එකෝමත් එක නගරයක කහපාට තීන්ත වර්ගයක් විකුණන වෛද්‍යවරයෙක් ජීවත් වුණා. මේ තීන්තවල තිබුණු විශේෂත්වය තමයි එය හිසේ සිට දෙපතුළ තෙක් ආලේප කරගත් කෙනෙකුට ජීවිතයේ අතුරු ආන්තරාවලින්, පාපයේ බැඳීමෙන් සහ මරණ බියෙන් සදහටම නිදහස් වන්නට පුළුවන් වීම. වෛද්‍යවරයා මේ බව තමන්ගේ විස්තර ප්‍රකාශ පත්‍රයේ සඳහන් කළා විතරක් නෙවෙයි නගරයේ ජීවත් වුණු සියලු දෙනාමත් එහෙම කිව්වා. මේ හේතුව නිසා තමන් මේ තීන්තෙන් මනාව වර්ණවත් කරගන්නවා ඇරෙන්නට වෙන හදිසි කටයුත්තක් මිනිස්සුන්ට තිබුණේ නෑ. ඒ වාගේම අනෙක් අයත් මේ තීන්ත තම තමන්ගේ සිරුරුවල ආලේප කර ගෙන සිටිනවා දකින එක තරම් සතුටක් ඒ අයට වෙන තිබුණෙත් නෑ. මේ නගරෙම වාසය කළා එක හොඳ පවුලකින් පැවතගෙන එන තරුණයෙක්. හැබැයි ඔහු ගතකළේ බොහෝම නොසැලකිලිමත් ජීවිතයක්. වැඩිහිටියෙකු වෙන වයසට ළංවෙලා හිටිය ඔහු මේ කහපාට තීන්ත ගැන කිසිම උනන්දුවක් පෙන්නුවේ නෑ. තීන්ත ආලේප කිරීම ගැන ඔහු හැමවිටම කීවේ “ ආ ඒක හෙට බැරියැ” කියලයි. හැබැයි ඒ හෙට කියන දවස උදාවුණාමත් ඔහු ඒක තවත් කල් දැම්මා. ඔහුගේම වයසේ , ඔහුගේම වගේ ගතිගුණ ඇති, ඒ වගේම ජීවිතයක් ගත කරපු ඔහුගේ යහලුවෙක් ඇඟේ කහපාට තීන්ත බින්දුවක්වත් නැතිව පාරේ ඇවිදිමින් ඉන්න කොට වතුර ගෙනියන කරත්තෙකට අහුවෙලා මිය නොයන්න ඔහුත් මැරෙන තුරුම මේ විදියට වැඩේ කල් දමමින් ඉන්න ඉඩ තිබුණා. මේ සිද්ධියෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්වුණා. කහපාට තීන්ත සිරුරේ ආලේප කරගැනීමට ඔහුට බොහෝම උනන්දුවක් ඇති වුණා. ඒ නිසා එදා හවසම පවුලේ සියලු දෙනාම බලාගෙන ඉන්න විට, ඉතාම යෝග්‍ය සංගීතයක් පසුබිමෙන් වාදනය වෙද්දී මහ හඬින් විලාප නගමින් සිටි ඔහුගේ සිරුරේ කහපාට තීන්ත තට්ටු තුනක් ආලේප කරනු ලැබුවා. තීන්තවලට උඩින් වාර්නිෂ් තට්ටුවකුත් ආලේප කළා. මේ සිද්ධියෙන් හැඟීම්බර වෙලා දෑසේ නැගුණු කඳුළු ඇතිව සිටි වෛද්‍යවරයා කිව්වේ මේ තරම් හොඳින් වෙන කිසිවෙකුගේ සිරුරේ තමන් තීන්ත ආලේප නොකළ බවයි.
මාස දෙකකට විතර පස්සේ දවසක ගිලන් මැස්සක් මත තබාගෙන අර තරුණයා වෛද්‍යවරයාගේ නිවෙසට රැගෙන එනු ලැබුවා.
