2016/05/30

බිරිඳ

















මගේ උරැහිස මත තැබූ අතක ස්පර්ශයෙන් තිගැස්සුණු මම හැරී බැලුවෙමි. මුහුණේ ලජ්ජාභරිත ඉරියව්වක් රැඳුණු, උසැති, ශක්තිමත්, දැවැන්ත සීක් ජාතිකයෙක් මා පිටුපසින් සිටගෙන සිටියේය.

අප එකිනෙකාගේ නෙත් එකට ගැටෙත්ම ‘මට සමාවෙන්න සර්’ යැයි ඔහු මුමුණා කීවේය.

ඔහු දුටු මොහොතේම මගේ බිය අතුරුදන් විය. නැතිනම්, කඳුකරයේ පිහිටි ලෝනාවාලා නම් වූ මේ කුඩා නගරයේ පාලුවට ගිය වීදිවල, මෙතරම් රෑ බෝ වූ වෙලාවක මේ ආකාරයෙන් අමුත්තෙකු මුණගැසීම නිර්භීතම හදවතක් ඇත්තෙකු තුළ පවා වෙව්ලුමක් ජනිත කරවන අත්දැකීමකි.

‘ඒකට කමක් නෑ සහෝදරයා. මොකක්ද වුවමනාව?’ මම සිනහවකින් යුතුව පැවසීමි.

‘නෑ මොකුත් නෑ....මේ.... මේ... ’ යි කියමින් මොහොතකට පැකිලුණු හෙතෙම ඊළඟ මොහොතේ ලජ්ජාශීලී එහෙත් නිර්භය කටහඬකින් මගෙන් මෙසේ විමසීය:

‘සර්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා මං ඇහුවොත් සර් මට සමා වෙනවද ?’.

මම හඬ නගා සිනාසීමි. ‘ඔව් මට ටිකක් පුළුවන්. ඇයි? ’

‘මං හිතුවා සර්ට ඉංග්‍රීසි පුළුවන් ඇති කියලා.’ ඔහු සතුටින් උද්දාම විය. ‘ඔබතුමාගේ අතේ තියන  ඔය ලියුම් කවරෙ උඩ ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා ලයිට් කණුවෙ එළියෙන් දැක්කාම මං හිතුවා එහෙම. ඒකයි මං සර්ට කරදර කරන්න තරම් එඩිතර වුණේ. ’

‘මගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔහේට තියෙන ප්‍රශ්නෙ මොකක්ද, ඒකත් මේ යක්කු ගස් යන වෙලාවේ? ’ මම විමසුවෙමි.

‘සර්ට කරදරයක් නැත්නම් මට ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ලියුමක් කියවලා දෙන්න පුළුවන්ද? ’

‘කොයි වෙලාවටද? ’

‘සර්ට පුළුවන් ඕනෑම වෙලාවක,’ ඔහු විනීත ලෙස පිළිතුරු දුන්නද ඔහුගේ මුළු මුහුණම එකම එක වාක්‍යයක් පමණක් ලියූ විවෘත පොතක් බඳු විය. ඒ වාක්‍යය ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට මට හැකිවිය: ‘දැන්ම කියවලා දෙන්න’ .

‘ලියුම මොකක් ගැනද? ’ මම විමසුවෙමි.

‘ඉංග්‍රීසි දන්නෙ නැතුව මං කොහොමද ඒක දන්නේ? ඒකනේ මට සර්ගේ උදව් ඕනෑ. ’ ඔහු හිනැහුණේය.

මට කුතුහලයක් ඇති විය. මෙය කුමක් ගැන විය හැකිද?

‘මේ දැන්ම ඕක කියවන්න ඕනෑද? ’

‘දැන්ම ලියුම කියවන එක අපහසු නැද්ද ? ’ පැකිළෙන සුළු හඬින් ඔහු කීවද ලියුමේ අන්තර්ගතය කිසිම පමාවකින් තොරව තමාට අනාවරණය වන්නට යන්නේය යන සිතිවිල්ලෙන් හටගත් ප්‍රීතියෙන් ඔහුගේ මුහුණ ප්‍රභාවත් වන සැටි දකින්නට මට පුළුවන් විය.

‘මං මේ ලියුම තැපැල් කරන්න තැපැල් කන්තෝරුවට යන ගමන්. එතැනට ගිහින් ඔය ලියුම කියවමුද ? ’ මම යෝජනා කළෙමි.

ඔහුගේ දැඩි උනන්දුවෙන් යුතු පිළිතුර වූයේ ‘බොහෝම ස්තූතියි, බොහෝම බොහෝම ස්තූතියි, සර්’ යන්නයි. අපි ගමන ඇරඹුවෙමු.

තැපැල් කන්තෝරුව තෙක් වූ පර්ලොම් දෙකක දුර ගෙවුණේ නිහඬතාවෙනි.  ඔහු ගැඹුරු කල්පනාවක් නිමග්නව හුන් අතර මා කල්පනා කළේ මේ සියල්ලේ තේරුම කුමක්ද යන්න ගැනය. නිශ්චිතවම, එය රැකියාවක් හෝ ඒ හා සමාන කිසිවක් විය නොහැකිය. එසේ විණි නම් ඔහු මගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දෙන්නේය. එසේනම් මේ කුමක් ගැන විය හැකිද? නිශ්චිතවම මෙය පෙම් පළහිලව්වක්ද විය නොහැකිය. එසේ වී නම් පෙම්පත ලියැවෙනුයේ මේ මිනිසාට කියවා තේරුම් ගතහැකි භාෂාවකිනි. එහෙත් මේ කාරණයට කිසියම් පෞද්ගලික දෙයක් සම්බන්ධ වී නොතිබිණි නම් ඔහු මෙතරම් කෝලයට පත්වන්නේත්, ලජ්ජාශීලී වන්නේත්, ලියුමෙහි අන්තර්ගතය හැකි ඉක්මනින් ගැන දැනගැනීමේ මැඬලිය නොහැකි ආශාවකින් පෙළෙන්නේත් ඇයි ?

තැපැල් කාර්යාලයට පැමිණි විට එළියෙහි වූ බංකුවක් පෙන්වූ මම ‘අපි අතන වාඩි වෙමු දැයි’ ඇසුවෙමි.

‘එතැන එතරම් එළියක් නැතිවෙයි සර්. අර පාරෙන් එහා පැත්තෙ තියෙන කෑම කඩේ වාඩි වෙන එක වඩා හොඳ නැද්ද ?’

ලියුම තැපැල් කළ මම ඔහු පසුපසින් පාර මාරු වීමි. උඩින් විදුලි බුබුලක් දැල්වෙන මේසයක අපි වාඩි වීමු. අත දිගු කළ මම ලියුම ඉල්ලා සිටියෙමි. එය මා අතට දෙන අතර නැවතත් හෙතෙම කෝල ගතියටත් ලජ්ජාවටත් පත් වූයේය.

‘මං සර්ට හරි කරදරයක් තමයි කරන්නේ. ’

‘නෑ. මනුස්සයෝ එහෙම එකක් නෑ. ’ මම ලිපිය ඔහු අතින් ගනිමින් පැවසුවෙමි.

ලියුම කියවන අතර විටින් විට මගේ දෙනෙත ඔහුගේ මුහුණ දෙසට යොමු විය. ඔහු ගිජු ලෙස දෑස දල්වා ගෙන මා දෙස බලා ගත් වනම සිටියේය.


ලිපිය කියවා හමාර කළ මම ඔහු දෙස බලා සිනාසුණෙමි.

‘මොකක්ද කියලා තියෙන්නේ සර් ? ’ ඔහු චින්තාපර ස්වභාවයෙන් විමසීය.

‘ඔහේගෙ නම කර්තර් සිං ද? ’

‘ඔව් සර්.’

‘මේ ලියුමෙ තියෙන කාරණා ඔහේ ගැනමද ?’

