පාඔලෝ සවේරිනිගේ වැන්දඹුව සිය පුතණුවන් සමග බොනිෆාචියෝ නගරයේ පවුර අද්දර
ඉදිකළ කුඩා දුගී නිවෙසක ජීවත් වූවාය. කඳුවැටියෙහි කෙළවරක් මුහුද දෙසට නෙරා ගොස්
නිර්මාණය වූ බිමක ගොඩනගා තිබූ බොනිෆාචියෝ නගරය ඇතැම් ස්ථානයක සත්‍ය වශයෙන්ම මුහුදට
උඩින් එල්ලී තිබුණේය. නගරය පිහිටා තිබූ තැන සිට බලන විට ගල්පරවලින් ගහණ ඕඩයකට
ඔබ්බෙන් සර්දීනියාවේ පහත් වෙරළ තීරය පෙනිණි. මුහුද පිහිටි දිශාවට විරුද්ධ පැත්තෙන්
නගරය පාමුල වූයේ වරාය ලෙස භාවිතා කෙරුණු තවත් ඕඩයකි. එය නගරය සම්පූර්ණයෙන්ම පාහේ
වට කොට සිටි අතර දැවැන්ත කොරිඩෝරයක් පරිද්දෙන් කඳු ප්‍රපාතය දෙකට කපා දමා තිබිණි.
ශීඝ්‍ර බෑවුම් සහිත ඕඩය ඔස්සේ දීර්ඝ ගමනක යෙදීමෙන් අනතුරුව කුඩා ඉතාලි හෝ
සර්දීනියානු මාළු ඔරුවලටත් සෑම සති දෙකකටම වරක් අජාච්චෝ නගරයේ සිට පැමිණ නැවත ගිය
පැරණි දුම් බෝට්ටුවටත් නගර පාදමෙහි පිහිටි නිවෙස් අසළටම යාත්‍රා කිරීමේ හැකියාව තිබිණි.
සුදු පැහැති කන්ද මත ඉදිවුණු නිවෙස් සමූහය වඩාලාත් සුදු පැහැයෙන් යුත්
පැල්ලමක් කන්දෙහි නිර්මාණය කළේය. කලාතුරකින්වත්
නැවක් යාත්‍රා කරවීමේ අවදානම ගැනීමට නාවිකයන් නොපෙළඹෙවූ ඒ භයංකර දියපහර මත
සිය ආධිපත්‍යය පතුරවමින් ගල් පර්වතය මත ඉදිව තිබූ නිවාස සමූහය වනයෙහි වසන
සියොතුන්ගේ කූඩු මෙන් පෙනිණි. නිරන්තරයෙන් හැමූ සුළඟ මුහුද පීඩාවට පත්කොට තුනී තණ
ආවරණයකින් වැසී තිබූ නිසරු වෙරළ තීරය ඛාදනයට ලක් කළේය. කඳු අතර වූ පටු ගැඹුරු
දෙණියට කඩා වැදුණු සුළඟ එහි දෙපස වනසා දැමීය.
රළ පෙළ පරයා සෑම තැනකම නැගී සිටි නොගිණිය හැකි තරම් වූ ගල්පරවල කලු පැහැති
මුදුන් වටා විසිරුණු පෙණ පිඬු , ජලය මතුපිට පාවෙමින් උඩ පහත යන කැන්වස් රෙදි කැබලි
මෙන් පෙනිණි.
සවේරිනි වැන්දඹුවගේ නිවෙස ගල් පර්වතයේ කෙළවරේම පිහිටා තිබිණි. නිවෙසේ වූ
ජනේල තුන අතරින් පෙනුණේ පෙරකී වියරු හුදෙකලා දර්ශනයයි. ඇය සිය පුතණුවන් වූ
අන්තොන්ද බැටළුවන් බලා ගන්නා වර්ගයට අයත් වූ
දිගු අවුල්ව ගිය ලෝම සහිත විශාල සිහින් බැල්ලක වන සෙමියන්ත්ද සමග එහි ජීවත්
වූවාය. තරුණ අන්තොන් දඩයමේ යන විට බැල්ල
රැගෙන ගියේය.
