2018/06/24

රුබයියාට් කාව්‍යයෙන්....


                        


       














                      පළමුවැනි පැදිය

අවදිවනු මැන! පලායන්නට සලසමින් තරුවලට
නිශා බඳුනෙහි ගලක් හෙලා ඇති හෙයින් හිමිදිරිය.
බලනු මැන! පෙරදිග දඩයම්කරු සිටින’යුරු අල්වාගෙන
ආලෝකයේ මද්දෙන් රජ මැඳුරු කොත.

                        දෙවැනි පැදිය

හිමිදිරියෙහි වමත අහසෙහි ඇති වෙලේ, සිහිනයක ගැලී සිටි මහට, 
හඬ නඟන සැටි ඇසිණි කිසිවකු සුරාසල තුළ :
“මාගේ දරුවනේ නැඟිටපල්ලා ඉතින්, ජීවිතේ මදිරාව එහි කුසලානයෙන්
වියළි යන්නට පළමු පුරවනුය කුසලාන.”

                        තුන්වැනි පැදිය

සැවුලා හඬලත්ම, කෑගැසුවෝය ඉදිරිපිට සිටියෝ සුරාසල-
“එසේනම් විවර කරනුය දොර,
මේ ලොව වසන්නේ කෙතරම් කෙටි කලක් දැයි දන්නේය ඔබ.
යළි ඒමක් නොවේමැයි ඉදින් නික්ම ගිය පසුව.”

                        හැත්තෑවැනි පැදිය

ලියයි දිවෙනා පන්හිඳ ; ලියා, නොනැවත යයි ලියමින්ම
ඔබේ බැතියට, ඔබේ නුවණට බැරිය යළි එය පොළඹවන්නට
ලියූ වැකියක අඩක්වත් කපා දමනට.
නොහැක ඔබගේ සියලුම කඳුළු හට ඉන් එක් වදනකුදු මකා දමනට.

                        හැත්තෑ එක්වැනි පැදිය

අහස ලෙස හැඳින්වෙන මුණින් හැරවූ බඳුන යට
සිරව සිටිනෙමු, දිවි ගෙවමු, මියෙමු අපි සැම
නොනඟනුය ඔබ දෑත අහසට පිහිටක් පතා කිසිවිට
ඔබ සහ මා මෙන්ම දුබලව දවස’රින බැවින් අහසද

                        හැත්තෑ දෙවැනි පැදිය

අද දිනෙහි උමතුව සැදිණි ඊයේ දින.
නිහඬබව, ජය හෝ අපේක්ෂා සුන්බව නොදන්නෙමු හෙට එන.
කොයි වෙලේ ආවේද, කුමකට ආවේද, යන්නේ මන්දැයිද, කොයිබක යන්නේද
නොදන්නා හෙයින් ඔබ, පානය කරනු මැන මදිරාව!

(ඕමාර් ඛය්යාම්ගේ රුබයියාට් කාව්‍යයේ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් පරිවර්තනයේ පළමුවැනි සංස්කරණයෙනි.)


Painting by: Torrie Smiley

2018/06/11

යෑම සහ ඒම අතර




තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.

දෘශ්‍යමානය සියල්ලම
එනමුදු අල්ලාගත නොහැක
සියල්ලම ළඟ තිබුණද
ස්පර්ශ කළ නොහැකිය.

කරදහිය, පොත, පැන්සල, වීදුරුව
සැතපෙයි සිය සෙවණැල්ල යට.

මා නළල දෙපසෙහි පුපුරු ගසනා කාලය
යළි යළිත් හඬ නගයි රුධිරයේ නොවෙනස් මාත්‍රාව.

උදාසීන වූ බිත්තිය, ආලෝකය වැද
හැරෙයි අවතාරමය ඡායා රඟමඬලක් බවට.

සිටින සැටි පෙනෙයි මා ඇසක් මැද
මා දෙසම හිස් බැල්මෙන් බලන.

විසිර යයි නිමේෂය.

නිශ්චලව සිට, 
පිටව යමි මම:
මා විරාමයකිය.













2018/05/17

අසිරිමත් ගැහැනිය




මාගේ රහස කිම්දැයි විමසයි රුවැති ගැහැනුන්
රූමත් නොමැත මා නිරූපිකාවක පෙනුම නැත මට
එනමුදු ඒ රහස කියන කල
සිතති උහු මා බොරු කියන වග.
විදාහළ මාගේ දෙඅත්වල
පැතිරුණා වූ මගේ උකුළත
ඉදිරියට මා තබන අඩිවල
කෝපයෙන් ඇදවන දෙතොල්වල
කියන්නෙමි ඒ රහස ඇති වග.
ගැහැනියකි මා අසිරිමත් ලෙස
අසිරිමත් ගැහැනිය, ඒ මාය.

ඇතුළු වෙමි කාමරයකට
ඉතා සන්සුන් විලසට
ඇවිද යමි මිනිසකු වෙත
එලෙස සන්සුන්වම.
නැගී සිටිනුය පිරිමින්
නැතහොත් දණින් වැටෙතිය
ඉන්පසු බිඟු රළක් මෙන්
රොද බඳිති මා වට.
දෑස් තුළ ඇවිලෙන ගින්න
සුදෝසුදු දසන් පෙළ
ඉඟටියෙහි පැද්දීම
දෙපතුළෙහි ප්‍රමෝදය
කියමි එහි හේතුව වග.
ගැහැනියකි මා අසිරිමත් ලෙස.
අසිරිමත් ගැහැනිය, ඒ මාය.