සිහින් හඬින් ඔහු ‘ඔව්, ඔව්’ යැයි කීවේය.

‘එහෙනම් ඔහේ කසාද බඳින්නයි යන්නේ.’

‘ඒගොල්ලො ලියලා තියෙන්නේ වැඩේ හරියනවා කියලද? ’ අසමින් ඔහු නැගී සිටියේ උද්දාමයෙනි.

‘වාඩි වෙන්න සර්දාර්ජී, කරුණාකරලා වාඩි වෙන්න.’ මම සිනාසෙමින් කීවෙමි. ‘ඒගොල්ලො හා කියලා කියලා තිබුණත් දැන් පිටත් වෙන්න කෝච්චියක් නෑනේ. ඒ නිසා වාඩි වෙන්න.’

විලියෙන් රතු වූ හෙතෙම හිඳගත්තේය. එවැනි දැවැන්ත මිනිසෙකු තුළ දක්නට ලැබුණු උනන්දුවේ සහ කෝලබවේ සම්මිශ්‍රණය පුදුම සහගත විය.

‘මේ බලන්න සර්දාර්ජී, ’ මම කතා කළෙමි. ‘මේ ලියුම ශ්‍රද්ධානන්ද් අනාථ කාන්තා නිවාසෙන් ඇවිත් තියෙන්නේ.’ ඒ ගොල්ලො කියනවා මේ වෙලාවේ ඔහේගේ ලියුමෙ තිබුණු අවශ්‍යතාවලට ගැලපෙන තරුණ කාන්තාවක් ඒ ආයතනයේ නෑ කියලා. ඒ අය ඔහේගේ ඉල්ලුම්පත්‍රය තියාගෙන ඉඳලා ඔහේට ගැලපෙන කෙනෙක් හම්බ වුණොත් ලියලා දන්වනවා කියලා තියෙනවා. ඒ අතරෙ පුළුවන්නම් ඇවිත් ඒගොල්ලන්ගෙ මැනේජර්ව හම්බ වෙන්න කියලත් කියලා තියෙනවා. ’

‘හ්ම්ම්, ’යැයි කියූ ඔහු නිහඬ විය.

‘මේ මොකක් ගැනද කියන්නේ සර්දාර්ජී ?’ මම විමසුවෙමි.

‘ඒක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි සර්,’ බලාපොරොත්තු කඩවූ හඬකින් යුතුව ඔහු පිළිතුරු දුන්නේය.

‘ඒ වුණත් ?’

‘ඒක මෙහෙමයි.... ’ කියා ඔහු කතාව ඇරඹුවද වහා මාතෘකාව වෙනස් කළේය.

‘මම දැනටමත් ඔබතුමාගෙ කාලෙ හුඟක් නාස්ති කළා සර්. මගේ මේ නොවටිනා කරදර ගැන කියලා තවත් කාලෙ නාස්ති කරන්නේ මොකටද? ’ වේදනාවක සේයාවක් ඔහුගේ මුහුණේ දකින්නට ලැබිණි.

මෙතරම් ජවසම්පන්න මිනිසෙකුගේ මුහුණෙහි ඇතිවූ මේ දුකෙහි සේයාවට මා කැමති වූයේ නොවේ. මගේ හදවත දයාවෙන් පිරී ගියේය. මම ඉතා මෘදු ලෙස ඔහුගේ අත උඩින් මගේ අත තැබීමි.

‘සර්දාර්ජී, මගෙ කාලෙ නාස්ති වෙනවා කියලා එකක් කොහෙත්ම නෑ. එහෙම නෙවෙයි. ඔහේට පොඩි හරි උදව්වක් කරන්න ලැබෙනවා නම් මං ඒක ලොකු දෙයක් හැටියට සලකනවා.’

ඔහු මා දෙස බැලුවේය. මාගේ අනුකම්පාව දැනුණු ඔහු යාන්තමින් සිනාසුණේය.

‘මම මෙහෙ ශාන්ත පීතර බාලිකා විද්‍යාලෙ ඩ්‍රැයිවර් කෙනෙක් විදියට වැඩ කරනවා. සුදු නෝනලා තමයි විද්‍යාලෙ පාලනය කරන්නේ. ඉංග්‍රීසි ගෑනු ළමයිනුයි පාර්සි ගෑනු ළමයිනුයි තමයි ඉගෙන ගන්නේ. ලොකු සුදු නෝනා හැමදාම මගෙන් අහනවා ‘ඇයි උඹ උඹේ පවුල මෙහෙ එක්කරන් එන්නෙ නැත්තෙ ? කියලා.’

‘එහෙනම් තමුසෙ කසාද බැඳලා ? ’ මම විමතියෙන් යුතුව විමසුවෙමි.

‘ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ සර්,’ ඔහු කීවේ කටුක ලෙසය.

මම තවතවත් වික්ෂිප්තභාවයට පත්වීමි. මේ මුළු කතාවේම කිසියම් අසාමාන්‍ය දෙයක් ගැප්ව තිබේ.

‘මට තේරෙනවා. එහෙනම් ඒ අය තවම දන්නෙ නෑ ඔහේ කසාද බැඳලා නෑ කියලා. ඒකද කාරණේ ?’ මම අසත්‍යයක් පවසන ස්වරයෙන් ඇසීමි.

‘ඒ අය දැනගත්තා නම් මට එක මිනිත්තුවක්වත් ගෑනු ඉස්කෝලෙක වැඩ කරන්න දෙනවද? ’ ඔහු හඬ නගා සිනාසෙමින් ඇසුවේය.

මමද හඬ නගා සිනාසුණෙමි. ‘සර්දාර්ජී, ඔහෙත් හරිම කපටි කෛරාටිකයෙක් තමයි. ඔය එළියට පේන්න ඉන්න සරළ අවංක කෙනා නෙවෙයි. ’

‘මං මොකද කරන්නේ සර් ? මුළු ජීවිතේම කරදරවලින් පිරිලා නොවැ.’

නිමේෂ කිහිපයක් නිහඬබවින් යුතුව ගෙවී ගියේය. ඉන් අනතුරුව ඔහු සිය කතාව කියන්නට විය.

‘මාව හමුදා සේවයෙන් නිදහස් කරපුවම මට රස්සාවක් තිබුණෙ නෑ. අපේ රෙජිමේන්තුවෙ කැප්ටන් ජැක්සන් මහත්තයා මට හරි කැමතියි. හොඳ රස්සාවක් කරන්න තරම් මං ඉගෙන ගෙන නෑ. හැබැයි ජැක්සන් මහත්තයා දැනගෙන හිටියා මම හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් කියලා. ඒ වෙනකොට මේ ඉස්කෝලෙට ඩ්‍රැයිවර් කෙනෙක් උවමනා කරලයි තිබුණේ. මහත්තයා මේක දැනගෙන ලොකු නෝනට මාව රෙකමදාරු කළා. සුදුසුකම් දෙකක් තියෙනවා නම් මාව ගන්නවට ලොකු නෝනා විරුද්ධ වෙලා නෑ. පළමුවැනි එක මට හොඳ චරිතයක් තියෙන්න ඕනෑ. දෙවැනි කොන්දේසිය මං කසාද බැඳලා තියෙන්න ඕනෑ.

‘ලොකු නෝනව හම්බ වෙන්න ගිය ජැක්සන් සහාබ් ආපහු ආවේ බොහොම විනෝදෙන්. එහෙම ඇවිත් මහ හයියෙන් හිනාවෙලා, මගේ පිටට තට්ටු කරලා කිව්වා “ මේ බලනවා කර්තර් සිං මං තමුසෙව කසාද බැඳපු මිනිහෙක් කළා !” කියලා.

