2011/10/31

කෙටිම කෙටි කතාවක්

පාදුවා නුවර එක් උණුසුම් සැන්දෑවක ඔවුහු වහළය මතට ඔහු රැගෙන ගියෝය. ඒ ඔහුට වහළ මත සිට පහතින් ඇති නගරය පෙනෙනු පිණිසය. අ‍හසේ වැහි ලිහිණියෝ පියැඹූහ. මඳ වේලාවකින් අඳුරු වැටුණු අතර නිරීක්ෂක විදුලි එළි දැල්විණි.  සෙස්සෝ බෝතල්ද රැගෙන පහළට බැස්සෝය. ඔවුන් පහත සඳළුතලයේ සිට කතාබහ කරන හඬ ඔහුට සහ ලුස්ට ඇසිණි. ලුස් ඇඳ මත හිඳ ගත්තාය. උණුසුම් රාත්‍රියේ ඇය සිසිල්ද නැවුම්ද වූවාය.

තුන් මසක් තිස්සේ ලුස් රාත්‍රී සේවා මුරය වැඩ කළාය. ඇයට එසේ වැඩ කරන්නට දීම ගැන ඔවුහු සතුටු වූහ. ඔහු ශල්‍ය කර්මයට භාජනය කරන විට ඕ ඒ සඳහා ඔහු සූදානම් කළාය. ඔහු නිර්වින්දනය කරනු ලැබූ විට සිහිය නැතිවන තුරු පවතින විකාරමය කාලය තුළ නන් දෙඩවීම නතර කර ගැනීම පිණිස හෙතෙම තිර අදිටනින් කටයුතු කළේය. කිහිලිකරුවලින් ඇවිදින්නට හැකි වූ විට ඔහු වාට්ටුවේ සිටි අනෙක් රෝගීන්ගේ උෂ්ණත්වය සටහන් කිරීමට හුරු වූයේ ඒ කටයුත්ත කරන්නට රෑ පුරා අවදි නොවී ලුස් ට නිදා ගැනීමට හැකිවනු පිණිසය. වාට්ටුවේ සිටියේ රෝගීන් ටික දෙනෙකි. ඒ සියලු දෙනාම ඒ ගැන දැන සිටියෝය. ඔවුහු සියලු දෙනාම ලුස් ප්‍රිය කළහ. වාට්ටුව දිගේ නැවත ඇවිදගෙන යන ඔහු ලුස් තමාගේ ඇ‍ඳෙහි සිටින සැටි සිතේ මවා ගත්තේය.

ඔහු පෙරළා යුද පෙරමුණට යාමට පෙර ඔවුහු දෙව්මැදුර වෙත ගොස් යාඥා කළහ. දෙව්මැදුර ඇතුළත අඳුරුද නිශ්චලද වූ අතර තවත් අය එහි යාඥා කරමින් සිටියෝය. ඔවුන්ට විවාහ වීමට ඇවැසි වුවද පල්ලියේ පෙර නම් දීමට වේලාවක් නොතිබිණි. ඔවුන් දෙදෙනාටම උප්පැන්න සහතිකද නොවීය. තමන් විවාහක බවක් ඔවුන්ට  හැඟුණද ඒ ගැන සියලු දෙනාම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. එය නැති නොවී පවතිනු පිණිස විවාහය සිදු කරන්නට ඔවුන්ට අවශ්‍ය වූයේය.

ලුස් ඔහුට ලියුම් විශාල ප්‍රමාණයක් ලියූවද සටන් විරාමය අවසන් වනතුරුම ඔහුට ඒවා ලැබුණේ නැත. ලියුම් පහළොවක මිටියක් යුද පෙරමුණ වෙත ලැබුණු අතර ඔහු දින අනුපිළිවෙළින් ඒවා සකස් කොට නොනවත්වා කියවා ගෙන ගියේය. ඒ සියලු ලියුම්වල සඳහන් වූයේ රෝහලේ විස්තරත්, ඇය ඔහුට කෙතරම් ආදරය කරන්නේද යන්නත්, ඔහු නොමැතිව ජීවත්වීම කෙතරම් අසීරුද යන්නත්,රාත්‍රිය ඔහු නොමැතිව ගතකරන්නට වීම කෙතරම් පාලුද යන්නත්ය. 

ඔහු පෙරළා මවුබිමට යායුතු බවත් එසේ ගොස් ඔවුන්ට විවාහවීමට හැකිවන පරිදි ඔහු රැකියාවක් සොයාගතයුතු බවත් සටන් විරාමයෙන් පසුව ඔවුහු තීරණය කළහ. ඔහුට හොඳ රැකියාවක් ලැබෙන තුරු ලුස් මවුබිමට නොපැමිණීමටද එසේ රැකියාවක් ලැබුණු පසු ඇය නිව්යෝක් නගරයේදී හමුවීමටද තීරණය විය. ඔහු එක්සත් ජනපදයට ගිය පසු මත්පැන් පානය නොකරනු ඇතැයිද සිය පැරණි සගයන් සොයා සංචාරය නොකරනු ඇතැයිද අවබෝධ කොට ගැනිණි. එකම අරමුණ වූයේ රැකියාවක් සොයාගෙන විවාහ වීමයි. පාදුවාවේ සිට මිලානෝ තෙක් දුම්රියෙන් ගිය ගමන අතරතුර, ඉක්මනින් පෙරළා මවුබිමට යෑමට ඇය තුළ වූ නොකැමැත්ත සම්බන්ධයෙන් ඔවුහු දබර කර ගත්හ. මිලානෝ දුම්රියපොළේදී එකිනෙකාගෙන් සමුගන්නා වේලාව පැමිණි විට ඔවුන් සිප ගත්තද ඔවුන්ගේ දබරය අවසන්ව නොතිබිණි. ඒ ආකාරයෙන් ඇගෙන් සමුගන්නට සිදුවීම ගැන ඔහු නොසතුටට පත්විය.

ජෙනෝවාවෙන් පිටත් වූ නැවකින් ඔහු ඇමෙරිකාවට ගියේය. රෝහලක් පිහිටුවීම පිණිස ලුස් පොර්දොනෝනෙ වෙත ගියාය. එය වැසි සහිත හුදෙකලා ස්ථානයක් වූ අතර ඉතාලි හමුදාවේ විශේෂ බලකා සේනාංකයක් එහි වාඩිලා සිටියේය. මඩින් පිරුණු, වැසි සහිත නග‍රයේ සිසිර කාලය ගෙවා දමන අතර සේනාංකයේ අණදෙන මේජර්වරයා ලුස් සමග රමණයේ යෙදුණේය. ඊට පෙර ඉතාලි ජාතිකයන් හැඳින නොසිටි ලුස් අවසානයේ එක්සත් ජනපදයේ සිටි ඔහු වෙත ලියා යැවූයේ තමන් අතර තිබූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු සහ ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයකට වඩා වැඩි යමක් නොවූ බවයි. ඒ සම්බන්ධයෙන් ඇය කනගාටු වූ අතර ඇතැම්විට ඔහු කිසි දිනෙක එය වටහා නොගන්නා බව දැන සිටියාය. එහෙත් දිනෙක ඔහු තමාට සමාව දෙනු ඇතැයිද තමාට කෘතඥ වනු ඇතැයිද ඇය ලියා තිබිණි. එමෙන්ම සපුරාම බලාපොරොත්තු නොවූ ලෙස තමන් වසන්ත ඍතුවේදී විවාහ වන්නට අපේක්ෂා කරන බවද ඇය ලියා තිබුණාය. සැමදාමත් පරිදි තමා ඔහුට ආදරය කරන බවද එහෙත් තමන් අතර වූ සම්බන්ධය හුදෙක් කුඩා පිරිමි ළමයකු හා ගැහැනු ළමයකු අතර වූ සම්බන්ධයක් වූ වග තමාට තේරුම් ගොස් ඇති බවද ලිපියේ සඳහන් විය. ඔහු සිය වෘත්තියේ ඉහළම හිණිපෙත්තට නගිනු ඇතැයිද තමා ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබා ඇතැයිද මේ සියල්ල වන්නේ හොඳට යැයිද ඇය ලියුවාය.

