2012/10/07

ප්‍රේමයේ ශෝකය- විලියම් බට්ලර් යේට්ස්



පියැස්සේ කෙළවර ගේ කුරුලු කිචිබිචිය,
පෑයූ පුරා හඳ, තරු පිරුණු නුබ ගැබ,
නිරතුරු ගී ගයන ගහකොළෙහි සරසරය,
සැඟවීය මිහිතලේ මහලු ඔදසුන් හැඬුම

පැමිණියෙහි නුඹ ඊළඟට හැඬුම්බර ඔය රතදර සමග,
නුඹ සමග පැමිණියේ මුළු ලොවෙහිම කඳුළ,
සියලු දුක් වේදනා, පිරිපත සහ ගැහැට,
දියතෙහි කම්කටොලු සත සහස් වසරක

ගේ කුරුල්ලන් දැන් සටනෙහිය පියැසි අග,
සුදුමැළිය සඳවතිය, මළානිකය තරු කැළ
හඬ නගා ගී ගයන නොසන්සුන් ගහකොළ
සලිතව ගොසින් ඇත අසා මිහිතලේ මහලු ඔදසුන් හැඬුම






විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

2012/10/01

මිදුලේ සිටවූ වීදුරු තහඩුව- ජේම්ස් තර්බර්



මීට ටික කාලයකට පෙර කනෙක්ටිකට්හි නිවෙසක් ඉදි කළ ගොඩනැගිලි කම්කරුවෝ පිරිසක් එක් දිනක් සුවිසල් වීදුරු තහඩුවක් මිදුලේ සිරස් අතට සිටවා තැබූහ. මිදුල හරහා වේගයෙන් පියඹා ගිය පාන්කිරිත්තෙක් අර වීදුරුවෙහි ගැටී සිහිමූර්ඡාව බිමට ඇද වැටුණේය. ඔහුට යළි සිහිය ආ විට පාන්කිරිත්තා සිය සගයන් රැඳී සිටි සමාජ ශාලාවට ගියේය. එහි සේවකයෙක් පාන්කිරිත්තාගේ හිසට වෙලුම් පටියක් බැඳ බොන්නටද යමක් දුන්නේය. “මොකද වුණේ ?” එහි සිටි මුහුදු ලිහිණියෙක් ඇසීය. “මම තණබිමක් මැදින් පියාඹාගෙන යන කොට එක පාරටම වායුගෝලය ගල් ගැහුණා.” පාන්කිරිත්තා උත්තර දුන්නේය. මුහුදු ලිහිණියාද උකුස්සෙක්ද රාජාලියෙක්ද කොක්හඬලා සිනාසුණෝය. වැහිලිහිණියෙක් ඉතා අවධානයෙන්ද බැරෑරුම් ලෙසද මේ කතාවට ඇහුම්කන්දීගෙන සිටියේය. “පොඩි පැටියා කාලේ ඉඳලා ලොකු කුරුල්ලෙක් වෙනකමුයි ඊට පස්සෙයි අවුරුදු පහළොවක් තිස්සේ මම මේ පළාතේ හැමතැනකම පියාඹලා තියෙනවා.” රාජාලියා කීවේය. “ඒත් මට සහතිකේටම කියන්න පුළුවන් වායුගෝලය ගල් ගැහෙනවා කියලා දෙයක් නැති බව. වතුර නම් මිදිලා ගල් ගැහෙන්න පුළුවන්. ඒත් වාතය ගල් වෙන්න බෑ.” “අහසෙන් වැටෙන ලොකු අයිස් කැටයක් තමුසෙගෙ ඇ‍ඟේ වදින්න ඇති.” උකුස්සා පාන්කිරිත්තාට කීවේය. “සමහරවිට පාන්කිරිත්තට පපුවේ අමාරුවක් හැදුණද දන්නේ නෑ.” මුහුදු ලිහිණියා කීවේය. “වැහිලිහිණියා මොකද හිතන්නේ ?” “ම..ම..මම හිතන්නේ සමහර විට වායුගෝලය ගල් ගැහෙන්න ඇති.” ලොකු කුරුල්ලන් කෙතරම් මහ හඬින් සිනාසුණේද යත්, ඒ සිනාවෙන් කෝපයට පත් පාන්කිරිත්තා තමන් පියෑඹූ මාර්ගයේම තණබිම උඩින් පියාඹා ගොස් ගල් වූ වායුගෝලය ඔවුන්ට හමු නොවුණහොත් එක් අයෙකුට පණුවන් දුසිම බැගින් දෙන්නට ඔට්ටුවක් ඇල්ලුවේය. ඔවුහු සියලු දෙනාම පාන්කිරිත්තාගේ ඔට්ටුව භාර ගත්හ. සිදුවන්නේ කුමක්දැයි බැලීමට වැහිලිහිණියා ඔවුන් සමග ගියේය. පාන්කිරිත්තා කියූ මාර්ගය ඔස්සේම පියෑඹීමට මුහුදු ලිහිණියාද උකුස්සාද රාජාලියාද තීරණය කළහ. “තමුසෙත් එනවා.” ඔවුහු වැහිලිහිණියාට අඬ ගැසූහ. “ම..ම..මට බෑ. මම හිතන්නේ නෑ මට ඔය ගමන එන්න පුළුවන් වෙයි කියලා.” වැහිලිහිණියා කීවේය. ඉදින්, ලොකු කුරුල්ලෝ තිදෙනාම එකට පියාඹා ගොස් එකටම වීදුරුවේ හැපී සිහි මූර්ඡා වූවෝය.
(ආදර්ශය: යමකට පැකිලෙන තැනැත්තා සමහරවිට කරදරයේ වැටීමෙන් වැලකෙයි.)