‘ජැක්සන් මහත්තයට පිස්සු හැදිලද ? එහෙම කියලා තමයි ටික වෙලාවක් යනකං පෙනුණේ. මං බොහොම විනීත විදියට කිව්වා:         “අනේ කැප්ටන් සර් කවුද අපි වගේ දුප්පතුන්ව කසාද බන්දලා දෙන්නේ? ” කියලා.

“මේ දැන් මං තමුසෙව බන්දලා දුන්නා” කියලා ආපහු කියපු මහත්තයා මහා හයියෙන් හිනා වුණා.

‘මට මහත්තයගෙ විනෝදෙ තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ මහත්තයා මට පැහැදිලි කරලා දුන්නා ලොකු නෝනා හොයන සුදුසුකම් දෙකම මට තියෙනවා කියලා මහත්තයා මට රස්සාව අරගෙන දුන්නු බව. ඒ කියන්නෙ මගේ චරිතෙ බොහොම හොඳයි කියලත්, මං කසාද බැඳපු මිනිහෙක් කියලත්. පහුවදා ඉඳන්ම මම එතැන වැඩ කරන්න පටන් ගත්තා.

‘මං එතැන වැඩට ගිහින් දැන් අවුරුද්දක් වුණා. සුදු නෝනා හැම තිස්සෙම කියනවා මට පවුල එක්කරන් එන්න කියලා එයාට බලන්න. මං එක එක බොරු හේතු කියලා ඒ දවස කල් දැම්මා. ඒත් දැන් ඒක කරන්නත් අමාරුයි. මෙතැන දිගටම රස්සාව තියාගන්න ඕනෑ නම් මං කොහෙන් හරි පවුලක් අරන් එන්න ඕනෑ. ඒ වුණාට මං මේ පළාතට ආගන්තුකයෙක්. ඉතින් මං කොහෙන්ද පවුලක් හොයන්නේ ? ’ මුහුණ විකෘති කරගනිමින් සිනාවක් පෑ ඔහු දිගටම කතා කරන්නට විය:

‘මේ ළඟදී දවසක අහම්බෙන් වගේ මට කරුණාවන්ත මහත්තයෙක් මුණ ගැහුණා. ඒ මහත්තයගෙ නම කර්සන්දාස්ජී. බොම්බායේ තියෙන බිරිඳක් හොයාගන්න පුළුවන් ආයතන දෙක තුනක් ගැන ඒ මහත්තයා විස්තර කිව්වා. මං වෙනුවෙන් ඒ තැන්වලට ලියුම් කීපෙකුත් ඒ මහත්තයා හදලා දුන්නා . කර්සන්දාස්ජී මහත්තයා ඊයෙ යන්න ගියා. අද මේ ලියුම ලැබුණා. ඒ වුණාට සර් කියන හැටියට ඒ ලියුමෙ තියෙන්නෙත් කඩවෙච්ච බලාපොරොත්තුවක් විතරයි ! ’ ඔහු සුසුමක් පිට කළේය.

‘ඒ වුණාට කර්තර් සිං මොකටද බලාපොරොත්තු නැති කරගන්නේ ? ඔහේ මේ පළාතට ආගන්තුකයෙක් වුණාට පන්ජාබ්වලට අමුත්තෙක් නෙවෙයිනේ. එහාට ගිහින් පෙළවහක් කරගන්නෙ නැත්තෙ ඇයි ? ’ මම විමසීමි.

‘අනේ සර් ඒක එච්චර ලේසි වුණා නම් මෙච්චර කලක් මං කසාද නොබැඳ ඉන්නවද ? මට දැනටමත් අවුරුදු තිස්පහක්.’

‘ඔහේගෙ මිනිස්සු අතරෙන් ගෑනු ළමයෙක් හොයාගන්න බෑයි කියන එක වෙන්න පුළුවන් දෙයක්ද? ’ මම ඇසුවෙමි.

‘දුප්පත් මිනිස්සුන්ට ඕනෑ දෙයක් වෙන්න පුළුවන් සර්.’

ඔහුගේ කටහඬේ කෙතරම් වේදනාවක් හා ශෝකයක් ගැබ්ව තිබුණේද යත් මා එයට සිනා නොවිය යුතුව තිබිණි.  එහෙත් මට මා පාලනය කර ගත හැකි වූයේ නැත.

‘එතකොට ඔහේ කියන හැටියට මේ ලෝකෙ ඉන්න දුප්පත් මිනිස්සු කසාද බඳින්නෙ නෑ. එහෙමද සර්දාර්ජී ? ’

ඔහුද මා සමග හඬ නගා සිනාසුණේය. ‘මං ටිකක් අතිනුත් දාලා කිව්වා වෙන්න පුළුවන් සර්. ඒත් හරය අතින් ගත්තම ඒක ඇත්තයි. විශේෂයෙන්ම මං වගේ කෙනෙක් ගත්තම ඒක ඇත්තයි. මං පොඩි කාලෙම ගෙදරින් පිටවෙලා මුළු ඉන්දියාව පුරාම එහෙ මෙහ ගියා. ඊට පස්සෙ හමුදාවට බැඳිලා යුද්දෙට ගියා. ඒත් අද මං කවුද ? හිඟන්නෙක් වගේ මිනිහෙක්. මේ ඈත පළාතක ගෑනු ඉස්කෝලෙක වැඩ කරන කිසිම වැදගත්කමක් නැති ඩ්‍රැයිවර් කෙනෙක්. මං වගේ මිනිහෙකුට තමන්ගෙ දුව දෙන්න කැමති කවුද ?’

ශෝකය යාන්තමින් තැවරුණු හඬින් කතා කරන්නට පටන් ගත් ඔහුගේ සිනහව අතුරුදන් විය.

‘සර්, මං වගේ දුප්පත් මිනිස්සු දස දහස් ගණනක් ජීවත් වෙලා මැරිලා යනවා කවදාවත් කසාදයක් බැඳගන්න බැරුව. සර්ලා වගේ සතුටින් ජීවත් වෙන මිනිස්සු කොහොමද මේ දේවල් ගැන දන්නේ ? ’

‘කිසිකෙනෙක් තමන්ගෙ දුව ඔහේට දෙන්න හිතුවෙ නැත්නම් උන් යකාට ගියාවෙ.’ මා කීවේ යළිත් විහිළුවක් කිරීමේ අදහසිනි. ‘ඒත් රටේ ලෝකෙ ඇවිදපු, හොඳ ශක්තියක් තියෙන, නිරෝගී, ඒ වාගේම නිර්භීතව යුද්ද කරපු ඔහේ වගේ මිනිහෙක්ව යම්කිසි ගෑනු ළමයෙක් තමන්ගෙ කැමැත්තෙන්ම තෝරා ගත්තෙ නැද්ද ? ’

‘ ආ එහෙම අයද ? එහෙම අය ගොඩක් ඉන්නවා සර්. ’ තමන්ගේ කය ඍජු කරගත් ඔහු කීවේ ජයග්‍රාහීබවක මතකයක් තොල් මත රඳවා ගනිමිනි.

‘නැතුව, නැතුව සත්තකින්ම එහෙම අය නම් ගොඩක් ඉන්න ඇති නේන්නම්, ’ මම විහිළු කළෙමි. ‘එහෙනම් මොකද තමුන් තාම පාලු තනිකඩයෙක් වගේ ඉන්නෙ ? ’

‘ඉරණම සර් ඉරණම. ඒ හැමදේම ඉරණම.’