එක් සන්ධ්‍යාවකදී, දබරයකින් අනතුරුව, නිකොලා රවොලාති විසින් අන්තොන්
සවේරිනිට පිහියෙන් ඇන ඉතා නින්දිත ලෙස මරා
දමනු ලැබිණි. එදා රාත්‍රියේම නිකොලා රවොලාති සර්දීනියාවට පළා ගියේය.
අවට බලා සිටියවුන් විසින් අන්තොන්ගේ මළ සිරුර ඔහුගේ මව වෙත රැගෙන එනු ලැබූ
විට ඇය නොවැලපුණාය. එහෙත් දීර්ඝ වේලාවක් ඒ දෙස නිසොල්මන්ව බලා සිටියාය. ඉන් අනතුරුව සිය රැළි ගැසුණු දෑත මළ සිරුර
මතින් දිගහැර ඔහුගේ මරණයේ පළිය ගන්නා බවට දිවුරුවාය. කිසිවෙකුට තමා සමග ඉන්නට ඉඩ
නොදී දොර වසාගත් ඕ මළ සිරුරද උඩු බුරලන
බැල්ලද සමග ගෙතුළ තනි වූවාය. ඇඳ පාමුල සිට සිය ස්වාමියා දෙස නෙත් අයාගෙන
දෙපා අතර වල්ගය තදින් රුවාගත් බැල්ල නොනැවතී උඩු බුරුලෑවාය. බැල්ල එතැනින්
සෙලවුණේවත් නැත. මළ සිරුරට උඩින් නැවී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් නිහඬවම
මහා කඳුළු ගංගාවක් හෙලූ මවද එතැනින් නොසෙල්වුණාය.
ඉදිරිපසින් හරහට ඉරුණු සිදුරකින් යුත් ඝනැති ලොම් කබායක් හැඳ උඩුබැලි අතට
වැතිරී සිටි තරුණයා පෙනුණේ හරියට නිදන්නාක් මෙනි. එහෙත් ඔහුගේ සිරුරේ හැම තැනම
රුධිරය තැවරී තිබිණි. තුවාලය ඔතන්නට කැබැල්ලක් ඉරා ගනු ලැබූ කමිසය, යටි කබාය,
කලිසම, මුහුණ, අතපය මේ සෑම තැනකම රුධිරය තැවරී තිබිණි. ඔහුගේ රැවුලේද හිස කෙස්වලද
මිදුණු රුධිර කැටිති විය.
මහලු මව ඔහුට කතා කරන්නට පටන් ගත්තාය. ඇගේ කටහඬ ඇසූ බැල්ල නිහඬ විය.
“ අනේ මගේ අසරණ පුංචි පුතේ මේකෙ පළිය මං ගන්නවා.
නිදාගනිං පුතේ නිදා ගනිං මං මේකේ පළිය ගන්නවා. ඇහුණද මගේ පුතේ ? මං දිවුරනවා. පුතේ
උඹ මගේ හැටි දන්නවා නේද ? මං කිවුවොත් දෙයක් ඒ දේ කරනවා.”
සෙමෙන් ඔහුට උඩින් නැවුණු ඇය ඔහුගේ මියගිය දෙතොල මත සිය ශීතල දෙතොල
තැබුවාය.
ඉන් අනතුරුව සෙමියන්ත් නැවතත් උඩු බුරලන්නට විය. ඇය දිගු, ඒකතානමය, හදවත පාරන සුළු, බිය ජනක
හඬවල් නැගුවාය.
අන්තොන් සවේරිනිගේ මළ සිරුර පසුදා මිහිදන් කරන ලදී. වැඩිකල් යාමට මත්තෙන්
බොනිෆාචියෝ නගරයේ ඔහු ගැන කෙරෙන කතාබහ නතර විය.
