා අරන් ගියා. අවාසනාවකට වගේ ඌ මෙහෙ නෑ.” අසල්වැසියාගේ බලාපොරොත්තු කඩ වුණා. ඒත් නස්රුදීන්ට ස්තූති කළ ඔහු ආපහු ඇවිදගෙන යන්න පටන් ගත්තා. ඔහු පියවර කිහිපයක් ගියා විතරයි, මෙච්චර වෙලාවක් ගෙදර පිටිපස්සේ හිටපු මුල්ලා නස්රුදීන්ගේ බූරුවා හයියෙන් කෑ ගැහුවා. නස්රුදීන්ගේ දිහාට හැරුණු අසල්වැසියා මෙහෙම කියුවා: “මුල්ලා සහීබ්, මම හිතුවේ ඔහේගේ බූරුවා මෙහෙ නෑ කියලා ඔහේ මට කිව්වයි කියලා.” අසල්වැසියා දිහාට හැරුණු මුල්ලා නස්රුදීන් මෙහෙම උත්තර දුන්නා: “යාලුවා, දැන් ඔහේ විස්වාස කරන්නේ කාවද? මාවද? එහෙම නැත්නම් බූරුවාවද?”

 


නැතිවූ බූරුවා 

මුල්ලා නස්රුදීන්ගේ බූරුවා නැති වුණා කියන ප්‍රවෘත්තිය නගරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරුණා. නස්රුදීන්ගේ අසල්වාසීන්ට මේ ගැන ආරංචි වුණාම ඔවුන් මේ ගැන කනගාටු වෙලා, බූරුවා හොයන්න උදව් කරන්න ඔහුගේ ගෙදරට යන්න තීරණය කළා. ඒත් මුල්ලාගේ ගෙදරට ආපු ඔවුන් දැක්කේ නස්රුදීන් සතුටෙන් දෙවියන්ට ස්තූති කරමින් ඉන්න බව. ඉතින් ඔවුන් නස්රුදීන්ගෙන් මෙහෙම ඇහුවා: ‘‘මුල්ලා, ඔහේගේ බූරුවා නැති වෙච්ච එක ගැන ඔහේට කනගාටුවක් නැත්ද?” ‘‘දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙන්න හොඳ වෙලාවට මම උගේ පිට උඩ හිටියේ නැත්තේ. නැත්නම් මාත් මෙලහට නැතිවෙලා.” මුල්ලා නස්රුදීන් හයියෙන් හිනාවෙලා උත්තර දුන්නා.

 


උපදෙස් ගැනීම 

සල්ලි ටිකක් ඉල්ලා ගන්න කියලා මුල්ලා නස්රුදීන් පොහොසතෙක් ළඟට ගියා. තමන්ට සල්ලි ටිකක් දෙන්න කියලා ඔහු පොහොසතාගෙන් ඉල්ලුවා. “තමුසෙට සල්ලි ඕනෑ මොකටද?” කියලා පොහොසතා ඇහුවා. “මට අලියෙක් සල්ලිවලට ගන්න ඕනෑ. ඒකටයි මට සල්ලි වුවමනා කරන්නේ” කියලා නස්රුදීන් උත්තර දුන්නා. “තමුසෙ ගාව සල්ලි නැත්නම් කොහොමද අලියව නඩත්තු කරන්නේ?” කියලා පොහොසතා ප්‍රශ්න කළා. “මම මෙහාට ආවේ සල්ලි ඉල්ලා ගන්න මිසක් උපදෙස් ගන්න නෙවෙයි” කියලා මුල්ලා නස්රුදීන් උත්තර දුන්නා.

