2012/09/16

දුරු රටක සිට- අර්නස්ට් හෙමිංවේ
















සරත් සමයේදී යුද්ධය දිගින් දිගටම පැවතියද අපි තවත් එයට නොගියෙමු. මිලානෝ නුවර සරත් ඍතුව දැඩි ලෙස ශීත වූ අතර ඉක්මනින් අඳුරු වැටිණි. අනතුරුව විදුලි පහන් දැල්විණි. වීදියේ සිට බලන විට පෙනෙන ආලෝකවත් ජනේල ප්‍රසන්න දසුනක් මවා පෑය. 

වෙළෙඳසල්වල පිටත දඩයම් කරන ලද සතුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබිණි. නරින්ගේ ලෝම පිරුණු සම් මතුපිට හිම ධූලි තැවරී තිබූ අතර සුළඟට උන්ගේ වල්ගා සෙලවිණි. ඇතුළත හිස්, මුව මළ සිරුරු දරදඬු සහ බරැති ලෙස එල්ලී තිබුණේය. කුඩා කුරුල්ලන්ගේ සිරුරු සුළ‍ඟෙහි ඒ මේ අත වැනිණි. සුළ‍ඟෙන් උන්ගේ පිහාටු හැරිණි. එය ශීතල සරත් සමයක් වූ අතර කඳුකරයේ සිට සුළඟ හමා ආවේය. 

සෑම සවස් භාගයකම අපි සියලු දෙනාම ‍රෝහලට ගියෙමු. ගොම්මන් අඳුර අතරින් රෝහල වෙත ඇවිද ගෙන යාමට නගරය පුරා එකිනෙකට වෙනස් පාරවල් කිහිපයක්ම තිබිණි.  ඇල මාර්ග ඔස්සේ වැටුණු පාරවල් දෙකක් වූවද ඒවා දීර්ඝ විය. කෙසේවුවද, රෝහලට ඇතුළු වීමට නම් කෙනෙකුට ඇල මාර්ග මතින් වැටුණු පාලමකින් එතෙර වීමටම සිදු වූයේය. එවැනි පාලම් තුනක් තිබිණි. ඉන් එකක් මත ගැහැනියක් කර කරන ලද චෙස්නට් ගෙඩි විකුණුවාය. ඇගේ අඟුරු උඳුන ඉදිරිපිට සිටගෙන සිටින විට ගත උණුසුම් වූ අතර පසුව කර කරන ලද චෙස්නට් ගෙඩි සාක්කුවේ දමා ගත් විට ඒවායින් උණුසුමක් ලැබිණි.  රෝහල ඉතා පැරණිද මනරම්ද විය. ගේට්ටුවකින් ඊට ඇතුළු වන කෙනෙකුට මැදමිදුලක් හරහා ඇවිද ගොස් තවත් ගේට්ටුවකින් අනෙක් පැත්තට පිටවී යා හැකිය. මේ මැද මිදුලෙහි බොහෝ වේලාවට අවමංගල්‍ය උත්සව පැවැත්විණි. පැරණි රෝහලෙන් ඔබ්බෙහි පිහිටියේ ගඩොලින් ඉදිකරන ලද නව ක්‍රීඩාගාර ය. සෑම සවස් වරුවකම එහිදී හමුවන අපි ඉතා විනීත ලෙසත් එතැන කෙරෙන කාර්ය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් යුතුවත් අ‍ප‍ගේ තත්ත්වය දැඩි ලෙස වෙනස් කිරීමට සමත්යැයි කියන ඒ යන්ත්‍ර මත වාඩි වී සිටියෙමු.


මා හිඳගෙන සිටින යන්ත්‍රය වෙත පැමිණි වෛද්‍යවරයා මගෙන් ප්‍රශ්න කරන්නට විය: "යුද්දෙට ඉස්සර වෙලා මේ ඉලන්දාරියා මොනවටද වැඩියෙන්ම ආසා කළේ ? මොනවා හරි ක්‍රීඩාවක් ‍එහෙම කළාද ?"

"ඔව්. ෆුට්බෝල් ගැහුවා." මම පිළිතුරු දිනිමි.

"බොහොම හොඳයි. මින් පස්සෙ වෙන කවදාටවත් වඩා හොඳට ඔයාට ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයි."

මගේ දණහිස නොනැවුණු අතර දණහිසේ සිට වළලුකර දක්වා පාදය බත්කෙණ්ඩකින් තොරව ඍජුව තිබිණි. යන්ත්‍රයේ අරමුණ වූයේ මේ දණහිස නැවීමත් එය රෝද තුනේ පාපැදියක් පදින විටෙකදී මෙන් ක්‍රියාත්මක කරවීමත්ය. එහෙත් තවමත් එය නොනැවිණි. දණහිස නවන තැනට ළඟා වූ විට යන්ත්‍රය ඉදිරියට තල්ලු වූවා පමණය. " ඕක හරි යයි. ඔයා වාසනාවන්ත තරුණයෙක්. ඔයාට සුපිරි ක්‍රීඩකයෙක් වගේ ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයි." වෛද්‍යවරයා පැවසීය.

ඊළඟ යන්ත්‍රයේ සිටියේ සිඟිති දරුවෙකුගේ බඳු සිහින් අතක් ඇති මේජර්වරයෙකි. සම් පටි දෙකක් මැදින් තබන ලද ඔහුගේ අත වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබන විට ඔහු මා වෙත ඇසක් වසා ඉඟි කරමින් කතා කළේය: "මටත් ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයිද කැප්ටන්-ඩොක්ටර් ?" ඔහු ඉතා දක්ෂ කඩු සරඹ ක්‍රීඩකයෙකුව සිටි අතර යුද්ධයට පෙර ඉතාලියේ සිටි දක්ෂතම කඩු සරඹ ක්‍රීඩකයා විය.