අන්තොන්ට සහෝදරයකුවත් සමීප ඥාති සහෝදරයකුවත් නොසිටි බැවින් ඔහුගේ ලේවල පළිය
ගැනීමට පිරිමියෙක් නොසිටියේය. මහලු කාන්තාවක වූ ඔහුගේ මව පමණක් ඒ ගැන තදින් කල්පනා
කළාය.
ඕඩයෙහි අනෙක් ඉවුරෙහි වෙරළ මත වූ සුදු පැහැ තිතක් දෙස ඇය උදේ සිට රෑවන තුරු
බලා සිටියාය. එය ලොන්ගොසාර්දෝ නම් කුඩා
සර්දීනියානු ගම්මානයක් වූ අතර නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට පළා යන මං
පහරන්නන්ට එහි පිළිසරණ ලැබිණි. මේ කුඩා
ගම්මානයේ සම්පූර්ණ ජනගහණය සමන්විත වූයේ මෙසේ නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට
සර්දීනියාවට පළා ගිය මං පහරන්නන්ගෙනි. ඔවුහු මෙසේ සිය මවුබිමෙහි වෙරළට මුහුණ ලා
ජීවත් වූ අතර පෙරළා මවුබිමට පැමිණීමට; කෝර්සිකාවේ වනාන්තරවලට පැමිණීමට සුදුසු
වේලාවක් එනතුරු කල්යල් බලමින් හුන්හ.
නිකොලා රවොලාති ද සරණ ලබා ඇත්තේ මේ කුඩා ගම්මානයේම බව ඕ දත්තාය.
මුළු දවස පුරාම හුදෙකලාව ජනේලය අසළ වාඩිවී ගම්මානය දෙස බලමින් ඇය පළිගැනීම
ගැන කල්පනා කළාය. මරණයට මෙතරම් ළං වූ
දුර්වල තමා මේ කාර්යය තවෙකෙකුගේ සහයක් නොමැතිව තනිවම කරන්නේ කෙසේද? එහෙත් පුතුගේ
මළ සිරුර මත දිවුරා පළිගැනීමට ඇය ශපථ කොට තිබිණි. ඇයට එය අමතක කළ නොහැක. තවදුරටත්
බලා සිටීමටද නොහැක. ඇය කරන්නේ කුමක්ද? රාත්‍රී කාලයේදී ඇයට නිදා ගැනීමට නොහැකි
විය. නින්දවත් සිතෙහි සන්සුන්බවවත් ඇයට නැතිව ගියේය. ඕ මුරණ්ඩු ලෙස පළිගැනීමේ මගක්
සෙව්වාය. බැල්ල ඇය පා ළඟ වැටී නිදා වැටුණු අතර ඇතැම් විට හිස නගා බලා හිස්
අවකාශයට උඩු බිරුවාය. දැන් සිය ස්වාමියා මියගොස් සිටි බැවින් බැල්ල බොහෝවිට මේ
ආකාරයට උඩු බිරූ අතර ඇය එසේ කළේ ඔහු අමතන්නාක් බඳුව මෙන්ම සැනසිය නොහැකි සිය
තිරිසන් ආත්මය තුළ ඔහු පිළිබඳ මැකී නොයන මතකයක් රැඳී ඇතිවාක් ද මෙනි.
එක් රාත්‍රියක සෙමියන්ත් උඩු බුරලන්නට පටන් ගත් විට පළිගැනීමේ කැමති රෞද්‍ර වනචාරියකුගේ සිතක
ස්වභාවිකවම පහළ විය හැකි සිතිවිල්ලක් මවගේ සිතෙහි හට ගත්තේය. උදෑසන වන තුරු ඒ ගැන
හොඳින් සිතා බැලූ ඇය අලුයමින්ම නැගිට පල්ලිය වෙත ගියාය. ගල් පොළොව මත දණගසා ගෙන
යාඥා කළ ඇය සිය පුතණුවන්ගේ ලේවල පළිය ගැනීමට සිය දුර්වල සිරුරට ශක්තිය දෙන ලෙසද
සිය කාර්යයේ දී තමාට දිරිය සහ සහය දෙන ලෙසද දෙවියන් ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා
සිටියාය.
