2013/02/10

නිළියන් තේරීමේ පරීක්ෂණය- අල්බෙර්තෝ මොරාවියා



අප දෙදෙනාගේ රැකියාවල් එකිනෙකට බොහෝ වෙනස් වුවද සෙරෆිනෝ සහ මම මිතුරෝ වෙමු; ඔහු කර්මාන්තශාලා හිමිකරුවෙකුගේ රියැදුරාය. මම චිත්‍රපටි කැමරාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වෙමි. බාහිර ස්වරූපයෙන්ද අප දෙදෙනා සපුරා වෙනස්ය. ඔහුට රන්වන් කැරළි ගැසුණු හිසකේද රෝස පැහැති ළමා මුහුණක්ද වූ අතර ඔහුගේ විවෘත නිල්වන් දෙනෙත මුහුණට මනාව ගැළපිණි. අනෙක් අතට, මා කලු පැහැතිය. මට ඇත්තේ වැඩිහිටියෙකුගේ බඳු බැරෑරුම් මුහුණකි. මගේ අඳුරු දෙනෙත ගිලී ගොස් ඇත. එහෙත් සැබෑම වෙනස ඇත්තේ අප දෙදෙනාගේ චරිත දෙක අතරය. සෙරෆිනෝ උපන්ගෙයි බොරුකාරයෙකි. අනෙක් අතට, මට කෙසේවත් බොරුවක් කීමට නොහැකිය. එක් ඉරිදාවක මගේ සේවය ඔහුට අවශ්‍ය බව සෙරෆිනෝ දන්වා සිටියේය. කුමක් හෝ ලජ්ජා වන්නට වන වැඩක් සිදු වෙන්නට යන බව ඔහුගේ ස්වරයෙන් මම සැක කළෙමි. මන්ද උජාරුවෙන් කැපී පෙනෙන්නට යාමේ උමතුව කරණ කොට ගෙන සෙරෆිනෝ නිරතුරුවම අමාරුවේ වැටෙන බැවිනි. කොලොන්නා චතුරස්‍රයේ අවන්හලක් වෙත මම ඔහු හමුවීම පිණිස ගියෙමි. මොහොතකට පසුව ඔහු සිය පළමුවැනි බොරුව සමග එතැනට ආවේය. ඒ සිය හාම්පුතාට අයත් වටිනා ‘විශේෂ මාදිලියේ‘ මෝටර් රියේ නැගී පැමිණෙමිනි. ඔහුගේ හාම්පුතා රෝමයෙන් පිටත ගොස් සිටි බව මම දැන සිටියෙමි. තරමක දුර සිටම ඔහු මට අත වැනුවේ එක්තරා උද්ධච්ඡ ආකාරයකින් හරියට මෝටර් රථය ඔහුට අයත් එකක් වූවාක් මෙනි. ඉන් අනතුරුව හෙතෙම රථය ගාල් කළේය. ඔහු මා වෙතට එත්ම මම ඔහු දෙස බැලුවෙමි.  ඔහු ජේත්තුවට හැඳ පැළඳ සිටියේය. කෙටි, පටු කහ පැහැති කොඩ්රෝයි කලිසමකින්ද පිටුපසින් පැලූ කබායකින්ද ගෙල වටා ගැටගසන ලද වර්ණවත් ලේන්සුවකින්ද ඔහු සැරසී සිටියේය. යම් හේතුවක් නිසා මා තුළ පිළිකුල් සහගත් හැඟීමක් ඇතිවූ අතර ඔහු හිඳ ගන්නා විට මම යම් කර්කශ බවකින් යුතුව මෙසේ කීවෙමි. “උඹ හරියට කෝටිපතියෙක් වගේනේ.


ඔහු අවධාරණයෙන් යුතුව පිළිතුරු දුන්නේය: “අද මම කෝටිපතියෙක්.” ඔහු අදහස් කළේ කුමක්දැයි මට එකවරටම වැටහුණේ නැත. “එතකොට කාර් එක?” මම යළිත් ඇසීමි.“උඹට ලොතරැයියක්වත් ඇදුණද? ”

“ඒ ලොක්කගෙ අලුත් කාර් එක. ” ඔහු පිළිතුරු දුන්නේ ගණනකට නැතුවය. මඳ වේලාවකට ඔහු කල්පනාවේ නිමග්න විය. ඉන් අනතුරුව ඔහු කතා කළේය: “මේ අහපන් මාරියෝ. තව ටික වේලාවකින් මෙතනට ගෑනු ළමයි දෙන්නෙක් ඒවි.... උඹට පේනවනෙ මම උඹ ගැනත් හිතුවා....අපි දෙන්නට එක්කෙනා ගානේ....ඒ දෙන්නා හොඳ පවුලක ළමයි. රේල්ලු ඉංජිනේරුවෙක්ගේ දූලා.... උඹ චිත්‍රපටි නිෂ්පාදකයෙක්- තේරුණාද? වැඩේ කන්න නම් එපා.”

