එක්තරා පරීක්ෂණයක කොටසක් හැටියට, අගුළු දමලා වහපු කාමර තුනක මාස හයක කාලයක්
ගතකරන්නට ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත් එකඟ
වුණා. ඒ මාස හය ඇතුළත කාමරේ තියාගන්න තමන්ට කැමති එක දෙයක් ගෙනියන්න පුළුවන් කම
තිබුණා.
තමන් කාමරයට ගෙනියන්න කැමති මොනවද කියලා ඉංග්‍රීසි ජාතිකයාගෙන් ඇහුවම ඔහු
කිව්වා ‘මගේ බිරිඳ’ කියලා. ඉතින් ඔහු තමන්ගේ බිරිඳත් එක්ක කාමරේ හය මාසයක් ගත කළා.
ස්කොට් ජාතිකයාගේ වාරේ ආපුවම ඔහු කිව්වා විස්කි පෙට්ටි සීයක් කාමරේ ඇතුළට ගෙනියන්න
ඕනෑ කියලා.
අන්තිමට අයිරිෂ් ජාතිකයාගෙන් ඇහුවා මොනවද ඇතුළට ගෙනියන්න ඕනෑ කියලා. ඔහු
කිව්වා ‘සිගරැට් පැකට් සීයක්’ කියලා.
ඉතින් මාස හය ගෙවුණට පස්සේ තුන් දෙනාම තම තමන්ගේ කාමරවලින් එළියට ආවා. ඉංග්‍රීසි
ජාතිකයා තමන්ගේ බිරිඳත් එක්ක සිනාසෙමින් එළියට ආවා. ස්කොට් ජාතිකයා කොච්චර බීලා
හිටියද කියනවා නම් ඔහු කාමරයෙන් එළියට ගෙනාවේ උස්සාගෙනයි. අන්තිමට මෙහෙම අහමින්
අයිරිෂ් ජාතිකයා කාමරයෙන් එළියට ආවා : ‘කවුරුහරි ගාව ගිනි පෙට්ටියක් තියෙනවද? ’
****
ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත්
කාන්තාරයක් මැදින් කාර් එකක ගමනක් යමින් හිටියා. එහෙම යනකොට අතරමගදී කාර් එක
කැඩුණා. ඉතින් ඔවුන් කාර් එකෙන් බැහැලා ඇවිදින්න පටන් ගත්තා. ඉංග්‍රීසි ජාතිකයා
තමන් සමග ගෙනියන්න වයින් බෝතලයක් ගත්තා. ස්කොට් ජාතිකයා ගත්තේ කුඩයක්. අයිරිෂ්
ජාතිකයා කාර් එකේ දොරක් ගලවලා කරගහ ගත්තා.
දැන් ඔහොම ටික වෙලාවක් ඇවිදගෙන යනකොට මේ තුන්දෙනාට හමුවුණා කාන්තාරයේ ඉන්න
මහලු එඬේරෙක්. එඬේරා ඉංග්‍රීසි ජාතිකයාට කිව්වා: ‘ මං දන්නවා ඇයි ඔහේ වයින්
බෝතලයක් අරගත්තේ කියලා- ඒ මගදී තිබහ වුණාම බොන්න’
‘ඒක හරි’ කියලා ඉංග්‍රීසි ජාතිකයා උත්තර දුන්නා. ඊට පස්සේ එඬේරා ස්කොට්
ජාතිකයාට කිව්වා: ‘මං දන්නවා ඇයි ඔහේ කුඩයක් ගත්තේ කියලා- ඒ අවුවෙන් බේරෙන්න’
‘හරියට හරි’කියලා ස්කොට් ජාතිකයා උත්තර දුන්නා.
‘ඒත් මට තේරෙන්නෙ නෑ’ අයිරිෂ් ජාතිකයා දිහාට හැරිලා එඬේරා කිව්වා. ‘ඇයි ඔහේ
ඔය කාර් එකේ දොර කරගහ ගෙන යන්නේ කියලා’
‘ඇයි තමුසෙට තේරෙන්නෙ නැද්ද? ’ අයිරිෂ් ජාතිකයා කඩා පැන්නා. ‘ඇයි හුඟක්
රස්නෙ වුණොත් මට පුළුවන්නේ එතකොට ජනේලෙ වීදුරුව පාත් කරන්න.’
****
ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත්
තමන්ගේ බිරින්දෑවරුන් අයථා සම්බන්ධකම් පැවැත්වීම ගැන කතා කරමින් හිටියා.
‘මං හිතන්නේ මගේ නෝනා විදුලි කාර්මිකයෙක් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා.
මොකද ඊයෙ රෑ එයාගේ ඇඳ යට තිබිලා මට ආයුධ පෙට්ටියක් හම්බ වුණා’ කියලා ඉංග්‍රීසි
ජාතිකයා කිව්වා.
‘මං හිතන්නේ මගේ නෝනට පයිප්ප බාස් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.
මොකද ඊයේ රෑ එයාගෙ ඇඳ යට තිබිලා මට වතුර කරාමයක් හම්බ වුණා’ කියලා ස්කොට් ජාතිකයා
කිව්වා.
‘මං හිතන්නේ මගේ නෝනා සම්බන්ධකමක් පවත්වන්නේ අශ්වයෙක් එක්ක කියලා. මොකද ඊයේ
රෑ මට එයාගෙ ඇඳ යට හැංගිලා හිටපු ජොකියෙක් හම්බ වුණා’ කියලා අයිරිෂ් ජාතිකයා
කිව්වා.
