2015/12/17

ඉංග්‍රීසි ජාතිකයෙක්, අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක්



 
එක්තරා පරීක්ෂණයක කොටසක් හැටියට, අගුළු දමලා වහපු කාමර තුනක මාස හයක කාලයක් ගතකරන්නට ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත් එකඟ වුණා. ඒ මාස හය ඇතුළත කාමරේ තියාගන්න තමන්ට කැමති එක දෙයක් ගෙනියන්න පුළුවන් කම තිබුණා.

තමන් කාමරයට ගෙනියන්න කැමති මොනවද කියලා ඉංග්‍රීසි ජාතිකයාගෙන් ඇහුවම ඔහු කිව්වා ‘මගේ බිරිඳ’ කියලා. ඉතින් ඔහු තමන්ගේ බිරිඳත් එක්ක කාමරේ හය මාසයක් ගත කළා.

ස්කොට් ජාතිකයාගේ වාරේ ආපුවම ඔහු කිව්වා විස්කි පෙට්ටි සීයක් කාමරේ ඇතුළට ගෙනියන්න ඕනෑ කියලා.

අන්තිමට අයිරිෂ් ජාතිකයාගෙන් ඇහුවා මොනවද ඇතුළට ගෙනියන්න ඕනෑ කියලා. ඔහු කිව්වා ‘සිගරැට් පැකට් සීයක්’ කියලා.

ඉතින් මාස හය ගෙවුණට පස්සේ තුන් දෙනාම තම තමන්ගේ කාමරවලින් එළියට ආවා. ඉංග්‍රීසි ජාතිකයා තමන්ගේ බිරිඳත් එක්ක සිනාසෙමින් එළියට ආවා. ස්කොට් ජාතිකයා කොච්චර බීලා හිටියද කියනවා නම් ඔහු කාමරයෙන් එළියට ගෙනාවේ උස්සාගෙනයි. අන්තිමට මෙහෙම අහමින් අයිරිෂ් ජාතිකයා කාමරයෙන් එළියට ආවා : ‘කවුරුහරි ගාව ගිනි පෙට්ටියක් තියෙනවද? ’

****

ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත් කාන්තාරයක් මැදින් කාර් එකක ගමනක් යමින් හිටියා. එහෙම යනකොට අතරමගදී කාර් එක කැඩුණා. ඉතින් ඔවුන් කාර් එකෙන් බැහැලා ඇවිදින්න පටන් ගත්තා. ඉංග්‍රීසි ජාතිකයා තමන් සමග ගෙනියන්න වයින් බෝතලයක් ගත්තා. ස්කොට් ජාතිකයා ගත්තේ කුඩයක්. අයිරිෂ් ජාතිකයා කාර් එකේ දොරක් ගලවලා කරගහ ගත්තා.

දැන් ඔහොම ටික වෙලාවක් ඇවිදගෙන යනකොට මේ තුන්දෙනාට හමුවුණා කාන්තාරයේ ඉන්න මහලු එඬේරෙක්. එඬේරා ඉංග්‍රීසි ජාතිකයාට කිව්වා: ‘ මං දන්නවා ඇයි ඔහේ වයින් බෝතලයක් අරගත්තේ කියලා- ඒ මගදී තිබහ වුණාම බොන්න’
‘ඒක හරි’ කියලා ඉංග්‍රීසි ජාතිකයා උත්තර දුන්නා. ඊට පස්සේ එඬේරා ස්කොට් ජාතිකයාට කිව්වා: ‘මං දන්නවා ඇයි ඔහේ කුඩයක් ගත්තේ කියලා- ඒ අවුවෙන් බේරෙන්න’

‘හරියට හරි’කියලා ස්කොට් ජාතිකයා උත්තර දුන්නා.

‘ඒත් මට තේරෙන්නෙ නෑ’ අයිරිෂ් ජාතිකයා දිහාට හැරිලා එඬේරා කිව්වා. ‘ඇයි ඔහේ ඔය කාර් එකේ දොර කරගහ ගෙන යන්නේ කියලා’

‘ඇයි තමුසෙට තේරෙන්නෙ නැද්ද? ’ අයිරිෂ් ජාතිකයා කඩා පැන්නා. ‘ඇයි හුඟක් රස්නෙ වුණොත් මට පුළුවන්නේ එතකොට ජනේලෙ වීදුරුව පාත් කරන්න.’

****

ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත් තමන්ගේ බිරින්දෑවරුන් අයථා සම්බන්ධකම් පැවැත්වීම ගැන කතා කරමින් හිටියා.

‘මං හිතන්නේ මගේ නෝනා විදුලි කාර්මිකයෙක් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා. මොකද ඊයෙ රෑ එයාගේ ඇඳ යට තිබිලා මට ආයුධ පෙට්ටියක් හම්බ වුණා’ කියලා ඉංග්‍රීසි ජාතිකයා කිව්වා.

‘මං හිතන්නේ මගේ නෝනට පයිප්ප බාස් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද ඊයේ රෑ එයාගෙ ඇඳ යට තිබිලා මට වතුර කරාමයක් හම්බ වුණා’ කියලා ස්කොට් ජාතිකයා කිව්වා.

