Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

2017/06/26

උඩුකබාය





නවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසුණු අතර කොපුල්වල දෙපැත්තේ මනාව වැවූ රැවුළු විය. ඔහුගේ තුනී උඩුරැවුල පැන්සලකින් ඇන්දාක් මෙන් වූයේය. බාගයට පිපුණු ක්‍රීම් පැහැති රෝසමලක් ගසන ලද දුඹුරුපැහැ උඩු කබායක් හැඳ සිටි ඔහු කොළපැහැති ‍ෆෙල්ට් හිස්වැසුමක් හිසෙහි ඇලයට පැලඳගෙන හුන්නේය. ධවල වර්ණ සේද සළුවක් ඔහුගේ ගෙල වටා ඔතා තිබිණ. ඔහු සිය එක් අතක් උඩුකබායේ සාක්කුව තුළ රුවාගෙන සිටි අතර අනෙක් අතෙහි වූයේ ඔප දමනු ලැබූ කෙටි වේවැලකි. හෙතෙම වරින්වර එය විනෝදයෙන් යුතුව කරකැවූයේය. 

ඒ ශීත ඍතුවේ මැද හරියේ සෙනසුරාදා සැන්දෑවකි. අයිස් බඳු ශීතල තියුණු සුළං පහරවල් යවුල් මෙන් පහර දුන්නද තරුණයා ඒ බව ගණන්ගත් වගක් නොපෙනිණි. ගතෙහි උණුසුම රැකගැනීම පිණිස සෙස්සන් වේගයෙන් ඇවිද යද්දී, අධික ශීතල මැදින් කෙරුණු සිය  සක්මන පැහැදිලිවම රසවිඳිමින් හෙතෙම සෙමෙන් ඇවිදගෙන ගියේය. 

ඔහු කෙතරම් ජේත්තුවට සිටියේද යත්, ඈත සිට පවා ඔහු එනු දුටු රෝද දෙකේ අශ්ව කරත්තකරුවෝ සිය අශ්වයන්ට සන්කොට ඔහු වෙතට වේගයෙන් පැමිණියෝය. සිය වේවැල වැනූ ඔහු ඔවුන් ඉවත යැවීය. කුලී මෝටර් රියක්ද ඔහු වෙතට ළඟා වූ අතර එහි රියැදුරා යමක් විමසන ලීලාවෙන් ඔහු දෙස බැලුවේය. මෝටර් රියද ඉවත හරවා යැවිණි. මෙවර එය කෙරුණේ ‘එපා, බොහොම ස්තූතියි,’ යන වදන් සමගිනි. 

මෝල් මාවතේ වඩාත් ජනාකීර්ණ, සජීවී කොටසට පැමිණෙන විට ඔහුගේ තුටුපහටු මනෝභාවයන් තවතවත් වර්ධනය විය. ‘ටැන්ගෝ’ නර්තනයට වාදනය කරන තාලයක් උරුවම් බාන්නට වූ ඔහු එහි තාලයට පියවර තබන්නට පටන් ගත්තේය. හිතට හදිසියේ නැඟුණු සිතිවිල්ලක් අනුව පියවර කිහිපයක් දිවගිය ඔහු ක්‍රිකට් පන්දුවක් යවන සැටි අභිනයෙන් රඟදැක්වීය. 

ලෝරන්ස් උද්‍යානයට හැරෙන මංසන්දියේදී, කුමන මඟ ගන්නේදැයි නිශ්චය කරගන්නට මෙන් ඔහු නැවතුණේය. එනමුදු ශීතල සැඳෑ ආලෝකයේ ගැලුණු උද්‍යානය ශෝකී ගතියක් සහ ආකර්ෂණීය නොවන බවක් මවා පෑ හෙයින් හෙතෙම දිගටම චාරිං ක්‍රොස් වීදිය දෙසට ඇවිද යන්නට විය. 

රැජනගේ ප්‍රතිමාව අසලට ළඟා වූ විට ගමන නැවැත්වූ ඔහු සිය උඩුකබායේ අත තුළ තබගෙන සිටි ලේන්සුවක් ඉවතට ගෙන ඉන් මුහුණ පිස දමාගත්තේය. 

ප්‍රතිමාව අසල තණපිටියේ ඉංගිරිසි ජාතික දරුවෝ කිහිප දෙනෙක් විශාල රබර් බෝලයක් සමඟ සෙල්ලම් කරමින් සිටියහ. ඔවුන්ගේ ක්‍රීඩාව නැරඹීම පිණිස හෙතෙම එතැන නතර විය. මුලදී ඔහු සිටින වගක් දරුවන්ට දැනුණේ නැත. එහෙත් ඔහු දිගින් දිගටම ඔවුන් දෙස බලා සිටින බව දැනුණෙන් ලජ්ජාවට පත් වූ  ඔවුහු සිය බෝලය අහුලාගෙන, සිනාසී කෑගසමින්, එකිනෙකා පසුපස එලවමින් තණපිටියේ අනෙක් කෙළවරට දිවූහ. මාර්ගය පසෙක වූ හිස් සිමෙන්ති බංකුවක් දුටු තරුණයා එහි දූවිලි පිසදමා එමත හිඳගත්තේය. 

සැන්දෑව ගෙවී යත්ම ශීතල වඩාත් දැඩි විය. එය සතුටෙහි ගැලී සැපපහසුව සොයන්නට මිනිසුන් පොළඹවන ශීතලකි. එවැනි අවස්ථාවලදී, පිටරටවල ඇවිද දුරාචාරයෙහි යෙදුණවුන් පමණක් නොව තමාගේ හුදෙකලාබවෙහි ගැලී සතුටින් ජීවත්වන මිනිස්සු පවා වීදිවල පැතිරී ඇති උත්සවශ්‍රීය සමඟ පෑහෙමින් එක ළඟ ඇති සිරුරුවලින් හටගන්නා උණුසුම විඳීමට ඔවුන් සැඟවී සිටින තැන්වලින් බැහැරට ආහ. 

එබැවින්, විවිධාකාරයේ හෝටල, අවන්හල්, කෝපිකඩ, අවුළුපත්කඩ ආදිය අතර තමාගේ ආර්ථික තත්ත්වයේ හැටියට විනෝදවීම පිණිස මිනිස්සු මෝල් මාවතට එක්රොක් වූවෝය. ඒ ගොඩනැඟිලි ඇතුළත වූ සැපපහසුකම් විඳීමට තරම් හැකියාවක් නැති අය බැහැර වූ වර්ණවත් විදුලි බුබුලු සහ දීප්තිමත් වෙළෙඳ දැන්වීම් ආදිය බලා සතුටට පත් වූහ. ප්‍රධාන මාවත දිගේ කෙළවරක් නැති මෝටර් රථ, බස්රථ, රෝද දෙකේ අශ්ව කරත්ත සහ පාපැදි ප්‍රවාහයක් උඩ පහළ ගිය අතර පදික වේදිකාවල් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. 

ඔහු ඉදිරිපිට පදික වේදිකාවේ යනෙන මිනිසුන් දෙස උනන්දුවෙන් යුතුව බලමින් තරුණයා සිමෙන්ති බංකුව මත හිඳගෙන සිටියේය. ඔවුන්ගේ මුහුණුවලටත් වඩා ඔහුගේ අවධානය යොමුවුයේ ඔවුන්ගේ ඇඳුම් වෙතය. ඒ මිනිස්සු විවිධ තරාතිරම්වලට අයත් අය වූහ.