 









ජේම්ස් තර්බර් (1894-1961)

2012/09/26

ජනේලය අසල උදෑසන- ටී.එස්. එලියට්



චිත්‍රය: එල්.එස්. ලෝරි

බිම්මහල් මුළුතැන් ගෙවල
පයට පෑගුණු වීදි අද්දර
ඔවුහු පිඟන් සොලවති හඬින්
පුර දොර අබියස දොම්නසින් දළුලන
මෙහෙකාර ළඳුන්ගේ තෙතබරිත ආත්ම
ගැන දන්නෙමි මම ඉතින්

දුඹුරුවන් මීදුම් රළ
මා වෙතට නැගී එයි
වීදි පත්ලෙන් නැගෙන
විරූපව ගිය මුහුණු
මඩ වැකුණු වතක් හැඳි
කතක හෙලනා කඳුළක්
අවකාශයේ පාවෙන
අරමුණක් නැති සිනාවක්
වහළ මට්ටමට නැග
අතුරුදන් වී යයි







-ටී.එස්. එලියට් (1888-1965)

2012/09/20

කිසිදිනෙක බොරු නොකී මිනිහා (අප්‍රිකානු ජනකතාවකි)




එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.

ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ රජ්ජුරුවෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා:

මමාද්, උඹ කවදාවත් බොරු කියලා නෑ කියන එක ඇත්තක්ද ?

ඒක ඇත්තක්, දේවයන්වහන්ස කියලා මමාද් උත්තර දුන්නා.

ජීවිතේ මින් ඉදිරියටත් උඹ බොරුවක් කියන්නේ නැද්ද? රජ්ජුරුවෝ ඇහුවා.

මට ඒක විස්වාසයි දේවයන්වහන්ස කියලා මමාද් උත්තර දුන්නා.

බොහොම හොඳයි. ඇත්ත කියාපන්. හැබැයි ප්‍රවේසම් වෙයන් ! මොකද බොරුව කියන්නේ බොහෝම කපටි දෙයක්. ඒක ඉතාම ලේසියෙන් උඹේ දිවට ඇතුළු වෙයි කියලා රජ්ජුරු‍වෝ කිවුවා.

දවස් කිහිපයක් ගතවුණා. රජ්ජුරුවෝ ආයෙමත් මමාද්ට එන්න කියලා පණිවිඩයක් යැවුවා. මමාද එනකොට එතැන මහ විශාල ජනකායක් රැස්වෙලා හිටියා. රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්නයි සූදානම. අශ්වයාගේ කේසරවලින් අල්ලාගෙන වම් කකුල සෑදලයේ කකුල තියන පටියේ තබා ගෙන රජ්ජුරුවෝ හිටියා. 