පසුපස පිහිටි සිය කාර්යාල කාමරයට ගිය වෛද්‍යවරයා නැවත පැමිණියේ මේජර්වරයාගේ අත මෙන්ම සිහින්ව ගිය අතක ඡායාරූපයක් රැගෙනය. ඒ අත යන්ත්‍රයේ භෞත චිකිත්සක ප්‍රතිකාරවලට පෙර තිබූ අයුරුත් ප්‍රතිකර්මවලින් පසුව එය ඊට මඳක් විශාලව තිබූ අයුරුත් එහි දැක්විණි. මේජර්වරයා එම ඡායාරූපය සිය හොඳ අතින් අල්ලාගෙන ඉතා පරීක්ෂාවෙන් ඒ දෙස බැලුවේය. "තුවාලයක්ද?" ඔහු ඇසුවේය."කර්මාන්තශාලාවක වෙච්ච අනතුරක්," වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.

"හරිම අපූරුයි. හරිම අපූරුයි." ‍කී මේජර්වරයා ඡායාරූපය නැවත වෛද්‍යවරයා අතට දුන්නේය.

"ඔයාට ප්‍රතිකාරය ගැන විශ්වාසයක් තියෙනවාද?"

"නෑ," මේජර්වරයා කීවේය.

මගේ වයසේම මෙන් වූ යෞවනයෝ තිදෙනෙක් දිනපතාම පැමිණියෝය. ඒ තිදෙනාම මිලානෝ නුවර වැසියෝය. ඉන් එක් අයෙකු ඉගෙන ගෙන තිබුණේ නීතීඥයෙකු වීමටය. දෙවැන්නා සිත්තරෙකු  වීමටද තුන්වැන්නා සොල්දාදුවෙකු වීමටද ඉටා ගෙන තිබිණි. අපේ ප්‍රතිකාර නිමවූ විට, සමහර විටෙක අපි ලා ස්කාලා ඔපෙරා රඟහල අසල වූ කෝවා අවන්හල වෙත ඇවිදගෙන ගියෙමු. අප සිවු දෙනෙකු වූ බැවින් අප ඇවිද ගියේ ‍කොමියුනිස්ට් පාලනයට යටත් කොටස මැදින් වැටී තිබූ කෙටි පාරෙනි. අප නිලධාරීන් වූ බැවින් මිනිස්සු අප පිළිකුල් කළහ. අප ඇවිද යන අතර, අසල වූ වයින් හලක සිට කිසිවෙක් කෑ ගැසුවේය, "නිලධාරීන් භංග වේවා !". ඇතැම්විටෙක තවත් තරුණයෙක් අප සමග යාමට පැමිණි අතර අපට ඔහුගේ මුහුණ වැසෙන සේ කලු පැහැති සේද ලේන්සුවක් බඳින්නට සිදු වූයේ ඔහුට නාසයක් නුවූ බැවිනි. ඔහුගේ මුහුණ ශල්‍යකර්මයකින් නැවත සෑදීමට නියමිතව තිබිණි. ඔහු යුදහමුදා ඇකඩමියෙහි සිට කෙලින්ම යුද පෙරමුණට ‍ගිය කෙනෙකු වූ අතර, පළමු වතාවට යුද පෙරමුණට ගොස් පැයක් ඇතුළත ඔහු තුවාල ලබා තිබිණි.  ඉතා පැරණි වැදගත් පවුලකින් පැවත ආ ඔහුගේ මුහුණ ශල්‍ය කර්මයකින් නැවත සාදනු ලැබූවද නාසය නිවැරදිව සෑදීමට ඔවුන්ට නොහැකි විය. පසුව දකුණු ඇමෙරිකාවට ගිය ඔහු බැංකුවක සේවය කළේය. එහෙත් මේ ඊට බොහෝ කලකට පෙර වූ අතර අනාගතයේ කුමක් වේදැයි අපි කිසිවෙකුත් දැන නොසිටියෙමු. අප දැන සිටියේ තවදුරටත් යුද්ධය දිගින් දිගටම පැවති බවත්, එනමුදු අප තවත් ඊට නොගිය බවත් පමණකි.

මුහුණෙහි කලු පැහැති ලේන්සුවක් බැඳගත් තරුණයා හැරුණු විට අප සියලු දෙනාටම එකම ආකාරයේ පදක්කම් ලැබී තිබිණි. පදක්කම් ලැබීමට තරම් කාලයක් ඔහු යුද පෙරමුණේ ගත කොට තිබුණේ නැත. නීතිඥයෙකු වීම පිණිස ඉගෙන ගත්, ඉතා සුදුමැලි මුහුණක් සහිත උස් තරුණයා විශේෂ අර්දිති බළකායේ ලුතිනන්වරයෙකුව සිටි අතර ඔහු සතුව  අප සතුව එක බැගින් පමණක් තිබූ වර්ගයේ පදක්කම් තුනක්ම විය. මරණය සමග දීර්ඝ කාලයක් ගත කොට තිබූ ඔහු මඳක් හුදෙකලා වූ ගතියක් පෙන්නුම් කළේය. අප සියලු දෙනාම හුදෙකලාව ප්‍රිය කළ අතර අප සියලු දෙනාම එක් කළ එකම සාධකය වූයේ අප සෑම සැන්දෑවකම රෝහලේදී එකට හමුවීම හැර වෙනකක් නොවේ. එසේ වුවද, වයින් හල්වලින් පෙරී එන ආලෝකය සහ ගීත රාවය මැදින්, පදික වේදිකාවල පොදිකන සෙනඟ තල්ලු කරමින් ඇතැම්විට වීදියට බසින්නට පවා සිදුවෙමින් නගරයේ අසීරු පෙදෙස් මැදින් කෝවා අවන්හල වෙත අඳුරේ ඇවිද යන විට, අප පිළිකුල් කළ ගැහැනුන්ට හා මිනිසුන්ට නොතේරුණු යමකින් අප බැඳී සිටින වග අපට දැනිණි.

