දෙණිපෙත මධ්‍යයේ සිටගෙන
නොතකමින් කිසිවෙකුත් අමතන
ඈ මට හමුවූයේ ඉදින්
අහඹුවකින් නම් නොවේ
‘නගිනු මැන අර කන්දට
හිමවන් සුදෝ සුදු පැහැති
සුසිනිඳු සියුමැලි කුසුම්
නෙලාගෙන දෙනු මැන මට
නොයනා බැවින් මා කිසිදින
දෙණිපෙතෙන් ඔබ්බට'
කීවාය ඇය මා හට
නැග්ගෙමි ඉදින් මම කන්දට
සොයා නෙක සුදු පැහැති කුසුමන්
ඇවිද්දෙමි ගිරිකුළු අතර
විටෙක අවදිවද, විටෙක නිදිබරවද
නෙලූ කුසුමන් රැගෙන
පැමිණියෙමි මම පහළට
සිටියාය ඇය දෙණිපෙත
මධ්‍යයේ සිටගෙන
උමතු වූවෙකු ලෙසින් මම
විසිරුවෙමි ඈ මත
මා නෙලාගෙන ආ
සුදෝසුදු කුසුම් රැස
හැරීවත් නොබලා මා නෙලූ කුසුම් දෙස
මා හට කීවාය ඈ යළිත් මේ ලෙස
‘නොඇවැසිය මා හට සුදු පැහැති මේ කුසුම්
නෙලා ගෙනැවිත් දෙන්න රතුම රතු පාට මල්'
මම යළිත් දණින් හෙව
ගිරිදුර්ග පසුකරමි
රතු පැහැයෙන් පිපී
යළි මිලින වී යන
උමතුවෙහි රත් කුසුම්
සොය සොයා මග ගෙවමි
-ගේබ්‍රියෙලා මිස්ට්‍රල් (1889-1957)
No comments:
Post a Comment