2014/02/04

ආදරයේ දර්ශනය


*චිත්‍රය:- ගුස්ටාව් ක්ලිම්ට්*

උල්පත් මුසු වේය ගං හෝ දිය සමග,
ගං දිය මුසු වේය මහ සයුරත් සමග;
දිව පවන් මුසුව ඇත මිහිරි හැඟුමන් සමග
තනිව ඇති කිසිවක් නැත්තේය මේ ලොව
දෙව් නියමයකට අනුව මුසුව ඇත තවෙකක් සමග
ඉතින් මා ඔබ එලෙස නොකරනු ඇයිද ?

බලනු මැන, අර කඳු සිඹිනයුරු නුබ ගැබ,
නොපෙනේද දියරැළි එක්වන අපූරුව;
හැකිද මලකට ඉතින් තව මලක් පිළිකුල් කරන්නට;
වැලඳ ගෙන හිරු රැස් ඇත්තේය මහ පොළොව,
සඳ කිරණ හාදු දෙයි සිඳු ජල තලය මත;--
සිප නොගන්නේ නම් ඉදින් මා ඔබ,
කවර පලයක් වේද ඒ සියලු හාදුවල ?










පර්සි බිෂ් ෂෙලී (1792- 1822)

29 comments:

  1. කියවන අය අඩු උනාට . කමෙන්ට් අඩු උනාට කමක් නැ , දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටං. ඔහොම කියන එකත් ලොකු දෙයක්නේ. ලියන එක මට සතුටක්. ඒ හින්දා කියවන අය අඩු වුනත්, කොමෙන්ට් අඩු වුනත් දිගටම ලියනවා. කවුරු හරි කියවයිනේ.

      Delete
  2. හරිම අපූරු අදහසක් නිලුක,''කිසි දෙයක් තනිව නෑ සියළුම දේ තවෙකක් සමගයි,ඉතිං අප පමණක් ඒ ධර්මතාවෙන් මිදෙන්නේ ඇයි''
    කමෙන්ට් ගැන බලන්න එපා මෙවැනි හරවත් පරිවර්තන අප ආසාවෙන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හැලපෙ මං මේක කොහොමහරි අල්ලගෙන යන්නේ. ස්තූතියි.

      Delete
  3. ආදරය දිහා දේව නිර්මාණවාදී විදිහට දැකපු කවියක්.මේ අනුව හිතෙන්නේ හුදෙක් ඒ දෙදෙනා පිරිමියෙක් හා ගැහැණියක් ම නිසා ආලය කළ යුතු බවයි.සමහරවිට ඒ කාලේ හැටි වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔව්, දේව නිර්මාණවාදය මේ කවියේ පිළිබිඹු වෙනවා තමයි. අප කවිය තේරුම් ගත යුත්තේ ඔබ කියන ආකාරයට කාලය නමැති සන්දර්භය තුළ එය තබමින්. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  4. After I read your poem, I tried another way. This time, rhythm destroys Percy Bysshe Shelley. oh.....

    ගංගාවන් හා උල්පත් මුහු වෙනවා
    සමුදුර සමඟින් ගංගා එක් වෙනවා
    මිහිරැති බව හා සුරලොව සුළඟ සදහට මුහු වෙනවා
    තනි වූ කිසිවක් නොමැති ය ලෝකේ
    සියල්ල දිවමය නියමයකින්
    එකිනෙක හමු වී මුහුවෙද්දී
    ඇයි ඔබ මා එසේ නොවන්නේ?

    බලන්න ඉහළාකාශය සිඹින කඳු
    තරංගයන් එකිනෙක වෙළෙන බඳු
    සමාවක් නොලබන්නේ කිසි කුසුමකදු
    පිළිකෙව් කරයි නම් තම සොයුරිඳු
    මිහි වළඳින ඉරෙළිය
    සයුර සිඹින සඳෙළිය
    මෙසියල් සොඳුරු දෑ වටීද
    නුඹ මා සිප නොගන්නා කල?

    ඔබේ පරිවර්තනය අගෙයි. "හැකිද මලකට ඉතින් තව මලක්" කියන කොට මට හිතුණේ කාන්තාවක් කාන්තාවකට කරන ප්‍රේමයක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පරිවර්තනය නරක නෑ. ඒත් ඔබේ ස්වයං නිර්මාණ මීට වඩා අති උත්කෘෂ්ටයි. මල ගැන මුල් කවියේ තියෙන්නේ මෙහෙමයි: No sister flower could be forgiven, If it disdained its brother; ඔබ එය පරිවර්තනය කර තිබෙනවා නිවැරදිව. ඒත් කාව්‍යාත්මක බව රකිනු පිණිස මා එය දැන් තිබෙන ආකාරයට පරිවර්තනය කළා.

      Delete
    2. පැහැදිලිවම මේ කවිය සමඟ යන්නේ ඔබගේ ආකෘතිය සහ ඔබගේ යෙදුම්. මම වෙනත් විදිහකට වචන සමඟ සෙල්ලමක් කළා පමණයි.. වේග රිත්ම ගීතයක් වගේ දේකට මම උත්සාහ කළේ.. එතකොට ඉතින් Robert Frost කියන්නා වගේ 'Poetry is what gets lost in translation.'තමයි :)

      Delete
    3. කඳු & නිලුක.....අපි කුඩා කල සිටම කරන්නේ වචන හා සෙල්ලමක්නේ...ඒ වචන තමයි අපි ඊට පස්සේ රිද්මයානුකූල කර ගන්නේ. ඊට පස්සේ තමයි තේරුම් ඉගෙන ගන්නේ. ඊටත් පස්සේ තමයි ඒවා කවි ,කතා කරන්නේ....කඳු ඔහොම යන්න. නිලූක තවත් ලස්සන රටාවක් මේක.

