ජනවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන
ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසුණු
අතර කොපුල්වල දෙපැත්තේ මනාව වැවූ රැවුළු විය. ඔහුගේ තුනී උඩුරැවුල පැන්සලකින්
ඇන්දාක් මෙන් වූයේය. බාගයට පිපුණු ක්‍රීම් පැහැති රෝසමලක් ගසන ලද දුඹුරුපැහැ උඩු
කබායක් හැඳ සිටි ඔහු කොළපැහැති ෆෙල්ට් හිස්වැසුමක් හිසෙහි ඇලයට පැලඳගෙන හුන්නේය.
ධවල වර්ණ සේද සළුවක් ඔහුගේ ගෙල වටා ඔතා තිබිණ. ඔහු සිය එක් අතක් උඩුකබායේ සාක්කුව
තුළ රුවාගෙන සිටි අතර අනෙක් අතෙහි වූයේ ඔප දමනු ලැබූ කෙටි වේවැලකි. හෙතෙම වරින්වර
එය විනෝදයෙන් යුතුව කරකැවූයේය.
ඒ ශීත ඍතුවේ මැද හරියේ සෙනසුරාදා සැන්දෑවකි. අයිස් බඳු
ශීතල තියුණු සුළං පහරවල් යවුල් මෙන් පහර දුන්නද තරුණයා ඒ බව ගණන්ගත් වගක්
නොපෙනිණි. ගතෙහි උණුසුම රැකගැනීම පිණිස සෙස්සන් වේගයෙන් ඇවිද යද්දී, අධික ශීතල
මැදින් කෙරුණු සිය සක්මන පැහැදිලිවම
රසවිඳිමින් හෙතෙම සෙමෙන් ඇවිදගෙන ගියේය.
ඔහු කෙතරම් ජේත්තුවට සිටියේද යත්, ඈත සිට පවා ඔහු එනු
දුටු රෝද දෙකේ අශ්ව කරත්තකරුවෝ සිය අශ්වයන්ට සන්කොට ඔහු වෙතට වේගයෙන් පැමිණියෝය.
සිය වේවැල වැනූ ඔහු ඔවුන් ඉවත යැවීය. කුලී මෝටර් රියක්ද ඔහු වෙතට ළඟා වූ අතර එහි
රියැදුරා යමක් විමසන ලීලාවෙන් ඔහු දෙස බැලුවේය. මෝටර් රියද ඉවත හරවා යැවිණි. මෙවර
එය කෙරුණේ ‘එපා, බොහොම ස්තූතියි,’ යන වදන් සමගිනි.
මෝල් මාවතේ වඩාත් ජනාකීර්ණ, සජීවී කොටසට පැමිණෙන විට
ඔහුගේ තුටුපහටු මනෝභාවයන් තවතවත් වර්ධනය විය. ‘ටැන්ගෝ’ නර්තනයට වාදනය කරන තාලයක්
උරුවම් බාන්නට වූ ඔහු එහි තාලයට පියවර තබන්නට පටන් ගත්තේය. හිතට හදිසියේ නැඟුණු
සිතිවිල්ලක් අනුව පියවර කිහිපයක් දිවගිය ඔහු ක්‍රිකට් පන්දුවක් යවන සැටි අභිනයෙන්
රඟදැක්වීය.
ලෝරන්ස් උද්‍යානයට හැරෙන මංසන්දියේදී, කුමන මඟ ගන්නේදැයි
නිශ්චය කරගන්නට මෙන් ඔහු නැවතුණේය. එනමුදු ශීතල සැඳෑ ආලෝකයේ ගැලුණු උද්‍යානය ශෝකී
ගතියක් සහ ආකර්ෂණීය නොවන බවක් මවා පෑ හෙයින් හෙතෙම දිගටම චාරිං ක්‍රොස් වීදිය දෙසට
ඇවිද යන්නට විය.
රැජනගේ ප්‍රතිමාව අසලට ළඟා වූ විට ගමන නැවැත්වූ ඔහු සිය
උඩුකබායේ අත තුළ තබගෙන සිටි ලේන්සුවක් ඉවතට ගෙන ඉන් මුහුණ පිස දමාගත්තේය.
