2024/12/26

කඳුවල රහස්

 



 







සාගරවලට පමණක් නොව

තිබේය ඔවුන්ගේ රහස් කඳුවලටද.

 

ඈතින් ඇහෙන ඒ හිනා හඬ

දියඇලිවල නද යැයි ඔබ කියනු ඇත.

නැත, සුරඟනන් සත්දෙන

සිනා නඟනා හඬය.

 

දිගට හරහට වැටුණු, බොරලු ඇතිරූ මේ පාරවල්

ඔබ වෙනත් ලෝවලට ගෙන යන මාවත් ය.

පාතාල ලෝකයට හෝ මළවුන්ගේ ලොව වෙත

ඉදින් යා හැක ඔබට.

 

ඒ වන මංපෙත් ඉහළට ඇදෙන

රැගෙන යනු ඇත ඔබ සඳ වෙත

කුජ වෙත හෝ දෙව්ලොව වෙත.

 

නොනඟිනුය ඒ තුරඟුන් පිට:

කළුවන් තුරඟුන් රැගෙන යනු ඇත ඔබ

මධ්‍යතන යුගය වෙත

ධවල තුරඟුන් හුදෙකලාවට.

 

දුටුවේද ඔබ අර නිල්වන් විහඟ තෙම?

වයලීන වාදකයෙකි හෙතෙම

ආත්මයේ පෙර

අර දුඹුරු පැහැ සියොත් තෙම

බෙරකරුවෙක් වීය

මෙතැන ඇති මේ සුදු ගල්කැටය

තාරකාවක්ව සිටි ලෙදම.

 

මෙහි වෙසෙන දන

ජලය යැයි

හඳුන්වති මෝක්ෂය.

 

ශුන්‍යබව, සතා සීපාවා මෙන්ම

අවතාරද බැහැරට එන්නේ රෑට ය.

අවතාර නම් බොහෝ විට

කලෙක මෙහි රජ කළ සුද්දන්ගේ ය.

ඉදින් බිය නොවනු මැන, උන් තවත් මෙහි නැත;

උන්ගෙ ගිනිඅවි පමණක් වසන්නෙය.

 

අර උමඟෙන් යන්න,

යා හැක ඔබට අපායට.

යටත්වැසියන් නම් වසන්නේ එහිය.

සියවස් ගණනක් පුරා උහු

වියන්නෝ එක පොරෝණාවක්.

වියුම අවසන් වූ කල,

මෙතැනද වේය අවසන්.

 

උඩුබැලි අතට වැතිරී, දෑස වසාගෙන

නැවූ දණහිස් අහසට උස් කොට

සිටින මිහිකතගේ මේ ඉරියව්ව

ඉදින් ඇරයුමකි ය.

නොහැක ඔබට එය පිළිකෙව් කරන්නට

නැත්නම් පිළිගන්නට.

 

මෙහි පැමිණි කිසිවකු ආපසු ගොසින් නැත;

එසේ වුව ඇය කිසි කලෙක,

නොකරයි සිය දෙපා දෙපසට.

 








-කේ. සචිදානන්දන් (1946-)

 

 

2023/08/26

රතියෙහි දෙරැයක්

 














වියරු ලෙස සැලෙන දඟයුගවලට
සැහැල්ලු, නිදහස් සොබාවෙන්
මගේ බර දරන ළැමහසවලට
සීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මම
රතියෙන් පිරුණු එක් රැයකට පසුව.
අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේ
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ
නිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට.
 
වියරු ලෙස සැලෙන දඟයුග, ගී ගයන ළැමහස;
විඩාවට පත්ව ඒ ක්‍රියාවෙන්,
මහපොළොව තරමට පැරැණි
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ නිදහසක් තුළ
අඳුරු සොඳුරුබවින් යුත් සියලු සියවස් මුළුල්ලේ
යළි යළිත් එය අත්විඳිනු රිසියෙන්
රතියෙන් පිරුණු එක් රැයකට පසුව
හැරුණෙමි මම ආදරය වෙත.








-නිසීම් ඉසෙකිල් (1924-2004)

සෙවුම්