වෙළෙන්දෝ,නිලධාරීහූ,රජයේසේවකයෝ,ශිෂ්‍යයෝ,කලාකරුවෝ, සංචාරකයෝ, වාර්තාකරුවෝ, ලිපි  කරුවෝ සහ සෙසු අය එහි වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උඩුකබා පැලඳ සිටියෝය. මිල අධික ආස්ත්‍රහාන්  කබාවල සිට පරණ ඇඳුම් විකුණන කඩවල විශාල මිටි බැඳ තිබෙන රළු කාකි හමුදා කබා දක්වා ඒවා ඒ අතර විය.

තරුණයා හැඳ සිටි උඩුකබාය පැරණි වූවද එය මනා ලෙස මසන ලද එකක් වූ අතර එය මැසූ රෙද්ද අනර්ඝ එකක් විය. කබායේ කොලරය ඍජුව තිබූ අතර එහි අත්වල නැම්ම මනාව පිහිටා තිබිණ. එහි බොත්තම් නිමවා තිබුණේ සත්ත්ව අංවලිනි. ඒ බොත්තම් විශාල දිලිසෙන ඒවා විය. එම කබාය පැලඳ තරුණයා ඉතා සතුටින් සිටින බවක් පෙනිණි. 

බුලත්විට සහ සිගරැට් විකුණන පිරිමි ළමයෙක් සිය බන්දේසිය රැගෙන එතැනින් ගියේය. 

‘ඒයි ළමයා,’

‘ඔව් සර්’

‘තමුසෙ ගාව රුපියල් දහයෙ කොළයක්  මාරු කරන්න තියෙනවද?’

‘නෑ සර්, හැබැයි මට මාරු කරලා ගෙනැල්ලා දෙන්න පුළුවන්.’

‘සල්ලිත් අරන් තමුසෙ ආපහු ආවෙ නැත්නම් මොකද කරන්නේ?’

‘සර්ට මාව විස්වාස නැත්නම් මාත් එක්ක එන්න පුළුවන්. සර්ට මොනවද ඕනෑ?’

‘නෑ, කමක් නෑ.... මෙන්න මට ඇනා එකක් හම්බ වුණා. දෙනවා මට හොඳ සිගරැට් එකක්. දීලා මෙතැනින් යන්න යනවා.’

ඔහු දුම් උරන විට පෙනී ගියේ ඒ සෑම උගුරක්ම ඔහු දැඩි ලෙස ආස්වාදනය කරන ආකාරයකි. 

කුඩා, කෙට්ටු, සුදුපාට බළලෙක් ශීතලෙන් වෙව්ලමින් ඔහුගේ දෙපාවල ඇතිල්ලෙමින් කෑ ගෑවේය. ඔහු උගේ පිට අතගෑවේය. බළලා බංකුව මතට පැන්නේය. බළලාගේ පිට අතගාමින් ඔහු මිමිණුවේය : 

‘අනේ අසරණ සතා.’

මිනිත්තු කිහිපයකට පසු ඔහු නැඟී සිටියේය. 

මෝල් මාවත තරණය කරද්දී සිනමා ශාලාවක පෝටිකෝවේ වූ දීප්තිමත් විදුලි බුබුලු දුටු ඔහු ඒ වෙත ඇදී ගියේය. චිත්‍රපටිය දැනටමත් ආරම්භ වී තිබූ හෙයින් එහි සිටියේ අනාගතයේ පෙන්වීමට නියමිත චිත්‍රපටිවල ඡායාරූප රැඳවූ පුවරු දෙස ඔහේ බලාගෙන සිටින කිහිප දෙනෙකු පමණි. ඒ මිනිසුන් අතර, ඡායාරූප ගොන්නක් දෙස බලමින් හිකිහිකි ගා හිනැහෙන ඇන්ග්ලෝ- ඉන්දියානු යුවතියෝ තිදෙනෙක් වූහ. තරුණයා ඔවුන් දෙසට ඇදුණද විනීතකම පවත්වාගත යුතු වු හෙයින් හෙතෙම ඔවුන්ට පියවරක් හෝ දෙකක් පිටුපසින් සිටගත්තේය. 

අනෙක් යුවතියන් දෙදෙනාගේ නෙතඟ බැලුම්  සහ ඇනීම්වලින් අනතුරුව ඉන් එකියක් පිටුපස හැරී ඔහු දෙස බැලුවාය. එකවරම ඇය කෙරෙන් මහත් වූ සිනාවක් පැනනැංගේය. තමන් පාලනය කරගැනීමට යත්න දැරූ අනෙක් යුවතියෝ දෙදෙන ඇය සිනමා ශාලාවේ පෝටිකෝවෙන් ඉවතට තල්ලු කර දැමූහ. තත්ත්පර කිහිපයක් ඇතුළත ඔවුහු නොපෙනී ගියෝය. 

ඔවුන්ගේ පිටව යෑම තරුණයා ගණනකට ගත් බවක් නොපෙනිණි. ටික වේලාවක් එතැන නිකරුණේ රැඳී හුන් ඔහුද සිනමා ශාලාවෙන් පිටවී ගියේය. 

මේ වන විට සවස හත පසුවී තිබිණ. ඔහු නැවතත් මෝල් මාවත දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. අවන්හලක් තුළ වාද්‍ය වෘන්දයක් සංගීතය වාදනය කරන හඬ ඇසිණි. එහි පිටත මිනිස්සු බොහෝ දෙනෙක් රැස්වී සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එතැන පසුකර ගෙන යන අය වූහ. කවුරුන් හෝ එන තුරු බලාගෙන සිටින අස්රියවල හෝ කුලී මෝටර් රථවල රියැදුරෝ කිහිප දෙනෙක්ද, කුලීකරුවෝ සහ සිඟන්නෝද එහි වූහ. සිය පළතුරු විකුණා අවසන් වූ පළතුරු වෙළෙන්දෝ කිහිප දෙනෙක්ද සිය හිස් කූඩා තබාගෙන එතැන රැඳී සිටියෝය. අවන්හල ඇතුළත හිඳගෙන සිටින්නන්ටත් වඩා මේ බැහැර සිටගෙන සිටියවුන් සංගීතය වින්දනය කරන බවක් පෙනෙන්නට තිබුණේ ඒ සංගීතය විදේශීය එකක් වූවද ඔවුන් එය නිහඬව අසාගෙන සිටි බැවිනි.

තරුණයාද මඳක් නැවතී සංගීතයට සවන් දී දිගටම ඇවිදගෙන ගියේය.

ඊට ටික වේලාවකට පසු බටහිර සංගීත භාණ්ඩ විකුණන විශාල සාප්පුවක් ඉදිරිපිටට පැමිණි ඔහු  කිසිදු පැකිලීමකින් තොරව එතුළට ගියේය. වටේට වූ බිත්තිවල සවි කළ රාක්ක මත විවිධාකාරයේ සංගීත භාණ්ඩ තැන්පත් කර තිබිණි. දිගු මේසයක් මත, ඒ දිනවල ජනප්‍රියතම ගීත අඩංගු තැටි සිත්ගන්නාසුළු ලෙස ප්‍රදර්ශනය කර තිබුණේය. ඒ තැටිවල කවරවල ඇඳ තිබූ චිත්‍ර අසභ්‍ය ඒවා වූවද ප්‍රීතිමත් ඒවා විය. ඒවා දෙස බැල්මක් හෙලූ තරුණයා බිත්තියේ එල්ලා තිබූ ස්පාඤ්ඤ ගිටාරයක් වෙත ඇවිද ගියේය. සංගීතය ගැන දන්නා රසවතෙකුගේ විලාසයෙන් එය පරීක්ෂා කර බැලූ ඔහු ගිටාරයේ එල්ලා තිබූ මිල සඳහන් ලේබලය කියවා බැලුවේය. ඊළඟට ඔහුගේ අවධානය ඇදගත්තේ විශාල ජර්මානු පියානෝවකි. එහි යතුරුපුවරුවේ ආවරණය ඉවත් කළ ඔහු යතුරු කිහිපයක් වාදනය කොට යළි ආවරණය වැසුවේය. 