****
ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත්
ගොඩනැගිලි වැඩපොළක වැඩ කරමින් හිටියා. දවල් කෑම වෙලාව ආපුවාම ඉංග්‍රීසි ජාතිකයා
තමන්ගෙ කෑම පෙට්ටිය ඇරලා කෙඳිරි ගෑවා. ‘ අදත් චීස් සැන්ඩ්විච්. ආයෙ හෙටත් චීස්
සැන්ඩ්විච් තිබුණොත් දෙයියම්පා මං මේ බිල්ඩිමෙන් බිමට පනිනවාමයි ! ’
ඊළඟට ස්කොට් ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය විවෘත කළා. ‘ අයියෝ අදත් හැම්
සැන්ඩ්විච්. හැමදාම මට දෙන්නේ හැම් සැන්ඩ්විච්මයි. හෙටත් මේවාම තිබුණොත් මාත් උඹ
එක්ක බිල්ඩිමෙන් පහළට පනිනවා ! ’ කියලා ස්කොට් ජාතිකයා කිව්වා.
අයිරිෂ් ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය ඇරලා කංකෙඳිරි ගෑවා. ‘ආයෙමත් බිත්තර
සැන්ඩ්විච්. මට මේක විශ්වාස කරන්නත් බෑ. හැමදාම නොවැරදීම බිත්තර සැන්ඩ්විච්
ලැබෙනවාමයි. හෙටත් බිත්තර සැන්ඩ්විච් නම් මාත් උඹලත් එක්ක බිල්ඩිමෙන් බිමට පනිනවා !
’
ඊළඟ දවසෙ සුපුරුදු විදියට තුන්දෙනා දවල් කෑමට වාඩිවුණා.
ඉංග්‍රීසි ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය ඇරියා. ඒකෙ තියෙන්නේ චීස් සැන්ඩ්විච්
කියලා දැකපු ගමන් ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරුණා.
ස්කොට් ජාතිකයා තමන්ගෙ කෑම පෙට්ටිය ඇරියා. ‘ආයෙමත් හැම් සැන්ඩ්විච්’ කියලා
අඬලා ගොඩනැගිල්ලෙන් පහළට පැන්නා.
අයිරිෂ් ජාතිකයාත් තමන්ගෙ කෑම පෙට්ටිය ඇරලා බලලා ඒකෙ තියෙන්නේ බිත්තර
සැන්ඩ්විච් බව දැකලා ගොඩනැගිල්ලෙන් බිමට පැන්නා.
තුන්දෙනාම ගජ යාලුවෝ නිසා අවමඟුල් උත්සව තුනම තිබුණේ එකටමයි.
‘අනේ මගේ මහත්තයා චීස්වලට ඔච්චර අකමැති බව මං දැනගෙන හිටියා නම්’ කියමින්
ඉංග්‍රීසි ජාතිකයාගේ බිරිඳ වැලපුණා.
‘අනේ මගේ මහත්තයා හැම්වලට ඔච්චර අකමැති බව මං දැනගෙන හිටියා නම්’ කියමින් ස්කොට්
ජාතිකයාගේ බිරිඳ වැලපුණා.
‘අනේ මට තේරෙන්නෙ නෑ. හැමදාම තමන්ගෙ දවල් කෑමට ගෙනියන්න සැන්ඩ්විච් හදාගන්නේ
මගේ මහත්තයාමයි’ කියලා අයිරිෂ් ජාතිකයාගේ බිරිඳ සුසුමක් හෙලමින් කිව්වා.
****
ඉංග්‍රීසි ජාතිකයෙකුයි, අයිරිෂ් ජාතිකයෙකුයි, ස්කොට් ජාතිකයෙකුයි
පස්සෙන් පොලිස් නිලධාරියෙක් පැන්නුවා. පාලුවට ගිය ගබඩාවක් දැකපු තුන්දෙනා ඒකට
රිංගුවා. බිම වැටිලා තිබුණු හිස් ගෝනි තුනක් දැකපු ඔවුන් ඒවා ඇතුළේ හැංගෙන්න
කල්පනා කරලා ගෝනි ඇතුළට බැස්සා.
ගබඩාවට ඇතුළු වෙච්ච පොලිස් නිලධාරියා බිම තිබුණු ගෝනි තුන දැක්කා. පළමුවැනි ගෝනිය ළඟට ගිය ඔහු ඒකට පයින් ගැහුවා.
ඇතුළෙ හිටපු ඉංග්‍රීසි ජාතිකයා ‘බව්, බව්’ කියලා කෑ ගැහුවා. ඇතුළෙ ඉන්නේ බල්ලෙක්
කියලා හිතපු පොලිස් නිලධාරියා ඒ ගෝනිය එහෙම්මම තියෙන්න ඇරියා.
ඊළඟට ඔහු දෙවැනි ගෝනියට පයින් ගැහුවා. ඇතුළෙ හිටපු ස්කොට් ජාතිකයා ‘ඥාව්,ඥාව්’
කිව්වා. ගෝනියේ ඉන්නේ බළලෙක් බව හිතපු පොලිස් නිලධාරියා ඒ ගෝනියත් එහෙම්මම තියෙන්න
ඇරියා.
අන්තිමට ඔහු තුන්වැනි ගෝනියට පයින් ඇන්නා. එතකොට ඇතුළෙ හිටපු අයිරිෂ්
ජාතිකයා මෙහෙම කියලා කෑ ගැහුවා: ‘අර්තාපල්, අර්තාපල්.’
෴
Nick Harris ගේ An Englishman, an Irishman and a Scotsman... කෘතියෙනි.
