2021/07/31

නැති වූ දේවල්

 



 








අඹ ගහ යට
වියළි කොළ අතර නැතිවුණු
දිලිසෙන ජිල්බෝල දහය,
වැහි නොවැටුණු දාක
අපූගේ බාබර සාප්පුවේ
අමතකව ගිය කුඩය,
ගමේ පාසැල ඇරී එන'තර
කජු ගහට නඟින විට
සාක්කුවේ සිට බිමට
කිමිදුණු පෑන,
රීගා නුවර හෝටලයක
අල්මාරියේ ඇති
අහස්-නිල්පාට කමිසය,
ණයට දුන්නද
යළි කිසිදා නොලැබුණු
දිග පොත් ලැයිස්තුව,
ලැබෙන්නට ඇති ණය,
සඵල නුවූ ප්‍රේමයන් කිහිපය,
ආදී මා දිවියේ නැතිව ගිය
වස්තූන් සියල්ලම
එකම සැණෙකින්
සිහිපත් වේය මට.
 
අමතකවනසුලුබව පමණක්
කිසි දිනෙක මා අමතක නොකළේය.
 
ආදරයෙන් බැඳෙන කල
නැතිකර ගතිමි මම මගේ හදවත,
කවි ලියන්නට ගත් කල
නැතිකර ගතිමි උපමා රෑපක,
පසු කලෙක කඳු දෙස බලන කල
දැනිණි මට අහස
කඳු නැතිකර ගෙන ඇති වග
වලාකුළු දේදුන්න
කොහේ හෝ දමා ඇති බව.
 
අප වසන මේ පොළොවම
මේ අපත් සමඟම
දෙවියන් කොහේ හෝ දමා ඇති බව
මෑතක සිට සැක කරමි මම.
 
ඔහුට මතක ඇති පිළිවෙළට
සොයා ගනියි යළිදු ඔහු:
ලඳු කැලෑ, ගංගා, අප.

 






-කේ. සචිදානන්දන් (1946-)

 

2021/07/24

ගංගාවක්

 



 







නගර ගැන, දෙවොල් ගැන
ගැයූ කවියන්ගේ මෙන්ම
දෙවොල්වල නගරය වූ
මදුරෙයි නුවර,
සෑම ගිම්හාන කලෙකම
නිරාවරණය කරමින්‍ වැලිපර
ගඟක් වියැළී යයි
සිහින් දිය දහරක් බවට
වාලුකා තලය මත.
මල කෑ යපොලු ඇති සොරොවු
අවහිර කරයි පිදුරු හා ගැහැනු කෙස්
සැමතැන පිළිසකර කළ
අණ්ඩ දැමූ පාලම් යට.
නිදිබර කිඹුලන් සේ දිලෙයි
ගල්කුළු වතුරෙන් තෙමුණ
වියළි ගල්කුළු පෙනෙයි
අවුව තපිනා මී හරකුන් විලස.
කවියන් ගැයූවේ ගංවතුර ගැන පමණය.
 
ගංවතුර ගලන සමයේ දිනෙක
ඔහු එතැන සිටියේය.
අඟල් ගණනින් ඉහළ යන ජලය ගැන,
නාන මංකඩවල වතුරෙන් යටව ගිය
හරිම පඩි ගණන ගැන,
ගමක පැල්පත් තුනක්, ගැබිනියක සහ
හැමවිටම මෙන්
ගෝපි හා බ්‍රින්දා යන නම් ලද 
එළදෙනුන් දෙදෙනකු
ගංවතුරට ගසාගෙන ගිය සැටි ගැන
මිනිස්සු දෙඩුවෝය හැම තැන.
 
නව කවීහූ තවමත්
උපුටා දැක්වූහ පැරැණි කවියන් කී දෑ
එනමුදු ඉන් එකකුවත්
නොලියූවේය කවි ඉතින්
උපදින්නටත් පළමුව
හිස් බිත්තිවලට පයින් ගැසූ
නිවුන්නුන් සමඟ ඇතැම්විට
ගිලී ගිය ගැබිනි මව ගැන.
 
ඔහු මෙසේ කීවේය:
 
කාව්‍යමයබව ඇතිවන තරමට
ගඟෙහි දිය ඇත්තේ වසරකට වරකිය
එකල්හී එය පළමු අඩ-පැය තුළ
රැගෙන යයි ගමක පැල්පත් තුනක්,
ගෝපි හා බ්‍රින්දා නම් එළදෙනුන් දෙදෙනකු,
ඔවුනොවුන් වෙන්කර හඳුනා ගන්නට
වෙන වෙන පාට ඉණකඩ ඇන්දූ
සිරුරුවල ලප නැති, එක හා සමාන
නිවුන්නුන් ලැබෙන්නට සිටි
එක් ගැබිනි ගැහැනියක.







 
-ඒ.කේ. රාමනුජන් (1929-1993)

2021/07/02

ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක්

 



 






දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත

නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය

පෙඳ පාසි වැකි ඔබ වුවන දිලෙයි තවමත් සන්සුන්ව.

 

අනන්තය වෙත යොමු වූ ඔබ නිසසල සමාධිය,

සීමා විරහිතබවේ රූපයෙන් තොර හිස්තැනට

සියල්ල වෙනස්වන සැටි ඔබ ඉවසන අයුර,

හෙළි කරයි තවමත් අඩවන් ඔබ දෙනෙත.

 

සෙමින් මැලැවෙන ලකුණු ඔබ වුවන

තවමත් කියයි ඔබ පරම මෙහෙවර ගැන,

එනමුදු තෙතමනය, මඩ හා පොළොව

අවසන් කරනුය රූපයේ ඉරණම

පූරණය කොට සිය අරමුණ.

 

හෙට ඔබ පත්වනුය විසිරෙන කොළ, මුල් බවට

පැහැදිලි අහස්කුස පෙන්වන දිය බවට.

 

කරකැවෙනු ඇත ඔබ ඉත්ත වැල් විලසට

වැඩෙනු ඇත මීවන, ඇල්ගී ලෙසටම

සංකේතය බවට පත්වී සියලු වෙනස්වීම්වල

පසක් කරනු ඇත සදාතන ඒකතාව

ඇති සියලු වෙනස්වීම් පිටුපස.

 







-හර්මන් හෙස (1877-1962)

 

(හර්මන් හෙසගේ An Ancient Buddha Decaying in a Japanese Forest Ravine නමැති කවියේ පරිවර්තනයකි.)

සෙවුම්