සාප්පුවේ සේවකයෙක් ඔහු වෙත පැමිණියේය. 

‘සුබ සැන්දෑවක් වේවා සර්,’ ඔහු විනීත ලෙස පැවසීය. ‘සර්ට මුකුත් උදව්වක් අවශ්‍යද?’

‘නෑ, බොහොම ස්තූතියි,’ තරුණයා උදාසීන ලීලාවකින් යුතුව පිළිතුරු දුන්නේය. ඉන්පසුව හදිසියේම යමක් සිහි වූවාක් මෙන් ඔහු සේවකයාට කතා කළේය. 

‘ආ ඔව්... මේ මාසේ ග්‍රැමෆෝන් තැටිවල ලැයිස්තුවක් මට දෙන්න පුළුවන්ද?’

ඒ ලැයිස්තුව සිය උඩුකබායේ සාක්කුවකට දමාගත් ඔහු මෝල් මාවත දිගේ යළි පිය මනින්නට විය. 

ඊළඟට ඔහු නැවතුණේ පොත් සාප්පුවකය. සඟරා දෙක තුනක් පෙරළා බැලූ ඔහු ඒවායේ පටුන උඩින් පල්ලෙන් කියවා ඒවා  තිබූ තැනම ප්‍රවේසමෙන් යළි තැබුවේය. තව ටික දුරක් යන විට සාප්පුවක බැහැර එල්ලා තිබූ විශාල පර්සියානු පලසක් ඔහුගේ අවධානය ඇදගත්තේය. දිගු ලෝගුවක් සහ සේද ජටාවක් හැඳ සිටි සාප්පුවේ අයිතිකරුවා ඔහුට උණුසුම් ලෙස ආචාර කළේය.

‘මට මේ පලස ටිකක් බලන්න ඕනෑ කළා,’ තරුණයා පලස් වෙළෙන්දාට කීය.
‘බලන්න, බලන්න, සර්.’

‘හා හා ඕක පහළට ගන්න කරදර වෙන්න එපා. මෙතැන ඉඳන් මට හොඳට පෙනෙනවා. කීයද ඕකෙ ගාණ?’

‘රුපියල් එක්දාස් හාරසිය තිස් දෙකයි, සර්,’

‘ආ එච්චර වෙනවද?’ යැයි අසන්නාක් මෙන් තරුණයා රවා බැලුවේය. 

‘සර්ට තියෙන්නේ තෝරාගන්න විතරයි,’ වෙළෙන්දා මිත්‍රශීලී ලෙස කීය. ‘එතකොට අපි දෙන්න පුළුවන් උපරිම අඩු මිල වෙනකම් ගණන අඩු කරනවා.’

‘බොහොම ස්තූතියි,’ තරුණයා ප්‍රසන්න ලෙස කීවේය. ‘ඇත්තටම අපූරු පලසක්, මම ආයෙමත් තවත් දවසක එන්නම්,’ යැයි කියූ ඔහු ඉවතට ඇවිදගෙන ගියේය. 

ඔහුගේ උඩුකබායේ කොලරය හැඩගැන්වූ ක්‍රීම් පැහැති රෝසමල ඇල වී බිම වැටෙන්නට ළං වී තිබිණ. තෘප්තිමත්බවේ අමුතු සිනාවකින් යුතුව ඔහු එය යළිත් නිසි පරිදි සකස් කළේය.

ඔහු දැන් ඇවිදිමින් සිටියේ මහාධිකරණය අසල වූ පදික වේදිකාව මතය. ඔහු බොහෝ වේලාවක් තිස්සේ ඇවිද්දද තවමත් ඔහුගේ මනෝභාවය යහපත් විය. ඔහුට වෙහෙස දැනුනේවත් ඇවිදීම එපා වූයේවත් නැත.

මෝල් මාවතේ මේ හරියේ පදිකයන් සිටියේ තැනින් තැනය. එක් මිනිසුන් කණ්ඩායමක් අසල සිට තවත් මිනිසුන් කණ්ඩායමක් දක්වා ජනශූන්‍ය තැන් බහුලව තිබිණ. ඇවිදින අතර සිය වේවැල තනි ඇඟිල්ලක් වටා කරකවන්නට තරුණයා උත්සාහ ගත්තද ඒ උත්සාහයේදී වේවැල ඔහු අතින් ගිලිහිණි. 

‘සමාවෙන්න’ යැයි කියූ ඔහු නැවී වේවැල අහුලා ගත්තේය. 

මේ අතරතුර, ඔහුට පිටුපසින් පැමිණි තරුණ යුවළක් ඔහු පසුකර ගෙන ගොස් ඔහුට ඉදිරියෙන් ගමන් කරන්නට වූහ. ඒ යුවළේ තරුණයා උසැති කෙනෙකු වූ අතර ඔහු කලුපැහැති කොඩ්රෝයි කලිසමකින්ද, සිපරයක් සහිත සම් ජැකට්ටුවකින්ද සැරසී සිටියේය. යුවතිය සුදුපැහැ සේද රෙද්දෙන් කළ ලිහිල් ෂල්වාර් කලිසමක්ද කොළපැහැති කබායක්ද හැඳ සිටියාය. ඇය මිටි තරබාරු එකියකි. තනි කරලට ගෙතූ ඇයගේ දිගු කලු කොණ්ඩය ඇය ඇවිදින විට පිරුණු නිතඹෙහි වැදී ඔබමොබ වීසි විය. 

මේ දර්ශනය දැකීමෙන් ප්‍රීතියට පත්වූ තරුණයා ඔවුන් පසුපසින් ඇවිදින්නට පටන් ගත්තේය. ටික වේලාවක් යන තුරු ඔවුන් දෙදෙනා අතර කතාබහක් නොවීය. ඉන්පසුව යෞවනයා සිය පෙම්වතියට යමක් කී අතර ඇය ඊට දැඩි ස්වරයෙන් පිළිතුරු දුන්නාය:

‘බෑ.’

‘මම ඔයාට කිව්වා වගේ ඒ දොස්තර මගේ යාලුවෙක්. කිසි කෙනෙක් මේක දැන ගන්නේ නෑ.’

‘බෑ. මං කිව්වනෙ මට බෑ කියලා.’

‘ඒකෙන් වේදනාවක් ඇති වෙන්නෙ නෑ. හිතන්නත් කලින් වැඩේ ඉවරයි.’

යුවතිය පිළිතුරක් දුන්නේ නැත. 

‘ඔයා දන්නවනේ, ඔයාගේ අම්මලා තාත්තලා හරියට කනගාටු වෙයි. ඔයා ඒ ගොල්ලන්ගේ නම්බුව ගැන හිතන්න ඕනෑ.’

‘කට වහගෙන ඉන්න. නැත්නම් මම කෑ ගහනවා.’

ඒ සැඳෑ කාලයේදී ඔහු විසින් දකින ලද මිනිසුන් අතර තරුණයාගේ උනන්දුව අවුළුවා ලූ කෙනෙකු සිටියේ නැති තරම්ය. ඇතැම්විට ඔහු ඉතා ගැඹුරෙන් තමන් ගැනම සිතමින් සිටියා විය යුතුය. රොමෑන්තික නවකතාවක පිටු අතරින් එළියට බටවුන් සේ පෙනෙන මේ තරුණ යුවළ තුළ ඔහුගේ උනන්දුව අවුළුවා ලූ යමක් තිබිණි. 