රජ්ජුරුවෝ මමාද්ට මෙහෙම අණ කළා:

“මගේ ගිම්හාන මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට කියාපන් මම ඇයත් එක්ක දවල් කෑම ගන්න එහාට එනවා කියලා. විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න කියලා ඇයට කියාපන්. ඊට පස්සේ උඹ මාත් එක්ක දවල් කෑම ගන්නවා.”

මමාද් හිස පහත් කරලා නැවිලා බිසවුන්නාන්සෙට පණිවිඩය කියන්න ගියා. එතකොට රජ්ජුරුවෝ හිනා වෙලා මෙහෙම කිවුවා: “ අපි දැන් දඩ කෙළියේ යන්නේ නෑ. එතකොට මමාද් බිසවුන්නාන්සෙට කියන දේ බොරුවක් වෙනවා. අපට හෙට මේක අල්ලාගෙන මිනිහට හිනා වුණෑකි.”

ඒත් නුවණක්කාර මමාද් මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“සමහරවිට ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕන නෑ. සමහර විට රජ්ජුරුවෝ අද දවල් වෙනකොට මෙහාට එයි. එහෙම නැත්නම් සමහරවිට මෙහාට එන එකක් නෑ.”

“රජ්ජුරුවෝ එනවාද නැද්ද කියලා විතරක් කියාපන් ” කියලා බිසවුන්නාන්සෙ කිවුවා.

“මං ආවට පස්සේ රජ්ජුරුවෝ සෑදල පටියේ තමන්ගේ දකුණු කකුල තිබ්බද එහෙම නැත්තම් තමන්ගෙ වම් කකුල තිබ්බද කියලා කියන්න මං දන්නේ නෑ.”

හැමෝම රජ්ජුරුවෝ එනකම් බලාගෙන හිටියා. රජ්ජුරුවෝ ආවේ පහුවදායි. ඇවිත් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“කවදාවත් බොරු නොකියන මමාද් ඔයාට ඊයේ බොරුවක් කිවුවා.”

ඒත් මමාද් පාවිච්චි කරපු වචන මොනවද කියලා බිසවුන්නාන්සෙ රජ්ජුරුවන්ට කිවුවා. නුවණක්කාර මමාද් කිසි දවසක බොරු නොකියන බවත් තමන්ගේ ඇස් දෙකෙන් දකින දේ පමණක් කියන බවත් රජ්ජුරුවන්ට තේරුම් ගියා.

2012/09/16

දුරු රටක සිට- අර්නස්ට් හෙමිංවේ
















සරත් සමයේදී යුද්ධය දිගින් දිගටම පැවතියද අපි තවත් එයට නොගියෙමු. මිලානෝ නුවර සරත් ඍතුව දැඩි ලෙස ශීත වූ අතර ඉක්මනින් අඳුරු වැටිණි. අනතුරුව විදුලි පහන් දැල්විණි. වීදියේ සිට බලන විට පෙනෙන ආලෝකවත් ජනේල ප්‍රසන්න දසුනක් මවා පෑය. 

වෙළෙඳසල්වල පිටත දඩයම් කරන ලද සතුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබිණි. නරින්ගේ ලෝම පිරුණු සම් මතුපිට හිම ධූලි තැවරී තිබූ අතර සුළඟට උන්ගේ වල්ගා සෙලවිණි. ඇතුළත හිස්, මුව මළ සිරුරු දරදඬු සහ බරැති ලෙස එල්ලී තිබුණේය. කුඩා කුරුල්ලන්ගේ සිරුරු සුළ‍ඟෙහි ඒ මේ අත වැනිණි. සුළ‍ඟෙන් උන්ගේ පිහාටු හැරිණි. එය ශීතල සරත් සමයක් වූ අතර කඳුකරයේ සිට සුළඟ හමා ආවේය. 

