2011/12/13

තරණය

















චිත්‍රය:- විලියම් මැක්ටගාර්ට්

හිරු බැස ගොස්ය
පායා ඇත ඉරබටු තරුව
යමෙකු මා කැඳවන හඬ
පැහැදිලිව ඇසෙයි මට
නැව් නැගී මා සයුර වෙත යන කල
වැලිපරයෙහි ගැටී නොනැගේවා හඬක්

තරඟ නැගුණද සයුර
පෙනෙන්නේ නිදිගත් සෙයකි
හඬක් නැගුමට හෝ
පෙණ විසිරවිය නොහැකි
අපරිමිත ගැඹුරකින්
නැගී වුත් උදම් රැළි
යළිත් මා නිවෙස වෙත
රැගෙන යන්නේ ඉදින්

ගොම්මන පැතිර යයි
නැගේ සැඳෑ කල සීනු හඬ
එළැඹෙනුය ඉන්පසුව
රෑ කල ගණ අඳුර !
මා නැව් නගින කල
සොවක්, සමුගැනීමක්
නොතිබේවා ඉදින්

කාලයෙන් දේශයෙන්
මා සිරුර වෙන්කොට
රැගෙන යන්නෙය මේ
ජලකඳ බෝ දුරට
වැලිපරය පසුකොට
මුහුණට මුහුණ ලා
මැවුම්කරු හමුවන්න
මම පතන්නෙමි ඉදින්









-ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892)

2011/12/04

නිල් ඇස්






- ඔක්තාවියෝ පාස් (1914-1998)





මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන  සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇ‍‍ඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙ‍ඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටිවල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළපාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන්පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇ‍ඟේ හැප්පෙන්න ගියා. නවාතැන්පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩිවෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පියවෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:

“කොහෙද යන්නෙ?”

“හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.”

“ම්.... දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ.”

උරැහිස් අකුළලා ‘මං ඉක්මනට එනවා’ කියලා මුමුණපු මම අඳුරට වැදුණා. ඉස්සෙල්ලම මට කිසි දෙයක් පෙනුණෙ නෑ. ගල් අල්ලපු පාර දිගේ යන මගේ පය පැටලුණා. මම සිගරැට්ටුවක් පත්තු කර ගත්තා. එක පාරටම කලු වලාකුළක් මැදින් හඳ මතුවුණේ තැනින් තැන බිඳී ගියපු සුදු පාට තාප්පයක් එළිය කරමින්. ඒ සුදුපාටෙන් ගිනිකණ වැටුණු මම නැවතුණා. හීන් හුළඟක් හැමුවා. මම සියඹලා සුවඳ පිරිච්ච වාතය ආශ්වාස කළා. කොළවල සරසරයෙනුයි කෘමීන්ගෙනුයි පිරිච්ච රාත්‍රිය මුණුමුණු ගෑවා. උස් තණගස්වල රැහැයියෝ ලැගලා හිටියා. මම හිස ඔසවලා බැලුවා. ඉහළ අහසේ තාරකාත් වාඩිලා ගෙන. මට හිතුණේ විශ්වය කියන්නේ සංඥා සංකේත පිරුණු සුවිසල් පද්ධතියක් ය, යෝධ සත්ත්වයන් අතර කෙරෙන සංවාදයක් ය කියලයි.  මගේ ක්‍රියාවන්, රැහැයියාගේ හඬ, තාරකාවල දිලිහීම, මේ හැම දෙයක්ම ඒ සංවාදයෙන් තැන තැන විසිරුණු වාක්‍ය කෑලි, විරාම සහ අක්ෂර හැර වෙන දෙයක් නෙවෙයි. මම අකුරක් පමණක් වෙච්ච ඒ වචනය මොකක්ද ? ඒ වචනය කතා කරන්නේ කවුරුද ? ඒ වචනය අමතන්නේ කාටද ? මම සිගරැට්ටුව පදික වේදිකාවට වීසි කළා. වීසි වෙච්ච සිගරැට්ටුවෙන් දිලිසෙන කවයක් නිර්මාණය වුණා. පුංචි ධූම කේතුවකින් වගේ එයින් කුඩා ගිනි පුළිඟු විසිරුණා.

සෙවුම්