‘මං හිතන්නේ මගේ නෝනා සම්බන්ධකමක් පවත්වන්නේ අශ්වයෙක් එක්ක කියලා. මොකද ඊයේ රෑ මට එයාගෙ ඇඳ යට හැංගිලා හිටපු ජොකියෙක් හම්බ වුණා’ කියලා අයිරිෂ් ජාතිකයා කිව්වා.

****
ඉංග්‍රීසි ජාතිකයෙකුත්, අයිරිෂ් ජාතිකයෙකුත්, ස්කොට් ජාතිකයෙකුත් ගොඩනැගිලි වැඩපොළක වැඩ කරමින් හිටියා. දවල් කෑම වෙලාව ආපුවාම ඉංග්‍රීසි ජාතිකයා තමන්ගෙ කෑම පෙට්ටිය ඇරලා කෙඳිරි ගෑවා. ‘ අදත් චීස් සැන්ඩ්විච්. ආයෙ හෙටත් චීස් සැන්ඩ්විච් තිබුණොත් දෙයියම්පා මං මේ බිල්ඩිමෙන් බිමට පනිනවාමයි ! ’

ඊළඟට ස්කොට් ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය විවෘත කළා. ‘ අයියෝ අදත් හැම් සැන්ඩ්විච්. හැමදාම මට දෙන්නේ හැම් සැන්ඩ්විච්මයි. හෙටත් මේවාම තිබුණොත් මාත් උඹ එක්ක බිල්ඩිමෙන් පහළට පනිනවා ! ’ කියලා ස්කොට් ජාතිකයා කිව්වා.

අයිරිෂ් ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය ඇරලා කංකෙඳිරි ගෑවා. ‘ආයෙමත් බිත්තර සැන්ඩ්විච්. මට මේක විශ්වාස කරන්නත් බෑ. හැමදාම නොවැරදීම බිත්තර සැන්ඩ්විච් ලැබෙනවාමයි. හෙටත් බිත්තර සැන්ඩ්විච් නම් මාත් උඹලත් එක්ක බිල්ඩිමෙන් බිමට පනිනවා ! ’

ඊළඟ දවසෙ සුපුරුදු විදියට තුන්දෙනා දවල් කෑමට වාඩිවුණා.

ඉංග්‍රීසි ජාතිකයා තමන්ගේ කෑම පෙට්ටිය ඇරියා. ඒකෙ තියෙන්නේ චීස් සැන්ඩ්විච් කියලා දැකපු ගමන් ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරුණා.

ස්කොට් ජාතිකයා තමන්ගෙ කෑම පෙට්ටිය ඇරියා. ‘ආයෙමත් හැම් සැන්ඩ්විච්’ කියලා අඬලා ගොඩනැගිල්ලෙන් පහළට පැන්නා.

අයිරිෂ් ජාතිකයාත් තමන්ගෙ කෑම පෙට්ටිය ඇරලා බලලා ඒකෙ තියෙන්නේ බිත්තර සැන්ඩ්විච් බව දැකලා ගොඩනැගිල්ලෙන් බිමට පැන්නා.

තුන්දෙනාම ගජ යාලුවෝ නිසා අවමඟුල් උත්සව තුනම තිබුණේ එකටමයි.

‘අනේ මගේ මහත්තයා චීස්වලට ඔච්චර අකමැති බව මං දැනගෙන හිටියා නම්’ කියමින් ඉංග්‍රීසි ජාතිකයාගේ බිරිඳ වැලපුණා.

‘අනේ මගේ මහත්තයා හැම්වලට ඔච්චර අකමැති බව මං දැනගෙන හිටියා නම්’ කියමින් ස්කොට් ජාතිකයාගේ බිරිඳ වැලපුණා.

‘අනේ මට තේරෙන්නෙ නෑ. හැමදාම තමන්ගෙ දවල් කෑමට ගෙනියන්න සැන්ඩ්විච් හදාගන්නේ මගේ මහත්තයාමයි’ කියලා අයිරිෂ් ජාතිකයාගේ බිරිඳ සුසුමක් හෙලමින් කිව්වා.
****

ඉංග්‍රීසි ජාතිකයෙකුයි, අයිරිෂ් ජාතිකයෙකුයි, ස්කොට් ජාතිකයෙකුයි පස්සෙන් පොලිස් නිලධාරියෙක් පැන්නුවා. පාලුවට ගිය ගබඩාවක් දැකපු තුන්දෙනා ඒකට රිංගුවා. බිම වැටිලා තිබුණු හිස් ගෝනි තුනක් දැකපු ඔවුන් ඒවා ඇතුළේ හැංගෙන්න කල්පනා කරලා ගෝනි ඇතුළට බැස්සා.

ගබඩාවට ඇතුළු වෙච්ච පොලිස් නිලධාරියා බිම තිබුණු ගෝනි තුන දැක්කා.  පළමුවැනි ගෝනිය ළඟට ගිය ඔහු ඒකට පයින් ගැහුවා. ඇතුළෙ හිටපු ඉංග්‍රීසි ජාතිකයා ‘බව්, බව්’ කියලා කෑ ගැහුවා. ඇතුළෙ ඉන්නේ බල්ලෙක් කියලා හිතපු පොලිස් නිලධාරියා ඒ ගෝනිය එහෙම්මම තියෙන්න ඇරියා.

