දන්නේද පුත නුඹ
කොහි සිට එන්නේද යන වග
කුසගිනි සුදු ලිහිණියන් පියාඹන
විලක සිට එන්නේය පුත නුඹ
විඩාබර වන තුරුම දෙලවන්
සිපගෙන එකිනෙකාගේ ආත්මය
හෙලා ඒ සියල්ලම ගින්නට
දවා හරිමින් අපේ ජීවිත
සිසිරයේ දිය මිදුණු විල අස
රක්තවන් ගිනිමැලයක්
දැල්වීමු ඇය හා මම
එලෙසය පැමිණියේ මෙලොවට නුඹ
නුඹ හා මා බලන්නට
පැමිණියේ දිනෙක ඈ
සමුදුරු තරණය කර,
ඇගේ සිහිනිඟ වැලඳ ගන්නට
ඇවිද්දෙමි මම පුරා මිහිමත
යුද ගිනි, කඳු, කටු කොහොල්,
වැලි කතර පසුකර
එලෙසය පැමිණියේ මෙලොවට නුඹ
ජලයෙන්ද මහ පොළොවෙන්ද
හිමෙන් සහ ගින්නෙන්ද
බොහෝ තැන්වල සිටද
එන්නේය නුඹ අප වෙත
බොහෝ දුර ඈත සිට
එන්නේය නුඹ අප වෙත
යදමකින් මෙන් අප බැඳ දැමූ
අති ප්‍රබල ප්‍රේමයෙන් ජනිතව
එන්නේය නුඹ අප වෙත
නුඹේ ඔය හැඩරුව
බහතෝරන විදිය
දැන ගන්නට ඕනෑය අප හට
මන්ද යත් අප නුඹට දුන් ලොව ගැන
දන්නා බැවිනි අපටත් වඩා නුඹ
මහ කුණාටුවක් ලෙස
සොලවාලීමු අපි ජීවන රුක
පොළොව ගැඹරට විහිදුණු
එහි මුල්වල සිටම
නැගී එරුකෙහි මුදුන් අත්තට
රැඳී කොළ වදුල අතරත
ගී ගයයි පුත නුඹ
-පැබ්ලෝ නෙරූදා (1904-1973)
(ඩොනල්ඩ් ඩී.වොල්ෂ්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)
චිත්‍රය: K.M. Berggren