ඉන් අනතුරුව ඇය නිවෙස කරා පෙරළා පැමිණියාය. බඳෙහි තැන් තැන්වලින් ඇතුළට
එබී ගිය පැරණි පීප්පයක් මිදුලේ තිබිණි. එය වැසි ජලයෙන් පිරී තිබුණේය. පීප්පය හිස්
කළ ඇය එය පොළොවෙහි පෙරළා ලී කූඤ්ඤවලින් සහ ගල්වලින් එය බිමට තද කළාය. මෙසේ තනාගත්
බලු කූඩුවෙහි සෙමියන්ත් දම්වැලකින් බැඳ දැමූ ඇය නිවෙස තුළට ගියාය.
ඉන් අනතුරුව ඇය සිය කාමරය තුළ නොනැවතී සක්මන් කළාය. ඇයගේ දෑස සර්දීනියාවේ
වෙරළ තීරය වෙත තවමත් එල්ල වී තිබිණි. මිනීමරුවා ජීවත් වූයේ එහිය.
මුළු දවස පුරාමත් රාත්‍රිය මුළුල්ලේත්
බැල්ල උඩු බිරුවාය. උදෑසන මහලු කාන්තාව භාජනයක දැමූ ජලය ස්වල්පයක් ඌට
දුන්නද කෑමට කිසිවක් නොදුන්නාය.
තවත් දවසක් ගතවිය. අධික ලෙස වෙහෙසට පත් සෙමියන්ත් නිදාගෙන හුන්නාය. ඊළඟ
දවසේ බැල්ලගේ දෑස දිලිසෙන්නට විය. කෙලින් වූ ලෝම සහිතව ඇය වියරුවෙන් මෙන් දම්වැල
ඇද කඩන්නට තැත් කළාය.
එහෙත් මැහැල්ල ඌට කෑමට කිසිවක් නුදුන්නාය. කුසගින්නෙන් උමතු වූ බැල්ල
බැරෑඬි හඬින් බුරන්නට වූවාය. තවත් රැයක් ගතවිය.
දවස උදා වූ කල සිය අසල්වැසියාගේ නිවෙසට ගිය සවේරිනි වැන්දඹුව පිදුරු මිටි
දෙකක් ඉල්ලා ගත්තාය. සිය මිය ගිය සැමියාගේ ඇඳුම් කිහිපයක් ගත් ඇය ඒවාට පිදුරු
පුරවමින් මිනිස් රුවකට සමාන පඹයකු සෑදුවාය.
සෙමියන්ත්ගේ කූඩුව ඉදිරිපිට කණුවක් සිටවූ ඇය පඹයා ඊට තබා ගැට ගැසුවාය. දැන්
එය සිටගෙන සිටින සෙයක් පෙනිණි. පැරණි ඇඳ රෙද්දක් ගුලි කොට ඇය ඊට හිසක්ද සවි කළාය.
කෙතරම් කුසගින්නෙන් සිටියද විමතියට පත් බැල්ල මේ පිදුරු මිනිසා දෙස නිහඬව
බලා සිටියාය.
ඉන් අනතුරුව මස් කඩයට ගිය ඇය ඌරු ලේවලින් තැනූ කලු පැහැති දිග සොසේජස්
කැබැල්ලක් මිලට ගත්තාය. නිවෙසට පැමිණි ඇය
මිදුලෙහි බලු කූඩුව ආසන්නයේ ගිනි ගොඩක් ගසා කලු සොසේජස් කැබැල්ල පුළුස්සන්නට
වූවාය. වියරු වැටුණු සෙමියන්ත් ඔබ මොබ
පනිමින් මුවෙහි පෙණ නංවාගෙන දැඟලුවාය.
ඇයගේ බැල්ම මස් කැබැල්ල වෙත යොමු වී තිබුණු අතර පිළිස්සෙන මසෙහි සුවඳ ඇයගේ
කුසෙහි පත්ළටම කා වැදුණේය.
