2026/03/20

වතුරේ යතුර

 












රිෂිකේෂ්වලට පසු තවමත්‍
හරිතවන්ය ගංගා නම් නදිය.
කඳුමුදුන් අතරත බිඳෙයි
වීදුරු ක්ෂිතිජය‍.
ඇවිද යමු අපි පළිඟු මත.
නිසසලබවේ සුවිසල් ආගාධ
ඉහළිනුත් පහතිනුත් ඇත.
ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළු
තිබේ නිල්වන් අවකාශ මැද.
'මේ රට පුරා උල්පත් හැමතැනම,'
පැවසීය ඔබ.
ගිල්වූයෙමි මා දෑත එදා රෑ
ඔබ පයෝධරවල.
 








- ඔක්තාවියෝ පාස් (1914-1998)
 
(එලිසබෙත් බිෂොප් ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)


The Key of Water

 

After Rishikesh

The Ganges is still green.

The glass horizon

breaks among the peaks.

We walk upon crystals.

Above and below

great gulfs of calm.

In the blue spaces

white rocks, black clouds.

You said:

            Le pays est plein de sources.

That night I dipped my hands in your breasts.

 

- Octavio Paz (1914-1998)

 

(Translated from the Spanish by Elizabeth Bishop)

 

2025/05/12

ආසියාවේ ආලෝකයෙන්...















එවැනි එක් වරෙක කුමර තෙම,
ගෙවී ගොස් සියලු ශක්තිය
බිම හොත්තේය මරණීය මූර්ඡාවක,
හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,
මරණයට පත්කරවූවකු විලස;
බෝ සේ ගිලන් විය, බෙහෙවින් නිසල විය හෙතෙම.
එනමුදු, ගොපලු කොල්ලකු යන්නට පැමිණි එමඟ
සිදුහතුන් බිම වැතිර සිටිනු දැක,
වත් කළේ උණු කිරි බිඳු හිමි දෙතොල මත
එළිච්චියකගෙන් දොවාගෙන,
කුලයෙන් හීන ගොපලු කොලු තෙම,
පෙනුමෙන් උසස් , පිවිතුරු හිමි සිරුර,
ස්පර්ශයෙන් වරදක් විණැයි සිතමින
වැඳ වැටුණේය හිමි දෙවි කෙනෙකැයි සිතාගෙන;
එකල අප හිමිසඳ, හුස්ම අල්වා නැඟී සිට,
ඉල්ලීය ගොපල්ලාගෙන් කිරි බඳුනක දමා දෙන ලෙද.
“අහා, මා හිමිසඳුනි, නොහැක මා හට එසේ කෙරුමට,
නොපෙනේද මා ශුද්‍රයකු වග,
මා ස්පර්ශයෙන් කෙලෙසෙන්නේය සියලු දැය!”
පැවැසීය ගොපලු තෙම.
හඬ අවදි කරලීය ලෝ පූජිත හිමි එසඳ:
“දුකද, වුවමනාවද නෑයන් කරයි සියලු සත.
එකම පැහැයෙන් ගලන ලෙය තුළ,
කිසිදු කුලයක් නොමැත්තේමය,
ලුණුරසින් ගලනා කඳුළ තුළ, 
කිසිදු කුලයක් නොමැත්තේමය;
කිසිවෙක් නූපදිති තිලක-සලකුණු තබා නළලත
එසේ නැතහොත් පූන හුය ගෙල මත.
යහපත කරන තැනැත්තේ දෙවරක් උපදින්නේය
අයහපත කරන අය අධම වන්නාහුය.
සොයුර, දෙනු මැනව පානය කරන්නට මහට,
මා සෙවීම සඵල වූ කල, එය නුඹට කුසලයක් වනු ඇත”
ප්‍රීතියෙන් ඉපිළිණ ගොපල්ලාගේ හදවත
පුද දුන්නේය ඔහු ක්ෂීරය හිමි වෙත.

[ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්ගේ ආසියාවේ ආලෝකය මහා කාව්‍යයෙනි]

And once at such a time the o'erwrought  Prince
Fell to the earth in deadly swoon, all spent, 
Even as one slain, who hath no longer breath
Nor any stir of blood; so wan  he was,
So motionless. But there came by that way
A shepherd boy, who saw Siddārtha lie ...
Also he poured upon the Master’s lips
Drops of warm milk, pressed from his she-goat’s bag 
Lest, being low caste, he, by touching, wrong one 
So high and holy seeming...
And the boy worshipped, deeming him some God;
But our Lord, gaining breath, arose and asked
Milk in the shepherd’s lota.  “Ah, my Lord,
I cannot give thee,” quoth the lad; “thou seest
I am a Sudra,  and my touch defiles!”
Then the World-honoured spake, “Pity and need
Make all flesh kin. There is no caste in blood,
Which runneth of one hue, nor caste in tears,
Which trickle salt with all; neither comes man
To birth with tilka-mark stamped on the brow,
Nor sacred thread on neck. Who doth right deed
Is twice-born, and who doeth ill deeds vile. 
Give me to drink, my brother; when I come
Unto my quest it shall be good for thee.”
Thereat the peasant’s heart was glad, and gave.