සෑම සවස් භාගයකම අපි සියලු දෙනාම ‍රෝහලට ගියෙමු. ගොම්මන් අඳුර අතරින් රෝහල වෙත ඇවිද ගෙන යාමට නගරය පුරා එකිනෙකට වෙනස් පාරවල් කිහිපයක්ම තිබිණි.  ඇල මාර්ග ඔස්සේ වැටුණු පාරවල් දෙකක් වූවද ඒවා දීර්ඝ විය. කෙසේවුවද, රෝහලට ඇතුළු වීමට නම් කෙනෙකුට ඇල මාර්ග මතින් වැටුණු පාලමකින් එතෙර වීමටම සිදු වූයේය. එවැනි පාලම් තුනක් තිබිණි. ඉන් එකක් මත ගැහැනියක් කර කරන ලද චෙස්නට් ගෙඩි විකුණුවාය. ඇගේ අඟුරු උඳුන ඉදිරිපිට සිටගෙන සිටින විට ගත උණුසුම් වූ අතර පසුව කර කරන ලද චෙස්නට් ගෙඩි සාක්කුවේ දමා ගත් විට ඒවායින් උණුසුමක් ලැබිණි.  රෝහල ඉතා පැරණිද මනරම්ද විය. ගේට්ටුවකින් ඊට ඇතුළු වන කෙනෙකුට මැදමිදුලක් හරහා ඇවිද ගොස් තවත් ගේට්ටුවකින් අනෙක් පැත්තට පිටවී යා හැකිය. මේ මැද මිදුලෙහි බොහෝ වේලාවට අවමංගල්‍ය උත්සව පැවැත්විණි. පැරණි රෝහලෙන් ඔබ්බෙහි පිහිටියේ ගඩොලින් ඉදිකරන ලද නව ක්‍රීඩාගාර ය. සෑම සවස් වරුවකම එහිදී හමුවන අපි ඉතා විනීත ලෙසත් එතැන කෙරෙන කාර්ය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් යුතුවත් අ‍ප‍ගේ තත්ත්වය දැඩි ලෙස වෙනස් කිරීමට සමත්යැයි කියන ඒ යන්ත්‍ර මත වාඩි වී සිටියෙමු.

2012/09/08

එස්තෙර් ලුසෙරෝ- ඉසබෙල් අය්යන්දේ















වුහු තාවකාලික දඬුමැස්සක් මත තබා ගෙන එස්තෙර් ලුසෙරෝ රැගෙන ආවෝය. ඇය තුවාල ලැබූ ඌරෙකු මෙන් රුධිරය වගුරුවමින් සිටි අතර ඇගේ අඳුරුවන් දෙනෙත භීතියෙන් විසල්ව තිබිණි. දොස්තර අන්හෙල් සන්චෙස් ඇය දුටු විට ඔහුගේ සුපුරුදු සුප්‍රකට සන්සුන්බව ඔහුට මතක ඇති කාලයේ සිට පළමුවැනි වතාවට අතුරුදන් විය. ඒ හේතුවක් නැතිව නොවේ. ඇය පළමුවරට දුටුදා පටන් ඔහු ඇය සමග පෙමින් වෙලී සිටි බැවිනි. එවක ඇය තවමත් බෝනික්කන් සමග සෙල්ලම් කරන කුඩා දැරියක වූවාය. ඔහු, අවසන් මහා සංග්‍රාමය නිමවී පෙරළා පැමිණෙමින් සිටි වැඩිහිටියෙක් විය. මාස ගණනාවකින් නොකැපූ රැවුලෙන්ද ඉකිළි පෙදෙසෙහි සදහටම සිරවූ මූණිස්සමකින්ද යුත් ඔහු සිය රයිෆලය දණහිස් මත හරහට තබාගෙන සිය භට කණ්ඩායමේ ඉදිරියෙන්ම ගමන් කළ ට්‍රක් රථයක වහළෙහි නැගී නගරයට ඇතුළු වූයේ සිය ජීවිතයේ ඊට පෙර හෝ  ඊට පසු හෝ නුවූ විරූ තරම් ප්‍රීතියකිනි.  විමුක්තිකාමීන් වෙත ජය ‍ඝෝෂා නගන මහා ජනකාය මැද රතු පැහැති කඩදාසි කොඩියක් වනන කුඩා දැරියක ඔහුගේ නෙත ගැටී තිබිණි. ඔහු තිස් හැවිරිදි වූ අතර ඇය තවමත් දොළොස්වැනි වියවත් නොඉක්මවා සිටියාය. එහෙත් කිරිගරුඬ බඳු ඇයගේ අත පයද ඇගේ බැල්මෙහි වූ ගැඹුරද දුටු අන්හෙල් සන්චෙස් දැරිය තුළ රහසේ පැලව වැඩෙන සුන්දරත්වය දිවැසින් මෙන් දුටුවේය. ට්‍රක්රථය මුදුනේ තම උස් ස්ථානයේ සිට දැරිය සිය දෘෂ්ටි පථයෙන් මැකී යන තුරුම ඔහු ඇය දෙස බලා සිටියේ ඈ වනාහී වගුරු උණ සහ ජයග්‍රහණයේ ප්‍රීතිය විසින් නිර්මාණය කළා වූ කිසියම් මායාවී දර්ශනයක්ය යන විශ්වාසයෙනි.  එහෙත් එදා රාත්‍රියේ තාවකාලික පෙම්වතියකගේ තුරුලේ සැතපෙන්නට ඔහු‍ගේ වාරය පැමිණි විට ඔහු ඇගේ ආලිංගනයෙන් කිසිදු අස්වැසුමක් නොලැබුවේය. වෙන හේතුවක් නිසා නොවේ නම් ඇය මිරිඟුවක්ද යන්න නිශ්චය කර ගැනීමටවත් තමා අර දැරිය සොයා යායුතු බව ඔහුට වැටහිණි. පසුවදා, ජයග්‍රහණ සැමරුමේ කලබලය වීදිවලින් තුරන්ව ගොස් ඒකාධිපති පාලනයේ සුන්බුන් අතු ගා දමා යළිත් ලොවට නීතිය හා සාමය ගෙන ඒමේ කර්තව්‍යය ආරම්භ වූ විට සන්චෙස් නගරය පීරා ඇය සෙවීමට පිටත්ව ගියේය. ඔහුගේ පළමු සැලසුම වූයේ සෑම පාසලකටම ගොස් සොයා බැලීමයි. එහෙත් යුද්ධයේ අවසාන කාලයේ සිට පාසල් වසා දමා ඇති බව ඔහු දැන ගත්තේය. මේ නිසා නගරයේ සෑම නිවසකම දොරට තට්ටු කර බැලීමට ඔහුට සිදුවිය. 