දුම් දමන සොසේජස් කැබැල්ල ගත් මැහැල්ල එය පිදුරු මිනිසාගේ ගෙල වටා
පැළඳුවේය. එය සකස් කරමින් ඇය බොහෝ වේලාවක් ගත කළේ මස් කැබැල්ල ඉතා හොඳින්
පිදුරුවලට තබා තදකොට බඳිනු පිණිසය. කාර්ය
අවසන් කළ ඇය බැල්ල ලිහා දැමුවාය.
පඹයාගේ ගෙල වෙත වේගවත් පිම්මක් පිනූ බැල්ල සිය ඉදිරි ගාත් පිදුරු මිනිසාගේ
උරහිස් මත තබාගෙන මස් කැබැල්ල සපන්නට විය. කැඩුණු මස් කෑල්ලක් මුවෙහි තිබියදී
බැල්ල පසුපසට වැටුණාය. ඇය නැගිට යළිත් පිදුරු මිනිසාගේ උගුරු දණ්ඩ වෙත පැන්නාය.
මස් කෑල්ල ගැට ගසා තිබූ නූල් කටින් කඩා දැමූ ඇය තවත් මස් කැබැල්ලක් ඉරා ගත්තාය. ඇය
යළිත් වැටිණි. වියරුවෙන් මෙන් බැල්ල යළිත් මස් කෑල්ල වෙත කඩා පැන්නාය.
සිය විශාල මුවෙන් සපමින් ඇය පඹයාගේ මුහුණත් ගෙලත් කීතු කීතුවලට ඉරා
දැම්මාය.
දිලිසෙන දෑසින් යුත් මැහැල්ල නිසොල්මන්ව නිහඬව ඒ දෙස බලාගෙන සිටියාය. ඉන්
පසුව ඕ නැවතත් බැල්ල දම්වැලෙන් ගැට ගසා දෙදිනක් කුසගින්නේ තබා මේ අමුතු රංගනය
නැවතත් රඟ දැක්වූවාය.
මාස තුනක් තිස්සේ ඇය බැල්ල මේ තියුණු දත්වලින් ඉරාගෙන ආහාර ගැනීමේ කාර්යයට
පුහුණු කළාය. මැහැල්ල තවදුරටත් ඇය දම්වැලෙන් බැඳ දැමුවේ නැත. එහෙත් සංඥාවක් කළ
පමණින් පඹයා වෙත කඩා පැනීම බැල්ලට පුරුදු කෙරිණි.
පඹයාගේ ගෙලෙහි ආහාර සඟවා නොතිබියේදීත් ඒ වෙත කඩා පැන ඉරා කන්නට මැහැල්ල ඇයට
පුරුදු කළාය. බැල්ල හොඳින් සිය කාර්ය කළ විට මැහැල්ල ඌට පිසින ලද කලු සොසේජස්වලින්
සංග්‍රහ කළාය.
පිදුරු මිනිසා දුටු විගස සෙමියන්ත් වෙවුලන්නට පටන් ගන්නා අතර සිය ස්වාමි
දියණිය දෙස බලන්නට පටන් ගන්නීය. එවිට
මැහැල්ල ඇඟිල්ලක් ඔසවා සිවුරුහන් හඬකින් ‘අල්ලපන්’ කියන්නීය. බැල්ල ඊට ප්‍රතිචාර දක්වයි.
නියම කාලය එළඹ ඇතැයි ඇයට වැටහුණු විට පවු ක්ෂමා කරගැනීමට ගිය සවේරිනි
වැන්දඹුව එක් ඉරිදා උදෑසනක ප්‍රහර්ෂිත උනන්දුවකින් යුතුව සත්ප්‍රසාදය ලැබුවාය. ඉන්
අනතුරුව මහලු හිඟන්නෙකුගේ බඳු පිරිමි ඇඳුම්වලින් සැරසුණු ඇය සර්දීනියානු ධීවරයකුට
ඇවිටිලි කොට තමාවත් බැල්ලවත් ඕඩයේ අනෙක් ඉවුරට එතෙර කරවා ගත්තාය.
