2011/10/31

කෙටිම කෙටි කතාවක්

පාදුවා නුවර එක් උණුසුම් සැන්දෑවක ඔවුහු වහළය මතට ඔහු රැගෙන ගියෝය. ඒ ඔහුට වහළ මත සිට පහතින් ඇති නගරය පෙනෙනු පිණිසය. අ‍හසේ වැහි ලිහිණියෝ පියැඹූහ. මඳ වේලාවකින් අඳුරු වැටුණු අතර නිරීක්ෂක විදුලි එළි දැල්විණි.  සෙස්සෝ බෝතල්ද රැගෙන පහළට බැස්සෝය. ඔවුන් පහත සඳළුතලයේ සිට කතාබහ කරන හඬ ඔහුට සහ ලුස්ට ඇසිණි. ලුස් ඇඳ මත හිඳ ගත්තාය. උණුසුම් රාත්‍රියේ ඇය සිසිල්ද නැවුම්ද වූවාය.

තුන් මසක් තිස්සේ ලුස් රාත්‍රී සේවා මුරය වැඩ කළාය. ඇයට එසේ වැඩ කරන්නට දීම ගැන ඔවුහු සතුටු වූහ. ඔහු ශල්‍ය කර්මයට භාජනය කරන විට ඕ ඒ සඳහා ඔහු සූදානම් කළාය. ඔහු නිර්වින්දනය කරනු ලැබූ විට සිහිය නැතිවන තුරු පවතින විකාරමය කාලය තුළ නන් දෙඩවීම නතර කර ගැනීම පිණිස හෙතෙම තිර අදිටනින් කටයුතු කළේය. කිහිලිකරුවලින් ඇවිදින්නට හැකි වූ විට ඔහු වාට්ටුවේ සිටි අනෙක් රෝගීන්ගේ උෂ්ණත්වය සටහන් කිරීමට හුරු වූයේ ඒ කටයුත්ත කරන්නට රෑ පුරා අවදි නොවී ලුස් ට නිදා ගැනීමට හැකිවනු පිණිසය. වාට්ටුවේ සිටියේ රෝගීන් ටික දෙනෙකි. ඒ සියලු දෙනාම ඒ ගැන දැන සිටියෝය. ඔවුහු සියලු දෙනාම ලුස් ප්‍රිය කළහ. වාට්ටුව දිගේ නැවත ඇවිදගෙන යන ඔහු ලුස් තමාගේ ඇ‍ඳෙහි සිටින සැටි සිතේ මවා ගත්තේය.

ඔහු පෙරළා යුද පෙරමුණට යාමට පෙර ඔවුහු දෙව්මැදුර වෙත ගොස් යාඥා කළහ. දෙව්මැදුර ඇතුළත අඳුරුද නිශ්චලද වූ අතර තවත් අය එහි යාඥා කරමින් සිටියෝය. ඔවුන්ට විවාහ වීමට ඇවැසි වුවද පල්ලියේ පෙර නම් දීමට වේලාවක් නොතිබිණි. ඔවුන් දෙදෙනාටම උප්පැන්න සහතිකද නොවීය. තමන් විවාහක බවක් ඔවුන්ට  හැඟුණද ඒ ගැන සියලු දෙනාම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. එය නැති නොවී පවතිනු පිණිස විවාහය සිදු කරන්නට ඔවුන්ට අවශ්‍ය වූයේය.

ලුස් ඔහුට ලියුම් විශාල ප්‍රමාණයක් ලියූවද සටන් විරාමය අවසන් වනතුරුම ඔහුට ඒවා ලැබුණේ නැත. ලියුම් පහළොවක මිටියක් යුද පෙරමුණ වෙත ලැබුණු අතර ඔහු දින අනුපිළිවෙළින් ඒවා සකස් කොට නොනවත්වා කියවා ගෙන ගියේය. ඒ සියලු ලියුම්වල සඳහන් වූයේ රෝහලේ විස්තරත්, ඇය ඔහුට කෙතරම් ආදරය කරන්නේද යන්නත්, ඔහු නොමැතිව ජීවත්වීම කෙතරම් අසීරුද යන්නත්,රාත්‍රිය ඔහු නොමැතිව ගතකරන්නට වීම කෙතරම් පාලුද යන්නත්ය. 