අපි සියලු දෙනාම කෝවා අවන්හල තේරුම් ගෙන සිටියෙමු. ආඪ්‍ය සහ උණුසුම්, දැඩි දීප්තියෙන් ආ‍ලෝකවත් නොකළ, ඇතැම් විට ඝෝෂාවෙන් සහ දුමෙන් පිරුණු කෝවා අවන්හලෙහි මේසවල සෑම විටම තරුණියන්ද බිත්තියේ රාක්කවල චිත්‍රකතා පත්තරද විය. කෝවා අවන්හලෙහි සිටි තරුණියන් ඉතාමත් දේශප්‍රේමී වූ අතර, ඉතාලියේ සිට ඉතාම දේශානුරාගී ජනතාව අවන්හල්වල සේවය කළ තරුණියන් බව මම වටහාගෙන සිටියෙමි. ඔවුන් තවමත් එපරිදිම දේශානුරාගයෙන් යුතු යැයි මම විශ්වාස කරමි.

මුලදී මගේ සගයෝ මා ලද පදක්කම් සම්බන්ධයෙන් ඉතා විනීත ලෙස ප්‍රශ්න කළෝ මා ඒවා ලබා ගැනීමට කුමක් කළේදැයි විමසූහ. ඉතා සුන්දර භාෂාවකින් වැල්වටාරම් සහිතව ඒ සම්බන්ධයෙන් ලියා තිබූ ලියවිලි මම ඔවුන් පෙන්වීමි. එහෙත් ඒවායේ විශේෂණ පද සහ වැල් වටාරම් ඉවත් කළ විට එයින් සැබෑවටම කියැවුණේ මා ඒ පදක්කම් ලැබුයේ  මා ඇමෙරිකානුවෙකු වීම යන කාරණය නිසා පමණක්ය යන්නය.  එයින් පසුව ඔවුන් මා කෙරේ හැසිරුණු ආකාරය මඳක් වෙනස් විය. එසේවතුදු මම පිටස්තරයන් සමග වූ සතුරුකමෙහිදී ඔවුන්ගේ මිතුරා වීමි. මා ඔවුන්ගේ මිතුරෙකු වූවද මගේ පදක්කම් හේතු පාඨ කියැවීමෙන් අනතුරුව කිසි දිනෙක ඔවුන්ගෙන් එකෙකු වූයේ නැත. ඔවුන් පදක්කම් ලබා ගැනීම සඳහා කර තිබුණේ මා කළාට වඩා ඉතා වෙනස් වූ  ක්‍රියාවන්ය. මා තුවාල ලබා සිටියා සැබෑය. එහෙත් ඒ හදිසි අනතුරකින් බව සියලු දෙනාම දැන සිටියෝය. එහෙත් මම පදක්කම් එල්ලූ රිබන් පටි ගැන කිසි දිනෙක ලජ්ජා නොවීමි. ඇතැම් විටෙක අපගේ සැන්දෑ සාදයෙන් අනතුරුව පදක්කම් ලබා ගැනීම සඳහා ඔවුන් කළ සියලු දේම මාත් කළ බව මම සිතෙහි මවා ගත්තෙමි. ‍එහෙත් වසා දැමූ වෙළෙඳසල් පසු කරගෙන ශීතල සුළඟින් පීඩිතව වීදිපහන් අසලින්ම යෑමට උත්සාහ දරමින් හිස් වීදි ඔස්සේ පෙරළා නවාතැනට ඇවිද යන විට මා එවැනි දේ කිසි දිනෙක නොකරන බව මම දැන සිටියෙමි. මා මිය යෑමට දැඩි ලෙස බිය වූවෙම් රාත්‍රියේ ඇඳෙහි හුදෙකලාව වැතිර මරණයට බියෙන් කල්පනා කරමින් හුන්නෙමි.

පදක්කම් ලබා තිබූ අනෙක් තිදෙනා දඩයම් උකුස්සන් මෙන් වූහ. කිසිදිනෙක දඩයමෙහි නොයෙදුණු අයට මා උකුස්සෙකු ලෙස පෙනෙන්නට ඉඩ තිබුණද මම උකුස්සෙක් නොවීමි. ඔවුහු තිදෙනා එය මැනවින් දත්තෝය. ඉදින් අප එකිනෙකාගෙන් සෙමෙන් ඉවතට පාවී යන්නට පටන් ගෙන තිබිණි. ‍එහෙත් යුද පෙරමුණේදී පළමු ද‍වසේම තුවාල ලැබූ තරුණයා දිගටම මගේ හොඳ මිතුරෙක් වූයේය. එයට හේතු වූයේ තමන් ක‍වරෙකු වේදැයි ඔහු ඒ වන විට නොදැන සිටීම ය. මා ඔහුට කැමති වූයේ ඔහු ඇතැම්විට උකුස්සෙකු බවට පත් නොවෙනු ඇතැයි මා සිතූ නිසාය.

