2016/01/24

නස්රුදීන්ගේ කතා




මුද්ද

“මට ඔබතුමාගේ මුද්ද දෙන්න සිහිවටනයක් හැටියට. එතකොට ඒක බලන වාරයක් පාසා මට ඔබතුමාව මතක් වේවි” කියලා දවසක් කෙනෙක් මුල්ලා නස්රුදීන්ගෙන් ඉල්ලීමක් කළා.

“මට මුද්ද දෙන්න නම් බෑ. හැබැයි ඔහේට මාව මතක් කරගන්න ඕනෑ වෙන හැම වෙලාවකම තමුන්ගේ ඇඟිල්ල දිහා බැලුවම මම ඔහේට මුද්ද නුදුන්නු බව සිහි වෙයි” කියලා නස්රුදීන් උත්තර දුන්නා.



ගඟේ දෙපැත්ත

දවසක් නස්රුදීන් ගං ඉවුරක වාඩි වෙලා ඉන්න කොට එහා ඉවුරෙ හිටපු කෙනෙක් කෑ ගහලා මෙහෙම ඇහුවා : “කොහොමද මං එහා ඉවුරට එගොඩ වෙන්නේ ? ”

“ඔහේ ඔය ඉන්නේ එහා ඉවුරෙ තමයි” කියලා නස්රුදීනුත් කෑ ගහලම උත්තර දුන්නා.


වඩා ප්‍රයෝජනවත් දේ

දවසක් තමන්ගේ ප්‍රියතම තේ කඩයට ගොඩ වැදුණු මුල්ලා නස්රුදීන් මෙහෙම කියුවා: “ඉරට වඩා හඳ අපට ප්‍රයෝජනවත් ”.

“ඇයි මුල්ලා එහෙම කියන්නේ ? ” කියලා එතැන හිටපු වයසක පුද්ගලයෙක් ඇහුවා.

“ඇයි ඉතින් අපට දවාලට වඩා රෑටනේ එළිය ඕනෑ කරන්නේ” කියලා නස්රුදීන් පිළිතුරු දුන්නා.


මගේ අත ගන්න

දවසක්, පොකුණක් වටේ මහ සෙනඟක් රැස්වෙලා ඉන්න හැටි මුල්ලා නස්රුදීන්ට පෙනුණා. විශාල ජටාවක් ඔලුවෙ බැඳගත්ත පූජකයෙක් දියේ ගිලී ආධාර ඉල්ලමින් හිටියා.

වටේ සිටි මිනිසුන් පොකුණට නැඹුරු වී, මෙ‍හෙම කෑ ගසමින් හිටියා: “ පූජකතුමා ! මට ඔබතුමාගේ අත දෙන්න. අත දෙන්න. ” ඒත් පූජකයා ඔවුන් කියූ දෙය ඇහුණෙ නෑ වගේ දිගින් දිගටම වතුරේ දඟලමින් උදව් ඉල්ලා කෑ ගැසුවා.

අන්තිමේදී මුල්ලා නස්රුදීන් ඉදිරියට ආවා. “මේ වැඩේ මං කරන්නම්” කියූ ඔහු තමන්ගේ අත දිගු කරලා “මගේ අත ගන්න” කියලා පූජකයාට කෑ ගහලා කියුවා.

පූජකයා මුල්ලාගේ අත අල්ලා ගත්තා. මිනිස්සු ඔහුව පොකුණෙන් උඩට ඇදලා ගත්තා. විස්මයට පත්වෙච්ච මිනිස්සු  නස්රුදීන්ගෙන් ඇහුවා පූජකයාව ගොඩට ගන්න පාවිච්චි කරපු ක්‍රමයේ රහස මොකක්ද කියලා.