ඔවුන්ගේ මුහුණු දකින අටියෙනුත් ඔවුන් තවදුරටත් කතා කරන දේවලට ඇහුම්කන්දීමේ අරමුණෙනුත් හෙතෙම ඔවුන්ට සමීපව ඔවුන් පසුපසින් ගියේය.
මේ වන විට ඔවුහු මහ තැපැල්හල ඉදිරිපිට වූ සුවිසල් මංසන්දිය වෙත ළඟා වී සිටියහ. මඳකට නතර වූ යුවළ, මෝල් මාවත මාරු වී මැක්ලියොඩ් පාර දෙසට යන්නට වූහ. එකවරම ඔවුන් පසුපස ගියේ නම් තමන් ඔවුන් පසුපස යන බව යුවළ දැන ගනු ඇතැයි සිතූ තරුණයා නතර විය. තමා මඳ වේලාවකට නතර වී සිටියහොත් එය වඩා හොඳය. 

යුවළ ඔහු සිටි තැන සිට යාර සියයක් පමණ ගිය විට ඔහු යළිත් හදිසියෙන් ඔවුන් පසුපස යන්නට පටන් ගත්තේය. පාරේ අඩක් දුර යන්නටත් ප්‍රථම, ගඩොල් පුරවාගෙන චණ්ඩ මාරුතයක් සේ ඔහු පසුපසින් පැමිණි ලොරියක් ඔහු යටකරගෙන මැක්ලියොඩ් පාර දෙසට වේගයෙන් ඇදී ගියේය. මිනිසෙකු මරහඬ තලන හඬ ඇසුණු ලොරියේ රියැදුරා සත්‍ය වශයෙන්ම එක් මොහොතකට රථයේ වේගය බාල කළේය. එහෙත් කිසියම් බැරෑරුම් දෙයක් සිදුවී ඇති බව වටහාගත් ඔහු අඳුරේ වාසියට මුවා වී රාත්‍රිය තුළට පලාගොස් තිබිණි. හදිසි අනතුර දුටු එතැන සිටි කිහිප දෙනෙක් කෑ ගැසූහ: ‘මිනිහව නවත්තා ගන්න...වාහනේ නොම්බරේ ලියා ගන්න,’ එහෙත් ලොරිය පේන තෙක් මානයකවත් නොවීය. 

ටික වේලාවක් යන විට එතැනට විශාල සෙනඟක් රැස් වූහ. මෝටර් සයිකලයක පැමිණි පොලිස් රථවාහන නිලධාරියෙක් එතැන නැවතුනේය. තරුණයා බරපතල ලෙස තුවාල ලබා සිටියේය. රුධිරය විශාල ප්‍රමාණයක් පාරේ ගලාගොස් තිබූ අතර තරුණයා සිටියේ දැඩි අවදානම් තත්ත්වයකය. මහමඟ ගමන් කළ මෝටර් රියක පටවා ඔහු අසල වූ රෝහලකට ගෙනියනු ලැබිණි. රෝහලට පැමිණෙන විට ඔහුගේ පණ යාන්තමින් රැඳී තිබුණේය.

එදා රාත්‍රියේ හදිසි අනතුරු අංශයේ සේවයේ යෙදී සිටියේ සහකාර ශල්‍ය වෛද්‍ය ඛාන් සහ ෂෙහ්නාස් සහ ගිල් නම් වූ තරුණ හෙදියන් දෙදෙනෙකි. ගිලන් ඇඳක තබා තරුණයා ශල්‍යාගාරය වෙත රැගෙන යන විටත් ඔහු සිය දුඹුරුපැහැ උඩු කබාය සහ සේද සළුව හැඳගෙන සිටියේය. ඔහුගේ ඇඳුම පුරාම විශාල රුධිර පැල්ලම් විය. කිසිවෙකු තරුණයාගේ කොළපැහැති ෆෙල්ට් හිස්වැසුම ඔහුගේ පපුව මත තබා තිබුණේ එය නැති නොවනු පිණිසය. 

‘යමක් කමක් තියෙන කෙනෙක් වගේ,’ ෂෙහ්නාස් ගිල්ට කීවාය. ගිල් ඊට පිළිතුරු දුන්නේ පහත් හඬිනි:

‘සෙනසුරාදා රෑ එළියට යන්න හොඳට ඇඳලා, අසරණයා.’

‘ඩ්‍රයිවර්ව අල්ලාගෙනද?’

‘නෑ, මිනිහා පැනලා ගිහිල්ලා.’

‘අපරාදේ !’

මුඛවාඩම්වලින් මුහුණු ආවරණය කරගත් සහකාර ශල්‍ය වෛද්‍යවරයා සහ හෙදියෝ දෙදෙනා ශල්‍යාගාරයේදී තරුණයාට ප්‍රතිකාර කිරීමට පටන් ගත්හ. ආවරණය නොවී තිබුණේ ඔවුන්ගේ දෑස් පමණි. ඔහු සුදු කිරිගරුඬ මේසය මත වැතිරී සිටියේය. ඔහුගේ කොණ්ඩය තවමත් හොඳින් බොරුඇස්වලට උඩින් පිළිවෙළට පීරූ වනම තිබුණේය. එදා සවස ඔහු සිය හිසෙහි ගැල්වූ සැර සුවඳ සහිත තෙල්වලින් තවමත් ළා සුවඳක් වහනය විය.

දැන් ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පටන් ගැනිණි. පළමුවෙන්ම ඉවත් කෙරුණේ ධවල වර්ණ සේද සළුවයි. එක්වරම හෙදියෝ දෙදෙනා එකිනෙකා දෙස බැලුම් හෙලාගත්හ. මුඛවාඩම් තිබියදී එකිනෙකා සමඟ සන්නිවේදනය කළ හැකි එකම මඟ වූයේ එයයි.

සළුවට යටින් ටයි පටියක් හෝ කොලරයක් හෝ තිබුණේ නැත. අඩුම වශයෙන් කමිසයක්වත් තිබුණේ නැත. උඩුකබාය ඉවත් කළ විට පෙනී ගියේ තරුණයා ඊට යටින් හැඳ සිටින්නේ හිල්වලින් පිරුණු කපු ස්වේටරයක් පමණක් බවයි. ඒ හිල් අතරින් පෙනුණේ ඊට යටින් හැඳ සිටින කිලිටි බැනියමයි. එහි තත්ත්වය ස්වේටරයටත් වඩා අන්ත විය. තරුණයා සේද සළුව එතූ ආකාරයෙන් ඔහුගේ ගෙලෙහි සහ පපුවේ විශාල පෙදෙසක් ඉන් ආවරණය විය. ඔහුගේ සිරුර පුරා කුණු තට්ටු බැඳී තිබිණි. මාස දෙකකින්වත් ඔහු ස්නානය කර නැත. ඔහුගේ ගෙලෙහි උඩ කොටස පමණක් හොඳින් පිරිසිදු කොට පුයර දමා තිබුණේය. 

ස්වේටරය සහ බැනියම ඉවත් කිරීමෙන් පසුව එළැඹුණේ ඔහුගේ කලිසම ඉවත් කිරීමේ කටයුත්තයි. හෙදියන් දෙදෙනාගේ නෙත් යළිත් වරක් එකිනෙක ගැටිණි. පරණ රෙදි පටියකින් කලිසම ඉනට තබා ගැට ගසා තිබිණි. ඒ පරණ රෙදි පටිය ඇතැම්විට කලෙක ටයි පටියක් විය හැකිව තිබුණේය. කලිසමෙහි බොත්තම්වත් ගාංචුවක්වත් නොවීය. කලිසමේ දණහිස් අසල කොටස වියැකී ඉරී තිබුණේය. එහෙත් මේ සියල්ල කබායට යටින් වූ නිසා ඒවා කිසිවෙකුට නොපෙනිණි. 

