2018/06/24

රුබයියාට් කාව්‍යයෙන්....


                        


       














                      පළමුවැනි පැදිය

අවදිවනු මැන! පලායන්නට සලසමින් තරුවලට
නිශා බඳුනෙහි ගලක් හෙලා ඇති හෙයින් හිමිදිරිය.
බලනු මැන! පෙරදිග දඩයම්කරු සිටින’යුරු අල්වාගෙන
ආලෝකයේ මද්දෙන් රජ මැඳුරු කොත.

                        දෙවැනි පැදිය

හිමිදිරියෙහි වමත අහසෙහි ඇති වෙලේ, සිහිනයක ගැලී සිටි මහට, 
හඬ නඟන සැටි ඇසිණි කිසිවකු සුරාසල තුළ :
“මාගේ දරුවනේ නැඟිටපල්ලා ඉතින්, ජීවිතේ මදිරාව එහි කුසලානයෙන්
වියළි යන්නට පළමු පුරවනුය කුසලාන.”

                        තුන්වැනි පැදිය

සැවුලා හඬලත්ම, කෑගැසුවෝය ඉදිරිපිට සිටියෝ සුරාසල-
“එසේනම් විවර කරනුය දොර,
මේ ලොව වසන්නේ කෙතරම් කෙටි කලක් දැයි දන්නේය ඔබ.
යළි ඒමක් නොවේමැයි ඉදින් නික්ම ගිය පසුව.”

                        හැත්තෑවැනි පැදිය

ලියයි දිවෙනා පන්හිඳ ; ලියා, නොනැවත යයි ලියමින්ම
ඔබේ බැතියට, ඔබේ නුවණට බැරිය යළි එය පොළඹවන්නට
ලියූ වැකියක අඩක්වත් කපා දමනට.
නොහැක ඔබගේ සියලුම කඳුළු හට ඉන් එක් වදනකුදු මකා දමනට.

                        හැත්තෑ එක්වැනි පැදිය

අහස ලෙස හැඳින්වෙන මුණින් හැරවූ බඳුන යට
සිරව සිටිනෙමු, දිවි ගෙවමු, මියෙමු අපි සැම
නොනඟනුය ඔබ දෑත අහසට පිහිටක් පතා කිසිවිට
ඔබ සහ මා මෙන්ම දුබලව දවස’රින බැවින් අහසද

                        හැත්තෑ දෙවැනි පැදිය

අද දිනෙහි උමතුව සැදිණි ඊයේ දින.
නිහඬබව, ජය හෝ අපේක්ෂා සුන්බව නොදන්නෙමු හෙට එන.
කොයි වෙලේ ආවේද, කුමකට ආවේද, යන්නේ මන්දැයිද, කොයිබක යන්නේද
නොදන්නා හෙයින් ඔබ, පානය කරනු මැන මදිරාව!

(ඕමාර් ඛය්යාම්ගේ රුබයියාට් කාව්‍යයේ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් පරිවර්තනයේ පළමුවැනි සංස්කරණයෙනි.)


Painting by: Torrie Smiley

No comments:

Post a Comment

සෙවුම්