වසන්ත ඍතුවේදීවත් වෙන කවර කලකවත් මේජර්වරයා ඇය ආවාහ කොට නොගත්තේය. ඇය ඒ සම්බන්ධයෙන් චිකාගෝ නුවර වෙත යවන ලද ලිපියට කිසි දිනෙක පිළිතුරක් ලැබුණේද නැත. ඊට ටික කලකට පසුව ලින්කන් උද්‍යානය මැදින් කුලී රියක නැගී යන අතරතුර, චිකාගෝ වාණිජ මධ්‍යස්ථානයේ ඇති සුපිරි වෙළෙඳ සලක සේවය කළ තරුණියකගෙන් ඔහුට ගෝනෝරියාව වැළඳිණි. 









-අර්නස්ට් හෙමිංවේ (1899-1961)  


2011/10/25

දන්ත වෛද්‍යවරයා


චිත්‍රය:- ගෙරිට් ඩෝව්


සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය සාප්පුව විවෘත කළේය. වීදුරු කැබිනෙට්ටුව හැර එතුළින් බොරු දත් ඇන්දක් ගත් හෙතෙම උපකරණ කට්ටලයක් ගෙන ඒවායේ ප්‍රමාණය අනුව මේසය මත පිළිවෙළින් තැබුවේ හරියට ප්‍රදර්ශනයකට මෙනි. රත්රන් බොත්තමකින් කර පියැවුණු කොලරය නැති ඉරි වැටුණු කමිසයකින්ද උරැහිස් පටිවලින් එල්ලුණු කලිසමකින්ද ඔහු සැරසී සිටියේය. ඔහු ඍජු සිහින් මිනිසෙකු වූ අතර තමන් ජීවත් වන වටපිටාවට කෙසේත්ම නොගැලපෙන, ශ්‍රවණාබාධිත මිනිසුන් කෙරෙහි වන පෙනුමක් ඔහු සතු විය.

මේසය මත උපකරණ පිළිවෙළට තැබීම අවසන් කළ හෙතෙම විදින කටුව ආසනය ළඟට ගෙන බොරු දත් ඇන්ද ඔප දැමීමට පටන් ගත්තේය.  ඔහු තමන් කරන කාර්යය සිතා බලා නොකරන බවක් පළ කළද, විදින කටුවට බලය දෙන පැඩලය අවශ්‍යතාවකින් තොරව වුව පාගමින් හෙතෙම නොනැවතී වැඩ කළේය.


ජනේලයෙන් අහස බැලීම පිණිස උදෑසන අටට ඔහු සිය කාර්යය මඳකට නතර කළේය. යාබද නිවෙසේ වහළය මත කල්පනාභරිත ගිජුලිහණියන් දෙදෙනකු හිරුරැස් නාන සැටි ඔහුට පෙනිණි. ඔහු නැවත සිය කාර්යය ආරම්භ කළේ දිවා ආහාරයට පෙර නැවත වැසි ඇද වැටෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් යුතුවය. සිය එකොළොස් හැවිරිදි පුතුගේ තියුණු කටහඬින් ඔහුගේ අවධානය බිඳී ගියේය.


"තාත්තේ"


"මොකද ? "


" නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා"


"කියන්න මම නෑ කියලා. "


ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාම‍රයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා".


දන්ත වෛද්‍යවරයා දිගින් දිගටම දත පරීක්ෂා කරන්නට විය. කාර්යය අවසන් කොට එය මේසය මත තැබීමෙන් අනතුරුව පමණි ඔහු කතා කළේ:


"ඒක වඩාත් හොඳයි. "


ඔහු නැවතත් විදින කටුව ක්‍රියාත්මක කළේය. වැඩ අවසන් නොකළ දත් ඇඳි සහ කොටස් දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දත් ඇඳි කොටසක් ගත් ඔහු එහි වූ රත්රන් කොටස් ඔප දමන්නට විය.


"තාත්තේ"


"මොකද ? "


ඔහුගේ පෙනුම තවමත් වෙනස් වී නොතිබිණි.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා එයාගේ දත ගැලෙව්වෙ නැත්නම් වෙඩි ති‍යනවා කියලා."


කිසිදු කලබලයකින් තොරව අති ශාන්ත චලනයකින් යුතුව විදින කටුවෙහි පෙඩලය පෑගීම නතර කළ ‍ඔහු මේසයේ පහළම ලාච්චුව විවෘත කළේය. එහි රිවෝල්වරයක් තිබිණි. " හොඳයි "  ඔහු කීවේය. "කියන්න එයාට ඇවිල්ලා වෙඩි තියන්න කියලා".


කැරකෙන පුටුව දොරට මුහුණලා සිටින පරිදි ඇදගත් ඔහු ලාච්චුවේ කෙළවර මත සිය අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොර අබියසට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි වම් පැත්තේ රැවුල බා තිබුණු අතර වේදනාවෙන් ඉදිමුණු අනෙක් පැත්තෙහි දින පහක රැවුලක් විය. අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු රාත්‍රී රැසක ලකුණු නගරාධිපතිවරයාගේ දීප්තියෙන් තොර දෑසෙහි දන්ත වෛද්‍යවරයා දුටුවේය. සිය ඇඟිලි තුඩුවලින් සෙමෙන් ලාච්චුව වැසූ ඔහු මෘදු ලෙස කතා කළේය.


"වාඩි‍ වෙන්න. "


"සුබ උදෑසනක්, " නගරාධිපතිවරයා කීය.


"සුබ උදෑසනක් "  දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.


උපකරණ නටන ජලයෙහි තැම්බෙන තුරු නගරාධිපතිවරයා රෝගීන් වාඩි වෙන පුටුවෙහි හිඳගෙන එහි හිස රඳවනයේ හිස තබා ගත්තේය. ඔහුට පහසුවක් දැනිණි. ඔහුගේ සුසුම් දැඩි ශීතලෙන් යුක්ත විය.  දන්ත වෛද්‍යවරයාගේ කාමරය දුගී පෙනුමෙන් යුක්ත විය; පැරණි ලී පුටුව, පෙඩලයකින් ක්‍රියාත්මක වන විදින කටුව සහ පිඟන්මැටි බෝතල දැමු වීදුරු කැබිනෙට්ටුව ඒ බව කියා පෑය. පුටුවට ඉදිරිපසින් වූයේ උරැහිස් මට්ටමින් තිරයක් දැමූ ජනේලයකි. දන්ත වෛද්‍යවරයා තමා වෙත ළං වනු දැනුණු නගරාධිපතිවරයා පොළොවේ තදින් පය ගසාගෙන මුව විවෘත කළේය.


අවුරේලියෝ එස්කොබාර් නගරාධිපතිවරයාගේ හිස විදුලි බුබුල දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ හෙතෙම ප්‍රවේසමෙන් ඔහුගේ මුව වැසීය.


"නිර්වින්දන බෙහෙත් නැතුවයි දත ගලවන්න වෙන්නේ" ඔහු කීවේය.