 


තෝරාගැනීම 

අවුරුද්දක් විතර වෙලේ ඉඳන් නස්රුදීන් තමන්ගේ පෙම්වතියගේ ගෙදරට යනවා එනවා. දවසක් හවස ගෙදරින් පිටවෙන කොට තරුණියගේ පියා නස්රුදීන් නවත්වලා මෙහෙම ඇහුවා: “ඉලන්දාරියා, දැන් තමුසෙ අවුරුද්දක වෙලේ පටන් මගේ දුව බලන්න එනවා. මට දැනගන්න ඕනෑ තමුසෙගෙ චේතනාව ගරුකටයුතු එකක්ද එහෙම නැත්නම් අගරුකටයුතු එකක්ද කියලා.” නස්රුදීන්ගේ මූණට ලොකු එළියක් වැටුණා. “ඒ කියන්නේ මට තෝරාගැනීමක් තියෙනවා කියන එකද?” කියලා නස්රුදීන් ඇහුවා.

 


අවබෝධය 

දවසක් නස්රුදීන් වෝල්නට් ගහක් යට වැතිරිලා විවේක ගනිමින් හිටියා. නස්රුදීන්ට පෙනුණා තමන්ගේ පැත්තකට වෙන්න යාර කිහිපයක් එහායින් බිම දිගේ ගියපු ඉතාම හීනි වැලක විශාල පැණිකොමඩු ගෙඩියක් හැදිලා තියෙනවා. උඩ බලපු නස්රුදීන් මෙහෙම කියුවා: “අහෝ ශ්‍රෙෂ්ඨ දෙවියනි, වොල්නට් වගේ කුඩා ගෙඩි මෙච්චර විශාල ශක්තිමත් ගස්වල හැදෙන්නේත්, පැණිකොමඩු වගේ විශාල ගෙඩි මෙච්චර දුර්වල හීනි වැල්වල හැදෙන්නේත් ඇයි? සිදුවිය යුත්තේ එහි අනෙක් පැත්ත නොවේද?” ඒත් ඒ මොහොතේම ගහෙන් ගිලිහිච්ච වෝල්නට් ගෙඩියක් හරියටම නස්රුදීන්ගේ ඔලුව උඩට වැටුණා. “ඌහ්!” නස්රුදීන් මොර දුන්නා. “දැන් මට තේරෙනවා. පැණිකොමඩු ගෙඩි මේ ගහේ හැදුණා නම් මම අද ඉතුරු වෙන්නේ නෑ.”

 


                                                  වටිනාකම 

“මම වහලෙක් වුණා නම් මගේ වටිනාකම කීයක් වෙයිද?” නගරය අල්ලා ගත්ත සතුරු ආක්‍රමණිකයා නස්රුදීන්ගෙන් ඇහුවා. “ඩිනාර් පන්සීයයි” කියලා නස්රුදීන් උත්තර දුන්නා. ‘‘මොකක්?!” ආක්‍රමණිකයා බොහෝම කේන්තියෙන් මොර දුන්නා. ‘‘මම මේ දැන් ඇඳගෙන ඉන්න ඇඳුම් විතරක් ඩිනාර් පන්සීයක් වටිනවා!” “ඔව්, ඒ ඇඳුම්වල වටිනාකමත් එක්ක තමයි මම මිල කිව්වේ,” කියලා මුල්ලා නස්රුදීන් උත්තර දුන්නා.

 


පැනයෑම 

නගරයේ මානසික රෝහලට ගිය මුල්ලා නස්රුදීන් එහි ප්‍රධානියා සමඟ කතා කරන්න ඕනෑ කියලා කිව්වා. ඔහු රෝහලේ ප්‍රධානියා ළඟට කැඳවාගෙන යනු ලැබුවා. නස්රුදීන්ට ආචාර කළ ප්‍රධානියා ඔහුට කෙරෙන්නට ඕනෑ මොනවද කියලා විමසුවා. “මේ ළඟදී මෙහෙන් පිරිමි ලෙඩෙක් පැනලා ගියාද?” මුල්ලා නස්රුදීන් ඇහුවා. ‘‘මම දන්න තරමින් නම් නෑ. ඇයි එහෙම අහන්නේ?” කියලා රෝහලේ ප්‍රධානියා ප්‍රශ්න කළා. “කවුද මගේ පවුල එක්ක පැනලා ගිහිල්ලා,” කියලා නස්රුදීන් උත්තර දුන්නා.  