[From "The Light of Asia" by Sir Edwin Arnold]





2025/03/09

තාරකා හෝරාව (1920)

 


අනන්තයේ මියැසි පත මත

රැයේ මුළු නිහඬබව ඇත.

 

නැතිව ගිය කවිකමෙන් පැසී

ඇවිද යමි නිරුවත්ව වීදියට.

රැහැයි නදෙන් සිදුරු වන අඳුර

සතුව ඇත ධ්වනියේ ඒ

මැරුණු අල්වාගත නොහෙනබව,

ආත්මයට දැනෙන ඒ

සංගීතමය එළිය.

 

සමනලයන් දහසක ඇටසැකිලි

නිදයි මා කුටිය තුළ

නොදැමි නවයොවුන් මඳපවන් සෙනඟක්

සිටිත් ගංගාව මත.

 









- ‌ෆෙදෙරිකෝ ගාර්ෂියා ලෝර්කා (1898-1936)

(ස්ටැන්ලි ඇපල්බෝම් ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)


2024/12/26

කඳුවල රහස්

 



 







සාගරවලට පමණක් නොව

තිබේය ඔවුන්ගේ රහස් කඳුවලටද.

 

ඈතින් ඇහෙන ඒ හිනා හඬ

දියඇලිවල නද යැයි ඔබ කියනු ඇත.

නැත, ඒ සුරඟනන් සත්දෙන

සිනා නඟනා හඬය.

 

දිගට හරහට වැටුණු, බොරලු ඇතිරූ මේ පාරවල්

ඔබ වෙනත් ලෝවලට ගෙන යන මාවත් ය.

පාතාල ලෝකයට හෝ මළවුන්ගේ ලොව වෙත

ඉදින් යා හැක ඔබට.

 

ඒ වන මංපෙත් ඉහළට ඇදෙන

රැගෙන යනු ඇත ඔබ සඳ වෙත

කුජ වෙත හෝ දෙව්ලොව වෙත.

 

නොනඟිනුය ඒ තුරඟුන් පිට:

කළුවන් තුරඟුන් රැගෙන යනු ඇත ඔබ

මධ්‍යතන යුගය වෙත

ධවල තුරඟුන් හුදෙකලාවට.

 

දුටුවේද ඔබ අර නිල්වන් විහඟ තෙම?

වයලීන වාදකයෙකි හෙතෙම

ආත්මයේ පෙර

අර දුඹුරු පැහැ සියොත් තෙම

බෙරකරුවෙක් වීය

මෙතැන ඇති මේ සුදු ගල්කැටය

තාරකාවක්ව සිටි ලෙදම.

 

මෙහි වෙසෙන දන

ජලය යැයි

හඳුන්වති මෝක්ෂය.

 

ශුන්‍යබව, සතා සීපාවා මෙන්ම

අවතාරද බැහැරට එන්නේ රෑට ය.

අවතාර නම් බොහෝ විට

කලෙක මෙහි රජ කළ සුද්දන්ගේ ය.

ඉදින් බිය නොවනු මැන, උන් තවත් මෙහි නැත;

උන්ගෙ ගිනිඅවි පමණක් වසන්නෙය.

 

අර උමඟෙන් යන්න,

යා හැක ඔබට අපායට.

යටත්වැසියන් නම් වසන්නේ එහිය.

සියවස් ගණනක් පුරා උහු

වියන්නෝ එක පොරෝණාවක්.

වියුම අවසන් වූ කල,

මෙතැනද වේය අවසන්.

 

උඩුබැලි අතට වැතිරී, දෑස වසාගෙන

නැවූ දණහිස් අහසට උස් කොට

සිටින මිහිකතගේ මේ ඉරියව්ව

ඉදින් ඇරයුමකි ය.

නොහැක ඔබට එය පිළිකෙව් කරන්නට

නැත්නම් පිළිගන්නට.

 

මෙහි පැමිණි කිසිවකු ආපසු ගොසින් නැත;

එසේ වුව ඇය කිසි කලෙක,

නොකරයි සිය දෙපා දෙපසට.

 








-කේ. සචිදානන්දන් (1946-)

 

 

2023/08/26

රතියෙහි දෙරැයක්

 














වියරු ලෙස සැලෙන දඟයුගවලට
සැහැල්ලු, නිදහස් සොබාවෙන්
මගේ බර දරන ළැමහසවලට
සීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මම
රතියෙන් පිරුණු එක් රැයකට පසුව.
අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේ
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ
නිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට.
 