ඇය ගෙන ගිය කැන්වස් මල්ල තුළ විශාල කලු සොසේජස් කැබැල්ලක් විය. සෙමියන්ත්ට
දින දෙකකින් ආහාර දී නොතිබිණි. ඇය සෑම මොහොතක් පාසාම මස් කැබැල්ල තිබූ මල්ල ඉව
කරන්නට බැල්ලට දුන් අතර ඇයගේ කුසගින්න එයින් දියුණු තියුණු විය.
ඔවුහු ලොන්ගොසාර්දෝ වෙත පැමිණියහ. කෝර්සිකානු ගැහැනිය යාන්තමින් නොන්ඩි
ගසමින් සිටියාය. අසළ බේකරියට ගිය ඇය
නිකොලා රවොලාතිගේ නිවෙස තිබෙන ස්ථානය ගැන විමසා සිටියාය. වැද්දුම් ශිල්පියෙකු වු
රවොලාති සිය පැරණි රැකියාව යළි ආරම්භ කොට තිබූ අතර සිය සාප්පුවේ පිටුපස තනිවම වැඩ කරමින් සිටියේය.
දොර තල්ලු කොට විවෘත කළ මැහැල්ල ඔහුට කතා කළාය.
“ඒයි ! නිකොලා !”
ඔහු හැරී බැලුවේය. එවිටම බැල්ලගේ දම්වැල අත් හළ ඇය කෑ ගෑවාය.
“අල්ලපන්, අල්ලපන්, හපපං ඕකව ! හපපං ඕකව !”
දෑත ඉදිරියට දිගු කළ මිනිසා බැල්ල බදා ගෙන බිම පෙරලුණේය. මිනිත්තු කිහිපයක් ඔහු සිය දෙපා බිම ගසමින්
දඟලන්නට විය. ඉන් පසුව සෙමියන්ත් ඔහුගේ
උගුරු දණ්ඩ සපා එය කීතු කීතුවලට ඉරා දමන විට බිම හොත් ඔහුගේ සිරුර නොසෙල්වී
තිබිණි.
සිය ස්වාමියා විසින් දෙන ලද දුඹුරු පැහැ යමක් අනුභව කරමින් යන සිහින් කලු
බල්ලෙකු සමග දුගී මහල්ලෙකු දොරෙන් එළියට ආ බවක් තමාට යාන්තමින් මතකයැයි සිය
දොරකඩවල් අසළ වාඩි වී සිටි අසල්වැසියෝ
දෙදෙනෙක් පසුව පැවසූහ.
එදින සවස මැහැල්ල පෙරළා සිය නිවෙසට පැමිණියාය. එදා රාත්‍රියේ ඇයට ඉතා
හොඳින් නින්ද ගියේය.
- ගී ද මෝපසාං (1850-1893)
A famous story.. yet another translation.. May be much more true to the original... The initial description probably is the best among several translations I read... But, honestly, would like to see some un-known work come to us with your skills... Thisrt for new knowladge...
ReplyDelete@ Kuminda,
ReplyDeleteSurprisingly I haven't read any other translations of this story before. How ignorant I have been ? Anyway thanks for the comment. The full credit of the quality of the initial description should go to google maps. There would be some lesser known works coming up.
මා පාසල් යන කාලයේ මේ කතාවේ පරිවර්තනයක් කියෙව්වා. මට මතක හැටියට පද්ම හර්ෂ කුරනගේගේ. ඉන් පසු ලඟදි මා පුතාට අරන් දුන්න මොපසාන්ගේ කෙටි කතා එකතුවක තිබිලා ඉංගිරිසියෙන් කියෙව්වා. නමුත් ඔබගේ පරිවර්තනය කියවන්න එය බාධාවක් උනේ නැහැ. අර කිව්වා වගේ මුල් කොටසේ විස්තර කිරීම් ඉතා හොඳින් කර තිබෙනවා. අද ඉන්න සිංහල ලියන්න නොදන්නා අයට ඔබ ආදර්ශයක්.
ReplyDeleteraigamahandiya