 


දේශනාව

දවසක් නගරයේ ජනතාව මුල්ලා නස්රුදීන්ට ධර්ම දේශනාවක් කරන්න ආරාධනා කළා.  දේශනාව කරන්න ලෑස්ති වුණාම ඔහුට පෙනුණා ශ්‍රාවකයෝ දේශනාවට ඇහුම්කන් දෙන්න වැඩි උනන්දුවක් නෑ කියලා.  ඉතින් නස්රුදීන් මෙහෙම ඇහුවා: “මම කතාකරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔහේලා දන්නවද?” ‘‘නෑ” කියලා ශ්‍රාවකයෝ උත්තර දුන්නා. “මම කතාකරන්න යන්නේ මොකක් ගැනද කියලවත් දන්නෙ නැති මිනිස්සුන්ට දේශනා පවත්තන්න මගේ කැමැත්තක් නෑ” කියලා නස්රුදීන් යන්න ගියා.

මේකෙන් ලජ්ජාවට පත්වෙච්ච මිනිස්සු ඊළඟ දවසෙත් නස්රුදීන්ට දේශනාවට ආරාධනා කළා. එදාත් පළමුවැනි දවසෙ අහපු ප්‍රශ්නය අහපුවාම මිනිස්සු “ඔව්, අපි දන්නවා” කියලා උත්තර දුන්නා.“මම කතා කරන්න යන දේ ඔහේලා දැනටමත් දන්නවා නම් ඒක කියලා ඔහේලගේ කාලය නාස්ති කරන්න උවමනාවක් මට නෑ,” කියපු නස්රුදීන් යන්න ගියා.

මේ වැඩෙන් මිනිස්සු සෑහෙන අවුලකට පත් වුණා. ඒ නිසා ඔවුන් ඊළඟ සතියේ දවසක ආපහු මුල්ලා නස්රුදීන්ට දේශනාවට ආරාධනා කළා. “මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔහේලා දන්නවද?” කියලා මුල්ලා එදාත් ඇහුවා. එදා මිනිස්සු මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙලා හිටපු නිසා “ඔව්, අපි දන්නවා,” කියලා බාගයක් උත්තර දුන්නා. ඉතිරි බාගෙ කිව්වා “නෑ, අපි දන්නේ නෑ,” කියලා. “එහෙනම්, මම කතා කරන්න යන්නේ මොකක්ද කියලා දන්න අය නොදන්න අයට කියලා දෙන්න,” කියලා මුල්ලා නස්රුදීන් යන්න ගියා. 


2016/01/24

නස්රුදීන්ගේ කතා




මුද්ද

“මට ඔබතුමාගේ මුද්ද දෙන්න සිහිවටනයක් හැටියට. එතකොට ඒක බලන වාරයක් පාසා මට ඔබතුමාව මතක් වේවි” කියලා දවසක් කෙනෙක් මුල්ලා නස්රුදීන්ගෙන් ඉල්ලීමක් කළා.

“මට මුද්ද දෙන්න නම් බෑ. හැබැයි ඔහේට මාව මතක් කරගන්න ඕනෑ වෙන හැම වෙලාවකම තමුන්ගේ ඇඟිල්ල දිහා බැලුවම මම ඔහේට මුද්ද නුදුන්නු බව සිහි වෙයි” කියලා නස්රුදීන් උත්තර දුන්නා.



ගඟේ දෙපැත්ත

දවසක් නස්රුදීන් ගං ඉවුරක වාඩි වෙලා ඉන්න කොට එහා ඉවුරෙ හිටපු කෙනෙක් කෑ ගහලා මෙහෙම ඇහුවා : “කොහොමද මං එහා ඉවුරට එගොඩ වෙන්නේ ? ”

“ඔහේ ඔය ඉන්නේ එහා ඉවුරෙ තමයි” කියලා නස්රුදීනුත් කෑ ගහලම උත්තර දුන්නා.