“ඒක හරි සරළයි. ” මුල්ලා උත්තර දුන්නා. “මං දන්නවා මේ ලෝබයා කිසි කෙනෙකුට කිසිදෙයක් නොදෙන බව. ඒ නිසා මට අත ‘දෙන්න’ කියනවා වෙනුවට මගේ අත ‘ගන්න’ කියලා මං කියුවා. ඉතින් වැඩේ හරි ගියා, මිනිහා මගේ අත අල්ලා ගත්තා” කියලා නස්රුදීන් පැහැදිලි කළා.


ගැඹුරු කල්පනා

දවසක් මුල්ලා නස්රුදීන් වෙළෙඳපොළේ ඉන්න කොට දැක්කා එකෙක් රියාල් පන්සීය ගණනේ කුරුල්ලන්ව විකුණනවා. “ මා ගාව ඉන්න කිකිළි මේ හැම කුරුල්ලෙකුටම වඩා විශාලයි. ඒ නිසා ඌ මීට වඩා හුඟක් වටිනවා” කියලා හිතපු නස්රුදීන් පහුවදාම තමන්ගේ කිකිළිය වෙළෙඳ පොළට ගෙනිච්චා විකුණන්න. ඒත් කිසි කෙනෙක් රියාල් පනහකට වඩා කිකිළියට ගෙවන්න කැමති වුණේ නෑ. කේන්ති ගිය මුල්ලා නස්රුදීන් කෑ ගහන්න පටන් ගත්තා.

“මිනිස්සුනේ මේක මහා අවමානයක් ! ඊයේ නුඹලා මේ කිකිළියගෙන් බාගයක් වත් නැති කුරුල්ලෙකුට මේ වගේ දහ ගුණයක මිලක් ගෙව්වා. ”

කෙනෙක් ඔහුගේ කෑ ගැහිල්ලට බාධා කළා: “නස්රුදීන්, ඊයේ රියාල් පන්සීය ගාණෙ විකුණුවේ ගිරවුන්ව, කතා කරන කුරුල්ලන්ව. උන් කතා කරන නිසා වැඩිපුර වටිනවා.”

“මෝඩයා! ” නස්රුදීන් පෙරළා කෑ ගැහුවා. “නුඹලා ඒ කුරුල්ලන්ට වැඩි වටිනාකමක් ගෙවන්නේ උන්ට කතා කරන්න පුළුවන් නිසයි. ඒත් ඔලුව ඇතුළෙ බොහොම ගැඹුරු කල්පනාවල් තියෙන, ඒත් කච කච ගාලා තමුන්ගේ කතාවෙන් මිනිස්සුන්ට කරදර නොකරන මගේ කිකිළිව නුඹලා ප්‍රතික්ෂේප කරනවා.”


මාලිමා යන්ත්‍රය

දවසක්, තමන්ට හම්බ වෙච්ච කුඩා මාලිමාවක් අරගෙන ආපු කෙනෙක් ඒක නස්රුදීන්ට පෙන්නලා ඇහුවා ඒ මොකක්ද කියලා. මාලිමාව දිහා බලපු මුල්ලා නස්රුදීන් අඬන්න පටන් ගත්තා. ඊට ටික වේලාවකට පස්සේ ඇඬිල්ල නවත්තපු ඔහු හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

“ඇයි ඔබතුමා ඇඬුවේ ? ඇයි දැන් හිනාවෙන්නේ ? ” කියලා මිනිහා ප්‍රශ්න කළා.

“මෙච්චර කුඩා උපකරණයක් මොකක්ද කියලා නොදන්න තරමට ඔහේ කොච්චර මෝඩයෙක්ද  කියලා හිතලයි මම ඇඬුවේ.” කියලා මුල්ලා පිළිතුරු දුන්නා. “ඒත් ඒ ගැන කල්පනා කරලා බලන කොට මාත් ඒක මොකක්ද කියලා දන්නේ නැති බව දැනගත්තාම මං හිනාවුණා” කියලා ඔහු කියුවා.