"ඒ ඇයි ? "


" නරක් වෙච්ච දත ඇතුළෙ සැරව ගෙඩියක් තියෙන නිසා. "


නගරාධිපතිවරයා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවේය. " කමක් නෑ" යි කී ඔහු සිනාසෙන්නට වෑයම් කළේය. වෛද්‍යවරයා පෙරළා සිනා සුණේ නැත. ජීවානුහරණය කරන ලද උපකරණ සහිත බේසම ගත් ඔහු එය මේසය මත තබා කුඩා අඬුවකින් උපකරණ එකිනෙක එළියට ගත්තේ කිසිදු හදිසියකින් තොරවය.  ඉන් අනතුරුව කෙළ ගසන භාජනය සපත්තුවේ තුඩෙන් තල්ලු කළ හෙතෙම දෑත සෝදා ගැනීම පිණිස සෝදන බේසම වෙත ‍ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපතිවරයා දෙස නොබලමිනි. එහෙත් නගරාධිපතිවරයා ඔහු කෙරෙන් සිය බැල්ම ඉවත‍ට නොගත්තේය.


එය යටි හනුවේ ති‍බූ ඥාන දතක් විය. සිය දෙප දෙපසට විහිදවූ වෛද්‍යවරයා උණුසුම් අඬුවකින් දත තදින් අල්ලා ගත්තේය.  පුටුවේ ඇඳි තද කොට අල්ලා ගත් නගරාධිපතිවරයා සිය දෙපය මුළු වීරිය යොදා පොළොවේ ගසා ගත්තේය.  අයිස් බඳු ශීතල හිස්බවක් සිය වකුගඩුවලට දැනුණද ඔහු නොවේ කිසිදු හඬක් නැගුවේ. දන්ත වෛද්‍යවරයා චලනය කළේ සිය මැණික් කටුව පමණි. ද්වේශයෙන් තොරව එහෙත් සැරපරුෂ මෘදුබවකින් යුතුව ඔහු කතා කළේය:


" අපේ මැරිච්ච මිනිස්සු විසි දෙනා වෙනුවෙන් දැන් ඔබතුමා වන්දි ගෙවාවි. "


ජර ජර අනුකරණයෙන් සිය හනුවේ වූ අස්ථි බිඳි යන සැටි නගරාධිපතිවරයාට දැනිණි. ඔහුගේ දෑස කඳුළෙන් පිරී ගියේය.  එහෙත් දත ගැලවී එළියට එන තුරුම ඔහු හුස්ම නොගත්තේය. අවසානයේ කඳුළු මැදින් ඔහු දත දුටුවේය.  එය ඔහුගේ වේදනාවට කෙතරම් ආගන්තුක වීද යත් පසුගිය දවස් පහ තුළ එය කරණ කොට ගෙන තමන් විසින් විඳින ලද දරුණු වධය වටහා ගැනීමට ඔහු අපොහොසත් විය.


දහදියෙන් පෙඟී, හතිලමින් සිය කමිසයේ බොත්තම් ගැලවූ හෙතෙම කෙළ ගසන භාජනයට උඩින් නැවී කලිසම් සාක්කුවේ වූ ලේන්සුව සොයන්නට විය.  දන්ත වෛද්‍යවරයා ඔහුට පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්නේය.


" ඔය කඳුළු පිහ දා ගන්න, " දන්ත වෛද්‍යවරයා කීවේය.


නගරාධිපතිව‍රයා එසේ කළේය. ඔහු වෙව්ලමින් සිටියේය. දන්ත වෛද්‍යවරයා සිය දෑත සෝදන අතරතුර ගරාවැටෙන සිවිලිමද මැරුණු කෘමීන් සහ මකුළු බිත්තර රැඳි දූවිලි වැකුණු මකුළු දැලක්ද නගරාධිපතිවරයාට පෙනිණි. සිය දෑත පිසදමමින් වෛද්‍යවරයා පැමිණියේය. "ටිකක් නිදා ගන්න" ඔහු කීවේය. "ලුණු වතුරෙන් කට සෝදන්න. " නගරාධිපතිවරයා නැගී සිටියේය. සාමාන්‍ය හමුදා ආචාරයකින් වෛද්‍යවරයාට ආචාර කළ හෙතෙම දෙපා දිගහරිමින් දොර දෙසට ඇවිද ගෙන ගියේය. ඔහුගේ කමිසයෙහි තවමත් බොත්තම් දමා නොතිබිණි.


" බිල එවන්න. " ඔහු කීවේය.


" ඔබතුමාටද නැත්නම් නගරසභා කාර්යාලයටද? "


නගරාධිපතිවරයා ඔහු දෙස නොබැලුවේය. දොර වැසූ ඔහු දොර පැලැල්ල මැදින් කතා කළේය:


" ඔය දෙකම එකයි. "



- ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් (1927-)

2011/10/17

කහපාට තීන්ත (නූතන උපදේශ කතාවකි)


එකෝමත් එක නගරයක කහපාට තීන්ත වර්ගයක් විකුණන වෛද්‍යවරයෙක් ජීවත් වුණා. මේ තීන්තවල තිබුණු විශේෂත්වය තමයි එය හිසේ සිට දෙපතුළ තෙක් ආලේප කරගත් කෙනෙකුට ජීවිතයේ අතුරු ආන්තරාවලින්, පාපයේ බැඳීමෙන් සහ  මරණ බියෙන් සදහටම නිදහස් වන්නට පුළුවන් වීම. වෛද්‍යවරයා මේ බව තමන්ගේ විස්තර ප්‍රකාශ පත්‍රයේ සඳහන් කළා විතරක් නෙවෙයි නගරයේ ජීවත් වුණු සියලු දෙනාමත් එහෙම කිව්වා. මේ හේතුව නිසා තමන් මේ තීන්තෙන් මනාව වර්ණවත් කරගන්නවා ඇරෙන්නට වෙන හදිසි කටයුත්තක් මිනිස්සුන්ට ති‍බුණේ නෑ. ඒ වාගේම අනෙක් අයත් මේ තීන්ත තම තමන්ගේ සිරුරුවල ආලේප කර ගෙන සිටිනවා දකින එක තරම් සතුටක් ඒ අයට වෙන තිබුණෙත් නෑ. මේ නගරෙම වාසය කළා එක හොඳ පවුලකින් පැවතගෙන එන තරුණයෙක්. හැබැයි ඔහු ගත‍කළේ බොහෝම නොසැලකිලිමත් ජීවිතයක්. වැඩිහිටියෙකු වෙන වයසට ළංවෙලා හිටිය ඔහු මේ කහපාට තීන්ත ගැන කිසිම උනන්දුවක් පෙන්නුවේ නෑ. තීන්ත ආලේප කිරීම ගැන ඔහු හැමවිටම කීවේ ආ ඒක හෙට බැරියැ කියලයි. හැබැයි ඒ හෙට කියන දවස උදාවුණාමත් ඔහු ඒක තවත් කල් දැම්මා. ඔහුගේම වයසේ , ඔහුගේම වගේ ගතිගුණ ඇති, ඒ වගේම ජීවිතයක් ගත කරපු ඔහුගේ යහලුවෙක් ඇ‍ඟේ කහපාට තීන්ත බින්දුවක්වත් නැතිව පාරේ ඇවිදිමින් ඉන්න කොට වතුර ගෙනියන කරත්තෙකට අහුවෙලා මිය නොයන්න ඔහුත් මැරෙන තුරුම මේ විදියට වැඩේ කල් දමමින් ඉන්න ඉඩ තිබුණා. මේ සිද්ධියෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්වුණා. කහපාට තීන්ත සිරුරේ ආලේප කරගැනීමට ඔහුට බොහෝම උනන්දුවක් ඇති වුණා. ඒ නිසා එදා හවසම පවුලේ සියලු දෙනාම බලාගෙන ඉන්න විට, ඉතාම යෝග්‍ය සංගීතයක් පසුබිමෙන් වාදන‍ය වෙද්දී මහ හඬින් විලාප නගමින් සිටි ඔහුගේ සිරුරේ කහපාට තීන්ත තට්ටු තුනක් ආලේප කරනු ලැබුවා. තීන්තවලට උඩින් වාර්නිෂ් තට්ටුවකුත් ආලේප කළා. මේ සිද්ධියෙන් හැඟීම්බර වෙලා දෑසේ නැගුණු කඳුළු ඇතිව සිටි වෛද්‍යවරයා කිව්වේ මේ තරම් හොඳින් වෙන කිසිවෙකුගේ සිරුරේ තමන් තීන්ත ආලේප නොකළ බවයි.

