*චිත්‍රය:- තින්තොරෙත්තෝ*
සාක්ෂි පෙන්වා
දෙන පරිදි, මිනීමැරුම සිදුකොට ඇත්තේ මේ ආකාරයටය:
මිනීමැරුම සිදු
කළ ෂමර්, එක් සඳ පහන් රැයක නවයේ කණිසමට පමණ, මරණයට ලක්වූ වෙසේ සිය කාර්යාලයෙන් පිටව
ගොස් තම නිවෙස පිහිට වීදියට හැරෙන මුල්ලෙහි ස්ථානගත වූයේය.
රාත්‍රී වාතය
දැඩි ශීතයෙන් යුතු විය. එහෙත් ෂමර් හැඳ සිටියේ නිල් පැහැති තුනී ඇඳුම් කට්ටලයක්
පමණි; ඔහුගේ කබායේ බොත්තම් පියවා තිබුණේද නැත. එහෙත් ඔහුට ශීතල නොදැනිණි. අනෙක,
ඔහු සිටියේ නිරන්තරයෙන් ඔබ මොබ ඇවිදිමිනි. අඩක් බයිනෙත්තු තුඩක්ද අඩක් කුස්සි
පිහියක්ද වූ ඔහුගේ ආයුධය හෙතෙම තද කොට අල්ලාගෙන සිටි අතර එය ආවරණය කොට නොතිබිණි.
ඔහු පිහිය සඳ එළියට අල්ලා බැලුවේය; පිහිතලය දිලිසිණි; එහෙත් ෂමර්ට ඒ මදිය.
ගිනිපුළිඟු පිටවන තෙක් හෙතෙම පදික වේදිකාවේ ගල්වලට ඉන් පහර දුන්නේය. ඇතැම්විට ඉන්
පිහියට වූ හානිය ගැන පසුතැවිලි වූවාක් මෙන් හෙතෙම තනි කකුලෙන් සිටගෙන ඉදිරියට නැවී
පිහිය වයලීන අලුවක් මෙන් අල්ලාගෙන සිය බූට් සපත්තු අඩියේ එය අතුල්ලන්ට වූ අතර
පිහිය බූට් සපත්තුවේ ගෑවෙන හඬටත් දෛවෝපගත හරස්වීදිය දෙසින් නැගිය හැකි ඕනෑම
ශබ්දයකටත් සවන් දෙන්නට විය.
ඒ අසල පිහිටි
ගොඩනැගිල්ලක දෙවැනි මහලෙහි වූ සිය නිවෙසේ
ජනේලයකින් මේ සියල්ල දෙස බලාගෙන සිටි පල්ලාස් නම් සාමාන්‍ය පුරවැසියා එම
මිනීමැරුම සිදුවීමට ඉඩ හැරියේ මන්ද ? මිනිස් ස්වභාවයේ සැටි බලන්න ! කමිස කොලරය උඩට
ඔසවා ගෙල වසාගෙන, සිය රාත්‍රී ඇඳුම ස්ථුල ශරීරයෙහි ඔතාගෙන, හිස දෙපසට වනමින් ඔහු
පහළ බලාගෙන සිටියේය.
ඊට ගෙවල් පහකට
එහා, වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිය රාත්‍රී ඇඳුමට උඩින් ලොම් කබායක්
හැඳගත් වෙසේ මහත්මිය අද රෑ සිය සැමියා වෙනදා නැති පරිද්දෙන් සුනංගු වන්නේ මන්දැයි
බැලීමට නිවෙසෙන් එළියට එබී බැලුවාය.
අවසානයේදී වෙසේගේ
කාර්යාලයේ දොරට උඩින් එල්ලා ඇති, දොර සීනුවකට නොගැලපෙන තරමේ විශාල හඬක් පිටකරන
සීනුව නගරය හා ඊට උඩින් ඇති අහස සිසාරා සිය හඬ පතුරවමින් නාද විය. වෙසේ නමැති
උද්යෝගිමත් රාත්‍රී සේවකයා ගොඩනැගිල්ලෙන් එළියට බටුයේය. ඔහු තවමත් වීදියේ දකින්නට
නොවූ අතර ඔහුගේ පැමිණීම දැනුම් දෙන ලද්දේ සීනුහඬින් පමණි. එකෙණෙහිම, පදික වේදිකාව
මත ගැටෙන ඔහුගේ සන්සුන් පියවර හඬ ඇසෙන්නට විය.
පල්ලාස් තවත්
ඉදිරියට නැඹුරු විය. තමා ඉදිරිපිට සිදුවන්නට යන සිද්ධියේ කිසිවක් මග හැරෙනවාට කැමැති
වූයේ ඔහු නොවේ. සීනු හඬ ශ්‍රවණය කළ වෙසේ මහත්මිය සැනසීමට පත් වූවා හඬ නගා ජනේලය
වසා දැම්මාය. එහෙත් ෂමර් දණ ගසා ගත්තේය.
