2015/12/25

රාස්ස පිහාටු




















එක්තරා රජ කෙනෙක් ලෙඩින් වැටුණා. රාජකීය වෛද්‍යවරුන් කියුවා: “දේවයන් වහන්ස, ඔබ වහන්සේට සනීප වෙන්න ඕනෑ නම් මිනී කන රාස්සයාගේ පිහාටුවක් අතගාන්න ඕනෑ, හැබැයි ඒක ලේසි නෑ මොකද රාස්සයා දකින දකින මනුස්සයව මරාගෙන කනවා කියලා.

මේ වුවමනාව කියලා රජතුමා රටේ හැමතැනටම පණිවිඩ යැවුවා. ඒත් රාස්සයා ගාවට යන්න කවුරුවත් කැමති වුණේ නෑ. අන්තිමට රජතුමා තමන්ට බොහෝම හිතවත්, නිර්භීත රාජ පුරුෂයෙකුගෙන් ඇහුවා. ඔහු කියුවා “ මං යන්නම්” කියලා.

රාස්සයා ඉන්න තැනට යන පාර රාජ සේවකයාට කියලා දුන්නා. “කන්දක් මුදුනේ ගල්ගුහා හතක් තියෙනවා. එයින් එකක රාස්සයා ඉන්නවා.”

රජ මාලිගාවෙන් එළියට බැහැලා ගිය රාජ පුරුෂයා අඳුරු වැටෙන තුරු ඇවිද ගෙන ගිහින් තානායමකට ආවා. ඔහු යන ගමන ගැන තොරතුරු දැනගත්ත තානායම්පල්ලා කියුවා “ අනේ ඔහේ ආපහු එනකොට මටත් රාස්ස පිහාටුවක් ගෙනත් දෙන්න. ඒකෙන් ධන සම්පත් ලැබෙනවා කියලා කියනවා. ” කියලා.

“බොහෝම කැමැත්තෙන් මං ඒක කරන්නම්” කියලා රාජපුරුෂයා  උත්තර දුන්නා.

“ රාස්සයාට කතා කරන්න ඔහේට පුළුවන් කමක් තිබුණොත් මගේ දුව ගැනත් අහන්න. මගේ දුව අවුරුදු ගණනාවකට කලින් අතුරුදහන්  වුණා. දෙවියෝ තමයි දන්නේ ඇය කොහෙද දැන් ඉන්නේ කියලා.

පහුවදා පාන්දරින්ම රාජ පුරුෂයා තමන්ගේ ගමන යන්න පිටත් වුණා. ගඟක් ළඟට ආපු ඔහු තොටියාට කියුවා තමන්ව එහා ඉවුරට ගෙනියන්න කියලා. ගඟ තරණය කරන අතර ඔවුන් කතාවට වැටුණා.

“මටත් පිහාටුවක් ගෙනැත් දෙනවද ? ” කියලා තොටියා ඇහුවා. “ඒකෙන් වාසනාව ලැබෙනවාලු.”

“නොවැරදීම ගෙනත් දෙන්නම්” කියලා රාජ පුරුෂයා කියුවා.

“ රාස්සයා එක්ක කතා කරන්න ඔහේට පුළුවන් කමක් තිබුණොත් අහන්න පුළුවන්ද අවුරුදු ගණනාවක් තිස්සේ මේ ඔරුව පදින මට ඒකෙන් එළියට බහින්න බැරි ඇයි කියලා. ”

“නොවැරදීම අහන්නම්” කියලා රාජ පුරුෂයා කියුවා.

ඔරුවෙන් බැහැපු රාජ පුරුෂයා පයින්ම තමන්ගේ ගමන යන්නට පටන් ගත්තා. විඩා නිවාගෙන යමක් අනුභව කරන්න ඔහු දිය උල්පතක් ගාව නැවතුණා.  මේ වෙලාවේ ඉතා හොඳින් ඇඳ පැලඳ ගත්ත වංශවතුන් දෙදෙනෙක් එතැන්ට ආවා. ඔවුනුත් බිම ඉඳ ගෙන රාජ පුරුෂයා සමග කතාවට වැටුණා.

“අපටත් පිහාටුවක් ගෙනැත් දෙන්න” කියලා ඔවුන් ඉල්ලා සිටියා.

“මං ගේන්නම්” කියලා රාජ පුරුෂයා පොරොන්දු වුණා.