‘අපේ රෙජිමේන්තුව සෙකුන්දරාබාද්වල ඉන්න කොට අපි පුරුදු වෙලා හිටියා විශාල පිට්ටනියක ෆුට්බෝල් සෙල්ලම් කරන්න. මං දන්නෙ නෑ ඒ දවස්වල මං හුඟක් කඩවසම්ද කියලා ඒත් පිට්ටනිය ගාව තිබුණු ගෙදරක හිටපු ක්‍රිස්තියානි ගෑනු ළමයෙකුට මා ගැන හිතක් පහළ වෙලා තිබුණා. මං මෙහෙම කියන කොට කයිවාරුවක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් මං කියන්නෙ ඇත්ත. දෙවියම්පා ඇත්ත. ’ ඔහු හිනැහුණේය.‘ ඉතින් කොහොමහරි මේ ළමයා මාත් එක්ක කතා කළා. වැඩි දවසක් යන්න කලින් එයාගෙ අදහසත් මට කිව්වා. ’

‘එයා ලස්සනද ? ’ මම ඇසුවෙමි.

‘ආහ්, ඒ ළමයා දෙවඟනක් වාගෙ ලස්සනයි.’ ඔහු උනන්දුවෙන් යුතුව මට සහතික විය. එහෙත් ඇතැම්විට මගේ ඇස්වල තිබූ දඟකාර සිනාවක සේයාවක් ඔහු ඒ මොහොතේ දකින්නට ඇත. ඔහුගේ පුරාජේරු ස්වරය මඳක් අඩුවිය.

‘දෙවඟන කියන එක පැත්තකින් තියමුකො සර්. ඒත් ඒ ළමයා හරි පෙනුමයි. ඒ වගේම හරිම බුද්ධිමත්....හ්ම්....ඒ ළමයා මට කැමතියි කියලා පෙනුණු නිසා මං එයාට විවාහ යෝජනාවක් කළා. ’

‘හොඳයි, හොඳයි, ඒක බොහොම හොඳයි, ’ මම අත්පොළසන් දුන්නෙමි.

‘එයා ඒකට සූදානම් වෙලයි හිටියේ. ඒ ළමයත් මං වගේම දුප්පත්. අපි දෙන්නට එකට හොඳට ජීවිතයට මුහුණ දෙන්න තිබුණා. ’

‘මොකක්ද ඒකට හරහට හිටියේ ? ’ මම ප්‍රශ්න කළෙමි.

‘එයා කිව්වා එයා මාව කසාද බඳින්නේ මං ක්‍රිස්තියානි ආගමට හැරුණොත් විතරයි කියලා. මොනම හේතුවකටවත් තමන්ගෙ ආගම අත අරින්න එයා සූදානම් වුණේ නෑ.’

‘හැබෑට ? ’ මා ඇසුවේ විස්මයට පත්වෙමිනි.

‘ඔව්. ඇත්තටම. ඒක හැම වෙලාවෙම එහෙම තමයි සර්. වෙන ආගම්වලින් ක්‍රිස්තියානි ආගමට හැරිච්ච මිනිස්සු උමතුවෙන් වගේ ඒ අලුත් ආගම බදාගෙන ඉන්නවා. එයා කිව්වා මම ක්‍රිස්තියානි ආගමට හැරුණොත් එයාගෙ දෙමවුපියනුයි නෑදැයනුයි මාව තමන්ගෙම කෙනෙක් හැටියට බාර ගෙන මංගල්ලෙට උඩින්ම කැමති වෙනවා කියලා. ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ’

‘ඇයි? ’

‘ඇයි කියන්නෙ, එයා එයාගෙ ආගම ගැන එච්චර ආඩම්බර නම්, ඒ ආගමට කොහෙත්ම දෙවැනි නොවෙන ආගමක් මටත් තිබුණා. මං මොකටද ඒක වෙනස් කරන්නේ? අපේ ආගම රැක ගන්න අපේ මුතුන්මිත්තො තමන්ගෙ ජීවිත පූජා කළා. මට බෑ මේ කෙල්ලෙක් වෙනුවෙන් ආගම පරිත්‍යාග කරන්න. මං කිව්වා බෑ කියලා. එතැනින් ඒ සම්බන්දෙ ඉවර වුණා.’

‘ආ, එහෙමද ! ’ මම විස්මයෙන් යුතුව පැවසීමි.

‘ඒ වගේ තවත් පළහිලව්වක් තිබුණා. ’ ටික වේලාවකට පසු ඔහු කීවේය.

‘ඉතින්.’

ඔහු හිස සෙලෙව්වේය. ‘වැඩක් නෑ සර්. ඒ කතාව කියන එකේ තේරුමක් නෑ. ඒ ගැන කියනකොට මටත් අප්‍රසන්නයි..... හ්ම්.. එක පාරක් මං කෝච්චියෙන් මෙහෙ ඉඳලා පූනාවලට ගියා. තලේගාඕංවලදි තරුණ මුස්ලිම් ගෑනු කෙනෙක් මනුස්සයෙකුත් එක්ක අපේ පෙට්ටියට නැග්ගා. කෝච්චි පෙට්ටිය සම්පූර්ණයෙන්ම වගේ පිරිලා තිබුණේ. ඒත් ඒ දෙන්නා කොහොමහරි වාඩි වුණා. ඒ අයගෙ සීට් එක තිබුණෙ මං ඉඳගෙන හිටිය තැනට මූණ දාලා පෙට්ටියෙ අනෙක් කෙළවරේ.

‘කෝච්චිය යන්න පටන් ගත්තම මට දැනුණා මේ ගෑනු කෙනා සැරින් සැරේ මා දිහාව බලනවා කියලා. මුස්ලිම් වුණාට එයා පර්දාවක් දාගෙන හිටියෙ නෑ. මාත් එයා දිහා බැලුවා. අපේ ඇස් මුණ ගැහුණම මට තේරුණා එයාගෙ තොල්වල හීන් හිනාවක සේයාවක් ඇඳිලා තිබුණා කියලා. මගේ අත නොදැනුවත්වම මගේ උඩුරැවුල ගාවට ගියා.’

‘ආහ්, වීරයා!’ මම කොක්හඬලා සිනාසුණෙමි. ඔහු ලජ්ජාවට පත් විය.

‘පස්සෙ මං ඒ ගැන පසුතැවුණා. ඒත් ඉතින් මාත් පිරිමියෙක්නෙ....එයා ඇස් දෙක බිමට හරවලා හිනාවුණා. හරිම අපූරු හිනාව! එච්චර ලස්සන නැති එයාගෙ මූණට ඒ හිනාවෙන් ලස්සනක් එකතු වුණා. ’

‘ඔයගොල්ලො ඔය නාටකේ කරනකම් එයත් එක්ක හිටපු මනුස්සයා මොකද කළේ ? ’

‘ජනේලෙන් එළිය බලාගෙන ගැඹුරු ආදරය ගැන සිංදුවක් කියන එක’ කර්තර් සිං හඬ නගා සිනාසුණේය.

‘පූනාවලට කෝච්චිය එන්න කලින් එයා තමන්ගෙ පුංචි ලේන්සුව අල්ල උඩ දිගඇරියා. මං බැලුවා. එයාගෙ නම, හලීමා කියන නම ලේන්සුවේ එම්බ්‍රොයිඩර් කරලා තිබුණා. එයාගෙ සූත්තරේට මට හිනාගියා. එයා ලැජ්ජාවෙන් අහක බලලා ලේන්සුව අත් දෙකෙන්ම පොඩි කළා.

‘අපි පූනාවලින් බැස්සම කවුරුවත් අපි දිහා බලන්නෙ නැති වෙලාවක් බලලා එයා මට අත වැනුවා. ඒත් ඒ මොහොතෙම මගේ මායාව අතුරුදහන් වුණා. මං මේ මොනවද කරන්නේ ? මගේ සතුට වෙනුවෙන් කසාද බැඳපු මිනිහෙකුගෙ ජීවිතෙ විනාශ කරන්න නේද මං මේ හදන්නෙ ? විනීත, විශ්වාසවන්ත ගෑනියෙක් බඳින්න කල්පනා කරන මම නිකම්ම විනෝදෙට මේ මොකද කරන්නේ ? මං මටම වෛර කරන්න වුණා. ඒ ප්‍රබල හැඟීම හලීමාව මගේ හිතෙන් සදහටම ඉවත් කරලා දැම්මා. ’

කර්තර් සිං සිය කතාව අවසන් කළේය. එහෙත් එතෙක් වේලා ඔහුට සවන්දීමේදී මගේ සිතෙහි තිබූ කුතුහලය සහ විනෝදය සම්මිශ්‍රිත හැඟීම වාෂ්ප වී ගියේය. ගෞරවය මිශ්‍රිත හැඟීමක් මගේ සිතේ වර්ධනය වන්නට විය.