ඔහුගේ සිරුරේ වෙනත් නිරාවරණය වූ ස්ථාන නොවූයෙන් හෙතෙම සිය මුහුණත් දෙඅත්ලත්
පදික වේදිකාවට තබා තද කළේය. සෑම දෙයක්ම මිදී යන ශීතයේ, ෂමර් පමණක් ගිනියම් වී
හුන්නේය. වීදි දෙක දෙපසට බෙදෙන මුල්ලේ වෙසේ මදකට නතර වූයේය. හදිසි ආසාවක් ඔහු තුළ ජනිත විය. අඳුරු
නිල්පැහැයෙන් හා රන්වන් පැහැයෙන් සුසැදි රෑ අඹර ඔහුට ඇරයුම් කළේය. කිසිවක් නොදැන
ඔහු හිස නගා ඒ දෙස බලා සිටි අතර කිසිවක් නොදැන සිය හිස්වැසුම ඔසවා හිසකේ අතගෑවේය.
ඔහුගේ මෑත අනාගතය අර්ථ විවරණය කරන කිසි රටාවක් අහසේ නිමැවුණේ නැත. සියලු දේ හැඟීම්
විරහිතව, තේරුම්ගත නොහැකි තැන්වල රැඳී තිබිණි. වෙසේ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට
ඇවිදගෙන යෑම අතිශය යුක්ති සහගත ක්‍රියාවක් විය. එහෙත් ඔහු ඇවිද ගියේ ෂමර්ගේ පිහිය
වෙතටය.
සිය ඇඟිලි
තුඩුවලින් සිටගෙන, අත හොඳින් දිගහැර ගනිමින් පිහිය පහත්කොට අමෝරාගෙන ෂමර් “වෙසේ !” යැයි යටිගිරියෙන්
කෑ ගැසුවේය. “වෙසේ ! උඹට කවදාවත්ම ආපහු ජූලියාව දකින්න බෑ !”. කෙලින්ම
උගුරටත්, උගුරෙන් වම්පසටත්, තුන්වැනිවර උදරයේ ගැඹුරටත් ෂමර්ගේ පිහිය කිඳා බැස්සේය.
දිය මීයන් කපා විවර කරන විටද නගන්නේ වෙසේ නැගුවාක් වැනි හඬකි.
“ඉවරයි,” කියූ ෂමර්, දැන්
තමාට අනවශ්‍ය, ලේ තැවරුණු පිහිය ළඟම වූ නිවෙසේ මිදුලට වීසි කළේය. “මිනීමැරීමේ සතුට
! තව එකෙකුගේ ලේ හැලීමෙන් ලැබෙන දැඩි ප්‍රීතිය, සහනය ! වෙසේ, නාකි රෑ කුරුල්ලා,
යාලුවා, එකට අඩි ගහපු සගයා, උඹ පාරේ යටින් තියෙන අඳුරු මහපොළොවට දියවෙලා යනවා. ඇයි
උඹට බැරි නිකම්ම ලේ පුරවපු මල්ලක් වෙන්න ? එතකොට මට තිබ්බා උඹව පාගලා අතුරුදහන්
කරලා දාන්න. අපට ඕනෑ හැම දෙයක්ම සැබෑවක් වෙන්නේ නෑ. මල් පිපිච්ච හීන හැම එකකම පල
හටගන්නේ නෑ. උඹේ මැරිච්ච ශරීරය මෙතැන තියෙනවා, ඒකට කොච්චර පයින් ගැහුවත් උඹට ගාණක්
නෑ. උඹ අහන මෝඩ ප්‍රශ්නෙන් ඇති වෙන හොඳ මොකක්ද ?”
පල්ලාස් තම සිරුර තුළ වූ හලාහල විෂෙන් හුස්ම ගැනීමට අපහසුව, සිය
නිවෙසේ පියන් දෙකේ දොර වේගයෙන් විවෘත වන විට ඒ ඉදිරිපිට සිටගෙන සිටියේය. “ ෂමර් ! ෂමර් ! මම හැම
දෙයක්ම දැක්කා. මට මොනවත් මග ඇරුණේ නෑ.” පල්ලාස් සහ ෂමර් ඉතා සියුම්ව එකිනෙකා පරීක්ෂාකර ගත්හ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලයෙන්
පල්ලාස් සෑහීමට පත්වූ අතර ෂමර් කිසිදු නිගමනයකට එළැඹුණේ නැත.
දෙපසින් මිනිසුන් කණ්ඩායමක් පිරිවරාගත් වෙසේ මහත්මිය වේගයෙන් දිව ආවාය.