ඊළඟට ඔහු දෙවැනි ගෝනියට පයින් ගැහුවා. ඇතුළෙ හිටපු ස්කොට් ජාතිකයා ‘ඥාව්,ඥාව්’ කිව්වා. ගෝනියේ ඉන්නේ බළලෙක් බව හිතපු පොලිස් නිලධාරියා ඒ ගෝනියත් එහෙම්මම තියෙන්න ඇරියා.

අන්තිමට ඔහු තුන්වැනි ගෝනියට පයින් ඇන්නා. එතකොට ඇතුළෙ හිටපු අයිරිෂ් ජාතිකයා මෙහෙම කියලා කෑ ගැහුවා: ‘අර්තාපල්, අර්තාපල්.’


 Nick Harris ගේ An Englishman, an Irishman and a Scotsman... කෘතියෙනි.

14 comments:

  1. මේ සමාර කතා අපේ ආරටත් ඇවිත් තියෙන ඒවා.. ජය වේවා නිලුක.. කාර්ය බහුල උනත් දැන් දිගටම පරිවර්තන එන එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා එකම මූලයකින් හැදුණු කතා වෙන්න ඕනෑ. අඩුම ගණනේ සතියකට වරක්වත් පරිවර්තනයක් කරන්න බලනවා.

      Delete
  2. හිනා යනවා, මම හිතන්නේ මේවා ඉංග්‍රීසි ජාතිකයන් හදපු කථා, බ්ලොන්ඩ් ගැහැණුන් ගැනත් මේ වගේ කථා කියවල තියෙනවා. ඒවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලලිත් මේ පොතේ ඉංග්‍රීසි ජාතිකයන් ගැනත් කතා තියෙනවා. පස්සෙ දවසක ඒවා දාන්න බලමු.

      Delete
  3. මේ කතා ටික අපූරුයි.කලින් කියවලත් නෑ.ඉංග්‍රීසිකාරයො අයිරිෂ් කාරයන්ට ඔලොක්කුවට හදපු කතා ටිකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා මාත් මීට පෙර කියවපුවා නෙවෙයි. සෑම ජාතියකටම සුවිශේෂ වූ ගුණාංග උපහාසයට ලක්කරමිනුයි මේ කතා ලියවිලා තියෙන්නේ. ඒ අතරින් අයිරිෂ් ජාතිකයන් මෝඩකම්වලට ප්‍රසිද්ධබව තමයි මේවායෙන් ඇඟවෙන්නේ. නිසැකවම මේවා ඉංග්‍රීසි කාරයන්ගේ වැඩ තමයි.

      Delete
  4. හැක හැක.....
    අම්මපා පනින්න හිතෙනවා බිල්දිමෙන් ඕයි ........

    ReplyDelete
  5. හොඳ පරිවර්තනයක්. මමත් මේ ගෝනි තුනේ කතාව හැර අනිත් ඒවා අහල නෑ.

    ReplyDelete
    Replies
    1. ගෝනි තුනේ කතාවට සමාන කතාවක් තියෙනවා. ඒකෙ ඇතුළෙ ඉන්න මිනිහා කියන්නේ ‘හාල්‘ කියලා.

      Delete
  6. හෙහේ,මරු කතා ටික.අයිරිෂ් කාරයෝ මෝඩයාට දාලානේ කතා ටික ලියලා තියෙන්නේ.
    මම ඊයේ බූන්දියේ තිබිලා නිලුක පරිවර්තනය කරපු "දන්ත වෛද්‍යවරයා" කියෙව්වා.හරි අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. බූන්දියට ගිහින් බැලුවේ ඔබ කියපුවාමයි.

      Delete
  7. Dear Niluka, Please forgive me for not leaving this comment in Sinhal as I have no fonts in this. The stories and your translations are really nice. They sound as "thumpane Katha" we all read in Sinhala.
    But one thing, i.e, you and i both learned our English literature from the same sources and doesn't it sound some what unreasonable always that all the English writers I mean even the serious ones tried to belittle the Irish men as fools since the rift King Henry viii, made to get away from the RC church ? You may argue even Joyce him self being an Irishman still critical on his own country and country men. But what about Yeats then? In short I don't say I hate but I simply do not like the self over rated snobbishness of the English men.But all in all your translations are sweet and carry the gravity with ever enhancing quality. Salut! My Dear DIPLOMAT(ic) TRANSLATOR! Jayantha Rathnayake

    ReplyDelete
    Replies
    1. Dear Sir, Thank you for your comments. Good to know that you are following my blog. My intention was not to belittle the Irishman and thereby adding to the snobbishness of the Englishman. This was the only book of jokes that was available in my shelf, and as I wanted to add some variety to the blog and to mix it with some light reading, I used a few stories from that book. It is not politically correct for a diplomat to laugh at a particular nation. Anyway, thank you very much for your comments and it's an honour that you read my translations.

      Delete

සෙවුම්