“එතකොට උඹ- උඹ කවුද? ”
“මම උඹට කිව්වේ- මං කෝටිපතියෙක්”

කිසිවක් නොකී මම නැගී සිටියෙමි. “මොකද උඹ ඔය කරන්නේ? උඹ යන්නද හදන්නේ? ” ඔහු භීතියෙන් ඇලලී ප්‍රශ්න කළේය.

“ඔව් මම යනවා.” මම පිළිතුරු දිනිමි. “උඹ දන්නවනෙ මම බොරු කියන්න කැමති නෑ කියලා.... මං යනවා... හොඳට විනෝද වෙයන්.”

“ඔහොම ඉඳපන්. ඔහොම ඉඳපන්.... උඹ මගේ පැලෑන අවුල් කරන්නයි යන්නේ.”
“කලබල වෙන්න එපා. මම මොනවත් අවුල් කරන්නේ නෑ.”
“පොඩ්ඩක් හිටපන්. මේ ගෑනු ළමයින්ට උඹව හම්බ වෙන්න ඕනෑ.”
“ඒත් මට ඒ අයව හම්බ වෙන්න ඕනෑ නෑ.”

කෙටියෙන් කිවහොත් ඔහු හිඳගෙනද මා ඔහු ඉදිරිපිට සිටගෙනද අපි ටික වේලාවක් වාද කළෙමු. අවසානයේදී, මා හොඳ මිතුරෙකු වූ බැවින් නැවතීමට මම එකඟ වීමි. කෙසේවුවද, මම ඔහුට අනතුරු ඇඟවීමි: “උඹේ මේ සෙල්ලම අන්තිම දක්වාම සෙල්ලම් කරනවා කියලා කියන්න මම සහතික වෙන්නේ නෑ.” එහෙත් ඔහු මා වෙත තවදුරටත් අවධානය යොමු කළේ නැත. ප්‍රීතියෙන් පිම්බෙමින් ඔහු මෙසේ කීය: “මෙන්න ඒ ගොල්ලෝ එනවා.”

මුලින්ම, හිසකේ හැරුණු විට වෙන යමක් මට නොපෙනිණි. ඔවුන් දෙදෙනාගේ හිස් මත ඝනැති, කැරළි ගැසුණු, පිම්බුණු හිසකේවලින් නිම කළ පන්දු දෙකක් තැබුවාක් මෙන් පෙනිණි. ඉන්පසුව, මේ විශාල කෙස් තොගයට යටින්, කැදැල්ලකින් එබී බලන කුරුල්ලන් දෙදෙනෙකු වැනි ඔවුන්ගේ සිහින්, උල් මුහුණු මට ඉතා අපහසුවෙන් දර්ශනය විය. සිරුරේ හැඩය ගත් කල ඔවුහු දෙදෙනාම නම්‍යශීලී, මනා, වටකුරු අඟ පසඟින්- පිරුණු ළය මඬල, මිටින් ගත හැකි ඉඟ සුඟ ආදියෙන්- යුක්ත තරුණියෝ වූහ. එකම ආකාරයකින් හැඳ පැළඳ සිටි නිසා ඔවුන් නිවුන් සොහොයුරියන්යැයි මට සිතිණි. කලු පැහැති කෙටි උඩු කබා, වර්ණවත් කොටු සහිත සායවල්, රතු පැහැති පාවහන් සහ අත් බෑග ඔවුහු හැඳ පැළඳ සිටියෝය. උත්කර්ෂවත් අයුරින් නැගී සිටි සෙරෆිනෝ අප එකිනෙකාට හඳුන්වා දුන්නේය. “මේ මගේ යාලුවා, චිත්‍රපටි නිෂ්පාදක මාරියෝ; මේ ඉරිස්, මේ මිමෝසා.”

ඔවුන් දැන් හිඳගෙන සිටි නිසා මට ඔවුන් හොඳින් දැකීමට හැකි විය. සෙරෆිනෝ ඇය වෙත දැක්වූ ප්‍රවේසම්කාරී අවධානය නිසා මට මිමෝසා ඉතිරි කරමින් ඔහු ඉරිස් තමා සඳහා වෙන්කරගෙන ඇති බව මට වැටහිණි.

