2017/10/29

සිසිරයේ රාත්‍රිය





















හිම වැටිණි දිගින් දිගටම මුළු ලෝකය පුරා,
වැසිණි වැටෙනා හිමෙන්
ලොව එක් කොණක සිට අනෙක් කෙළවර තෙක්.
දැවිණි ඉටිපහනක් මේසය මත;
දැවිණි ඉටිපහනක්.

ගිම්හානයේ ගිනි සිලකට වදින්නට
කෝඳුරුවන් රොද බඳිනා පරිද්දෙන්
බැහැර මිදුලෙහි හිමපියලි
රොද බැඳී කවුළු පියනෙහි වදින්නට

කවුළුවෙහි වීදුරුව මත තැනුවේය හිම කුණාටුව
ඊතල, වක්‍ර ඈ විවිධ වූ හැඩතල.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.

එළිය කළ සිවිලිම මත
වැටිණි විපරීත වූ සෙවණැලි:
බැඳුණු අත්වල, හරස් කළ පාවල
බැඳුණු ඉරණම්වල සෙවණැලි.

කුඩා පාවැසුම් දෙකක්
පතිත විය බිම හඬ නඟා.
ඉටිපහන් රුකක රැඳි ඉටි පහනකින්
වැගිරිණි ඉටි කඳුළු ඇඳුම් මත.

හිම සුදු දුමාරය මැද, 
අතුරුදන් විය සියලු දේ.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.

හමා ආ සුළඟකින් නැටවිණි පහන් සිල.
පෙළඹුමේ ධවල දාහය,
උඩට පීරා සිය සුරඟන පියාපත්
කුරුසියක් වන් සෙවණැල්ලක් මැවී.

වැටිණි හිම තදින් මුළු නවම් මස පුරා
නොනවත්වාම මෙන්.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.




















 Painting by Konstantin Korovin

2017/10/21

සොඳුරු ගමනකි මේ


සොඳුරු ගමනකි මේ, මනරම්ය ඍතුව.
මං මුලාවේයැයි මා කොහේ හෝ
හදවතේ බියක් ඇත.
සොඳුරු ගමනකි මේ, මනරම්ය ඍතුව.

කුසුම්වල සැඟව මේ හිනැහෙන්නේ කවුද ?
වසන්තය නොසන්සුන්, ඒ කවුරු හින්දාද ?
තැනෙක ගුමුගුමුවකි, තැනෙක සිලිසිලියකි.
මිහිමඬල නැටුමක යෙදෙන්නා හා සරිය.

පැනනැඟී ගලන මේ ධවල නදියෙහි ගමන
පෙම්බරා හමුවට හද ගැහෙමින් යනු වැනිය.
මේ බැලුම් සුන්දරය, සුදුවන්ය හාත්පස.
සොඳුරු ගමනකි මේ, මනරම්ය ඍතුව.

නබෝගැබ මිහිමතට නැඹුරු වී ඇත
ඒ හමුව දුටුවෙමි දෙනෙතින් මා මෙතැන.
මගේ ලෝකය, මගේ සිහිනය ඇතැම්විට
හමුවනු ඇතිය මෙතැනදී මට.
සොඳුරු ගමනකි මේ, මනරම්ය ඍතුව.


චිත්‍රපටය: මධුමතී (1958)
ගායනය : මුකේෂ්
සංගීතය : සලීල් චෞද්රි
ගී පද     : ශෛලේන්ද්‍ර සිංහ

2017/10/07

'සැලී' උයනෙහි කෙළවර

















හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස
කියුවාය ඇය මා හට.
නමුදු, ‍අනුවණ යොවුනකු වූ මම
එකඟ නුවූයෙමි ඇය සමඟ.

ගංතෙර පිහිටි කෙතක් අස
සිටියෙමු මා පියඹ සහ මම.
නැඹුරු වූ මා උරතලය මත
තබා සිය හිමකුමරි හස්තය
ඉවුරු මත තණපත් වැවෙන විලසට
සෙමෙන් ජීවිතය විඳින ලෙස
කියුවාය ඇය මා හට.
නමුදු, අනුවණ යොවුනකු වූ මම
දිවි ගෙවමි දැන් හැඬූ කඳුළින.
















-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

සෙවුම්