2015/07/27

ලීඩා සහ තිසරා*





















හදිසි පහරෙකි: ප්‍රකම්පිත යුවතිය මතින්
ගැහෙයි සුවිසල් පියාපත් තවමත්
කලු ජාල පාවලින් පිරිමැදෙයි ඈ දඟ යුග
ඈ ගෙලෙහි පසුපස සිරව ඇත ඔහුගේ හොටට
අසරණ ඇගේ ළය තදව ඇත ඔහුගේ ළයට

භීතියෙන් කම්පිත ඒ ඇඟිලිවල උදව්වෙන්
පියාපතෙන් නිර්මිත වූ ඒ මහිමය
ඉහිල් වෙන ඈ කලවාවලින් ඉවතට
තල්ලු කර දමන්නද කෙසේනම් ?
සුදෝසුදු ප්‍රවාහයෙහි වැතිරුණු ඈ සිරුර
අමුතු හදගැස්මට කන් යොමනු හැර
කරන්නද ඉතින් වෙන කුමක්?

ඔහුගේ දෙපා මුල ගැස්මෙන් ජනිත වෙයි
බිඳුණු පුර පවුරු, ගිනිගත් වහලවල් හා කුළුණු
සමගින් මරණය ඇගමෙම්නොන්ගේ**

සිරව ඔහුගේ ග්‍රහණයෙහි,
මුසපත්ව තිරිසන් ලෙයින් වාතලයේ රැඳුණු
ගත්තේද ඈ ඔහු දැනුම සහ බලය තමා වෙත
උදාසීන හොට ඇය අතහරින්නට පළමුව ?














-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

* මෙම කවිය යේට්ස්ගේ Leda and the Swan නමැති කාව්‍යයේ පරිවර්තනයකි. ග්‍රීක දේවකතා පුරාණය අනුව ස්පාටාවේ රජු වූ ටින්ඩේරියස්ගේ බිරිය වූ ලීඩා රැජින තිසරෙකුගේ වෙස්ගත් මහදෙවි සියුස් විසින් වසඟයට ගනු ලබයි. සුන්දර ලීඩා වසඟයට ගෙන ඇය හා රමණයෙහි යෙදෙනු රිසි වූ සියුස් මහදෙවි තිසර වෙසක් මවාගෙන, රාජාලියෙකුගේ ග්‍රහණයෙන් බේරෙන්නට එන මුවාවෙන් ඈ වෙත එයි. මේ කිසිත් නොදත් තරුණ ලීඩා තිසරාට රැකවරණය දෙන්නී ඔහුගේ වසඟයට පත්ව දූෂණයට ලක්වන්නීය. එම අවස්ථාව මෙම කවියෙන් නිරූපිතය. මේ අනුව සියුස් මහදෙවිට දාව ලීඩා රැජින දරුවන් දෙදෙනෙකු ලබන්නීය. ඉන් එක් අයෙකු වන්නේ ට්‍රෝජන යුද්ධයට මුල්වූ සුරූපි හෙලන්ය. දෙවැනියා පොලිඩියුසියස් නම් වේ. මීට අමතරව ලීඩාට සිය සැමියා වූ ටින්ඩේරියස්ට දාව උපන් දරුවෝ දෙදෙනෙක්ද වූහ. ඉන් එක් අයෙකු කැස්ටර් නම් වූ අතර දියණිය ක්ලයිටම්නිස්ට්‍රා නම් වූවාය. ට්‍රෝජන යුද්ධයේදී ට්‍රෝයි හමුදාවලට විරුද්ධව සටන් කළ එක්සත් ග්‍රීක හමුදාවල නායකයා වූ ඇගමෙම්නොන් මහරජු ආවාහ කොට ගත්තේ මේ ක්ලයිටම්නිස්ට්‍රාය. ට්‍රෝජන යුද්ධය ජයගෙන පැමිණෙන ඇගමෙම්නොන් මහරජු ක්ලයිටම්නිස්ට්‍රාගේ අනියම් පෙම්වතා වන ඊජිස්තස්ගෙන් මැරුම් කයි. තවත් කතාවකට අනුව ඇගමෙම්නොන් මහරජු මරා දමන්නේ ඊජිස්තස් නොව ඔහුගේ බිරිය වන ක්ලයිටම්නිස්ට්‍රාමය.

