අන්තෝනියෝ ෆින්ච් සමග ඇති කරගත් ගැටුමකදී කොවිංග්ටන්
හිදී මරා දමනු ලැබූ හෙන්රි සේලර්, සින්සිනාටි කොමර්ෂල් පුවත්පතේ වාර්තාකරුවෙක්
විය.
1859 වසරේදී, සින්සිනාටිහි වයින් වීදියෙහි වූ හිස්
නිවෙසක් ප්‍රදේශයේ ජීවත් වූ සියලු දෙනාගේම කතා බහට ලක්වූයේ රාත්‍රී කාලයේ එහි
දකින්නට ලැබේ යැයි කියන අදභූත දර්ශන සහ ඇසෙන්නේ යැයි කියනු ලැබූ අමුතු ශබ්ද කරණ
කොට ගෙන ය. අසල්වාසී නිවෙස්වල විසූ වැදගත් යැයි සම්මත නගරවාසීන් ලබා දුන් සාක්ෂි
මෙම නිවෙසෙහි අවතාර තිබෙන්නේ යැයි යන උපකල්පනය මිස වෙන යමක් තහවුරු නොකළේය. විවිධ
අසාමාන්‍ය ලක්ෂණවලින් යුත් මිනිසුන් එම නිවෙසේ දොරෙන් ඇතුළට යනු සහ ඉන් පිටතට එනු
එළියෙහි පදික වේදිකාවේ හුන් නගරවාසීන් දැක තිබිණි. එහෙත් ඔවුන් ඇතුළු වන දොර
ඉදිරිපස වූ තණ පිටියෙහි ඔවුන් ප්‍රාදූර්භූත වන්නේ කවර අවස්ථාවකද යන්නත් ඔවුන් ඒ
දොරෙන් එළියට පැමිණි විට කවර අවස්ථාවක ඔවුන් අතුරුදන් වන්නේද යන්නත් පැවසීමට
කිසිවෙකුට නුපුළුවන් විය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් එවැනි මිනිසුන් නිවෙසට ආගිය
බව තමන් දුටු බවට කිසිවෙකු තුළ සැකයක් නුවූවද ඒ පිළිබඳව එකම මතයක් දරන දෙදෙනෙක්
නොවූහ. නිවෙසට ආ ගියේ යැයි කියනු ලැබූ මිනිසුන්ගේ හැඩ රුව ගැන සියලු දෙනාම කළ
විස්තර එකිනෙකට පරස්පර වූයේය. කුතුහලයෙන් පිරි මිනිසුන් අතරින් වඩාත්ම නිර්භීත
කිහිප දෙනෙක් නිවෙසේ දොරකොඩ රැක සිට මේ අමුතු මිනිසුන් අල්ලා ගැනීමටත් එසේ නොහැකි
වුවහොත් ඔවුන් දෙස ඉතා ළඟින් සිට බලා ගැනීමටත් දින කිහිපයක්ම යත්න දැරූහ. මෙම දිරිමත්
මිනිසුන් සියලු දෙනාගේම සාමූහික ශක්තිය යොදාවත් නිවෙසේ දොර හැර ගැනීමට නොහැකි වූ
බවත් යම් නොපෙනෙන බලවේගයක් විසින් ඔවුන් දොරකොඩින් ඔසවා වීසි කරනු ලැබ බරපතළ තුවාල
පැමිණ වූ බවත් ඉන් ටික වේලාවකට පසුව යම් අවතාරමය අමුත්තකු ඇතුළට ගැනීමට හෝ බැහැරට
යැවීමට දොර ඉබේම මෙන් විවෘත වූ බවත් කියැවිණි. මෙම නිවෙස රොස්කෝ නිවෙස නමින්
හැඳින්විණි. එම නමින් යුතු පවුලක් වසර කිහිපයක් එහි වාසය කළ අතර ඉන් පසුව එම
පවුලෙහි සාමාජිකයෝ එකිනෙකා අතුරුදන් වන්නට පටන් ගත්හ. අවසානයට අතුරුදන් වූයේ මහලු
කාන්තාවකි. නිවෙස තුළ වූ දරුණු අපරාධ සහ මිනීමැරුම් කිහිපයක් පිළිබඳව කට කතා
රැසක්ම එකල පැතිරුණු මුත් කිසි දිනෙක ඒවා සත්‍ය යැයි ඔප්පු වූයේ නැත.