ඔහු පෙරළා මවුබිමට යායුතු බවත් එසේ ගොස් ඔවුන්ට විවාහවීමට හැකිවන පරිදි ඔහු රැකියාවක් සොයාගතයුතු බවත් සටන් විරාමයෙන් පසුව ඔවුහු තීරණය කළහ. ඔහුට හොඳ රැකියාවක් ලැබෙන තුරු ලුස් මවුබිමට නොපැමිණීමටද එසේ රැකියාවක් ලැබුණු පසු ඇය නිව්යෝක් නගරයේදී හමුවීමටද තීරණය විය. ඔහු එක්සත් ජනපදයට ගිය පසු මත්පැන් පානය නොකරනු ඇතැයිද සිය පැරණි සගයන් සොයා සංචාරය නොකරනු ඇතැයිද අවබෝධ කොට ගැනිණි. එකම අරමුණ වූයේ රැකියාවක් සොයාගෙන විවාහ වීමයි. පාදුවාවේ සිට මිලානෝ තෙක් දුම්රියෙන් ගිය ගමන අතරතුර, ඉක්මනින් පෙරළා මවුබිමට යෑමට ඇය තුළ වූ නොකැමැත්ත සම්බන්ධයෙන් ඔවුහු දබර කර ගත්හ. මිලානෝ දුම්රියපොළේදී එකිනෙකාගෙන් සමුගන්නා වේලාව පැමිණි විට ඔවුන් සිප ගත්තද ඔවුන්ගේ දබරය අවසන්ව නොතිබිණි. ඒ ආකාරයෙන් ඇගෙන් සමුගන්නට සිදුවීම ගැන ඔහු නොසතුටට පත්විය.

ජෙනෝවාවෙන් පිටත් වූ නැවකින් ඔහු ඇමෙරිකාවට ගියේය. රෝහලක් පිහිටුවීම පිණිස ලුස් පොර්දොනෝනෙ වෙත ගියාය. එය වැසි සහිත හුදෙකලා ස්ථානයක් වූ අතර ඉතාලි හමුදාවේ විශේෂ බලකා සේනාංකයක් එහි වාඩිලා සිටියේය. මඩින් පිරුණු, වැසි සහිත නග‍රයේ සිසිර කාලය ගෙවා දමන අතර සේනාංකයේ අණදෙන මේජර්වරයා ලුස් සමග රමණයේ යෙදුණේය. ඊට පෙර ඉතාලි ජාතිකයන් හැඳින නොසිටි ලුස් අවසානයේ එක්සත් ජනපදයේ සිටි ඔහු වෙත ලියා යැවූයේ තමන් අතර තිබූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු සහ ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයකට වඩා වැඩි යමක් නොවූ බවයි. ඒ සම්බන්ධයෙන් ඇය කනගාටු වූ අතර ඇතැම්විට ඔහු කිසි දිනෙක එය වටහා නොගන්නා බව දැන සිටියාය. එහෙත් දිනෙක ඔහු තමාට සමාව දෙනු ඇතැයිද තමාට කෘතඥ වනු ඇතැයිද ඇය ලියා තිබිණි. එමෙන්ම සපුරාම බලාපොරොත්තු නොවූ ලෙස තමන් වසන්ත ඍතුවේදී විවාහ වන්නට අපේක්ෂා කරන බවද ඇය ලියා තිබුණාය. සැමදාමත් පරිදි තමා ඔහුට ආදරය කරන බවද එහෙත් තමන් අතර වූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු හා ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයක් වූ වග තමාට තේරුම් ගොස් ඇති බවද ලිපියේ සඳහන් විය. ඔහු සිය වෘත්තියේ ඉහළම හිණිපෙත්තට නගිනු ඇතැයිද තමා ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබා ඇතැයිද මේ සියල්ල වන්නේ හොඳට යැයිද ඇය ලියුවාය.