වඩා ප්‍රයෝජනවත් දේ

දවසක් තමන්ගේ ප්‍රියතම තේ කඩයට ගොඩ වැදුණු මුල්ලා නස්රුදීන් මෙහෙම කියුවා: “ඉරට වඩා හඳ අපට ප්‍රයෝජනවත් ”.

“ඇයි මුල්ලා එහෙම කියන්නේ ? ” කියලා එතැන හිටපු වයසක පුද්ගලයෙක් ඇහුවා.

“ඇයි ඉතින් අපට දවාලට වඩා රෑටනේ එළිය ඕනෑ කරන්නේ” කියලා නස්රුදීන් පිළිතුරු දුන්නා.


මගේ අත ගන්න

දවසක්, පොකුණක් වටේ මහ සෙනඟක් රැස්වෙලා ඉන්න හැටි මුල්ලා නස්රුදීන්ට පෙනුණා. විශාල ජටාවක් ඔලුවෙ බැඳගත්ත පූජකයෙක් දියේ ගිලී ආධාර ඉල්ලමින් හිටියා.

වටේ සිටි මිනිසුන් පොකුණට නැඹුරු වී, මෙ‍හෙම කෑ ගසමින් හිටියා: “ පූජකතුමා ! මට ඔබතුමාගේ අත දෙන්න. අත දෙන්න. ” ඒත් පූජකයා ඔවුන් කියූ දෙය ඇහුණෙ නෑ වගේ දිගින් දිගටම වතුරේ දඟලමින් උදව් ඉල්ලා කෑ ගැසුවා.

අන්තිමේදී මුල්ලා නස්රුදීන් ඉදිරියට ආවා. “මේ වැඩේ මං කරන්නම්” කියූ ඔහු තමන්ගේ අත දිගු කරලා “මගේ අත ගන්න” කියලා පූජකයාට කෑ ගහලා කියුවා.

පූජකයා මුල්ලාගේ අත අල්ලා ගත්තා. මිනිස්සු ඔහුව පොකුණෙන් උඩට ඇදලා ගත්තා. විස්මයට පත්වෙච්ච මිනිස්සු  නස්රුදීන්ගෙන් ඇහුවා පූජකයාව ගොඩට ගන්න පාවිච්චි කරපු ක්‍රමයේ රහස මොකක්ද කියලා.

“ඒක හරි සරළයි. ” මුල්ලා උත්තර දුන්නා. “මං දන්නවා මේ ලෝබයා කිසි කෙනෙකුට කිසිදෙයක් නොදෙන බව. ඒ නිසා මට අත ‘දෙන්න’ කියනවා වෙනුවට මගේ අත ‘ගන්න’ කියලා මං කියුවා. ඉතින් වැඩේ හරි ගියා, මිනිහා මගේ අත අල්ලා ගත්තා” කියලා නස්රුදීන් පැහැදිලි කළා.


ගැඹුරු කල්පනා

දවසක් මුල්ලා නස්රුදීන් වෙළෙඳපොළේ ඉන්න කොට දැක්කා එකෙක් රියාල් පන්සීය ගණනේ කුරුල්ලන්ව විකුණනවා. “ මා ගාව ඉන්න කිකිළි මේ හැම කුරුල්ලෙකුටම වඩා විශාලයි. ඒ නිසා ඌ මීට වඩා හුඟක් වටිනවා” කියලා හිතපු නස්රුදීන් පහුවදාම තමන්ගේ කිකිළිය වෙළෙඳ පොළට ගෙනිච්චා විකුණන්න. ඒත් කිසි කෙනෙක් රියාල් පනහකට වඩා කිකිළියට ගෙවන්න කැමති වුණේ නෑ. කේන්ති ගිය මුල්ලා නස්රුදීන් කෑ ගහන්න පටන් ගත්තා.