මාස දෙකකට විතර පස්සේ දවසක ගිලන් මැස්සක් මත තබාගෙන අර තරුණයා වෛද්‍යවරයාගේ නිවෙසට ‍රැගෙන එනු ලැබුවා.

නිවෙසේ දොර විවෘත වූ ගමන්ම ඔහු කෑ ගැසුවා. මොකක්ද මේකෙ තේරුම ? මේ තීන්ත ගෑවාම ජීවිතයේ අතුරු ආන්තරාවලින් මාව ආරක්ෂා වෙනවා කියලා නේද කිවුවේ? මගේ යාලුවා යටවුණු කරත්තෙටම මාව අහු වුණා. බලන්න මගේ කකුල කැඩිලා.

අපොයි, වෛද්‍යවරයා විස්සෝප වුණා. මේක බොහෝම කනගාටුවට කාරණයක්. ඒත් මං හිතනවා මගේ තීන්තවල ක්‍රියාකාරිත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනෑ කියලා. ශරීරයේ අස්ථියක් බි‍ඳෙනවා කියන එක මහ විශාල දෙයක් නෙවෙයි මොකද ඊ‍ට වඩා භයානක දේවල් තිබෙන නිසා. අනෙක මගේ තීන්තෙන් ආවරණය වෙන ආන්තරා ගොන්නට මේ හදිසි අනතුර වැටෙන්නේ නෑ.  ඉලන්දාරියා, පාපය තමයි ප්‍රඥාවන්ත මිනිහෙක් තේරුම් අරගෙන පාලනය කළයුතු එකම විපත්තිය. මෙන්න මේ පාපයට ඔරොත්තු දෙන්න තමයි මම ඔබ සූදානම් කරලා තිබෙන්නේ. ඔබ පාපයට පෙළඹුණු දවසට ඇවිත් මට මගේ තීන්ත ගැන පැමිණිලි කරන්න.

ඔහෝ ! මට ඒක හරියට තේරුණේ නෑ.  ඒත් ඒකෙන් මගේ බලාපොරොත්තු කඩ වුණා. නමුත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇතිනේ. ඒකට කමක් නෑ. ඔබට පුළුවන් නම් මේ කකුල හදලා දෙන්න මම ස්තූතිවන්ත වෙනවා. තරුණයා කිවුවා.

ඒක මගේ වැඩක් නෙවෙයි. වෛද්‍යවරයා කිවුවා. ඒත් ඔබගේ ඔය අතවැසියන්ට පුළුවන් නම් ඔය වංගුවෙන් එහා ඉන්න ශල්‍ය වෛද්‍යවරයා ළඟට ඔබව ඔසවාගෙන යන්න ඔහුට  පුළුවන් වෙයි ඔබට සහනයක් සලසන්න.

****
අවුරුදු තුනකට විතර පස්සේ දවසක අර තරුණයා බොහෝම කැළඹීමෙන් වෛද්‍යවරයාගේ නිවෙසට දුවගෙන ආවා. මොකක්ද මේකෙ තේරුම ? ඔහු කෑ ගැසුවා. පාපයේ බැඳීමෙන් නිදහස් වෙන්නයි මට උවමනා කළේ.  ඒත් මම හොර අත්සන් ගැහුවා. ගෙවල් ගිනි තිබ්බා. මිනීමැරුවා. ඒ සියලුම පවු කළා.

අපොයි !, වෛද්‍යවරයා කිවුවා. මේක බොහොම බරපතළ කාරණයක්. ඉක්මනට ඔය ඇඳුම් ගලවන්න. තරුණයා ඇඳුම් ගැලවූ පසු වෛද්‍යවරයා  ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා පරීක්ෂා කර බැලුවා. නෑ ! එකම එක තීන්ත පතුරක්වත් ගැලවිලා නෑ, වෛද්‍යවරයා මහත් සැනසීමකින් කෑ ගැසුවා. ඉලන්දාරියා, සතුටු වෙන්න. ඔබේ තීන්ත මේ දැන් ගෑවා වගේ අලුත්.

දෙවි හාමුදුරුවනේ ! ඒත් එහෙනම් ඒකෙන් ඇති පලේ මොකක්ද ? තරුණයා  කෑ ගැසුවා.

මං හිතනවා මගේ තීන්තවල ක්‍රියාකාරිත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනෑ කියලා. වෛද්‍යවරයා කිවුවා. ඇත්තෙන්ම මේ තීන්තෙන් පාපයෙහි ගැලීම වලක්වන්නේ නෑ. පාපය නිසා හටගන්නා විඳවීමේ බරපතළකම අඩුකරනවා විතරයි. තීන්තෙ බලපෑම මේ ලෝකයට වඩා වැඩි පර ලෝකයටයි. මේ තීන්ත ජීවිතයට විරුද්ධව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මරණයට විරුද්ධවයි. කෙටියෙන් කියනවා නම් මරණයට ඔරොත්තු දෙන විදියටයි මා ඔබ සූදානම් කරලා තිබෙන්නේ. ඔබ මියයන්නට ආසන්න වුණු දවසට ඇවිත් මට මගේ තීන්ත ගැන පැමිණිලි කරන්න.

ඔහෝ ! මට ඒක හරියට තේරුණේ නෑ.  ඒත් ඒකෙන් මගේ බලාපොරොත්තු කඩ වුණා. නමුත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇතිනේ. ඒකට කමක් නෑ. ඔබට පුළුවන් නම් මම අහිංසක මිනිසුන්ට කරපු අපරාධ ආපස්සට හරවන්න මට උදව් කරන්න. තරුණයා කිවුවා.
ඒක මගේ වැඩක් නෙවෙයි. වෛද්‍යවරයා කිවුවා. ඒත් ඔබට පුළුවන් නම් ඔය වංගුවෙන් එහා පැත්තෙ තිබෙන පොලීසියට යන්න මට විස්වාසයි ඔබට නීතියට යටත් වන්න එතැනින් සහයක් ලැබෙයි කියලා.

****

සති හයකට පමණ පසු වෛද්‍යවරයා නගරයේ බන්ධනාගාරය වෙත කැඳවනු ලැබුවා.

මොකක්ද මේකෙ තේරුම ? තරුණයා හඬා වැටුණා. මම ඔබේ තීන්තෙන් මුළු ශරීරයම ආලේප කර ගත්තා. ඒත් මගේ කකුල කැඩුණා. ලෝකයේ තිබෙන සියලු අපරාධ කළා. දැන් මා හෙට එල්ලා මරන්නයි යන්නේ. මා කොතරම් විශාල බයකින් ඉන්නවාද කිව්වොත් ඒ බය විස්තර කරන්න මා ගාව වචන නෑ.

අපොයි, වෛද්‍යවරයා කීවා. මේක බොහෝම පුදුම දෙයක්. හොඳයි ඒ වුණාට මා ‍ මෙහෙම කියනවා. "ඔබේ සිරුරේ තීන්ත ආලේප කරලා නොතිබුණානම් ඔබට දැනෙන ඔය බය ඔය වගේ දෙතුන් ගුණයකින් වැඩි වී දැනෙන්නට ඉඩ තිබුණා."  