වසන්ත ඍතුවේදීවත් වෙන කවර කලකවත් මේජර්වරයා ඇය ආවාහ කොට නොගත්තේය. ඇය ඒ සම්බන්ධයෙන් චිකාගෝ නුවර වෙත යවන ලද ලිපියට කිසි දිනෙක පිළිතුරක් ලැබුණේද නැත. ඊට ටික කලකට පසුව ලින්කන් උද්‍යානය මැදින් කුලී රියක නැගී යන අතරතුර, චිකාගෝ වාණිජ මධ්‍යස්ථානයේ ඇති සුපිරි වෙළෙඳ සලක සේවය කළ තරුණියකගෙන් ඔහුට ගෝනෝරියාව වැළඳිණි. 









-අර්නස්ට් හෙමිංවේ (1899-1961)  


2011/10/25

දන්ත වෛද්‍යවරයා


චිත්‍රය:- ගෙරිට් ඩෝව්


සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය සාප්පුව විවෘත කළේය. වීදුරු කැබිනෙට්ටුව හැර එතුළින් බොරු දත් ඇන්දක් ගත් හෙතෙම උපකරණ කට්ටලයක් ගෙන ඒවායේ ප්‍රමාණය අනුව මේසය මත පිළිවෙළින් තැබුවේ හරියට ප්‍රදර්ශනයකට මෙනි. රත්රන් බොත්තමකින් කර පියැවුණු කොලරය නැති ඉරි වැටුණු කමිසයකින්ද උරැහිස් පටිවලින් එල්ලුණු කලිසමකින්ද ඔහු සැරසී සිටියේය. ඔහු ඍජු සිහින් මිනිසෙකු වූ අතර තමන් ජීවත් වන වටපිටාවට කෙසේත්ම නොගැලපෙන, ශ්‍රවණාබාධිත මිනිසුන් කෙරෙහි වන පෙනුමක් ඔහු සතු විය.

මේසය මත උපකරණ පිළිවෙළට තැබීම අවසන් කළ හෙතෙම විදින කටුව ආසනය ළඟට ගෙන බොරු දත් ඇන්ද ඔප දැමීමට පටන් ගත්තේය.  ඔහු තමන් කරන කාර්යය සිතා බලා නොකරන බවක් පළ කළද, විදින කටුවට බලය දෙන පැඩලය අවශ්‍යතාවකින් තොරව වුව පාගමින් හෙතෙම නොනැවතී වැඩ කළේය.


ජනේලයෙන් අහස බැලීම පිණිස උදෑසන අටට ඔහු සිය කාර්යය මඳකට නතර කළේය. යාබද නිවෙසේ වහළය මත කල්පනාභරිත ගිජුලිහණියන් දෙදෙනකු හිරුරැස් නාන සැටි ඔහුට පෙනිණි. ඔහු නැවත සිය කාර්යය ආරම්භ කළේ දිවා ආහාරයට පෙර නැවත වැසි ඇද වැටෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් යුතුවය. සිය එකොළොස් හැවිරිදි පුතුගේ තියුණු කටහඬින් ඔහුගේ අවධානය බිඳී ගියේය.


"තාත්තේ"


"මොකද ? "


" නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා"


"කියන්න මම නෑ කියලා. "


ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාම‍රයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා".


දන්ත වෛද්‍යවරයා දිගින් දිගටම දත පරීක්ෂා කරන්නට විය. කාර්යය අවසන් කොට එය මේසය මත තැබීමෙන් අනතුරුව පමණි ඔහු කතා කළේ:


"ඒක වඩාත් හොඳයි. "


ඔහු නැවතත් විදින කටුව ක්‍රියාත්මක කළේය. වැඩ අවසන් නොකළ දත් ඇඳි සහ කොටස් දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දත් ඇඳි කොටසක් ගත් ඔහු එහි වූ රත්රන් කොටස් ඔප දමන්නට විය.