“මිනිස්සුනේ මේක මහා අවමානයක් ! ඊයේ නුඹලා මේ කිකිළියගෙන් බාගයක් වත් නැති කුරුල්ලෙකුට මේ වගේ දහ ගුණයක මිලක් ගෙව්වා. ”

කෙනෙක් ඔහුගේ කෑ ගැහිල්ලට බාධා කළා: “නස්රුදීන්, ඊයේ රියාල් පන්සීය ගාණෙ විකුණුවේ ගිරවුන්ව, කතා කරන කුරුල්ලන්ව. උන් කතා කරන නිසා වැඩිපුර වටිනවා.”

“මෝඩයා! ” නස්රුදීන් පෙරළා කෑ ගැහුවා. “නුඹලා ඒ කුරුල්ලන්ට වැඩි වටිනාකමක් ගෙවන්නේ උන්ට කතා කරන්න පුළුවන් නිසයි. ඒත් ඔලුව ඇතුළෙ බොහොම ගැඹුරු කල්පනාවල් තියෙන, ඒත් කච කච ගාලා තමුන්ගේ කතාවෙන් මිනිස්සුන්ට කරදර නොකරන මගේ කිකිළිව නුඹලා ප්‍රතික්ෂේප කරනවා.”


මාලිමා යන්ත්‍රය

දවසක්, තමන්ට හම්බ වෙච්ච කුඩා මාලිමාවක් අරගෙන ආපු කෙනෙක් ඒක නස්රුදීන්ට පෙන්නලා ඇහුවා ඒ මොකක්ද කියලා. මාලිමාව දිහා බලපු මුල්ලා නස්රුදීන් අඬන්න පටන් ගත්තා. ඊට ටික වේලාවකට පස්සේ ඇඬිල්ල නවත්තපු ඔහු හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

“ඇයි ඔබතුමා ඇඬුවේ ? ඇයි දැන් හිනාවෙන්නේ ? ” කියලා මිනිහා ප්‍රශ්න කළා.

“මෙච්චර කුඩා උපකරණයක් මොකක්ද කියලා නොදන්න තරමට ඔහේ කොච්චර මෝඩයෙක්ද  කියලා හිතලයි මම ඇඬුවේ.” කියලා මුල්ලා පිළිතුරු දුන්නා. “ඒත් ඒ ගැන කල්පනා කරලා බලන කොට මාත් ඒක මොකක්ද කියලා දන්නේ නැති බව දැනගත්තාම මං හිනාවුණා” කියලා ඔහු කියුවා.


ආයෙ වචන දෙකක් නෑ

“නස්රුදීන් ඔහේගෙ වයස කීයද? ”

“හතළිහයි”

“ඒත් අවුරුදු දෙකකට කලිනුත් මං අහනකොට කිව්වෙත් ඕකමනේ. ”

“ඒක හරි. මගේ ආයෙ වචන දෙකක් නෑ ! ”



කොටින් එළවන බෙහෙත

දවසක් නස්රුදීන් තමන්ගේ ගේ වටේට කුඩු වගයක් ඉහිමින් සිටියා.

“මුල්ලා, ඔහේ මොකද ඔය කරන්නේ? ” කියලා අසල්වැසියෙක් ප්‍රශ්න කළා.

“මං මේ කොටින්ව එළවන බෙහෙත් කුඩක් ඉහිනවා. ”

“ඒ වුණාට මෙතැන ඉඳන් හැතැප්ම සිය ගණනක් යනකම්වත් කොටි නෑනේ. ”

“එහෙනම් බෙහෙත බොහොම සාර්ථකයි නේද ? ” කියලා නස්රුදීන් ඇහුවා.


ප්‍රශ්න සහ පිළිතුරු

“හැම තිස්සෙම ඔහේගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නේ ඇයි ? ” කියලා කෙනෙක් දවසක් නස්රුදීන්ගෙන් ඇහුවා.

“මං එහෙම කරනවද ? ” කියලා නස්රුදීන් උත්තර දුන්නා.