ප්‍රතිමාව අසල තණපිටියේ ඉංගිරිසි ජාතික දරුවෝ කිහිප
දෙනෙක් විශාල රබර් බෝලයක් සමඟ සෙල්ලම් කරමින් සිටියහ. ඔවුන්ගේ ක්‍රීඩාව නැරඹීම
පිණිස හෙතෙම එතැන නතර විය. මුලදී ඔහු සිටින වගක් දරුවන්ට දැනුණේ නැත. එහෙත් ඔහු
දිගින් දිගටම ඔවුන් දෙස බලා සිටින බව දැනුණෙන් ලජ්ජාවට පත් වූ ඔවුහු සිය
බෝලය අහුලාගෙන, සිනාසී කෑගසමින්, එකිනෙකා පසුපස එලවමින් තණපිටියේ
අනෙක් කෙළවරට දිවූහ. මාර්ගය පසෙක වූ හිස් සිමෙන්ති බංකුවක් දුටු තරුණයා එහි දූවිලි
පිසදමා එමත හිඳගත්තේය.
සැන්දෑව ගෙවී යත්ම ශීතල වඩාත් දැඩි විය. එය සතුටෙහි
ගැලී සැපපහසුව සොයන්නට මිනිසුන් පොළඹවන ශීතලකි. එවැනි
අවස්ථාවලදී, පිටරටවල ඇවිද දුරාචාරයෙහි යෙදුණවුන් පමණක් නොව තමාගේ
හුදෙකලාබවෙහි ගැලී සතුටින් ජීවත්වන මිනිස්සු පවා වීදිවල පැතිරී ඇති උත්සවශ්‍රීය
සමඟ පෑහෙමින් එක ළඟ ඇති සිරුරුවලින් හටගන්නා උණුසුම විඳීමට ඔවුන් සැඟවී සිටින
තැන්වලින් බැහැරට ආහ.
එබැවින්, විවිධාකාරයේ හෝටල,
අවන්හල්, කෝපිකඩ, අවුළුපත්කඩ ආදිය අතර තමාගේ ආර්ථික තත්ත්වයේ හැටියට
විනෝදවීම පිණිස මිනිස්සු මෝල් මාවතට එක්රොක් වූවෝය. ඒ ගොඩනැඟිලි ඇතුළත වූ
සැපපහසුකම් විඳීමට තරම් හැකියාවක් නැති අය බැහැර වූ වර්ණවත් විදුලි බුබුලු සහ
දීප්තිමත් වෙළෙඳ දැන්වීම් ආදිය බලා සතුටට පත් වූහ. ප්‍රධාන මාවත දිගේ කෙළවරක් නැති
මෝටර් රථ, බස්රථ, රෝද දෙකේ අශ්ව කරත්ත සහ පාපැදි ප්‍රවාහයක් උඩ
පහළ ගිය අතර පදික වේදිකාවල් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැතිව
පිරී තිබිණ.
ඔහු ඉදිරිපිට පදික වේදිකාවේ යනෙන මිනිසුන් දෙස
උනන්දුවෙන් යුතුව බලමින් තරුණයා සිමෙන්ති බංකුව මත හිඳගෙන සිටියේය. ඔවුන්ගේ
මුහුණුවලටත් වඩා ඔහුගේ අවධානය යොමුවුයේ ඔවුන්ගේ ඇඳුම් වෙතය. ඒ මිනිස්සු විවිධ
තරාතිරම්වලට අයත් අය වූහ.
වෙළෙන්දෝ,නිලධාරීහූ,රජයේසේවකයෝ,ශිෂ්‍යයෝ,කලාකරුවෝ,
සංචාරකයෝ, වාර්තාකරුවෝ, ලිපි කරුවෝ
සහ සෙසු අය එහි වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උඩුකබා පැලඳ සිටියෝය. මිල අධික ආස්ත්‍රහාන්
කබාවල සිට පරණ ඇඳුම් විකුණන කඩවල
විශාල මිටි බැඳ තිබෙන රළු කාකි හමුදා කබා දක්වා ඒවා ඒ අතර විය.
තරුණයා හැඳ සිටි උඩුකබාය පැරණි වූවද එය මනා ලෙස මසන ලද
එකක් වූ අතර එය මැසූ රෙද්ද අනර්ඝ එකක් විය. කබායේ කොලරය ඍජුව
තිබූ අතර එහි අත්වල නැම්ම මනාව පිහිටා තිබිණ. එහි බොත්තම් නිමවා තිබුණේ
සත්ත්ව අංවලිනි. ඒ බොත්තම් විශාල දිලිසෙන ඒවා විය. එම කබාය පැලඳ තරුණයා ඉතා
සතුටින් සිටින බවක් පෙනිණි.