ඉතා ශූර කඩු සරඹ ක්‍රීඩකයෙකු වූ මේජර්වරයා නිර්භීතබව ගැන විශ්වාස නොකළේ අප යන්ත්‍රවල වාඩිවී සිටින අතරතුර වැඩිපුරම කාලයක් ගත කළේ මගේ ඉතාලි ව්‍යාකරණ නිවැරදි කිරීමටය. මා ඉතාලි බස කතා කළ ආකාරය ගැන ඔහු මට ප්‍රශංසා කොට තිබූ අතර අපි ඉතා පහසුවෙන් එකිනෙකා සමග කතා කළෙමු. ඉතාලි භාෂාව ඉතා පහසු යැයි මට පෙනෙන බවත් ඒ ගැන එනිසා වැඩි උනන්දුවක් දැක්වීමට මට නොහැකි බවත් මම දිනක් ඔහුට කීමි. ඕනෑ දෙයක් කියන්නට ලේසිය. " ආ, ඔව්" මේජර්වරයා කීවේය. "ඇයි එහෙමනම් ඔයා ව්‍යකරණානුකූලව ඉතාලි කතා නොකරන්නේ ?" ඉදින් අපි ව්‍යාකරණානුකූලව කතා කරන්නට පටන් ගතිමු. ඒ හාම ඉතාලි බස කෙතරම් අසීරු දැයි මට වැටහුණු අතර මගේ සිතෙහි පළමුව නිවැරදි ව්‍යාකරණය ගොනු කොට නොගෙන ඔහු හා කතා කරන්නට මම බිය වීමි.

මේජර්වරයා නිරතුරුවම රෝහලට ආවේය. ඔහු යන්ත්‍ර ගැන විශ්වාසය නොතැබූ බව මට සක්සුදක් සේ පැහැදිලි වූවද රෝහලට ඒම ඔහු එක් දිනක්වත් වැරැද්දුවේ යැයි ‍‍මම නොසිතමි. අප කිසිවෙකුත් යන්ත්‍ර ගැන විශ්වාසය නොතැබූ  සමයක් වූ අතර මේ සියල්ල විකාරයකැයි ඔහු දිනක් කීවේය. ඒ දිනවල භෞත චිකිත්සක යන්ත්‍ර අලුත් ඒවා විය. ඒවා පරීක්ෂා කර බලන්නට යොදා ගත්තේ අපය. එය මුග්ධ අදහසකැයි ඔහු කිවේය. "මේකත් අනෙක් ඒවා වගේම සිද්ධාන්තයක් පමණයි". මම මගේ ව්‍යාකරණ පාඩම් කර නොතිබූ හෙයින් මා මුග්ධ, හදන්නට බැරි අවමානයකැයිද මට උගන්වන තමන් මෝඩයෙකැයිද ඔහු කීවේය. කුඩා මිනිසෙකු වූ ඔහු සිය පුටුවේ ඍජුව හිඳ සිය දකුණත යන්ත්‍රය තුළ ඔබාගෙන ඉදිරියෙන් වූ බිත්තිය දෙස බලා සිටියේය. අතට සවිකොට තිබූ සම් පටි උඩ පහළ ගියේය.

"යුද්දේ ඉවර වුණොත් ඊට පස්සෙ ඔයා මොකද කරන්නේ ?" ඔහු මගෙන් විමසීය. "ව්‍යාකරණානුකූලව උත්තර දෙන්න."

"මම ඇමෙරිකාවට යනවා."

"ඔයා බැඳලද ?"

"නෑ. ගිහින් බඳිනවා."

"තමුසෙ වගේ ගොනෙක්." ඔහු කීවේය. ඔහු ‍කෝප වූ බවක් පෙනිණි. "මිනිහෙක් වුණාම බඳින්න හොඳ නෑ."

"ඇයි සිංඤෝර් මේජර් ?"

"මට සිං‍ඤෝර් මේජර් කියන්න එපා."

"ඇයි ‍මිනිහෙක් බඳින්න හොඳ නැත්තේ ? "

" මිනිහෙකුට කසාද බඳින්න බෑ. මිනිහෙකුට කසාද බඳින්න බෑ." ඔහු කෝපයෙන් කීවේය. "ඒ මිනිහගෙ හැමදේම නැතිවෙනවනම්, තමන්ගෙ කසාදයත් නැතිවෙන තත්ත්වයකට මිනිහෙක් පත් වෙන්න හොඳ නෑ. ඒ වගේ තත්ත්වයකට පත්වෙන්න මිනිහෙක් ඉඩ තියන්න හොඳ නෑ. මිනිහෙක් හොයා ගන්න ඕනෑ එහෙම නැති නොවෙන දෙයක්."

හෙතෙම ඉතා කෝපාන්විතවද වේදනාවෙන් බරවද කතා කළේය. කතා කරන අතර ඔහු කෙලින්ම ඉදිරිය බලා ගෙන සිටියේය.

"ඒත් ඇයි අනිවාර්යයෙන්ම මිනිහෙක්ගේ කසාදය නැතිවෙන්නේ ?"