“ආ ! තව දෙයක් රාස්සයාගෙන් අහන්න පුළුවන්ද ? අපේ වත්තේ රන් සහ රිදී උනන උල්පතක් තිබුණා. දැන් ඒ උල්පත වේලිලා ගිහින්. ”

“ඒ ඇයි කියලා මං නොවැරදීම අහන්නම්” කියලා රාජ පුරුෂයා කියුවා.

එතැනින් පිටවූ ඔහු අඳුරු වැටෙන තුරුම ඇවිද ගෙන ගියා. ඔහොම ගිහින් ඔහු ආරාමයක දොරට තට්ටු කළා. ආරාමයේ පූජකවරුන් දොර ඇරියා. එදා රෑ තමන්ට නවාතැන් දෙන්න පුළුවන්ද කියලා ඔහු ඇසුවා.

“ඇතුළට එන්න” කියලා පූජකවරුන් කියුවා.

රාජ පුරුෂයාගේ කතාව අහපු පූජකවරුන් ඇහුවා “ ඔබ දන්නවාද ඔබ මොන වගේ දෙයක් වෙතද ඔය යමින් ඉන්නේ ? ” කියලා.

“ ඒ අය මට කිවුවා ගල් ගුහා හතක් තියෙනවා කියලා. එයින් එක ගුහාවක පිටිපස්සේ දොරක් තියෙනවලු. ඒකට තට්ටු කරපුවාම රාස්සයා දොර අරියි කියලා මට කිවුවා. ” කියලා රාජ පුරුෂයා පැවසුවා.

“අයියෝ අසරණයා, ” කියලා නායක පූජකවරයා කියුවා.“ වෙන්න තියෙන අනතුරේ භයානකකම ගැන ඔබට අවබෝධයක් නැත්නම් ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේක විහිළුවක් නෙවෙයි. මං ඔබට ඔය රාස්සයා ගැන විස්තර කියන්නම්. හැබැයි අපටත් ඔබෙන් උදව්වක් ඕනෑ. ”

“මං නොවැරදීම ඒ උදව්ව කරන්නම්” කියලා රාජ පුරුෂයා උත්තර දුන්නා.

“එහෙනම් හොඳට අහගන්න. ඔබ කඳු මුදුනට ගියාම ඔබට ගල්ගුහා හතක් පෙනෙයි. ඒකෙන් හත්වැනි එක තමයි රාස්සයාගේ ගල්ගුහාව. ඒකට ඇතුළු වෙලා කෙළවරටම යන්න. එතැන තිත්ත කලුවරයි. අපි ඔබට ඉටිපන්දමකුයි ගිනිකූරුයි දෙන්නම් ආලෝකය සපයා ගන්න. හැබැයි මතක තියාගන්න ඔබ යන්න ඕනෑ හරියට දවල් දොළහට, රාස්සයා ගෙදර නැති වෙලාවටයි.  ඔබට රාස්සයාගේ බිරිඳ හම්බවෙයි. ඇය බොහොම බුද්ධිමත් තරුණියක්. කරන්න ඕනෑ මොකක්ද කියලා ඇය හරියටම කියයි. රාස්සයාගෙන් පරිස්සම් වෙන්න. ඌට පුළුවන් ඔබව එක මිනිත්තුවෙන් කාලා දමන්න.”

“අනේ මේ මං නොදන්න දේවල් කියලා දෙන්න තරම්  ඔබතුමාලා කොච්චර කරුණාවන්තද ” කියලා රාජ පුරුෂයා කියුවා.

“දැන් මෙන්න මේ දේ ඔබ අපට හොයලා දෙන්න ඕනෑ. අපි මේ ආරාමයේ කිසිම ගැටුමක් නැතිව අවුරුදු ගණනාවක් ජීවත් වුණා. ඒත් පහුගිය අවුරුදු දහය ඇතුළෙ අපි එකිනෙකා සමග රණ්ඩු සරුවල් කරගන්නවා ඇරෙන්න වෙන දෙයක් කළේ නෑ. එක්කෙනෙකුට එක දෙයක් ඕනෑ. අනෙක් එක්කෙනාට ඕනෑ තව දෙයක්. හැමෝම නිකරුණේ බහින් බස් වෙනවා. හැම දෙයක්ම මහා අවුලක්. මේකෙ තේරුම මොකක්ද ? ”