"තාත්තේ"


"මොකද ? "


ඔහුගේ පෙනුම තවමත් වෙනස් වී නොතිබිණි.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා එයාගේ දත ගැලෙව්වෙ නැත්නම් වෙඩි ති‍යනවා කියලා."


කිසිදු කලබලයකින් තොරව අති ශාන්ත චලනයකින් යුතුව විදින කටුවෙහි පෙඩලය පෑගීම නතර කළ ‍ඔහු මේසයේ පහළම ලාච්චුව විවෘත කළේය. එහි රිවෝල්වරයක් තිබිණි. " හොඳයි "  ඔහු කීවේය. "කියන්න එයාට ඇවිල්ලා වෙඩි තියන්න කියලා".


කැරකෙන පුටුව දොරට මුහුණලා සිටින පරිදි ඇදගත් ඔහු ලාච්චුවේ කෙළවර මත සිය අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොර අබියසට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි වම් පැත්තේ රැවුල බා තිබුණු අතර වේදනාවෙන් ඉදිමුණු අනෙක් පැත්තෙහි දින පහක රැවුලක් විය. අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු රාත්‍රී රැසක ලකුණු නගරාධිපතිවරයාගේ දීප්තියෙන් තොර දෑසෙහි දන්ත වෛද්‍යවරයා දුටුවේය. සිය ඇඟිලි තුඩුවලින් සෙමෙන් ලාච්චුව වැසූ ඔහු මෘදු ලෙස කතා කළේය.


"වාඩි‍ වෙන්න. "


"සුබ උදෑසනක්, " නගරාධිපතිවරයා කීය.


"සුබ උදෑසනක් "  දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.


උපකරණ නටන ජලයෙහි තැම්බෙන තුරු නගරාධිපතිවරයා රෝගීන් වාඩි වෙන පුටුවෙහි හිඳගෙන එහි හිස රඳවනයේ හිස තබා ගත්තේය. ඔහුට පහසුවක් දැනිණි. ඔහුගේ සුසුම් දැඩි ශීතලෙන් යුක්ත විය.  දන්ත වෛද්‍යවරයාගේ කාමරය දුගී පෙනුමෙන් යුක්ත විය; පැරණි ලී පුටුව, පෙඩලයකින් ක්‍රියාත්මක වන විදින කටුව සහ පිඟන්මැටි බෝතල දැමු වීදුරු කැබිනෙට්ටුව ඒ බව කියා පෑය. පුටුවට ඉදිරිපසින් වූයේ උරැහිස් මට්ටමින් තිරයක් දැමූ ජනේලයකි. දන්ත වෛද්‍යවරයා තමා වෙත ළං වනු දැනුණු නගරාධිපතිවරයා පොළොවේ තදින් පය ගසාගෙන මුව විවෘත කළේය.


අවුරේලියෝ එස්කොබාර් නගරාධිපතිවරයාගේ හිස විදුලි බුබුල දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ හෙතෙම ප්‍රවේසමෙන් ඔහුගේ මුව වැසීය.


"නිර්වින්දන බෙහෙත් නැතුවයි දත ගලවන්න වෙන්නේ" ඔහු කීවේය.


"ඒ ඇයි ? "


" නරක් වෙච්ච දත ඇතුළෙ සැරව ගෙඩියක් තියෙන නිසා. "


නගරාධිපතිවරයා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවේය. " කමක් නෑ" යි කී ඔහු සිනාසෙන්නට වෑයම් කළේය. වෛද්‍යවරයා පෙරළා සිනා සුණේ නැත. ජීවානුහරණය කරන ලද උපකරණ සහිත බේසම ගත් ඔහු එය මේසය මත තබා කුඩා අඬුවකින් උපකරණ එකිනෙක එළියට ගත්තේ කිසිදු හදිසියකින් තොරවය.  ඉන් අනතුරුව කෙළ ගසන භාජනය සපත්තුවේ තුඩෙන් තල්ලු කළ හෙතෙම දෑත සෝදා ගැනීම පිණිස සෝදන බේසම වෙත ‍ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපතිවරයා දෙස නොබලමිනි. එහෙත් නගරාධිපතිවරයා ඔහු කෙරෙන් සිය බැල්ම ඉවත‍ට නොගත්තේය.