සන්තෝසම

දවසක් මුල්ලා නස්රුදීන් පොදු ස්නානාගාරයකට ගියා. ඔහු ඇඳ පැළඳගෙන හිටියේ දුප්පතෙක් වාගේ නිසා එතැන හිටපු සේවකයන් ඔහුව ඒ තරම් ගණන් ගත්තේ නෑ. පොඩි සබන් පොත්තකුයි, වැරහැලි වෙච්ච නාන කඩකුයි, පරණ තුවායකුයි ඔවුන් ඔහුට දුන්නා.

ස්නානාගාරයෙන් පිටවී යන කොට මුල්ලා සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් එකෙකුට රන් කාසිය බැගින් දුන්නා. තමන් සේවය සැලසූ අන්දම ගැන නස්රුදීන් පැමිණිලි නොකිරීම ගැන  සේවකයන් පුදුම වුණා. ඔහුට හොඳින් සැලකුවා නම් මීටත් වඩා විශාල සන්තෝසමක් ගන්න තිබුණා නේද කියලා ඔවුන් කල්පනා කළා.

ඊළඟ සතියේ මුල්ලා නස්රුදීන් නැවත ස්නානාගාරයට ආවා. මේ පාර, සේවකයන් ඔහුට රජෙකුට වගේ සැලකුවා. එම්බ්‍රොයිඩර් කරපු තුවාත්, සේද නාන කඩකුත් ඔහුට දුන්නා. නස්රුදීන්ව සම්බාහනය කරලා, ඇඟේ සුවඳ තෙල් ගල්වපුවාම ඔහු තමන් ළඟ තිබුණු වටිනාකමින් අඩුම තඹ කාසි දෙක සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් දුන්නා.

“ මේ කාසි දෙක ගිය ගමන වෙනුවෙන්. එදා දුන්නු රන් කාසි දෙක අද සේවය වෙනුවෙන් ” කියලා නස්රුදීන් කියුවා.


එකට එක

දවසක් නස්රුදීන් ඔහුගේ ගෙදර වහලය අලුත්වැඩියා කරමින් හිටියා.  ඔහු වහල උඩ ඉන්න කොට අමුත්තෙක් ඇවිත් ගෙදර දොරට තට්ටු කළා.

“මොනවද නුඹට ඕනෑ? ” කියලා නස්රුදීන් වහලය උඩ සිටම කෑ ගැසුවා.

“පහළට බහින්න. එතකොට මං කියන්නම්” කියලා අමුත්තා උත්තර දුන්නා.

නස්රුදීනුත් බොහොම අකමැත්තෙන් ඉණිමඟ දිගේ හෙමින් පහළට බැස්සා.

“ඉතින්! මොකක්ද ඔය වැදගත් කාරණාව ? ” නස්රුදීන් ඇහුවා.

“මේ දුප්පතාට පිනට යමක් දෙන්න පුළුවන්ද ? ” කියලා අමුත්තා ඇහුවා.

“මා  පස්සෙන් වහල උඩට වරෙන් ” යැයි අමුත්තාට කියූ නස්රුදීන් ඉණිමඟ දිගේ උඩට නගින්න පටන් ගත්තා.

නස්රුදීනුත්, සිඟන්නාත් දෙදෙනාම වහලය උඩට නැග්ගාට පස්සේ නස්රුදීන් කියුවා “බෑ” කියලා.   

2015/04/22

මනාලියක් තෝරාගැනීම





















එකෝමත් එක කාලෙක බොහෝම ආඩම්බරකාර තරුණ කුමාරයෙක් ජීවත් වුණා. ඔහුට ආඩම්බර වෙන්න හේතුත් තිබුණා: ඔහු රාජධානියේ සිහසුනට හිමිකරුවා, ඔහු බොහොම කඩවසම් සහ සෞඛ්‍ය සම්පන්නයි, ඔහුට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා දී තිබුණා වාගේම උගන්වන්නට හැකි සියලුම සමාජ සිරිත් විරිත් ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව ඔහුට උගන්වා තිබුණා. අනෙක, ඔහුගේ පියා රටේ රජතුමා, ඒ වාගේම ඔහුගේ මුත්තා, මී මුත්තා, මේ හැමෝම ඒ රට පාලනය කළ රජවරු. රට පාලනය කරන්නට ඔහුට තිබුණු අයිතියට අභියෝග කරන්නට කිසිවෙකුට පුළුවන් වුණේ නෑ.