ආයෙ වචන දෙකක් නෑ

“නස්රුදීන් ඔහේගෙ වයස කීයද? ”

“හතළිහයි”

“ඒත් අවුරුදු දෙකකට කලිනුත් මං අහනකොට කිව්වෙත් ඕකමනේ. ”

“ඒක හරි. මගේ ආයෙ වචන දෙකක් නෑ ! ”



කොටින් එළවන බෙහෙත

දවසක් නස්රුදීන් තමන්ගේ ගේ වටේට කුඩු වගයක් ඉහිමින් සිටියා.

“මුල්ලා, ඔහේ මොකද ඔය කරන්නේ? ” කියලා අසල්වැසියෙක් ප්‍රශ්න කළා.

“මං මේ කොටින්ව එළවන බෙහෙත් කුඩක් ඉහිනවා. ”

“ඒ වුණාට මෙතැන ඉඳන් හැතැප්ම සිය ගණනක් යනකම්වත් කොටි නෑනේ. ”

“එහෙනම් බෙහෙත බොහොම සාර්ථකයි නේද ? ” කියලා නස්රුදීන් ඇහුවා.


ප්‍රශ්න සහ පිළිතුරු

“හැම තිස්සෙම ඔහේගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නේ ඇයි ? ” කියලා කෙනෙක් දවසක් නස්රුදීන්ගෙන් ඇහුවා.

“මං එහෙම කරනවද ? ” කියලා නස්රුදීන් උත්තර දුන්නා.


සන්තෝසම

දවසක් මුල්ලා නස්රුදීන් පොදු ස්නානාගාරයකට ගියා. ඔහු ඇඳ පැළඳගෙන හිටියේ දුප්පතෙක් වාගේ නිසා එතැන හිටපු සේවකයන් ඔහුව ඒ තරම් ගණන් ගත්තේ නෑ. පොඩි සබන් පොත්තකුයි, වැරහැලි වෙච්ච නාන කඩකුයි, පරණ තුවායකුයි ඔවුන් ඔහුට දුන්නා.

ස්නානාගාරයෙන් පිටවී යන කොට මුල්ලා සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් එකෙකුට රන් කාසිය බැගින් දුන්නා. තමන් සේවය සැලසූ අන්දම ගැන නස්රුදීන් පැමිණිලි නොකිරීම ගැන  සේවකයන් පුදුම වුණා. ඔහුට හොඳින් සැලකුවා නම් මීටත් වඩා විශාල සන්තෝසමක් ගන්න තිබුණා නේද කියලා ඔවුන් කල්පනා කළා.

ඊළඟ සතියේ මුල්ලා නස්රුදීන් නැවත ස්නානාගාරයට ආවා. මේ පාර, සේවකයන් ඔහුට රජෙකුට වගේ සැලකුවා. එම්බ්‍රොයිඩර් කරපු තුවාත්, සේද නාන කඩකුත් ඔහුට දුන්නා. නස්රුදීන්ව සම්බාහනය කරලා, ඇඟේ සුවඳ තෙල් ගල්වපුවාම ඔහු තමන් ළඟ තිබුණු වටිනාකමින් අඩුම තඹ කාසි දෙක සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් දුන්නා.

“ මේ කාසි දෙක ගිය ගමන වෙනුවෙන්. එදා දුන්නු රන් කාසි දෙක අද සේවය වෙනුවෙන් ” කියලා නස්රුදීන් කියුවා.


එකට එක

දවසක් නස්රුදීන් ඔහුගේ ගෙදර වහලය අලුත්වැඩියා කරමින් හිටියා.  ඔහු වහල උඩ ඉන්න කොට අමුත්තෙක් ඇවිත් ගෙදර දොරට තට්ටු කළා.

“මොනවද නුඹට ඕනෑ? ” කියලා නස්රුදීන් වහලය උඩ සිටම කෑ ගැසුවා.

“පහළට බහින්න. එතකොට මං කියන්නම්” කියලා අමුත්තා උත්තර දුන්නා.