බුලත්විට සහ සිගරැට් විකුණන පිරිමි ළමයෙක් සිය බන්දේසිය
රැගෙන එතැනින් ගියේය.
‘ඒයි ළමයා,’
‘ඔව් සර්’
‘තමුසෙ ගාව රුපියල් දහයෙ කොළයක් මාරු කරන්න තියෙනවද?’
‘නෑ සර්, හැබැයි මට මාරු කරලා ගෙනැල්ලා දෙන්න
පුළුවන්.’
‘සල්ලිත් අරන් තමුසෙ ආපහු ආවෙ නැත්නම් මොකද කරන්නේ?’
‘සර්ට මාව විස්වාස නැත්නම් මාත් එක්ක එන්න පුළුවන්. සර්ට
මොනවද ඕනෑ?’
‘නෑ, කමක් නෑ.... මෙන්න මට ඇනා එකක් හම්බ වුණා.
දෙනවා මට හොඳ සිගරැට් එකක්. දීලා මෙතැනින් යන්න යනවා.’
ඔහු දුම් උරන විට පෙනී ගියේ ඒ සෑම උගුරක්ම ඔහු දැඩි ලෙස
ආස්වාදනය කරන ආකාරයකි.
කුඩා, කෙට්ටු, සුදුපාට බළලෙක් ශීතලෙන් වෙව්ලමින්
ඔහුගේ දෙපාවල ඇතිල්ලෙමින් කෑ ගෑවේය. ඔහු උගේ පිට අතගෑවේය. බළලා බංකුව මතට පැන්නේය.
බළලාගේ පිට අතගාමින් ඔහු මිමිණුවේය :
‘අනේ අසරණ සතා.’
මිනිත්තු කිහිපයකට පසු ඔහු නැඟී සිටියේය.
මෝල් මාවත තරණය කරද්දී සිනමා ශාලාවක පෝටිකෝවේ වූ
දීප්තිමත් විදුලි බුබුලු දුටු ඔහු ඒ වෙත ඇදී ගියේය. චිත්‍රපටිය දැනටමත් ආරම්භ
වී තිබූ හෙයින් එහි සිටියේ අනාගතයේ පෙන්වීමට නියමිත චිත්‍රපටිවල ඡායාරූප
රැඳවූ පුවරු දෙස ඔහේ බලාගෙන සිටින කිහිප දෙනෙකු පමණි. ඒ මිනිසුන් අතර, ඡායාරූප
ගොන්නක් දෙස බලමින් හිකිහිකි ගා හිනැහෙන ඇන්ග්ලෝ- ඉන්දියානු යුවතියෝ තිදෙනෙක් වූහ.
තරුණයා ඔවුන් දෙසට ඇදුණද විනීතකම පවත්වාගත යුතු වු හෙයින් හෙතෙම ඔවුන්ට
පියවරක් හෝ දෙකක් පිටුපසින් සිටගත්තේය.
අනෙක් යුවතියන් දෙදෙනාගේ නෙතඟ බැලුම් සහ ඇනීම්වලින් අනතුරුව ඉන් එකියක් පිටුපස
හැරී ඔහු දෙස බැලුවාය. එකවරම ඇය කෙරෙන් මහත් වූ සිනාවක් පැනනැංගේය. තමන්
පාලනය කරගැනීමට යත්න දැරූ අනෙක් යුවතියෝ දෙදෙන ඇය සිනමා ශාලාවේ පෝටිකෝවෙන් ඉවතට
තල්ලු කර දැමූහ. තත්ත්පර කිහිපයක් ඇතුළත ඔවුහු නොපෙනී ගියෝය.
ඔවුන්ගේ පිටව යෑම තරුණයා ගණනකට ගත් බවක් නොපෙනිණි. ටික
වේලාවක් එතැන නිකරුණේ රැඳී හුන් ඔහුද සිනමා ශාලාවෙන් පිටවී ගියේය.
