2013/02/24

මම තනිවී සිටිමි-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’

















මම තනිවී සිටිමි.
මා දිවියේ සැඳෑ කල
ළඟ ළඟම එන සැටි
පෙනෙයි මට

මහිස කෙස් සුදුව
තුනීවී ගොසිනිය,
වල ගැසී ඇත දෙකොපුල,
ගමනද ඉතා සෙමිනිය:
අවසන්ව ඇත සැණකෙළිය.

තරණය කරන්නට තිබූ
ගංගා, දිය දහර
එතෙර වී ඇති බව දනිම්
සිනහ නගනෙමි දැන්
ඔරුවක් නොතිබූ වග දැක
එතෙර වන්නට එසේ













-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා (1899-1961)

(ඩේවිඩ් රූබින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)

2013/02/17

වැසි ආවරණය- ආර්.කේ. නාරායන්




වැස්ස එකවරම කඩාවැටුණේය. ඔහුට දිව යා හැකිව තිබූ එකම ආවරණය වූයේ මාර්ගය පසෙක තිබූ දැවැන්ත ක‍ඳෙන් යුත් විහිදා වැඩුණු අතුපතර සහිත නුග ගස පමණි. වැස්ස ඇද හැලෙනුද ඉඳහිට තමා දෙසට වැසි වතුර විසිරෙනුද ඔහු උපේක්ෂා සහගතව බලා සිටියේය. මුළු සිරුරම වැසිදියෙන් තෙත්වූ දඩාවතේ යන බල්ලෙකු දිව යනුද මී හරකුන් දෙදෙනෙකු පාර අයිනේ වීසි කළ කෙසෙල් කොළ බුදිනුද ඔහු අලස ලෙස බලා සිටියේය. නුගගසේ බ‍ඳෙහි අනෙක් පැත්තෙහි තවත් කෙනෙකු සිට‍ගෙන සිටින බව ඔහුට හදිසියේම වැටහිණි. ලා මල් සුවඳක් ඔහු වෙතට හමා ආ අතර ඔහුට සිය කුතුහලය පාලනය කරගැනීමට නොහැකි විය‍. ගසෙහි කඳට හේත්තු වෙමින් ඔහු අනෙක් පැත්තට පිය මැන්නේය. ඔහුට ඇය මුහුණට මුහුණ මුණ ගැසිණි. ඔහුගේ පළමුවැනි ප්‍රතික්‍රියාව වූයේ 'ඕහ් ' යන අනුකරණයෙන් මහ හඬක් නැගීමය. ඔහුගේ පෙනුම කාලකණ්නි, කරදරයට පත් එකක් බවට පත්වී තිබිණි. ඔහු දුටු කාන්තාව යටිගිරියෙන් කෑ ගැසීම අසීරුවෙන් යටපත් කරගත්තාය. යථා තත්ත්වයට පැමිණි වහාම ඔහු කතා කළේය: 'කලබල වෙන්න එපා. මං යන්නම්.' දීර්ඝ කාලයක වෙන්ව සිටීමකින් පසු තමන්ගේ බිරියට කෙනෙකු එසේ කීම මුග්ධ ක්‍රියාවක් බව පෙනිණි. ඔහු ඇය කෙරෙන් ඉවත්ව මුලින් සිටි තැනට පෙරළා ගියේය. එහෙත් යළි පැමිණි ඔහු ප්‍රශ්නයක් නැගීය: 'ඔයා මෙහෙ ආවේ ඇයි ?'
ඇය පිළිතුරක් නොදෙනු ඇතැයි ඔහු බියපත් විය. එහෙත් ඇය 'වැස්ස හින්දා'යැයි කීවා‍ය. 'ඔහෝ !' එය විහිළුවක් ලෙස සලකන්නටද හඬනගා සිනාසෙමින් ඇයගේ සිත සනසන්නටද ඔහු උත්සාහ කළේය. 'මාත් ආවේ ඒ හින්දා තමයි', තමා මෝඩයෙකැයි ඔහුට හැඟිණි. ඊට පිළිතුරු ලෙස ඇය කිසිවක් නොකීවාය. ඕනෑම කතාවක ජනප්‍රියම මාර්‍තෘකාව වන කාලගුණයෙහි එල්බ ගන්නට ඔහු දැඩි ආයාසයක් දැරීය: 'හිතපු නැති වැස්සක්නේ මේක'. මේ ප්‍රකාශයටත් පිළිතුරක් නොදුන් ඇය ඉවත බලා ගත්තාය. මාර්‍තෘකාව තවදුරටත් ඇදගෙන යාමට ඔහු උත්සාහ කළේය. 'වැස්සක් එනවා කියලා යන්තම් හරි සැකයක් තිබුණා නම් මං ගෙදරට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් කුඩේ අරන් එනවා.'  මේ ප්‍රකාශයද ඇය සම්පූර්ණයෙන්ම නොතකා හැරියාය. සමහරවිට ඇ‍යගේ කන් ඇසීම නැතිව ගොස් තිබෙනවා විය යුතුය. 'ඔයාගේ කන්වලට මොනවා හරි වෙලාද?' කියා අසන්නට ඔහුට අවශ්‍ය වුවද, ඇය සාහසික යමක් කරනු ඇතැයි ඔහු බියපත් විය. අපේක්ෂා භංගත්වයට පත්වූ විට ඇය ඕනෑම දෙයක් කිරීමට සමත් බව පෙනිණි. අවසාන අර්බුදය හටගත් ඒ රාත්‍රිය වනතුරුම ඇයගේ හැඟීම් එතරම් ශක්තිමත් යැයි ඔහු නිකමටවත් සැක කොට නොතිබිණි.

සෙවුම්