නස්රුදීනුත් බොහොම අකමැත්තෙන් ඉණිමඟ දිගේ හෙමින් පහළට බැස්සා.

“ඉතින්! මොකක්ද ඔය වැදගත් කාරණාව ? ” නස්රුදීන් ඇහුවා.

“මේ දුප්පතාට පිනට යමක් දෙන්න පුළුවන්ද ? ” කියලා අමුත්තා ඇහුවා.

“මා  පස්සෙන් වහල උඩට වරෙන් ” යැයි අමුත්තාට කියූ නස්රුදීන් ඉණිමඟ දිගේ උඩට නගින්න පටන් ගත්තා.

නස්රුදීනුත්, සිඟන්නාත් දෙදෙනාම වහලය උඩට නැග්ගාට පස්සේ නස්රුදීන් කියුවා “බෑ” කියලා.   

19 comments:

  1. නස්රුදීන් තමා දවසකටත් පොර.. කවදාවත් කියෙව්වට එපා වෙන්නැත්තෙ අපේ අංදරේගෙයි ඔය නස්රුදීන් ගෙයි තමා. හෙහ්...
    අහ් අනික ඇම්ඩ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මහේෂ්. ඒවා කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ තමයි.

      Delete
  2. නස්රුදීන් හිටියානං බ්ලොගයක් ලියවන්න අාරාධනා කරන්න තිබුණා... මිනිහා ගැලපෙන්නේ මෙතන්ට.......

    ReplyDelete
    Replies
    1. නස්රුදීන්ගේ කතාවලට වඩා හොඳ කතා සිංහල බ්ලොග්වල තියෙනවා නොවැ.

      Delete
  3. හා ගොඩ කාලෙකින් මං එනකොට නිලූක නසුර්දීන්ගේ කතා ලියලනෙ. කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන් ආදර්ෂමත් කතා.

    ReplyDelete
    Replies
    1. කසුන් ගොඩ කාලෙකින්. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  4. කතා තුන හතරක් අහල තියෙනවා ඉතුරු කතා අහල නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවායින් කිහිපයක් මාත් අහපු කතා. නමුත් අනෙක් ඒවා මාත් මීට කලින් අහලා නෑ.

      Delete
  5. නියමයි සමහර කතා අහලා තියෙනවා.එත් ගොඩක් කතා අහලා නැහැ.
    නස්රුදීන් ජන්දේ ඉල්ලුවා නම් කොහොමට තියේවිද?

    ReplyDelete
  6. හොඳ පරිවර්තනයක්.

    ReplyDelete
  7. ඉරද හඳද වැඩිය හොඳ? මිනිහෙක් නස් රුදීන් ගෙන් ඇහුවා.
    හඳ....!
    ඇයි ඒ..?
    ඇයි ඕයි ඉර නම් පායන්නෙ දවල්ට අව්ව තියෙන වෙලාවට. හඳ එහෙම නෙවෙයි . හඳ පායන්නෙ රෑට. හඳ පෑව්වෙ නැත්නම් අපට ඉන්න වෙන්නෙ කට්ට කරුවලේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවයි මෙතන තියෙන ඉර හඳ ගැන කතාවයි සමානයි වගේ. හැබැයි විනී අයියා ඔයා කතාව ලියලා තියෙන විදිය මගෙ පරිවර්තනයට වඩා හොඳයි.

      Delete
  8. අන්තිම එක තමා නියම... :-)

    මේකට මං හොඳ කමෙන්ට් එකක් දාන්නං, මයෙ බ්ලොග් එකට වරෙං... :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී. මම ඔයාගේ බ්ලොග් එක කියවනවා.

      Delete
  9. නිලුකගේ ලියවිලි සරලයි . තේරීම් අපුරුයි. වැඩි වැඩියෙන් ලියන්න .

    ReplyDelete
  10. ලස්සන කතා ටිකක් ජීවිතාදර්ශ හුගාක් තියේ🤜

    ReplyDelete

සෙවුම්