මේ සියලු කතාවලට මුල්වූ ඔහුට ලැබුණු ලිපිය වෙත යළි අවධානය යොමු කරමින් මම කතා කළෙමි:

‘මේ බලන්න සර්දාර්ජී. ඔහේ පොඩ්ඩක්වත් කනගාටු වෙන්න එපා. මං හෙට බොම්බායට ගිහින් සතියකින් ආපහු එනවා. ඔහේ වෙනුවෙන් මං එහෙදි විස්තර හොයලා බලන්නම්. අර කර්සන්දාස් මහත්තයා මෙතැනට ඇරුණම තවත් තැන්වලට ලියුම් ලියලා දුන්නද? ’

කර්තර් සිංගේ දෙනෙත කෘතඥතාවෙන් බැබලිණි.

‘මං සර්ට මීට වඩා කරදර කරන්න හොඳ නෑ. ’ ඔහු කීවේය. එහෙත් සිය සාක්කුවෙන් ලියුම් කිහිපයක් ගත් ඔහු ඒවා මට දුන්නේය.

‘මේ තියෙන්නෙ ඒ ලියුම් තමා.’

මම ඒවා කියැවීමි. ඒවාද ලියා තිබුණේ අනාථ අසරණ කාන්තාවන් පතමින්, කලින් ලියුම ලියූ තැනටම සමාන ආයතනවලටය.

කර්තර් සිංගේ ඉල්ලීම් ඉතා සරළ විය. ඔහු විමසා සිටියේ රූමත් හෝ තරුණ හෝ ගැහැනුන් ගැන නොවේ.  තමන්ගේ ගේදොර බලාගත හැකි, දෙවියන් කෙරෙහි භක්තිය ඇති, යහපත්, විශ්වාසවන්ත හින්දු හෝ සීක් කාන්තාවක පමණක් ඔහු සෙව්වේය.

‘මට තේරෙනවා. මං ඔහේ හොයන ජාතියෙ ගෑනු කෙනෙක්ව බොම්බායෙන් හොයන්නම්.’

ඊට දින අටකට පසු ලෝනාවාලා වෙළෙඳපොළේදී එකිනෙකා හමුවීමට අපි ගිවිස ගතිමු.

මා ඔහු කෙරෙහි දැක්වූ අනුග්‍රහය ගැන මට මුව නොසෑහෙන සේ ස්තූති කළ කර්තර් සිං යන්නට ගියේය. දැන් ඉතා රෑ බෝවී ඇති බැවින් ගෙදර උදවිය කලබලයට පත්ව ඇතැයි සිතූ මමද හනිහනික නිවෙස බලා පිය නැඟීමි.

පිළියෙළ කරගත් පරිදි මම පසුවදා බොම්බාය බලා පිටත් වීමි. මා එහි යන විට කෙතරම් වැඩ ගොඩ ගැසී තිබුණේද යත් දින කිහිපයක් යනතුරු ඉන් මිදීමට මම අපොහොසත් වූයෙමි. ලෝනාවාලාවලට පෙරළා පැමිණීම ගැන සිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත. එනිසා ගෙදර උදවිය බොම්බායට ගෙන්වා ගැනීමට මට සිදුවිය.

අධික වැඩවල පීඩනය හේතුවෙන් අසරණ කර්තර් සිං සහ ඔහුගේ සරළ කතන්දරය සම්පූර්ණයෙන්ම අමතක වී ගියේය. මාස කිහිපයකට පසු මට යම් විවේකයක් ලැබුණු විට මට එය මතක් විය. එහෙත් එසැණින්ම මට යළිත් වැඩ අධික වූයෙන් ඒ මුළු සිද්ධියටම  එවක ආරෝපණය වී තිබූ වැදගත්කම කාලයාගේ ඇවෑමෙන් මා කෙරෙන් තුරන් වී ගියේය. ඒ ආකාරයට කාලය ගතවී ගියේය. මම ඔහු වෙනුවෙන් කිසිවක් නොකළෙමි.

මට යළිත් ආදරණීය ලෝනාවාලාව වෙත පෙරළා එන්නට හැකිවූයේ මාස බොහෝ ගණනකට පසුය. එහි වූ නැවුම් සහ ප්‍රබෝධකර වාතය මගේ පෙනහලු පුරවා අතීතයේ ගෙවී ගිය දිනවල මතකයන් මා වෙත රැගෙන ආවේය. කර්තර් සිං ද ඒ මතකයන් අතර වූයෙන්, ඔහු පිළිබඳ මතකය මසිතට ගලා එත්ම වරදකාරීබවේ සහ කුතුහලයේ සම්මිශ්‍රිත හැඟීමක් මා වෙලාගත්තේය. වරදකාරී හැඟීම ඇතිවූයේ මා ඔහු වෙනුවෙන් යමක් නොකළ නිසා පමණක් නොව ගතවූ මාස ගණනාව මුළුල්ලේම මට කිසිවක් කරන්නට බැරි වූ වග ඔහුට දැන්වීමට තරම්වත් මා කාරුණික නොවූ හෙයිනි. කුතුහලය ඇතිවීමට සාධාරණ හේතු තිබිණි. ඔහුට ආවාහ කර ගත හැකි තරුණියක හමුවීද? බිරියක සොයාගැනීමට අසමත්වීම නිසා ඔහුගේ රැකියාව නැතිව ගියේද? ඔහු තවමත් ලෝනාවාලාවල වාසය කරන්නේද?

එක් සැන්දෑවක වෙළෙඳපොළට ගියේ නම් මගේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකිව තිබිණි. එහෙත් මගේ වරදකාරී හැඟීම ඊට වඩා ප්‍රබල බව පෙනිණි. ඔහු කෙරෙහි වූ මගේ නොසැලකිලිමත් චර්යාව සලකා බැලීමේදී ඔහු හමුවීම යන කාරණයට මට මුහුණ දීමට නොහැකි විය. එබැවින් වෙළෙඳපොළට යෑම, විශේෂයෙන්ම සැඳෑ වරුවේ එහි යෑම මම මඟහැරියෙමි.

මගේ පෙරසූදානම තිබියේ වුවද ඔහු හමුවීම වලක්වා ගැනීමට මට නොහැකි විය. එක් සැන්දෑ වරුවක කඳුකරයේ ඇවිදින්නට ගොස් පෙරළා පැමිණෙන විට තැපැල් කාර්යාලය දෙසින් කිසිවෙකු මා අමතන සැටි මට ඇසිණි. ‘සර් ! සර්! ’

මම ආපසු හැරී බැලුවෙමි. එහි වූයේ කර්තර් සිංය. අපගේ පළමු හමුවීම සිදුවූ ආපනශාලාවේ මේසයක් අසල සිටගත් ඔහු මහ හඬින් මා අමතමින් සිටියේ තමන් ආහාරයට ගත් දෙයින් මුව පිරී තිබියදීය. වහා ඔහු වෙත ගිය මම ඔහුට අතට අත දිනිමි.

‘කොහොමද කර්තර් සිං ? ’

‘සර් කවදද ආපහු ආවෙ ? වාඩිවෙන්න වාඩිවෙන්න. තේකක් බොමු. ’

එතැන හිඳගත් මම ඔහු වෙනුවෙන් කිසිවක් කරන්නට බැරිවීම ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කළෙමි.