පහුවදා උදේ රාජ පුරුෂයා කන්ද නැග්ගා. උදේ එකොළහ වෙනකොට කඳු මුදුනට ආපු ඔහු විවේක ගන්න පටන් ගත්තා. හරියටම දවල් දොළහ වෙනකොටම ඔහු හත්වැනි ගල් ගුහාවට ඇතුළු වුණා. ඇතුළේ කට්ට කලුවරයි. ඒත් ඔහු ඉටිපන්දම දල්වා ගත් නිසා එළිය ලැබුණා. ඔහුට දොරකුත් හමුවුණා.  දොරට තට්ටු කළා විතරයි ඉතාමත් රූමත් තරුණියක් දොර විවෘත කරලා ඇහුවා “ඔබ කවුද ? මොකටද ආවේ ? ඔබ මගේ ස්වාමියා ගැන දන්නෙ නෑ! ඔහු දකින දකින මනුස්සයව මරාගෙන කනවා !”කියලා.

“මං ආවේ පිහාටු ටිකක් ගෙනියන්න. මං දැන් මෙතනටම ආපු නිසා ටිකක් වෙලා නැවතිලා ඉඳලා මං මගේ වාසනාව උරගාලා බලන්නම්. රාස්සයා මාව කෑවොත් ඒක එහෙම වුණාවේ. ” කියලා රාජ පුරුෂයා කියුවා.

“මේ අහන්න. මං මේ ගුහාවේ අවුරුදු ගණනාවක් ජීවත් වුණා. මට තවදුරටත් මේක ඉවසගෙන ඉන්න බෑ. පරෙස්සමෙන් වැඩ කරන්න. අපි දෙන්නම පැනලා යමු. මොනම හේතුවක් නිසාවත් ඔහුට ඔබව දකින්න බෑ. එහෙම දැක්කොත් ඔහු ඔබව කාලා දමනවා සිකුරුයි. මම ඔබව ඇඳ යට හංගන්නම්. රෑට රාස්සයා නිදාගත්තාම මම පිහාටු ගලවා ගන්නම්. ඔබට පිහාටු කීයක් ඕනෑද ? ” කියලා තරුණිය විමසුවා.

“හතරයි.” ඔහු රජතුමා, තානායම්පල්ලා,තොටියා, වංශවතුන් දෙදෙනා සහ පූජකවරුන් ගැනත්, ඔවුන්ගේ ඉල්ලීම් ගැනත් ඇයට කීවා.

කෑම කන අතර ඔවුන් කතා කළා. ඒ අතරෙ රෑ වෙන්න පටන් ගත්ත  නිසා තරුණිය රාස්සයාගේ කෑම ලෑස්ති කළා. “රාස්සයාට බඩගිනි වුණාම මනුස්ස ගඳ හොඳටම දැනෙනවා. ඔබේ වාසනාවට, කෑම කාපුවාම රාස්සයාට මනුස්ස ගඳ නොදැනී යනවා. ” කියලා තරුණිය කියුවා.

හවස හයට දොර ඇරෙන සද්දේ ඇහුණා. රාජ පුරුෂයා විදිලි වේගෙන් ගිහින් ඇඳ යට හැංගුණා. නහයෙන් ඉව කර කර මෙහෙම කියමින් රාස්සයා ගෙට කඩා වැදුණා:

“මෙන්න මෙතන ගඳ ගහන මිනිහෙක්. මිනිහෙක් මෙතන හැංගිලා ඉන්නවා. මං දන්නවා. මං දන්නවා. මගේ නහය එහෙම කියනවා.”

“විකාර! ” ඔහුගේ බිරිය කියුවා. “බඩගින්නට ඔයාගේ මොළේ විකාර වෙලා දේවල් මැවිලා පේනවා. මෙන්න මෙතන වාඩි වෙලා කෑම කන්න.”

රාස්සයා වාඩි වෙලා කෑම කෑවා. ඒත් තවමත් ඔහුට මිනිහෙකුගෙ ගඳ දැනුණු නිසා කෑමෙන් පස්සේ මුළු ගේ පුරාම ඇවිද ඇවිද හොයන්න පටන් ගත්තා. අන්තිමට නින්දට යන වෙලාව ආවා. ඉතින් රාස්සයාත් තරුණියත් ඇඳට ගොඩවෙලා නිදාගන්න පටන් ගත්තා. රාස්සයා එකවරම නින්දට වැටුණා.