ඔවුහු නිවුන් සොහොයුරියෝ නොවූහ: පැහැදිලිවම තිස් වයස් ඉක්ම වූ මිමෝසාට වඩාත් කුසගිනි පෙනුමැති මුහුණක්ද වඩා දිග නාසයක්ද වඩා විශාල මුවක්ද ඉරිස්ගේ නිකටට වඩා ඉදිරියට නෙරූ නිකටක්ද තිබිණි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් ඇය අවලස්සණ වූවාය.  අනෙක් අතට, ඉරිස් වයස විස්සක පමණ තරුණියක වූවා ඉතා මනහර වූවාය. ඔවුන් දෙදෙනාටම වූයේ ඉරිතැලුණු දෑත් බව මම නිරීක්ෂණය කළෙමි. ඒවා හොඳ පවුලක තරුණියන්ගේ දෑත්වලට වඩා වැඩ කරන පන්තියේ ගැහැනුන්ගේ දෑත්වලට සමාන විය. මේ අතර, ඔවුන්ගේ පැමිණීමත් සමගම ඉතා මුග්ධභාවයකට පත්වූයේ යැයි පෙනුණු සෙරෆිනෝ ඔවුන් සමග සාදකතා පවත්වන්නට විය: ඔවුන් දකින්නට ලැබීම කෙතරම් ප්‍රීතියක් වූයේද, ඔවුන්ගේ සම කෙතරම් දුඹුරු පැහැ ගැන්වී ඇත්ද, ගිම්හාන කාලයේ ඔවුන් නිවාඩු ගතකළේ කොහේද ?....වැනි දෑ ඔහු කියවන්නට විය.

මිමෝසා ‘වැන්..‘ යැයි කියන්නට උත්සාහ කරත්ම ඉරිස් පිළිතුරු දුන්නාය: “වියාරෙජ්ජෝවල.” අනතුරුව එකිනෙකා දෙස බලාගත් ඔවුහු හඬ නගා සිනාසෙන්නට වූහ. “ඇයි ඔයගොල්ලෝ හිනා වෙන්නේ? ” සෙරෆිනෝ ඇසීය.

“ගණන් ගන්න එපා, ” මිමෝසා කීවාය. “අපේ නංගී හරි මෝඩයි.... අපි මුලින්ම හිටියේ වැනීසියේ හෝටලයක. ඊට පස්සේ වියාරෙජ්ජෝවල. අපිට එහෙ පොඩි විලා එකක් තියෙනවා. ”

කතා කරන අතර ඇගේ බැල්ම බිමට යොමුවූයෙන් ඇය කියන්නේ බොරුවක් බව මම දැන ගතිමි. ඇය මා බඳු වූවාය: කෙනෙකුගේ මුහුණ බලාගෙන බොරුවක් කියන්නට මට නොහැකිය.

අනතුරුව ඇය ඉතා සන්සුන් ලෙස කතා කළාය: “මාරියෝ ඔයා චිත්‍රපටි නිෂ්පාදකයෙක්නේ.... සෙරෆිනෝ කිවුවා ඔයා අපිව චිත්‍රපටියක රඟපාන්න නිළියන් තෝරන පරීක්ෂණයකට තියාවි කියලා. ”

මම අන්දමන්ද වීමි. මා සෙරෆිනෝ දෙස බැලූවද හෙතෙම හිස වෙනතක හරවා ගත්තේය. “හොඳයි. ඔයා දන්නවනේ මිමෝසා නිළි පරීක්ෂණයක් කියන්නේ හරියට පොඩි චිත්‍රපටියක්ම වගේ දෙයක්. එක මොහොතක දැන්වීමකින් එහෙම පරීක්ෂණයක් තියන්න බෑ.... ඒකට අධ්‍යක්ෂවරයෙක් ඕනෑ, කැමරා ශිල්පියෙක් ඕනෑ, චිත්‍රාගාරයක් ඕනෑ.... සෙරෆිනෝට හරියට තේරෙන්නේ නෑ....ඒත් හෙට අනිද්දා දවසක නම් නොවැරදීම ඒ පරීක්ෂය තියන්න පුළුවන්.... ”

“හෙට අනිද්දා කියන්නේ කවදාවත්ම නෑ කියන එකයි. ”
“නෑ. නෑ. මං පොරොන්දු වෙනවා.... ”

