2010/05/04

බොඳව යන ඔබේ රුව ..........

දුර ඈත කඳු අතර
හිරු සැඟව ගිය පසුව
තාරකා එළියද නිවී
පැතිර ගිය ගනඳුරේ
නීලවන් රාත්‍රිය
වසාගත් විට පොළොව
අප අතිනත් රැගෙන
ඇවිදගෙන ගිය අයුරු
කිසිවෙකුට නොපෙනිණි
ඔබ හොඳින් දන්නා
මා පෙළන ශෝකය
මිරිකා ආත්මය
ඔබ සිහිපත් කරයි
ඔබ කොහි විණිද?
ඔබ නොවේනම්
කවුරුන්ද වූයේ මා සමග
මා දෙසවනට
දෙඩුවේ කවුරුන්ද ?
මා සොවින් සිටින විට
ඔබ දුරක යැයි සිතන විට
පෙළන්නේ ඇයි මා
ඔබේ මතකය පැමිණ
රාත්‍රිය පැමිණි කල
තාරකා එළිය මැද
මැකී බොඳවී යයි
හැමවිටම ඔබේ රුව


-පැබ්ලෝ නෙරූදා























2010/04/29

හිරුගේ වදන











හැර දමන්න ඔබේ කවුළු

හැර දමන්න ගෙයි දොරවල්
එන්නට දෙනු මැන මා හට
ඔබේ කුඩා නිවස තුළට

ගෙනෙමි ඔබට රන් - කහ මල්
ගෙනෙමි ඔබට කැළෑ සුවඳ
ගෙනෙමි ඔබට උණුසුම මම
ඔබේ ගතට පිනි සමගින

බොහෝ කලක් වසා තිබූ
කුඩා, සිඟිති ලී කුටි බඳු
ඔබේ හදවතේ ජනේල හැර දමන්න
හදවත්වල ඇති හිස් බව
මල් සුවඳින්, රිවි කිරණින්
උණුසුම හා තුෂාරයෙන්
පුරවාලන්නට මා හට ඉඩ හරින්න

ඉක්මන් කර අවදිවෙලා
හිස ඔසවා අවට බලා
පිසදමලා නිදිබර වූ ඇස් පිහාටු
දෑස් හයා මා එන හැටි
බලනු මැනව !

-අයි ෂිං

2010/04/28

ආදරයේ හැටි

ගනඳුරුය රාත්‍රිය, නොපෙනේ ඉමක් පැතිරුණු වන පෙතේ
සරති සහසක් දනෝ මං සොයා ගනඳුරේ
හමුවිය යුතුව ඇත රහසින් කිසිවෙකුත්
එහෙත් ඒ කවුරුන්ද, කොහෙදීද කියා මට නොවැටහේ

රැඳී ඇත එනමුදු මා සිතේ එකම විශ්වාසයක්
මුව පුරා තවරා සිනාකැන් කිනම් හෝ මොහොතක
පැමිණෙනුය මා ඉදිරියට ජීවිතයේ සතුට
සුවඳ ගල්වා, ස්පර්ශ කොට කොඳුරා ගීතයක් මෙන්
දැවටී මා සිරුර පසුකොට යතැයි එය
උල්ලසිත හැඟුමෙන් පුරවා මගේ සිත

ඇතැම්විට ගනඳුරේ අහස්තලයේ ‍ඇඳෙන
නිමේෂෙක විදිලියෙන් දකින කිසිවෙකු සමග
බැඳෙමි මම ආදරෙන් ඒ එක මොහොත තුළ
කියමි මම හ‍ඬ නගා ජීවිතය සුන්දරය
දුරුකතර ගෙවා මා පැමිණියේ ඔබ වෙතය

ගනඳුරු මැදියමේ මා අසලට පැමිණ
ළංව සිට වෙන්ව ගිය සෙස්සන් සියල්ලම
සැබෑවට සිටියේද නැතිනම් නොසිටියෙද
නොදන්නෙමි ඉදින් මම ඒ වගක් කියන්නට


- රබීන්ද්‍රනාථ ඨාකූර

2010/04/27

නොගිය මග ....





කහ පැහැති වන තුරුපතර
දෙමගක් දෙපසට බෙදී ඇත
අහෝ එක් මගියෙක්මි මම
දෙමගෙහිම යා නොහැකි එකවර


බොහෝ වේලා ගත කොට
බැලුවෙමි එක් මගක් දෙස
වැටී ඇත ඒ මාවත
සරුවට වැඩුණු වන මැද

ඉන්පසු බැලිමි දෙවැනි මග
වල් බිහිව ඇත එහි තදින්
එනමුදු ගතිමි ඒ මග
කිසිවකුත් එය නොමගත් හෙයින්

නොපෑගුණු තුරුපත්
වැටී ඇත දෙමගෙහිම
පා සටහනක්වත්
වැටී නැත ඒ මතින්.

වෙනත් දිනයක පැමිණ
ගනිමි මම පළමු මග
සිතා එතැනින් ගියද
යළිත් කවදාවත්ම එහි
පැමිණෙනු හැකිවෙයිද
පැන නැගිණ කුකුසක්
මා හදවත පතුළ

යුග ගණනකට පසු
කියනු ඇත මා මෙලෙස
හදවතින් නැගෙනා
සුසුමක්ද සමගින් :

"කහ පැහැති තුරු අතර
දෙමගක් දෙපසට බෙදිණි
ගතිමි මම එතැනින්
කිසිවෙකුත් නොමගත් මගම
එබැවිණි වෙනස් වූයේ
මගේ මුළු දිවියම"



-රොබට් ෆ්‍රොස්ට්

සෙවුම්