මේ වන විට සවස හත පසුවී තිබිණ. ඔහු නැවතත් මෝල්
මාවත දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. අවන්හලක් තුළ වාද්‍ය වෘන්දයක් සංගීතය වාදනය
කරන හඬ ඇසිණි. එහි පිටත මිනිස්සු බොහෝ දෙනෙක් රැස්වී සිටියහ. ඔවුන්ගෙන් බොහෝ
දෙනෙක් එතැන පසුකර ගෙන යන අය වූහ. කවුරුන් හෝ එන තුරු බලාගෙන සිටින අස්රියවල හෝ
කුලී මෝටර් රථවල රියැදුරෝ කිහිප දෙනෙක්ද, කුලීකරුවෝ සහ සිඟන්නෝද එහි වූහ. සිය
පළතුරු විකුණා අවසන් වූ පළතුරු වෙළෙන්දෝ කිහිප දෙනෙක්ද සිය හිස් කූඩා තබාගෙන
එතැන රැඳී සිටියෝය. අවන්හල ඇතුළත හිඳගෙන සිටින්නන්ටත් වඩා මේ බැහැර සිටගෙන සිටියවුන්
සංගීතය වින්දනය කරන බවක් පෙනෙන්නට තිබුණේ ඒ සංගීතය විදේශීය එකක් වූවද ඔවුන් එය
නිහඬව අසාගෙන සිටි බැවිනි.
තරුණයාද මඳක් නැවතී සංගීතයට සවන් දී දිගටම ඇවිදගෙන ගියේය.
ඊට ටික වේලාවකට පසු බටහිර සංගීත භාණ්ඩ විකුණන විශාල
සාප්පුවක් ඉදිරිපිටට පැමිණි ඔහු කිසිදු
පැකිලීමකින් තොරව එතුළට ගියේය. වටේට වූ බිත්තිවල සවි කළ රාක්ක මත
විවිධාකාරයේ සංගීත භාණ්ඩ තැන්පත් කර තිබිණි. දිගු මේසයක් මත, ඒ දිනවල ජනප්‍රියතම
ගීත අඩංගු තැටි සිත්ගන්නාසුළු ලෙස ප්‍රදර්ශනය කර තිබුණේය. ඒ තැටිවල කවරවල ඇඳ තිබූ
චිත්‍ර අසභ්‍ය ඒවා වූවද ප්‍රීතිමත් ඒවා විය. ඒවා දෙස බැල්මක් හෙලූ තරුණයා
බිත්තියේ එල්ලා තිබූ ස්පාඤ්ඤ ගිටාරයක් වෙත ඇවිද ගියේය. සංගීතය ගැන දන්නා
රසවතෙකුගේ විලාසයෙන් එය පරීක්ෂා කර බැලූ ඔහු ගිටාරයේ එල්ලා තිබූ මිල
සඳහන් ලේබලය කියවා බැලුවේය. ඊළඟට ඔහුගේ අවධානය ඇදගත්තේ විශාල ජර්මානු පියානෝවකි. එහි
යතුරුපුවරුවේ ආවරණය ඉවත් කළ ඔහු යතුරු කිහිපයක් වාදනය කොට යළි ආවරණය වැසුවේය.
සාප්පුවේ සේවකයෙක් ඔහු වෙත පැමිණියේය.
‘සුබ සැන්දෑවක් වේවා සර්,’ ඔහු විනීත ලෙස පැවසීය. ‘සර්ට
මුකුත් උදව්වක් අවශ්‍යද?’
‘නෑ, බොහොම ස්තූතියි,’ තරුණයා උදාසීන ලීලාවකින්
යුතුව පිළිතුරු දුන්නේය. ඉන්පසුව හදිසියේම යමක් සිහි වූවාක් මෙන් ඔහු සේවකයාට කතා
කළේය.
‘ආ ඔව්... මේ මාසේ ග්‍රැමෆෝන් තැටිවල ලැයිස්තුවක් මට
දෙන්න පුළුවන්ද?’
ඒ ලැයිස්තුව සිය උඩුකබායේ සාක්කුවකට දමාගත් ඔහු මෝල්
මාවත දිගේ යළි පිය මනින්නට විය.