ඇඳ යට හිටපු රාජ පුරුෂයා හුස්ම පිට කරන්නේවත් නැතිව හිටියා. “හොඳට අහගන්න. මම හීනයක් පේන බව බොරුවට අඟවලා රාස්සයාගෙන්  පිහාටුවක් ගලවා ගන්නවා  තරුණිය රහසින් කියුවා.”

ඇය එකවරම රාස්සයාගෙන් පිහාටුවක් ගලවලා ඇඳ යටට දැම්මා.

“ ඌයි ! ඔය මොකද මගේ පිහාටු ගලවන්නේ ? ” කියලා රාස්සයා බෙරිහන් දුන්නා.

“අනේ වස්තුවේ මං හීනයක් දැක්කා” කියලා තරුණිය කියුවා.

“මොකක්ද ඔයා දැකපු හීනේ? ” කියලා රාස්සයා විමසුවා.

“අර කන්ද පහළ තියෙන ආරාමය මම හීනෙන් දැක්කා. පහුගිය අවුරුදු දහය තිස්සේ එතන ඉන්න පූජකවරුන් එකිනෙකා එක්ක කොච්චර රණ්ඩු සරුවල් කරගත්තාද කියනවා නම් ඒ එක්කෙනෙකුටවත් එක වහළ යට ඉන්න බැරිවෙලා. ”

“ඕක හීනයක් නෙවෙයි. ඇත්තක්. ” කියලා රාස්සයා උත්තර දුන්නා. “එතැන ඉන්න පූජකවරුන් එකිනෙකා මරා ගන්නේ අවුරුදු දහයකට ඉස්සර වෙලා යක්ෂයා පූජක ඇඳුමක් ඇඳගෙන එතැනට ඇතුළු වුණු නිසයි. ”

“ඉතින් යක්ෂයාගෙන් ගැලවෙන්නේ කොහොමද? ”

“නියම පූජකවරුන් යහපත් වැඩ කරන්න පටන් ගන්න ඕනෑ. එතකොට ඔවුන් අතර ඉන්න යක්ෂයා ඔවුන්ට පෙනෙන්න පටන් ගනියි” කියපු රාස්සයා නැවත නින්දට වැටුණා.

ඊට පැය කාලකට පස්සේ ඔහුගේ බිරිය තවත් පිහාටුවක් ගලවලා ඇඳ යට උන්නු රාජ පුරුෂයාට දුන්නා.

“ඌයියා ! ඒක හොඳටම රිදුණා !”

“මං හීනයක් දැක්කා. ”
“ආයෙත් වතාවක් ? මේ පාර මොකක්ද ඔයා දැක්කේ ? ”

“ඔය දන්නවා නේද අර පහළ වංශවතුන්ගේ වත්තේ තිබුණු රන් රිදී උනපු උල්පත. මම හීනෙන් දැක්කා ඒ උල්පත වේලිලා ගිහිල්ලා. ඒකෙ තේරුම මොකක්ද? ”

“අද රෑ ඔයාට පේන හීන ඔක්කොම ඇත්ත. ඒ උල්පත වැහිලා ගිහින් නිසා තවදුරටත් ඒකෙන් රන් රිදී ගලන්නේ නෑ. ඒ ගොල්ලො බොහොම හෙමින් උල්පතේ කට ගාවට යනකම් හෑරුවොත් පෙනෙයි ඒ කට වැහෙන්න බෝලයක් හිරවෙලා තියෙනවා. ඒ බෝලය වටකරගෙන සර්පයෙක් නිදාගෙන ඉන්නවා. සර්පයා ඇහැරෙන්න කලින් ඒ බෝලය යට තියෙන උගේ ඔලුව පොඩි කළොත් උල්පතෙන් ආපහු රන් රිදී උනන්න පටන් ගන්නවා. ”

ආයෙත් පැය කාලකින් ඇය රාස්සයාගේ පිහාටුවක් ගැලෙව්වා. “ ඌයියා ! ඇයි වදේ තමුසෙ අද රෑ ඉවර වෙන්න කලින් මගේ ඇඟේ තියෙන පිහාටු සේරම ගලවන්නද හදන්නේ ? ”

“අනේ මට සමාවෙන්න. මම හීනයක් දැක්කා. ”