-රොබට් ලුවී ස්ටීවන්සන් (1850-1894)

2011/10/12

අහ‍සේ ලියැවුණෙමි












මිනිසෙක්මි මම
පවතින්නේ සුළු කලකි.
සුවිසල්ය රාත්‍රිය
එනමුදු හිස නගා බලමි මම
තාරකා ලියන බව දකිමි මම ‍
නොදැනුවත්වම වැටහී යයි මට
මාද අහසේ එසේ ලියා ඇති වග
කවුරුන් හෝ මේ මොහොතේ
මාද කියවන බව









-ඔක්තාවියෝ පාස් (1914- 1998)

2011/10/10

හාදුව


චිත්‍රය:- ෆ්‍රන්චෙස්කෝ හායේස්

පිටත තවමත් හොඳින් එළිය තිබුණද, වසන ලද ජනෙල් තිර නිසාද උඳුනෙහි වූ මඳ ගින්නෙන් පිටවන මළානික, අවිනිශ්චිත දීප්තිය නිසාද කාමරය අඳුරු සෙවණැලිවලින් පිරී තිබිණි.

බ්‍රැන්ටන් මෙවැනි අඳුරු සෙවණැල්ලක මුවාවේ හිඳගෙන සිටියේය. අඳුරු සෙවණැල්ල ඔහු සම්පූර්ණයෙන්ම ආවරණය කොට තිබූ මුත් ඔහු එය ගණනකට නොගත්තේය.  සෙවණැල්ලෙහි වූ අඳුර ගිනි උඳුන අසළ හිඳගෙන සිටින යුවතිය වෙත රිසි පරිද්දෙන් බැලුම් හෙලීමට අවශ්‍ය දිරිය ඔහුට ලබා දුන්නේය.

සෞඛ්‍ය සම්පන්න තලඑළලු යුවතියන්ට ආවේණික විශිෂ්ට ඡවි වර්ණයෙන් යුක්ත වූ ඇය ඉතා රූමත් වූවාය. සිය උකුළ මත සිටි බළලාගේ සේද බඳු සම සෙමෙන් අතගාමින් සිටි ඇයගේ ඉරියව් ශාන්ත විය. බ්‍රැන්ටන් හිඳ සිටින අඳුරු සෙවණැල්ල දෙස ඕ විටින් විට සෙමෙන් හිස හරවා බැලුවාය.  ඔවුහු ඉතා පහත් හඬින් කතා කරමින් සිටියෝය. එහෙත් තම තමන්ගේ සිත් අරක් ගෙන සිටි සිතිවිලිවලට සපුරාම අදාළ නොවූ දේ ඔවුන්ගේ කතාවට වස්තු විෂය විය. ඔහු තමාට ආදරය කරන බව ඇය දැන සිටියාය. සිය හැඟීම් සඟවාලීමේ කපටකම නොදත් එමෙන්ම එසේ හැඟීම් සඟවා ලීමේ කැමැත්තක්ද නොවූ ඔහු අවංක, හඬ නගා කතා කරන වර්ගයේ පුද්ගලයෙක් විය. පසුගිය සති දෙක පුරාම ඉතා උනන්දුවෙන්ද නොපසුබටවද ඔහු ඇයගේ සමාගමය සෙව්වේය. සිය සිතෙහි ඇති අදහස ඔහු ප්‍රකාශ කරන තුරු ඇය විශ්වාසයෙන් යුක්තව සිටි අතර ඔහු එසේ කළහොත් ඔහුගේ යෝජනාව පිළිගැනීමටද ඇය සූදානම්ව සිටියාය.  නොවැදගත් සහ සිත් ඇද නොගන්නා සුළු පෙනුමෙන් යුත් බ්‍රැන්ටන් මහා ධනවතෙක් විය. ධනයට සැපයිය හැකි සහ පිරිවර ඇයට අවශ්‍යව තිබූ අතර ඇය ඊට ඇලුම්ද කළාය.

පසුගිය වතාවේ පැවති තේ පැන් සාදය ගැනත් ඊළඟට පැවැත්වීමට නියමිත ප්‍රිය සම්භාෂණය ගැනත් කෙරුණු ඔවුන්ගේ කතා බහ මඳකට නතර වූ විරාමයකදී කාමරයේ දොර ඇරී බ්‍රැන්ටන් හොඳින් දත් තරුණයෙක් කාම‍රයට ඇතුළු විය. තරුණිය සිය මුහුණ ඔහු දෙසට හැරවූවාය. අඩියෙන් දෙකෙන් ඇය හිඳගෙන සිටි අසුන වෙත ළඟා වූ තරුණයා ඊට උඩින් නැවී ඇයගේ දෙතොල ඉතා උණුසුම් ලෙසත් දීර්ඝ ලෙසත් සිප ගත්තේය. ඔහු එසේ කළේ ඇය ඔහු‍ගේ අරමුණ සැක කරන්නටත් ප්‍රථමය. අඳුරෙහි වාඩි වී හුන් අමුත්තා ඔහු නොදුටු බව ඇයට නොවැටහිණි.

බ්‍රැන්ටන් සෙමෙන් හුනස්නෙන් නැගී සිටියේය. තරුණිය වේගයෙන් නැගී සිටියාය. තරුණයා ඔවුන් අතර සිට ගෙන සිටියේය. ඔහුගේ මුහුණේ මඳ කෙළි‍ලොල් ගතියක්ද අභියෝගාත්මක ස්වභාවයක්ද පැටලිල්ලකට භාජනය වූ පෙනුමක්ද එකට මුසු වී තිබිණි.

“මං හිතන්නේ මං මෙතන හුඟ වෙලාවක් හිටියා කියලා. මං හිතුවෙ නෑ මේ... මේ..- මං දැන් යන්න ඕනෑ”, බ්‍රැන්ටන් ගොත ගසන්නට විය.  ඔහු සිය හිස් වැසුම දෑතින්ම අල්ලා ගෙන සිටි අතර ඇය ඔහු වෙත සිය අත දිගු කළ බව ඇතැම්විට හෙතෙම නොදකින්නට ඇත.  ඇයගේ යහපත් සිහිය ඈ කෙරෙන් සපුරාම පළා ගොස් නොතිබිණි. එහෙත් යමක් පැවසීමට ඇයට හැකියාවක් තිබුණේ නැත.

“එයා මුල්ලෙ වාඩිවෙලා ඉන්නවා මං දැක්ක කියලා ඔයා හිතනවා නම් මාව එල්ලලා මරන්න නැටී. මං දන්නවා මං කරපු වැඩේ ඔයාට රුස්සන්නේ නෑ කියලා.  ඒ වුණාට පළමුවැනි වතාවට මට සමාව දෙන්න. මේ වතාවට විතරක්. ඇයි ඔයාට මොනවද වෙලා තියෙන්නේ?”

“අල්ලන්න එපා මාව. එන්න එපා මං ළඟට”, ඇය කෝපයෙන් යුතුව ඉවතට හැරුණාය.  “බෙල් එක ගහන්නේ නැතිව ගෙට ඇතුල් වුණේ ඇයි ?”

“මං ආවේ ඔයාගේ අයියත් එක්ක. හැමදාම වගේ.” ඔහු සන්සුන්ව කතා ‍කළේ තමා කළ කාර්ය සාධාරණිකරණය කරන්නටය. “ අපි ආවේ ගේ අයිනෙන්. එයා උඩ තට්ටුවට ගියා. ඔයාව හොයාගෙන මම මෙතනට ආවා. මගේ නිදහසට කරුණු දැක්වීම බොහෝම සරළයි. ඒ සිද්ධිය වලක්වන්න බැරි දෙයක් කියලා ඔයාට පෙනෙනවා ඇති. ඒත් කියන්න ඔයා මට සමාව දෙනවා නේද නතලී ?” ඔහු බැගෑපත් විය.

“සමාව දෙන්න ! ඔයා දන්නේ නෑ ඔයා මොනවද කතා කරන්නේ කියලා. කෝ මට යන්න දෙන්න. ඔයාට කවදාවත්ම සමාව දෙනවද කියන එක ගැනත් හිතලා බලන්න ඕනෑ.”

