-ලුයිජි පිරන්දෙල්ලෝ (1867-1936)
රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියෙන් රෝමයේ සිට පිටත් වූ මගීන්ට ෆබ්රියානෝ හි පිහිටි කුඩා දුම්රිය පොළක අලුයම වනතුරු රැඳී සිටීමට සිදුවූයේ ප්‍රධාන දුම්රිය මාර්ගය සුල්මෝනා තෙක් සම්බන්ධ කළ මාර්ගයෙහි ධාවනය වන කුඩා, පැරණි පන්නයේ ප්‍රාදේශීය දුම්රිය පැමිණෙන තුරුය.
අලුයම උදාවූ විට, මිනිසුන් පස් දෙනෙකු රාත්‍රිය ගත කරනු ලැබූ දුමින් පිරුණු තද බද වූ දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියට , අවමංගල්‍යයකදී අඳින කලු ඇඳුමෙන් සැරසුණු තරබාරු කාන්තාවක කිසිදු හැඩයකින් තොර බර පොදියක් මෙන් ඔසවා තබනු ලැබුවාය. නහයෙන් පිඹිමින් සහ කෙඳිරි ගාමින් ඇගේ ස්වාමි පුරුෂයා ඈ පසුපසින් මැදිරියට ගොඩවූයේය. දුර්වල,කෙට්ටු, කුඩා මිනිසෙකු වූ ඔහුගේ මුහුණ මළ මිනියක් මෙන් සුදුමැළි වූ අතර ඔහුගේ කුඩා දීප්තිමත් දෑසෙහි ලජ්ජාශීලීබවක්ද අසහනයට පත් බවක්ද දක්නට ලැබිණි.
අවසානයේදී අසුනක හිඳගත් හෙතෙම සිය බිරියට දුම්රියට ගොඩවන්නට උදව් කොට ඇයට වාඩිවීමට ඉඩ සාදා දුන් මගීන්ට විනීත ලෙස ස්තූති කළේය. ඉන් අනතුරුව සිය බිරිය දෙසට හැරුණු ඔහු ඇයගේ කබායේ කොලරය පහත් කරන්නට වෑයම් කරමින් “ ඔයා හොඳින් නේද? ”යි ආචාරශීලී ලෙස ඇගෙන් ප්‍රශ්න කළේය.
ඔහුගේ බිරිය ඊට පිළිතුරු දෙනු වෙනුවට කළේ සිය මුහුණ සඟවා ගන්නට මෙන් කබායේ කොලරය දෑස තෙක් ඔසවා ගැනීමය.
“මහ නපුරු ලෝකයක්”. ඇගේ සැමියා ශෝකී සිනහවකින් තොල් මතුළේය.
තමන් දෙදෙනාගේ මුළු ජීවිතයම කැපකොට හදා වඩාගත් විසි හැවිරිදි යෞවනයකු වූ සිය එකම පුතා යුද්ධය විසින් පැහැරගනු ලැබීමට යෑම ගැන මේ අසරණ ගැහැනියට අනුකම්පා කළයුතු වග දුම්රිය මැදිරියේ සිටි ගමන් සගයන්ට පැහැදිලි කර දීම සිය යුතුකම බව ඔහු සිතුවේය. වෙනකක් තබා ශිෂ්‍යයකු ලෙස ඔහු රෝමයට යන විට ඒ සමග යෑමට සුල්මෝනාවෙහි වූ සිය නිවෙසද ඔවුන් අත්හැර දමා තිබිණි.අඩුම වශයෙන් සය මසක් යනතුරුවත් යුද පෙරමුණට නොයවන්නේය යන සහතිකය මත ඔහුට ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳීමටද ඔවුන් අවසර දී තිබිණි. දැන්, හදිසියේම, දින තුනකින් ඔහු යුද පෙරමුණට යවන බවත් ඊට පෙර ඔහු බැහැදැක ඔහුට ආයුබෝවන් කියන ලෙසත් දන්වා ඔවුන්ට විදුලි පුවතක් ලැබී තිබුණේය.