ඊළඟට ඔහු නැවතුණේ පොත් සාප්පුවකය. සඟරා දෙක තුනක් පෙරළා
බැලූ ඔහු ඒවායේ පටුන උඩින් පල්ලෙන් කියවා ඒවා
තිබූ තැනම ප්‍රවේසමෙන් යළි තැබුවේය. තව ටික දුරක් යන විට සාප්පුවක
බැහැර එල්ලා තිබූ විශාල පර්සියානු පලසක් ඔහුගේ අවධානය ඇදගත්තේය. දිගු ලෝගුවක්
සහ සේද ජටාවක් හැඳ සිටි සාප්පුවේ අයිතිකරුවා ඔහුට උණුසුම් ලෙස ආචාර කළේය.
‘මට මේ පලස ටිකක් බලන්න ඕනෑ කළා,’ තරුණයා පලස් වෙළෙන්දාට
කීය.
‘බලන්න, බලන්න, සර්.’
‘හා හා ඕක පහළට ගන්න කරදර වෙන්න එපා. මෙතැන ඉඳන් මට හොඳට
පෙනෙනවා. කීයද ඕකෙ ගාණ?’
‘රුපියල් එක්දාස් හාරසිය තිස් දෙකයි, සර්,’
‘ආ එච්චර වෙනවද?’ යැයි අසන්නාක් මෙන් තරුණයා රවා
බැලුවේය.
‘සර්ට තියෙන්නේ තෝරාගන්න විතරයි,’ වෙළෙන්දා මිත්‍රශීලී
ලෙස කීය. ‘එතකොට අපි දෙන්න පුළුවන් උපරිම අඩු මිල වෙනකම් ගණන අඩු කරනවා.’
‘බොහොම ස්තූතියි,’ තරුණයා ප්‍රසන්න ලෙස කීවේය. ‘ඇත්තටම
අපූරු පලසක්, මම ආයෙමත් තවත් දවසක එන්නම්,’ යැයි කියූ ඔහු ඉවතට ඇවිදගෙන
ගියේය.
ඔහුගේ උඩුකබායේ කොලරය හැඩගැන්වූ ක්‍රීම් පැහැති රෝසමල ඇල
වී බිම වැටෙන්නට ළං වී තිබිණ. තෘප්තිමත්බවේ අමුතු සිනාවකින් යුතුව ඔහු
එය යළිත් නිසි පරිදි සකස් කළේය.
ඔහු දැන් ඇවිදිමින් සිටියේ මහාධිකරණය අසල වූ පදික
වේදිකාව මතය. ඔහු බොහෝ වේලාවක් තිස්සේ ඇවිද්දද තවමත් ඔහුගේ මනෝභාවය යහපත් විය. ඔහුට
වෙහෙස දැනුනේවත් ඇවිදීම එපා වූයේවත් නැත.
මෝල් මාවතේ මේ හරියේ පදිකයන් සිටියේ තැනින් තැනය. එක්
මිනිසුන් කණ්ඩායමක් අසල සිට තවත් මිනිසුන් කණ්ඩායමක් දක්වා ජනශූන්‍ය තැන් බහුලව
තිබිණ. ඇවිදින අතර සිය වේවැල තනි ඇඟිල්ලක් වටා කරකවන්නට තරුණයා උත්සාහ ගත්තද ඒ
උත්සාහයේදී වේවැල ඔහු අතින් ගිලිහිණි.
‘සමාවෙන්න’ යැයි කියූ ඔහු නැවී වේවැල අහුලා ගත්තේය.
මේ අතරතුර, ඔහුට පිටුපසින් පැමිණි තරුණ යුවළක්
ඔහු පසුකර ගෙන ගොස් ඔහුට ඉදිරියෙන් ගමන් කරන්නට වූහ. ඒ යුවළේ තරුණයා උසැති කෙනෙකු
වූ අතර ඔහු කලුපැහැති කොඩ්රෝයි කලිසමකින්ද, සිපරයක් සහිත සම්
ජැකට්ටුවකින්ද සැරසී සිටියේය. යුවතිය සුදුපැහැ සේද රෙද්දෙන් කළ ලිහිල් ෂල්වාර්
කලිසමක්ද කොළපැහැති කබායක්ද හැඳ සිටියාය. ඇය මිටි තරබාරු එකියකි. තනි කරලට ගෙතූ
ඇයගේ දිගු කලු කොණ්ඩය ඇය ඇවිදින විට පිරුණු නිතඹෙහි වැදී ඔබමොබ වීසි විය.