නිවෙසේ දොර විවෘත වූ ගමන්ම ඔහු කෑ ගැසුවා. “ මොකක්ද මේකෙ තේරුම ? මේ තීන්ත ගෑවාම ජීවිතයේ අතුරු ආන්තරාවලින් මාව ආරක්ෂා වෙනවා කියලා නේද කිවුවේ? මගේ යාලුවා යටවුණු කරත්තෙටම මාව අහු වුණා. බලන්න මගේ කකුල කැඩිලා.”
“අපොයි”, වෛද්‍යවරයා විස්සෝප වුණා. “මේක බොහෝම කනගාටුවට කාරණයක්. ඒත් මං හිතනවා මගේ තීන්තවල ක්‍රියාකාරිත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනෑ කියලා. ශරීරයේ අස්ථියක් බිඳෙනවා කියන එක මහ විශාල දෙයක් නෙවෙයි මොකද ඊට වඩා භයානක දේවල් තිබෙන නිසා. අනෙක මගේ තීන්තෙන් ආවරණය වෙන ආන්තරා ගොන්නට මේ හදිසි අනතුර වැටෙන්නේ නෑ. ඉලන්දාරියා, පාපය තමයි ප්‍රඥාවන්ත මිනිහෙක් තේරුම් අරගෙන පාලනය කළයුතු එකම විපත්තිය. මෙන්න මේ පාපයට ඔරොත්තු දෙන්න තමයි මම ඔබ සූදානම් කරලා තිබෙන්නේ. ඔබ පාපයට පෙළඹුණු දවසට ඇවිත් මට මගේ තීන්ත ගැන පැමිණිලි කරන්න.”
“ඔහෝ ! මට ඒක හරියට තේරුණේ නෑ. ඒත් ඒකෙන් මගේ බලාපොරොත්තු කඩ වුණා. නමුත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇතිනේ. ඒකට කමක් නෑ. ඔබට පුළුවන් නම් මේ කකුල හදලා දෙන්න මම ස්තූතිවන්ත වෙනවා.” තරුණයා කිවුවා.
“ඒක මගේ වැඩක් නෙවෙයි.” වෛද්‍යවරයා කිවුවා. “ඒත් ඔබගේ ඔය අතවැසියන්ට පුළුවන් නම් ඔය වංගුවෙන් එහා ඉන්න ශල්‍ය වෛද්‍යවරයා ළඟට ඔබව ඔසවාගෙන යන්න ඔහුට පුළුවන් වෙයි ඔබට සහනයක් සලසන්න.”
****
අවුරුදු තුනකට විතර පස්සේ දවසක අර තරුණයා බොහෝම කැළඹීමෙන් වෛද්‍යවරයාගේ නිවෙසට දුවගෙන ආවා. “මොකක්ද මේකෙ තේරුම ?” ඔහු කෑ ගැසුවා. “පාපයේ බැඳීමෙන් නිදහස් වෙන්නයි මට උවමනා කළේ. ඒත් මම හොර අත්සන් ගැහුවා. ගෙවල් ගිනි තිබ්බා. මිනීමැරුවා. ඒ සියලුම පවු කළා.”
“අපොයි !,” වෛද්‍යවරයා කිවුවා. “මේක බොහොම බරපතළ කාරණයක්. ඉක්මනට ඔය ඇඳුම් ගලවන්න.” තරුණයා ඇඳුම් ගැලවූ පසු වෛද්‍යවරයා ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා පරීක්ෂා කර බැලුවා. “ නෑ ! එකම එක තීන්ත පතුරක්වත් ගැලවිලා නෑ,” වෛද්‍යවරයා මහත් සැනසීමකින් කෑ ගැසුවා. “ඉලන්දාරියා, සතුටු වෙන්න. ඔබේ තීන්ත මේ දැන් ගෑවා වගේ අලුත්.”
“දෙවි හාමුදුරුවනේ ! ඒත් එහෙනම් ඒකෙන් ඇති පලේ මොකක්ද ?” තරුණයා කෑ ගැසුවා.