“ඒ පාර මොකක්ද? ”

“අර පහළ ගඟේ ඉන්න තොටියට අවුරුදු ගණනාවකින් එයාගේ ඔරුවෙන් බැහැලා යන්න බැරිවෙලා තියෙනවා. ”

“ඇත්ත. ඒ තොටියා මගියෙක්ව ගඟ හරහා අරන් ගිහින්, ගාස්තුව අරගෙන ඒ මගියා ඔරුවෙන් බහින්න කලින් තමුන් ඔරුවෙන් බහින්න ඕනෑ. එතකොට ඒ මගියා ඔරුවේ හිර වෙනවා සදහටම. ”

තව ටික වේලාවකින් තරුණිය හතරවැනි පිහාටුවත් ගැලෙව්වා. “මළ හත්තිලව්වේ ! ඒ පාර මොකද ? ”

“අනේ මට සමාවෙන්න. මට දිගටම හීන පේනවා. මට හීනෙන් පෙනුණා තමන්ගේ දුව එනකම් බලාගෙන ඉන්න තානායම්පල්ලෙක්ව. ඇය අතුරුදහන් වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා. ”

“ඔයා ඔය කියන්නේ ඔයාගේ තාත්තා ගැනයි. ඔයා තමයි ඒ තානායම්පල්ලාගේ දුව. ”

උදේ හයට අවදි වෙච්චි රාස්සයා තමන්ගේ බිරිඳට ආයුබෝවන් කියලා එළියට ගියා. ඇඳ යටින් එළියට ආපු රාජ පුරුෂයා පිහාටු හතර කවරෙක ඔතාගෙන, තරුණියවත් අරගෙන එතැනින් පළා ගියා.

යන අතර ඔවුන් ආරාමය ළඟ නැවතුණා. “රාස්සයා කිව්වා ඔබ අතරින් එක්කෙනෙක් යක්ෂයා කියලා. පුළුවන් තරම් යහපත් වැඩ කරන්න පටන් ගන්න. එතකොට යක්ෂයා ඔබ අතරින් පළා යයි. ”

යක්ෂයා පැනලා යනතුරුම පූජකවරුන් එකකට පස්සෙ එකක් වශයෙන් යහපත් දේ කරන්න පටන් ගත්තා.

ඊළඟට ඔවුන් දෙදෙනා නැවතුණේ වංශවතුන්ගේ උයන ගාවයි. වංශවතුන්ට එක් පිහාටුවක් දුන්නු දෙදෙනා සර්පයා ගැනත් කියුවා. වැඩි වේලාවක් යන්නට කලින් උල්පතෙන් රන් රිදී උනන්නට පටන් ගත්තා.

ඔවුන් තොටියා අසළට පැමිණියා. “මෙන්න ඔහේගේ පිහාටුව! ”

“බොහෝම ස්තූතියි. මොකක්ද රාස්සයා මගේ ප්‍රශ්නෙ ගැන කිව්වේ? ”

“ගඟෙන් එහා පැත්තට අපිව අරගෙන ගියාම මං කියන්නම්” කියලා රාජ පුරුෂයා කිව්වා.

ඉතින් කිසිම උපද්‍රවයකින් තොරව ඔවුන් දෙදෙනා ගඟෙන් එගොඩ කළාම, තොටියා කළ යුත්තේ කුමක්ද කියලා ඔවුන් කියලා දුන්නා.

තානායමට පැමිණි වහාම රාජ පුරුෂයා කෑ ගැසුවා. “තානායම්පති මහත්තයෝ මෙන්න මං ඔහේගේ පිහාටුවත් දුවත් දෙන්නම අරන් ආවා ! ” ඒ වෙලාවෙම තමන්ගේ දුව රාජ පුරුෂයාට සරණ පාවා දෙන්න තානායම්පල්ලාට ඕනෑ වුණා.

“පළමුවෙන්ම රජතුමා ගාවට මේ පිහාටුව ගෙනිහින් දීලා විවාහයට එතුමාගෙන් අවසර ගන්න ඕනෑ” කියලා රාජ පුරුෂයා කිව්වා.