“මේ බලන්න. හොඳ කරුණාවන්ත කෙනෙක් වගේ අපට නිළියන් තෝරන පරීක්ෂණයක් කරන්න. ” ඇය දැන් නොනැවතී ඇඹරෙමින්  සිටියා මගේ අතද අල්ලා ගෙන මගේ සිරුරට හේත්තු වන්නට වූවාය. නිළි පරීක්ෂණයක් ගැන කියා සෙරෆිනෝ ඇයගේ ඔලුව නරක් කොට ඇති බව වටහා ගත් මම නිළියන් තෝරන පරීක්ෂණයක් ඒ කියන සැණින් කළ නොහැක්කක් බව ඇයට පහදා දෙන්නට යළිත් උත්සාහ කළෙමි.  ඉතා දිගින් දිගට කළ කරුණු පහදා දීමෙන් පසු එය ඇයට වැටහුණු අතර මගේ අත අල්ලාගෙන සිටි ග්‍රහණය බුරුල් කළාය. සෙරෆිනෝ සමග කතා කරමින් සිටි සිය සොහොයුරියට ඇය මෙසේ කීවාය: “මං ඔයාට කිව්වනෙ මේක කතන්දරයක් විතරයි කියලා. මොකද දැන් කරන්නේ ? අපි ගෙදර යමුද ? ”

එවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුව නොසිටි ඉරිස් ඉන් අපහසුතාවට පත් වූවාය. ඇය ලජ්ජාවෙන් යුතුව කතා කරන්නට විය: “අපි මේ ගොල්ලොත් එක්ක ඉමු....අද හවස් වෙනකම්. ”

“ඔව්. සෙරෆිනෝ අයැදියේය. “අපි ඔක්කොම එකට ඉමු.... කාර් එකෙන් එළියෙ රවුමක් යමු. ”

“ඔයාට කාර් එකක් තියෙනවද? ” මිමෝසා ඇසුවේ සමාදාන වන ස්වරයකිනි.

“ඔව් අර තියෙන්නේ. ”

ඔහුගේ අතෙහි චලනය ඔස්සේ දෑස දිවවූ ඇයට මෝටර් රථය පෙනිණි. සැණෙකින් සිය ස්වරය වෙනස් කළ ඇය “එහෙමනම් යමු.... මට මේ කැෆේ එක ඇතුළෙ ඉඳගෙන ඉඳිල්ල එපා වෙනවා”යි කීවාය. අපි සියලු දෙනාම නැගී සිටියෙමු. ඉරිස් සෙරෆිනෝ සමග ඉදිරියෙන් ඇවිද ගියාය. මිමෝසා මා පසෙකින් ඇවිද ආවාය. “ඔයා තරහා නෑ නේද?.... ඒත් අපිට බොරු පොරොන්දු අහලා ඇතිවෙලා.... ඔයා මාව නිළි පරීක්ෂණයට තියනවා නේද? ”

ඉතින්, මාගේ සියලු කරුණු පැහැදිලි කරදීම්වලින් පලක් වී නොමැත. ඇයට තවමත් අවශ්‍ය වූයේ නිළියන් තෝරාගැනීමේ පරීක්ෂණයකට පෙනී සිටින්නටය. කිසිවක් නොකී මම මෝටර් රථයට ගොඩවී ඇය පසෙකින් පසුපස ආසනයේ හිඳගතිමි. සෙරෆිනෝ සහ ඉරිස් ඉදිරිපස අසුනේ හිඳ ගත්හ. “අපි කොහෙද යන්නේ? ” සෙරෆිනෝ ඇසීය.

මිමෝසා දැන්  දැන් නැවතත් මගේ අත ඇගේ අතින් අල්වා මිරිකමින් සිටියාය. පහත් හඬකින් කතා කරමින් ඇය මා පොළඹවන්නට උත්සාහ දැරුවාය. “අනේ කියන්නකෝ එයාට ස්ටුඩියෝ එකට යන්න කියලා. එතැනදී අපි පරීක්ෂණය තියමු.” දැඩි කෝපයෙන් යුතුව එක් මොහොතක් මම නිහඬව හිඳගෙන සිටියෙමි. ඉන් වාසියක් ගත් ඇය පහත් හඬකින් යළි කතා කළාය.“ ඔයා පරීක්ෂණය තිබ්බොත් මම ඔයාට හාද්දක් දෙනවා. ”

හදිසියේම මට අදහසක් පහළ විය. “අපි යමු සෙරෆිනෝගේ ගෙදර.... එයාට ලස්සණ ලොකු ගෙයක් තියෙනවා....එතැනදී මට ඔයගොල්ලන්ව වඩා හොඳට බලාගන්න පුළුවන්. එතාකොට මට කියන්න පුළුවන් ඔයාලව නිළි පරීක්ෂණයකට තියන්න පුළුවන්ද කියලත්” මම යෝජනා කළෙමි.