****

පෙරකී සිද්ධිය වූ දා බ්‍රැන්ටන් සහ ඇය කතා කරමින් සිටි ප්‍රිය සම්භාෂණය පැවැත්වුණු විට ඇය බ්‍රැන්ටන් වෙත සමීප වූයේ මිහිරි අවංකබවින් සපිරි ලීලාවකින් යුතුවය.

“බ්‍රැන්ටන් මහත්මයා මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?” ඇය ඇසුවේ ඔහු කතාවට පොළඹවනසුළු එහෙත් කැළඹීමට පත් කටහඬිනි. ඔහු දැඩි අසතුටකින් සිටින බව පෙනුණු මුත් ඇය ඔහුගේ අත ගෙන නිදහස් තැනක් සොයා ඇවිදගෙන යන්නට වූ කල ඔහු විෂයෙහි වූ විසුළු අවාසනාවන්තබවට සමාන පෙනුම සමග අපේක්ෂාවේ කිරණක් මුසු විය.  පැහැදිලිවම ඇය නොවළහා කතා කරන බවක් පෙනෙන්නට තිබිණි‍.

“සමහරවිට ඔයත් එක්ක මේ විදියේ හමුවීමක් මා නොකර ඉන්න තිබුණා බ්‍රැන්ටන් මහත්මයා. ඒත්.. ඒත්.. එදා හවස වෙච්ච සිද්ධියෙන් පස්සෙ මම හිටියේ බොහොම අපහසුවෙන්. බොහෝම කනස්සල්ලෙන්. ඔයා කරුණු වරදවා වටහා ගෙන වෙන දෙයක් විශ්වාස කරන්න ඇති කියලා මම හිතුවා.”- බ්‍රැන්ටන්ගේ අවංක රවුම් මුහුණෙහි වූ කනස්සල්ල මැඬගෙන බලාපොරොත්තුවේ ඡායා මතුවෙමින් තිබූ බව පැහැදිලිව පෙනිණි.- “ මං දන්නවා ඔයා ඒක එතරම්ම ගණන් ගන්න නැතිව ඇති.  ඒත් මම මං වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. හාවි මහත්මයා බොහෝම කාලෙක ඉඳන් අපේ පවුලේ ළඟම හිතවතෙක්. අපි හැමදාම ආශ්‍රය කළේ හරියට සහෝදරයෝ වගේ. එයා මගේ අයියාගේ හොඳම යාළුවා. අපේ පවුලේ සාමජිකයන්ට තියෙන වරප්‍රසාද එයාටත් හිමියි කියලා හාවි මහත්මයා නිතරම හිතනවා. මං දන්නවා ඒ සිද්ධිය හරිම විකාරයක්, විය නොතිබිය යුතු දෙයක්, පහත් දෙයක් කියලා”, ඇය හඬන්නට ආසන්න විය. “ඒත් ඔයා මා ගැන මොනවද හිතන්නේ කියන එක ම..මට හුඟක් වැදගත්”, ඇගේ හඬ පහත්ද තැතිගත් ස්වභාවයෙන් යුක්තද විය. බ්‍රැන්ටන්ගේ මුහුණෙහි වූ කනස්සල්ල සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබිණි.

“ නතලී නෝනා එහෙනම් ඔයා මං හිතන දේවල් වැදගත් විදියට සලකනවා ? මං ඔයාට නතලී නෝනා කියලා කතා කරන්නද ? උසැති අලංකාර පැල දෙපස සිටුවා තිබූ දිගු, අඳුරු කොරිඩෝරයකට ඔවුහු පිවිසුණහ. එහි අවසානය තෙක් ඔවුහු සෙමෙන් ඇවිද ගියෝය. ආපසු හැරී ගිය මග ඔස්සේ නැවත පැමිණෙන විට බ්‍රැන්ටන්ගේ මුහුණ බැබලුණු අතර ඇයගේ මු‍හුණෙහි ජයග්‍රාහීබවක ලකුණු විය.

****

හාවි විවාහ මංගල්‍යයට පැමිණි අමුත්තන් අතර විය. ඇය තනිව සිටගෙන සිටි දුර්ලභ මොහොතක් බලා ඔහු ඇය වෙතට සමීප වූයේය.

“ඔයාට හාද්දක් දෙන්න කියලා ඔයාගේ මහත්තයා මාව මෙතනට එව්වා”, ඔහු හිනැහෙමින් කීවේය.

ඇගේ මුහුණද මනාව පිහිටි වටකුරු ගෙලද සැණෙකින් රතු විය. “ මං හිතන්නේ මේ වගේ අවස්ථාවකදී කෙනෙකුට ත්‍යාගශීලී සිතුවිලි පහළ වෙන එකත් ඒ විදියට කටයුතු කරන එකත් ස්වභාවික දෙයක් කියලා. අපි දෙන්නා අතර තිබුණු සමීප සුන්දර බැඳීමට මේ විවාහ‍යෙන් බාධාවක් වෙනවා දකින්න එයා කැමති නෑ කියලා ඔයාගේ මහත්තයා කියනවා.  මං දන්නේ නෑ ඔයා එයාට මොනවා කිවුවද කියලා, ඒ වුණාට ඔයාට හාද්දක් දෙන්න කියලා ඔයාගේ මහත්තයා මාව මෙතනට එව්වා”, ගරු සරු නැති සිනහවකින් යුතුව ඔහු කීවේය.

ඉත්තන් දක්ෂ ලෙස ඇදීමෙන් තමන් බලාපොරොත්තු වන ආකාරයට ක්‍රීඩාවේ ගමන්මග වෙනස්වනු දකින චෙස් ක්‍රීඩකයකුගේ බඳු හැඟීමක් ඇය තුළ හට ගැනිණි. ඔහුගේ දෑසට එබී බැලූ ඇගේ දෙනයන සිනහවකින් දීප්තිමත්වද මෘදුබවට පත්වද තිබිණි. ඇයගේ දෙතොල ලැබෙන්නට යන හාදුව අපේක්ෂාවෙන් සිටින බව පෙනිණි.

“ඒත් ඔයා දන්නවාද? මං එයාට කිව්වේ නෑ එහෙම කියන එක හරි නැති නිසා. ඒ වුණාට මට ඔයාට කියන්න පුළුවන්. මම ගැහැනුන්ට හාදු දෙන එක නතර කළා. ඒක හරි භයානකයි”, ඔහු සෙමෙන් කීවේය.

ඉදින් ඇය බ්‍රැන්ටන් සහ ඔහුගේ ධනස්කන්ධය අතහැර දමා තිබිණි.  කෙනෙකුට මේ ලෝකයේ සෑම දෙයක්ම හිමි කරගත නොහැකිය. ඇය එසේ සෑම දෙයක්ම හිමි කරගැනීම අපේක්ෂා කිරීමද මඳක් අසාධාරණය.   







කේට් ෂොපෑන් (1851 – 1904)

2011/10/03

නිහඬ රැයක්


අන්තෝනි‍යෝ ‍ෆින්ච් සමග ඇති කරගත් ගැටුමකදී කොවිංග්ටන් හිදී මරා දමනු ලැබූ හෙන්රි සේලර්, සින්සිනාටි කොමර්ෂල් පුවත්පතේ වාර්තාකරුවෙක් විය.

