2011/06/09

අස්වනු නෙලන්නී














බලනු මැන ! කෙතෙහි හුදෙකලා වූ
අර ‍සොඳුරු කඳුකර යුවතිය දෙස
අස්වනු නෙලන්නී ඕ තමාටම ගී ගයමින්
බලනු මැන නැවතී මඳක්, ‍නොඑසේනම්
පසු කරනුය ඈ හඬ නොනැගෙන පරිදි

නෙලා අස්වනු මිටි බඳින්නී ඈ
ගයා ගී සෝබර සරින්
යොමනු මැන සවන් යුග
නිම්නය පිරීතිරි ගලනා
ඇගේ කටහඬ වෙතට

නිරුදක වැලි කතර සරනා
විඩාබර දනන් සිත සනසන
මියුරු වූ මෙවන් ගී නදක්
කිසි දිනෙක නැත නගා
කිසිදු සියතකු විසින්
බෝ ඈත විසිරුණු
කුඩා දූපත් අතර
රළ නැගෙන සයුරු තෙර නිහඬ බව බිඳලන
මෙතරම් උල්ලසිත ගීතයක්
නොගැයීය වසත් කල කොවුලකු පවා

නොකියනු ඇතිද කිසිවකු මහට
ඈ ගයන ගීතයේ අරුත කිමදැයි?
බොහෝ කලකට පෙර කැරුණු
සංග්රාරම යුද සමර ගැන හෝ
පැරණි, දුක්මුසු අතීතය ගැන
ඇගේ සෝ ගී ගැයෙනවා විය හැකිය
එසේ නැතිනම් ගයන්නිද ඈ
බොහෝ කල රැඳී සිට යළි යළිත් ඇය පෙළන
දුක පිරිපත,විරහව වේදනාව ගැන?

ඈ ගැයුවේ කුමක් වුව
අවසනක් ‍නොවී ඒ ගීතයට
නැවී දෑකැති අඩ කවයට උඩින්
ගැයුවාය ඕ අස්වනු නෙලමින්මැ

සවන් යොමු කළෙමි මම නිසලව සිටිවනමැ
නික්මුණෙමි එතැනින් ගී නද අසා ගෙනැ
නෑසුණු නමුදු ඈ ගැයූ සෝ ගී මට යළිත්
හදවත රැඳුණු මියැසිය තිබිණි එහි බෝ කලක්





විලියම් වර්ඩ්ස්වර්ත් (1770-1850)
විලියම් වර්ඩ්ස්වර්ත්ගේ The Solitary Reaper නම් කාව්‍යයේ පරිවර්තනයකි.

2011/04/25

යටත් නොකළැකි ආත්මය

අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන්
මා වසාගත් රාත්‍රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා

ඉරණමෙහි රුදු නිය පහර වැද
නොහැකිළුණෙමි‍, නොහැඬුවෙමි හඬ ගා
අවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳ
රුධිරය වැකුණුමුත් ‍නොනැමුණිය හිස මා

වෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහා
ඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකිය
එනමුදු මා ‍නොබියව සිටින වග
පෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුව

ද්වාරය කෙතරම් පටුවුවද කම් නැත
පවු‍ පොතෙහි දඬුවම් මහත් වුව කම් නැත
මාගේ ‍දෛවයේ හිමියා මම ම වෙමි
මාගේ ආත්මයේ නියමුවා මම ම වෙමි




විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)

විලියම් අර්නස්ට් හෙන්ලිගේ Invictus නම් කාව්‍යයේ පරිවර්තනයකි.

සෙවුම්