ඊළඟට පාවහන් සහ මේස් ගලවනු ලැබිණි. සපත්තු පරණ ඒවා වූවද හොඳින් ඔප දමා තිබුණේය. එක් කකුලක වූ මේස් එක අනෙක් කකුලේ මේස් එක සමඟ වර්ණයෙන්වත්, මෝස්තරයෙන්වත් ගැලපුණේ නැත. මේස්වල පතුල් හිල් වී තිබිණි. ඒ හිල් අතරින් පෙනුණේ කලු කුණු බැඳුණු අපිරිසිදු දෙපතුල්ය. මේ වන විට ඔහු මිය ගොස් සිටියේය. ඔහුගේ පණසුන් සිරුර සුදු කිරිගරුඬ මේසය මත වැතිරී තිබිණි. 

ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පළමුව ඔහුගේ මුහුණ සිවිලිම දෙසට හැරී තිබුණද ඇඳුම් ගලවන අතරතුර එය බිත්තිය දෙසට හැරී තිබුණේය. ඒ  ඇතැම්විට සිය සහෝදර මනුෂ්‍ය ප්‍රාණීන්ට මුහුණ දෙන්නට නොහැකි වන ලෙස සිරුරේත්, ආත්මයේත් වූ මේ ද්විත්ව නිරුවත් බව කරණ කොට ගෙන හටගත් ලජ්ජාව නිසාද?

ඔහුගේ උඩුකබායේ විවිධ සාක්කුවල තිබී හමු වූ ස්වල්ප දෑ පහත පරිදිය:

කලුපැහැති කුඩා පනාවක්, ලේන්සුවක්, ඇනා හයක් සහ පයිසා කිහිපයක්, බාගයට ඉරූ සිගරැට්ටුවක්, මිනිසුන් කිහිපදෙනෙකුගේ නම් සහ ලිපින සටහන් කළ කුඩා දිනපොතක්, ග්‍රැමෆෝන් තැටි ලැයිස්තුවක් සහ ඔහුගේ සැඳෑ සක්මන අතරතුර අත්පත්‍රිකා බෙදන්නන් විසින් බලෙන් ඔහුගේ ඇ‍ඟේ ගසන ලද අත්පත්‍රිකා කිහිපයක්.

ඇතැම්විට හදිසි අනතුර අවස්ථාවේදී නැතිවන්නට ඇති ඔහුගේ කුඩා වේවැල අවාසනාවකට මෙන් මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ නැත.














(සයිනාබ් ගුලාම් අබ්බාස් විසින් උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

2016/08/13

අලුත ගෙනා මනාලිය






















යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණාව වන්නේ මා තවමත් අවිවාහකව පසුවීමත්, ඒ සම්බන්ධයෙන් මා දැඩි ලෙස සංවේදී වීමත්ය. 

වර්මා මහතාගේ බංගලාව පිහිටා ඇත්තේ අපගේ පෝටිකෝවේ හිඳගෙන සිටින විට එහි සිදුවන සියල්ලක්ම පාහේ පෙනෙන ආකාරයෙනි. නිවෙස් දෙක අතර ඇති වැට වසර කිහිපයකට උඩදී කැඩී බිඳී ගියද එය කිසිදා අලුත්වැඩියා නොකෙරිණි. අපගේ පවුල් දෙක කෙතරම් මිතුරු වීද යත් ඉන් එක් පවුලක්වත් වැට අලුත්වැඩියාකිරීම ගැන කරදර වූයේ නැත. අනෙක, කැඩුණු වැට නිවෙස් දෙක අතර පහසුවෙන් එහා මෙහා යෑමට උපකාරී වූයේය. 

සියල්ල සූදානම් බවත් මංගල පෙරහර ඇරඹීමට ආසන්න බවත් මට පෙනෙයි. දූවිල්ල මැකෙන්නට මිනිස්සු දෙදෙනෙක් හම් බාල්දිවලින් රතු බොරලු පොළොව මත ජලය ඉසිති. නෑදෑයෝ සහ මිතුරෝ සෑහෙන විශාල පිරිසක් එහි රැස්ව සිටින්නෝය. එහෙත් ඔහුගේ විවාහ මංගල්‍යයට නොයෑමට මා තීරණය කර ඇත. අම්මා ඒ ගැන අසතුටට පත්වූවද මගේ තීරණය එසේමය. වර්මා මහත්මියගේ මරණයෙන් මාස දෙකක් ඇතුළත යළි විවාහවීම මොනතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද !

මා අපේක්ෂා කළ පරිදිම මා තවමත් පෝටිකෝවේ හිඳගෙන සිටීම ගැන අම්මා සතුටට පත් වූයේ නැත. ‘දෙවියනේ ! ඔයාට මඟුල් ගෙදරට වෙලාවට යන්න ඕනකමක්  නැද්ද ? මඟුල් පෙරහැර පිටත්වෙන්නත් ලෑස්තියි. ඔයා තවමත් පොතක් අතේ තියාගෙන මෙතැන වාඩිවෙලා ඉන්නවා ! ඔයා මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ !
 
‘අම්මේ, මං යන්නෙ නෑ. අම්මා යන්න. මං එනකම් බලාගෙන ඉන්න එපා.

‘ඒ මොකද ? ඒ මිනිස්සු අපේ අසල්වැසියෝ. ඔයා නොගියොත් අමනාප වෙයි. මං ඒ අයට මොකක්ද කියන්නෙ ? ’

‘ඕනැ දෙයක් කියන්න. මං යන්නෙ නෑ.’

‘අඩුම ගානෙ මටවත් කියන්නකො ඇයි කියලා. මං රෑට ඉවුවෙත් නෑ. ඔයාට බඩගින්නෙ ඉන්නයි වෙන්නේ.’

‘මට බඩගිනි නෑ. අම්මේ, මට නම් අම්මා ගැනත් පුදුමයි. අම්මා වර්මා නෝනාට කොච්චර කැමතිද ? ඒත් එයා මැරුණා විතරයි, හොඳට ඇඳගෙන මිස්ටර් වර්මාගේ මඟුල් ගෙදර යනවා !’ මට තවදුරටත් කතා කරගැනීමට නොහැකි විය. අම්මා මා අසලින් හිඳගත්තාය. 

‘කාටවත් බෑ ඉරණම වෙනස් කරන්න දරුවෝ. මගේ සහෝදරියන්ටත් වැඩිය මං කම්ලාට ආදරේ කළා !’ ඇගේ කටහඬෙහි වූයේ ශෝකී බවකි.

‘මට දරාගන්න බැරි අම්මෙ මිස්ටර් වර්මා මෙච්චර ඉක්මනට ආපහු කසාද බඳින එකයි......’

‘එයාට බනින්න එපා දරුවෝ. එයත් ඒ ගැන එච්චර සතුටු නෑ කියලා මට විශ්වාසයි. කම්ලා අසනීප වෙලා ඉන්න කොට ඒ මනුස්සයා එයාව බලාගත්ත විදිය ඔයා දැක්කනෙ ! එයා බඳින්නෙ ළමයි නිසා.’