2012/08/31

අප්‍රිකානු ප්‍රොමිතියස්



















(බ්‍රෑම් ෆිෂර්, නෙල්සන් මැන්ඩෙලා සහ වර්ණභේදවායට එරෙහි සෙසු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙනි)

උසැති ගිරි සිරස මත
ප්‍රොමිතියස්* යදමින් බැඳ දමා ඇත
රුධිරයෙන්, කැත කුණෙන්
වැකී ඇත ඔහු සිරුර
විලංගුව ගෑවී පීරි ගෑවෙයි
රිදුම් කන ඔහු දෑත
සැතක් වන් ගල් පව්ව
කපයි ලේ ගලන ඔහු සිරුර
ගිනිහුලක් ගත් සියුස් දෙවි
දවයි දිය බුබුලු නැගි වත

ගොම්මන් වැටුණු කල
පියාඹා එති රාජාලියෝ
කුසගින්න, රාගය, බිය වැනිම
තුඩින්, නිය පඳුරෙන්
ඉරන්නට ඔහු අතුනු බහන්
ඉරන්නට ඔහු ඉකිලිය

යළි යළිත් වෙයි එයම
අයැදියි හෙතෙම මරණය
එහෙත් මිය යනු නොහැක
ශාපයකි සදාකල් ජීවිතය

පැමිණෙති යුවතියෝ
කෙටි සායවල් හැඳගෙන
මටසිලිටි දඟ යුග්ම
ප්‍රේමය පතා තෙත්ව ඇත
දැනේ ඔහු පපුව මත
සුමුදු තිසර තුඩු පහස
මිහිරි දෙව් රුධිරය
පුබුදුවයි ඔහු සිරුර
ඇසෙයි ඔහුගේ කනට
කොඳුරන මියුරු හඬ
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

සුරුට්ටුව නිවමින්
කතා අරඹයි සියුස්
මෘදුය ඔහු කටහඬ:
“සොරකම් කළෙහි නුඹ
ශුද්ධ වූ ගිනිසිළුව
මා පසුපසින් සිට
රංචු ගැසුණෙහිය මිනිසුන් සමග
කැරලි ගැසුවෙහිය නුඹ
දෙවියන්ට විරුද්ධව,
දවා හළු කොට මා ලොව
නව ලොවක් තනන්නට
යත්න දැරුවෙහිය නුඹ
එනමුදු කමා කරනෙමි මම
කළොත් ඒ නීච රැළ අමතක
මට නොහැක, මට නොහැක
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