“මං හිතනවා මගේ තීන්තවල ක්‍රියාකාරිත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනෑ කියලා.” වෛද්‍යවරයා කිවුවා. “ඇත්තෙන්ම මේ තීන්තෙන් පාපයෙහි ගැලීම වලක්වන්නේ නෑ. පාපය නිසා හටගන්නා විඳවීමේ බරපතළකම අඩුකරනවා විතරයි. තීන්තෙ බලපෑම මේ ලෝකයට වඩා වැඩි පර ලෝකයටයි. මේ තීන්ත ජීවිතයට විරුද්ධව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මරණයට විරුද්ධවයි. කෙටියෙන් කියනවා නම් මරණයට ඔරොත්තු දෙන විදියටයි මා ඔබ සූදානම් කරලා තිබෙන්නේ. ඔබ මියයන්නට ආසන්න වුණු දවසට ඇවිත් මට මගේ තීන්ත ගැන පැමිණිලි කරන්න.”
“ඔහෝ ! මට ඒක හරියට තේරුණේ නෑ. ඒත් ඒකෙන් මගේ බලාපොරොත්තු කඩ වුණා. නමුත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇතිනේ. ඒකට කමක් නෑ. ඔබට පුළුවන් නම් මම අහිංසක මිනිසුන්ට කරපු අපරාධ ආපස්සට හරවන්න මට උදව් කරන්න.” තරුණයා කිවුවා.
“ඒක මගේ වැඩක් නෙවෙයි.” වෛද්‍යවරයා කිවුවා. “ඒත් ඔබට පුළුවන් නම් ඔය වංගුවෙන් එහා පැත්තෙ තිබෙන පොලීසියට යන්න මට විස්වාසයි ඔබට නීතියට යටත් වන්න එතැනින් සහයක් ලැබෙයි කියලා.”
****
සති හයකට පමණ පසු වෛද්‍යවරයා නගරයේ බන්ධනාගාරය වෙත කැඳවනු ලැබුවා.
“මොකක්ද මේකෙ තේරුම ?” තරුණයා හඬා වැටුණා. “මම ඔබේ තීන්තෙන් මුළු ශරීරයම ආලේප කර ගත්තා. ඒත් මගේ කකුල කැඩුණා. ලෝකයේ තිබෙන සියලු අපරාධ කළා. දැන් මා හෙට එල්ලා මරන්නයි යන්නේ. මා කොතරම් විශාල බයකින් ඉන්නවාද කිව්වොත් ඒ බය විස්තර කරන්න මා ගාව වචන නෑ”.
“අපොයි,” වෛද්‍යවරයා කීවා. “මේක බොහෝම පුදුම දෙයක්. හොඳයි ඒ වුණාට මා මෙහෙම කියනවා. "ඔබේ සිරුරේ තීන්ත ආලේප කරලා නොතිබුණානම් ඔබට දැනෙන ඔය බය ඔය වගේ දෙතුන් ගුණයකින් වැඩි වී දැනෙන්නට ඉඩ තිබුණා."
-රොබට් ලුවී ස්ටීවන්සන් (1850-1894)
කිසිම හරයක් නැති මෝඩ ක්‍රිස්තියානි චින්තනයටම ගැලපෙන කතාවක්
ReplyDeleteචින්තනය මොකක් උනත් කතාව හොදයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ චින්තනේට ආගමේ වෙනසක් නෑ. හැම ආගමකින්ම කරන්නෙ තීන්ත ආලේප කිරිල්ලක් තමයි.
ReplyDeleteකොහොමද මේක අලගියමුල්ලේ සුමනසාර වගේ නමක් තියෙන කෙනෙක් ලියල තිබුණ නම් :P
ආගම් කියන දේවල් පවතින්නෙම ඔය බිය කියන සාධකය මත. හැබැයි ඒ ගැන ලියන්න නම් ආගමෙන් ගැලවුණු චින්තනයක් උවමනායි.
හැමදාම වගේ අළුත් දෙයක් නිලුක. ජය වේවා!
කථාව ගැන නම් අනේ මන්දා... ඒත් පරිවර්තනය විශිෂ්ඨයි!!!
ReplyDeleteපරිවර්තනය නම් නියමයි.දිගටම කරගෙන යන්න සුභ පැතුම්.
ReplyDeleteඔබට බොහොම ස්තූතියි.
Delete