‘ළමයි නිසා ! ඒක බොරු හේතුවක් අම්මේ. කුඩම්මා කෙනෙක් ගේන එක ළමයින්ට සතුටක් නෙවෙයි. මිස්ටර් වර්මාට හොඳට සල්ලි තියෙනවා. ඇයි එයා කාවහරි- මං කියන්නෙ, ළමයි බලාගන්න ගෑනු කෙනෙක් පඩියට තියාගන්නෙ නැත්තෙ? ’

‘ළමයි බලාගන්න ගෑනු කෙනෙක් කවදාවත් අම්මා කෙනෙක් වගේ වෙන්නේ නෑ. මේවා තේරුම් ගන්න තරම් ඔයා ලාබාල වැඩියි. ඇයි ඔයා කියන්නෙ අලුත් නෝනා ළමයින්ට ආදරේ වෙන එකක් නෑ කියලා? එයා කුඩම්මා කෙනෙක් නිසාද? හැමකෙනෙක්ම ඒ වගේ නෑ. ඔයා ඉන්නෙ තරහෙන්. එච්චරයි. වර්මාට වැඩ තියෙනවා. ළමයින්ව බලාගන්න එයාට වෙලාවක් නෑ! ගෙදර පවුලක් ඉන්නවා නම් එයාට ළමයි ගැන හිතේ කරදරයක් නෑ. ’

‘අලුත් නෝනා එයාගෙ ළමයින්ට ආදරේ වුණේ නැත්නම් ? ’

‘එහෙම වුණොත් ඒක ඒ ළමයින්ගේ ඉරණම. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අම්මා මැරෙන්නෙ නැතිව ඉන්න තිබුණා. දුවේ,  මං කසාද බඳිනකොට මට ඔයාගේ ආතම්මා මඟුල් තෑග්ග විදියට දුන්නේ ඔයාගෙ ලොකු අයියව. ඒ දරුවට එතකොට වයස මාස දහඅටයි. අහලා බලන්න එයාගෙන් එයාට අම්මා නැති අඩුව කවදාවත් දැනුණද කියලා. ඔයගොල්ලො ඔක්කොමටත් වඩා මම තවමත් වැඩියෙන් ආදරේ එයාටයි ! ’

අම්මා කියූ දේ සත්‍යයක් විය. කෙසේවෙතත් ඇය සමග තර්ක කරන විට මම සැමවිටම පරාජය වෙමි ! ඇය මඟුල් ගෙදර ගියාය. මංගල පෙරහර ආරම්භ වී තිබිණි. මම තවමත් මෙතැන හිඳගෙන විවාහ මංගලෝත්සවය වෙනුවෙන් වාදනය වන ඝෝෂාකාරී පොප් සංගීතයට සවන් දෙමින් සිටිමි. නවදිල්ලිය වැනි විශාල නගරවල මංගලෝත්සවවලදී මෙවැනි පටිගත කරන ලද සංගීතය වාදනය කිරීම යල්පැන ගිය මෝස්තරයක් බව මම අසා ඇත්තෙමි. එහෙත් මීරත් නගරය එවන් දියුණු නගරයක් නොවේ.  අනෙක් මිනිසුන්ගේ සාමයට සහ නින්දට බාධා කරන අයගෙන් බලධාරීන් බද්දක් අය නොකරන්නේ මන්දැයි මම කල්පනා කරමි. මගේ හිස කකියයි.

අද සවස්වරුවේ මනාලිය පැමිණියාය. අලුත උපන් බිළිඳුන් සහ මනාලියන් මගේ විශාලතම දුර්වලකමයි. ඔවුන් දෙස එබී නොබලා සිටින්නට මට බැරිය. මගේ තරහ මඳකට අමතක කළ මම ඇය බලන්නට ගියෙමි. සාමාන්‍යයෙන්, අලුත ගෙනා මනාලියක් ගෙදර සිටින සියලුම ගැහැනුන් විසින් වටකරගනු ලැබ සිටින්නීය. එහෙත් වර්මා මහත්මිය හුදෙකලාවම පාහේ මුල්ලක වාඩිවී සිටියාය. රතු කපු සාරියක් හැඳ සිටි ඈ අපහසුවෙන් පසුවන බවක් පෙනිණි. ඇයගේ මංගල වේලය නාසයේ කෙලවර දක්වාම පහත් වී තිබුණේය. මම එය ඔසවා ඇයගේ මුහුණ දෙස බැලීමි. ඇයට යාන්තම් වයස දහහතක් හෝ දහඅටක් වන්නට ඇත ! දිගටම හැඬීමෙන් ඉදිමී ගිය රත් පැහැ දෙනෙතින් යුක්ත වූ ඇය සිය පයෙහි ඇඟිලි දෙස බලාගෙන සිටියාය. ඉතාමත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ඡවි වර්ණයක් ඇය සතු විය.

වර්මා පවුලේ ඥාතීන් ඇය කෙරෙහි කිසි උනන්දුවක් නොදැක්වූ බව මම දුටිමි. ඒ පළමු කොටම ඇය ‘දෙවැනි’ බිරියක හෙයිනි. අනෙක, ඇය අයත් වූයේ දුගී පවුලකට බැවිනි. දායාදය වශයෙන් ඇය රැගෙන විත් තිබුණේ වැඩි වශයෙන්ම කපු සාරි ය. සියලු දෙනාම ආහාර බුදිමින් විහිලු තහලු කරමින් සිටියෝය. ඇය කෙරෙහි කුතුහලයෙන් බැලූයේ  වර්මා මහතාගේ දරුවන් සය දෙනා පමණි. එකිනෙකා මාරුවෙන් මාරුවට පැමිණි ඔවුහු සිය නව මව දෙස බිය මුසු ගෞරවයකින් යුතුව බැලූහ. කුඩම්මා කෙනෙකු හා ජීවත් වන්නට ඔවුන් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින බව ඒ බිය මුසු ගෞරවය මට පැහැදිලි කර දුන්නේය. 

මම කෝපයෙන් පුපුරමින් යළි නිවෙස කරා ගියෙමි. මා ඒ කේන්තිය  පිට කළේ අම්මා මතිනි.

‘දැක්කනෙ අම්මේ, අම්මා අසරණ මිස්ටර් වර්මා ගැන හරියට අනුකම්පා කළානේ ! ඒ වගේ ගෑනු ළමයෙක්ව බඳින්න එයාට තියෙන අයිතියි මොකක්ද ? ’

‘ඇයි මොකද වෙලා තියෙන්නේ ? ’

‘වළ පල්ලට යන්න ඔන්න මෙන්න ඉන්න මිනිහා බැඳලා තියෙන්නේ මටත් වඩා බාල ගෑනු ළමයෙක්ව ! ’

‘කට, කට ගීතා ! ඔහොම කතා කරන්න එපා. ඒ මනුස්සයට තාම හතළිහයි ! ’

‘දෙගුණයක්- හරියටම දෙගුණෙකටත් වඩා එයා වයසයි ! මේක හරිම අසාධාරණයි අම්මේ ! ඒ ළමයා තවම පොඩි කෙනෙක්. ඒ වුණාට ළමයි හය දෙනෙක් බලාගන්න වෙලා. එයා හරියට ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි ලොකු අක්කා වගේ ! මට හරි කනගාටුයි. මට ඒක දරාගන්න බෑ. කියන්න- කනවැන්දුම් මිනිහෙක්ව බඳින එක මහ කරුමයක් නෙවෙයිද? ’

මම දිව සපා ගතිමි. ඒත් ඊට ප්‍රමාද වැඩිය. අම්මා කිසිවක් නොකීවාය. ලැජ්ජාවට පත්ව සහ කුමක් කරන්නදැයි නොදැන මා එතැන සිටගෙන සිටින අතරතුර කඩා හැලෙන කඳුළු ඇය අනමින් සිටි පිටිගුලිය මත නොවැටෙනු පිණිස අම්මා සිය දෑස නිහඬව පිස දැමුවාය. 