ඉතින්, මේ තරුණ කුමාරයා විවාහ වෙන වයසට එළඹුණාම ඔහු තමන්ගේ පිය රජතුමාට මෙහෙම කියුවා : “ පිය රජතුමනි, ඔබ හැමතිස්සේම කියන්නේ මට ගැලපෙන්නේ හොඳම දේවල් කියලයි. මට හොඳම දඩයම් උකුස්සන් ඉන්නවා, මුළු ලෝකයේම ඉන්න හොඳම දඩයම් බල්ලනුයි, හොඳම අශ්වයොයි ඉන්නෙත් මට. ඉතින් ඔබ කොහොමද මට ගැළපෙන කුමාරිකාවක් හොයන්නේ ?” රජතුමා මේක ලොකු ප්‍රශ්නයක් හැටියට කල්පනා කළේ නෑ. ඔහු තමන්ගේ රාජධානිය පුරා තරග රාශියක් පැවැත්වූවා.  ලස්සණම රූපය ඇති තරුණිය තේරීමේ තරග, ශක්තිමත්ම තරුණිය තේරීමේ තරග, දැනුම හා බුද්ධිය මනින තරග, දුනු විදීම සහ සංගීතය වගේ විශේෂ හැකියාවන් මැනීමේ තරග ආදී වශයෙන්. මේ තරග අවසන් වුණාම ඒවායේ ජයග්‍රාහිකාවන් කුමාරයා ඉදිරියට පමුණුවනු ලැබුවා.

ඔහු ඉතා හොඳින් ඔවුන් පරීක්ෂා කළා. ඒ තරුණියන්ගේ රූපය, බුද්ධිය, හැකියාවන් අති විශිෂ්ටයි. වෙනකක් තබා සමහරුන්ගේ හැකියාවන් තමන්ගේ හැකියාවන්ටත් වඩා විශිෂ්ට වත්දෝ කියලා කුමාරයාට හිතෙන්නට පටන් ගත්තා.  “ මේ කුමාරිකාවෝ අති දක්ෂයි,” ඔහු තමන්ගේ පිය රජතුමාට කියුවා. “ඒත් මේ කාටවත් කාන්තාවක් තුළ තිබිය යුතු ගුණාංග නෑ.”  “ඒක ඇත්ත.” පිය රජතුමා පිළිතුරු දුන්නා. “මේ තරග පැවැත්වීමෙන් මා කළේ මේ අයව අයින් කරන එකයි. දැන් ඔබට පුළුවන් මේ තරගවලට සහභාගී නොවුණු තරුණියන් අතරෙන් තමන්ගේ මනමාලිව තෝරාගන්න.”
                                                        ෴



-සුනිති නම්ජෝෂි (1941-        )

1941 දී ඉන්දියාවේ මුම්බායි නුවර උපන් සුනිති නම්ජෝෂි කවි, උපහාස කතා සහ උපමා කතා එකතු කිහිපයක්ද, නවකතා කිහිපයක් සහ ළමා කතා රැසක් රචනා කොට ඇත. කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ඉංගිරිසි අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක වූ ඇය දැනට එංගලන්තයේ ජීවත් වෙයි. ස්ත්‍රීවාදී උපමාකතා ලිවීම සම්බන්ධයෙන් අචාර්ය නම්ජෝෂි ප්‍රසිද්ධියක් උසුලයි.

චිත්‍රය: ග්‍රිගෝරි සෙදොව්

සෙවුම්