කියනු මැන අප හට
නිදහස පිළිබඳව
පැවසීය එක්
දේශකයෙක්
පිළිවදන් දිණි
හෙතෙම මෙලෙසට:
තමන් මරනා බව දැනම
රුදු වහල් හිමියෙකු අස
දණින් හෙව ඔහු පසසන
වහලුන් බඳුව
පුරදොර
අබියසද, ගිනි මැලය පසෙකද වැතිර
ඔබ ඔබේ නිදහසටම
වඳින පුදනා‘යුරු මම දිටිමි
ඔබ අතරින් නිවහල්ම
මිනිසුන් සිය නිදහස
වියගසක්, විලංගුවක්
ලෙස පළඳින අයුරු
දෙව්මැඳුරු
අරඹෙහිද, බළකොටු ඇතුළෙහිද මම දිටිමි
නිදහස සොයා යන ආශාවම
පවා සන්නාහයක් වූ කල,
අරමුණක්, ජයග්‍රහණයක්
ලෙස නිදහස ගැන දෙඩුම
ඔබ
නැවැත්වූ කල පමණක්ම ඔබ නිදහස් වන බැවින්
මගේ හද ඇතුළතින්
තුවාලව ලේ ගැලීය
ඔබ සැබැවින්ම නිදහස
ලබනුයේ,
ඔබගේ දිවා කල
කම්කටොල්ලෙන්ද
ඔබගේ රෑ කල
ශෝකයෙන්ද තොරවූ විට නොව
මේ සියලු පිරිපත
මැඩ නිවහල්ව, නිරුවත්ව
ඔබ නැගී සිටින විට
පමණකිය
ඔබගේ බුද්ධියේ
අලුයම් කල සිට
දහවල් වනතුරුත් බැඳ
ඇති යදම් නොකඩා
කෙසේනම් දුක් ගැහැට
පිරිපත
මැඩගෙන නැගිටිනුද ?
හිරු රැසින් දිලිසී
ඔබ නෙත් අඳ කරන
පුරුකෙන් සුසැදුණද
නිදහස යැයි ඔබ කියන
දෙය
ඒ අතරින් සවිමත්ම
යදමය සැබැවින්ම
නිදහස ලැබුම උදෙසා
ඔබ ඉවතලන්නේ
ඔබගේම ආත්මයේ
බිඳුණු කැබිලිති විනා
අන් කවරක්ද ?
ඔබ අහෝසි කරනුයේ
අසාධාරණ නීතියක් නම්
එය ඔබ විසින්ම ඔබ
නළලත ලියා ගත්තකිය
නීතිපොත් ගිනිබත්
කළද, විනිසුරන් නළල මත
මහ මුහුද වත් කොට
සෝදා හළද
ඒ නීතිය මකා දමනු
නොහැකිය
ඔබ පළවා හරිනුයේ
ඒකාධිපතියෙකු නම්
ඔහුගේ සිහසුන ඔබ
ඇතුළාන්තයෙන්
විනාශ කොට ඇතිදැයි
පළමුව බලනු මැන
ඔබගේම නිදහසෙහි
ගැති බවත්, ඔබගේ අබිමනෙහි අවමනත්
නොමැත්තේ නම්
දරුණු පාලකයෙකු
කෙසේ නම්
නිදහස්, අබිමන්
මිනිසුන්
පාලනය කරන්නේද ?
ඉදින් ඔබ ඉවතලන්නේ
බරක් නම්
ඒ බර ඔබම
තෝරාගත්තක් මිස
ඔබ මත බලෙන් පටවනු
ලැබූවක්
නොවන්නේමය
ඉදින් ඔබ ඉවතලන්නේ
බියක් නම්
ඒ බිය ඇත්තේ ඔබගේම
හදවතේ මිස
වෙනෙකෙකු සතුව නම්
නොවේ
ආශාවද බියද,
පිළිකුල් කටයුතු දෙයද අදරින් වැලඳගත් දෙයද,
ඔබ සොයා යන දෙයද ඔබ
කෙරෙන් පළා යන දෙයද,
යන මේ සැමෙකක්ම ඔබ
තුළ නිරතුරු ගැවසිගත් ඒවාය
එකිනෙක වෙත ඇලුණු
එළිය හා සෙවණැලි පරිද්දෙන්
ඒවා ඔබ
තුළ නිරතුරු සැරි සරයි
සෙවණැල්ල මැකී ගොස්
අතුරුදන් වූ කල
රැඳුණු ආලෝකය තවත්
එළියක සෙවණැල්ල වන ලෙද
ඔබගේ නිදහසද යදමින්
මිදුණු විට
තව විසල් නිදහසක
බන්ධනය වනු ඇත
ඛලීල් ජිබ්රාන් (1883-1931)
(අනාගත වක්තෘවරයා
කෘතියෙනි)