**ඇගමෙම්නොන් මහරජුගේ මරණයට හේතුව වන ක්ලයිටම්නිස්ට්‍රාද ලීඩාගේ දියණියකි. මහදෙවි සියුස් සිය මවට කළ හදියෙන් දරුණු මානසික පීඩාවකට ලක්වන ක්ලයිටම්නිස්ට්‍රා එයින් හටගත් විපරීත මනස නිසාවෙන් පසු කලෙකදී ඇගමෙම්නොන් මරා දමන්නට ඇති බවට කවියා මෙහිදී ඉඟි කරයි. අනෙක් අතට ට්‍රෝජන යුද්ධයට මුල් වූ හෙලන් උපදින්නේ මහදෙවි හා ලීඩා අතර මේ අවස්ථාවේදී ඇතිවන සහවාසයෙනි. ඇගමෙම්නොන්ගේ මරණය, බිඳුණු පුර පවුරු, ගිනිගත් වහලවල් හා කුළුණුවලට වක්‍රව වගකිවයුතු හෙලන්ගේ උපතට හේතුව මෙම කවියෙන් විස්තර වන සිද්ධිය බවටද කවියා මෙහිදී ඉඟි කරයි.   

12 comments:

  1. මං හිතන්නෙ සියුස් තමයි සකල වූ සට කපට කම් වලින් අන්‍ය භාර්යාවන් රැසක් සමගම නිදි වැදුණ දෙවියා. සියුස් මැරෙන්න හේතුව වෙන්නෙත් අර්ධ දෙවියෙක් නෙද. මට හරියටම මතක නැතත් ඒක එහෙම වගෙයි. සියුස් හංද ඇට මැහි ප්‍රහාර වලට ලක්වෙව දුවන අයෝගෙ දරුවෙක අතින් වගෙ මතක විදියට. හේරා වුණත් කැමති වෙන්න ඇති.

    අගෙයි පරිවර්තනය. ඒ වගෙම තුති පරිකතා වන් වලට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ඔබ කියන කතාව හරි. සියුස්ගේ චරිතය එහෙම තමයි. මේ පරිකතා යොදා ගත්තේ ඒවායෙන් තොරව කවිය තේරුම් ගැනීමට අපහසු නිසයි. රස වින්දාට ස්තූතියි.

      Delete
  2. ලස්සනයි කවිය. කතාව නැත්තම් තේරුම් ගත්ත අමාරුයි තමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍ර වර්ණ. සංදර්භය දැනගැනීම කවිය තේරුම් ගැනීමට විශාල උදව්වක්. විශේෂයෙන්ම යේට්ස් කියවීමෙදී එය වැදගත්. හේතුව ඔහු බොහෝ වේලාවට තම කවිවලට සම්භාව්‍ය සාහිත්‍යයෙන් වස්තුබීජ සපයා ගැනීම.

      Delete
  3. පරිවර්තනය හරිම අපූරුයි නිලුක මම ගොඩක් රස වින්දා.රස වින්දනයට ඔබේ පැහැදිලි කිරීම බෙහෙවින් උපකාර වූ බව කිවයුතුමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ. ගොඩ කලකින් මේ පැත්තට ගොඩවුණේ. මොකද වැඩ වැඩිද? නිවාඩු ගත්තද?

      Delete
  4. අපුරුයි නිලුක කවියත්,පසුබිම් වූ කතාවත් බෙහවින්ම රස වින්දා.

    ReplyDelete
  5. රස වින්දෙමි. ස්තුතියි....

    ReplyDelete
  6. රස වින්දෙමි. ස්තුතියි....

    ReplyDelete

සෙවුම්