මේ නිවෙස පිළිබඳ හාහෝව පැවති කාලයේ දිනක සින්සිනාටි
කොමර්ෂල් පුවත්පතේ කාර්යාලයට පැමිණි හෙන්රි සේලර්ට කර්තෘවරයා විසින් එවන ලද කුඩා
සටහනක් ලැබිණි. එහි මෙසේ සඳහන් විය: "වයින්
වීදියේ ඇති අවතාර නිවෙසට ගොස් එහි තනිවම රැයක් පහන් කරන්න. වාර්තා කිරීමට තරම්
දෙයක් එහි සිදුවුවහොත් කොලම් දෙකක ප්‍රවෘත්තියක් ලියා මට ඉදිරිපත් කරන්න."
සේලර් සිය ප්‍රධානියාට කීකරු විය. පුවත්පතෙහි තමා කරන රැකියාව නැති කරගැනීමට ඔහුට
නුපුළුවන.
තමාගේ ගමනෙහි අරමුණ ගැන පොලිසිය දැනුවත් කළ සේලර් අඳුරු
වැටෙන්නට පෙර නිවෙසේ පසුපස වූ ජනේලයකින් ගෙට ඇතුළු විය. ගෘහ භාණ්ඩවලින් තොර දූවිලි
වැකුණු පාළු හුදෙකලා කාමර මැදින් ඇවිදගෙන ගිය හෙතෙම ඉදිරිපස කාමරයකින් ඇදගෙන ආ
පැරණි සෝපාවක් විසිත්ත කාමරයෙහි තබා ගත්තේය.
එහි හිඳගත් හෙතෙම රාත්‍රිය උදාවී අඳුර පැතිරෙන සැටි බලා සිටින්නට විය.
සම්පූර්ණයෙන් අඳුරු වැටෙන්නට ප්‍රථම කුතුහලයෙන් පිරුණු මිනිස්සු කණ්ඩායම බැහැර වූ
වීදියෙහි රැස් වී සිටියහ. රීතියක් ලෙස ඔවුහු නිහඬවද අපේක්ෂා සහගතවද සිටියහ. එහෙත් ඉඳහිට
ඔවුන් අතර වූ ඇතැමෙක් නිවෙසෙහි සිටින්නේ යැයි කියන අවතාර ගැන සමච්චල් සහගතවද ඇසැබි
වදනින් යුතුවද යමක් කීහ. නිවෙස තුළ චින්තාපරව සිටින නිරීක්ෂකයා ගැන කිසිවෙක්
නොදත්හ. ඔහු එළියක් දැල්වීමට බිය විය. තිර රෙදිවලින් තොර ජනේල ඔහු ඇතුළත සිටින බව
එළියේ සිටින අයට දන්වනු ඇත. එය ඔහු අවමානයටත් බොහෝවිට අනතුරකටත් පත් කරනු
නොඅනුමානය. තවද තමාගේ සිතෙහි ඇති අධිෂ්ඨාන ශක්තිය දුර්වල නොකිරීමට තරම් ඔහු
සුපරික්ෂාකාරී වූ අතර නිවෙස තුළ ගුප්ත සිදුවීම් සිදුවන්නේයැයි කියන ස්වාභාවික
තත්ත්වයන් මොනයම් ආකාරයකින් හෝ වෙනස් කිරීමට හෙතෙම මැළි විය.
දැන් බැහැර සම්පූර්ණයෙන්ම අන්ධකාර වුවද වීදියේ සිට
පැමිණි එළියෙන් ඔහු සිටින කාමරයේ කොටසක් ආලෝකවත් විය. ඔහු නිවෙස අභ්‍යන්තරයෙහි වූ
උඩුමහලෙහි සහ බිම්මහලෙහි සෑම කාමරයකම දොරවල් විවෘත කොට තිබූ අතර නිවෙසෙන් එළියට
යන දොරවල් සියල්ලම ඇතුළතින් අගුළු දමා හොඳින් වසා තිබිණි. හදිසියේම බැහැර වීදියෙහි
සිටින කණ්ඩායම නැගූ විස්මපත් හඬ අසා ඔහු ජනේලය අසළට ගොස් ඉන් පිටත බැලුවේය.