ඉතින් ඔහු රජතුමාට පිහාටුව ගිහින් දුන්නාම රජතුමා සුවය ලැබුවා. රාජ පුරුෂයාට බොහෝම තෑගි බෝග පිරිනැමුවා. “ඉතින් ඔබ වහන්සේ අවසර දෙනවා නම් මං මගේ මඟුල් ගෙදරට යන්න කැමතියි” කියලා රාජ පුරුෂයා කියුවා. රජතුමා ඔහුට දුන්නා වගේ තව ගුණයක් තෑගි බෝග දුන්නා. ඉතින් ඔහු රජතුමාගේ අවසරයත් අරගෙන නැවත තානායම වෙත ආවා.

එතකොට රාස්සයා ? තමන්ගේ බිරිය පැනලා ගිහින් තියෙන බව දුටු රාස්සයා ඇයවත් ඇයට පැනලා යන්න උදව් කරපු යමෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාවත් අල්ලාගෙන කාලා දමන්න අධිෂ්ඨාන කරගෙන කන්දෙන් පහළට ආවා. රාස්සයා ගඟ ළඟට ඇවිත් ඔරුවට පැන්නා. “නුඹේ ගාස්තුව ගෙවපන් ”කියලා තොටියා කිව්වා. තමන්ගේ රහස තොටියා දන්න බව හීනෙන්වත් නොහිතපු රාස්සයා ඔරුවේ ගාස්තුව ගෙව්වා. එහා ඉවුරට ඔරුව කිට්ටු කරන කොටම තොටියා ඔරුවෙන් එළියට පැන්නා. රාස්සයා සදහටම ඔරුවේ හිරවුණා.


-ඉතලෝ කල්විනෝ ගේ ‘ඉතාලි ජනකතා’ නම් කෘතියෙනි.   

Painting by  Laura Campadelli

16 comments:

  1. ඒක නං අහල තියෙන කතා වලට වඩා සෑහෙන්න වෙනස් කතාවක්... නිලූක ඇත්තටම අපූරුයි ඔබ පරිවර්තනය කරල තියෙනව...
    මේක මං බුක් මාක් දාගන්නව දවසක ඕන වෙයි නෙව හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. මේක දවසක ඕනෑ වෙන්නේ මොකටද ?

      Delete
  2. හරිම නිර්භීත රාජ පුරුෂයෙක් නොවැ.මෙහෙම ජීවිත පරිත්‍යාගයෙන් සේවයට කැපවුන රාජ පුරුෂයො අදත් ඉන්නවද නිලුක?
    මේ කතාව නම් මම කලින් කියවල තියෙන කතාවක් ඒ උනාට රසය අඩුවක් නෑ.හොඳ පරිවර්තනයක් නිලුක.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාලා අපි වගේ ‘රාජ පුරුෂයෝ‘ ඔහොම කැපවීමෙන් තමයි සේවය කරන්නේ.

      Delete
  3. හරිම ලස්සනයි, මම පොඩි කාලෙත් පුස්තකාලෙන් ගේන්නේ පරිවර්තන.

    ReplyDelete
  4. බොහොම හොඳයි. මේ කතා ළදරු පාසල්වල ගුරුවරියන්ට කියවිය හැකිනම් අපේ දරුවන්ට හොඳ කතා ගොන්නක් ඉගෙනගන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ කතා එකතු කරලා පොතක් ගහන්න ඕනෑ.

      Delete
  5. අදයි මේ කතාව අැහුවේ....... පරිවර්ථනයත් නියමයි.... අගෙයි

    ReplyDelete
  6. ලස්සන කතාවක් .පොඩි පංතියකට රිලිෆ් දාපුවාම කියන්න මතක තියා ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැමිණියාට. සාදරයෙන් පිළිගනිමි.

      Delete
  7. Aiya,I got to know you first when I read your translation 'Wikal Horawa'. Now I am a fan of this blog. Your language is superb and top of all I love your choice of the stories to translate. I hope one day you will publish all these stories. I would be waiting to have that book in my book collection.

    ReplyDelete
    Replies
    1. Thank you very much for your comment Devmali. It is nice to hear that you have read 'Vikal Horawa', my first publication, which came out first sixteen years ago. I also hope that I could publish some of these stories as a collection. Thank you for becoming a fan of this blog. Not many are following it though.:-)

      Delete
  8. I thought 'Maya' is your first publication... which I hardly found from our uni library and read long time ago. Would love to read that again if I ever find that book again..

    ReplyDelete
    Replies
    1. 'Maya' was my second publication. I also have only one copy of it.

      Delete

සෙවුම්