වියරු ලෙස සැලෙන දඟයුග, ගී ගයන ළැමහස;
විඩාවට පත්ව ඒ ක්‍රියාවෙන්,
මහපොළොව තරමට පැරැණි
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ නිදහසක් තුළ
අඳුරු සොඳුරුබවින් යුත් සියලු සියවස් මුළුල්ලේ
යළි යළිත් එය අත්විඳිනු රිසියෙන්
රතියෙන් පිරුණු එක් රැයකට පසුව
හැරුණෙමි මම ආදරය වෙත.








-නිසීම් ඉසෙකිල් (1924-2004)

2022/08/27

සැන්දෑව

 









 

මා මියුලැසියගේ අඳුන් ගෑ දෙබැම මෙන්

අඳුරුය තුරු පෙළ

 

ගැඹුරු භාවනාවකට නිර්‍හඬව සමවැදෙයි

කඳු ගැටය

 

රතු වූ දෙකොපුලෙන් යුතුව

හිනැහෙයි නුබ ගැබ.

 

ඒ සැඳෑවේ

 

මගේ කුටිය තුළ

පුරුද්දකට ගිය හුදෙකලාව සමඟ

වැඩෙහි නිමග්නව සිටිමි මම

 

සිරකරුවකු බඳුව

 

තුටින් සිටිනුයේ

අහස සරනා විහඟුන් පමණකිය . . .

 

- ජී. පවන් කුමාර්

 

(ඩී. කේසව රාඕ තෙලුගු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)


2022/08/14

අතු අග තුරුපත

 









රැඳී තිබිණිය එය අත්තක් මත;
ඊට පහතින් විලක දියතලය විය,
එමත අහසේ පිළිබිඹුව විය;
දියෙහි ගිලෙතැයි එය බියෙන් පසු විණ.
එනමුදු . . .
නොපිහිනී එය, නොගිලිණිය එය, ගසා නොගියේය ඉවතට
අත්ත මත ඔහේ රැඳී හිඳ, අවසන මැලවී ගියේ එය . . .
අත්තක් මත රැඳි එකම හුදෙකලා තුරුපත!








- ගුල්සර් (1934- )

 

(පවන් කේ. වර්මා උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)


2022/07/31

රැයේ රන් මදිරා කුසලාන

 












මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.
කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?
දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතර
මියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත.
 
බලා සිටියෙමි බෝ කලක් ඔහු එන තුරු.
දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්?
රැයේ රන් මදිරා කුසලාන පවා
යන්නේය අඳුරු වී.
 
එසේවුව ප්‍රේමයේ පිළිවෙත මිහිරි වේ තවමත්.
ඉදින් සරසනු හැකිනම් මා පෙම්බරා අබරණින්,
සුවඳ ගල්වා ඔහු තුනු සිරුර,
අබිසෙස් කරනු හැකිනම් මා චුම්බනවලින්.
 
ඇතුළතින් බිඳී ඇති මුත් මා,
පෙම, නුඹ නිසාවෙන්,
බලනු මැන විල සිසාරා.
අර පිපෙන්නේ මහදෙහි සියපතයි.



 




- හබ්බා ඛාතූන් (1554 – 1609)
 
(අභය් කේ. සහ බිල් වොලක් කාශ්මීරි බසින් ඉංගිරිසියට කළ අනුවාදයෙනි.)

2022/02/19

නිද්‍රාව

 














රාත්‍රී අඳුර මැද මිහිතලයේ වුවන දොවා පිරිසිදු කළ විට අහස

නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන.

එකිනෙකා ඉඟෙන් අල්වාගෙන, තණපත් තුටින් නැටුමෙහි යෙදුණු කල

නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන.

අපගේ ගැඹුරු නින්ද තුළ වැසි ඇද නොහැළිණි ය

වර්ෂාව මධ්‍යයට අපද පිවිසුණේ නැත.

එසේ නම් කෙලෙසක ගෙවී ගොස් රාත්‍රී හුදෙකලාව හා නිහඬබව,

අලස වූ උදෑසන මලානිකබව නැඟී සිටියේද අප නෙත් ඉදිරිපිට . . .

 

නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන.

 

 


-ශංඛ ඝෝෂ් (1932-2021)

 

(කල්යාන් රෝයි බෙංගාලි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

 


2021/09/19

අ(න)වබෝධය


 


හරිතවන් තණබිම්, සාරවත් උයන්වතු
උසැති කඳු හා සුවිසල් සයුරු ඇති,
ඉර-හඳෙන් එළිය වූ අහස ඇති
යශෝධර ලෝකයක්
මවුකුසෙන් එපිට ඇති වග
කිසිවකු කියුවහොත්
නූපන් දරුවකුට
විශ්වාස නොකරයි හෙතෙම
ඒසා දෙයක් අභූත.
 