1859 වසරේදී, සින්සිනාටිහි වයින් වීදියෙහි වූ හිස් නිවෙසක් ප්‍රදේශයේ ජීවත් වූ සියලු දෙනාගේම කතා බහට ලක්වූයේ රාත්‍රී කාලයේ එහි දකින්නට ලැබේ යැයි කියන අදභූත දර්ශන සහ ඇසෙන්නේ යැයි කියනු ලැබූ අමුතු ශබ්ද කරණ කොට ගෙන ය. අසල්වාසී නිවෙස්වල විසූ වැදගත් යැයි සම්මත නගරවාසීන් ලබා දුන් සාක්ෂි මෙම නිවෙසෙහි අවතාර තිබෙන්නේ යැයි යන උපකල්පනය මිස වෙන යමක් තහවුරු නොකළේය. විවිධ අසාමාන්‍ය ලක්ෂණවලින් යුත් මිනිසුන් එම නිවෙසේ දොරෙන් ඇතුළට යනු සහ ඉන් පිටතට එනු එළියෙහි පදික වේදිකාවේ හුන් නගරවාසීන් දැක තිබිණි. එහෙත් ඔවුන් ඇතුළු වන දොර ඉදිරිපස වූ තණ පිටියෙහි ඔවුන් ප්‍රාදූර්භූත වන්නේ කවර අවස්ථාවකද යන්නත් ඔවුන් ඒ දොරෙන් එළියට පැමිණි විට කවර අවස්ථාවක ඔවුන් අතුරුදන් වන්නේද යන්නත් පැවසීමට කිසිවෙකුට නුපුළුවන් විය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් එවැනි මිනිසුන් නිවෙසට ආගිය බව තමන් දුටු බවට කිසිවෙකු තුළ සැකයක් නුවූවද ඒ පිළිබඳව එකම මතයක් දරන දෙදෙනෙක් නොවූහ. නිවෙසට ආ ගියේ යැයි කියනු ලැබූ මිනිසුන්ගේ හැඩ රුව ගැන සියලු දෙනාම කළ විස්තර එකිනෙකට පරස්පර වූයේය. කුතුහලයෙන් පිරි මිනිසුන් අතරින් වඩාත්ම නිර්භීත කිහිප දෙනෙක් නිවෙසේ දොරකොඩ රැක සිට මේ අමුතු මිනිසුන් අල්ලා ගැනීමටත් එසේ නොහැකි වුවහොත් ඔවුන් දෙස ඉතා ළඟින් සිට බලා ගැනීමටත් දින කිහිපයක්ම යත්න දැරූහ. මෙම ‍දිරිමත් මිනිසුන් සියලු දෙනාගේම සාමූහික ශක්තිය යොදාවත් නිවෙසේ දොර හැර ගැනීමට නොහැකි වූ බවත් යම් නොපෙනෙන බලවේගයක් විසින් ඔවුන් දොරකොඩින් ඔසවා වීසි කරනු ලැබ බරපතළ තුවාල පැමිණ වූ බවත් ඉන් ටික වේලාවකට පසුව යම් අවතාරමය අමුත්තකු ඇතුළට ගැනීමට හෝ බැහැරට යැවීමට දොර ඉබේම මෙන් විවෘත වූ බවත් කියැවිණි. මෙම නිවෙස රොස්කෝ නිවෙස නමින් හැඳින්විණි. එම නමින් යුතු පවුලක් වසර කිහිපයක් එහි වාසය කළ අතර ඉන් පසුව එම පවුලෙහි සාමාජිකයෝ එකිනෙකා අතුරුදන් වන්නට පටන් ගත්හ. අවසානයට අතුරුදන් වූයේ මහලු කාන්තාවකි. නිවෙස තුළ වූ දරුණු අපරාධ සහ මිනීමැරුම් කිහිපයක් පිළිබඳව කට කතා රැසක්ම එකල පැතිරුණු මුත් කිසි දිනෙක ඒවා සත්‍ය යැයි ඔප්පු වූයේ නැත.

මේ නිවෙස පිළිබඳ හාහෝව පැවති කාලයේ දිනක ‍ සින්සිනාටි කොමර්ෂල් පුවත්පතේ කාර්යාලයට පැමිණි හෙන්රි සේලර්ට කර්තෘවරයා විසින් එවන ලද කුඩා සටහනක් ලැබිණි.  එහි මෙසේ සඳහන් විය: "වයින් වීදියේ ඇති අවතාර නිවෙසට ගොස් එහි ‍‍තනිවම රැයක් පහන් කරන්න. වාර්තා කිරීමට තරම් දෙයක් එහි සිදුවුවහොත් කොලම් දෙකක ප්‍රවෘත්තියක් ලියා මට ඉදිරිපත් කරන්න." සේලර් සිය ප්‍රධානියාට කීකරු විය. පුවත්පතෙහි තමා කරන රැකියාව නැති කරගැනීමට ඔහුට නුපුළුවන.

තමාගේ ගමනෙහි අරමුණ ගැන පොලිසිය දැනුවත් කළ සේලර් අඳුරු වැටෙන්නට පෙර නිවෙසේ පසුපස වූ ජනේලයකින් ගෙට ඇතුළු විය. ගෘහ භාණ්ඩවලින් තොර දූවිලි වැකුණු පාළු හුදෙකලා කාමර මැදින් ඇවිදගෙන ගිය හෙතෙම ඉදිරිපස කාමරයකින් ඇදගෙන ආ පැරණි සෝපාවක් විසිත්ත කාමරයෙහි තබා ගත්තේය.  එහි හිඳගත් හෙතෙම රාත්‍රිය උදාවී අඳුර පැතිරෙන සැටි බලා සිටින්නට විය. සම්පූර්ණයෙන් අඳුරු වැටෙන්නට ප්‍රථම කුතුහලයෙන් පිරුණු මිනිස්සු කණ්ඩායම බැහැර වූ වීදියෙහි රැස් වී සිටියහ. රීතියක් ලෙස ඔවුහු නිහඬවද අපේක්ෂා සහගතවද සිටියහ. එහෙත් ඉඳහිට ඔවුන් අතර වූ ඇතැමෙක් නිවෙසෙහි සිටින්නේ යැයි කියන අවතාර ගැන සමච්චල් සහගතවද ඇසැබි වදනින් යුතුවද යමක් කීහ. නිවෙස තුළ චින්තාපරව සිටින නිරීක්ෂකයා ගැන කිසිවෙක් නොදත්හ. ඔහු එළියක් දැල්වීමට බිය විය. තිර රෙදිවලින් තොර ජනේල ඔහු ඇතුළත සිටින බව එළියේ සිටින අයට දන්වනු ඇත. එය ඔහු අවමානයටත් බොහෝවිට අනතුරකටත් පත් කරනු නොඅනුමානය. තවද තමාගේ සිතෙහි ඇති අධිෂ්ඨාන ශක්තිය දුර්වල නොකිරීමට තරම් ඔහු සුපරික්ෂාකාරී වූ අතර නිවෙස තුළ ගුප්ත සිදුවීම් සිදුවන්නේයැයි කියන ස්වාභාවික තත්ත්වයන් මොනයම් ආකාරයකින් හෝ වෙනස් කිරීමට හෙතෙම මැළි විය.

දැන් බැහැර සම්පූර්ණයෙන්ම අන්ධකාර වුවද වීදියේ සිට පැමිණි එළියෙන් ඔහු සිටින කාමරයේ කොටසක් ආලෝකවත් විය. ඔහු නිවෙස අභ්‍යන්තරයෙහි වූ උඩුමහලෙහි සහ බිම්මහලෙහි සෑම කාමරයකම දොරවල් විවෘත කොට තිබූ අතර නිවෙසෙන් එළියට යන දොරවල් සියල්ලම ඇතුළතින් අගුළු දමා හොඳින් වසා තිබිණි. හදිසියේම බැහැර වීදියෙහි සිටින කණ්ඩායම නැගූ විස්මපත් හඬ අසා ඔහු ජනේලය අසළට ගොස් ඉන් පිටත බැලුවේය. මිදුලෙහි වූ තණ පිටිය හරහා ‍නිවෙස වෙත වේගයෙන් ඇවිද එන මිනිසෙකුගේ රුවක් ඔහුට පෙනිණි. ඒ රුව දොරකොඩ පියගැටපෙළ නගිනුද ඔහු බලා සිටියේය. එහෙත් ජනේලය පසෙකින් වූ බිත්තියෙහි නෙරුමක් හේතු කොට ගෙන ඒ රුව ඔහුගේ දර්ශන පථයෙන් වැසිණි. නිවෙසේ ප්‍රධාන දොර විවෘත කොට නැවත වසන්නාක් මෙන් වූ හඬද ඉක්මන් බරැති අඩි තබමින් කිසිවෙකු කොරිඩෝරය ඔස්සේ ඇවිදගෙන ගොස් උඩුමහලට නගින හඬද ඔහුට ඇසිණි. ඔහුගේ හිසට කෙලින්ම උඩින් වූ අධ්‍යයනාගාරයෙහි පලස් නොඑලන ලද පොළොවෙහි එම අඩි තබන හඬ ඉන් අනතුරුව ඔහුට ඇසිණි.  

