2012/09/20

කිසිදිනෙක බොරු නොකී මිනිහා (අප්‍රිකානු ජනකතාවකි)




එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.

ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ රජ්ජුරුවෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා:

මමාද්, උඹ කවදාවත් බොරු කියලා නෑ කියන එක ඇත්තක්ද ?

ඒක ඇත්තක්, දේවයන්වහන්ස කියලා මමාද් උත්තර දුන්නා.

ජීවිතේ මින් ඉදිරියටත් උඹ බොරුවක් කියන්නේ නැද්ද? රජ්ජුරුවෝ ඇහුවා.

මට ඒක විස්වාසයි දේවයන්වහන්ස කියලා මමාද් උත්තර දුන්නා.

බොහොම හොඳයි. ඇත්ත කියාපන්. හැබැයි ප්‍රවේසම් වෙයන් ! මොකද බොරුව කියන්නේ බොහෝම කපටි දෙයක්. ඒක ඉතාම ලේසියෙන් උඹේ දිවට ඇතුළු වෙයි කියලා රජ්ජුරු‍වෝ කිවුවා.

දවස් කිහිපයක් ගතවුණා. රජ්ජුරුවෝ ආයෙමත් මමාද්ට එන්න කියලා පණිවිඩයක් යැවුවා. මමාද එනකොට එතැන මහ විශාල ජනකායක් රැස්වෙලා හිටියා. රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්නයි සූදානම. අශ්වයාගේ කේසරවලින් අල්ලාගෙන වම් කකුල සෑදලයේ කකුල තියන පටියේ තබා ගෙන රජ්ජුරුවෝ හිටියා. 

රජ්ජුරුවෝ මමාද්ට මෙහෙම අණ කළා:

“මගේ ගිම්හාන මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට කියාපන් මම ඇයත් එක්ක දවල් කෑම ගන්න එහාට එනවා කියලා. විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න කියලා ඇයට කියාපන්. ඊට පස්සේ උඹ මාත් එක්ක දවල් කෑම ගන්නවා.”

මමාද් හිස පහත් කරලා නැවිලා බිසවුන්නාන්සෙට පණිවිඩය කියන්න ගියා. එතකොට රජ්ජුරුවෝ හිනා වෙලා මෙහෙම කිවුවා: “ අපි දැන් දඩ කෙළියේ යන්නේ නෑ. එතකොට මමාද් බිසවුන්නාන්සෙට කියන දේ බොරුවක් වෙනවා. අපට හෙට මේක අල්ලාගෙන මිනිහට හිනා වුණෑකි.”

ඒත් නුවණක්කාර මමාද් මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“සමහරවිට ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕන නෑ. සමහර විට රජ්ජුරුවෝ අද දවල් වෙනකොට මෙහාට එයි. එහෙම නැත්නම් සමහරවිට මෙහාට එන එකක් නෑ.”

“රජ්ජුරුවෝ එනවාද නැද්ද කියලා විතරක් කියාපන් ” කියලා බිසවුන්නාන්සෙ කිවුවා.

“මං ආවට පස්සේ රජ්ජුරුවෝ සෑදල පටියේ තමන්ගේ දකුණු කකුල තිබ්බද එහෙම නැත්තම් තමන්ගෙ වම් කකුල තිබ්බද කියලා කියන්න මං දන්නේ නෑ.”

හැමෝම රජ්ජුරුවෝ එනකම් බලාගෙන හිටියා. රජ්ජුරුවෝ ආවේ පහුවදායි. ඇවිත් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“කවදාවත් බොරු නොකියන මමාද් ඔයාට ඊයේ බොරුවක් කිවුවා.”

ඒත් මමාද් පාවිච්චි කරපු වචන මොනවද කියලා බිසවුන්නාන්සෙ රජ්ජුරුවන්ට කිවුවා. නුවණක්කාර මමාද් කිසි දවසක බොරු නොකියන බවත් තමන්ගේ ඇස් දෙකෙන් දකින දේ පමණක් කියන බවත් රජ්ජුරුවන්ට තේරුම් ගියා.

11 comments:

  1. ලස්සන වටිනා කතාවක්.ජය!!!

    ReplyDelete
  2. අෆෝ අපේ ලොජික් මැඩම්ව මතක් කරන කතාවක්නේ මේක

    ReplyDelete
    Replies
    1. ඒ ගැන එච්චර ගැඹුරින් හිතන්න එපා. ඒක ජනකතාවක්. හැබැයි ඒ කතාවේ පොඩි ලොජික් සම්බන්ධ දෙයකුත් තියෙනවා තමයි (අස්ත්‍යාර්ථය සහ නාස්ත්‍යාර්ථය).

      Delete
  3. දැන් කාලේ රජවරුන්ට නම් බොරු කියන අය තමයි ඕනේ.. රජවෙන්නෙත් බොරු කියන්න පුළුවන් අය විඅතරයි..

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් එකෝමත් එක කාලෙක වෙච්ච දෙයක්නේ.

      Delete
  4. ඔබගේ උදාර පරමාර්ථය දිගටම ගෙනියන්න. නමුත් බ්ලොග් කළාවට ගැලපෙන්නේ මෙවැනි සරල දේ. අප කැමති වුවත් අකමැති වූවත්. බොහෝම ස්තූතියි සහෝදරයා. ඇත්තටම මේක සරලයි, රහයි... ජයවේවා...

    ReplyDelete
  5. හොඳ කතාවක්...

    සරල දේ වගේම විදග්ධ දේටත් කැමති සුළු පිරිසක් හෝ සිටින නිසා සරල දේට පමණක් සීමා නොවන්න. සරල දේ පමණක් බෙදන ලාභ බ්ලොග් කරුවනගේ තත්වයට නොවැටෙන්න. ඔබේ මූලික උදාර කාර්යය දිගටම කර ගෙන යන්න.

    ReplyDelete
  6. නියමයි මමත් ආසයි මේ වගෙ කතා වලට

    ReplyDelete

සෙවුම්