කෙලෙස නම් සිතා ගන්නද ඉදින්
තවමත් අඳුරු මවුකුස සිටින ඔහු
මේ ලොවෙහි
විස්තර කළ නොහැකි මහිමය?
 
එලෙසින්ම,
ගන්ධයෙන්, වර්ණයෙන්
එපිට වූ ලෝක ගැන
මුනිවරුන් කියන කල,
තෘෂ්ණාවෙන් බිහිරි වූ
ආත්මාර්ථයෙන් අඳ වූ
පුහුදුන් මිනිසා
කෙලෙස නම්
වටහා ගනුද
ඒවායේ යථාර්ථය?




 




-ජලාල් අද්-දීන් රූමි (1207-1273)


(මාර්යම් මාෆි සහ අසීමා මෙලිතා කෝලින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි. )

2021/09/11

සිතිවිල්ල

 


 












රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැද
සඳ නිදි කිරන විට
මල් පිරුණු අතු ඉති
සෙමෙන් නැලැවෙන කල
 
විල් කැඩපතෙහි දිය වී
තරු සිය ගමන නවතන කල
සැම වනස්පතියක්ම කටුසනක් වී
පත් වේ සැම කුසුමක්ම අභිරහසක් බවට
 
මහපොළොව සිට අහස තෙක්
කාලය වක්‍රයක් තනන විට දෘශ්‍යමානව
මා සිතිවිල්ල හා අල්ලාහ් දෙවියන් අතර
වෙන්වුණු නිහඬතාවක් ඇත වසර ගණනක
 
දැවෙන මා සිරුර මත
යමකු පිනි බිඳු ඉසින
තම අදිසි උසෙහි සිට
පෙනෙයි, අමතන බවක් මා හට

 








-අහ්මඩ් නදීම් ඛස්මි (1916-2006) 


(රාජා චන්ගෙස් සුල්තාන් උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
 

චිත්‍රය: Evening by Eugène Jansson (Swedish, 1862 - 1915)



2021/08/21

බෂෝගේ* පැල්පත

 




















මුළු ලොවම අරක් ගනියි
මාත්‍රා සතළොසකට** සහ
ඔබට, මේ පැල්පත තුළ.
 
පිදුරු වහලය, රුක් කඳන් පෙළ:
බුදුවරු වඩිත්, කෘමිහු පැමිණෙත්
අතරින් විවර.
 
වාතයෙන් නිර්මිතව,
පයින් ගස් හා ගල් අතර
දලුලයි කවිය.
 
පණකුරුද ගතකුරුද
එක් කළ වියුමකිය:
ලොවෙහි නිවෙසයි මෙය.
 
සියවස් ගණනක ඇටකටු, කඳු:
ගල්වැ ගිය දුක, දොම්නස:
මෙහි ඒවා බර නැත.
 
මා කියමින් සිටින දෙය
යන්තමින්වත් නොපුරවයි තුන් පෙළ:***
මේ මාත්‍රාවල පැල්පත ය.

 








-ඔක්තාවියෝ පාස් (1914-1998)


 *මත්සුඔ බෂෝ (1644-1694)- ජපානයේ එදො යුගයේ විසූ ජනප්‍රියම කවියා. ඔහු ලොව විශිෂ්ටතම හයිකු කවියා වශයෙන් සැලැකෙයි.
 
** හයිකු කවියක මාත්‍රා දහහතකි.
 
*** හයිකු කවියක පේළි තුනකි. 


2021/08/08

මැදියම් රෑ හන්දියේ බේකරිය

 














මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් සහ බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
මා කුඩා සන්දියේ රහ්මන්ද
මා සමඟ කැරම් සෙල්ලම් කළ
අස්මත්ගේ දිලිසෙන ඇස්ද
නැඟේ මා මතකයට
 
මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් හා බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
තනිව කාමරයේ
මදුවිත තොල ගාමි මම
බැදපු පීකුදු කැබැලි
පිඟානක සීතලව ගොස් ඇත
මා ඉදිරිපිට
මා මිතුරන් සියල්ලම
මැදපෙරදිග ගොස්ය
 
මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් හා බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
යාබද නිවෙසේ පඨාන් ජාතිකයාගේ බිරිය
ඇතුළු වී මා කාමරයට, වසා දොර
පිටුපා සිටියි මා වෙත
කියමි මම ඇයට, නැඟණිය,
වෙනත් කිසිවකු සොයා යනු මැන
 
පාන් පිපෙනා කලට
මුළු ගොඩනැඟිල්ලේ සුවඳ
පුරවාලයි මා නැහැය.

 







-දිලිප් චිත්රේ (1938-2009)

සෙවුම්