"ඒක නැති වෙනවා," මේජර්වරයා කීවේය. ඔහු සිටියේ බිත්තිය දෙස බලාගෙනය. අනතුරුව යන්ත්‍රය දෙසට නෙත් හෙලූ හෙතෙම සම් පටිවලට සවිකොට තිබූ සිය සිහින් අත ඉන් එළියට ඇද ගෙන ඉන් තම කලවයට තදින් පහරක් ගසා ගත්තේය. "ඒක නැති වෙනවා," ඔහු මහහඬින් කීය. "මාත් එක්ක තර්ක කරන්න එපා !" ඉන් අනතුරුව යන්ත්‍ර ක්‍රියාත්මක කළ හෙද සහායකයාට හෙතෙම අඬගැසීය " ඇවිල්ලා මෙන්න මේ මළදානෙ නවත්වලා දානවා."
සැහැල්ලු භෞත චිකිත්සක ප්‍රතිකාර සහ සම්බාහනය පිණිස ඔහු යාබද කාමරයට ගියේය. තමාට ඔහු‍ගේ දුරකථනය පාවිච්චි කළ හැකිදැයි ඔහු වෛද්‍යවරයාගෙන් අසනු මට ඇසිණි. ඔහු දොර වැසීය. ඔහු නැවත කාමරයට පැමිණෙන විට මම වෙනත් යන්ත්‍රයක හිඳගෙන සිටියෙමි. සිය හිස්වැසුමද සිරස්කයද පැළඳ සිටි හෙතෙම කෙලින්ම මා කරා පැමිණ මගේ උරැහිසට අත තැබීය.

"මට සමාවෙන්න," කී ඔහු සිය නිරෝගී අතෙන් මගේ උරැහිසට තට්ටු කළේය. "මම මෙච්චර සැරපරුෂ වෙන්න හොඳ නෑ. මගේ නෝනා ළඟදී මැරුණා. ඔයා මට සමාවෙන්න ඕනෑ."
"ඕහ්-" මා කීවේ ඔහු ගැන හටගත් අනුකම්පාවෙනි. "මට බොහොම කනගාටුයි."
ඔහු සිය යටි තොල සපමින් එතැන සිටගෙන සිටියේය. "ඒක බොහොම දරන්න අමාරු දෙයක්." ඔහු පැවසීය. "මට මගේ හිත හදා ගන්න බෑ."

ඔහු මා පසු ක‍රගෙන ජනේලයෙන් කෙලින්ම එළිය බලාගෙන සිටින්නට විය. ඉන්පසුව ඔහු  හඬන්නට පටන් ගත්තේය. "මට කොහොමත්ම මගේ හිත හදා ගන්න බෑ," ඉකියකින් ඔහුගේ උගුර සිර විණි. ඉන් අනතුරුව කිසිවක් දෙස නොබලා හඬමින් දෙකොපුල දිගේ රූරා වැටෙන කඳුළින් යුතුව තොල් සපමින් සොල්දාදුවෙකු මෙන් කය ඍජු කරගත් හෙතෙම යන්ත්‍ර පසු කරගෙන කාමරයෙන් පිටව ගියේය.

මේජර්වරයා තමන් යුද සේවයට නුසුදුසු බව ස්ථිරවම දැනගන්නා තුරුම ආවාහ කොට නොගත්, ඔහුගේ ඉතාමත් තරුණ බිරිය නියුමෝනියාවෙන් මිය ගොස් තිබුණු බව වෛද්‍යවරයා මට කීවේය. ඇය රෝගීව ගතකොට තිබුණේ දින කිහිපයක් පමණි. ඇය මිය යනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කර නොතිබිණි.

මේජර්වරයා දින තුනක් යන තුරු රෝහලට නොපැමිණියේය. ඉන් අනතුරුව හෙතෙම සුපුරුදු වේලාවට නැවත පැමිණියේ සිය නිල ඇඳුමෙහි අත වටා පැලඳි කලු පැහැති පටියක්ද සමගිනි. ඔහු නැවත පැමිණෙන විට, යන්ත්‍ර මගින් ‍සුව වන්නට පෙර සහ සුව වීමට පසු දැක්වෙන තුවාලවල විශාල ඡායාරූප රාමු කොට බිත්තිය පුරා එල්ලා තිබිණි. මේජර්වරයා භාවිතා කළ යන්ත්‍රය ඉදිරිපිට වූයේ ඔහුගේ රෝගී අත බඳුව තිබී සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන ලද අත්වල ඡායාරූප තුනකි. වෛද්‍යවරයා මේවා කොහෙන් සොයා ගත්තාදැයි මම නොදනිමි. මට සෑමවිටම වැටහුණේ මෙම යන්ත්‍ර පළමුවැනි වතාවට භාවිතා කරන්නේ අප බවයි. එහෙත් ඒ ඡායාරූප මේජර්වරයා තුළ වැඩි වෙනසක් සිදු කළේ නැත. ඒ ඔහු ජනේලයෙන් එළිය පමණක් බලාගෙන සිටි හෙයිනි.













අර්නස්ට් හෙමිංවේ (1899-1961)

28 comments:

  1. පරිවර්තනය කිරීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට නිසකවම ඒ හැකියාව පිහිටා තිබෙනවා.
    නමුත් ඔබ මොහොතකටවත් හිතුවද දැන් අවුරුදු දෙකකටත් වඩා කාලයක් තිස්සේ ලියන, පෝස්ට් පනහකටත් වැඩි, සිංඩිකේටර කිහිපයකම තියෙන ඔබේ බ්ලොග් එක කියවන පිරිස අඩු ඇයි කියලා?