දවා හළු කරන බැල්මක් සෙරෆිනෝ මා වෙත හෙලූ බව මම දුටුවෙමි. හාම්පුතාගේ මෝටර් රිය තමන්ගේ යැයි ඇඟවීමට ඔහුට පුළුවන් වුවද හාම්පුතාගේ නිවෙසට කෙනෙකු රැගෙන යාමට තරම් දිරියක්  ඔහුට තවමත් නොවීය. ඊට විරෝධතාවන් පළ කරන්නට ඔහු උත්සාහ කළේය: “වාහනේ නැගලා රවුමක් යන එක වඩා හොඳ නැද්දැ”යි ඔහු ඇසුවේය. එහෙත් තරුණියෝ දෙදෙනා, විශේෂයෙන්ම මිමෝසා, තමන්ට කාරයේ නැගී රවුමක් යාමට අනවශ්‍ය බවත් නිළි පරීක්ෂණය පිළිබඳව තවදුරටත් කතා කිරීමට අවශ්‍ය බවත් තරයේ කියා සිටියෝය. ඉදින් ඔහු යටත් වූ අතර අපි නිවෙස පිහිටා තිබූ පරිඕලි දිස්ත්‍රික්කය වෙත වේගයෙන් රිය පදවාගෙන ගියෙමු. මුළු ගමන පුරාම මිමෝසා මට තුරුළුව තොඳොල් ස්වරයකින් කතා කරමින් සිටියාය. මම ඇයට ඇහුම්කන් නොදුන්නෙමි. එහෙත් මිටියකින් ඇණයකට ගසන්නාක් මෙන් ඇය පුනරුච්චාරණය කළ වචනය මගේ සවනත නිරතුරුවම වැකිණි. “නිළියන් තෝරන පරීක්ෂණය.... ඔයා මට පරීක්ෂණය තියෙනවා නේද?.... අපි පරීක්ෂණය කළොත්..... ”

සඳළුතල සහ ජනේලවලින් සුසැදි සුඛෝපභෝගී නිවාස පේළි මැදින් දිවෙන පාලු පාරවල්වලින් යුතු පරිඕලි දිස්ත්‍රික්කයට අපි ආවෙමු. කලු කිරිගරුඬ පාෂාණයෙන් තැනූ ප්‍රවේශ ශාලාවක්ද වීදුරු සහ මැහෝගනී දැවයෙන් කළ විදුලි සෝපානයක්ද සහිත ගොඩනැගිල්ලක පිහිටි, සෙරෆිනෝගේ හාම්පුතාගේ නිවෙසට අපි පැමිණියෙමු. ගොඩනැගිල්ලේ තුන්වැනි මහලට නැගුණු අපට එය අඳුරෙහි ගැලී ඇති සැටි පෙනිණි. නැප්තලීන් ගන්ධයද හුස්ම හිරකරවන බවක්ද හාත්පස පැතිරී තිබිණි. “මට සමාවෙන්න. මම ටික දවසක් ගෙදර හිටියේ නෑ. ” සෙරෆිනෝ අපට දැන්වීය.“මුළු ගෙදරම හොඳටම හැඩිවෙලා.” අපි විසිත්ත කාමරයට ඇතුළු වීමු. සෙරෆිනෝ ජනේල විවෘත කළේය. දූවිලි වැදීම වළක්වනු පිණිස රෙද්දකින් වැසූ පියානෝවක් ඉදිරිපිට තිබූ අලුවන් රෙදි වර්ගයකින් නිමකළ සෝපාවක අපි හිඳ ගතිමු. මගේ සැලසුම ක්‍රියාවට නංවමින් මම කතා කළෙමි: “අපි දෙන්නා දැන් ඔයගොල්ලන්ව හොඳින් නිරීක්ෂණය කරන්නයි යන්නේ. ඔය දෙන්නා කාමරයේ ටිකක් එහාට මෙහාට සක්මන් කරන්න....එතකොට මට පුළුවන් නිළි පරීක්ෂණය ගැන අදහසක් ගන්න. ”

“අපි කකුලුත් පෙන්නන්න ඕනෑද ? ” මිමෝසා ඇසුවාය.