එය යටි හනුවේ ති‍බූ ඥාන දතක් විය. සිය දෙප දෙපසට විහිදවූ වෛද්‍යවරයා උණුසුම් අඬුවකින් දත තදින් අල්ලා ගත්තේය.  පුටුවේ ඇඳි තද කොට අල්ලා ගත් නගරාධිපතිවරයා සිය දෙපය මුළු වීරිය යොදා පොළොවේ ගසා ගත්තේය.  අයිස් බඳු ශීතල හිස්බවක් සිය වකුගඩුවලට දැනුණද ඔහු නොවේ කිසිදු හඬක් නැගුවේ. දන්ත වෛද්‍යවරයා චලනය කළේ සිය මැණික් කටුව පමණි. ද්වේශයෙන් තොරව එහෙත් සැරපරුෂ මෘදුබවකින් යුතුව ඔහු කතා කළේය:


" අපේ මැරිච්ච මිනිස්සු විසි දෙනා වෙනුවෙන් දැන් ඔබතුමා වන්දි ගෙවාවි. "


ජර ජර අනුකරණයෙන් සිය හනුවේ වූ අස්ථි බිඳි යන සැටි නගරාධිපතිවරයාට දැනිණි. ඔහුගේ දෑස කඳුළෙන් පිරී ගියේය.  එහෙත් දත ගැලවී එළියට එන තුරුම ඔහු හුස්ම නොගත්තේය. අවසානයේ කඳුළු මැදින් ඔහු දත දුටුවේය.  එය ඔහුගේ වේදනාවට කෙතරම් ආගන්තුක වීද යත් පසුගිය දවස් පහ තුළ එය කරණ කොට ගෙන තමන් විසින් විඳින ලද දරුණු වධය වටහා ගැනීමට ඔහු අපොහොසත් විය.


දහදියෙන් පෙඟී, හතිලමින් සිය කමිසයේ බොත්තම් ගැලවූ හෙතෙම කෙළ ගසන භාජනයට උඩින් නැවී කලිසම් සාක්කුවේ වූ ලේන්සුව සොයන්නට විය.  දන්ත වෛද්‍යවරයා ඔහුට පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්නේය.


" ඔය කඳුළු පිහ දා ගන්න, " දන්ත වෛද්‍යවරයා කීවේය.


නගරාධිපතිව‍රයා එසේ කළේය. ඔහු වෙව්ලමින් සිටියේය. දන්ත වෛද්‍යවරයා සිය දෑත සෝදන අතරතුර ගරාවැටෙන සිවිලිමද මැරුණු කෘමීන් සහ මකුළු බිත්තර රැඳි දූවිලි වැකුණු මකුළු දැලක්ද නගරාධිපතිවරයාට පෙනිණි. සිය දෑත පිසදමමින් වෛද්‍යවරයා පැමිණියේය. "ටිකක් නිදා ගන්න" ඔහු කීවේය. "ලුණු වතුරෙන් කට සෝදන්න. " නගරාධිපතිවරයා නැගී සිටියේය. සාමාන්‍ය හමුදා ආචාරයකින් වෛද්‍යවරයාට ආචාර කළ හෙතෙම දෙපා දිගහරිමින් දොර දෙසට ඇවිද ගෙන ගියේය. ඔහුගේ කමිසයෙහි තවමත් බොත්තම් දමා නොතිබිණි.


" බිල එවන්න. " ඔහු කීවේය.


" ඔබතුමාටද නැත්නම් නගරසභා කාර්යාලයටද? "


නගරාධිපතිවරයා ඔහු දෙස නොබැලුවේය. දොර වැසූ ඔහු දොර පැලැල්ල මැදින් කතා කළේය:


" ඔය දෙකම එකයි. "



- ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් (1927-)

සෙවුම්