Friday, 28 November 2014

ගයනු මැන වස්දඬුව දී මා අතට- ඛලීල් ජිබ්රාන්






















ගයනු මැන වස්දඬුව දී මා අතට
අජරාමරබව රැඳී ඇත ගීයක
අප නැසී ගිය පසුව වුව
වැලපේය වස්දඬු රාවය

ගලන දියපහරවල් දිගේ ගොස්
ගිරි ශිඛර මත නැගුණු මා මෙන්
සරණ සෙව්වෙහිද ඔබ
හුදෙකලා වන අරණක?
සුමිහිරි විලවුනක ගිලී ගොස්
එළියකින් ගත වියළුවෙහිද කිසි දිනෙක
බිව්වෙහිද හිමිදිරිය මිදි පැනක් මෙන්
බහා ද්‍රවමය කුසලානවල?

ගයනු මැන වස්දඬුව දී මා අතට
ගීය යනු අනගිතම යැදුමකිය
ජීවිතය නැතිව ගිය පසුව වුව
වැලපේය වස්දඬු රාවය

රන්වන් පහන් පොකුරෙන් ගැවසි
මිදිවැල් අතර හිඳ
ගත කළෙහිද කිසි කලෙක
සවස්වරුවක් ඔබ ?
අමතක කොට ගෙවුණු කල
නොසිතමින් හෙටක් ගැන
නිදිගත්තෙහිද ඔබ රැයක
එලාලූ තණ පලස මත
මුළු අවකාශයම
පොරෝණාවක් කොට?

ගයනු මැන වස්දඬුව දී මා අතට
ගී නද පසිඳලයි යුක්තිය හදවතට
සියලුම වරදවල් අහෝසිව ගිය පසුව
වැලපේය වස්දඬු රාවය
ගයනු මැන වස්දඬුව දී මා අතට
අමතක කොට රෝ බියද පිළියමද

දුර්වලව දිවි ගෙවන මිනිසා
සෙමින් මිය යනු ඇත
මන්දයත්,
මිනිසුන් වනාහි වෙනයම් දෙයක් නොව
දිය මත කුරුටු ගෑ ඉරි ටිකක් පමණකිය
මකුළු දැල නිර්මිත හුයවල් පමණකිය

වන අරණ වනාහී දිවියේ නිවහනය
මා අතේ ඉතිරි දින විසුරුවන්නේ එහිය
ඒ ගැන තීරණය කාලය සතුව ඇත
වන අරණට ඇදෙන මා සිත
වලක්වයි කාලය

දෛවයේ ගමන් මග දිරියෙන් අනූනය
එනමුදු මිනිස් අරමුණු ඊටත් සවිමත්ය



-        











 - ඛලීල් ජිබ්රාන් (1883-1931)



Friday, 7 March 2014

හිමවැටෙන සැඳෑවක වනපෙත අසබඩ නැවතී

















*චිත්‍රය: ග්‍රැහැම් පෝප්*


මේ කාගේ වනරොදක් දැයි, සිතමි මම මා දනිත් යැයි
පිහිටා තිබේ ඔහු නිවෙස ගම්මානයේ
නොදනී හෙතෙම එනමුදු මා මෙතැන නතර වූ වගක්
දකින්නට එවනරොද පිරී යන සැටි හිමෙන්

මා කුඩා අසු සිතනු ඇත එය අරුමයක්යැයි
නැවතුම මෙසේ අහළක නැතිව නිවෙසක්
වනපෙත හා දිය මිදුණු විල අතරමැද
වසරේ අඳුරුතම රාත්‍රියේ

සොලවයි හෙතෙම ගෙලෙහි බැඳි කිකිණි
අසන්නට මෙන් මහට වැරදී ඇතිදැයි යමක්
මඳ සුළඟ හමන හඬ, හිම පියලි වැටෙන හඬ
පමණකිය ඒ හැරුණු විට ඇසෙන්නේ

වනපෙත සොඳුරුය, අඳුරුය, ගැඹුරුය
එනමුදු රකින්නට ප්‍රතිඥා මවෙත ඇත
නිදන්නට පළමුව බොහෝ දුර යා යුතුය,
නිදන්නට පළමුව බොහෝ දුර යා යුතුය.










-රොබට් ෆ්‍රොස්ට් (1874-1963)

Stopping by Woods on a Snowy Evening
Whose woods these are I think I know.
His house is in the village, though;
He will not see me stopping here
To watch his woods fill up with snow.

My little horse must think it queer
To stop without a farmhouse near
Between the woods and frozen lake
The darkest evening of the year.

He gives his harness bells a shake
To ask if there is some mistake.
The only other sound's the sweep
Of easy wind and downy flake.

The woods are lovely, dark, and deep,
But I have promises to keep,
And miles to go before I sleep,
And miles to go before I sleep. 
-Robert Frost