මා තුළ ඔවුන් දකින්නේ කුමක්දැයි
පිරිමිද පුදුම වූවෝ නොඑක් වර
කෙතරම් වෑයම් කළේ වුව
නොහැකි විය ඔවුන්ට ස්පර්ශ කරනට
මා ගැඹර ඇති අබිරහස.
පෙන්වන්නට තැත් කළද එය
කියති උහු එය නොදකින බවම.
මා සිරුර වක්වල
හසරැළි රිවි කිරණවල
නැටවෙන ළැම හසුන්වල
ලලිතවත් විලාසය තුළ
කියමි එරහස ගැබ්ව ඇති වග.
ගැහැනියකි මා අසිරිමත් ලෙස.
අසිරිමත් ගැහැනිය, ඒ මාය.

මා හිස නොනැමෙනුයේ මන්දැයි
දැන් ඔබට වැටහෙනු නිසැකය.
කෑ මොර ගසන්නට,
එහෙ මෙහෙ දුව පනින්නට,
හඬ නඟා දොඩන්නට,
කෙසේවත් නොඇවැසිය මට.
මා ඇවිද යන කල
ඔබ අබිමනට පත්වනු ඇත.
අඩි ගැටෙන හඬ තුළ,
මා වරළ නැමුම්වල,
මාගේ අත්ල මත, 
රැකවරණය ඇවැසිබව තුළ,
කියමි එරහස ඇති බව.
මන්දයත්, ගැහැනියකි මා අසිරිමත් ලෙස.
අසිරිමත් ගැහැනිය, ඒ මාය.















-මායා ඇන්ජෙලෝ (1928-2014)

2018/04/08

රේඩියෝ කෙටිකතා

පරිවර්තන බ්ලොග් අඩවියේ පළවූ ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ “දන්ත වෛද්‍යවරයා සහ ඔක්තාවියෝ පාස්ගේ “නිල් ඇස් යන පරිවර්තන කෙටිකතා ඇසුරෙන් කැනඩාවේ විකාශය වන “සවන” ගුවන්විදුලි නාලිකාව වෙනුවෙන් අනුරුද්ධ වැලිගමගේ මහතා නිර්මාණය කළ රේඩියෝ කෙටිකතා පහත සබැඳියෙන් අසන්න.  



2018/04/06

ඔබටය මේ කවිය


හිරු මඬල වෙත පෙති විදහා ඇරෙන
ඩේසි කුසුමක් බඳු සොඳුරු වුවනක්ය
පෙරළන විට පිටුව
ඔබ මුහුණත් එලෙස
විවර වෙයි මා දෙසට.

අහෝ, සඟරාවේ සිටින රූමතිය
වසඟ වෙයි ඕනෑම මිනිසෙක්
ඔබෙ ඔය මනකල් හිනාවට.

කොපමණ කවි ලියැවී ඇතිද ඔබ වෙත?
මහ කවියන් කී දෙනෙකු ලියුවේද ඔබ හට?
ඔබෙ ඔය උමතු මායාවට
ඔබ මැවූ විසිතුරු කල්පනාවට

එනමුදු නොකියමි එවන්
සුලබ, බොළඳ කියුමක් අද
එවැනි සුලබ කියුම් තවත් නැත
ලියමි මම ඔබට මේ කවිය.

මවාගත් පෙනුමෙහි නොව,
ලාලිත්‍යයේ රූමත්බව රැඳුණු
බුද්ධියේ රුවැතිබව රැඳුණු
චරිතයේ රූ සොබා වොරැඳුණු
ගැහැනුන්ට පුදමි මේ කවිය.

එක්වූ සිරුරුවල ආදරය වෙනුවෙන්,
නව දිනය දැල්වූ ලාලසා වෙනුවෙන්,
නොසලකා හරින ලද අයීතීන් වෙනුවෙන්,
තවත් එක් රැයක් දිවිගෙවුම වෙනුවෙන්,
කෙරෙන සටනක අපේක්ෂා දල්වන
වෙනසක් උදෙසා හඬනඟන කතාවක්
අප හට කියන්නට
අලුතින් කියන්නට කතාවක් අතැතිව
ෂෙහ්රසාද්* මෙන් දිනපතා අවදිවන
ගැහැනුනි ඔබටය මේ කවිය.

වේදනා පිරි ලෝකයක දවස‘රින
ගෙවී යන විශ්වයේ දිලිසෙන තරුව වන
දහසකුත් එකක් වූ සටන්වල නිරතවන
මාගේ හදවතේ මිතුකමින් නිති රැඳෙන
ගැහැනුනි ඔබ හටය මේ කවිය.

සඟරාවක පිටු රූ අතර
නොසැඟවේ මහිස මින් මනත
සිතින් විමසමි රාත්‍රිය
සහ එහි දිලෙන තරු රැස
නොකියන්නෙමි ඉදින්
සුලබ කියමන් බොළඳ.















-ඔක්තාවියෝ පාස් (1914- 1998)


* ෂෙහ්රසාද්- අරාබි නිසොල්ලාසයේ එන චරිතයකි. අරාබි නිසොල්ලාසයේ ඇති කතා කියන්නේ ෂෙහ්රසාද් කුමරියයි.

Painting by: Lindsay Rapp
 


සෙවුම්