‘ආ ඒකට කමක් නෑ . ඒ ගැන කරදර වෙන්න එපා. ’

‘දැන් ඔහේ පෙළවහක් එහෙම කරගෙන ඇති නේද ? ’ මඳ විරාමයකට පසුව මම විමසීමි.

සැනෙකින් ශෝකය කරණකොට ගෙන ඔහුගේ වත අඳුරුවී ගියේය. ‘මොන පෙළවහක්ද සර් ? අතේ තඹ දොයිතුවක් නැති මං වගේ මිනිහෙක්ව කවුද කසාද බඳින්නේ ? හැමෝටම ඕනෑ සල්ලි. ’ ‘සල්ලි’ යැයි ඔහු පුනරුච්ඡාරණය කළේ දැඩි කටුක බවකින් යුතුවය.

‘මොකද වුනේ සර්දාර් ? ඇයි ඔයතරම් කලකිරිලා ඉන්නේ ? ’

‘ඒක කියන්න තරම් වටින දෙයක් නෙවෙයි. සර් ගියාට පස්සෙ මං සර් ලියුමක් එවයි කියලා මාසයක් විතර බලාගෙන හිටියා. ඒ ටිකේ මම හිටියෙ නොඉවසිල්ලෙන්. පස්සෙ මංම කෙනෙක් හොයන්න පටන් ගත්තා. සුදු නෝනාත් නිතරම කරදර කරන්න වුණා.... ඒ නැතත්’ ඔහු මඳකට පැකිලුණේය. ‘සර්ට මම ඇත්තම කියන්නද ? මටත් ඕනෑ වුණා කසාදයක් බැඳගන්න. සාමාන්‍ය විදියට ජීවිතෙ ගෙවුණ නම් ඒ ගැන මම හිතන එකක් නෑ. ඒත් මේ කසාද බැඳිල්ල ගැන කොච්චර ඒ දවස්වල හිතුවද කියනව නම් මටම දැනෙන්න ගත්තා ගෑනියෙකුගෙ, ළමයින්ගෙ, ගෙයක, පවුලක උවමනාව. ඇයි කෙනෙක් ඒවා ලබාගත යුතු නැත්තෙ ? මේ ලෝකෙ තනියෙන් ඇවිදිමින් කොච්චර වටින අවුරුදු ගණනක් කෙනෙක් නාස්ති කරන්න ඕනෑද ? ගෑනියෙකුගෙ මූණෙ සිනිඳුකම, ඇගේ කටහඬේ මිහිරිකම, ඇගේ ගමනේ ලතාව, ඇගේ ආදරයේ සතුට- මේ හැමදෙයක්ම මගේ ඇස් ඉදිරිපිට හැමදාම මැවිලා පේන්න පටන් ගත්තා. ලොකු සුදු නෝනා මං බැඳපු මිනිහෙක් වෙන්න ඕනෑ කියලා කිව්වෙ නැතත්, මගේ රස්සාව ඒ මත තීරණය වුණේ නැතත්, මට තදින්ම දැනුණා මං කසාද බඳින්න ඕනෑ කියලා. ඒ වුණාට කසාදෙ පේන තෙක් මානෙක තිබුණෙ නෑ. සර් දන්නවනේ ප්‍රමාද වෙන්න වෙන්න ආසාව වැඩිවෙනවා.

‘ඉතින් මංම ගියා බොම්බායට. මං ලියුම් ගනුදෙනු කරපු නිවාස තියෙන තැන් හොයාගන්න එකම නගරෙට ආගන්තුකයෙක් වෙච්ච මට අමාරු වැඩක් වුණා. ඒ වුණාට කොහොම කොහොම හරි ඒවා හොයාගන්න මට පුළුවන් වුණා. ඒ හැම තැනකම මැනේජර්ලා හම්බ වුණා. අන්තිමට මං එක නිගමනයකට ආවා’ ඔහු කටුක ලෙස සිනාසුණේය.‘මගේ තත්වෙ ඉන්න මිනිහෙක් බඳින්න කල්පනා කරනවා නම් සල්ලි තියෙන්න ඕනෑ. අවංකකමෙන් හරි සත්‍යයෙන් හරි කෙලින් වැඩ කිරීමෙන් හරි හොඳ චරිතයෙන් හරි වැඩක් නෑ. ’

මම අනුකම්පාවෙන් යුක්තව නිහඬව සිටියෙමි. ඔහු දිගටම කතා කළේය : ‘සමහර වෙලාවලදී හින්දු ගෑනු සීකයෙක්ව බඳින්න කොහෙත්ම සූදානම් නෑ. එහෙම බඳින්න කැමති වෙච්ච වෙලාවල්වලට මං ඒ ආයතනයේ හරි වෙන බැංකුවක හරි ඒ ගෑනු කෙනාගෙ නමින් යම් මුදලක් තැන්පත් කළේ නැත්නම් නිවාස පාලකයො ඒ අයට මාව බඳින්න දුන්නෙ නෑ. දුප්පත් ඩ්‍රැයිවර් කෙනෙක් වෙච්ච මම කොහෙන්ද එච්චර සල්ලි ගේන්නෙ ? ඉතින් මං වැඩේ අත ඇරලා දැම්මා.

‘ඉතින් එකම වෙලාවකවත්.... ’ මම යමක් කියන්නට පටන් ගතිමි. එහෙත් ඔහු එයට බාධා කළේය.

‘ඔව්. එහෙම සල්ලි ඉල්ලපු නැති වෙලාවල් දෙක තුනක් තිබුණා. ඒත් ඒ ගෑනු බඳින්න පුළුවන් අය නෙවෙයි. ’

‘කර්තර් සිං, ’ මම සිනහවකින් යුතුව ඔහුට බාධා කළෙමි. ‘ඔහේ මට කිව්වෙ නැද්ද තමුන් ගෑනියෙකුගෙ ලස්සන ගැනවත් වයස ගැනවත් බලන්නෙ නෑ කියලා ? ’

‘ඔව්. ඔව්. දැනුත් මං කියන්නෙ ඒකම තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මං කසාද බඳින කෙනා යහපත්, පිවිතුරු, අවංක කෙනෙක් වෙන්න ඕනෑ නෑ කියලා. ඒ ගෑනු අය එක්කො අනාචාරෙ හැසිරිලා ගෙවල්වලින් දොට්ට දමාපු අය. එහෙම නැත්නම් අපරාධ කරපු අය. මං කොහොමද එහෙම ගෑනියෙක්ව බඳින්නෙ ? මේ විදියට ඉන්න එක ඊට වඩා හොඳ නැද්ද ? ’

‘ඒ කියන්නෙ කසාද බඳින අදහස ඔහේ සම්පූර්ණයෙන්ම අත ඇරලා දාලාද ? ’ මම විමසුවෙමි.

‘ඒක මම දන්නෙ නෑ. ඒත් එක දෙයක් නම් මට ටක්කෙටම කිව්වහැකි’

‘ඒ මොකක්ද ? ’

‘මට මේ රස්සාව අතඇරලා යන්න වෙනවා කියන එක. ’

‘ඇයි ඒ ? ’

‘කොච්චර කාලයක් කියලා බොරු කියන්නද ? කොච්චර කාලයක් බොරු හේතු හදන්නද? මං ලොකු නෝනට කිව්වා මගේ පවුල තමන්ගෙ නෑයො බලන්න පන්ජාබ්වලට ගිහින් කියලා. මගේ පවුල මගෙන් මෙච්චර කලක් ඈත් වෙලා ඉන්නවා කියන එක ඒ නෝනට විශ්වාස කරන්න බෑ. ’

එය සත්‍යයකි. මම කල්පනාවෙහි ගැලී මොහොතක් පසු වීමි. හදිසියේම මගේ සිතේ අදහසක් පැන නැංගේය. මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.