මේ දර්ශනය දැකීමෙන් ප්‍රීතියට පත්වූ තරුණයා ඔවුන්
පසුපසින් ඇවිදින්නට පටන් ගත්තේය. ටික වේලාවක් යන තුරු ඔවුන් දෙදෙනා අතර කතාබහක්
නොවීය. ඉන්පසුව යෞවනයා සිය පෙම්වතියට යමක් කී අතර ඇය ඊට දැඩි ස්වරයෙන්
පිළිතුරු දුන්නාය:
‘බෑ.’
‘මම ඔයාට කිව්වා වගේ ඒ දොස්තර මගේ යාලුවෙක්. කිසි කෙනෙක්
මේක දැන ගන්නේ නෑ.’
‘බෑ. මං කිව්වනෙ මට බෑ කියලා.’
‘ඒකෙන් වේදනාවක් ඇති වෙන්නෙ නෑ. හිතන්නත් කලින් වැඩේ
ඉවරයි.’
යුවතිය පිළිතුරක් දුන්නේ නැත.
‘ඔයා දන්නවනේ, ඔයාගේ අම්මලා තාත්තලා හරියට කනගාටු
වෙයි. ඔයා ඒ ගොල්ලන්ගේ නම්බුව ගැන හිතන්න ඕනෑ.’
‘කට වහගෙන ඉන්න. නැත්නම් මම කෑ ගහනවා.’
ඒ සැඳෑ කාලයේදී ඔහු විසින් දකින ලද මිනිසුන් අතර
තරුණයාගේ උනන්දුව අවුළුවා ලූ කෙනෙකු සිටියේ නැති තරම්ය. ඇතැම්විට ඔහු ඉතා
ගැඹුරෙන් තමන් ගැනම සිතමින් සිටියා විය යුතුය. රොමෑන්තික නවකතාවක පිටු අතරින්
එළියට බටවුන් සේ පෙනෙන මේ තරුණ යුවළ තුළ ඔහුගේ උනන්දුව අවුළුවා
ලූ යමක් තිබිණි.
ඔවුන්ගේ මුහුණු දකින අටියෙනුත් ඔවුන් තවදුරටත් කතා කරන
දේවලට ඇහුම්කන්දීමේ අරමුණෙනුත් හෙතෙම ඔවුන්ට සමීපව ඔවුන් පසුපසින් ගියේය.
මේ වන විට ඔවුහු මහ තැපැල්හල ඉදිරිපිට වූ සුවිසල්
මංසන්දිය වෙත ළඟා වී සිටියහ. මඳකට නතර වූ යුවළ, මෝල් මාවත මාරු වී
මැක්ලියොඩ් පාර දෙසට යන්නට වූහ. එකවරම ඔවුන් පසුපස ගියේ නම් තමන් ඔවුන් පසුපස යන
බව යුවළ දැන ගනු ඇතැයි සිතූ තරුණයා නතර විය. තමා මඳ වේලාවකට නතර වී සිටියහොත්
එය වඩා හොඳය.
යුවළ ඔහු සිටි තැන සිට යාර සියයක් පමණ ගිය විට
ඔහු යළිත් හදිසියෙන් ඔවුන් පසුපස යන්නට පටන් ගත්තේය. පාරේ අඩක් දුර යන්නටත් ප්‍රථම, ගඩොල්
පුරවාගෙන චණ්ඩ මාරුතයක් සේ ඔහු පසුපසින් පැමිණි ලොරියක් ඔහු යටකරගෙන මැක්ලියොඩ්
පාර දෙසට වේගයෙන් ඇදී ගියේය. මිනිසෙකු මරහඬ තලන හඬ ඇසුණු ලොරියේ රියැදුරා සත්‍ය
වශයෙන්ම එක් මොහොතකට රථයේ වේගය බාල කළේය. එහෙත් කිසියම් බැරෑරුම් දෙයක් සිදුවී ඇති
බව වටහාගත් ඔහු අඳුරේ වාසියට මුවා වී රාත්‍රිය තුළට පලාගොස් තිබිණි. හදිසි
අනතුර දුටු එතැන සිටි කිහිප දෙනෙක් කෑ ගැසූහ: ‘මිනිහව නවත්තා ගන්න...වාහනේ නොම්බරේ
ලියා ගන්න,’ එහෙත් ලොරිය පේන තෙක් මානයකවත් නොවීය.