    පෞද්ගලිකව මට දැනෙන්නේ ඔබට පරිවර්තනය කරන්නට මනා හැකියාවක් තිබුණට ඔබ පරිවර්තනය තුල පාඨකයාව රඳවා ගන්න උත්සාහ කරලා නෑ කියලයි. කොටින්ම කීප දෙනෙක්ම මට කිව්වේ මේ බ්ලොග් එකේ පෝස්ට්වල බාගයක් කියවනකොට කම්මැලි හිතෙනවයි කියලා.

    අදහසක් පමණයි. ඉදිරියේදී වඩා හොඳ පරිවර්තන දකින්න ලැබේවියැයි හිතනවා :-)

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      ඔබගේ අදහසට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙවැනි ඍජු විචාර අපගේ අඩුපාඩු හදාගන්නට විශාල උපකාරයක්. ඔබ කියන්නාක් වගේ මේ බ්ලොග් අඩවිය කියවන පිරිස අඩු ඇයි කියන ප්‍රශ්නය මටත් තිබෙනවා. ඔබ දකින හැටියට එය මා ලියන භාෂාවේ වරදද ? එසේත් නැත්නම් මා තෝරාගන්නා කතාවල අන්තර්ගතයේ වරදද ? මේ සියලු නිර්මාණ ලෝකයේ කීර්තියට පත් කවීන්ගේ/ ලේඛකයන්ගේ නිර්මාණ බව ඔබට පෙනෙනවා ඇති. ඒවා පාඨකයන් නොකියවන්නට යම් හේතුවක් තිබිය යුතුයි. එසේත් නැත්නම් සම්භාව්‍ය සාහිත්‍යය නිර්මාණ කියවන්නට පාඨකයන් දක්වන මැලිකමද ? කොහොම වුණත් ඔබගේ අදහස ඉතා අගය කොට සලකනවා. ඔබට වේලාවක් ඇත්නම් මගේ පරිවර්තනවල ඔබ දකින අඩුපාඩු දක්වන්න. ඒවා තුළ පාඨකයා රඳවා ගන්නට ඔබ යෝජනා කරන්නේ මොනවාද කියා අපට කියන්න. මීට වඩා වෙනස් ආකාරයක නිර්මාණ පරිවර්තනය සඳහා තෝරා ගත යුතුදැයි ඔබ හිතනවාද ?

      Delete
    2. මම ඔබේ බ්ලොග් එක දැක්කේ අද,
      ගොඩක් කියෙව්වෙත් නෑ,
      ඔබ කරන දේ සාහිත්‍ය අතින් අනික බ්ලොග් වලට වඩා වටිනා සහ අසීරු වැඩක්.
      මේකට හිට්ස් නැත්තේ ඔබේ වරදක් නිසා නෙවේ,
      බ්ලොග් කියවන අය එක්කෝ මේවට කැමති නෑ, එකනේ වැඩක් නැති ඒවා තියන විහිළු බ්ලොග් ප්‍රසිද්ධ.
      නැත්නම් වෙන හේතු ඇති.
      ඒත් ඔබ එක එක්කනාගේ කතා අහලා හිට්ස් වලට කෑදරකමේ ලියන්නෙක් වෙන්න එපා.
      ඔබ ඔබේ පාඩුව සතුටින් ලියන්න.
      හිට්ස් වලට කෑදරකම නිසා මේ බ්ලොග් ලියන මිනිස්සු කරන/ ලියන ඒවා දැක්කම ඔබ වගේ අය ගැන සතුටුයි ගොඩක්.
      ජය වේවා!

      Delete
    3. @ Anonymous
      ඔබගේ අදහසට ස්තූතියි. ප්‍රධාන කොටම මා මෙය ලියන්නේ එයින් ලැබෙන තෘප්තිය කරණ කොට ගෙනයි. හිට්ස් ලැබුණත් නොලැබුණත් මා මගේ කාර්ය කරගෙන යනවා. කිහිප දෙනෙකු හෝ ඒවා කියවා සතුටු වෙනවා නම් එය මට ප්‍රමාණවත්.

      Delete
  2. obage parwarthana mamath asawen kiyawanawa obath ekka patakayan nathi wenne ada kale sulaba kisi watinakama nodanna inna aya wadi nisa ,sahiththiya rasaya nodannakamath hethuwak eth obata godak sthutiwantha wenawa me karana karyata. suba pathanawa thawath liyanna

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      ඔබගේ අදහසට ස්තූතියි. පරිවර්තන අඩවිය සමග රැ‍‍ඳෙමින් එහි නිර්මාණ කියවීම ගැන ඔබට මාගේ ප්‍රණාමය.