      සබඳ අපි කඳු නොවෙමු
      උනුන් පර යා නොයන
      සුනිල දිය දහර වෙමු
      එකම ගඟකට වැටෙන......

      රත්න ශ්‍රී විජේසිංහයන්ද ලිව්වේ?

      Delete
  5. ඔබේ පරිවර්තනය හරිම ප්‍රේමාන්විතයි. මැවී පේනවා කෙනෙක් කෙනෙකුට මහත් ඉවසීමෙන් ඒ වචන කියන හැටි.

    ReplyDelete
  6. අපූරු කවියක්.. පරිවර්ථනයත් එක්කම මුල් කවියත් දැම්මනම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ නිර්මාණයේ ඉඳන් එහෙම කරමු. ස්තූතියි දිනේෂ්.

      Delete
  7. ලස්සනයි. දිගටම ලියන්න. යටින් මුල් කතුවරයාගේ නම දාන ගමන් මුල් නිර්මාණයේ නමත් (ඉංග්‍රීසියෙන්) දාන්න බලන්න. එතකොට මුල් නිර්මාණය ගූගල් කරලා රස විදින්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීම ගැන ස්තූතියි රන්දික. ඊළඟ නිර්මාණයේ ඉඳන් නම විතරක් නැතිව සම්පූර්ණ මුල් කවියම පළකරන්නම්.

      Delete
  8. ඉවසිලිවන්තව දිගටම මේ වගේ උසස් නිර්මාණ පරිවර්තනය කරන්න හැකි වේවා.
    ජයෙන් ජය වේවා

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීම බෙහෙවින් අගය කරනවා මහේෂ්. ඔබටත් ජය !

      Delete
  9. ආදරයට නියත අරුත . . . . . . සිතේ ගැඹුරුම තැන් සිප ගන්නා මෙවන් නිර්මාණ තව තවත් අපට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා.
    ~ ~ ~ ශාමලිකා ~ ~ ~

    ReplyDelete
  10. නිලුක......ඔබගේ හැකියාවන් පුවත් පත් තුලින් දුටු කෙනෙක් හැටියට , මේ නිහඬතාවය වත්මන් පරපුරට කරන අසාධාරනයක් යැයි මම නැවත ලියා තබනවා.

    කඳු නම් වූ ඇයත් සිංහල භාශාව හා එක්ව කරන කවි හරඹයන් මා නිහඩව රස විඳිනවා. ඇයත් කරන්නේ මා පෙර ඔබට කිව්වාසේ සීමිතව ලබන තෘප්තියක් පමණයි. ඔබ සැවොම එක්වී මේ කවි උල්පත් තවත් අයට පාදාගන්න විවෘත වේදිකාවල් නිර්මානය කරන්න. මේ හැකියාවන් බ්ලොග් නම් සීමිත පරාසයේ සිර නොකරන්න. නිලූක, මේ වේදනාවකින් යුතුව කරන ආයාචනයක්.

    ReplyDelete
    Replies
    1. අරූ... මගේ හැකියාවන් ගැන ඔවැනි තක්සේරුවකට එළැඹීම ගැන මට සතුටුයි. පුවත්පත්කලාවේ නියැළි යුගයේදී මා වැඩදායි යමක් කරන්නේය යන හැඟීම මා තුළ නිරන්තරයෙන් ඇතිව තිබුණා. ඇත්ත. මේ නිර්මාණ යන්නේ සීමිත පරාසයක් තුළ සිටින පාඨකයන් පිරිසකට පමණයි. පුවත්පත මීට වඩා ජනතාව අතරට යන මාධ්‍යයක් නිසා වැඩි දෙනෙක් අතරට නිර්මාණ ගෙන යන්න පුළුවන්. ඒත් මා මේ සීමිත පරාසයේ රැඳී සිටින්නේ කිසියම් හේතුවක් නිසායි. ඔබගේ අවංක අදහස් පළකිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.

      Delete
  11. මේ වගේ මැණික්කැට වගේ කවි පොඩි කොහෙන්ද අප්පේ හොයා ගන්නේ . අපුරුයි නිලුක

    ReplyDelete
  12. අන්තර්ජාලයෙන් තමයි. සමහර ඒවා ගෙදර තියෙන පොත්වලින්. ස්තුතියි තිලක අයියා.

    ReplyDelete
  13. අපව රස ගඟුලට කැඳවන
    කිවිඳ ඔබටයි මේ ප්‍රණාමය.......

    ReplyDelete
  14. ප්‍රණාමය හිස නවා පිළිගනිමි.

    ReplyDelete
  15. අද අහම්බෙන් වගේ දැක්කේ මේ අපූරු බ්ලොග් අඩවිය.
    දිගටම ලියන්න සොයුර
    ඉඩ ලද විටෙක ගොඩ වෙන්නම්
    ජය...!

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීම ගැන ස්තූතියි.

      Delete

සෙවුම්