මිදුලෙහි වූ තණ පිටිය හරහා නිවෙස වෙත වේගයෙන් ඇවිද එන මිනිසෙකුගේ රුවක් ඔහුට
පෙනිණි. ඒ රුව දොරකොඩ පියගැටපෙළ නගිනුද ඔහු බලා සිටියේය. එහෙත් ජනේලය පසෙකින්
වූ බිත්තියෙහි නෙරුමක් හේතු කොට ගෙන ඒ රුව ඔහුගේ දර්ශන පථයෙන් වැසිණි. නිවෙසේ
ප්‍රධාන දොර විවෘත කොට නැවත වසන්නාක් මෙන් වූ හඬද ඉක්මන් බරැති අඩි තබමින්
කිසිවෙකු කොරිඩෝරය ඔස්සේ ඇවිදගෙන ගොස් උඩුමහලට නගින හඬද ඔහුට ඇසිණි. ඔහුගේ හිසට
කෙලින්ම උඩින් වූ අධ්‍යයනාගාරයෙහි පලස් නොඑලන ලද පොළොවෙහි එම අඩි තබන හඬ ඉන්
අනතුරුව ඔහුට ඇසිණි.
සැණෙකින් සිය පිස්තෝලය ඇද ගත් සේලර් අඳුරෙහි අතපත ගාමින්
තරප්පු පෙළ නැග වීදියේ සිට පැමිණි මඳ එළියෙන් යන්තමින් ආලෝකවත් වී තිබූ අධ්‍යයනාගාරයට
ඇතුළු විය. එහි කිසිවෙක් නොවීය. යාබද කාමරයකින් අඩි තබන හඬ ශ්‍රවණය කළ හෙතෙම එහි
ඇතුළු වූයේය. කාමරය අඳුරුද නිශ්චලද විය. ඔහුගේ පය යමක හැපිණි. බිම දණ ගැසූ හෙතෙම
සිය පයෙහි හැපුණු වස්තුව මත දෑත තැබීය. එය මිනිස් හිසක් විය- හරියටම කියන්නේ නම්
එය ගැහැනියකගේ හිසක් විය. හිසෙහි කෙස්වැටියෙන් එය ඔසවා ගත් මේ නිර්භය මිනිසා එය
පහත මාලයෙහි අඩක් ආලෝකවත් වූ කාමරය වෙත රැගෙන ගොස් ජනේලය අසළට වී එය හොඳින්
පරීක්ෂා කර බලන්නට පටන් ගත්තේය. මේ කාර්යයෙහි යෙදී හුන් ඔහුට නිවෙසේ ප්‍රධාන දොර
කිහිප වතාවක්ම වේගයෙන් ඇරෙනු හා වැසෙනුද තමා වටා කිහිප දෙනෙකු ඇවිදින අඩි ශබ්දයද
යාන්තමින් මෙන් ඇසිණි. තමා අතෙහි වූ අවතාරමය වස්තුවෙන් හිස ඔසවා බැලූ ඔහුට තමා
යාන්තමින් දෘශ්‍යමාන වූ පිරිමින් සහ ගැහැනුන් විශාල සංඛ්‍යාවක් මැද සිටගෙන සිටින
සැටි පෙනිණි. මුළු කාමරයම ඔවුන්ගෙන් පිරී ගොස්ය. වීදියේ සිටි මිනිසුන් නිවෙසෙහි
දොර කඩා ගෙන ඇතුළු වී ඇතැයි ඔහුට සිතිණි.