      Delete
  3. අවංකවම මේ බ්ලොග් එක්ක දැක්කේ ඔබ මගේ සින්ඩියට ඉල්ලුම් කළ විටයි. ඔබ කරන්නේ ඉතා වටිනා සේවයක්. නමුත් සහෝදරයා. මේ පරිවර්ථන ක්‍රමය (Style) බ්ලොග් වලට හරියන්නේ නෑ. නමුත් පොතක් ලෙස එළි දක්වන්නේ නම් වඩාත් උචිත ක්‍රමය මෙය බව මගේ හැඟීමයි. බ්ලොග් වලට පරිවර්ථනය කරනාවනම් භාෂාව බෙහෙවින් සරළ විය යුතුයි, පෝස්ටුව හැකි තරම් කෙටි වියයුතුයි. බ්ලොග් බලන ඕනම කෙනෙක් ඉස්සෙලාම බලන්නේ ඒක කොච්චර දිගද කියා. දවස් 3-4 ක්ම පළවන්නේ ඒ වගේ ඒවානම් ඊට පස්සෙ පැත්ත පලාතේ එන්නේ නෑ. අනිත් හේතුව ආත්මාර්ථකාමිත්වය. පොස්ට් දාලා බලාගෙන හිටියට වැඩක් නෑ. අනික් අයගේ බ්ලොග් වලටත් පිවිසෙන්න. කොමෙන්ට් එකක් දමන්න. බ්ලොග් මිතුරන් පිරිසක් ඇතිකරගන්න. හැකි විගසින් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න. එසේ ටික කාලයක් කරගෙන යන විට නැවත ඔබේ ක්‍රමයට පිවිසුනත් ඔවුන් ඔබ හඹා ඒවී.

    කෙසේ වෙතත් මෙවන් වටිනා බ්ලොග් අඩවියක් ගැන මගේ සින්ඩියෙන් මම මගේ මිතුරන් දැණුවත් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. @ මාතලන්

      පරිවර්තන බ්ලොග් අඩවිය ගැන ඔබ ඔබේ සින්ඩිකේටරයෙන් ලබා දී තිබූ ප්‍රචාරය මා දුටුවා. මෙතරම් ප්‍රතිචාර රැසක් ලැබී තිබෙන්නේ ඒ නිසා බවට කිසිම සැකයක් නෑ. මා ඔබට ඒ ගැන බෙහෙවින් ස්තූතිවන්ත වනවා. යම් නිර්මාණයක් පරිවර්තනය කිරීමේදී ඒ මුල් නිර්මාණය කියවන විට එය සිංහලයට පරිවර්තනය කළ යුතු යම් ශෛලියක් මගේ මනසේ ඇ‍ඳෙනවා. එහෙත් බො‍හෝ වේලාවට මා තෝරා ගෙන තිබෙන නිර්මාණ සම්භාව්‍ය ඒවා වූ නිසා පරිවර්තන ශෛලියද සම්භාව්‍ය එකක් බවට නොවැරදීම පත්වනවා. එවිට භාෂාවේ සරළ බව ගිලිහී යනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලය පාඨකයා එය නොකියවා සිටීමයි. මොකද කියවන්න කම්මැලි හිතෙන නිසා. මා කට වහර යොදාගෙන පරිවර්තනය කළ 'කහපාට තීන්ත' කතාවට වැඩි ජනප්‍රියත්වයක් ලැබීම මේ කාරණයට හොඳ උදාහරණයක්. ඒත් පෝස්ට් එකේ කෙටිබව සුරැකීම පරිවර්තකයෙකුට කළ නොහැකි දෙයක්. ‍එයට හේතුව පරිවර්තනයේ දිර්ඝබව හෝ කෙටිබව මුල් කෘතියේ දීර්ඝබව හෝ කෙටිබව මත රඳා පවතින නිසා.

      එහෙම වුණත්, කොමෙන්ට්වලට පිළිතුරු දීම, අනෙක් බ්ලොග්වලට කොමෙන්ට් කිරීම වැනි දේ මගින් බ්ලොග් මිතුරන් පිරිසක් ඇති කරගැනීම නම් කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක්. ඔබේ උපදේශය මා පිළිපැද ඇති බව ඔබ මේ පිටුව දුටුවොත් තේරුම් යාවි. ඔබ මගේ බ්ලොග් අඩවියට දුන් ප්‍රචාරය ගැන නැවතත් තුති පුදනවා.

      Delete
    2. සුළු දෙයක් සහෝ....

      සුභ ගමන්....!!!

      Delete
  4. good work, and thanks to Mathalan I found this blog.
    Niluka!
    I have read your translation earlier. Caryy on your good work.

    ReplyDelete
    Replies
    1. @ පන්හිඳ

      Thank you very much for your encouraging words. Yes, Mathalan has done a great favour by giving an unexpected publicity to my blog. Good to hear that you have read my translations earlier. Hope you enjoy them. Thank you once again for your comment.

      Delete
  5. ඔබේ උත්සාහය නම් ප්‍රශංසනීයයි , ඒ වගේම සිංහල බ්ලොග් පරිශ්‍රය තවත් සරු තැනක් බවට පත් කරන්නට “පරිවර්තන“ අමිල සේවයක් කරන බවයි මගේ හැඟීම ...

    නමුත් ඉහත අදහස් අනුවම ඔබට දැනේවි , ඔබේ බ්ලොග් සටහන පිළිබඳව දන්නා පිරිස අඩුබව ...ඒ ඔබ ප්‍රචාරයට වඩා තමන්ගේ නිර්මාණශීලිත්වය ගැන සිතන නිසා වෙන්නටත් ඇති , ඒත් ඔබේ හැකියාව අපේ අනෙක් මිතුරන්ටත් විඳින්නට අවස්ථාවක් ලබා දෙන්න , ඒ සඳහා ඉහත “මාතලන්“ විසින් දක්වා ඇති අදහස් බොහොම වැදගත් ...එන්න , අපි හැමෝම එකතු වෙලා , අපේ සිතේ සතුට වඩනා ගමන් , තවෙකෙක්ගේ සිතේ සතුටත් රඳවන්නට ...