විස්තර විචාරයක්ද සමගින් අලුත්ම පුවත් ගෙන එන සම්ප්‍රේක්ෂකයක් වර්මා මහතාගේ සහ අපේ නිවෙස් අතර ක්‍රියාත්මක වෙයි. එම සජීවී පුවත් සම්ප්‍රේක්ෂකය වනුයේ අපේ නිවාස දෙකම පිරිසිදු කරන, අපේ මෙහෙකාරිය වන ජුග්නිය. ඇය විසින් අප වෙත ගෙන එනු ලැබූ පළමු විස්තර විචාරය මෙබඳු විය: ‘අලුත් මනමාලි ඇත්තටම පහළ පන්තියක එක්කෙනෙක්. ඒ නෝනට ලැජ්ජාවක්වත් ගෞරවයක්වත් නෑ. පහුවෙනිදම මූණ වහන වේල් එක ගලවලා පිරිමියෙක් වගේ මුළු ගෙදර පුරාම එහෙ මෙහෙ ඇවිදිනවා. පහුගිය මාස ගාණක් තිස්සේ ගෙදර ඉඳපු වර්මා මහත්තයාගේ නැන්දලාවත් නෝනා ආපහු ඒ ගොල්ලන්ගෙ ගම්වලට යවනවා. ’

මම විස්මයට පත්වීමි. මගේ විස්මය දිගටම කතා කරන්නට ඇය උනන්දු කරවීය.

‘පුදුම වෙන්න එපා ගීතා නෝනා. ගෙදර ස්වාමි දූ හැටියට තමන් කරන්න ඕනැ මොකක්ද කියලා ඒ නෝනට තෙරුමක් නෑ. මං හිතන්නේ එයා ගමක එක්කෙනෙක්. වැඩකරලා, කාලා, නිදියලා තියෙන්නෙ ගමේ විතරයි. මට හිතෙන හැටියට නෝනා සුමානයක් ඇතුළත කෝකියාවත් ආපහු ගෙදර යවයි. ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි. දැන් පළවැනි වර්මා නෝනගෙ කාලෙ වගේ නෙවෙයි ! ’

මමද කනස්සල්ලට පත්වීමි. මා විශේෂයෙන්ම කනස්සල්ලට පත්වූයේ මා දැඩි ලෙස ආදරය කරන කුඩා පින්ටූ ගැනය. එවැනි කුඩා ළදැරියකට අලුත් වර්මා මහත්මිය අකාරුණික වනු ඇති දැයි මම කල්පනා කළෙමි.  ඒ ගැන කිසිවක් කරන්නට නොහැකි වීම සම්බන්ධයෙන් මම කනගාටු වීමි. එහෙත් ඒ සම්බන්ධයෙන් මට වූයේ කවර අයිතියක්ද?

වර්මා මහතා සුදුමැලි පෙනුමකින් යුතුව උසාවියට ගිය බව අපට සවස් වරුවේදී ආරංචි විය. සියලුම අමුත්තන් පිටවී යමින් සිටි අතර ‘මනාලිය’ මුළු නිවෙසම මනා ලෙස පවිත්‍ර කරවමින් සිටියාය ! වැඩිමහලුම පිරිමි ළමයා අල්ලා ගත් මම, ‘බිනූ, කොහොමද ඔයාලගෙ අම්මා ? ඔයාලා එයාට කැමතිද? ’ යි ඇසීමි.

‘මං දන්නෙ නෑ !’යි කියූ ඔහු පැන දිව්වේය. 

මා සාමාන්‍යයෙන් උදෑසන අවදි වන්නේ බොහෝ ප්‍රමාද වීය. පසුවදා අවදි වූ විට මම යාබද නිවෙස දෙස නෙත් හෙලීමි. එය ඉතා නිශ්ශබ්ද විය. ළමයින් පෙනෙන්නට සිටියේ නැත. වෙනත් දිනවල නම් ඔවුන් දවස පුරාම සෙල්ලම් කරමින් දබර කරගනිමින් සිටිනවා මට පෙනෙයි. 

පාතරසය ගෙන එළියට ආ මම දුටු දෙයින් විස්මයට පත් වීමි. ඉතා පිරිසිදුව, පිළිවෙළට සිටින බව පෙනුණු  පිරිමි ළමයි පස් දෙනාම එක පෙළට හිඳගෙන සිටියෝය.  අපේ පාසැලේ ගුරුවරයා වන ශාස්ත්‍රී මහතා ඔවුන් දෙස බලාගෙන සිටියේය. මා එදෙස බලා සිටින විට, ව්‍යාකූලබවට පත්ව සිටි ජුග්නි එළියට පැමිණ මගේ කනට කෙඳිරුවාය. ‘ මොකක්ද මං කිව්වේ. කෝකියා අද උදේ ගියා. දැන් ඉස්කෝලෙ මහත්තයා ඇවිත්. දැන් ළමයින්ට නිවාඩු කාලෙ ඉතිරි ටිකවත් නිදහසේ ගත කරන්න නෑ! ’

සවස දෙකට පමණ, අම්මාගෙන් මහන මැසිම ඉල්ලාගෙන යන්නට බිනූ පැමිණියේය. අම්මා විස්මයට පත්වූවාය.

‘මහන මැසිම ! ඔයාට මොකටද ඒක,බිනූ? ’

‘නැන්දේ.... අම්මයි කිව්වේ මැසිම ඉල්ලගෙන යන්න කියලා. අම්ම පින්ටූටයි, මිකීටයි යට ඇඳුම් මහන්නයි යන්නේ. ’

‘මේ ගිනි ගහන වෙලාවේ? එළියෙ හරිම රස්නෙයි. මේක ඇඳුම් මහන්න හොඳ වෙලාවක් නෙවෙයි. මෙච්චර රස්නෙ නැති උදේ වරුවෙ අම්මා මොකද කළේ ?’ 

‘අම්මා ඉව්වා නැන්දේ. කෝකියා ගියානේ.’

‘ආ, මට අමතක වුණා. ’

අම්මා කනස්සල්ලට පත් බවක් පෙනිණි. ඇය තනියම කතා කරන්නට විය. 

‘ටක්කෙටම මොකක් හරි අවුලක් තියෙනවා. මං මේ වගේ මනමාලියෙක් මීට ඉස්සරවෙලා දැකලවත් ඒ වගේ කෙනෙක් ගැන අහලවත් නෑ...... ’

දවස් දෙකකට පමණ පසු පින්ටූ මගේ උකුළ මත හිඳගෙන සිටියාය. මම එදා උදේ පැමිණි සඟරාවක් කියවමින් සිටියෙමි. ‘පින්ටූ, ඔයාලගේ අම්මා මොනවද කරන්නේ ? ’ අම්මා ඇසුවාය.
‘ආ, නැන්දෙ මට කියන්න අමතක වුණා. අම්මා කාමරේ ලස්සණ දේවාලයක් හැදුවා. මේං මෙච්චර විතර උස කෘෂ්ණ දෙවියන්ගෙ පිළිමෙකුත් තියෙනවා. අම්මා ඒ කාමරේ උදේ දෙවියන් වැඳලා රෑට ඒ කාමරේම නිදියනවා. මාත් නිදියන්නෙ අම්මා එක්ක. අම්මා කියනවා මං දේවාල කාමරේ නිදා ගත්තොත් මට නපුරු හීන පේන්නෙ නෑ කියලා..... ’

මිනිත්තු කිහිපයක් තූෂ්ණිම්භූතව හිඳගෙන සිටි මගේ මව හදිසියේම නැගිට තණපිටිය හරහා යාබද නිවෙසට ගියාය. 