කම්පනය කරණ කොට ගෙන ඇගේ මුහුණ බෙහෙවින් වියපත් වී තිබිණි. ඇගේ ලොම් කබාය ඉදිරියෙන්
විවෘත වූ අතර ඇය වෙසේගේ සිරුර මතට කඩා වැටුණාය. රාත්‍රී ඇඳුමෙන් වැසුණු ඇගේ සිරුර
වෙසේට අයත් වූ අතර යුවළ වැසූ ලොම් කබාය සොහොනක් මත වැවෙන සිනිඳු තණ පලසක් සේ වටේ
බලාසිටින්නවුන්ට පෙනිණි.
සිය ඔක්කාරයේ අවසන් අදියර සමග අසීරුවෙන් ඔට්ටු වෙමින් සිටි ෂමර්, සෙමෙන්
අඩි තබමින් ඔහු ඉවත රැගෙන ගිය පොලිස් නිලධාරියාගේ උරැහිස මත සිය මුව තැබීය.
ෆ්‍රාන්ස් කෆ්කා (1883-1924)
(විලා සහ එඩිවින් මුයිර්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)
කතාව ඉවරයිද මං හිතුව තව ඇත ිකියලා..
ReplyDeleteඔව් කතාව එතැනින් ඉවර වෙනවා. එය එක්වරම අවසන් වනවා සේ පෙනෙනවා වුණත් මට හිතෙන හැටියට කතාවේ කූට ප්‍රාප්තිය සටහන් වෙන්නේ පල්ලාස් තමන්ට මිනීමැරුමේ කිසිම දෙයක් මග නොහැරුණු බව කීමෙන්. මනුෂ්‍ය්‍යා තුළ පවතින මේ තේරුම්ගත නොහැකි ස්වභාවය සහ නපුර කෙරෙහි ඔහුගේ ඇති නැඹුරුව උලුප්පා පෙන්වන්නට කෆ්කා උත්සාහ දරා ඇති බවයි මගේ හැඟීම.
Deleteස්තුතියි..
ReplyDeleteහැමදාම මෙහි එන එක අතිශයින්ම අගය කරනවා දේශක.
Deleteඔව් නිලූක...මිනිසා තුල ජීවත් වෙන යක්ෂයා ගැන උඹේ විග්‍රහය මොකක්ද? මම නිලුකගෙන් අහන්නේ එය ඉලක්ක කර නොවේ. මම උඹ ලියූ කිත්සිරි නිමල් ශාන්ත ගැනත් කියවූයෙමි. උඹ විවෘතවීම උඹට පමනක් නොව මාධ්‍ය ලොවටමට වැදගත් විය හැක. වඩාත් වැදගත් උඹ කරන පරිවර්තන වලට වඩා උඹ දුටූ අපේ සමාජ පරිවර්තනයන්ය. එය පොතට වඩා පසට වටිනේය.
ReplyDeleteකිත්සිරි නිමල් ශාන්තයන් ගැන මා ලියූ ලිපිය වසර එකොළහකට පසු පුවත්පතකට මා ලියූ පළමු ලිපියයි. එය ඔබ කියැවූවා යැයි ඇසීම මට සතුටක්. අන්තර්ජාලයට විවෘතවීමට වඩා තවත් විවෘතවීමක් තියෙනවාද ? සාහිත්‍ය පරිවර්තනය මා ඉතා ඇලුම් කරන මා සැමදාමත් සතුටක් ලැබූ ව්‍යායාමයයි. ඒ නිසා ඒ පරිවර්තන අත හැර මා දුටු සමාජ පරිවර්තන ලියන්නට ගියොත් ඒක ඒ තරම් සාර්ථක වෙන එකක් නෑ. මිනිසා තුළ සිටින යක්ෂයා ගැන මගේ විග්‍රහය ගැන ඔබ අහනවා. මා හිතන්නේ අප හැම කෙනෙක් තුළම (මේ මා ද ඇතුළුව) පල්ලාස් කෙනෙක් ජීවත් වෙනවා. එය ජීවිතයේ මා ලැබූ අත්දැකීම්වලින් අවබෝධ කරගත් දෙයක්. මේ සත්‍යතාව කෆ්කා ඉතා ප්‍රබල ලෙස සිය කෙටිකතාවේ නිරූපණය කරනවා. කොහොමවුණත් ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
ReplyDeleteකිත්සිරි නිමල් ශාන්තයන් අවසන් වරට මාදුටුවේ නුගේගොඩ සුපර් මාර්කට් එක ලඟ ප්‍රසිද්ධ රැස්වීමක වේදිකාවක. එයින් ටික කලකට පසු ඔහු අප අතරින් වෙන්වුනා.
Delete