“නෑ....නෑ.... කකුල් පෙන්නන්න ඕනෑ නෑ. ටිකක් එහෙ මෙහෙ ඇවිද්දම විතරක් ඇති. ”

ඔවුහු දෙදෙනා ඉතා කීකරු විලාසයකින් ඉටි ගා ඔප දැමූ ලී පොළොව මත ඔබ මොබ ඇවිදින්නට පටන් ගත්හ. විශාල කොණ්ඩාවලින් යුත් හිස්වලින්ද මනාව වැඩුණු  පුළුල් උකුල්තල සහ බඳවල්වලින්ද සිහින් ඉඟවල්වලින්ද යුත් ඔවුන් සුලලිත නොවී යැයි කිසිවෙකුට කිව නොහැකිය. එහෙත් ඔවුන්ට කැත, විශාල දෙපතුල්ද දෑත්ද වූ බව මම දිටිමි. ඔවුන්ගේ දෙපා මඳක් බකල් වූ අතර දරදඬුද හැඩයෙන් අඩුද විය. ඇත්ත වශයෙන්ම කියතහොත් ඔවුන් වනාහි චිත්‍රපටි නිෂ්පාදකයෙකු සිය චිත්‍රපටයක නිකම් ඇවිදින චරිතයකටවත් නොගන්නා ආකාරයේ තරුණියන්ය. මේ අතර ඔවුන් දෙදෙනා දිගටම කාමරයේ ඔබ මොබ සක්මන් කරන්නට වූ අතර කාමරය මැදදී එකිනෙකා හමුවූ විට සිනාසෙන්නට පටන් ගත්හ. “නවතින්න ! ඔය ඇති. වාඩිවෙන්න! ” මම කෑ ගෑවෙමි.

ඔවුහු හිඳගෙන මා දෙස විපිළිසර වූ මුහුණුවලින් යුතුව බලන්නට වූහ. “මට සමාවෙන්න” මම වියළි ලෙස කීවෙමි.“ඔයාලා හරියන්නේ නෑ.”

“ඇයි? ”

“ඇයි කියලා මම කියන්නම්. ” මම ඉතා බැරෑරුම් ලෙස පැහැදිලි කරන්නට වීමි.“මගේ චිත්‍රපටිවලට මට ඕනෑ ඔයාලා වගේ හොඳට හැදුණු, හොඳට ඉගෙනගත්ත, වැදගත් නෝනාවරුන් වගේ ගෑනු ළමයි නෙවෙයි.... මට ඕනෑ කරන්නේ වැඩ කරන පන්තියේ ගෑනු ළමයින්වයි. ඕනෑ වුණොත් කුණුහරුපයක් දෙකක් වුණත් කියන්න පුළුවන්, පිරිමින්ව කුලප්පු කරවන විදියට ඇවිදින්න පුළුවන්, වැදගත් විදියට නොහැදුණු, ශික්ෂණයක් නොලබපු ගෑනු ළමයින්වයි.... අනෙක් අතට ඔයාලා ඉන්ජිනේරුවෙක්ගේ දූවරු, වැදගත් පවුලක ළමයි....ඔයාලා වගේ අයව නෙවෙයි මම හොයන්නේ. ”

මම සෙරෆිනෝ දෙස බැලීමි. සෝපාවේ ගිලී සිටි ඔහු විමතියෙන් බලා සිටින්නට විය.“ මොනවද ඔයා ඔය කියන්නේ? ” මිමෝසා කියා සිටියාය. “අපට වැඩකරන පන්තියේ ගෑනු ළමයි විදියට රඟපාන්න පුළුවන්. හොඳයි බැරිද? ”

“බෑ, ඔයගොල්ලන්ට බෑ. සමහර දේවල් තියෙනවා, ඒවා කෙනෙක් උපතින්ම අරන් එන්න ඕනෑ. ”

කෙටි නිහඬතාවක් පැතිරිණි. මා ඇම දමා අවසන්ය. මාලුවා එය ගිලින බවට කිසිම සැකයක් නැත. හරියටම ඊට මොහොතකට පසුව මිමෝසා නැගිට ගොස් සිය සොහොයුරියගේ කනට කර යමක් කෙඳිරුවාය. ඉරිස් ඉන් සතුටු වූ බවක් නොපෙනිණි. එහෙත් පසුව ඇය ඊට කැමැති වූ බවක් පෙන්වන ඉඟියක් කළාය.ඉන්පසු මිමෝසා සිය දෑත ඉනෙහි ගසාගෙන මා වෙත පැද්දෙමින් අවුත් මගේ පපුවට පහරක් ගසා කතාකළාය:

“ඒයි මේ කොල්ලෝ, තමුසෙ දන්නවද කාටද තමුසෙ කතාකරන්නේ කියලා? ”

ඇය රූපාන්තරණයකට ලක්වී යැයි මා කිවහොත් එය අතිශයෝක්තියකි. සත්‍ය වශයෙන්ම ඒ ඇගේ සැබෑ ස්වභාවික ස්වරූපය විය. මම සිනාසෙමින් පිළිතුරු දිනිමි. “රේල්ලු ඉන්ජිනේරුවෙකුගේ දුවලා දෙන්නට ”

“වැරදියි. අපි තමයි ඔයා හොයන ජාතියේ කෙල්ලෝ. සාමාන්‍ය වැඩකරන පන්තියේ කෙල්ලෝ දෙන්නෙක්.... ඉරිස් ගෙදරක වැඩ කරනවා. මම නර්ස් කෙනෙක්.... ”

“එතකොට වියාරෙජ්ජෝවල තියෙන විලා එක? ”

“එහෙම එකක් නෑ. අපි ඔස්ටියාවල වෙරළට ගිහින් අවුව තැප්පා. ”

“ඒත් ඇයි ඔයගොල්ලෝ මෙච්චර බොරු ගොඩක් කිව්වේ? ”

ඉරිස් බොළඳ ලෙස පිළිතුරු දුන්නාය: “මට බොරු කියන්න ඕනෑ වුණේ නෑ....ඒත් මිමෝසා කියනවා මිනිස්සුන්ගේ ඇහැට වැලි ගහන්න ඉගෙන ගන්න ඕනෑ කියලා. ”

“කොහොමවුණත්, අපි බොරු නොකිව්වානම් සෙරෆිනෝ අපව ඔයාට අඳුන්වලා දෙන්නේ නෑ. ” මිමෝසා ගණනකට නැතුව කීවාය. “ඉතින් ඒකෙන් අපේ කාරණේ ඉෂ්ට වුණා....ඉතින් එතකොට අර නිළියන් තෝරන පරීක්ෂණය කොහොමද කරන්නේ? ”

“ඒක අපි දැනටමත් කරලා ඉවරයි. ” මම සිනාසෙමින් කීවෙමි.“ ඒකෙන් පෙනුණා ඔය දෙන්නා වැඩකරන පන්තියේ හොඳ ගෑනු ළමයි දෙන්නෙක් කියලා.... අනෙක බොරුවට බොරුවක්: මම චිත්‍රපටි නිෂ්පාදකයෙක් නෙවෙයි. සාමාන්‍ය කැමරාකාරයෙක් සහ ඡායාරූප ශිල්පියෙක්....මේ වැදගත් මහත්තයෙක් වගේ පෙන්වන සෙරෆිනෝ ඩ්‍රයිවර් කෙනෙක්. ”

ඒ ප්‍රහාරය මිමෝසා ඉතා ප්‍රශස්ත ලෙස ඉවසා දරා ගත් බව මා පිළිගත යුතුය. “හොඳයි, හොඳයි, මෙහෙම දෙයක් වෙයි කියලා මට නිකමට වගේ හිතුණා. ” ඇය ශෝකයෙන් යුතුව කීවාය. “අපට කාර් එකක් තියෙන මිනිහෙක් හම්බ වුණොත් ඒ මිනිහා ඩ්‍රයිවර් කෙනෙක්. අපේ අවාසනාව.... අපි යමු ඉරිස්. ”

අවසානයේදී සෙරෆිනෝ නැගී සිටියේය. “ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔයාලා කොහේද යන්නේ? ” ඔහු ඇසීය.

“අපි යන්න යනවා, බොරුකාරයා”

එකවරම මට ඔවුන් කෙරෙහි කනගාටුවක් ඇතිවිය. විශේෂයෙන්ම, ඉතා සුන්දර වූද, මේ සිද්ධියෙන් දැඩි සිත් පීඩාවකට පත්වූ බව පෙනුණුද දෑසෙහි කඳුළු පුරවාගත් ඉරිස් ගැන මට දුක සිතිණි.

“මේ අහන්න. අපි හතර දෙනාම බොරු කිව්වා. ඒත් මම යෝජනා කරනවා වෙච්ච දේවල් අමතක කරල දාලා අපි කට්ටියම චිත්‍රපටියක් බලන්න යමු කියලා. ” මම යෝජනා කළෙමි.