දෙව්ලොවෙහි පණිවිඩ
රැගෙන එහෙ මෙහෙ යන
පැමිණේය හර්මිස්
මුදු සම් පාවහන් හැඳ
එතැනින් පිටව යන
අවසරය ඔහු ළඟය
“අමතකද අප දෙදෙන
අවන්හල තුළ හිඳ
සවුදිය පිරූ රඟ
නුඹට ඇත්තේ වචනය
කියන්නට පමණකිය
මේ හිස් තිත් ඉර උඩින්
දමාපන් අත්සන
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

පිටදී ගල් පව්වට
ඇඹරෙයි ප්‍රොමිතියස්

ඉරී ගිය තොල් මැදින්
පිටවෙයි කෙඳිරියක්:
මට නොහැක, මට නොහැක

රිය අරා හිඳගෙන
සියුස් දෙවි අණ කරයි
රිය ඉදිරියටම
පදවා යන ලෙසට
රාජාලි පියාපත්
හිරුඑළිය බොඳකරයි
රාජාලි හොට වැදී
යළි උදරය ඉරෙයි

හර්කියුලිස් බෝ ඈතය
විදුලි පුවතක් නොයන දුර
තැනිතලා, කඳු අතර නොපෙනී
වසන මිනිසුන් නිහඬවම
නිදිගත් සෙයක් පෙනෙන්නට ඇත

එනමුදු අඳුරු පුරයක
පැල්පතක් තුළ දිලෙන
ගිනි දළු නොනැගී දැවෙන
ගින්නක්ය දුර ඈත

ඒ ගින්න එක්වරම
දළුලා ඇවිල ගොස්
අඳුරු නගරය තුළම
නොපෙනී සැඟව යයි
ප්‍රොමිතියස්
ඉවසමින් දුක දරයි








ඩේවිඩ් එවන්ස්

*ග්‍රීක දේව කථා පුරාණය අනුව ප්‍රොමිතියස් යනු ටයිටන් නම් වූ දේව සමූහයාගේ සාමාජිකයෙකි. දෙවියෙකු වූ බැවින් හෙතෙම අමරණීයය. මිහිතලය මත වූ සත්ත්වයන්ට අවශ්‍ය කරන විවිධ හැකියාවන් ලබාදීමේ කර්තව්‍ය ප්‍රොමිතියස්ටත් ඔහුගේ සොහොයුරු එපිමතියස්ටත් සෙසු දේව ගණයා විසින් පවරනු ලැබෙයි. එහෙත් එවැනි හැකියාවන් ලබාගැනීමට මනුෂ්‍යයාගේ වාරය පැමිණි විට ඔහුට දීම සඳහා කිසිදු කුසලතාවක් හෝ ත්‍යාගයක් ඉතිරි වී නැති බව දෙසොහොයුරන්ට පෙනී යයි.

අසරණ මනුෂ්‍ය වර්ගයා ගැන අනුකම්පා උපදවන ප්‍රොමිතියස් එවක දෙවියන් සතුව පමණක් තිබූ මහඟු සම්පතක් වන ගින්දර සොරකම් කොට මනුෂ්‍යයාට ලබා දෙයි. ප්‍රොමිතියස් කළ මේ ක්‍රියාවෙන් දැඩි ලෙස කෝපයට පත් වන මහදෙවි සියුස් ඔහු කොකේසස් පර්වතයට තබා දම්වැලකින් ගැට ගසන ලෙස අණ කරයි. සෑම දිනෙකම උදෑසන ප්‍රොමිතියස් වෙත පැමිණෙන රාජාලියෙක් ඔහුගේ උදරය ඉරා අක්මාව අනුභව කරන අතර පසුදා උදෑසන විට ඔහුගේ අක්මාව යළි ලියලා වැඩෙන්නේ එය නැවතත් රාජාලියාට අනුභව කිරීමට හැකිවන පරිදිය. අමරණීය ප්‍රොමිතියස් මේ දඬුවම  සදාකාලයටම විඳිය යුතුය.

ඔහු මේ වධය අවුරුදු දහස් ගණනක් තිස්සේ විඳි බවත් අවසානයේදී හර්කියුලීස් විසින් පෙරකී රාජාලියා මරා දමා ප්‍රොමිතියස් නිදහස් කොට ගත් බවත් කියැවේ.    
  

සෙවුම්