‘කර්තර් සිං. මට අදහසක් ආවා. ඔහේ හරි. කොච්චර කාලයක් කියලා බොරු හේතු හදන්නද ? ඒක හරියන්නෙ නෑ. මං කියන විදියට කරන්න. ඔහේ මාසයකට හරි දෙකකට හරි නිවාඩු ඉල්ලන්න. ලොකු නෝනට කියන්න ඔහේ පවුල එක්කන් එන්න පන්ජාබ්වලට යනවා කියලා. ’

‘ඊට පස්සෙ ? ’ ඔහු කුතුහලයෙන් යුතුව විමසුවේය.

‘ඊට පස්සෙ ඒ පැත්තෙන් පවුලක් හොයා ගන්න උත්සාහ කරන්න. ’

‘එහෙම බැරිවුණොත් ? ’

‘එතකොට වඩාත් ලේසියි. ’ මම උනන්දුවෙන් යුතුව කීවෙමි. ‘ඔහේ ආපහු ආපුවම කියන්න එන්න දවස් කීපෙකට කලින් ඔහේගෙ පවුල අසනීප වුණා, ඒ තත්ත්වයේ ඉඳගෙන එයා මෙහෙ එනවට නෑදැයෝ කැමති වුණේ නෑ කියලා. ඒ විදියට ඔහේට තව මාස කීපෙක කාලයක් ලැබෙනවා. ඒ කාලෙ ඇතුළත ඔහේට ඇත්තම පෙළවහක් කරගන්න පුළුවන්නේ ? ’

‘ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි.’ ඔහු කල්පනාවෙන් බරව කීවේය. ටිකෙන් ටික ඔහු තුළ උනන්දුව දැල්විණි.

‘ඒක හරියටම හරි. ඕනනම් වැඩිම වුණොත් අවුරුද්දක කාලයක් ඇතුළත මේ ලෝකෙ කෙලවරට හරි ගිහින් මං පවුලක් හොයා ගන්නවා.’ සිනහවකින් යුතුව ඔහු දිගටම කතා කළේය‍ : ‘මොහොතකටවත් එයාගෙන් වෙන්වෙලා ඉන්න මං කැමති නෑ.  ඉතින් එයා කැමති වෙයිද අවුරුද්දක් වෙන් වෙලා ඉන්න ? ’ ඒ ගැන සිතන විට ඔහුගේ මුහුණේ සිනාවක් රැඳී තිබිණි. ‘ පන්ජාබයේ ඕන තරම් තරුණ ගෑනු ළමයි ඉන්නවා. මට බැරි නෑ දෙන්නෙකුට කන්න තරම් හම්බ කරන්න. ’

ඒ අදහස ඔහු තුළ මුල් බැස්සේය. දවස් හතරකට පහකට පමණ පසු කර්තර් සිං පන්ජාබය බලා පිටත් විය. ඔහු ඇරලවන්නට මම දුම්රිය පොළට ගියෙමි. ඔහු බලාපොරොත්තුවලින් පිරී සිටියේය. ඔහුගේ සර්වශුභවාදීබව බෝවන සුළු විය.

‘කර්තර් සිං, ඔහේගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා’යි මම අවංකවම කීවෙමි.

එක්වරම ඔහු සිය පැරණි කාංසා ගතියෙන් පෙළෙන්නට විය.

‘මේ වාරෙත් මට මේක කරගන්න බැරිවුණොත්  මට ජීවිතෙත් එපා වෙයි. මට දැන් තනියෙන් ජීවත් වෙලා ඇතිවෙලා. ’ ඔහු මිමිණීය.

‘ඇයි බැරි වෙයි කියලා හිතන්නෙ ? මට විස්වාසයි ඔහේගෙ වැඩේ සාර්ථක වෙන බව. ’ මම පිළිතුරු දිනිමි. දුම්රිය ගමන ආරම්භ කළේය.

ඊළඟට ගෙවුණු මාස ගණනාව තිස්සේම මට උනන්දුවෙන්, තැතිගැන්මෙන් සහ බලාපොරොත්තුවෙන් පිරුණු ඔහුගේ මුහුණ මැවී පෙනිණි. ඔහුට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමේ කුහුල මා තුළ නිරන්තරයෙන් ඇති විය. එනිසා ඊට ටික කලකට පසු නැවත මා ලෝනාවාලාවට ගිය විට මගේ සිතට පළමුවෙන්ම පාහේ පැමිණි සිතිවිල්ල වූයේ හැකි ඉක්මනින් ඔහු මුණ ගැසෙන්නට යා යුතු බවය. එදා සැන්දෑවේ වෙළෙඳපොළේදී මට ඔහු හමු විය.

ඔහු අසතුටෙන් සිටින බව මට සැනෙකින් වැටහිණි. කොහේවත් යන්නට හදිසියක් නැත්නම් මා සමග ආපනශාලාවට යන්නට එන ලෙස මම ඔහුට යෝජනා කළෙමි.

‘ඒ වැඩේ හරි ගියේ නෑ සර්,’ ඇවිදගෙන යන අතර ඔහු ශෝකයෙන් යුතුව කීවේය.

කුමක් කියන්නදැයි මම නොදත්තෙමි. ඔහුගේ ශෝකයම මා වෙතද සම්ප්‍රේෂණය විය.  ආපනශාලාවට ගොස් හිඳගන්නා තුරුම ඔහු කතා නොකළේය.

‘මම මගේ සම්පූර්ණ මහන්සියම යෙදුවා. ඒත් ඒ ගැන කරදර වෙන්නෙ මොකටද ? මම ආපහු මෙහාට තනියම ආවාම සර් මට උගන්නපු විදියට ලොකු නෝනට කිව්වා. මගේ පවුල අසනීපෙන් කියලා අහපුවම නෝනා හරියට කනගාටු වුණා. බේත් හේත්වලට කියලා මට සල්ලිත් දෙන්න හැදුවා. මං එපා කිව්වා. මම කියපු බොරුවල පාපෙට ඒ පවත් එකතු කරගන්නෙ කොහොමද ? මාස දෙකක් යනකොට පවුල මෙහාට එයි කියලා විතරක් මම නෝනට කිව්වා.

‘ලොකු නෝනා එක්ක කතා කරන කොට මට අදහසක් ආවා සර්. ’ ඔහුගේ ශෝකී කතාව අතරේම කර්තර් සිංගේ මුහුණ ප්‍රීතියෙන් එළිය විණි. ‘මාස තුනකට පස්සෙ මම නෝනා ගාවට ගිහින් ලැජ්ජාවෙන් පිරිච්ච කටහඬකින් කිව්වා මට ගමේ නෑදැයන් ලියුමක් එවලා තියෙනවය, ඒ ලියුමෙ  කියලා තියෙනවා මගේ පවුලට දරුවෙක් ලැබෙන්න ඉන්නවය, ඒ නිසා දැන් එයාව මෙහෙ එවන්නෙ නැතිය කියලා. ඉතින් දැන් මම මොකද කරන්නෙ ? ලොකු නෝනා හොඳටම සතුටු වුණා.’

‘ඇත්තට ? ඔහේ හැබෑ දක්ෂයෙක්නේ. ’ මම කීවෙමි.

‘අපේ ලොකු නෝනා හරිම හොඳ කෙනෙක්. එතුමියව හම්බ වුණාම තමයි මට තේරුණෙ දෙවියන්ට නෑ කම් තියෙන අය මේ මහපොළොව මතත් ඉන්නවා කියලා. නෝනා කිව්වා, “බොහොම හොඳයි කර්තර් සිං. දරුවා එහෙ ඉපදුනාවෙ. දරුවා ලැබුණම මෙහාට එක්ක වරෙන්. අපි ළමයට මෙහෙදි උගන්වමු.” කියලා.