මම දිගටම කියවන්නට වීමි. පින්ටූ මගේ උකුළ මතම නින්දට වැටුණාය. ඇය උකුළ මත තබාගෙන සිටීම අපහසු වූ හෙයින් ඇය ගෙදර රැගෙන ගොස් ඇගේ ඇඳේ තබන්නට මම තීරණය කළෙමි. ඇය ඇඳ මත තබත්ම මගේ සාරියෙහි කෙළවර අල්ලා ගත් ඕ එය අත නොහැරියාය. මේ ඇගේ පරණ සූත්තරයකි.  ඇය හොඳින් නින්දට වැටෙන තුරුම ඇගේ පසෙක සිටිමින් මම ඇගේ සිරුරට සෙමින් තට්ටු කරන්නට වීමි. කාමරයේ ජනේලය විවෘතව තිබූ බැවින් යාබද කාමරයේ අම්මා සහ වර්මා මහත්මිය කතා කරන සැටි මට ඇසිණි. ‘ඔයා තමන්ව හොඳට රැක බලාගන්න ඕනෑ දරුවෝ. මෙහෙම ගියොත් ලෙඩ වේවි. ’ අම්මා කියමින් සිටියාය. 

‘නැන්දේ, මට කිසිම ප්‍රශ්නයක් නෑ. මා ගැන කරදර වෙන්න එපා ! ’ අම්මා එතරම් ඉක්මනින් කෙනෙකුගේ ‘නෑදෑයෙක්’ වෙයි ! ඇගේ ත්‍යාගශීලීබව සහ ආදරය නිමා නොවන දෙයක් ලෙස පෙනිණි. 

‘නෑ, මං හිතන්නේ නෑ ඔයාට ප්‍රශ්නයක් නෑයි කියලා ! ඇයි ඔයා කෝකියව ගෙදර යැවුවේ? දැන් ඔයාම කෑම උයන්න එපායැ.’

‘කොහොමටත් නැන්දෙ මං මුකුත් නොකර ඉඳිද්දි ගෙදර මිනිස්සු වැඩකාරයෙක් උයන කෑම කන එක හරියි කියලා මට පෙනුණෙ නෑ. අනෙක, ළමයින්ට ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා උගන්නන්නත් මට ඕනෑ වුණා. ’

‘ඉතින් තාම ඉස්කොලෙ පටන් අරගෙනත් නෑනෙ. ’

‘මං දන්නවා. ඒත් මං ගෙදර පිරිසිදු කරන කොට දැක්කා ඒගොල්ලන්ගේ ඔක්කොම පොත් ඉරිලා සවුත්තු වෙලා තියෙනවා. ඉතින් මං කල්පනා කළා ඒ ගොල්ලන්ව ඉස්කෝලෙට සූදානම් කරවන්න ඕනෑ කියලා...... ’

‘එතකොට මේ දේවාලෙ හදන එක කල්පනා කළේ කොයි වෙලාවෙද? මං හිතන්නෙ නෑ ඔයා අලුත ගෙනා මනාලියක් වගේ පේනවා කියලා. අතේ කරේ කිසිම ආභරණයක් නෑ. ඒ මදිවට මේ සාරියත් සවුත්තුයි ! ’

‘ඒක මට ගාණක් නෑ නැන්දෙ ! ’ එය අම්මාට ඇසුණේ නැත. ඇය දිගටම කියවන්නට විය. ‘මට ආරංචි වුණා ඔයා නිදියන්නෙත් මේ කාමරේමයි කියලා! ’ අම්මාට තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැකි සෙයකි.

එයට පිළිතුරක් නොවීය. 

‘මිස්ටර් වර්මා නිදියන්නේ කොහේද? ’

‘එයාගෙ කාමරේ. ’

‘කන්තෝරු කාමරේ? ’

‘ඔව් ! ’

‘ඒ මොන වැඩක්ද! ඔයා ළමයි එක්ක නිදියනවා. මහත්තයා එයාගෙ කාමරේ නිදියනවා ! ඕගොල්ලො බැඳලා කොච්චර කාලයක්ද ? තවම දවස් හතරයි ! මේ අහන්න දුවේ. කියන්න මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.....මං ඔයාගෙ අම්මා වෙන්න තරම් වයසයි. ඔයා හරිම තරුණයි.....කියන්න මට මොනව හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා..... ’

සිරකරගත් ඉකිබිඳුමක හඬ මට ඇසිණි. මනාලිය සැනසවීමට අම්මා වෑයම් කරමින් සිටියාය. ටික වේලාවක් යනතුරු කතා වෙන්නේ මොනවාදැයි මට ඇසුණේ නැත. සියල්ල හැඬුම්වල ගීලි තිබිණි. ඉන්පසුව වර්මා මහත්මිය මෙසේ කියනු මට ඇසුණේය: ‘......අපේ මඟුල් දවසෙ රෑ එයා කිව්වා, “ මගේ ළමයින්ව හොඳට බලාගන්න. ඒ අය දැන් ඔයාගෙත් ළමයි.  දෙවියො දැනටමත් මට ළමයි හය දෙනෙක් දීලා තියෙනවා. මම කටයුතු සූදානම් කළා....ඔව්......දවස් කීපෙකට කලින්, තවත් දරුවො නොහැදෙන්න මං ඔපරේෂන් එකක් කරගත්තා...” කියලා. ’

‘මොකක් ! ඔපරේෂන් කරලා ! ’

‘ඔව් නැන්දෙ. ඒත් මං එයාට හරියට කෘතඥ වෙනවා ඒ කතාව මට කියපු එක ගැන. එයා ඒ කතාව කිව්වෙ නැත්තම් ළමයි නෑ කියලා මට මැරෙන්නයි වෙන්නෙ! දැන් මට සතුටුයි. මං මගේ ජීවිතේ කෘෂ්ණ දෙවියන්ට කැප කරලයි තියෙන්නේ! ’ 

‘මොකක්ද ඒ කතාවෙ තේරුම? ’

‘නැන්දෙ, මම බොහොම ගොඩේ, නූගත් කෙල්ලක්. මං කියවලා තියෙන්නේ ආගමික පොත් කීපයක් විතරයි. ඒ හැම පොතකම තියෙනවා මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි සම්බන්ධකම් තියෙන්න ඕනෑ අපේ ශුද්ධ වූ වගකීම වෙච්ච දරුවන් හැදීම සඳහාමයි කියලා. එහෙම නැතිව පවතින සම්බන්ධකම් වැරදියි. ඒක රාගය.... මං කිව්වා මම එයාගෙ ළමයි හොඳට බලාගන්නම් එයාට කිසිම කරදරයක් නොවෙන්න, ඒත් මගේ ඇඟට අතක්වත් තියන්න බෑ කියලා...’

හදවතක් බිඳෙන හඬක් වැනි ඉකිබිඳුමක් මට ඇසිණි. මගේ හදවත පාරවන හඬකින් ඈ මෙසේ පවසන්නට විය. ‘මගේ ඒ සහෝදරියට, ඒ කියන්නෙ එයාගෙ පළවැනි නෝනට එයා දරුවො හය දෙනෙක් දුන්නා. ඒත් නැන්දෙ එයාට බෑ මට එක ළමයෙක් දෙන්න ! මගේ ජීවිතේ නිකම් අපරාදෙ නාස්ති වෙලා යන එක වලක්වන්න එකම එක දරුවෙක් දෙන්න... ’

තවදුරටත් ඊට සවන් දෙන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. මා රැගෙන යන්නට තරම් සවිමත් නොවූ දණහිස්වලින් යුතුව මම පොළොවට ඇලී ගත් වනම එතැන හිඳගෙන සිටියෙමි.  













-සුනීතා ජෛන් (1940-   )


සෙවුම්