    >>> මේ සටහන ගැන මම දැන ගත්තෙත් “මාතලන්ගේ සින්ඩියෙන් “ ....ඒ පිළිබඳව ඔහුටත් මගේ ස්තුතිය පුද කරනවා ...

    ReplyDelete
    Replies
    1. @ Mahesh Nishantha

      ඔබගේ අදහස්වලට ස්තූතියි. එක්තරා ආකාරයකට ප්‍රචාරය වෙනුවෙන් නිර්මාණශීලීත්වය කැප නොකළ යුතුය යන්න මගේ සිතේ කොනක නොතිබුණා නොවෙයි. ඒත් පාඨකයන් අතරට නොයන නිර්මාණශීලීත්වයෙන් පලක් නැති බව ඉතා පැහැදිලියි. ඔබ කියන්නා වාගේ එය සියලු දෙනාටම රස විඳිමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඊළඟට නිර්මාණ සොයා ගැනීමේදී මා මේ උපදෙස් අනුගමනය කරන්නම්. කෙසේවුණත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ගැන මම නැවතත් ඔබට ස්තූතිවන්ත වනවා.

      Delete
  6. දිගටම ලියන්න ඔබට දිරි

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගැන්වීමට ස්තූතියි.

      Delete
  7. Obata honda sinhala parivarthana hakiyawak thiyenawa. digatama liyanna.

    ReplyDelete
  8. මම ආසයි පරිවර්තන කියවන්න. අර මුල්ම කෙනා කියපු කතාවේ ඇත්තක් නැතුවාම නොවේ. සමහර විට එහෙම වෙන්නේ මේ ඔරිජිල් කතාව වල තියෙන ස්වභාවය නිසා වෙන්න ඇති. මේක තමා මුලින්ම කියෙව්වේ.. ඉතුරු ටිකත් කියවලා බලන්නම්කෝ.. ජය වේවා.. දිගටම ලියන්න. මම කොහොම හරි කියවන්න එනවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඉතිරි නිර්මාණත් කියවා බලා ඔබේ අදහස් දක්වන්න.

      Delete
  9. මාරයි මම ක්ඉයවන්න ෆට්ටෙට ආසයි එල ඈ

    ReplyDelete
  10. කතාවේ ස්වරූපය හන්දා සමහරුන්ට වෙහෙසක් දැනෙනවා ඇති. භාෂා විලාශය සරල කලොත් මොකද වෙන්නේ...එකදිගට කියවාගෙන යෑමට පහසු වෙයි නේද?

    ලස්සන කතාවක්. ඒ වගේම හොඳ උත්සාහයක්...:)

    ReplyDelete
    Replies
    1. මුල් කෘතිය ඒ විදියටම පරිවර්තනය කරනවා නම් මේ භාෂා විලාසය මීට වඩා සරළ කරන්නට අමාරුයි. එහෙම නම් කට වහර යොදාගෙන පරිවර්තනය කරන්නට වෙනවා. එතකොට මුල් කෘතියේ අගය නැති වී යනවා. එහෙම නොවන්නට නම් කළ යුත්තේ කට වහරෙන් පරිවර්තනය කළ හැකි මුල් කෘති සොයා ගැනීමයි. කෙසේ වුණත් ඔබේ අදහසට ස්තූතියි.

      Delete
  11. "මිනිස්සු - උන්ගේ රුචිකත්වයන් වෙනස්.කියවීමෙදි වුණත් ඒ අය බලාපොරොත්තු වෙන්නේ තමන්ට සමීප භාෂණ විලාසයක්".ඉහළින් තියන ප්‍රතිචාර දැක්කහම මට හිතෙන්නේ ඒ විදිහට.ඇත්ත.බ්ලොග් ලියන ස්ටයිල් එක වෙනස් වෙන්න ඕන.අපි පොදුවේ අමතන්නේ විශාල ජනකායක්නේ.හැමෝටම දැනෙනවනම් ඒක ජයග්‍රහණයම තමයි.ඒත් පෞද්ගලිකව මම මේ භාෂා විලාසයට සෑහෙන්න කැමතියි.මේක පරිවර්තනවල තිබිය යුතු විලාසයම තමයි.කතාව ගැන කිව්වොත් උපරිමයි.දිගටම ලියන්න.ජය!!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස සමග මා එකඟ වනවා. එකිනෙකාගේ රුචිකත්වය අනුව තමාට සමීප භාෂා විලාසයක් පාඨකයා බලාපොරොත්තු වනවා. ඒත් සියලු දෙනාම එකසේ තුටු පහටු වන ලෙස ලිවීම ඇත්තෙන්ම අභියෝගයක්. ඔබගේ සුබපැතුම්වලට ස්තූතියි.

      Delete
  12. ඔබට තුති නිලූක. විශ්ව සාහිත්‍යයේ ඇති මේ කෙටි කතා සිංහල පාඨකයින්ට සමීප කරන්නට දරන උත්සාහය අගය කරනවා. අනර්ඝ වැඩක් ඔබ අතින් මේ ඉටු වෙන්නෙ. ඔබට ජය!!

    ReplyDelete
  13. "There is nothing really original here, and I have no skill in literary composition. I have composed this with no thought of any other purpose than to clarify my own mind. SHANTHI DEVA.(Verse 2 of BODHI CHARYAVATARA).
    I am delighted to read your translations Niluka. Thank you.
    Rev.Sutadhara.

    ReplyDelete
    Replies
    1. Thank you very much Ven. Sir. Your comments are really encouraging. I am honoured.

      Delete

සෙවුම්