"නෝනාවරුනි, මහත්වරුනි", ඔහු ශාන්ත ස්වරයකින්
කතා කළේය. "ඔබ මා දකින්නේ ඉතා සැක කටයුතු තත්ත්වයක් යටතේ. ඒත්......" ඔහුගේ
හඬ කාමරය සිසාරා නැගුණු මහා හිනා හඬවල්වලින් යටපත් වී ගියේය. ඒවා මානසික රෝහල්වලදී
ඇසෙන වියරු සිනා හඬවල්වලට සමාන විය. ඔහු වටා වූ මිනිස්සු ඔහු අත වූ මිනිස් හිස
දෙසට ඇඟිලි දිගු කරන්නට වූහ. ඔහු මිනිස් හිස බිමට අතහැරියේය. එය බිම දිගේ රෝල් වී
ගොස් මිනිසුන්ගේ දෙපා අතරින් පෙරළී යත්ම ඔවුන්ගේ විනෝදය තවත් වැඩි විය. විකාරරූපී
අභිනයන් දක්වමින්ද විස්තර කළ නොහැකි තරමේ ග්‍රාම්‍ය අශ්ලීලබවක් පාමින්ද ඔවුහු එම
හිස වටා රංගනයේ යෙදුණහ. කාමරයේ
බිත්තියෙන් බිත්තියට වදින තෙක් ඔවුහු ඊට පයින් ගැසූහ. ඊට පයින් ගසන්නට කරන
අරගලයේදී ඔවුහු එකිනෙකා තල්ලු කර ගත්හ. බිමට පෙරළා දැමූහ. ශාප කරමින් හැවිලි
හැවූහ. නොසරුප් ගීත ගායනා කළහ. පහර කෑමට ලක් වූ මිනිස් හිස භීතියට පත්ව පළා යන්නට
තැත් කරන්නාක් මෙන් ඔබ මොබ වීසි විය. අවසානයේදී එය කාමරයෙන් එළියේ වූ ශාලාවට වීසි
වී ගියේය. පිරිස මහත් වූ කලබලයකින් යුතුව ඒ පස්සෙන් දිවූහ. ඒ මොහොතේ කාමරයේ දොර
තියුණු හඬක් නගමින් වැසී ගියේය. සේලර් අත්‍යන්ත නිශ්ශබ්දතාවක හුදෙකලා විය.
මෙතෙක් වේලා සිය අතෙහි තබා ගෙන හුන් පිස්තෝලය ප්‍රවේශමෙන්
පසෙක තැබූ ඔහු ජනේලයක් අසළට ගොස් පිටත බැලීය. වීදිය පාලුවට ගොස් තිබුණු අතර නිහඬබව
පැතිරිණි. වීදි ලාම්පු නිවී ගොස්ය.
වහලවල්වල සහ චිමිනිවල බාහිර රේඛා නැගෙනහිර අහසේ නැගුණු අරුණලු පසුබිමෙහි
තියුණු ලෙස කැපී පෙනිණි. ඔහු නිවෙසේ දොර හැරගෙන එළියට බැස්සේය. දොර ඉතා පහසුවෙන්
ඇරිණි. ඔහු පුවත්පත් කාර්යාලය වෙත ඇවිදගෙන ගියේය. කතුවරයා තවමත් කාර්යාලයේ විය.
ඔහු හුන්නේ නිදාගෙනය. කතුවරයා වෙත ගිය සේලර් කතා කළේය. "මං අර හොල්මන් ගෙදරට
ගියා."
සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදි නුවූවාක් මෙන් කතුවරයා හිස්
බැල්මකින් බලා සිටියේය. "දෙයියෝ සාක්කි ඔය සේලර්ද ? "
"ඔව්-- මං තමයි. ඇයි එහෙම අහන්නේ ? " කතුවරයා
ඊට පිළිතුරක් නොදුන්නේය. ඔහු සේලර් දෙස නෙත් අයා ගෙන බලා සිටියා පමණි.
"මං ඒ ගෙදර රැයක් ගත කළා--මං හිතන්නේ, " සේලර්
කීවේය.
"මිනිස්සු කිව්වා ඊයේ රෑ ඒ ගෙදර අසාමාන්‍ය විදියට
නිශ්ශබ්දව තිබුණා කියලා", කතුවරයා කීවේ මේසය මත තිබුණු කඩදාසි බර තබනයක් දෙස
නෙත් යොමු කරමිනි. "මොනවා හරි දෙයක් රෑ සිද්ධ වුණාද ? "
" නෑ. මොනවත්ම සිද්ධ වුණේ නෑ. "
-ඇම්බ්‍රෝස් බියර්ස් (1842-1914 ?)
මෙහි අවසානය මට තේරෙන්නෙ නෑනෙ යාලුවා.. සේලර්වත් හොල්මනක් වෙනවද?
ReplyDeletevery interesting. It was so strong to attract the reader from curiosity
ReplyDelete