ටික වේලාවක් යන විට එතැනට විශාල සෙනඟක් රැස් වූහ. මෝටර්
සයිකලයක පැමිණි පොලිස් රථවාහන නිලධාරියෙක් එතැන නැවතුනේය. තරුණයා බරපතල ලෙස තුවාල
ලබා සිටියේය. රුධිරය විශාල ප්‍රමාණයක් පාරේ ගලාගොස් තිබූ අතර තරුණයා සිටියේ දැඩි
අවදානම් තත්ත්වයකය. මහමඟ ගමන් කළ මෝටර් රියක පටවා ඔහු අසල වූ රෝහලකට
ගෙනියනු ලැබිණි. රෝහලට පැමිණෙන විට ඔහුගේ පණ යාන්තමින් රැඳී තිබුණේය.
එදා රාත්‍රියේ හදිසි අනතුරු අංශයේ සේවයේ
යෙදී සිටියේ සහකාර ශල්‍ය වෛද්‍ය ඛාන් සහ ෂෙහ්නාස් සහ ගිල් නම්
වූ තරුණ හෙදියන් දෙදෙනෙකි. ගිලන් ඇඳක තබා තරුණයා ශල්‍යාගාරය වෙත රැගෙන යන
විටත් ඔහු සිය දුඹුරුපැහැ උඩු කබාය සහ සේද සළුව හැඳගෙන සිටියේය. ඔහුගේ ඇඳුම පුරාම
විශාල රුධිර පැල්ලම් විය. කිසිවෙකු තරුණයාගේ කොළපැහැති ෆෙල්ට් හිස්වැසුම ඔහුගේ
පපුව මත තබා තිබුණේ එය නැති නොවනු පිණිසය.
‘යමක් කමක් තියෙන කෙනෙක් වගේ,’ ෂෙහ්නාස් ගිල්ට කීවාය.
ගිල් ඊට පිළිතුරු දුන්නේ පහත් හඬිනි:
‘සෙනසුරාදා රෑ එළියට යන්න හොඳට ඇඳලා, අසරණයා.’
‘ඩ්‍රයිවර්ව අල්ලාගෙනද?’
‘නෑ, මිනිහා පැනලා ගිහිල්ලා.’
‘අපරාදේ !’
මුඛවාඩම්වලින් මුහුණු ආවරණය කරගත් සහකාර ශල්‍ය වෛද්‍යවරයා
සහ හෙදියෝ දෙදෙනා ශල්‍යාගාරයේදී තරුණයාට ප්‍රතිකාර කිරීමට පටන් ගත්හ. ආවරණය
නොවී තිබුණේ ඔවුන්ගේ දෑස් පමණි. ඔහු සුදු කිරිගරුඬ මේසය මත
වැතිරී සිටියේය. ඔහුගේ කොණ්ඩය තවමත් හොඳින් බොරුඇස්වලට උඩින් පිළිවෙළට පීරූ
වනම තිබුණේය. එදා සවස ඔහු සිය හිසෙහි ගැල්වූ සැර සුවඳ සහිත තෙල්වලින් තවමත්
ළා සුවඳක් වහනය විය.
දැන් ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පටන් ගැනිණි. පළමුවෙන්ම
ඉවත් කෙරුණේ ධවල වර්ණ සේද සළුවයි. එක්වරම හෙදියෝ දෙදෙනා එකිනෙකා දෙස බැලුම්
හෙලාගත්හ. මුඛවාඩම් තිබියදී එකිනෙකා සමඟ සන්නිවේදනය කළ හැකි එකම මඟ වූයේ
එයයි.
සළුවට යටින් ටයි පටියක් හෝ කොලරයක් හෝ තිබුණේ නැත. අඩුම
වශයෙන් කමිසයක්වත් තිබුණේ නැත. උඩුකබාය ඉවත් කළ විට පෙනී ගියේ තරුණයා ඊට
යටින් හැඳ සිටින්නේ හිල්වලින් පිරුණු කපු ස්වේටරයක් පමණක් බවයි. ඒ හිල් අතරින්
පෙනුණේ ඊට යටින් හැඳ සිටින කිලිටි බැනියමයි. එහි තත්ත්වය ස්වේටරයටත් වඩා අන්ත විය.
තරුණයා සේද සළුව එතූ ආකාරයෙන් ඔහුගේ ගෙලෙහි සහ පපුවේ විශාල පෙදෙසක් ඉන් ආවරණය විය.