සැණෙකින් සිය පිස්තෝලය ඇද ගත් සේලර් අඳුරෙහි අතපත ගාමින් තරප්පු පෙළ නැග වීදියේ සිට පැමිණි මඳ එළියෙන් යන්තමින් ආලෝකවත් වී තිබූ අධ්‍යයනාගාරයට ඇතුළු විය. එහි කිසිවෙක් නොවීය. යාබද කාමරයකින් අඩි තබන හඬ ශ්‍රවණය කළ හෙතෙම එහි ඇතුළු වූයේය. කාමරය අඳුරුද නිශ්චලද විය. ඔහුගේ පය යමක හැපිණි. බිම දණ ගැසූ හෙතෙම සිය පයෙහි හැපුණු වස්තුව මත දෑත තැබීය. එය මිනිස් හිසක් විය- හරියටම කියන්නේ නම් එය ගැහැනියකගේ හිසක් විය. හිසෙහි කෙස්වැටියෙන් එය ඔසවා ගත් මේ නිර්භය මිනිසා එය පහත මාලයෙහි අඩක් ආලෝකවත් වූ කාමරය වෙත රැගෙන ගොස් ජනේලය අසළට වී එය හොඳින් පරීක්ෂා කර බලන්නට පටන් ගත්තේය. මේ කාර්යයෙහි යෙදී හුන් ඔහුට නිවෙසේ ප්‍රධාන දොර කිහිප වතාවක්ම වේගයෙන් ඇරෙනු හා වැසෙනුද තමා වටා කිහිප දෙනෙකු ඇවිදින අඩි ශබ්දයද යාන්තමින් මෙන් ඇසිණි. තමා අතෙහි වූ අවතාරමය වස්තුවෙන් හිස ඔසවා බැලූ ඔහුට තමා යාන්තමින් දෘශ්‍යමාන වූ පිරිමින් සහ ගැහැනුන් විශාල සංඛ්‍යාවක් මැද සිටගෙන සිටින සැටි පෙනිණි. මුළු කාමරයම ඔවුන්ගෙන් පිරී ගොස්ය. වීදි‍යේ සිටි මිනිසුන් නිවෙසෙහි දොර කඩා ගෙන ඇතුළු වී ඇතැයි ඔහුට සිතිණි.

"නෝනාවරුනි, මහත්වරුනි", ඔහු ශාන්ත ස්වරයකින් කතා කළේය. "ඔබ මා දකින්නේ ඉතා සැක කටයුතු තත්ත්වයක් යට‍තේ. ඒත්......" ඔහුගේ හඬ කාමරය සිසාරා නැගුණු මහා හිනා හඬවල්වලින් යටපත් වී ගියේය. ඒවා මානසික රෝහල්වලදී ඇසෙන වියරු සිනා හඬවල්වලට සමාන විය. ඔහු ව‍ටා වූ මිනිස්සු ඔහු අත වූ මිනිස් හිස දෙසට ඇඟිලි දිගු කරන්නට වූහ. ඔහු මිනිස් හිස බිමට අතහැරියේය. එය බිම දිගේ රෝල් වී‍ ගොස් මිනිසුන්ගේ දෙපා අතරින් පෙරළී යත්ම ඔවුන්ගේ විනෝදය තවත් වැඩි විය. විකාරරූපී අභිනයන් දක්වමින්ද විස්තර කළ නොහැකි තරමේ ග්‍රාම්‍ය අශ්ලීලබවක් පාමින්ද ඔවුහු එම හිස වටා රංගනයේ යෙදුණහ.  කාම‍රයේ බිත්තියෙන් බිත්තියට වදින තෙක් ඔවුහු ඊට පයින් ගැසූහ. ඊට පයින් ගසන්නට කරන අරගලයේදී ඔවුහු එකිනෙකා තල්ලු කර ගත්හ. බිමට පෙරළා දැමූහ. ශාප කරමින් හැවිලි හැවූහ. නොසරුප් ගීත ගායනා කළහ. පහර කෑමට ලක් වූ මිනිස් හිස භීතියට පත්ව පළා යන්නට තැත් කරන්නාක් මෙන් ඔබ මොබ වීසි විය. අවසානයේදී එය කාමරයෙන් එළියේ වූ ශාලාවට වීසි වී ගියේය. පිරිස මහත් වූ කලබලයකින් යුතුව ඒ ප‍ස්සෙන් දිවූහ. ඒ මොහොතේ කාමරයේ දොර තියුණු හඬක් නගමින් වැසී ගියේය. සේලර් අත්‍යන්ත නිශ්ශබ්දතාවක හුදෙකලා විය.

මෙතෙක් වේලා සිය අතෙහි තබා ගෙන හුන් පිස්තෝලය ප්‍රවේශමෙන් පසෙක තැබූ ඔහු ජනේලයක් අසළට ගොස් පිටත බැලීය. වීදිය පාලුවට ගොස් තිබුණු අතර නිහඬබව පැතිරිණි. වීදි ලාම්පු නිවී ගොස්ය.  වහලවල්වල සහ චිමිනිවල බාහිර රේඛා නැගෙනහිර අහසේ නැගුණු අරුණලු පසුබිමෙහි තියුණු ලෙස කැපී පෙනිණි. ඔහු නිවෙසේ දොර හැරගෙන එළියට බැස්සේය. දොර ඉතා පහසුවෙන් ඇරිණි. ඔහු පුවත්පත් කාර්යාලය වෙත ඇවිදගෙන ගියේය. කතුවරයා තවමත් කාර්යාල‍යේ විය. ඔහු හුන්නේ නිදාගෙනය. කතුවරයා වෙත ගිය සේලර් කතා කළේය. "මං අර හොල්මන් ගෙදරට ගියා."

සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදි නුවූවාක් මෙන් කතුවරයා හිස් බැල්මකින් බලා සිටියේය. "දෙයියෝ සාක්කි ඔය සේලර්ද ? "

"ඔව්-- මං තමයි‍. ඇයි එහෙම අහන්නේ ? " කතුවරයා ඊට පිළිතුරක් නොදුන්නේය. ඔහු සේලර් දෙස නෙත් අයා ගෙන බලා සිටියා පමණි.

"මං ඒ ගෙදර රැයක් ගත කළා--මං හිතන්නේ, " සේලර් කීවේය.

"මිනිස්සු කිව්වා ඊයේ රෑ ඒ ගෙදර අසාමාන්‍ය විදියට නිශ්ශබ්දව තිබුණා කියලා", කතුවරයා කීවේ මේසය මත තිබුණු කඩදාසි බර තබනයක් දෙස නෙත් යොමු කරමිනි. "මොනවා හරි දෙයක් රෑ සිද්ධ වුණාද ? "

" නෑ. මොනවත්ම සිද්ධ වුණේ නෑ. "












-ඇම්බ්‍රෝස් බියර්ස් (1842-1914 ?) 

සෙවුම්