ඉන් අනතුරුව සාකච්ඡාවක් පැවැත්විණි. ඉරිස්ට ආරාධනාව භාර ගැනීමට අවශ්‍ය විය. තවමත් තරහින් සිටි මිමෝසා ඊට කැමති නොවූවාය. හිස බිමට බරකරගෙන හුන් සෙරෆිනෝට කතාකිරීමට තරම් දිරියක් නොවීය. එහෙත් අවසානයේදී මෙසේ කියමින් මිමෝසා පොළඹවා ගැනීමට මම සමත් වීමි.

“මම චිත්‍රපටි කැමරාකාරයෙක්. නිෂ්පාදකයෙක් නෙවෙයි....ඒත් මට පුළුවන් ඉරිස්ව මම දන්න සහය අධ්‍යක්ෂ කෙනෙකුට අඳුන්නලා දෙන්න....ඒක ලොකු රෙකමදාරුවක් නෙවෙයි. ඒත් මොනවත්ම නැතුවට වඩා ඒක හොඳයි. ඔයාට ඒකෙන් වැඩක් වෙන එකක් නෑ. ඒත් ඉරිස්ට නම් මොනවා හරි කරලා දෙන්න පුළුවන් වෙයි.”

ඉදින්, අපි චිත්‍රපටියක් බැලීමට ගියෙමු. ඒ බසයේ නැගී මිස මෝටර් රියේ නැගී නොවේ. රියැදුරෙකුත්, බොරුකාරයෙකුත් වීම පසෙක ලා සෙරෆිනෝට කැමති වූ ඉරිස් සිනමා ශාලාවේදී ඔහුට තුරුළුව සිටියාය. අනෙක් අතට මිමෝසා නිහඬව වෙනතක් බලාගෙන සිටියාය. විවේක කාලයේදී ඕ මට මෙසේ කීවාය:

“මම ඉරිස්ට හරියට අම්මා කෙනෙක් වගෙයි.... එයා ලස්සණ ගෑනු ළමයෙක්. එහෙම නේද? දැන් හොඳට මතක තියාගන්න. ඔයා පොරොන්දුවක් වුණා. ඒක ඉෂ්ට කරන්න ඕනෑ....එහෙම නොකළොත් ඒක යක්ෂයා බලා ගනීවි.”

“පොරොන්දුවක් දීලා ඒක ඉෂ්ට කරන්නේ බයගුල්ලෝ විතරයි.” මම විහිළුවක ස්වරයෙන් කීවෙමි.

“ඔයා පොරොන්දුවක් වුණා. ඔයා ඒක ඉෂ්ට කරනවා. ඉරිස්ව සිනමා නිළි සම්මුඛ පරීක්ෂණයකට තියන්න ඕනෑ. ඔව් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ.”









අල්බෙර්තෝ මොරාවියා (1907-1990)


15 comments:

  1. නියමයි, දිගටම හොඳ පරිවර්තන කරන්න,
    මම කාලෙකට පස්සේ පරිවර්තන කිහිපයක් කියෙව්වේ අද.

    ReplyDelete
  2. සිංහල බ්ලොග් අවකාශයේ තවත් අඩුවක් පිරවීමක් වගෙයි මට හැගෙන්නේ.
    අනිවාර්යයෙන් ගොඩක් ජනප්‍රිය වෙන බ්ලොග් එකක්.
    ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. @ දූපත් වැසියා

      ඔබගේ දිරිගැන්වීමට ස්තුතියි.

      Delete
  3. මේකනම් නියමයි...!

    ReplyDelete
  4. ලස්සනයි!

    ReplyDelete
  5. Thanks! thawa mewage eva danna.

    ReplyDelete
  6. දිගටම මේ වගේ දේවල් ලියන්න මචන්..
    අසාවෙන් බලනවා...

    ReplyDelete
  7. මොකෝ උනේ එක ළඟම රසවත් නිර්මාණ දෙකක්ම..
    ඔබට පින්... වෙන කුමක් කියන්නද....?

    ReplyDelete
  8. Ela machan, keep it up..

    ReplyDelete
  9. තව ටිකක් ෙජ්ද ෙවන් කිරීම පහසුෙවන් කියවිය හැකි ෙලස සැකසිම කලා නං ෙහාදයි.. දිගටම කියන්න හිතනවා ෙහට...

    ReplyDelete

සෙවුම්