2015/05/06

රළ බිඳෙන හඬ






















මගේ සිර කුටියෙහි, සුමුදු අළුවන් කොන්ක්‍රීට් බිත්තියෙන්
ඇසිණි මට ගොස නගා රළ බිඳෙන හඬ රෑට
වෙරළ ඉම ගල් මත, කටු කම්බි මායිමේ සයුරු රළ බිඳෙන තැන
බිඳී විසිරෙන වීදුරු පවුරක් විලාසෙන්
විසිරි සුදු පෙණ මහ පවුරක් නැගෙන සැටි
මනැසෙන් දුටිමි මම.

රෆායෙල්* ඇඳි සිතුවමක ඇති
උත්තුංග බිම් දසුනක්ද පරයන,
තියුණු, දිදුලන සවස් වරුවේ
විනිවිදින නිසලබව තුළ
සුසංයම, නොකැළඹිල්ලක ගැලී
සිහිනවල නිමග්නිත
කොළ, කලු දේවදාර ගස්වලට,
කවුරුන් හෝ මා බලන්නට
එතැයි යන අපේක්ෂාවෙන් යුතුව
මුර මඩුව වෙත පිය මනින කල
හිස නවා ආචාර කළෙමි මම.















- ඩෙනිස් බෘෘටස් (1924-2009)

දකුණු අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදයට විරුද්ධ ක්‍රියාකාරිකයෙකු වීමේ හේතුවෙන්, 1961 වසරේදී ගුරුවරයෙකු වශයෙන් ඩෙනිස් බෘෘටස් යෙදුණු රැකියාවෙන් පහ කොට ඔහුට ලිවීම තහනම් කරන්නටද දකුණු අප්‍රිකාවේ එවක පැවති වර්ණභේදවාදී රජය කටයුතු කළේය. 1963 දී පළමුවරට අත්අඩංගුවට ගනු ලැබ සිරගත කෙරුණු එහු ඉන් පලා ගියේය. මොසැම්බික්වලදී දකුණු අප්‍රිකානු රහස් පොලීසිය විසින් අල්ලා ගනු ලැබූ බෘෘටස් ඉන් අනතුරුව කුප්‍රකට රොබ්න් දූපතේ සිරගත කරන ලදී. නෙල්සන් මැන්ඩෙලා සිරගත කරනු ලැබ සිටියේද මෙහිමය. වසර එකහමාරක සිර දඬුවමකින් හා වධ හිංසනයන්ට ලක්කිරීමෙන් පසු ඔහු නිදහස් කෙරිණි. මඳ කලක් ලන්ඩනයේ ජීවත් වූ ඔහු පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. සිරගත කිරීම, අසාධාරණය, විප්‍රවාසය ආදිය සිය වස්තු විෂයය කොට ගත් ඩෙනිස් බෘෘටස්ගේ කවි, දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව කෙරුණු අරගලයේ අවියෝජනීය කොටසක් ලෙස විචාරකයෝ දකිති.   



* රෆායෙලෝ සන්සියෝ දා උර්බිනෝ (රෆායෙල්)- පුනරුද සමයේ සුප්‍රකට ඉතාලි සිත්තරෙකි.

8 comments:

  1. අගේ අැති පරිවර්තනයක්...... ඉතිහාසය මේ තරම් දරුණු වෙච්ච අවස්ථා ඒමටයි... කොහොමත් දකුණු අප්‍රිකාවේ තත්වය ඒදා මෙහෙමමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් ඒ තමා යථාර්ථය.

      Delete
  2. ලිවීම තහනම් කරන්නට!

    ReplyDelete
    Replies
    1. ඔව්. ලිවීම තහනම් කරන්නට !

      Delete
  3. මිතුර...
    නුඹේ මෙම පරිවර්තනය 2015. 05. 10 දිනැති ‘ඉරුදින‘ පුවත්පතේ ‘මානසවිල‘ නිර්මාණ පිටුවේ පරිවර්තන කවිය ලෙසින් පළ කරන්නෙමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඊ පිටුව ලැබෙන්නට සලස්වන්නට පුළුවන් නම් හොඳයි.

      Delete
  4. පරිවර්තනය ය බෝම අගෙයි.

    ස්තුතියි අපි එක්ක බ්වෙදා ගැනීම ගැන.


    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි කියවා රසවින්දාට.

      Delete

සෙවුම්