‘මම තාත්තා කෙනෙක් වෙන්න යන එක ගැන නෝනට හරි සතුටුයි. මේ කාලෙදි කරන්න ඕනෑ මොනවද කරන්න හොඳ නැත්තෙ මොනවද කියලා මගේ පවුලට ලියලා යවන්න කියලා මට හැමදාම උපදෙස් දෙනවා. ඒ හින්දා මගේ රස්සාව පැත්තෙන් බැලුවොත් මට කනගාටු වෙන්න කිසිම දෙයක් නෑ සර්. ’

‘තව ටිකක් කල් ගියාම ඔහේ මොනවද කියන්නෙ ? ඒ ගැන කල්පනා කළාද ? ’ මම විමසුවෙමි.

ඔහු නැවතත් කල්පනාවට වැටිණි. ‘මං මොනවා කල්පනා කරන්නද සර් ? ’ වේදනාත්මක නිමේෂයකට පසු ඔහු යළි කතා කළේය. ‘මං ඇත්තම කියන්නද සර් ? මගේ බලාපොරොත්තු, කසාද බඳින්න තියෙන ආසාව දැන් මැරිලා. ඇත්තටම මැරිලා. ’

‘මැරිලා’ යන වචනය ඒ අදහස මා හිසට ඇතුළු කළේ දැයි මම නොදනිමි. ‘එතකොට කියන්න කර්තර් සිං ඔහේගෙ පවුල දරුවා ලැබෙන්න ගිහින් මැරුණා කියලා. ’ මම කීවෙමි.

කර්තර් සිං එක් මොහොතකට බිමට නැඹුරු කරගත් දෙනෙතින් යුතුව ගොළුවෙකු සේ කල්පනාභරිතව සිටියේය. මා කියූ දෙය ඔහුට ඇසුණු බවක් වත් නොපෙනිණි. කෙතරම් වේදනාවක් සහ ශෝකයක් ඔහුගේ වත වසාගෙන සිටියේදැයි කියතොත් ඔහුට බාධා කරන්නට මම කැමති නොවීමි.

ඉන් අනතුරුව ඔහුගේ දෙතොල නිහඬව විවෘත වී යළි වැසුණේය. ඔහු යමක් ගැන තීරණයක් ගනිමින් සිටින සෙයක් පෙනිණි.

අවසානයේදී  ඔහු සිය හිස එසවීය. අප දෙදෙනාගේ දෑස් එකට මුණගැසිණි. තමා ආදරය කරන සමීපතමයෙකුගේ වියෝවෙන් කෙනෙකුගේ දෑසෙහි හට ගන්නා ශෝකී අඳුරුබවක් ඔහුගේ දෑස්වල විය.

ඔහුගේ මුහුණෙහි වූ ශෝකීබව දෙස දිගු වේලාවක් බලාගෙන සිටින්නට අපොහොසත් වූ මම ඉවත බලා ගතිමි. ඔහු කෙරෙන් මා දෑස් ඉවතට ගත් සැණෙන් ඔහු ශෝකී ස්වරයෙන් කතා කළේය:

‘සර් කියන්නෙ ඇත්ත. දැන් එයා ඇත්තටම මැරිලා තමයි.’

ඔහුගේ කටහඬෙහි වූ දුක්ඛිතභාවය මා තුළ දරාගත නොහැකි වේදනාවක් ජනිත කළේය. මා නැවතත් ඔහු දෙස බැලූ විට කර්තර් සිං නැගී සිටියේය.

‘එයා දැන් ඇත්තටම මැරිලා,’යි යළිත් වරක් සෙමෙන් කී ඔහු ඉවතට ඇවිදගෙන ගියේය.

සුවිසල් හිස්බවක් මා තුළ නැගී ආවේය. මොහොතකට මට සෙලවෙන්නටවත් නොහැකි විය. මා ඔහු පසුපසින් එළියට ගිය විට කර්තර් සිං අතුරුදන්ව සිටියේය. එහෙත්, එවන් මරණ බොහෝ ගණනක දෝංකාරය ඔහුගේ පියවර විසින් ඉතිරි කරනු ලැබ තිබිණි ! 















-ගුලාබ්දාස් බ්‍රෝකර් (1909-2006)

(ලේඛකයා විසින් ගුජරාටි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)

Painting by Arti Chauhan   

  

20 comments:

  1. එක හුස්මට කියෙව්වා.. හරිම දුක්කිත කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි. එහි ඇත්තේ දුක්ඛිත අවසානයක් තමයි.

      Delete
  2. ඔබේ පරිවර්ථන භාෂාව අගෙයි

    ReplyDelete
  3. ඔබගේ වෑයමට මෙන්න මගෙන් මල්. අපට මෙවැනි විදෙස් සාහිත්‍යයය ගෙන එනවාට ඔබට බෙහෙවින්ම ස්තුතියි නිලුක.. පරිවර්තනය නියමයි. කර්තර් සිං තුලින් මුලු සමාජයක්ම එළියට අරං පෙන්නන්න මේ ලේඛකයාට අපුරු හැකියාවක් ලැබී තියෙනවා. ඇත්තනේම බර කතාවක්.. නැවතත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. දෙබස් බහුල නිසා මේ කෙටිකතාව උඩින් සරළයි වගේ පෙනුණත් ඇත්තෙන්ම එය කතා කරන්නේ විශාල සමාජ ප්‍රශ්නයක් ගැන. ඉන්දියානු සමාජයේ තියෙන, දරිද්‍රතාවත් ඇතුළුව, දැවැන්ත සමාජ ප්‍රශ්න කිහිපයක්ම මෙතැන විග්‍රහ කෙරෙනවා.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔව් එය හිතෙහි බර ගතියක් ඉතිරි කර යන කෙටිකතාවක්. ස්තූතියි.

      Delete
  5. ඉස්කෝලේ කාලෙත් කියෙව්වේ පරිවර්ථන විතරයි, දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ස්තූතියි ලලිත්. මාත් ඉස්කෝලෙ යන කාලෙ වැඩිපුරම කියෙව්වේ පරිවර්තන තමයි.

      Delete
  6. නිලුක.....මේ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය කොහෙන්ද කියවන්න පුලුවන්. මම ගුලාබ්දාස් බ්‍රෝකර්ගේ Gulamdin ,the Tongawallah කියන කෙටිකතාව කියවලා තියෙනවා. හරිම රසවත්. දුටුවොත් කියවන්න,

    ReplyDelete
    Replies
    1. මම මේක ගත්තේ දකුණු ආසියානු කෙටිකතා එකතුවක් තිබෙන පොතකින්. කෙටිකතාව අන්තර්ජාලයෙන් හොයන්න වෑයම් කළා. ඒත් බැරිවුණා. ගුලාබ්දාස් බ්‍රෝකර්ගේ වෙනත් කෙටිකතා කීපයක් නම් අන්තර්ජාලයෙන් හමුවුණා.ඔබට ස්තූතියි.

      Delete
  7. මම පුද්ගලිකව මෙවැනි අවසානයන්ට කැමති නැහැ. කර්තර් සිංට කොහෙන් හරි කෙල්ලක් හම්බු වුනා නම් හොඳයි කියලා හිතෙනවා.කර්තර් සිංගේ ජිවිතේ හිස් බව අපිටත් හැඟෙන කෙටිකතාවක්,පරිවර්තනයක්.බොහොම ස්තූතියි නිලුක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. ඔබ කියන එක ඇත්ත. මෙහි අවසානය දුක්ඛිතයි. සමාජ යථාර්ථය නිරූපණය කිරීම සඳහා ලේඛකයා එසේ කළා යැයි මම හිතනවා.

      Delete
  8. ගාමිණී දෑළ බණ්ඩාර4 June 2016 at 13:38

    විශිෂ්ටයි. ඔබට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සර්. ඔබ මෙය කියවීම ඉමහත් ගෞරවයක්.

      Delete
  9. ඉතාම අපූරුයි..නිලූක මගේ සුබ පැතුම්!!!

    ReplyDelete

සෙවුම්