2015/03/28

නදියේ ගීතය


























දැන සිටියෙමි මම ගංගාවන් ගැන:
මේ ලොව තරමටම පැරණි වූ
මිනිස් නහරවල ගලන ලෙයටත් වඩා පැරණි වූ
ගංගාවන් ගැන දැන සිටියෙමි මම

ගංගාවන් තරමටම
ගැඹුරු වී ඇත මා ආත්මය.

අලුයම ළපටි වූ කල
යුප්‍රටීස් නදියෙහි ගිලී නෑවෙමි
කොංගෝ නදිය අසබඩ
මා ගෙපැල තනාලූයෙමි
නින්ද යනතුරු මට
නදිය ගැයී නැලවිලි ගී

බලා නයිල් නදිය දෙස
ඉදි කළෙමි පිරමීඩ එහි ඉවුරු මත
ලින්කන්* යාත්‍රා කරන විට
මිසිසිපි නදිය ගයන සැටි ඇසිණි මට
කලලින් පිරි එහි පත්ල
හිරු බැස යන කලට
රන් පාටට හැරෙන සැටි දුටිමි මම

දැන සිටියෙමි මම ගංගාවන් ගැන:
පැරණි, අඳුරු ගංගාවන් ගැන

ගංගාවන් තරමටම
ගැඹුරු වී ඇත මා ආත්මය.
















- ලැන්ග්ස්ටන් හියුස් (1902-1967)
(The Negro speaks of rivers)


*ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසයවැනි ජනපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්  නව යොවුන් තරුණයෙකුව සිටියදී පාරුවක නැගී මිසිසිපි නදිය ඔස්සේ යාත්‍රා කොට නිව් ඕර්ලියන්ස් නගරය වෙත ගියේය. 1828 දී සහ 1831 දී වශයෙන් දෙවරක් ඔහු මේ යාත්‍රාවෙහි යෙදිණි. ඔහුගේ ජීවිතයට අත්දැකීම් සම්භාරයක් රැස්කර දුන් මේ නදී යාත්‍රා දෙක, ඇමෙරිකාවේ විශාලතම වහල් වෙළෙඳපොළ වූ නිව් ඕර්ලියන්ස් නගරයට ඔහු නිරාවරණය කළේය. මේ අත්දැකීම් පසු කලෙක වහල් මෙහෙය අහෝසි කරන්නට ඔහු දැරූ ප්‍රයත්නවලට විශාල පිටිවහලක් සැපයූ බව කියැවේ. 1862 දී ලින්කන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වහල් සේවය අහෝසි කළේය.  

චිත්‍රය: Phoebe Beasley

2015/03/21

සිසිලැ’ති සඳ













තන්කො නමැති ජපන් හයිකු කවියා විසින් ලියන ලද මේ කවිය යොඑල් හොෆ්මාන් විසින් සංගෘහිත Japanese Death Poems නමැති කෘතියෙන් ගෙන පරිවර්තනය කෙරුණකි. එකී කෘතිය ජපන් සෙන් ඇදුරන් හා හයිකු කවීන් සිය මරණ මංචකයේ සිට කියූ හෝ ලියූ කවිවලින් සමන්විතය. තන්කො (මොහු බෂො නමැති සුප්‍රකට ජපන් හයිකු කවියාගේ ශිෂ්‍යයෙකි) විසින් සිය මරණයට ටික කලකට පෙරාතුව මේ කවිය ලියනු ලැබීයැයි සැලකේ. තන්කො,1735 වසරේදී පමණ මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.

සිසිලැ’ති සඳ

අදත්,
කොමඩු සිසිලැ’ති සඳ
පායයි කුඹුරු උඩින්

දිවි තොර කරන අවිය:
ඇදී ගොස් දඩයක්කරුගේ නලා හඬ* වෙත
ඇවිද එයි මුවැත්තියක්

වළා ඇඳුම් අතෙන් එළියට
කාන්දු වූ සඳ
විසුරුවයි සෙවණැලි හාත්පස

සොහොන්ගැප් කන්දෙහි**
කුහර මත
පතිතවෙයි පළමු හිම

-තන්කො

* සංවාසය පිණිස ගැහැනු සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සරත් සමයේදී මුවන් විසින් නගන හඬට සමාන හඬක් නැගෙන නලාවක් දඩයක්කාරයෝ පිඹිති. ඒ නලාව පිඹින විට එම හඬට මුවැත්තියෝ ආකර්ෂණය වෙති.

** ක්යෝතෝ නුවර එනමින් පිහිටි කන්දකි. ඒ මත සුසාන භූමියක් වෙයි.


චිත්‍රය: Joan A Hamilton

2015/03/14

අවසන් යැදුම





















බලකොටුවක් සේ දැඩි රැකවල් කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්

මුදුබවේ යතුරෙන් දොරගුළු විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට පෙරට
නොනගා හඬක් ඉදින්

නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)

 














-වෝල්ට් විට්මන් (1819-1892)

චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර්

2015/03/07

ගීතාංජලියෙන්....


























(මහා කවි රබීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ ගීතාංජලී කාව්‍යයේ 74 වැනි පැදිය)

අවසානය දවස,
සෙවණැල්ල ඇත මිහිකත වසාගෙන
පුරවාලනු පිණිස මා දිය බඳුන
ගංතෙරට යායුතු වෙලාවයි මෙය

නදියේ සෝබර මියැසියෙන්
පිරී ඇත සැඳෑ වාතලය
අහා! එය කැඳවයි මා
ගොම්මන් අඳුර වෙත

හුදෙකලා පටුමගෙහි
යනෙන කිසිවෙකුත් නැත
නැගී එයි මාරුතය
මවා නෙක රැළි දිය මත

නොදනිම් ඉතින් මා යළි
ඒ දැයි නිවහනට
එලෙසෙම නොදන්නෙමි
කවුරුන් හමුවෙයිද
දිය මංකඩ අසළ, කුඩා ඔරු කඳ මත
නන්නාඳුනන ඔහු, වයයි සිය වීණාව.


සෙවුම්