ඔහුගේ සිරුර පුරා කුණු තට්ටු බැඳී තිබිණි. මාස දෙකකින්වත් ඔහු ස්නානය කර නැත.
ඔහුගේ ගෙලෙහි උඩ කොටස පමණක් හොඳින් පිරිසිදු කොට පුයර දමා තිබුණේය.
ස්වේටරය සහ බැනියම ඉවත් කිරීමෙන් පසුව එළැඹුණේ ඔහුගේ
කලිසම ඉවත් කිරීමේ කටයුත්තයි. හෙදියන් දෙදෙනාගේ නෙත් යළිත් වරක් එකිනෙක ගැටිණි.
පරණ රෙදි පටියකින් කලිසම ඉනට තබා ගැට ගසා තිබිණි. ඒ පරණ රෙදි පටිය ඇතැම්විට
කලෙක ටයි පටියක් විය හැකිව තිබුණේය. කලිසමෙහි බොත්තම්වත් ගාංචුවක්වත් නොවීය.
කලිසමේ දණහිස් අසල කොටස වියැකී ඉරී තිබුණේය. එහෙත් මේ සියල්ල කබායට යටින්
වූ නිසා ඒවා කිසිවෙකුට නොපෙනිණි.
ඊළඟට පාවහන් සහ මේස් ගලවනු ලැබිණි. සපත්තු පරණ ඒවා
වූවද හොඳින් ඔප දමා තිබුණේය. එක් කකුලක වූ මේස් එක අනෙක් කකුලේ මේස් එක සමඟ
වර්ණයෙන්වත්, මෝස්තරයෙන්වත් ගැලපුණේ නැත. මේස්වල පතුල් හිල් වී තිබිණි. ඒ
හිල් අතරින් පෙනුණේ කලු කුණු බැඳුණු අපිරිසිදු දෙපතුල්ය. මේ වන විට ඔහු මිය ගොස්
සිටියේය. ඔහුගේ පණසුන් සිරුර සුදු කිරිගරුඬ මේසය මත වැතිරී තිබිණි.
ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පළමුව ඔහුගේ මුහුණ සිවිලිම
දෙසට හැරී තිබුණද ඇඳුම් ගලවන අතරතුර එය බිත්තිය දෙසට හැරී තිබුණේය.
ඒ ඇතැම්විට සිය සහෝදර මනුෂ්‍ය ප්‍රාණීන්ට
මුහුණ දෙන්නට නොහැකි වන ලෙස සිරුරේත්, ආත්මයේත් වූ මේ ද්විත්ව නිරුවත් බව කරණ
කොට ගෙන හටගත් ලජ්ජාව නිසාද?
ඔහුගේ උඩුකබායේ විවිධ සාක්කුවල තිබී හමු වූ ස්වල්ප
දෑ පහත පරිදිය:
කලුපැහැති කුඩා පනාවක්, ලේන්සුවක්, ඇනා හයක්
සහ පයිසා කිහිපයක්, බාගයට ඉරූ සිගරැට්ටුවක්, මිනිසුන් කිහිපදෙනෙකුගේ නම්
සහ ලිපින සටහන් කළ කුඩා දිනපොතක්, ග්‍රැමෆෝන් තැටි ලැයිස්තුවක් සහ ඔහුගේ
සැඳෑ සක්මන අතරතුර අත්පත්‍රිකා බෙදන්නන් විසින් බලෙන් ඔහුගේ ඇඟේ ගසන ලද අත්පත්‍රිකා
කිහිපයක්.
ඇතැම්විට හදිසි අනතුර අවස්ථාවේදී නැතිවන්නට ඇති ඔහුගේ
කුඩා වේවැල අවාසනාවකට මෙන් මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ නැත.
(සයිනාබ් ගුලාම් අබ්බාස් විසින් උර්දු බසින් ඉංගිරිසියට
කළ පරිවර්තනයෙනි.)
very nice
ReplyDeleteකවදත් වගේ අපුරු පරිවර්තනයක්.
ReplyDeleteස්තූතියි මනෝජ්.
Deleteඅපූරුයි නිලූක... වෙනද වගේම ලස්සන කතාවක්...
ReplyDeleteස්තූතියි නිර්මාණි
Deleteyour language is lucid. No wonder you won the state literary awards. Wish you all success
ReplyDeleteThank you very much for your comment. It is really encouraging.
Delete